Skip to content

පටුනට යන්න

‘ස්වාමීන් තුළ වඩ වඩාත් බලවත් වන්න’

‘ස්වාමීන් තුළ වඩ වඩාත් බලවත් වන්න’

‘ස්වාමීන් තුළ වඩ වඩාත් බලවත් වන්න’

“ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න.”—එෆීස 6:10.

1. (අ) මීට වසර 3,000කට පමණ පෙර සිදු වූ සුවිශේෂී සටන කුමක්ද? (ආ) දාවිත් ජයග්‍රහණය ලැබුවේ මන්ද?

මීට වසර 3,000කට පමණ ඉහත, එකිනෙකා සමඟ සටන් කරමින් සිටි ප්‍රතිවිරුද්ධ හමුදා දෙකකට අයත් සටන්කාමීන් දෙදෙනෙක් යුධ පිටියේ එකිනෙකාට මුහුණ ලා සිටියහ. ඔවුන් දෙදෙනාගෙන් බාල තැනැත්තාගේ නම දාවිත් වූ අතර ඔහු එඬේර කොළුවෙක් විය. ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ අසාමාන්‍ය ශක්තියකින් හා උසකින් හෙබි ගොලියත්ය. ඔහුගේ යුද්ධ ඇඳුමේ බර කිලෝග්‍රෑම් 57ක් වූ අතර, ඔහුට ඉතා විශාල පලිහක් සහ විශාල කඩුවක් තිබිණ. දාවිත් කිසිම යුද්ධ ඇඳුමක් පැළඳ සිටියේ නැත. ඔහුගේ එකම ආයුධය වූයේ ගල් පටියක් පමණි. තමාට විරුද්ධව සටනට ආ ඊශ්‍රායෙලිතයා නිකම්ම නිකම් කොලුගැටයෙකු වීම පිලිස්තීය යෝධයාට හැඟුණේ තමාට කරන ලද අපහාසයක් විදිහටයි. (1 සාමුවෙල් 17:42-44) දෙපැත්තේම බලා සිටිය අයට පෙනී ගිය කාරණයක් නම්, දාවිත් අනිවාර්යයෙන්ම පරාජය වන බවත්, ගොලියත්ට ජය නියත බවත්ය. නමුත් සටනකදී නිතරම ජයගන්නේ සවිය නොහොත් බලය ඇත්තාම නොවේ. (දේශනාකාරයා 9:11) දාවිත් ජය ලැබුවේ ඔහු යෙහෝවාගේ ශක්තියෙන් සටන් කළ නිසයි. “සටන යෙහෝවාගේය” යන්න ඔහු පැවසීය. “දාවිත් ගල් පටිය හා ගලකින් පිලිස්තියයා පරදවා පිලිස්තියාට ගසා ඔහු මැරුවේය” කියා බයිබල් වාර්තාව කියයි.—1 සාමුවෙල් 17:47, 50.

2. ක්‍රිස්තියානීන් නිරතව සිටින්නේ කිනම් ආකාරයක සටනකද?

2 ක්‍රිස්තියානීහු යුද්ධවලදී සටන් නොකරති. ඔවුන් සියලු මිනිසුන් සමඟ සිටින්නේ සමාදානයෙනි. එනමුත් ඔවුහු ඉතා ප්‍රබල විරුද්ධවාදීන් සමඟ ආත්මික යුද්ධයක සටන් වදිති. (රෝම 12:18) එෆීසවරුන්ට ලියන ලද ලිපියේ අවසාන පරිච්ඡේදයේ, පාවුල් සෑම ක්‍රිස්තියානියෙකුම නිරත වී සිටින සටනක් ගැන කතා කළේය. ඔහු ලීවේ මෙසේයි. “අපට තිබෙන පොරබැදීම රුධිරයටවත් මාංසයටවත් විරුද්ධව නොව, ආණ්ඩුවලට විරුද්ධවය. අධිකාරවලට විරුද්ධවය. මේ අන්ධකාරයේ ලෝක පාලකයන්ට විරුද්ධවය. ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය.”—එෆීස 6:12.

