Skip to content

පටුනට යන්න

අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නෝ කවරහුද?

අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නෝ කවරහුද?

අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නෝ කවරහුද?

“යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය.”—එළිදරව් 4:11.

1, 2. (අ) විද්‍යාව ස්වභාවධර්මයේ දක්නට ලැබෙන අරුමයන් අනුකරණය කරන බවට සනාථ කරන උදාහරණ මොනවාද? (ආ) මෙහිදී පැන නඟින ප්‍රශ්නය කුමක්ද? මීට පිළිතුර කුමක්ද?

එක්දහස් නවසිය හතළිස් ගණන්වල එක් දවසක් ස්විට්සර්ලන්ත ජාතික ඉංජිනේරුවෙකු වූ ජෝර්ජ් ඩි මෙස්ට්‍රාල් ඔහුගේ සුරතල් බල්ලා සමඟ ඇවිදින්නට ගියේය. නැවත නිවසට එද්දී ඔහු දුටුවේ ඔහුගේ ඇඳුම්වල මෙන්ම ඔහුගේ බල්ලාගේ ලොම්වල කටු සහිත කුඩා ගෙඩි වර්ගයක් එල්ලී තිබෙන බවයි. මේ ගැන කුතුහලයක් ඇති වූ බැවින්, එම ගෙඩි අන්වීක්ෂයකින් පරීක්ෂා කළ අතර පැටලිය හැකි ඕනෑම දෙයකට එම කොකු ඇමිණෙන අන්දම ඔහු දුටුවේය. ඔහු ඒ ගැන සොයා බලන්නට කල්පනා කළේය. අන්තිමේදී එහි ප්‍රතිඵලය වූයේ ඊට සමාන කෘත්‍රිම යමක් නිපදවීමයි. ඒ, පටි සපත්තු, ගමන් මලු යනාදිය ඇලවීම සඳහා භාවිත කරන වෙල්ක්‍රෝ යනුවෙන් හැඳින්වෙන දෙයයි. ස්වභාවධර්මයෙන් යමක් පිටපත් කරගත් එකම තැනැත්තා ඩි මෙස්ට්‍රාල් නොවේ. එක්සත් ජනපදයේ, රයිට් සහෝදරයන් ගුවන් යානයක් නිර්මාණය කළේ අහසේ ඉගිළෙන විශාල පක්ෂීන් ගැන පර්යේෂණ කිරීමෙන් පසුවය. ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වන ඇලෙක්සාන්ද්‍ර ගුස්ටව් අයිෆල්, ප්‍රංශයේ අයිෆල් කුලුන නිර්මාණය කළේ මිනිස් සිරුරේ බර දරා සිටින කළවා ඇටය නිර්මාණය වී ඇති අයුරු සෝදිසි කර බැලීමෙනි.

2 විද්‍යාව ස්වභාවධර්මයේ දක්නට ලැබෙන අරුමයන් අනුකරණය කර දේවල් නිෂ්පාදනය කරන බව මෙම උදාහරණවලින් මනාව පැහැදිලි වේ. එහෙත්, අපට මෙහිදී සාධාරණ ප්‍රශ්නයක් පැන නඟී. එනම්, එම කටු සහිත කුඩා ගෙඩි, විශාල පක්ෂීන්, මිනිස් කළවා ඇටය සහ මිනිසා අනුකරණය කර ඇති ස්වභාවධර්මයේ වෙනත් අරුමයන් නිපදවූ තැනැත්තාට මෙම නිර්මාණකරුවන් ප්‍රශංසාව දෙන්නේ කොතරම් දුරකටද යන ප්‍රශ්නය. දෙවිට ලැබිය යුතු මහිමය හෝ ප්‍රශංසාව ඔහුට ලැබෙන්නේ කලාතුරකිනි. අද දින ලෝකයේ අප දකින මෙම තත්වය ගැන කනගාටුවෙන් වුවත් පැවසිය යුතුය.

3, 4. “මහිමය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ අර්ථය කුමක්ද? යෙහෝවා සම්බන්ධයෙන් මෙය භාවිත කරන විට ඉන් අදහස් විය යුත්තේ කුමක්ද?

3 ‘ඇයි දෙවියන්ව මහිමවත් කළ යුත්තේ? දෙවි දැනටමත් මහිමයට පත් වෙලා නේද ඉන්නේ?’ කියා යමෙක් කල්පනා කරනවා විය හැකියි. විශ්වයේ සිටින මහිමයෙන් උසස්ම පුද්ගලයා යෙහෝවා බව සැබෑවකි. නමුත් සියලුම මිනිසුන්ගේ ඇස් හමුවේ ඔහු මහිමයට පත් වී සිටිනවා යන්න ඉන් අදහස් නොවේ. බයිබලයේ “මහිමය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ මූලික අර්ථය නම්, “බැරෑරුම් ලෙස සලකනවා” යන්නයි. එනම්, යම් පුද්ගලයෙකුව ඉතා උසස් හෝ වැදගත් කෙනෙකු ලෙස අනෙක් අය සලකන බවක් ඉන් අදහස් කරයි. මේ වචනය දෙවි සම්බන්ධයෙන් භාවිත කරන විට, ඒ මගින් දෙවි මිනිසා ඉදිරියේ ඉතා උසස් කෙනෙකු බවට පත් වෙයි.

