Skip to content

පටුනට යන්න

“දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

“දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

“දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

“යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.”—එෆීස 6:11.

1, 2. ක්‍රිස්තියානීන් විසින් පැළඳගත යුතු ආත්මික යුද්ධායුධ කට්ටලය ඔබගේම වචනයෙන් විස්තර කරන්න.

රෝම අධිරාජ්‍යය ක්‍රි.ව. පළමුවෙනි සියවසේදී ලොවේ බලවත්ම අධිරාජ්‍යය විය. රෝම හමුදාවන්ගේ බලය මගින්, එවකට ජනාවාස වී තිබූ ලෝකය තම පාලනයට නතු කරගැනීමට රෝම නගරයට හැකි විය. එක් ඉතිහාසඥයෙක් මෙම හමුදාව ගැන විස්තර කරන්නේ, එය “ඉතිහාසයේ තිබූ බලවත්ම හමුදාව” ලෙසටයි. රෝමයේ කාර්ය බල හමුදාව මනා විනයක් ඇති හේවායන්ගෙන් සමන්විත වූ අතර, ඔවුහු දැඩි පුහුණුවක් ලබා සිටියහ. එලෙසම සටන් කරන ප්‍රබල හමුදාවක් ලෙස ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු පාදක වූ තවත් දෙයක් නම් ඔවුන්ගේ යුද්ධායුධ කට්ටලයයි. ප්‍රේරිත පාවුල් රෝම හේවායෙකුගේ යුද්ධායුධ කට්ටලය, ක්‍රිස්තියානියෙකු යක්ෂයාට එරෙහිව සටන් කර ජයගැනීම සඳහා අවශ්‍ය කරන ආත්මික යුධ අවිවලට සැසඳුවේය.

2 මෙම ආත්මික යුද්ධායුධ කට්ටලය ගැන විස්තරයක් අපට එෆීස 6:14-17හි දක්නට ලැබේ. පාවුල් ලීවේ මෙසේයි. “ස්ථිරව සිටින්න. ඔබේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම ඇඳගෙන, සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන් පැළඳ සිටින්න. සියල්ලට පළමුවෙන් ඇදහිල්ල නමැති විශාල පලිහ ගන්න. මෙයින් ඔබට දුෂ්ටයාගේ සියලු ගිනිමය ඊතල නිවා දමන්න හැකි වන්නේය. තවද, ගැලවීම නමැති ආරක්ෂක හිස්වැස්මද, ආත්මයේ කඩුව වන දෙවිගේ වචනයද ගන්න.” මිනිස් දෘෂ්ටිකෝණයකින් බලන කල, පාවුල් විස්තර කළ ඒ රෝම හේවායාගේ යුද්ධායුධ කට්ටලය මගින් සෑහෙන තරමක ආරක්ෂාවක් සැලසිණි. තවද ඔහු කඩුව පාවිච්චි කළේය. එය ඔහු තවත් පුද්ගලයෙකු හා මුහුණට මුහුණ ලා සටන් කරද්දී යොදාගත් ප්‍රධාන ආයුධයයි.

3. අප යේසුස් ක්‍රිස්තුස්ගේ උපදෙස්වලට කීකරු වී ඔහුගේ ආදර්ශය අනුගමනය කළ යුත්තේ මන්ද?

3 යුධ අවි සහ ලැබූ පුහුණුවට අමතරව රෝම හමුදාවේ ජයග්‍රහණවලට මඟ පෑදූ තවත් දෙයක් නම්, හේවායන් විසින් තම අණ දෙන නිලධාරියාට කීකරු වීමයි. ඒ හා සමානව, ක්‍රිස්තියානීන් ‘ජනවර්ගයන්ට විධාන කරන්නෙකු’ වන යේසුස් ක්‍රිස්තුස්ට කීකරු විය යුතුයි. (යෙසායා 55:4) තවද ඔහු ‘සභාවේ මූලිකයාද’ වෙයි. (එෆීස 5:23) යේසුස් අපගේ ආත්මික ශුභසාධනය සඳහා උපදෙස් දෙන අතර, ආත්මික යුද්ධ ආයුධ කට්ටලයක් පැළඳගෙන සිටිය යුත්තේ කෙසේද යන්න ගැන පරිපූර්ණ ආදර්ශයක් සපයයි. (1 පේතෘස් 2:21) ක්‍රිස්තුස්ට සමාන පෞද්ගලිකත්වයක් ඇතුව සිටීම හා ආත්මික යුද්ධායුධ කට්ටලයක් පැළඳ සිටීම අතර ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති නිසා, ක්‍රිස්තුස්ගේ මානසික ආකල්පයෙන්ම “සන්නද්ධ වී” සිටින ලෙස ශුද්ධ ලියවිලි අපට අවවාද කරයි. (1 පේතෘස් 4:1) එසේනම්, අප අපගේ ආත්මික ආයුධ කට්ටලයේ එක් එක් කොටස් පරීක්ෂා කර බලත්ම ඒවායේ වැදගත්කම සහ ඵලදායිත්වය පැහැදිලිව දැක්වීමට යේසුස්ගේ ආදර්ශය යොදාගනිමු.

