Skip to content

පටුනට යන්න

චෙස්ටර් බීටිගේ වස්තු සම්භාරය

චෙස්ටර් බීටිගේ වස්තු සම්භාරය

චෙස්ටර් බීටිගේ වස්තු සම්භාරය

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පිහිටි චෙස්ටර් බීටි පුස්තකාලය ගැන කලක් එහි භාරකරුව සිටි ආර්.ජේ. හේස් පැවසුවේ මෙවැන්නකි. “පැරණි ශිෂ්ටාචාරයන් බොහොමයක තිබූ වස්තු සම්භාරයන් දැන් එම පුස්තකාලයේ තිබෙනවා. . . . එහි තිබෙන අලංකාර පින්තූරු හා සිත්තම් නෙත් සිත් ඇද බැඳගන්නවා.” එහි තිබෙන අමිල පුරාවස්තු, අතිරමණීය චිත්‍ර කලා නිර්මාණයන් මෙන්ම දුර්ලභ පොත් හා පිටපත් සම්භාරයේ වටිනාකම තක්සේරු කිරීමට නොහැකි තරම්ය. ඇත්තටම කවුද මේ චෙස්ටර් බීටි? ඔහු රැස් කළේ කුමනාකාරයේ වස්තු සම්භාරයන්ද?

වර්ෂ 1875දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක්හි උපන් ඇල්ෆ්‍රඩ් චෙස්ටර් බීටි, ස්කොට්ලන්ත, අයර්ලන්ත හා එංගලන්ත ජාතිකයන්ගේ පරම්පරාවලින් පැවත ආවෙකි. පතල් ඉන්ජිනේරුවෙකු හා උපදේශකවරයෙකු වූ ඔහු වයස අවුරුදු 32 වන විට පෞද්ගලිකව විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබිණ. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු තම ධන සම්පත් භාවිත කළේ අලංකාර වූත් විචිත්‍රවත් වූත් දේවල් රැස් කිරීමටයි. වර්ෂ 1968දී වයස අවුරුදු 92ක්ව සිටි බීටි මිය ගියේ අයර්ලන්තයේ ජනයාට තමා රැස් කළ සියල්ලම දැකබලා ගැනීමට අවස්ථාවක් සලසමිනි.

ඔහු රැස් කළේ මොනවාද?

බීටි රැස් කළ භාණ්ඩ සම්භාරයේ විවිධත්වයක් තිබේ. එක වරකට ප්‍රදර්ශනය කිරීමට හැකි වන්නේ ඒවායින් සියයට එකක් පමණි. ඔහු වසර දහස් ගණනක් මුළුල්ලේ පැවති නොයෙක් කාල පරිච්ඡේදයන් හා සංස්කෘතීන් බොහොමයකින් දුර්ලභ මෙන්ම ඉතා වටිනා භාණ්ඩ රැස් කළේය. එසේ රැස් කළේ පුරාණ යුරෝපයේ පැවති යුග දෙකක තිබූ භාණ්ඩ හා ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක තිබූ භාණ්ඩය. උදාහරණයකට ඔහු එකතු කළ අතිරමණීය ජපන් සිතුවම් ලෝකයේ හොඳම සිතුවම් එකතුව ලෙස සැලකේ.

මෙවැනි චිත්‍ර කලා නිර්මාණයන් පමණක් නොව, ඊට හාත්පසින්ම වෙනස් වූ ඉපැරණි උල් හැඩැති අක්ෂර සහිත බැබිලෝනියානු හා සුමේරියානු මැටි පුවරුද සියයකට වඩා රැස් කළ අතර ඒවා කාගේ කාගෙත් අවධානයට ලක් වී ඇත. වසර 4,000කට පෙර මෙසපොතේමියාවේ විසූ ජනයා විසින් තෙතමනයෙන් යුත් මැටි පුවරුවල තමන්ගේ හැම විස්තරයක්ම පාහේ ලියා මැටි පෝරණුවේ දමා ඒවා පුලුස්සාගනු ලැබීය. එවැනි පුවරුවලින් බොහොමයක් අද දක්වා ඉතිරිව තිබෙන බැවින් ලේඛන කලාව කොතරම් ඉපැරණිද යන්න ගැන අපට පැහැදිලි සාක්ෂි සපයයි.