3. එෆීස 6:10ට අනුව අපගේ ජයග්‍රහණය සහතික කිරීම පිණිස අපට අවශ්‍ය වන්නේ කුමක්ද?

3 එම “දුෂ්ට ආත්ම සමූහය” වනාහි සාතන් සහ භූතයන්ය. ඔවුන් වෑයම් කරන්නේ යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධය විනාශ කිරීමටයි. ඔවුන් අපට වඩා බොහෝ සෙයින් ශක්තිමත් බැවින්, අප සිටින්නේ දාවිත් සිටි තත්වයට සමාන තත්වයකය. ඇරත්, අප දෙවි දෙන ශක්තිය මත රඳා සිටින්නේ නැත්නම් අපට සාර්ථක විය නොහැකියි. ඇත්තවශයෙන්ම, පාවුල් අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න” කියායි. (එෆීස 6:10) එම උපදෙස දුන්නායින් පසුව, ප්‍රේරිතවරයා අපට ජයග්‍රහණය ලබා දීමට උපකාරවත් වන ආත්මික සැපයුම් ගැන සහ ක්‍රිස්තියානි ගුණාංග ගැන කතා කරයි.—එෆීස 6:11-17.

4. මේ ලිපියේදී අප සලකා බලන්නේ කිනම් ප්‍රධාන කරුණු දෙකද?

4 අපගේ සතුරාට තිබෙන හැකියාවන් සහ ඔහුගේ උපක්‍රම ගැන ශුද්ධ ලියවිලිවල පවසන දේ දැන් අපි සලකා බලමු. අපවම ආරක්ෂා කරගැනීමට අප විසින් අනුගමනය කළ යුතු ආරක්ෂක උපක්‍රම ගැන අපි ඊළඟට සලකා බලමු. අප යෙහෝවාගේ උපදෙස් අනුගමනය කරනවා නම්, අපගේ සතුරන් ජය නොලබන බව අපට සහතික විය හැකියි.

දුෂ්ට ආත්ම සමූහයකට එරෙහිව පොරබැදීමක්

5. එෆීස 6:12හි “පොරබැදීම” යන යෙදුම යොදා තිබෙන නිසා අපට සාතන්ගේ ඉලක්කය හඳුනාගැනීමට එය උපකාරවත් වෙන්නේ කෙසේද?

5 පාවුල් පැහැදිලි කරන්නේ “අපට තිබෙන පොරබැදීම . . . ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධව” බවයි. මොවුන් අතුරින් ප්‍රධානතම සතුරා නම් “ භූතයන්ගේ පාලකයා වන” සාතන් නමැති යක්ෂයාය. (මතෙව් 12:24-26) අපගේ සටන “පොරබැදීමක්” ලෙස බයිබලයේ විස්තර කෙරේ. වෙනත් වචනවලින් කිවහොත් එය මල්ලව පොරයක් බඳුය. ඉපැරණි ග්‍රීසියේ මල්ලව පොර තරඟවලදී, තරඟකරුවන් උත්සාහ කළේ තමාගේ ප්‍රතිවාදියාගේ සමබරතාව නැති කර ඔහුව බිම හෙළීමටයි. ඒ හා සමානව, යක්ෂයාට වුවමනා කරන්නෙත් අපගේ ආත්මික සමබරතාව නැති කිරීමටයි. ඔහු එය කරන්නේ කෙසේද?

6. අපගේ ඇදහිල්ල අඩපණ කිරීමට විවිධ උපක්‍රම යොදාගැනීමට සාතන්ට හැකි බව ශුද්ධ ලියවිලිවලින් පෙන්වන්න.