ඉඟටි, ළය සහ පාද ආරක්ෂා කරගැනීම

4. හේවායෙකුගේ ඉඟටි පටියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මෙහි අදාළත්වය කුමක්ද?

4 සත්‍යය නමැති පටියෙන් බැඳගත් ඉඟටි. බයිබල් කාලවල හේවායන් පැළඳුවේ සෙන්ටිමීටර් පහේ සිට 15ක් දක්වා පළලැති හම් පටියකි. මෙම පදය “සත්‍යය ඔබේ බඳ වටා තදින් බැඳගත් පටියක් සේ බැඳගන්න” යනුවෙන් කියවිය යුතු බව ඇතැම් පරිවර්තකයන්ගේ අදහසයි. හේවායෙකුගේ බඳ පටිය ඔහුගේ ඉඟටිය ආරක්ෂා කරගැනීමට හේතු වූ අතර, ඔහුගේ කඩුව එල්ලාගැනීමටද එය පහසු ආධාරකයක් විය. හේවායෙක් තම ඉඟටි පටිය බැඳගත් විට, ඔහු සැරසෙමින් සිටියේ යුද්ධයටයි. පාවුල් හේවායාගේ බඳ පටිය මෙහිදී යොදාගෙන ඇත්තේ ශුද්ධ ලියවිලිමය සත්‍යතාවන් අපගේ ජීවිතවලට බලපෑ යුතු තරම උපහැරණය කිරීමටයි. එය අපේ ඉඟටිය වටා තදින් බැඳ තිබිය යුතුයි. එවිට, අප එයට එකඟව ජීවත් වන අතර ඕනෑම අවස්ථාවකදී සත්‍යය වෙනුවෙන් කතා කිරීමට අපට හැකියි. (ගීතාවලිය 43:3; 1 පේතෘස් 3:15) එසේ කිරීමට නම්, අප ඉතා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කර එහි ඇති දේවල් මෙනෙහි කළ යුතුයි. යේසුස් දෙවිගේ නීතිය ‘ඔහුගේ සිතෙහි’ තබාගෙන තිබිණි. (ගීතාවලිය 40:8) විරුද්ධවාදීන් විසින් ප්‍රශ්න කරනු ලැබූ කල, ඔහුට තම මතකයෙන්ම ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් පිළිතුරු දෙන්නට හැකිකම තිබිණි.—මතෙව් 19:3-6; 22:23-32.

5. පරීක්ෂා ඇති වන අවස්ථාවලදී හෝ වරදට පෙලඹෙන අවස්ථාවලදී ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම් අපට උපකාරවත් වන අන්දම පැහැදිලි කරන්න.

5 අපට මඟ පෙන්වීමට අප බයිබල් සත්‍යයට ඉඩහරින විට, එය අපව බොරු තර්කවලින් ආරක්ෂා කර අපට ඥානවන්ත තීරණ ගැනීමට උපකාර කරයි. වරදට පෙලඹෙන හෝ පරීක්ෂාවකට මුහුණ දෙන අවස්ථාවකදී හරි දේ කිරීමට අප තුළ ඇති අධිෂ්ඨානය ශක්තිමත් කරන්නේ බයිබලයේ මාර්ගෝපදේශයි. මෙසේ අපි අපේ උදාර ගුරුවරයාණන් වන යෙහෝවාව දකින්නෙමු. මන්ද “මාර්ගය මේය, එහි හැසිරෙන්න” කියන හඬක් පිටුපසින් අපට ඇසෙනවා ඇත.—යෙසායා 30:20, 21.

