Skip to content

පටුනට යන්න

ස්වාමීන්ගේ යාච්ඤාවේ අර්ථය

ස්වාමීන්ගේ යාච්ඤාවේ අර්ථය

ස්වාමීන්ගේ යාච්ඤාවේ අර්ථය

යේසුස් ක්‍රිස්තුස් කන්ද උඩ දේශනයේදී කියා දුන් ස්වාමීන්ගේ යාච්ඤාව බයිබලයේ මතෙව් 6වන පරිච්ඡේදයේ 9 සිට 13 දක්වා තිබෙන ඡේද තුළ වාර්තා වී තිබෙනවා. මෙම යාච්ඤාව කියා දීමට පෙර යේසුස් මෙහෙම දෙයක් කීවා. “ඔබ යාච්ඤා කරන විට, අන්‍යජාතීන් මෙන් එකම දේ නැවත නැවතත් නොකියන්න. තමන් පවසන වචන රාශිය නිසා ඔවුන්ට සවන් දෙනු ඇතැයි ඔවුහු සිතති.”—මතෙව් 6:7.

එහෙමනම් යේසුස්, ස්වාමීන්ගේ යාච්ඤාවේ වචන ඒ විදිහටම කටපාඩමෙන් කීමක් අදහස් නොකළ බව පැහැදිලියි. ඔහු මෙම යාච්ඤාව තවත් අවස්ථාවක වෙනත් ශ්‍රාවක පිරිසකගේ ප්‍රයෝජනය උදෙසා නැවත කී බව ඇත්තයි. (ලූක් 11:2-4) නමුත්, මතෙව් සහ ලූක් සුවිශේෂ තුළ එම යාච්ඤාවේ වචනවල යම් යම් වෙනස්කම් තිබෙනවා. ඇරත් යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් පසුව කළ යාච්ඤාවලදී ආදර්ශ යාච්ඤාවේ වචනවලට ඇලී සිටියේ නැහැ.

එසේනම්, ස්වාමීන්ගේ යාච්ඤාව බයිබලයේ වාර්තා කර තිබෙන්නේ ඇයි? ඇත්තෙන්ම, මෙම ආදර්ශ යාච්ඤාව මගින් අප දෙවිට පිළිගත හැකි ආකාරයේ යාච්ඤාවන් ඔප්පු කරන්නේ කොහොමද කියලා යේසුස් අපට උගන්වනවා. ඒ වගේම මෙම යාච්ඤාවෙන් අපගේ ජීවිතයට සම්බන්ධ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරුද අපට සොයාගත හැකියි. එම නිසා අපි ස්වාමීන්ගේ යාච්ඤාවේ එක් එක් වගන්තිය සලකා බලමු.

දෙවිගේ නම කුමක්ද?

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙව් 6:9) ආදර්ශ යාච්ඤාවේ මෙම ආරම්භක වචනවලින් දෙවිට “අපගේ පියාණෙනි” කියා අමතන නිසා ඔහුට ළංවීමට අපට උපකාර කරනවා. දරුවෙක් තමන්ට ආදරය කරන, තමන්ව තේරුම්ගන්න දෙමාපියෙකු වෙතට ළං වන්නේ නිතැතින්මයි. එයාකාරයෙන්ම අපගේ ස්වර්ගික පියාණන් අපට ඇහුම්කන් දීමට කැමැත්තෙන් සිටිනවාය යන විශ්වාසයෙන් යුතුව ඔහු වෙතට ළං වෙන්න අපටත් හැකියි. “යාච්ඤා අසන්නාණෙනි, මාංසය වූ සියල්ලෝ ඔබ වෙතට පැමිණෙන්නෝය” කියා දාවිත් රජ ගායනා කළා.—ගීතාවලිය 65:2.

දෙවිගේ නාමය විශුද්ධ වේවා කියා යාච්ඤා කිරීමට යේසුස් අපට උපදෙස් දෙනවා. ඒත් දෙවිගේ නම මොකක්ද? බයිබලය එයට මෙයාකාරයෙන් පිළිතුරු සපයනවා. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස් බව ඔවුන් දැනගන්නවා ඇත.’ (ගීතාවලිය 83:17) ඔබ කවදා හෝ යෙහෝවා යන නම බයිබලයෙන් කියවා තිබෙනවාද?