6 යක්ෂයාට සර්පයෙකු ලෙස, ගොරවන සිංහයෙකු ලෙස හෝ ආලෝකයේ දූතයෙකු ලෙස ක්‍රියා කරන්නට පුළුවනි. (2 කොරින්ති 11:3, 14; 1 පේතෘස් 5:8) උදාහරණයකට මිනිසුන්ව යොදාගෙන අපට පීඩා කරන්නට හෝ අපව අධෛර්යයට පත් කරන්නට හෝ ඔහුට හැකියි. (එළිදරව් 2:10) මීට අමතරව මුළු ලෝකයම සාතන්ගේ අණසක යටතේ තිබෙන බැවින් ලෝකයේ තිබෙන ආකර්ෂණීය දේවල් සහ මිනිස් ආශාවන් ප්‍රයෝජනයට ගනිමින් අපව හසුකරගන්නට ඔහුට ක්‍රියා කළ හැකියි. (2 තිමෝති 2:26; 1 යොහන් 2:16; 5:19) තවද, ඒවව රැවටුවාක් මෙන්ම, අපවද රැවටීමට ලෞකික අදහස් හෝ ඇදහිල්ලට එරෙහිව කැරලිගැසූවන්ගේ අදහස් යොදාගැනීමට ඔහුට හැකියි.—1 තිමෝති 2:14.

7. භූතයන්ට තිබෙන සීමා හා ඔවුන්ගේ ප්‍රහාරවලට එරෙහිව සිටීම සඳහා අපට උපකාරවත් වන දේවල් මොනවාද?

7 සාතන්ගේ සහ ඔහුගේ භූතයන්ගේ යුධ අවි සහ ඒවායේ බලය ඉතා ප්‍රබල බවක් පෙනෙන්නට තිබුණද, ඒවාට සීමා තිබේ. අපගේ ස්වර්ගික පියාණන්ව අසතුටු කරවන නපුරු දේවල් කිරීමට අපට බල කිරීමට මෙම දුෂ්ට ආත්මයන්ට නොහැකියි. හරි වැරැද්ද හඳුනාගෙන කැමති තීරණයක් ගැනීමේ නිදහස අප සතුය. තවද අපට අපගේ සිතිවිලි සහ ක්‍රියාවන්ද පාලනය කළ හැකියි. එපමණක්ද නොව, අප සටන් කරන්නේ තනිවම නොවේ. එලිෂාගේ දවසේදී සත්‍ය වූ දෙය අපගේ කාලයේදීත් සත්‍යයක් වන්නේය. එනම්, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ” වීමය. (2 රාජාවලිය 6:16) අප දෙවිට යටත් වී යක්ෂයාට විරුද්ධව සිටියහොත්, ඔහු අප වෙතින් පලා යන බව බයිබලය අපට සහතික කරයි.—යාකොබ් 4:7.

සාතන්ගේ උපායන් දැනගෙන සිටීම

8, 9. සාතන් යෝබ්ගේ විශ්වාසවන්තකම බිඳීමට උත්සාහ කළේ කෙසේද? අද දින අපට මුහුණ දීමට තිබෙන්නේ කිනම් ආත්මික අන්තරාවන්වලටද?

8 සාතන්ගේ උපායවල් අප නොදැන සිටිනවා නොවේ. මන්ද ඔහුගේ මූලික උපක්‍රම මොනවාද කියා ශුද්ධ ලියවිල්ලේ හෙළි කරන නිසාය. (2 කොරින්ති 2:11) යෝබ් නම් වූ ධර්මිෂ්ඨ මිනිසාට යක්ෂයා දරුණු ප්‍රහාර එල්ල කළේය. ඔහු යෝබ්ගේ දේපොළ සියල්ල විනාශ කළේය. ඔහුගේ පවුලේ අයව මරා දැමීය. ඔහුගේ භාර්යාවද ඔහුට විරුද්ධ වීමට සැලැස්වීය. දරුණු කුෂ්ටයක් ශරීරයේ හටගන්නට සැලැස්වීය. බොරු මිතුරන්ගේ අසාධාරණ චෝදනාවලට ලක් කළේය. මින් මානසික පීඩනයකට ලක් වූ යෝබ් සිතුවේ දෙවි ඔහුව අත්හැර දැමුවා කියායි. (යෝබ් 10:1, 2) අද දින සාතන් මෙවැනි ගැටලු අපට ඍජුවම ඇති නොකරනවා වෙන්නට පුළුවනි. නමුත් යම් හේතු නිසා ක්‍රිස්තියානීන්ට බොහෝ අසීරුතාවලට මුහුණ දීමට සිදු වන අවස්ථාවලදී ඒවා තමාගේ වාසියට හරවාගන්නට යක්ෂයාට හැකියි.