4 දෙවිව ඉතා උසස් කෙනෙකු ලෙස සැලකීමට හේතු වන දේවල් ගැන අද දින සැලකිල්ලක් දක්වන්නේ ඉතා ස්වල්පදෙනෙකි. (ගීතාවලිය 10:4; 14:1) ඇත්තෙන්ම, අද දින සමාජයේ කැපීපෙනෙන පුද්ගලයෝ දෙවි කෙනෙකු ගැන විශ්වාස කරනවා කීවත්, බොහෝ විට කර තිබෙන්නේ විශ්වයේ මහිමාන්විත මැවුම්කරුවාණන්ව අගෞරවනීයව සැලකීමට ජනයාට බලපෑම් කිරීමයි. ඔවුන් එසේ කර තිබෙන්නේ කිනම් ක්‍රමවලින්ද?

‘ඔවුන්ට නිදහසට කරුණු නැත’

5. බොහෝ විද්‍යාඥයන් මැවිල්ලේ අරුමයන් දැක දැකත් ඒ සම්බන්ධයෙන් දෙවිට ගෞරවය නොදීමට හේතු මොනවාද?

5 බොහෝ විද්‍යාඥයන් තරයේම කියා සිටින්නේ දෙවි කෙනෙකු නැති බවයි. එසේනම්, මිනිස් වර්ගයා ඇතුළු මැවිල්ලේ අරුමයන් ගැන ඔවුන් පැහැදිලි කරන්නේ කෙසේද? ඔවුන් කියන්නේ එය අහඹු බලවේගයක් වන පරිණාමයෙන් සිදු වූ බවයි. නිදසුනක් වශයෙන් ස්ටීවන් ජේ ගූල්ඩ් මෙසේ ලීවේය. “අප මෙහි සිටින්නේ එක්තරා මසුන් වර්ගයක් ගොඩබිම වෙසෙන සතෙකු බවට පරිණාමය වූ නිසාය. . . . අප ඊට හේතුව දෙවියන්යයි කීමට කැමති වන නමුත් එසේ කීමට බැරිය.” ඒ හා සමානව, රිචඩ් ඊ. ලීකි සහ රොජර් ලුවින් මෙසේ ලීවෝය. “සමහරවිට මිනිස් වර්ගයා බිහි වුණේ අතිභයානක විපර්යාසයක් ජෛව ලෝකයේ සිදු වූ නිසා විය හැකියි.” ස්වභාවධර්මයේ අලංකාරය හා නිර්මාණශීලිත්වය පැසසුමට ලක් කරන ඇතැම් විද්‍යාඥයෝ පවා දෙවිට ප්‍රශංසාව දීමට අසමත් වෙති.

6. මැවුම්කරු හැටියට දෙවිට ලැබිය යුතු ප්‍රශංසාව දීමෙන් බොහෝදෙනෙකු වැළකී සිටින්නේ කුමක් නිසාද?

6 පරිණාමවාදය යනු සත්‍යයක්යයි උගත්හු තරයේ කියා සිටිති. මේ අනුව ඔවුන් ඉන් වක්‍රාකාරයෙන් අඟවන්නේ එය විශ්වාස නොකරන අය මෝඩයන් බවයි. බොහෝදෙනෙක් මීට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? අවුරුදු කිහිපයකට පෙර, පරිණාමවාදය ගැන මනා දැනුමක් ඇතුව සිටි එක්තරා පුද්ගලයෙක්, මෙම න්‍යාය පිළිගත් පුද්ගලයන්ව සම්මුඛ සාකච්ඡාවකට භාජන කළේය. ඔහු පැවසුවේ මෙසේයි. “මට වැටහී ගිය කාරණයක් නම් පරිණාමවාදය ගැන විශ්වාස කරන වැඩිදෙනෙක් එසේ විශ්වාස කරන්නේ බුද්ධිමතුන් සියලුදෙනාම එය විශ්වාස කරන බව ඔවුන්ට පවසා ඇති නිසාය.” එසේය, උගත් පුද්ගලයන් තම අදේවවාදී මතිමතාන්තර ප්‍රකාශ කරන විට, මැවුම්කරු හැටියට දෙවිට ලැබිය යුතු ප්‍රශංසාව දීමෙන් වෙනත් අය වැළකෙති.—හිතෝපදේශ 14:15, 18.

7. රෝම 1:20ට අනුව, දෙවි මවා තිබෙන දෘශ්‍යමාන දේවල් මාර්ගයෙන් පැහැදිලිව පෙනී යන්නේ කුමක්ද? ඒ මන්ද?

