Skip to content

පටුනට යන්න

“සමුදුරේ ඇති සම්පත”

“සමුදුරේ ඇති සම්පත”

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

“සමුදුරේ ඇති සම්පත”

හිරු අවරට බැස යන විට ඇති වන්නාවූ සිහින් සුළඟින් සසල වන රැළි හීන් සීරුවේ වෙරළ සිප ආපසු යයි. රළ පෙරළමින් හැපෙමින් නංවන හඬ මෙහි විවේකී සුවය බලාපොරොත්තුවෙන් පැමිණෙන අයගේ නෙත් සිත් ඇද බැඳ තබාගැනීමට සමත් වෙයි. *

සැතපුම් දහස් ගණන් ඈතට විහිදී තිබෙන එවන් මුහුදු තීරු ලෝ වටා දක්නට තිබෙනවා. මුහුද සහ ගොඩබිම වෙන් කරන මෙම මුහුදු තීරු නිතර නිතර වෙනස් වීම්වලට ලක් වුවත් ඒවා මුහුදේ සීමා මායිම් කෙරෙහි බලය පවත්වයි. මැවුම්කරු මුහුදු තීරු නිර්මාණය කළේ එලෙස පැවතීමටයි. දෙවි තමන් ගැනම කතා කරමින් මම “වැල්ල පසු කර නොයන ලෙස සදාකාල නියමයකින් මුහුදේ සීමාවට වැලි තැබුවා . . . එහි රළ ගසන නමුත් ජයගන්ට බැරිය; ඒවා ගුගුරන නමුත් පසු කර යන්ට බැරියයි” කියා පැවසුවා.—යෙරෙමියා 5:22; යෝබ් 38:8; ගීතාවලිය 33:7.

අපේ පෘථිවිය තරම් ජලයෙන් වැසී තිබෙන ග්‍රහ වස්තුවක් මුළු සෞරග්‍රහ මණ්ඩලයේම නැහැ. අපේ ලෝක ගෝලයේ සියයට 70කටත් වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසී තිබෙනවා. යෙහෝවා මිනිස් වාසය සඳහා පොළොව සකස් කිරීමේදී, “අහස යට තිබෙන ජලය එක් තැනකට රැස් වේවා; වියළි බිම පෙනේවයි කීවේය.” අවසානයේදී “ඒ එසේ විය.” එම වාර්තාවේ තවදුරටත් කියන්නේ “දෙවි, වියළි බිමට පොළොවය කියාද රැස් වූ ජලයට සමුද්‍රය කියාද නම් තැබුවේය. දෙවි එය යහපත් බව දුටුවේය” කියායි. (උත්පත්ති 1:9, 10) සාගරවලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවා සාගර නිර්මාණය කර තිබෙන්නේ ජීවිත පැවැත්ම සඳහා විශිෂ්ට ආකාර කිහිපයකින් දායක වන පිණිසයි. උදාහරණයක් ලෙස ජලයට තාපය රඳවාගැනීමේ හැකියාව තිබෙනවා. එබැවින් සාගරය සුවිශාල තාප රඳවනයක් ලෙස ක්‍රියා කරමින් සීත කාලයේදී මුහුදේ සිසිල් ජලය උණුසුම්ව තබාගැනීමට උපකාරවත් වෙනවා.

ජීවිත පැවැත්ම සඳහා ජලය දායක වන තවත් ක්‍රමයක් තිබෙනවා. වෙනත් කිසිම ද්‍රවයකට වඩා දේවල් දිය කිරීමේ හැකියාව ජලයට තිබෙනවා. ජීවිත පවත්වාගැනීමට හැකි වී තිබෙන්නේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවීම නිසයි. එලෙස ප්‍රතික්‍රියා කරන ද්‍රව්‍ය දිය කිරීමෙන් ඒවායේ අණු එකිනෙක සමඟ ගැටීමට සැලැස්වීමට ජලය අවශ්‍යයි. ජීව පටකවල අඩංගු රසායනික සංයෝග බොහොමයක ජලය අඩංගුයි. එක් ග්‍රන්ථයක පෙන්නුම් කරන පරිදි (The Sea) “සෑම ආකාරයකම ජීවියෙකුගේ පැවැත්ම සඳහා ජලය අවශ්‍යයි. ගොඩබිම වෙසෙන සෑම සතෙකුට මෙන්ම ශාකවලටද අවශ්‍ය ජලය ලැබෙන්නේ සාගරයෙනි”

වායුගෝලය පිරිසිදු කිරීමේදීද වැදගත් කාර්යභාරයක් සාගරවලින් ඉටු වෙයි. සාගරයේ ප්ලවාංග නමින් හැඳින්වෙන ක්ෂුද්‍ර ජීවීන් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් මුදාහරිනවා. එක් පර්යේෂකයෙකු පවසන පරිදි “සෑම වසරකම වායුගෝලයට මුදාහරිනු ලබන ඔක්සිජන්වලින් සියයට 70ක්ම නික්ම එන්නේ මුහුදේ තිබෙන ප්ලවාංගවලිනි.”

ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා සාගරවලින් ඖෂධ ලබාගත හැකියි. සියවස් ගණනාවක් පුරා මත්ස්‍ය කොටස් බෙහෙත් ලෙස පාවිච්චි කර තිබෙනවා. මෝර තෙල් බොහෝ කාලයක් තිස්සේ පාවිච්චි වන දෙයක්. මෑතකදී මත්ස්‍යයන්ගෙන් හා වෙනත් මුහුදු ජීවීන්ගෙන් ලබාගන්නාවූ රසායනික ද්‍රව්‍යයන් ඇදුම රෝගය මෙන්ම වයිරස් හා පිළිකා රෝග සඳහාද ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරනවා.

සාගරයේ තිබෙන ද්‍රව්‍ය හා එයින් ලැබෙන සේවාවන්වල මූල්‍යමය වටිනාකම තක්සේරු කිරීමට ප්‍රයත්න දරා තිබෙනවා. ඒ සම්බන්ධව නිවැරදි නිගමනයකට එළඹිය නොහැකි වුවද, පරිසර පද්ධතියෙන් සිදු වන සේවාවන්ට තුනෙන් දෙකක දායකත්වය ලබා දෙන්නේ සාගරවලින් බව පර්යේෂකයන් ගණන් බලා තිබෙනවා. මුහුදු මවා තිබෙන්නේ යම් අරමුණක් සඳහායි. එනම් එය ජීවීන්ගේ පැවැත්මට හා අවශ්‍යතාවන්ට දායක වන බව මෙයින් කදිමට තහවුරු වෙයි. “සමුදුරේ ඇති සම්පත” කියා බයිබලයේ සඳහන් කරන දෙය මේ සමඟ මොන තරම් හොඳින් ගැළපෙනවාද!—ද්විතීය කතාව [ද්විතීය නීති සංග්‍රහය] 33:19, නව අනුවාදය.

මෙම සම්පතේ විශිෂ්ට නිර්මාතෘවරයා හා සෑදුම්කරු ලෙස කීර්තිය හිමි වන්නේ යෙහෝවාටයි. නෙහෙමියා මෙලෙස ඔහුව ප්‍රශංසා කිරීමට පෙලඹුණා. “ඔබ පමණක්ම යෙහෝවාය; ඔබ ස්වර්ගය, . . . මුහුද සහ එහි ඇති සියල්ලද මවා ඒ සියල්ල රක්ෂා කරන්නේය.”—නෙහෙමියා 9:6.

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ සැප්තැම්බර්/ඔක්තෝබර් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූර]

ජලය, සුළඟ හා රැළි

ජලය හා සුළඟ විශාල රැළි ඇති කිරීමට හේතු වන අතර ඒවා කන් බිහිරි කරවන තරම් මහත් ශබ්දයකින් ගල්පර මත හැපී කැඩී බිඳී යයි. මෙහි දක්නට තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ එවැනි දර්ශනයක්. මුහුදු රැළි තමන්ගේ මහත් වූ බලය පාමින් එහි අසිරිය නංවාලීමට සැමදා සමත් වෙලා තිබෙනවා. ඒවා දෙවිගේ මහිමාන්විත බලය අපට පුදුමාකාර ලෙස මතක් කර දෙයි. යෙහෝවා “මුහුද රැළ පිට ගමන් කරන්නේය.” ඒ වගේම ඔහු “ඔහුගේ බලයෙන් මුහුද කලඹා තමන්ගේ නුවණින් [පහර දෙන්නාව කැබලි කරන්නේය, NW]” (යෝබ් 9:8; 26:12) ඇත්තවශයෙන්ම “මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස් ස්ථානයෙහි යෙහෝවා බලවත්ය.”—ගීතාවලිය 93:4.

වැල්ලේ තැනෙන කඳු

මුහුදු වෙරළ බොහෝවිට වැලි කඳු ඇතිවීම සඳහා හොඳ පසුබිමක් වෙයි. හරියට මෙහි දක්නට තිබෙන දකුණු අප්‍රිකාවේ නැමීබියා වෙරළේ තැනී ඇති වැලි කඳු වගේයි. වැල්ලේ මෙවැනි විශේෂ හැඩයන් සකස් වීමට මූලිකවම දායක වන්නේ සුළඟයි. සමහර තැන්වල කුඩා වැලි ගොඩවල් ඇති වන අතර තවත් සමහර තැන්වල මීටර 400ක් පමණ උසට වැලි කඳු සෑදෙයි. මෙවන් විශාල වැලි ප්‍රමාණයක් ගැන කල්පනා කරද්දී, බයිබලයේ සඳහන් වන “මුහුදු වෙරළෙහි වැලි” යන යෙදුම තේරුම්ගැනීම අපට පහසු වෙයි. එම යෙදුමෙන් ඇඟවෙන්නේ ගණන් කළ නොහැකි එමෙන්ම මනින්න බැරි තරම් ප්‍රමාණයක් යන අදහසයි. (උත්පත්ති 22:17) කැලඹිලි සහිත මුහුද ගොඩ ගැලීම වැළැක්වීමට බුද්ධිමත් ලෙස පස් බැමි සැලසුම් කළ මැවුම්කරු ගැන අප තුළ ඇති වන්නේ පුදුමාකාර හැඟීමක් නෙවේද!

[9වන පිටුවේ පින්තූරය]

කැමරූන්හි බියාෆ්‍රා මුහුදු තීරයේ හිරු බැස යන අයුරු