6. අපගේ සිතට ආරක්ෂාව අවශ්‍ය මන්ද? ධර්මිෂ්ඨකම මගින් එය ඉතා ප්‍රබල ලෙස ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

6 ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම. හේවායෙකුගේ ළයවැස්ම ඔහුගේ අතිවැදගත්ම ඉන්ද්‍රියක් වන හෘදය ආරක්ෂා කරයි. අපගේ සංකේතාත්මක හෘදය හඳුන්වන්නේ සිත ලෙසයි. සිත හෙවත් අභ්‍යන්තර පුද්ගලයාට විශේෂ ආරක්ෂාවක් අවශ්‍යය. මන්ද එය නැඹුරු වී තිබෙන්නේ නපුරු දෙයටයි. (උත්පත්ති 8:21) එසේනම්, අප යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන හොඳින් දැනගෙන ඒවාට ප්‍රිය කළ යුතුයි. (ගීතාවලිය 119:97, 105) අප ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන නිසා, යෙහෝවා විසින් දී ඇති පැහැදිලි මාර්ගෝපදේශයන් නොසලකාහරින හෝ ඒවා දියාරු කරන ලෞකික සිතිවිලි ප්‍රතික්ෂේප කිරීමට අපට හැකි වෙයි. එපමණක්ද නොව, අප හරි දේට ඇලුම් කරමින් නපුරු දේට ද්වේෂ කරන විට අපගේ ජීවිත විනාශ කරන මාවතේ යෑමෙන් වැළකී සිටීමට අපට හැකියි. (ගීතාවලිය 119:99-101; ආමොස් 5:15) යේසුස් මේ සම්බන්ධයෙන් තැබුවේ කදිම ආදර්ශයකි. මන්ද, ඔහු ගැන අපට ශුද්ධ ලියවිල්ලේ මෙසේ කියවීමට තිබේ. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කර, නීති විරෝධීකමට වෛර කළෙහිය.”—හෙබ්‍රෙව් 1:9. *

7. රෝම හමුදාවේ හේවායෙකු හොඳ පාවහන් පැළඳ සිටීම අවශ්‍ය වූයේ මන්ද? මෙහි අදාළත්වය කුමක්ද?

7 සමාදානයේ ශුභාරංචිය නමැති වහන් පය ලා සිටීම. රෝම හේවායන්ට කල් පවතින පාවහන් හෝ ශක්තිමත් පටි සපත්තු අවශ්‍ය විණි. මන්දයත්, හමුදා මෙහෙයුම්වලදී ඔවුන් සෑම දිනකම කිලෝමීටර් 30ක් ගමන් කළ අතර, කිලෝග්‍රෑම් 27ක් බරැති යුධ අවි සහ යුධ උපකරණද රැගෙන ගිය හෙයිනි. මේ අනුව, අපට සවන් දෙන ඕනෑම කෙනෙකුට රාජ්‍ය පණිවුඩය දේශනා කිරීමට අප සූදානමින් සිටීම සංකේතවත් කිරීමට පාවුල් විසින් පාවහන් යොදාගනු ලැබීම ඉතා සුදුසුයි. මෙය වැදගත් කාරණයකි. මක්නිසාදයත්, අප ජනයාට දේශනා කිරීමට සූදානමකින් හා කැමැත්තකින් සිටින්නේ නැත්නම්, ඔවුන් යෙහෝවා ගැන දැනගන්නේ කෙසේද?—රෝම 10:13-15.

8. ශුභාරංචිය දේශනා කරන්නෙකු වශයෙන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?