7 විද්‍යාඥයන් තම නිගමනවලට එළඹ සිටින්නේ පරිණාමවාදය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබෙන නිසාද? කොහෙත්ම නැත! මැවුම්කරුවෙකු පිළිබඳ සාක්ෂි අප අවට ඕනෑ තරම් තිබේ. ප්‍රේරිත පාවුල් එම මැවුම්කරු සම්බන්ධයෙන් ලීවේ මෙසේයි. “ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය [මිනිස් වර්ගයා] මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට [අවිශ්වාස කරන අයට] නැත.” (රෝම 1:20) මැවුම්කරුගේ නිර්මාණාත්මක බුද්ධි මහිමය ඔහුගේ හස්ත කර්මාන්තවල දකින්නට තිබේ. මේ නිසා පාවුල් පවසමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම, දෙවි මවා තිබෙන දෘශ්‍යමාන දේවලින් ඔහු පවතින බවට වූ සාක්ෂිය මිනිසුන්ට පැහැදිලිව ‘පෙනී යන’ බවයි. මේ සාක්ෂිය තිබෙන්නේ කොහේද?

8. (අ) දෙවිගේ බලය සහ ප්‍රඥාව ගැන අහස සාක්ෂි දරන්නේ කෙසේද? (ආ) විශ්වය නමැති පලයට හේතුකාරකයක් තිබූ බවට තිබෙන සාක්ෂි මොනවාද?

8 තරුවලින් පිරි අහස දෙස බලන කල දෙවි සිටින බවට අපි සාක්ෂි දකිමු. “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි” යනුවෙන් ගීතාවලිය 19:1 කියයි. “අහස” හෙවත් හිරු, සඳු සහ තරු දෙවිගේ බලය හා ප්‍රඥාවට සාක්ෂි දරයි. බිලියන ගණනක් වූ තරු අප තුළ ගරු බිය වඩවයි. අහසේ මේ වස්තූන් සියල්ලම ගමන් කරන්නේ අපිළිවෙළකට නොව, ඉතා නිවැරදි වූ භෞතික නීතිවලට අනුවයි. * (යෙසායා 40:26) විශ්වයේ තිබෙන මනා පිළිවෙළ නිකම්ම අහම්බෙන් ඇති වුණා කීම සාධාරණද? “විශ්වයට ආරම්භයක් නැතැයි අදේවවාදියෙක් හෝ අඥෙයවාදියෙක් [දෙවි කෙනෙකු ඇද්දැයි සැක කරන්නෙක්] ඉතා ලෙහෙසියෙන් පවසයි.” එනමුත් බොහෝ විද්‍යාඥයන් පවසන්නේ විශ්වයට ආරම්භයක් තිබූ බවයි. මේ අනුව ඉහත සඳහන් මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ මෙයයි. “විශ්වය නමැති පලයට ආරම්භයක් තිබුණා නම්, එයට හේතුකාරකයක්ද තිබිය යුතුයි. මන්දයත් ප්‍රමාණවත් හේතුකාරකයක් නොමැතිව එවන් පලයක් ඇති වෙයි කියා සිතීම උගහටය.”

9. සත්ව මැවිල්ලෙන් යෙහෝවාගේ ප්‍රඥාව පැහැදිලිව දක්නට ලැබෙන්නේ කෙසේද?

9 තවද දෙවි පිළිබඳ සාක්ෂි අපට මිහිතලයේද දැකිය හැකියි. ගීතිකාකරු මහත් හඬින් පැවසුවේ මෙයයි. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් [නිර්මාණවලින්] පූර්ණය.” (ගීතාවලිය 104:24) සත්ව මැවිල්ල ඇතුළු යෙහෝවාගේ ‘නිර්මාණ’ ඔහුගේ ප්‍රඥාවට සාක්ෂි වේ. අප මේ ලිපියේ මුලින් සලකා බැලුවා සේ, ජීවීන්ගේ හා ශාකවල නිර්මාණය කොතරම්ද උසස්ද කිවහොත් විද්‍යාඥයෝ බොහෝවිට ඒවා අනුකරණය කිරීමට උත්සාහ කරති. තවත් උදාහරණ කිහිපයක් සලකා බලන්න. සත්ව අං ගැන කරුණු හදාරන පර්යේෂකයෝ වඩාත් ශක්තිමත් ආරක්ෂක හිස් වැසුම් සෑදිය හැකිදැයි සොයා බලමින් සිටිති. තියුණු ශ්‍රවණ හැකියාවක් ඇති මැසි වර්ගයක් ගැන ඔවුන් පර්යේෂණය කරමින් සිටින්නේ ශ්‍රව්‍යාධාර උපකරණ වැඩි දියුණු කිරීමේ අටියෙනි. රේඩාර්වලට හසු කරගත නොහැකි රහස් යුධ ගුවන් යානාවල තත්වය දියුණු කිරීමේ අදහසින් බස්සන්ගේ පිහාටු ගැන ඔවුහු පර්යේෂණ කරමින් සිටිති. නමුත් කොතරම් උත්සහ කළත්, ස්වභාවධර්මයේ දක්නට තිබෙන දේවල් එලෙසින්ම අනුකරණය කරන්නට මිනිසාට බැරිය. එම විෂය ගැන පළ වූ පොතක (BiomimicryInnovation Inspired by Nature) මෙසේ සඳහන් වේ. “අප කරන්න කැමති සියලු දේවල් ජීවීන් කර තිබෙන්නේ ඉන්ධන සැපයුම ක්ෂය නොකරමින්, මිහිතලය දූෂණය නොකරමින් හෝ අනාගතය උවදුරේ නොහෙළමිනි.” කොතරම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක්ද!

10. ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම තර්කානුකූල දෙයක් නොවන්නේ මන්ද? පැහැදිලි කරන්න.

10 ඔබ ඉහළ අහස දෙස බැලුවත් මිහිපිට මැවිලි දෙස බැලුවත්, මැවුම්කරු පිළිබඳ සාක්ෂි පැහැදිලිව ඔබට පෙනේ. (යෙරෙමියා 10:12) “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය; ඒවා මවන ලද්දේය” යනුවෙන් හඬ නඟන ස්වර්ගික මැවිලි සමඟ අපද මුළු හදින් එක් විය යුතුය. (එළිදරව් 4:11) එහෙත්, බොහෝ විද්‍යාඥයන් තම නෙත්වලින් දකින මැවිල්ලේ නිර්මාණ ගැන පුදුම වුණත් ‘ඔවුන්ගේ සිත නමැති ඇස්වලින්’ මැවුම්කරුවෙකු පිළිබඳ සාක්ෂි දැකගැනීමට ඔවුහු අසමත් වෙති. (එෆීස 1:18) මෙය අපට මෙසේ පැහැදිලි කළ හැකියි. ස්වභාව ධර්මයේ අරුමයන්හි සුන්දරත්වය හා නිර්මාණයන් දෙස බලා පුදුම වෙන අතරම, එහි පිටුපස සිටින ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයාණන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම, හරියට උසස් ගණයේ චිත්‍රයක් දෙස බලා එය අගය කරමින්, හිස් කැන්වස් රෙද්දක් මත පින්සලකින් ඒඋසස් ගණයේ චිත්‍රය නිර්මාණය කළ ඒ චිත්‍ර ශිල්පියාව ප්‍රතික්ෂේප කිරීම හා සමානය. එසේනම්, දෙවි කෙනෙක් නැතැයි කියමින් දෙවි කෙනෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අයට ‘ඉදිරිපත් කිරීමට නිදහසට කරුණු නැත.’ එය පුදුමයට හේතුවක් නොවේ!

‘අන්ධ මඟ පෙන්වන්නෝ’ බොහෝදෙනෙකුව මුළා කරති

11, 12. ‘ඒක දේවකැමැත්ත’ යන ඉගැන්වීම පදනම් වී ඇත්තේ කිනම් උපකල්පනය මතද? මේ මූලධර්මයෙන් දෙවිව මහිමවත් කරන්නේ නැති බව පෙන්වන්නේ කුමකින්ද?

11 ආගම් අදහන බොහෝදෙනෙකු අවංකව හිතන්නේ තමන් නමස්කාර කරන ආකාරයෙන් දෙවිව මහිමවත් කරන බවයි. (රෝම 10:2, 3) එහෙත්, දෙවිව මහිමවත් කිරීම වළක්වාලන මිනිස් සමාජයේ තවත් අංගයක් ලෙස ලෝකයේ ආගම් සැලකිය යුතුය. ඒ කෙසේද? ආගම් මෙසේ කර ඇති ක්‍රම දෙකක් ගැන අපි දැන් සලකා බලමු.

12 පළමුව, දෙවිට යා යුතු මහිමය ආගම් මගින් වළක්වා තිබෙන්නේ බොරු ඉගැන්වීම් මාර්ගයෙනි. ‘ඒක දේවකැමැත්ත’ යන කියමන පදනම් වී ඇති ඉගැන්වීම උදාහරණයකට සලකා බලන්න. මේ ඉගැන්වීම පදනම් වී තිබෙන්නේ දෙවිට අනාගතය ගැන දැනගැනීමට බලය තිබෙන නිසා සෑම දෙයකම අවසාන ප්‍රතිඵලය ඔහු දැනගත යුතුය යන උපකල්පනය මතයි. මේ අනුව ‘ඒක දේවකැමැත්ත’ යන ඉගැන්වීමෙන් කියා සිටින දෙය නම්, දෙවි මීට ඉහත බොහෝ කලකට පෙර හොඳට හෝ නරකට සෑම පුද්ගලයෙකුගේම අනාගතය කලින් නියම කළ බවය. මේ සංකල්පයෙන් කියන පරිදි, අද දින ලෝකයේ සියලු දුක් වේදනාවන් සහ දුෂ්ටකම්වලට වග කිව යුත්තා දෙවිය. එසේනම්, “ලෝකයේ පාලකයා” ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන එදිරිවාදියා වූ සාතන්ට එල්ල කළ යුතු දෝෂාරෝපණය දෙවිට එල්ල කරන්නේ නම්, එය දෙවිව මහිමවත් කිරීමක්යයි කිව හැකිද? කොහෙත්ම නැත!—යොහන් 14:30; 1 යොහන් 5:19.