පොත්වලට විශේෂ ඇල්මක්

පොත් කලාත්මක ලෙස නිපදවා තිබූ ආකාරය වෙත චෙස්ටර් බීටිගේ සිත ඇදී ගිය බවයි පෙනී යන්නේ. ඉතා අලංකාරව සරසා ඇති ආගමික ග්‍රන්ථ හා ආගමික නොවන පොත්ද දහස් ගණනක් ඔහු රැස් කළේය. මීට කුරානයේ පිටපත් කිහිපයක්ද ඇතුළත්ය. ලේඛකයෙකු ඔහු ගැන පවසන්නේ මෙයයි. “අරාබි අකුරුවල දක්නට ලැබෙන අලංකාර රටාව වෙත ඔහුගේ සිත ඇදී ගියා. . . . ඒ වගේම ග්‍රන්ථවල අක්ෂර රන් හා රිදීවලින්ද, වෙනත් දීප්තිමත් ඛණිජ ද්‍රව්‍යවලින්ද අලංකාරවත් කර තිබෙනවා දැකීමෙන් ඔහු මහත් සතුටක් ලැබුවා.”

හරිතමණී [jade] නමැති කොළ පාට මැණික් වර්ගය අතීතයේ විසූ චීන අධිරාජ්‍යවරුන් බොහෝ සෙයින් ප්‍රිය කළ මැණික් වර්ගයකි. එම කොළ පාට මැණික් වර්ගයට චෙස්ටර් බීටිගේ සිතද ඇදී ගියේය. මෙම අනර්ඝ මැණික් වර්ගය සියලු ඛණිජ ද්‍රව්‍යවලට වඩා, රන්වලටත් වඩා බොහෝ සෙයින් වටිනා ඒවා හැටියටයි ඔවුන් සලකනු ලැබුවේ. මෙම පාලකයෝ, දක්ෂ කැටයම් ශිල්පීන් ලවා මෙම මැණික් කුට්ටි තුනී පතුරුවලට ඉරා සුමට පත්‍ර පිළියෙල කරවීමට සමත් විය. සහජ කුසලතා ඇති චිත්‍ර ශිල්පීන් විසින් එම පත්‍රවල ඉතා සියුම් ලෙස හැඩ වැඩ ගැන්වූ රන් අකුරු හා රන් චිත්‍ර අඳින ලදි. ප්‍රතිඵලයක් ලෙස මේ වන තුරා ආරක්ෂා වී ඇති අරුම පුදුම පොත් අතුරින් සමහරක් නිපදවීමට ඔවුන්ට හැකි වී ඇත. බීටිගේ මෙම ලේඛන එකතුව ලෝක ප්‍රසිද්ධය.

මිල කළ නොහැකි බයිබල් පිටපත්

බයිබලයට ඇලුම් කරන අයට චෙස්ටර් බීටි විසින් රැස් කරනු ලැබ ඇති වටිනාම සම්පත නම් ඉපැරණි බයිබල් පිටපත්ය. මේවායින් පිටපත් රාශියක් එකතු කරගැනීමට ඔහු සමත් විය. අලංකාර රටාවලින් සැරසූ මෙම පිටපත්, පන්හිඳෙන් පිටපත් කළ ලියන්නන්ගේ ඉවසීම හා කලා කෞශල්‍යය මනාව කියාපායි. මුද්‍රණ ශිල්පය ඇරඹීමෙන් අනතුරුව මුද්‍රණය කරන ලද පොත්වලින්, පෙර කල විසූ පොත් බඳින්නන්ගේ හා මුද්‍රණ ශිල්පීන්ගේ දස්කම් විස්කම් දිස් වේ. උදාහරණයකට, බිබ්ලියා ලැටිනා නමැති බයිබලය 1479දී න්‍යුන්බර්ක්හිදී ඇන්ටන් කෝබජ විසින් මුද්‍රණය කරන ලදි. යොහානස් ගුටන්බර්ග්ගේ කාලයෙහි විසූ ඔහු ගැන පවසා තිබෙන්නේ “මුල් කාලයේ සිටි මුද්‍රණ ශිල්පීන් අතුරෙන් දිවා රෑ නොබලා වැඩයෙහි යෙදී සිටි අතිවැදගත් කෙනෙකු ලෙසය.”