8 යේසුස්ගේ ජීවිතයේ අතිවැදගත්ම කාර්යය වූයේ කුමක්ද? ඔහු රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්හට පැවසුවේ ‘මා ලෝකයට පැමිණියේ සත්‍යය ගැන සාක්ෂි දැරීමටය’ කියායි. සවන් දීමට කැමති කෙනෙකු හමු වුණු සෑම විටකදීම යේසුස් දේශනා කළ අතර, ඔහු තමන් කළ සේවයෙන් කොතරම් සතුටක් ලැබුවාද කියනවා නම් ඔහු තමාගේ කෑම හා විවේකයට වඩා මුල් තැන දුන්නේ සේවයටයි. (යොහන් 4:5-34; 18:37) අපත්, යේසුස් මෙන් ශුභාරංචිය දේශනා කිරීමට මහත් උනන්දුවකින් සිටින්නේ නම්, ඒ ගැන අනුන්ට කතා කිරීමට බොහෝ ප්‍රස්තාවන් සොයාගන්නවා ඇත. එපමණක්ද නොව, අප දේවසේවයේ කඩිසරව නියැලී සිටීම හේතුවෙන් අපේ ආත්මිකත්වයද ශක්තිමත් තත්වයක තිබෙනවා ඇත.—ක්‍රියා 18:5.

පලිහ, ආරක්ෂක තොප්පිය සහ කඩුව

9. විශාල පලිහකින් රෝම හේවායෙකුට ලැබුණේ කුමනාකාරයේ ආරක්ෂාවක්ද?

9 ඇදහිල්ල නමැති විශාල පලිහ. මෙහිදී “විශාල පලිහ” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ ශරීරයේ වැඩි කොටසක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් විශාල පලිහකි. එෆීස 6:16හි සඳහන් කර ඇති ‘ගිනිමය ඊතලවලින්’ පුද්ගලයෙකුව ආරක්ෂා කිරීමට එවන් විශාල පලිහකට හැකිය. බයිබල් කාලවලදී, හේවායෝ උල් බට වැනි ඊතල විශේෂයක් පාවිච්චි කළ අතර, ඒවායේ අග නැප්තා නම් වූ ගිනිගන්නා රසායනික මිශ්‍රණයක් අඩංගු වූ පුංචි යකඩ කුප්පියක් රඳවනු ලැබිණි. එක් විශාරදයෙක් මෙම උල් බට ගැන විස්තර කළේ, “පැරණි කාලවල යුද්ධවලදී භාවිත කරන ලද ආයුධ අතුරින් ඉතා භයානකම ආයුධයක්” ලෙසටය. එවන් උල් බට වැනි ඊතලවලින් තමන්ව ආරක්ෂා කරගැනීමට විශාල පලිහක් හේවායෙකුට නොතිබුණහොත්, ඔහු ඉතා බරපතළ ලෙස තුවාල විය හැකියි. නැතහොත් මරුමුවට පවා පත් විය හැකියි.

10, 11. (අ) අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට සාතන් විසින් යොදාගනු ලැබිය හැකි “ගිනිමය ඊතල” මොනවාද? (ආ) පරීක්ෂා ඇති වන අවස්ථාවලදී ඇදහිල්ල පෙන්වීමේ වැදගත්කම යේසුස්ගේ ආදර්ශයෙන් පෙනී යන්නේ කෙසේද?

10 අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට සාතන් යොදාගන්නා “ගිනිමය ඊතල” මොනවාද? පීඩාවන් සහ පවුලේ අයගෙන්, රැකියා ස්ථානයෙන් හෝ පාසැලෙන් විරුද්ධවාදිකම් ඇති කරලීමට ඔහු උත්සාහ කළ හැකියි. අනෙක් අතට, වඩ වඩාත් මුදල්, බඩු භාණ්ඩ රැස් කරගැනීමට ආශාවක් ඇතිවීම නිසා මෙන්ම දුරාචාරයේ උගුලට හසුවීම නිසා එය ඇතමෙකුට ආත්මික වශයෙන් මහත් විපතක් වී තිබේ. අප එවන් පරීක්ෂාවන්ගෙන් ආරක්ෂා වීමට, “සියල්ලටම පළමුවෙන් [අප] ඇදහිල්ල නමැති විශාල පලිහ” අතට ගත යුතුයි. ඇදහිල්ල ඇති වෙන්නේ යෙහෝවා ගැන ඉගෙනගැනීමෙත්, නිතරම ඔහුට යාච්ඤා කිරීමෙත් ඔහු අපව ආරක්ෂා කොට අපට ආශීර්වාද කරන අන්දම වටහාගැනීමෙත් ප්‍රතිඵලයක් වශයෙනුයි.—යෝෂුවා 23:14; ලූක් 17:5; රෝම 10:17.