ඇත්තටම, යෙහෝවා යන නාමය පුරාණ බයිබල් අත්පිටපත්වල 7,000 වාරයකට වඩා සඳහන් වී තිබෙනවා. ඒත්, සමහර පරිවර්තකයන් තම පරිවර්තනවලින් මෙම නාමය ඉවත් කිරීමට තරම් එඩිතර වී තිබෙනවා. එම නිසා, ඔහුගේ නාමය විශුද්ධ කරන්න නැතහොත් එයට ලැබිය යුතු ගෞරවය ලැබෙන්න සලස්වන්න කියා අපගේ මැවුම්කරුට යාච්ඤා කිරීම සාධාරණයි. (එසකියෙල් 36:23) ස්වාමීන්ගේ යාච්ඤාවට එකඟව කටයුතු කළ හැකි එක් ක්‍රමයක් නම් දෙවිට යාච්ඤා කරන විට යෙහෝවා යන නාමය භාවිත කිරීමයි.

පැට්‍රීෂා නමැති කාන්තාව හැදී වැඩුණේ කතෝලික භක්තිකයෙක් ලෙසයි. එම නිසා ඇයට ස්වාමීන්ගේ යාච්ඤාව හොඳට හුරු පුරුදුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඇයට බයිබලයේ සඳහන්ව ඇති දෙවිගේ නාමය පෙන්නූ විට ඇය ප්‍රතික්‍රියා කළේ කොහොමද? “මට අදහගන්න බැරුව ගියා!” කියා ඇය පුදුමයෙන් කිව්වා. “මම මගේ බයිබලයෙනුත් බැලුවා. ඒකෙත් ඒ නම තිබුණා. ඊටපස්සේ සාක්ෂිකරුවා මතෙව් 6:9, 10 මට පෙන්වලා දෙවිගේ නාමය ස්වාමීන්ගේ යාච්ඤාවට සම්බන්ධ වෙලා තිබෙන ආකාරය පැහැදිලි කළා. ඇත්තටම, මට ලොකු සතුටක් දැනුණා. මම ඇයට කිව්වා බයිබලයේ තිබෙන දේවල් මටත් උගන්වන්න කියලා.”

දෙවිගේ කැමැත්ත පොළොවේ සිදුවීම

“ඔබගේ රාජ්‍ය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10) යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ මේ කොටස ඉටු වෙන්නේ කොහොමද? හුඟදෙනෙක් හිතන්නේ ස්වර්ගය යනු සාමකාමී හා නිස්කලංක තැනක් කියායි. ශුද්ධ ලියවිලිවල ස්වර්ගය විස්තර කර තිබෙන්නේ “ශුද්ධකම සහ තේජසේ වාසස්ථානය” ලෙසයි. (යෙසායා 63:15) මේ හේතුව නිසයි අප දෙවිගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන්” පොළොවෙහිද ඉටු වෙන්න කියා යාච්ඤා කරන්නේ. නමුත් මෙය සිදු වන්නේ කොහොමද?

යෙහෝවාගේ අනාගතවක්තෘ කෙනෙක් වූ දානියෙල් මෙසේ පුරෝකථනය කළා. “ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒ රාජ්‍යයේ තමන් රජකම අන් සෙනඟකට අත් නෑර මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.” (දානියෙල් 2:44) මෙම ස්වර්ගික රාජ්‍යය හෝ ආණ්ඩුව, ධර්මිෂ්ඨ පාලනයක් යටතේ ලෝක ව්‍යාප්ත සාමය ගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගනු ලබයි.—2 පේතෘස් 3:13.

දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියාත් ඔහුගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියාත් යාච්ඤා කිරීම ඇදහිල්ල ප්‍රකාශ කිරීමක්. එවන් ඇදහිල්ලක් අපව බලාපොරොත්තු සුන් තත්වයකට පත් කරන්නේ නැහැ. ප්‍රේරිත යොහන් මෙසේ ලීවා. “සිංහාසනය කෙරෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසුණේය. ‘බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’” ඊළඟට යොහන් මේ දේත් සඳහන් කළා. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ කීවේය. . . . ‘ලියන්න. මන්ද මේ වචන විශ්වසනීයය, සැබෑය.’”—එළිදරව් 21:3-5.

ශාරීරික අවශ්‍යතා ගැන යාච්ඤා කිරීම

යේසුස් ආදර්ශ යාච්ඤාවෙහි කියූ දෙයින් ඔහු පෙන්නුම් කළේ අප යාච්ඤා කරන විට අපගේ මූලික සැලකිල්ල දෙවිගේ නාමයට හා කැමැත්තට යොමු විය යුතු බවයි. නමුත් එම යාච්ඤාවේ යෙහෝවාගෙන් අයැදිය හැකි පෞද්ගලික ඉල්ලීම්ද සඳහන් කර තිබෙනවා.