චෙස්ටර් බීටි පුස්තකාලයේ ප්‍රදර්ශනය කර තිබූ එක් විශිෂ්ට ග්‍රන්ථයක් වන්නේ හතරවන සියවසේ මුල් භාගයෙහි විසූ සිරියානු විද්වතෙකු වූ ඉෆ්‍රායිම් විසින් සම්පාදනය කරනු ලැබූ හම් පිටපතයි. ඉෆ්‍රායිම් බොහෝ දේ උපුටා දක්වන්නේ දියාටෙසාරොන් ලෙසින් හැඳින්වූ දෙවන සියවසේ ලියන ලද කෘතියකිනි. එහි ලේඛකයා වූ ටේෂන් කළේ සුවිශේෂයන් හතරෙහි සඳහන් යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය පිළිබඳව වාර්තා එක් කොට තනි වාර්තාවක් සම්පාදනය කිරීමය. පසු කාලයක විසූ ලේඛකයන් තම ලේඛනවල දියාටෙසාරොන් කෘතිය ගැන සඳහන් කළත් එහි එක් පිටපතක්වත් ආරක්ෂා වී නොතිබිණ. දහනවවන සියවසේ විසූ ලේඛකයෝ එවැන්නක් තිබී ඇද්දැයි සැක කිරීමට පවා පෙලඹුණහ. කෙසේවෙතත්, 1956දී ටේෂන්ගේ දියාටෙසාරොන් කෘතිය ගැන ඉෆ්‍රායිම්ගේ අදහස් ඇතුළත් වූ කෘතිය බීටි විසින් සොයාගනු ලැබීය. මෙම සොයාගැනීම බයිබලයේ විශ්වසනීයත්වය හා සත්‍යතාව පිළිබඳව තිබෙන සාක්ෂි තවත් තහවුරු කළේය.

අමිල නිධානයකි පැපිරස් පිටපත්

බීටි, ආගමික හා ආගමික නොවන පැපිරස් පිටපත් විශාල සංඛ්‍යාවක්ද රැස් කළේය. ඔහු විසින් සොයාගන්නා ලද පැපිරස් පොත් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රි.ව. හතරවන සියවසේදී සම්පාදනය කළ ඒවාය. මෙම පැපිරස් පොත්වලින් සමහරක් සොයාගනු ලැබුවේ කසළ වශයෙන් ඉවත් කර තිබූ පැපිරස් ගොඩවල්වලිනි. මේවා ඊජිප්තු කාන්තාරයෙහි සියවස් ගණනාවක් පුරා සැඟවී තිබිණ. පැපිරස් පොත් බොහොමයක් විකිණීමට දමා තිබුණේ එහෙන් මෙහෙන් ඉරී තිබූ කෑලි වශයෙනි. සාමාන්‍යයෙන් වෙළෙන්දෝ පැපිරස් සුන් බුන් තොග ගණන් කාඩ්බෝඩ් පෙට්ටිවල පුරවාගෙන විකිණීමට තැත් කළෝය. “ඒවා මිල දී ගැනීමට උනන්දුවක් දැක්වූ අය සාමාන්‍යයෙන් පෙට්ටිවලට අත් දමා වැඩිම ප්‍රමාණයක් ලියවී ඇති ලොකුම කෑල්ල අරගත්තා” යයි චෙස්ටර් බීටි පුස්තකාලයේ බටහිර පුරාවස්තු අංශයේ භාරකරු වන චාල්ස් හෝර්ටන් පවසයි.

බීටිගේ අගනා බයිබල් පොත් ඔහුගේ “අතිවිස්මිත සොයාගැනීම” බව හෝර්ටන් පවසයි. ඒවා අතරෙහි “ක්‍රිස්තියානි පරණ හා නව ගිවිසුමේ මුල් පිටපත් කීපයක්ද ඇතුළත් විය.” පැපිරස් පොත්වල වටිනාකම දැන සිටි වෙළඳුන් විවිධ ගැනුම්කරුවන්ට ඒවා වෙන වෙන කොටස් ලෙස විකිණීම සඳහා ඒවා කෑලිවලට වෙන් කිරීමේ ඉඩ කඩ තිබිණ. කෙසේවුවද, බීටිට පැපිරස් පොත්වලින් වැඩි හරියක්ම මිල දී ගැනීමට හැකි විය. මේ පැපිරස් පොත් කොතරම් වැදගත් ඒවාද? වර්ෂ 1844දී ටිෂන්ඩෝෆ් විසින් සොයාගන්නා ලද සයිනයිටිකස් පැපිරස් පොතට පසුව, සොයාගන්නා ලද “අතිවැදගත්ම සොයාගැනීම” මෙය බව ශ්‍රීමත් ෆෙඩ්රික් කෙන්යන් පැහැදිලි කළේය.