11 ජීවිතයේ යම් දරුණු අවස්ථාවලට මුහුණ දෙන විට ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටීමේ වැදගත්කම ගැන යේසුස් පොළොව මත විසූ සමයේදී පැහැදිලිව පෙන්වා දුන්නේය. සිය පියාණන් ගෙන තිබූ තීරණ ගැන පූර්ණ විශ්වාසයකින් සිටි ඔහු දේවකැමැත්ත කළේ ඉමහත් සතුටිනි. (මතෙව් 26:42, 53, 54; යොහන් 6:38) ගෙත්සෙමන උයනේ දරුණු වේදනාවකින් සිටින විට පවා යේසුස් සිය පියාණන්ට පැවසුවේ, “මාගේ කැමැත්ත නොව, ඔබේ කැමැත්ත ලෙස වේවා” කියායි. (මතෙව් 26:39) තම විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගෙන සිය පියාණන්ව සතුටු කිරීමේ වැදගත්කම ඔහු කිසිවිටෙකත් අමතක කළේ නැත. (හිතෝපදේශ 27:11) අපටත් යෙහෝවා කෙරෙහි ඒ හා සමාන විශ්වාසයක් තිබෙනවා නම්, අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට අප විවේචනවලට හෝ විරුද්ධවාදිකම්වලට ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, අප දෙවි කෙරෙහි රඳා සිටිනවා නම්, අප ඔහුට කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වනවා නම්, ඔහුගේ ආඥා රකිනවා නම් අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා ඇත. (ගීතාවලිය 19:7-11; 1 යොහන් 5:3) යෙහෝවා තමන්ට ප්‍රේම කරන අයට ලබා දෙන්නට යන ආශීර්වාද ගැන සිතද්දී, සැප සම්පත්වලින් ලැබෙන සතුට හෝ තාවකාලිකව ලබන කාමුක වින්දනය ඒවා සමඟ සම කිරීමට කොහෙත්ම බැරිය.—හිතෝපදේශ 10:22.

12. අපගේ සංකේතමය ආරක්ෂක තොප්පිය මගින් ආරක්ෂා කරන්නේ අප සතු කිනම් වැදගත් දෙයද? එම ආරක්ෂක තොප්පිය පැළඳගැනීම අතිශයින් වැදගත් වන්නේ මන්ද?

12 ගැලවීම නමැති ආරක්ෂක තොප්පිය. ආරක්ෂක තොප්පියක් දමාගෙන සිටීම නිසා හේවායෙකුගේ හිස සහ මොළය ආරක්ෂා විණි. සිතුවිලි හා කල්පනා නික්මෙන්නේ මොළයෙනි. අපට තිබෙන ක්‍රිස්තියානි බලාපොරොත්තුව ආරක්ෂක තොප්පියකට සසඳා ඇත්තේ එය අපගේ මනස ආරක්ෂා කරන හෙයිනි. (1 තෙසලෝනික 5:8) අප දේවවචනයේ ඇති නිවැරදි දැනුම මගින් මනස සකස් කරගෙන තිබුණද, අප තවමත් දුර්වල අසම්පූර්ණ මිනිසුන්ය. අපගේ මනස් ලෙහෙසියෙන් දූෂිත විය හැකියි. මේ සමාජ ක්‍රමයේ ඉලක්ක අපගේ සිත් වෙනතකට හරවනවා විය හැකියි. නැතහොත් සමහරවිට දෙවි දී ඇති බලාපොරොත්තුව මනසෙන් ඉවත් වී ඒ වෙනුවට ලෞකික ඉලක්ක අපගේ මනසට රිංගාගත හැකියි. (රෝම 7:18; 12:2) “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” දෙන්නෙමි කියමින් යක්ෂයා යේසුස්ව දෙවිගෙන් ඈත් කිරීමට නිරර්ථක උත්සාහයක යෙදුණේය. (මතෙව් 4:8) නමුත් යේසුස් තමාට ඉදිරිපත් කළ දේවල් එකහෙළාම ප්‍රතික්ෂේප කළ අතර පාවුල් ඔහු ගැන කීවේ මෙයයි. “මන්ද, ඔහු [යේසුස්] ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොතකා වධකණුව විඳදරාගෙන, ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තේය.”—හෙබ්‍රෙව් 12:2.

13. අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව කෙරෙහි ඇති විශ්වාසය දිගටම තබාගත හැක්කේ කෙසේද?

13 යේසුස් තුළ තිබූ විශ්වාසය ඉබේ ඇති වූවක් නොවේ. අප අපගේ මනසේ අනාගත බලාපොරොත්තුව තබාගන්නවා වෙනුවට, මේ සමාජ ක්‍රමයේ ජීවිතය ගැන සිහින මවමින් ඉන්නවා නම්, දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල දුර්වල වී යනු ඇත. කල් යත්ම, අපේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම අමතක වෙන්නට පුළුවන. අනෙක් අතට, අප දෙවිගේ පොරොන්දු ගැන නිතරම මෙනෙහි කරන්නේ නම්, අපි අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව ගැන නිතරම ප්‍රීති වන්නෙමු.—රෝම 12:12.

14, 15. (අ) අපගේ සංකේතමය කඩුව කුමක්ද? එය ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද? (ආ) අපව වැරදිවලට පොලඹවනු ලබන විට ආත්මයේ කඩුව අපට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ආදර්ශයකින් විස්තර කරන්න.

14 ආත්මය නමැති කඩුව. දේවවචනය හෙවත් බයිබලයේ වාර්තා වී ඇති පණිවුඩය හරියට හොඳින් කැපෙන දෙමුවහත් කඩුවක් මෙනි. බොරු ආගමික අදහස් නිෂ්ප්‍රභ කර, සත්‍යය දැනගැනීමෙන් නිදහස සොයාගැනීමට අවංක සිත් ඇති අයට උපකාර කිරීමට එයට හැකියි. (යොහන් 8:32; හෙබ්‍රෙව් 4:12) තවද, අප වැරදි කිරීමට පෙලඹෙන විට හෝ ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය අපගේ ඇදහිල්ල විනාශ කිරීමට උත්සාහ කරන විට, අපට ආරක්ෂාවක් සැපයීමට මෙම ආත්මික කඩුවට හැකියි. (2 කොරින්ති 10:4, 5) එසේනම්, ‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන් වීමත්, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සියලු දෙයින් පූර්ණව තිබීමත්’ ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද!—2 තිමෝති 3:16, 17.

15 පාළුකරයේ සිටින විට සාතන් යේසුස්ව පරීක්ෂා කරද්දී යේසුස් ආත්මයේ කඩුව ඉතා ප්‍රබල ලෙස යොදාගෙන බොරු තර්ක සහ කපටි පෙලඹවීම් නිෂ්ප්‍රභ කර දැමීය. සාතන් යේසුස්ව වරදට පෙලඹවීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම යේසුස් පිළිතුරු දුන්නේ “ලියා තිබේ” කියායි. (මතෙව් 4:1-11) ස්පාඤ්ඤයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන ඩේවිඩ්ටත් මේ හා සමාන අද්දැකීමකට මුහුණ දෙන්නට සිදු විණි. ඔහුව වරදට පොලඹවනු ලැබූ අවස්ථාවකදී ශුද්ධ ලියවිලි ඔහුට උපකාරවත් විය. වයස අවුරුදු 19දී, ඔහු පිරිසිදු කිරීමේ කටයුතු පරිපාලනය කරන සමාගමක සේවය කරමින් සිටින විට, ඔහු සමඟ වැඩ කළ එක්තරා රූමත් තරුණියක් “අපි එකට විනෝද වෙමු” කියා ඔහුට යෝජනා කළාය. ඇගේ පෙරැත්ත කිරීම් ප්‍රතික්ෂේප කළ ඩේවිඩ්, වෙනත් තැනක තමාව සේවයේ යොදවන ලෙස ඔහුගේ ප්‍රධානියාගෙන් ඉල්ලා සිටි අතර එසේ කළේ ඒ තත්වය යළිත් පැන නැඟීමට ඉඩ නොදෙන අදහස ඇතුවය. ඩේවිඩ් මෙසේ කීවේය. “මට යෝසෙප් තැබූ ආදර්ශය මතක් වුණා. ඔහු දුරාචාරයේ යෙදීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඔහු ඉක්මනින්ම එතැනින් ඉවත් වුණා. මටත් ඕනෑ කළේ එහෙම කරන්නයි.”—උත්පත්ති 39:10-12.