13. අනාගතය ගැන දැනගැනීමට ඇති හැකියාව පාලනය කිරීමට දෙවිට නොහැක කියා සිතීම අඥාන වන්නේ මන්ද? පැහැදිලි කරන්න.

13 ‘ඒක දේවකැමැත්ත’ යනු බයිබලයට පටහැනි වූ දෙවිට අපහාස කරන්නාවූ ඉගැන්වීමකි. දෙවිට කළ හැකි දේ සහ ඔහු ඇත්තටම කරන දේ අතර ඇති වෙනස වටහාගන්නට නොදී ඒ මගින් කෙනෙකුව අවුල් කරයි. සිදු වන දේවල් කලින්ම දැනගැනීමට දෙවිට ඇති හැකියාව ගැන බයිබලයේ පැහැදිලිව සඳහන් වේ. (යෙසායා 46:9, 10) එහෙත්, අනාගතය ගැන දැනගැනීමට ඔහුට ඇති හැකියාව පාලනය කරගැනීමට ඔහුට නොහැකියි කියා හෝ සෑම සිදුවීමක ප්‍රතිඵලයට ඔහු වග කිව යුතුය කියා හෝ සිතීම තර්කානුකූල නැත. අපි මෙය මෙසේ පැහැදිලි කරමු: ඔබ හොඳ ශක්තිමත් පුද්ගලයෙකු වුවත්, දකින්නට තිබෙන සෑම බර භාණ්ඩයක්ම ඔසවන්නට ඔබ උත්සාහ කරනවාද? ඇත්තෙන්ම නැත! ඒ හා සමානව, අනාගතය ගැන දැනගැනීමට දෙවිට තිබෙන හැකියාව නිසාම ඔහු සෑම දෙයක්ම කලින් දැනගන්නට හෝ කලින් නියම කරන්නට උත්සාහ කරන්නේ නැත. ඔහු කලින්ම යම් යම් දේවල් දැනගන්නේ තමාට අවශ්‍ය නම් පමණි. * එසේනම්, ‘ඒක දේවකැමැත්ත’ යන කියමන පදනම් වී ඇති බොරු ඉගැන්වීම ඇතුළු වෙනත් බොරු ඉගැන්වීම්වලින් දෙවිව මහිමවත් වන්නේ නැත.

14. ආගම් දෙවිට අගෞරව කර තිබෙන්නේ කිනම් මාර්ගයෙන්ද?

14 ආගම් දෙවිට අගෞරව කරන දෙවන ක්‍රමය නම්, එම ආගම් අදහන්නන්ගේ හැසිරීමයි. යේසුස්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීම ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වේ. සියල්ලටම වඩා යේසුස් සිය අනුගාමිකයන්ට ඉගැන්වූයේ “එකිනෙකාට ප්‍රේම කරන්න” කියාත් ‘ලෝකයේ කොටසක් නොවන්න’ කියාත්ය. (යොහන් 15:12; 17:14-16) ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් ගැන කුමක් කියන්නට පුළුවන්ද? ඔවුන් ඇත්තටම එම ඉගැන්වීම් අනුගමනය කර තිබේද?

15. (අ) රටවල අතර ඇති වන යුද්ධ සම්බන්ධයෙන් ගත් කල, පූජක පක්ෂය අනුගමනය කර ඇති ප්‍රතිපත්තිය කුමක්ද? (ආ) පූජක පක්ෂයේ හැසිරීම මිලියන ගණනකට බලපා ඇත්තේ කෙලෙස ද?

15 යුද්ධය සම්බන්ධයෙන් ගත් කල, පූජක පක්ෂය අනුගමනය කර ඇති ප්‍රතිපත්තිය ගැන සලකා බලන්න. රටවල් විසින් කර ඇති බොහෝ යුද්ධවලදී ඔවුහු ඒවාට සහයෝගය දී, ඒවායේ බරපතළකම සැහැල්ලුවට ගෙන තිබෙනවා පමණක් නොව ඒවායේ පෙරමුණද ගෙන සිටිත්. යුද්ධ හමුදාවලට ආශීර්වාද කර ඇති ඔවුන් මිනී මැරීම සාධාරණීකරණය කර තිබේ. මේ නිසා අපි මෙසේ කල්පනා කිරීමට පෙලඹෙන්නෙමු. ‘තමන්ගේම ආගමට අයත් ප්‍රතිවිරුද්ධවාදීන් එම දේම කරමින් සිටින බව ඒ පූජකයන්ට කවදාවත් හිතුණේ නැද්ද?’ (“දෙවි ඉන්නේ කාගේ පැත්තේද?” යන කොටුව බලන්න) ලේ පිපාසිත යුද්ධවලදී දෙවියන්ගේ අනුග්‍රහය ඊට තිබෙනවායයි කියන විට පූජක පක්ෂය මහිමවත් කරන්නේ දෙවිව නොවේ. බයිබලයේ තිබෙන ප්‍රමිති යල් පැන ගිය ඒවා බව කියමින් ඕනෑම ආකාරයේ ලිංගික දුරාචාරයකට ඉඩ දෙන විට ඔවුන් මහිමවත් කරන්නේ දෙවිව නොවේ. ඔවුන් අපට සිහිගන්වන්නේ ‘නීති විරෝධී ක්‍රියා කරන්නන්’ සහ ‘අන්ධ මඟ පෙන්වන්නන්’ කියා යේසුස් හැඳින්වූ ආගමික නායකයන්වයි. (මතෙව් 7:15-23; 15:14) පූජක පක්ෂයේ මෙම හැසිරීම නිසා, දෙවි කෙරෙහි තිබූ මිලියන ගණනකගේ ප්‍රේමය හීන වී ගොස් තිබේ.—මතෙව් 24:12.