මෙම පැපිරස් පොත් ක්‍රි.ව. දෙවන හා හතරවන සියවස් අතර කාලයක ලියූ ඒවාය. ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයේ අඩංගු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි අතුරෙන් උත්පත්ති පොතේ පිටපත් දෙකක් ලැබී තිබේ. මේවායෙහි විශිෂ්ට වටිනාකමක් තිබුණේ හතරවන සියවසේ හම් පිටපත් වූ “වැටිකානස් හා සයිනයිටිකස් පිටපත්වල [උත්පත්ති] පොතේ වැඩි හරියක් තිබුණේ නැති නිසයි” කියා කෙන්යන් පවසයි. පැපිරස් පොත් තුනක ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ පොත් අඩංගුය. ඉන් එකක සුවිශේෂ සතර සම්පූර්ණයෙන්ම පාහේද, ක්‍රියා පොතේ වැඩි හරියක්ද අඩංගු වේ. දෙවන පැපිරස් පොතෙහි ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපිය ඇතුළු ඔහුගේ ලිපි සියල්ලම පාහේ අඩංගුය. මෙම පැපිරස් පොතෙහි සමහර පිටු බීටි ලබාගත්තේ පසු කලකය. තුන්වන පැපිරස් පොතට එළිදරව් පොතෙන් තුනෙන් එකක් පමණ ඇතුළත් වේ. කෙන්යන් පවසන පරිදි, අද අප අතට පත්ව ඇති නව ගිවිසුමේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් දැනටමත් අපේ විශ්වාසය ශක්තිමත් තත්වයක තිබෙන බව ඇත්තය. එනමුත් මෙම පැපිරස් අත්පිටපත් අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරයි.”

ඈත අතීතයේ තිබූ කරදරකාරී අකුලන පොත් වෙනුවට පැපිරස් පොත් භාවිත කිරීමට ක්‍රිස්තියානීන් ඇතැම්විට පටන්ගත්තේ ක්‍රි.ව. පළමු සියවස අවසන් වීමට පෙර බව චෙස්ටර් බීටි එකතු කරගත් පැපිරස් බයිබල් පිටපත්වලින් පැහැදිලි වේ. එමෙන්ම ලිවීමේ උපාංගවල හිඟතාව නිසා පිටපත්කරුවන් බොහෝවිට පරණ පැපිරස් පත්‍ර යළි භාවිත කළ බවද පැපිරස් පොත්වලින් පෙනී යයි. උදාහරණයකට යොහන් සුවිශේෂය ඇතුළත් එක්තරා පිටපතක කොටසක් ලියා තිබෙන්නේ “ගණන් සාදා තිබූ ග්‍රීක් පාසැල් අභ්‍යාස පොතක බවයි පෙනී යන්නේ.”

මෙම පැපිරස් පොත් එතරම් ලස්සන ඒවා නොවුණත් ඒවායේ වටිනාකම මිල කළ නොහැකිය. ඒවා මුල් ක්‍රිස්තියානීන්ගේ ජීවිතය ගැන තොරතුරු ලබා දීමට ඉවහල් වන ප්‍රබල සාක්ෂි වේ. “ඔබ දකින මේ පොත්වලින් ඇතැම් ආදි ක්‍රිස්තියානීන් පාවිච්චි කළේ කුමනාකාරයේ පොත්දැයි ඔබට දැකගත හැකියි. ඇත්තටම ඔවුන් ඒවා සැලකුවේ නිධානයන් හැටියටයි” කියා චාල්ස් හෝර්ටන් පවසයි. (හිතෝපදේශ 2:4, 5) චෙස්ටර් බීටි පුස්තකාලයේ තිබෙන මෙම නිධානවලින් සමහරක් සෝදිසි කර බැලීමට ඔබට අවස්ථාවක් උදා වේ නම් ඔබට එය රසවත් අද්දැකීමක් වනවා නොඅනුමානය.

[31වන පිටුවේ පින්තූරය]

කාටූෂිකා හෝකූසයි නිමවූ ජපන් සිතුවම

[31වන පිටුවේ පින්තූරය]

මුලින්ම මුද්‍රණය කළ බයිබල් අතර තිබෙන “බිබ්ලියා ලැටීනා”

[31වන පිටුවේ පින්තූරය]

ටේෂන්ගේ “දියාටෙසාරොන්” පිළිබඳ ඉෆ්‍රායිම්ගේ අදහස්වලින් බයිබලයේ විශ්වසනීයත්වය වැඩි කරයි

[31වන පිටුවේ පින්තූරය]

ලෝකයේ පැරණිතම පැපිරස් පොත්වලින් එකක් වන චෙස්ටර් බීටි P45හි, සුවිශේෂයන් හතර හා ක්‍රියා පොත තනි වෙළුමක් ලෙස ඇත

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

රූප සියල්ලම: Reproduced by kind permission of The Trustees of the Chester Beatty Library, Dublin

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All images: Reproduced by kind permission of The Trustees of the Chester Beatty Library, Dublin