9 මේ අන්තිම කාලයේදී ආත්මික වශයෙන් අන්තරාදායක තත්වයන් බොහෝ සෙයින් වැඩි වී තිබේ. අප ජීවත් වෙමින් සිටින්නේ ආත්මික ඉලක්කවලට වඩා සැප සම්පත් අත් කරගැනීමට දිරිගැන්වෙන ලෝකයකය. පුවත්පත් හා රූපවාහිනිය වැනි ජනමාධ්‍යවලින් නිතරම පෙන්වන්නේ ලිංගික දුරාචාරය ඉමහත් සිත් තැවුලක් ගෙන දෙන දෙයක් ලෙස නොව සතුටක් ලබාගත හැකි දෙයක් ලෙසය. තවද සමාජයේ බහුතරයක් “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය” බවට පත්ව සිටිති. (2 තිමෝති 3:1-5) මෙලෙස සිතීම අපගේ ආත්මික සමබරතාවට තර්ජනයක් විය හැකියි. අප මෙවැනි සිතුවිලිවලින් ආරක්ෂා වන්නේ “ඇදහිල්ල උදෙසා දැඩි සටනක්” කළෝතින් පමණයි.—යූද් 3.

10-12. (අ) වපුරන්නා පිළිබඳ සිය උපමාවේදී යේසුස් දුන් එක් අනතුරු ඇඟවීමක් කුමක්ද? (ආ) පුරුද්දක් වශයෙන් කරගෙන ගිය ආත්මික දේවල් යටපත් විය හැකි අන්දම නිදර්ශනය කරන්න.

10 සාතන් විසින් යොදාගන්නාවූ ඉතා සාර්ථක උපක්‍රමයක් නම්, මේ ලෝකයේ කාරණා කටයුතුවල ඇලී ගැලී සිටීමට සහ එහි සැප සම්පත් ආදිය ලබාගැනීමට අප තුළ ආශාවක් ඇති කරලීමයි. වපුරන්නාගේ උපමාවේදී යේසුස් අනතුරු ඇඟවූයේ “මේ සමාජ ක්‍රමයේ කරදරවලින්ද ධනයේ මුළා කරවන බලපෑමෙන්ද” ඇතැම් අය තුළ තිබෙන “[රාජ්‍යයේ] වචනය යටපත්” වන බවයි. (මතෙව් 13:18, 22) මෙහි ‘යටපත් වීම’ යන යෙදුම පරිවර්තනය කර තිබෙන ග්‍රීක් යෙදුමේ අරුත නම්, “වැඩීමට නොදී මුළුමනින්ම මර්දනය කර දැමීම” යන්නය.

11 නිවර්තන වනාන්තරයක සැරිසරන කෙනෙකුට වැල් ඇහටු නමින් හඳුන්වන පරපෝෂිත වැල් ගස් වටා වෙළුණු ආකාරය දැක බලා ගත හැකියි. එම වැල එම ගසේ කඳ වටේට සෙමින් සෙමින් වැඩේ. එය ටිකෙන් ටික ගස වටා එතෙමින් මුල් දමමින් එන්ට එන්ටම ශක්තිමත් වෙයි. මෙම ආක්‍රමණශීලී වැලේ මුල් කෙමෙන් කෙමෙන් වර්ධනය වී, එය දරා සිටින ගස පිහිටි පසෙන් පෝෂණය උරාගෙන තව තවත් සරුවට වැඩේ. තවද මෙම වැල එය දරා සිටින ගසට වැඩීමට ඉඩ නොදී ඉහළින් තුරු වියනක් මෙන් සැකසී එම ගසට හිරු එළිය වැටීම වළක්වාලයි. අන්තිමේදී එම ගස මිය යයි.