අද දින සැබවින්ම දෙවිව මහිමවත් කරන්නෝ කවරහුද?

16. අද දින සැබවින්ම දෙවිව මහිමවත් කරමින් සිටින්නේ කවුරුන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දීමට, අප බයිබලය දෙස බැලිය යුත්තේ මන්ද?

16 සමස්තයක් වශයෙන් ගත් කල, ලොවේ ප්‍රධාන පෙළේ බලවත් මිනිසුන් දෙවිව මහිමවත් කිරීමට අසමත් වී සිටී නම්, ඇත්තටම එසේ කරමින් සිටින්නෝ කවරහුද? එම ප්‍රශ්නයට පිළිතුරු දීමට නම්, අප බයිබලය බැලිය යුතුයි. තමාව මහිමවත් කළ යුතු ආකාරය ගැන කීමට අයිතිය ඇත්තේ දෙවිට පමණයි. ඒ නිසා ඔහු තම වචනය වන බයිබලයේ ඒ සඳහා ප්‍රමිති පනවා තිබේ. (යෙසායා 42:8) අප දැන් දෙවිව මහිමවත් කළ හැකි ආකාර තුනක් ගැන සලකා බලමු. මේ එක් එක් ආකාරයේදී අද දින සැබවින්ම එසේ කරමින් සිටින්නේ කවුරුන්දැයි සාකච්ඡා කර තිබේ.

17. සිය නාමය මහිමවත් කිරීම තමාගේ කැමැත්තේ අතිවැදගත් අංගයක් බව යෙහෝවාම පෙන්නුවේ කෙසේද? තවද, දෙවිගේ නාමයට මුළු පොළොව පුරා ප්‍රශංසාව ගෙන දෙමින් සිටින්නෝ කවරහුද?

17 පළමුව, අපට දෙවිව මහිමවත් කළ හැක්කේ ඔහුගේ නාමය ප්‍රශංසාවට ලක් කිරීමෙනි. මෙසේ කිරීම දෙවිගේ කැමැත්ත කිරීමේ අතිවැදගත් අංගයක් බව යෙහෝවා යේසුස්ට පැවසූ දෙයින් අපට පෙනී යයි. යේසුස් මිය යෑමට දවස් කිහිපයකට පෙර යාච්ඤා කළේ, “පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පමුණුවන්න” කියායි. එවිට කටහඬකින් පිළිතුරු දුන්නේ මෙසේයි. “මම එය මහිමයට පැමිණවීමි, නැවතත් එය මහිමයට පමුණුවන්නෙමි” කියායි. (යොහන් 12:28) මෙසේ කතා කළේ යෙහෝවා බවට කිසිදු සැකයක් නැත. මේ පිළිතුරෙන් පැහැදිලිව පෙනෙන්නේ දෙවි සිය නාමය මහිමවත් කිරීම වැදගත් දෙයක් ලෙස සලකන බවයි. එසේනම්, අද දින යෙහෝවාගේ නාමය මුළු ලොව පුරා දැනුම් දෙමින් ඊට ප්‍රශංසාව ගෙන දෙමින් සිටින්නෝ කවරහුද? ඒ, රටවල් 235ක එසේ කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝය.—ගීතාවලිය 86:11, 12.

18. “සත්‍යතාවෙන්” දෙවිට නමස්කාර කරන අයව අපට හඳුනාගත හැක්කේ කෙසේද? සියවසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ බයිබල් සත්‍යතාවන් උගන්වමින් සිටින්නේ කවුරුන්ද?