16. ‘සත්‍යතාවේ වචනය හරියාකාරව හැසිරවීමට’ පුහුණුවක් අපට අවශ්‍ය වීමට හේතුව පැහැදිලි කරන්න.

16 සාතන්ගේ පාලනයෙන් ගැලවීමට අනුන්ට උපකාර කිරීමටද යේසුස් ආත්මයේ කඩුව පාවිච්චි කළේය. “මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය” කියා යේසුස් කීවේය. (යොහන් 7:16) යේසුස්ගේ දක්ෂ ඉගැන්වීම අනුකරණය කිරීමට අපට පුහුණුව අවශ්‍යයි. රෝම හේවායන් සම්බන්ධව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් ලීවේ මෙසේයි. “සෑම හේවායෙකුම දවස්පතා ව්‍යායාම කළේය. එසේ කළේ ඔවුන් යුද්ධ පිටියේ සිටිනවා කියා සිතා මහත් ඕනෑකමකින් හා උද්‍යෝගයකින්ය. යුද්ධ කරද්දී ඔවුන්ට එතරම් වෙහෙසක් දරාගත හැකිවීමට ප්‍රධාන හේතුව එයයි.” අපගේ ආත්මික යුද්ධයේදීද අප බයිබලය පාවිච්චි කළ යුතුය. එපමණක්ද නොව, අප ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස, දෙවි ඉදිරියෙහි අනුමැතිය ලැබූ තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට හැකි උපරිමය කළ’ යුතුය. (2 තිමෝති 2:15) තවද, උනන්දුව දක්වන අවංක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයකට ශුද්ධ ලියවිල්ලෙන් පිළිතුරු දෙන විට අපට ඉන් ඇති වන තෘප්තිය කොතරම්ද!

සෑමවිටම යාච්ඤා කරන්න

17, 18. (අ) සාතන්ට එරෙහි වීම සඳහා යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද? (ආ) යාච්ඤාවේ වටිනාකම ගැන පෙන්වන ආදර්ශයක් දෙන්න.

17 ආත්මික යුද්ධායුධ කට්ටලය ගැන සලකා බැලුවායින් පසුව, පාවුල් තවත් වැදගත් අවවාදයක් අපට දෙයි. සාතන්ට එරෙහි වීම සඳහා ක්‍රිස්තියානීන් “සියලු ආකාරයේ යාච්ඤා සහ අයැදීම්” කළ යුතුය. කොපමණ වතාවක් එසේ කළ යුතුද? “සෑම අවස්ථාවකදීම . . . ආත්මය මාර්ගයෙන් නොකඩවා යාච්ඤා කරන්න” කියා පාවුල් ලීවේය. (එෆීස 6:18) අප වැරදි කිරීමට පෙලඹෙන විට හෝ පරීක්ෂා කරනු ලබන විට හෝ අධෛර්යයට පත් වී සිටින විට හෝ යාච්ඤා කිරීම තුළින් අපට බොහෝ සේ ශක්තිමත් විය හැකියි. (මතෙව් 26:41) යේසුස් “තමන්ව මරණයෙන් ගලවාගැනීමට හැකි වූ තැනැත්තාට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු කළේය. ඔහුගේ දේවභය නිසා ඔහුට සවන් දෙන ලදි.”—හෙබ්‍රෙව් 5:7.

18 නිදන්ගත රෝගයකින් පෙළුණු තම සැමියාව වසර 15ක් මුළුල්ලේ බලාගත් මිලාග්‍රොස් මෙසේ කියන්නීය. “මම අධෛර්යයට පත් වන වෙලාවල මම යෙහෝවාට යාච්ඤා කරනවා. ඔහුට තරම් මට පිහිට වෙන්න කිසිම කෙනෙකුට බැහැ. මට තවදුරටත් දේවල් දරාගන්නට බැහැ කියා සිතුණ අවස්ථාවන් තිබෙනවා. නමුත් මම යළි යළිත් යෙහෝවාට යාච්ඤා කරනකොට, මගේ මානසික තත්වය වඩාත් හොඳ අතට පත් වුණා කියලා මට දැනිලා තිබෙනවා.”