මෙයින් පළමු එක නම් “අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න” යන ඉල්ලීමයි. (මතෙව් 6:11) මෙය සැප සම්පත් ඉල්ලා කරන අයැදුමක් නොවෙයි. යේසුස් උනන්දු කළේ “අපට දිනපතා අවශ්‍ය භෝජනය එදින අපට දෙන්න” කියා යාච්ඤා කරන ලෙසයි. (ලූක් 11:3) ස්වාමීන්ගේ යාච්ඤාවට එකඟව, අප දෙවිට ප්‍රේම කරනවා නම් හා කීකරු වෙනවා නම් දෙවි අපගේ දෛනික අවශ්‍යතා ලබා දෙයි කියා ඇදහිල්ලෙන් ඔහුට යාච්ඤා කරන්න පුළුවන්.

ආර්ථික ප්‍රශ්න ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වීම, ආත්මික දේවල් සපුරාගැනීම සඳහා අප තුළ තිබෙන අවශ්‍යතාව නොසලකාහැරීමට හේතුවක් වෙයි. එවිට දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට අපට නොහැකි වෙනවා. නමුත් අප දෙවිට පිරිනමන නමස්කාරය අපගේ ජීවිතයේ පළමු තැනට දැමූ විට අප ද්‍රව්‍යමය අවශ්‍යතා වන කෑම, ඇඳීම වැනි දේවල් සඳහා කරන අයැදීම් දෙවි අසයි කියා අපට ස්ථිර විය හැකියි. යේසුස් පැවසුවේ, “පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” කියායි. (මතෙව් 6:26-33) අපි පව්කාරයන් නිසා සමාව ලැබීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. ඒ නිසා ධර්මිෂ්ඨකම සෙවීම අභියෝගයක් විය හැකියි. (රෝම 5:12) ඒ ගැනත් ස්වාමීන්ගේ යාච්ඤාවෙහි සඳහන් වෙනවා.

සමාව ඉල්ලා යාච්ඤා කිරීම

“අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.” (මතෙව් 6:12; ලූක් 11:4) යෙහෝවා දෙවි අපේ පව්වලට ඇත්තටම සමාව දෙයිද?

පුරාණ ඊශ්‍රායෙලයේ දාවිත් රජ බරපතළ පාප කර තිබුණත් ඔහු පසුතැවිලි වී විශ්වාසයෙන් යුතුව මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා, ඔබ යහපත්ය. කමා වන්නට සූදානම්ව සිටින්නේය. ඔබට අඬගසන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.” (ගීතාවලිය 86:5) පසුතැවිලි වී ඔහුගේ නාමයට යාච්ඤා කරන අයගේ පව් අපේ ස්වර්ගික පියා සම්පූර්ණයෙන්ම ‘කමා කරන්නට සූදානම්.’ මෙය මොන තරම් සැනසීමක්ද!

කොහොම නමුත්, යේසුස් කොන්දේසියක් සඳහන් කළා. දෙවිගෙන් සමාව ලැබීමට නම් අපත් අන් අයට සමාව දිය යුතුයි. (මතෙව් 6:14, 15) ධර්මිෂ්ඨ මිනිසෙක් වූ යෝබ්ගේ මිතුරන් ඔහුට අයුතු ලෙස සැලකුවත් ඔහු ඔවුන්ට සමාව දුන් අතර ඔවුන් වෙනුවෙන් යාච්ඤාද කළා. (යෝබ් 42:10) අපත් අපට විරුද්ධව පව් කර ඇති අයට සමාව දෙනවා නම් අපි දෙවිව සතුටට පත් කරන අතර ඔහුගේ දයාවෙන් ප්‍රයෝජනද ලබන්නෙමු.

අපගේ කන්නලව් ඇසීමට දෙවි කැමති නිසා ඔහුගේ අනුමැතිය දිනාගැනීම සඳහා දේවල් කිරීමට එය අපව පෙලඹවිය යුතුයි. අප අසම්පූර්ණ වුණත් ඔහුගේ අනුමැතිය අපට දිනාගත හැකියි. (මතෙව් 26:41) ඒ සඳහාත් අපට උපකාර කරන්න යෙහෝවාට පුළුවන්. එය යේසුස් ආදර්ශ යාච්ඤාව අවසානයේ පෙන්වූ වැදගත් ඉල්ලීමෙන් අපට දැකගත හැකියි.

ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම සඳහා යාච්ඤා කිරීම

“අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙව් 6:13) අප තුළ වරදක් කිරීමට පෙලඹීමක් එන විට යෙහෝවා අපව තනි කරන්නේවත් පාපයට වැටෙන්න සලස්වන්නේවත් නැහැ. ඔහුගේ වචනයේ මෙසේ සඳහන් කරනවා. “නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” (යාකොබ් 1:13) අප වරදට පෙලඹෙන විට දෙවි එයට ඉඩහැරියත් සාතන් නමැති මහා පරීක්ෂකයා වන “නපුරාගෙන්” අපව ගලවාගැනීමට ඔහුට පුළුවන්.

සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ප්‍රේරිත පේතෘස් උදක්ම ඉල්ලා සිටියේ “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) පරිපූර්ණ මිනිසෙක් වූ යේසුස්වත් සාතන් පරීක්ෂා කළා! යක්ෂයාගේ ඉලක්කය වුණේ කුමක්ද? ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය කළේ යෙහෝවා දෙවිට පරිශුද්ධ නමස්කාරය පිරිනැමීමෙන් යේසුස්ව වළක්වාලීමටයි. (මතෙව් 4:1-11) ඔබ දෙවිට සේවය කිරීමට මාර්ග සොයනවා නම් ඔබවත් ගිල දැමීමට තමයි සාතන් මාන බලන්නේ!

යක්ෂයා තමන් යටතේ තිබෙන ලෝකය යොදාගෙන දෙවිව අසතුටට පත් කරන දේවල්වලට හවුල් කරගැනීම සඳහා අපව පරීක්ෂාවට ලක් කළ හැකියි. (1 යොහන් 5:19) එනිසා අප නොකඩවා දෙවිගෙන් උපකාර පැතීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අප පරීක්ෂාවක් දිගින් දිගටම අද්දකිමින් සිටින විට උපකාර පැතීම ඉතා වැදගත්. අප දේවානුභාවය ලත් වචනය වන බයිබලයට අනුකූලව යෙහෝවාට නමස්කාර කරනවා නම් යක්ෂයාට විරුද්ධව සිටීමට උපකාර කරමින් ඔහු අපව ගලවාගනියි. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 10:13.

දෙවි කෙරෙහි ඇදහිල්ල අත්‍යවශ්‍යයි

අපි හැම කෙනෙක් ගැනම අපගේ ස්වර්ගික පියා උනන්දු වෙනවා කියා දැනගැනීම සිතට මොන තරම් ප්‍රබෝධයක් ඇති කරන දෙයක්ද! ඔහු තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ලවා යාච්ඤා කරන ආකාරය පවා අපට කියා දුන්නා. යෙහෝවා දෙවිව සතුටු කරන්න මෙම කාරණයම හේතුවක් වන බව නිසැකයි. අප එය කරන්නේ කොහොමද?

“ඇදහිල්ල නැතිව කිසිසේත් [දෙවිව] සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 11:6) එවන් ඇදහිල්ලක් ඇති කරගන්නේ කොහොමද? “ඇදහිල්ල පැමිණෙන්නේ අසන්න ලැබුණ දේට පසුවය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 10:17) සැබෑ ඇදහිල්ලකින් දෙවිට සේවය කිරීමට ආශාවක් ඇති අයට බයිබලයේ තිබෙන කාරණා ඉගැන්වීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටියි.

ස්වාමීන්ගේ යාච්ඤාව ගැන සඳහන් මෙම ලිපි තුළින් එම යාච්ඤාවේ අර්ථය ගැන ඔබේ අගය වැඩි වන්නට ඇතැයි අපි සිතනවා. යෙහෝවා ගැනත් “ඔහුව ඕනෑකමින් සොයන අයට” ඔහු ආශීර්වාද කරන ආකාරය ගැනත් තවදුරටත් දැනගැනීමෙන් ඔබට දෙවි කෙරෙහි තිබෙන ඇදහිල්ල ශක්තිමත් කරගත හැකියි. දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් තව තවත් ඉගෙනීමෙන් ඔබගේ ස්වර්ගික පියා සමඟ සදාකාලයටම ඉතා කිට්ටු සබඳතාවක් භුක්ති විඳීමට ඔබට හැකි වේවා!—යොහන් 17:3.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා. අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” —මතෙව් 6:9-13

[7වන පිටුවේ පින්තූරය]

යෙහෝවා තමන්ට ප්‍රේම කරන අයගේ අවශ්‍යතා සපුරාලයි

[7වන පිටුවේ පින්තූරය]

යක්ෂයාට විරුද්ධව සිටීමටත් දෙවි අපට උපකාර කරනවා

[7වන පිටුවේ පින්තූරය]

යෝබ් වගේ අපට විරුද්ධව පව් කරන අයට අපත් සමාව දෙනවා නම් අපට දෙවිගෙන් දයාව ලැබෙයි