18 දෙවෙනුව, අපට දෙවි ගැන සත්‍යය ඉගැන්වීමෙන්ද ඔහුව මහිමවත් කළ හැකියි. සත්‍ය නමස්කාර කරන්නන් “[දෙවිට] . . . සත්‍යතාවෙන්” නමස්කාර කරන බව යේසුස් පැවසීය. (යොහන් 4:24) “සත්‍යතාවෙන්” දෙවිට නමස්කාර කරන්නන්ව හඳුනාගැනීමට අපට හැක්කේ කෙසේද? බයිබලය මත පදනම්ව නැති, දෙවිව සහ ඔහුගේ කැමැත්ත ගැන වැරදි අවබෝධයක් දෙන මූලධර්ම ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වෙනුවට, දෙවිගේ වචනයේ සඳහන් පිරිසිදු සත්‍යතාවන් ඔවුන් ඉගැන්විය යුතුයි. ඒවාට පහත සඳහන් ඉගැන්වීම් ඇතුළත් විය යුතුයි. යෙහෝවා වනාහි මහෝත්තම දෙවිය. මේ තනතුරට අයත් සියලු ගෞරවය ඔහුට පමණක් යා යුතුය. (ගීතාවලිය 83:17); යේසුස් වනාහි දෙවිගේ පුත්‍රයාය. දෙවිගේ රාජ්‍යයේ පත් කරනු ලැබ සිටින පාලකයා ඔහුය. (1 කොරින්ති 15:27, 28); දෙවිගේ රාජ්‍යය යෙහෝවාගේ නාමය විශුද්ධවත් කරන අතර, මේ පොළොව සහ එහි වෙසෙන මිනිස් වර්ගයා වෙනුවෙන් සිය අරමුණ ඉටු කරනු ඇත. (මතෙව් 6:9, 10); රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය මුළු පොළොව පුරා දේශනා කරනු ලැබිය යුතුය. (මතෙව් 24:14) දැන් සියවසකට වඩා වැඩි කාලයක් පුරා, එවන් වටිනා සත්‍යතාවන් විශ්වාසවන්ත ලෙස උගන්වමින් සිට ඇත්තේ එක් කණ්ඩායමක් පමණි. ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවෝය!

19, 20. (අ) ක්‍රිස්තියානියෙකුගේ යහපත් හැසිරීමෙන් දෙවිව මහිමවත් කළ හැක්කේ මන්ද? (ආ) යහපත් ලෙස හැසිරීමෙන් අද දින දෙවිව මහිමවත් කරමින් සිටින්නේ කවුද කියා නිශ්චය කරගැනීමට අපට උපකාරවත් වන්නේ කිනම් ප්‍රශ්නද?

19 තුන්වෙනුව, අපට දෙවිව මහිමවත් කළ හැක්කේ ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම මගිනි. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “ලෝකයා අතරේ ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න. එවිට ඔබ අපරාධකරුවන්යයි කියමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී ඔවුහු දෙවිව මහිමයට පත් කරන්නෝය.” (1 පේතෘස් 2: 12) ක්‍රිස්තියානියෙකුගේ හැසිරීමෙන් ඔහුගේ ඇදහිල්ල පිළිබිඹු වේ. ඒ සම්බන්ධය ඔහුගේ හැසිරීම දෙස බලා සිටින අය දකිති. එනම්, එම තැනැත්තාගේ යහපත් හැසිරීම ඔහුගේ ඇදහිල්ල නිසා සිදු වන්නක් බව ඔවුන් දකින විට, ඒ මගින් දෙවිව මහිමයට පත් වේ.

20 යහපත් ලෙස හැසිරෙමින් අද දින දෙවිව මහිමයට පත් කරමින් සිටින්නෝ කවරහුද? බොහෝ ආණ්ඩු විසින් සාමකාමී සෙනඟක් ලෙසටත්, බදු ගෙවන නීති ගරුක පුරවැසියන් ලෙසටත් ප්‍රශංසා කරනු ලැබ ඇත්තේ කිනම් ආගමික කණ්ඩායමටද? (රෝම 13:1, 3, 6, 7) වාර්ගික, ජාතික හෝ ජන වාර්ගික බෙදීම්වලින් මුළුමනින්ම ඉවත් වී තම සෙසු ඇදහිලිවන්තයන් සමඟ සමඟියෙන් සිටින බවට ලොව ප්‍රකට වී ඇත්තේ කිනම් ආගමික කණ්ඩායමද? (ගීතාවලිය 133:1; ක්‍රියා 10:34, 35) නීතියට ගරු කිරීමට, පවුල් සංස්ථාවේ වැදගත්කම වටහාගැනීමට සහ බයිබලයේ ඇති සදාචාර ප්‍රතිපත්තිවලට ඇලී සිටීමට ඉවහල් වන බයිබල් අධ්‍යාපනයක් ජනතාවට දීම සම්බන්ධයෙන් ලොව පුරා නම් දරා සිටින්නේ කිනම් ආගමික කණ්ඩායමද? මේ කාරණා සම්බන්ධයෙන් සහ වෙනත් පැති සම්බන්ධයෙන් යහපත් ලෙස හැසිර ඇත්තේ එකම කණ්ඩායමක් පමණි. ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ය!

ඔබ දෙවිව මහිමයට පත් කරමින් සිටිනවාද?

21. අප පෞද්ගලිකව දෙවිව මහිමයට පත් කරමින් සිටිනවාද කියා සලකා බැලිය යුත්තේ මන්ද?

