Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මෝසෙස්ගේ නීතිය යටතේ විදේශිකයන් සමඟ අවාහ විවාහ කර නොගන්නා ලෙසට අණ කර තිබුණි. එසේනම් ඊශ්‍රායෙල් පුරුෂයන්ට විදේශීය වහල් ස්ත්‍රීන්ව විවාහ කරගැනීමට අවසර දුන්නේ මන්ද? ද්විතීය කතාව 7:1-3; 21:10, 11.

මේ සඳහා ඉඩහරිනු ලැබුවේ විශේෂිත තත්වයක් යටතේදීයි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙලිතයන්ට කානානියෙහි සිටි ජාතීන් හතකගේ නුවරවල් හා එහි යටත්වැසියන්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අණ කරන ලදි. (ද්විතීය කතාව 20:15-18) නමුත් වෙනත් ජාතීන් ගත් කළ එහි සිටි කන්‍යාවන්ව පමණක් ඉතුරු කළ හැකි විය. (ගණන් කතාව 31:17, 18; ද්විතීය කතාව 20:14) ඊශ්‍රායෙලිතයෙකුට එවැනි කන්‍යාවක් විවාහ කරගත හැකි වුවද ඇය පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙතක් තිබුණි.

එවැනි ස්ත්‍රියක් විසින් පිළිපැදිය යුතු පිළිවෙත් සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ පවසා තිබේ. “ඈ තමාගේ හිස මුඩු කොට නියපොතු කපා ඇගේ වහල්කමේ වස්ත්‍රය පහ කොට ඔබේ ගෙයි සිට පුරා මාසයක් ඇගේ මව්පියන් ගැන වැලපෙන්නීය. ඉන්පසු ඇය කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය. ඈද ඔබේ භාර්යාව වන්නීය.”—ද්විතීය කතාව 21:12, 13.

ඊශ්‍රායෙලිතයෙකුට වහල් කන්‍යාවක් විවාහ කරගැනීමට අවශ්‍ය නම් ඇය හිස මුඩු කළ යුතු විය. එසේ කිරීමෙන් ඇය තමාගේ ශෝකය හෝ සිත් තැවුල ප්‍රකාශ කළාය. (යෙසායා 3:24) උදාහරණයක් ලෙස කුලදෙටු යෝබ් තම දරුවන් සියලුදෙනා හා දේපොළ සියල්ලක්ම අහිමි වූ විට ඔහු ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙන් හිස මුඩු කළේය. (යෝබ් 1:20) තවද විදේශීය ස්ත්‍රිය ඇගේ ‘නියපොතු කැපිය’ යුතු විය. ඊට හේතුව ඇය නිය ආලේපන පාවිච්චි කර තිබුණත් ඇගේ අත්වලට අලංකාරයක් නොලැබෙන පිණිසයි. (ද්විතීය කතාව 21:12) වහල් කන්‍යාවක් අහක දැමිය යුතු “වහල්කමේ වස්ත්‍රය” කුමක්ද? මිථ්‍යාදෘෂ්ටික වන්දනාව පැවති නුවරවල්වල කාන්තාවන් තමන්ගේ නුවර අත් පත් කරගැනීමට විදේශීන් පැමිණෙන මොහොතේ තමන්ගේ හොඳම වස්ත්‍රය පැළඳ සිටීම සාමාන්‍ය සිරිතක්. ඔවුන් මෙසේ කළේ ඔවුන් අල්ලාගන්නවුන්ගේ සිත් දිනාගැනීමේ අටියෙනි. ශෝකය ප්‍රකාශ කරන වහල් ස්ත්‍රියක් ඇගේ එම වස්ත්‍ර ඉවත දැමිය යුතු විය.

ඊශ්‍රායෙලිතයෙකුට භාර්යාවක් වීමට සිටින වහල් ස්ත්‍රියක් ඇගේ මිය ගිය ප්‍රේමණීයයන් වෙනුවෙන් මාසයක් පුරා ශෝකය ප්‍රකාශ කළ යුතුයි. ඔවුන් යටත් කරගත් නුවරවල් සහමුලින්ම විනාශ කර දමන ලෙස දෙවි නියෝග කළා. එම විනාශය මගින් ඇගේ නෑදෑ හිතවතුන් සියලුදෙනාම මිය යන්නට ඇති බැවින් එම බැඳීම් තවදුරටත් නොපවතිනු ඇත. ඊශ්‍රායෙලිත සෙබළුන් විසින් ඇය නමස්කාර කළ දේවතා රූප සියල්ලක්ම විනාශ කරනු ලැබූ නිසා දැන් ඇයට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉන් කිසිවක් ඉතුරු වී නැත. ශෝකවීමේ මාසය ඇයට පිරිසිදු වීමේ මාසයක් විය. මේ මාසය තුළදී වහල් ස්ත්‍රිය කලින් බැඳී සිටියාවූ සියලුම ආගමික වත් පිළිවෙත්වලින් නිදහස් වනු ඇත.

එහෙත් සාමාන්‍යයෙන් විදේශීය ස්ත්‍රියකගේ තත්වය මීට වඩා වෙනස්ය. මේ සම්බන්ධයෙන් අදාළ වූයේ පහත දැක්වෙන ප්‍රතිපත්තියයි. එනම් “ඔවුන් සමඟ සරණ ගනුදෙනු නොකරන්න. ඔබේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න. ඔහුගේ දුව ඔබේ පුත්‍රයාට පාවා නොගන්න” යන්නයි. (ද්විතීය කතාව 7:3) මෙලෙස තහනම් කිරීමට හේතුව කුමක්ද? ද්විතීය කතාව 7:4හි පවසන්නේ “මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට මෙහෙ කරන පිණිස ඔබේ පුත්‍රයා මා අනුව යාමෙන් හරවාගන්නේය” යනුවෙනි. එසේ තහනම් කළේ ඊශ්‍රායෙලිතයන්ව අනිකුත් ආගම්වලින් දූෂ්‍ය වීමෙන් වළක්වාගැනීම සඳහායි. කෙසේවෙතත් ද්විතීය කතාව 21:10-13හි සඳහන් කර තිබෙන විදේශීය වහල් ස්ත්‍රියකගෙන් එවැනි අවදානමක් එල්ල වුණේ නැත. ඇගේ සියලුම ඥාතීන් මිය ගොස්ය. ඇගේ දෙවිවරුන් නියෝජනය කළාවූ සියලුම පිළිම විනාශ වී හමාරය. ඇයට බොරු ආගම අදහන්නන් සමඟ කිසිම සම්බන්ධයක් නැත. එවැනි තත්වයක් යටතේදී ඊශ්‍රායෙලිතයෙකුට විදේශීය ස්ත්‍රියක් විවාහ කරගැනීමට අවසර ලැබුණි.