19, 20. සාතන්ට එරෙහිව කරන සටනින් අප ජය ලැබීමට නම් කුමක් කළ යුතුද?

19 තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව යක්ෂයා දනී. තවද අපව පරාජය කිරීමට ඔහු දරන ප්‍රයත්නයන්ද ඔහු වැඩි කරයි. (එළිදරව් 12:12, 17) අප මේ බලවත් සතුරාට එරෙහිව සිට “ඇදහිල්ලේ යහපත් සටන” කළ යුතුය. (1 තිමෝති 6:12) මේ සඳහා සාමාන්‍යය ඉක්මවූ ශක්තියක් අපට අවශ්‍යයි. (2 කොරින්ති 4:7) එමෙන්ම අපට දෙවිගේ ශුද්ධාත්මයද අවශ්‍ය වන අතර ඒ සඳහා යාච්ඤා කළ යුතුය. යේසුස් පැවසුවේ මෙසේයි. “එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙනු ඇද්ද!”—ලූක් 11:13.

20 එසේනම්, යෙහෝවා අපට සපයන යුද්ධායුධ කට්ටලය අප මුළුමනින්ම පැළඳගැනීම අත්‍යවශ්‍යය. තවද, ඇදහිල්ල සහ ධර්මිෂ්ඨකම වැනි දිව්‍ය ගුණාංග වර්ධනය කරගැනීමත් මෙම ආත්මික යුද්ධායුධ කට්ටලය පැළඳගැනීමට ඇතුළත් වෙයි. මේ අනුව, සම්පූර්ණ යුද්ධ අවි කට්ටලයක් පැළඳ සිටින සොල්දාදුවෙකු මෙන්, අපිද සත්‍යයට ප්‍රේම කොට, සෑම ප්‍රස්තාවකදීම ශුභාරංචිය දේශනා කිරීමට සෑදී පැහැදී සිටිමින්, ඉදිරියේ ඇති බලාපොරොත්තුව ගැන මනසේ තබාගෙන සිටිය යුතුය. තවද අප ආත්මයේ කඩුව දක්ෂ ලෙස පාවිච්චි කිරීමට ඉගෙනගත යුතුය. දෙවිගෙන් ලැබෙන සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳගැනීම මගින් අපට දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහිව කරන පොරබැදීමේදී ජයගත හැකි අතර, යෙහෝවාගේ ශුද්ධ නාමය නොඅනුමානව මහිමවත් කළ හැකියි.—රෝම 8:37-39.

[පාදසටහන]

^ 6 ඡේ. යෙසායාගේ අනාවැකිය තුළ යෙහෝවා තමාවම විස්තර කර තිබෙන්නේ, “ළය වැස්මක් මෙන් ධර්මිෂ්ඨකම” පැළඳගෙන සිටින කෙනෙකු ලෙසය. මේ අනුව, සභා අවේක්ෂකයන් යුක්තිය ඉෂ්ට කරමින් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කිරීම ඔහු බලාපොරොත්තු වෙයි.—යෙසායා 59:14, 15, 17.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ආත්මික යුද්ධායුධ කට්ටලය පැළඳගැනීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය සපයන්නේ කවුද? අප ඔහුගේ ආදර්ශය ඉතා හොඳින් සලකා බැලිය යුත්තේ මන්ද?

• අපට අපගේ මනස හා සිත ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

• ආත්මයේ කඩුව පාවිච්චි කිරීමේදී අපට දක්ෂ විය හැක්කේ කෙසේද?

• අප සෑම අවස්ථාවකදීම යාච්ඤා කළ යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූර]

අප ඉතා උනන්දුවෙන් බයිබලය පාඩම් කරනවා නම් සෑම අවස්ථාවකදීම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එය අපව පෙලඹවිය හැකියි

[18වන පිටුවේ පින්තූර]

අපගේ ස්ථිර බලාපොරොත්තුව අපට පරීක්ෂාවලට මුහුණ දීමට උපකාර කරයි

[19වන පිටුවේ පින්තූර]

ඔබ දේවසේවයේදී “ආත්මයේ කඩුව” පාවිච්චි කරනවාද?