12 ඊට සමානාකාරයෙන්, මේ සමාජ ක්‍රමයේ කරදර, ධනය සහ සැප පහසු ජීවිත රටාවකට තිබෙන ආශාව නිසා අපගේ කාලය හා ශක්තිය වැඩි වැඩියෙන් ක්‍රමානුකූලව වැය වී යා හැකියි. මේ ලෝකයේ දේවලට අපගේ සිත් යොමු කිරීමෙන් අපි ඉතා පහසුවෙන් අපගේ පෞද්ගලික බයිබල් අධ්‍යයනය අතපසු කළ හැක. පුරුද්දක් වශයෙන් රැස්වීම්වලට යෑම අතපසු කිරීම නිසා, මෙමගින් සිදු වෙන්නේ ආත්මික පෝෂණය නොලැබී යෑමයි. දැන් ආත්මික ඉලක්කවල තැන අරගෙන තිබෙන්නේ සැප සම්පත් වැනි දේවල්ය. අන්තිමේදී සිදු වන්නේ අප සාතන්ට පහසු ගොදුරක් වීමයි.

අප ස්ථිරව සිටිය යුතුයි

13, 14. සාතන්ගේ විරුද්ධවාදිකම් හමුවේ අප ගත යුතු ස්ථාවරය කුමක්ද?

13 පාවුල් සිය සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ, “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න” කියායි. (එෆීස 6:11) ඇත්තවශයෙන්ම, අපට යක්ෂයාව සහ ඔහුගේ භූතයන්ව විනාශ කරන්නට බැරිය. දෙවි එම කාර්යය භාර දී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ටය. (එළිදරව් 20:1, 2) එහෙත්, සාතන්ව ඉවත් කරන තෙක් අපට ‘ස්ථිරව සිටීමට’ සිදු වේ. ඔහුගේ ප්‍රහාරවලින් අපට හානියක් සිදු නොවන්නේ එවිට පමණි.

14 ප්‍රේරිත පේතෘස්ද සාතන්ට එරෙහිව ස්ථිරව සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. පේතෘස් ලීවේ මෙසේයි. “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. නමුත් ඔබ, ලෝකයේ සිටින ඔබේ මුළු සහෝදර සංගමයටම මේ දුක්ම පැමිණෙන බව දැන, ඇදහිල්ලේ ස්ථිරව සිට, ඔහුට විරුද්ධව සිටින්න.” (1 පේතෘස් 5:8, 9) ඇත්තෙන්ම, යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් අපට ප්‍රහාර එල්ල කරන විට ස්ථිරව සිටීම සඳහා අපගේ ආත්මික සහෝදර සහෝදරියන්ගේ සහාය අතිවැදගත්ය.

15, 16. සෙසු ඇදහිලිවන්තයන්ගේ සහාය ස්ථිරව සිටීමට අපට උපකාරවත් විය හැකි බව පෙන්වන ශුද්ධ ලියවිල්ලේ සඳහන් උදාහරණයක් දෙන්න.

15 අප්‍රිකාවේ එක්තරා තැනිතලාවක සිටින කුරංගයා (මුව විශේෂයක්) ළඟපාත සිංහයෙක් ගොරවන ශබ්දයක් ඇසුණු වහාම විදුලි වේගයෙන් ආරක්ෂිත තැනකට පලා යයි. අනික් අතට, අලි ඇතුන් ප්‍රතික්‍රියා කරන්නේ එකිනෙකාට සහාය වෙමිනි. අලි ඇතුන් පිළිබඳ පොතක (ElephantsGentle Giants of Africa and Asia) මෙසේ පැහැදිලි කරයි. “ඇතුන් රැළක් සාමාන්‍යයෙන් යොදාගන්නා ආරක්ෂක උපක්‍රමය නම්, උන් ආරක්ෂක වළල්ලක් පිහිටුවාගැනීමයි. වළල්ල සෑදී ඇත්තේ ලොකු ඇතුන්ගෙනි. උන් එම තර්ජනය එන දිසාවට මුහුණලා සිටිත්. අලි පැටවුන් කවය ඇතුළේ ආරක්ෂිතව සිටිති.” ඇතුන්ගේ ශක්තියේ සහ සහයෝගයේ තරම මෙලෙස දකින සිංහයෝ ඇත් පැටවුන්ට කිසිදු හානියක් නොකරති.