21 අප එක් එක් කෙනා අපෙන්ම මෙසේ අසාගැනීම යහපති. ‘මම පෞද්ගලිකව යෙහෝවාව මහිමයට පත් කරමින් සිටිනවාද?’ ගීතාවලිය 148වන පරිච්ඡේදයේ පෙන්නුම් කරන්නේ, මැවිල්ල දෙවිව මහිමවත් කරන ආකාරයයි. දේවදූතයෝ, අහස් කුස, පොළොව සහ එහි සත්ව මැවිල්ල යන මේ සියල්ලෝ යෙහෝවාට ප්‍රශංසා කරති. (ගීතා 148:1-10 දක්වා පද) අද දින මිනිසුන් වැඩිදෙනෙකු එසේ නොකිරීම කොතරම් කනගාටුදායකද! දෙවිට මහිමය ලැබෙන විදිහට ජීවත් වීමෙන්, යෙහෝවාට ප්‍රශංසා කරමින් සිටින අනෙක් මැවිලි සමඟ ඔබත් හවුල් වෙන්නෙහිය. (ගීතා 148:11-13 දක්වා පද) ඔබගේ ජීවිතය ගත කළ හැකි මීට වඩා හොඳ ක්‍රමයක් නැත.

22. යෙහෝවාව මහිමවත් කිරීමෙන් ඔබ ආශීර්වාද ලබන්නේ කිනම් මාර්ගවලින්ද? ඔබගේ අදිටන විය යුත්තේ කුමක්ද?

22 යෙහෝවාව මහිමවත් කිරීමෙන් ඔබ බොහෝ ආකාරවලින් ආශීර්වාද ලබන්නෙහිය. ඔබ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තබත්ම, ඔබ දෙවි හා සමඟි වී, ඔබගේ ස්වර්ගික පියාණන් සමඟ සාමකාමී ඵලදායක සම්බන්ධතාවක් භුක්ති විඳින්නෙහිය. (රෝම 5:10) ඔබ දෙවිව මහිමවත් කිරීමට වඩ වඩාත් හේතු දකිනවිට, ඔබ වඩාත් ශුභවාදී, කෘතඥපූර්වක පුද්ගලයෙක් වන්නෙහිය. (යෙරෙමියා 31:12) ඔබ ප්‍රීතිමත්, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අන්‍යයන්ටද උපකාර කිරීමට හොඳ තත්වයක සිටින අතර, ඒ මගින් ඔබද ඉමහත් සන්තෝෂයක් ලබන්නෙහිය. (ක්‍රියා 20:35) එසේනම්, දැනුත් සදහටමත් දෙවිව මහිමවත් කිරීමට ස්ථිරව අදිටන් කරගෙන සිටින අය අතර ඔබත් සිටීවා!

[පාදසටහන්වල]

^ 8 ඡේ. අහස දෙවිගේ ප්‍රඥාව සහ බලය ගැන සාක්ෂි දරන ආකාරය ගැන තවත් විස්තර දැනගැනීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෙහෝවාට ළං වන්න පොතේ 5වන සහ 17වන පරිච්ඡේද බලන්න.

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures 1වන වෙළුමේ 853වන පිටුව බලන්න.

ඔබට මතකද?

• සමස්තයක් වශයෙන් ගත් කල විද්‍යාඥයන්, දෙවිව මහිමවත් කිරීමට ජනයාට උපකාර කර නැති බව කිව හැක්කේ මන්ද?

• ජනයා දෙවිව මහිමවත් කිරීම වළක්වාලීමට ආගම් විසින් යොදාගෙන ඇත්තේ කිනම් ක්‍රම දෙකද?

• අපට දෙවිව මහිමවත් කළ හැක්කේ කිනම් ක්‍රමවලින්ද?

• ඔබ පෞද්ගලිකව යෙහෝවාව මහිමයට පත් කරමින් සිටිනවාද කියා සලකා බැලිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ කොටුව]

“දෙවි ඉන්නේ කාගේ පැත්තේද?”

දෙවන ලෝක යුද සමයේ ජර්මානු ගුවන් හමුදාවේ සිටි තැනැත්තෙක් පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ අතර ඔහු සිය මතකය මෙසේ අවදි කරයි.

“එම යුද සමයේ මගේ හිතට කරදර කළ දෙයක් නම්, . . . සියලුම ආගමික නිකායවලට අයත් පූජකයන්, ඒ කියන්නේ, කතෝලික, ලූතරන්, එපිස්කෝපල් වගේ ආගම්වල පූජක පක්ෂය, ගුවන් යානා බෝම්බ හෙළන්නට පෙර ඒවාටත් ඒවායේ සිටි ගුවන් නැවියන්ටත් ආශීර්වාද කළ ආකාරයයි. ‘දෙවි ඉන්නේ කාගේ පැත්තේද’ කියලා මම නිතරම හිතුවා.

“ගොට් මිට් ඌනස් (දෙවි අප සමඟයි) යන වචන කෙටූ පටියක් ජර්මානු සොල්දාදුවන් ඉණ වටා පැළඳ සිටියා. නමුත් මම මෙහෙම කල්පනා කළා. ‘එකම දෙවියන්ට යාච්ඤා කරන, එකම ආගමට අයත් ප්‍රතිවාදී සොල්දාදුවන්ගේ පැත්තේ දෙවි නොසිටින්නේ ඇයි?’”

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා සැබවින්ම දෙවිව මහිමවත් කරමින් සිටිති