16 සාතන් සහ ඔහුගේ භූතයන්ගේ ප්‍රහාර එල්ල වන විට, අපත් ඒ හා සමානව ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින අපගේ සහෝදර සහෝදරියන් සමඟ උරෙන් උර ගැටී එකට සිටිය යුතුයි. තමන් රෝමයේ සිරගතව සිටින විට තමා සමඟ සේවය කළ ඇතැම් ක්‍රිස්තියානීහු තමාට “ශක්තිය සපයන උපකාරකයෝ” වූ බව පාවුල් පිළිගත්තේය. (කොලොස්සි 4:10, 11) “ශක්තිය සපයන උපකාරකයෝ” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල දක්නට ලැබෙන්නේ එක් වරක් පමණි. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් නමැති ශබ්දකෝෂයට අනුව, “මෙම වචනය ක්‍රියා පදයක් ලෙස ගත් කල, සිරුරේ යම් වේදනාවක් සමනය කරන ඖෂධවලට යොමු දක්වයි.” වේදනාව සමනය කරන ආලේපනයක් මෙන් යෙහෝවාට නමස්කාර කරන මේරූ අයගේ සහාය යමෙකු මුහුණ දෙන මානසික හෝ ශාරීරික වේදනා සමනය කිරීමට හේතු විය හැකියි.

17. දෙවිට ඇදහිලිවන්තව සිටීම සඳහා අපට උපකාරවත් විය හැක්කේ මොනවාද?

17 දෙවිට සේවය කිරීමට අප ගෙන ඇති අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට අද දිනද සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ලැබෙන දිරිගැන්වීම මහෝපකාරී වේ. විශේෂයෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ ආත්මික උපකාර සැපයීමට උත්සුක වෙති. (යාකොබ් 5:13-15) ඇදහිලිවන්තව සිටීමට අපට තිබෙන ආධාරක නම්, නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට, එක් රැස්වීම්වලට සහ සමුළුවලට සහභාගි වීමයි. දෙවි සමඟ අපට තිබෙන කිට්ටු සම්බන්ධයද ඔහුට ඇදහිලිවන්තව සිටීම සඳහා අපට උපකාරවත් වේ. ඇත්තවශයෙන්ම, අප කෑවත්, බීවත් වෙන කුමක් කළත් දෙවිගේ මහිමය සඳහා ඒ සියල්ල කිරීමටයි අපි කැමති වෙන්නේ. (1 කොරින්ති 10:31) යෙහෝවාව සතුටු කරන ක්‍රියාමාර්ගයක දිගටම ගමන් කිරීමට නම්, යෙහෝවා කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීමද අවශ්‍යයි.—ගීතාවලිය 37:5.

18. යම් යම් පීඩාකාරී තත්වයන් නිසා අපගේ ශක්තිය වැහැරී ගියද, අප දරන වෑයම අත්නොහැරිය යුත්තේ මන්ද?

18 අප ආත්මිකව ශක්තිමත්ව නොසිටින ඇතැම් අවස්ථාවලදී සාතන්ගේ ප්‍රහාරවලට ලක් විය හැක. සිංහයෙක් ගොදුරු කරගැනීමට උත්සාහ කරන්නේ දුර්වලව සිටින සතෙකුවයි. පවුල් ප්‍රශ්න, ආර්ථික ගැටලු හෝ අසනීප හේතුවෙන් අපගේ ආත්මික ශක්තිය වැහැරී යන්නට පුළුවන. නමුත් දෙවිව සතුටු කිරීමට අප දරන වෑයම අත්නොහරිමු. මක්නිසාද පාවුල් පැවසුවේ මෙයයි. “මා දුර්වලව සිටියදීම මම බලවත්ව සිටිමි.” (2 කොරින්ති 12:10; ගලාති 6:9; 2 තෙසලෝනික 3:13) ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? එනම්, අප යෙහෝවාගෙන් ශක්තිය ඉල්ලනවා නම්, අපගේ මිනිස් දුර්වලකම් අභිභවා දෙවිගේ ශක්තිය අප තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය හැකි බවයි. දෙවිට සිය ජනයාව ශක්තිමත් කළ හැකි බව සහ එසේ කරන බව ගොලියත්ට එරෙහිව දාවිත් ලද ජයග්‍රහණයෙන් අපට පෙනී යයි. දෙවිගේ ප්‍රබල හස්තය ක්‍රියාත්මක වන බව ඉතා දරුණු අර්බුදවලට මුහුණ දුන් වත්මන් දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම්වලින්ද පැහැදිලිව සනාථ වී තිබේ.—දානියෙල් 10:19.

19. යෙහෝවාට තම සේවකයන්ව ශක්තිමත් කළ හැකි බව පෙන්වන උදාහරණයක් දෙන්න.

19 එක් විවාහක යුවළක් දෙවි තමන්ට පිහිට වූ ආකාරය ගැන ලීවේ මෙසේයි. “පසුගිය වර්ෂයන් පුරා, විවාහක යුවළක් වශයෙන්, අපි යෙහෝවාට සේවය කර ඇති අතර මහත් ආශීර්වාද භුක්ති වින්දා. ඒ වගේම කදිම පුද්ගලයන් හුඟදෙනෙකුව දැන හඳුනා ගැනීමටද හැකි වුණා. අනික් අතට, පීඩාවන් සාර්ථකව විඳදරාගැනීමට යෙහෝවා අපිව පුහුණු කර ශක්තිමත් කර තිබෙනවා. යෝබ් මෙන්, කාරණා මෙසේ සිදු වූයේ ඇයි කියා අපි සෑමවිටම තේරුම්ගත්තේ නැහැ. නමුත් යෙහෝවා අපට සෑමවිටම උපකාර කරන බව අපි දැන සිටියා.”

20. යෙහෝවා සිය සේවකයන්ට නිරතුරුවම උපකාර කරන බවට තිබෙන ශුද්ධ ලියවිලිමය සාක්ෂි මොනවාද?

20 තමන්ට ඇදහිලිවන්තව සිටින අයව ඉසිලීමටත් ඔවුන්ව ශක්තිමත් කිරීමටත් යෙහෝවාගේ හස්තය කෙටි නැත. (යෙසායා 59:1) ගීතිකාකාරු දාවිත් ගායනා කළේ මෙසේයි. “යෙහෝවා වැටෙන සියල්ලන් උසුලන්නේය. නැමී සිටින සියල්ලන් කෙළින් සිටු වන්නේය.” (ගීතාවලිය 145:14) ඇත්තෙන්ම, අපගේ ස්වර්ගික පියාණන් “දවස්පතා අපේ බර උසුලා” අපට සැබවින්ම අවශ්‍ය දේවල් සපයයි.—ගීතාවලිය 68:19.

අපට “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම” අවශ්‍යයි

21. ආත්මික යුද්ධායුධ කට්ටලයක ඇති අවශ්‍යතාව පාවුල් අවධාරණය කළේ කෙසේද?

21 දැන් අපි සාතන්ගේ උපක්‍රම සමහරක් සලකා බැලූ අතර ඔහුගේ ප්‍රහාර හමුවේ ස්ථිරව සිටීමට ඇති අවශ්‍යතාවද අවබෝධ කරගත්තෙමු. අපගේ ඇදහිල්ල සාර්ථක ලෙස ආරක්ෂා කරගැනීමට අපට ඉවහල් වන තවත් වැදගත් සැපයුමක් ගැන අප දැන් සලකා බැලිය යුතුයි. සාතන්ගේ උපායවලට එරෙහිව ස්ථිරව සිටීමට හා දුෂ්ට ආත්ම සේනාවන්ට එරෙහිව අප කරන සටන ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ සාධකයක් ගැන ප්‍රේරිත පාවුල් එෆීසවරුන්ට ලියන ලද තම ලිපිය තුළ දෙවරක් සඳහන් කළේය. පාවුල් ලීවේ මෙසේයි. “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න. . . . දුෂ්ට දවසේදී විරෝධය දැක්වීමට ඔබට හැකි වන පිණිසත් ඔබ සියල්ල සම්පූර්ණ ලෙස කළායින් පසු ස්ථිරව සිටීමට හැකි වන පිණිසත් දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.”—එෆීස 6:11, 13.

22, 23. (අ) අපගේ ආත්මික යුද්ධායුධ කට්ටලයට ඇතුළත් වන්නේ මොනවාද? (ආ) අප ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත්තේ කුමක්ද?

22 අප ‘දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගැනීම’ අවශ්‍යය. පාවුල් තම ලිපිය එෆීසවරුන්ට ලියූ විට, ඔහුව රැකවල් කරගෙන සිටියේ සම්පූර්ණ යුද්ධ අවි කට්ටලයක් පැළඳි රෝම හේවායෙකු විය හැකියි. එහෙත්, යෙහෝවාට සේවය කරන සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම අවශ්‍ය ආත්මික අවි ගැන සාකච්ඡා කිරීමට ප්‍රේරිතවරයාව ශුද්ධාත්මයෙන් පෙලඹවූයේ දෙවියි.

23 දෙවි විසින් දෙනු ලබන මෙම ආයුධ කට්ටලයට, ක්‍රිස්තියානියෙකුට තිබිය යුතු ගුණාංග මෙන්ම යෙහෝවා විසින් දී ඇති ආත්මික සැපයුම්ද ඇතුළත් වේ. ඊළඟ ලිපියේදී අප සලකා බලනු ඇත්තේ මෙම ආත්මික යුද්ධායුධ කට්ටලයේ එක් එක් කොටස්ය. අපගේ ආත්මික යුද්ධය සඳහා අප කොතරම් දුරකට සැරසී සිටින්නේද යන්න නිර්ණය කිරීමට මෙය අපට උපකාරවත් වෙනවා ඇත. ඒ අතරම, සාතන් වන යක්ෂයාට එරෙහිව අප කරන සටන ජයගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් තැබූ කදිම ආදර්ශය අපට උපකාරවත් වන අන්දමද අප දකිනවා ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• සියලු ක්‍රිස්තියානීන්ට තිබෙන සටන කුමක්ද?

• සාතන්ගේ සමහර උපක්‍රම විස්තර කරන්න.

• සෙසු ඇදහිලිවන්තයන්ගේ සහාය අපට ශක්තියක් විය හැක්කේ කෙසේද?

• අප රඳා පැවතිය යුත්තේ කාගේ ශක්තිය මතද? ඒ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන්ට ‘දුෂ්ට ආත්මයන්ට විරුද්ධව පොරබැදීමක් තිබේ’

[12වන පිටුවේ පින්තූරය]

මේ සමාජ ක්‍රමයේ තිබෙන කරදර මගින් රාජ්‍ය බීජය යටපත් වී යා හැකියි

[13වන පිටුවේ පින්තූරය]

සෙසු ක්‍රිස්තියානීන් “ශක්තිය සපයන ආධාරක” විය හැකියි

[14වන පිටුවේ පින්තූරය]

ශක්තිය ඉල්ලා ඔබ දෙවිට යාච්ඤා කරනවාද?