Skip to content

පටුනට යන්න

“එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න”

“එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න”

“එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න”

“සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න.”—රෝම 12:10.

1, 2. නවීන කාලයේ එක් මිෂනාරිවරයෙක් සහ ප්‍රේරිත පාවුල් තමන්ගේ සහෝදරයන් සමඟ ඇති කරගෙන තිබුණේ කිනම් සම්බන්ධයක්ද?

නැඟෙනහිර ආසියාවේ රටක වසර 43ක් පුරා මිෂනාරි සේවයේ යෙදී සිටි ඩොන් ඔහු සේවය කළ අයට දැක්වූ දැඩි ස්නේහය බොහෝදෙනෙක් හොඳින් දැන සිටියහ. ඔහු මිය යෑමට පෙර ලෙඩ ඇඳේ වැතිර සිටින විට, ඔහු සමඟ කලින් බයිබලය පාඩම් කළ සමහරදෙනෙක් කිලෝමීටර් දහස් ගණනක් ගෙවා ඔහුව බැහැදැකීමට පැමිණියහ. ඔවුන් ඔහුගේ ඇඳ අසලට ගොස්, “ඔබට බොහොම ස්තුතියි” කියා කොරියානු භාෂාවෙන් පැවසුවේ දැඩි සෙනෙහසකිනි. ඩොන් දැක්වූ ගැඹුරු සෙනෙහස ඔවුන්ගේ හදවත්වලට කාවැදී තිබුණි.

2 මෙවන් අද්දැකීමක් ලැබූ එකම තැනැත්තා ඩොන් නොවේ. පළමු සියවසේදී ප්‍රේරිත පාවුල්ද තමා සේවය කළාවූ අය කෙරෙහි දැක්වූයේ ගැඹුරු ස්නේහයකි. පාවුල් ක්‍රියා කළේ ආත්ම පරිත්‍යාගශීලීවය. ඔහු තමා විශ්වාස කළ දේවල් ගැන ස්ථිරව සිටියාවූ, යම් යම් කාරණා ඍජු ලෙස කතා කළ පුද්ගලයෙකු වුවද, ‘තම දරුවන්ව රැකබලා ගත් කිරි මවක් මෙන්,’ ඔහු ඉතා මෘදු ලෙස අන් අය සමඟ කටයුතු කරමින් ඔවුන් ගැන සැලකිලිමත් විය. ඔහු තෙසලෝනික සභාවට ලීවේ මෙසේයි. “ඔබ අපට ඉතා හිතවත් වූ හෙයින් ගැඹුරු සෙනෙහසකින් යුතුව, දෙවිගේ ශුභාරංචිය පමණක් නොව, අපේ ජීවිත පවා දීමට අපි බොහෝ සේ සතුටු වුණෙමු.” (1 තෙසලෝනික 2:7, 8) පසුව, පාවුල් එෆීස සහෝදරයන් අමතමින් තමන් තවත් ඔවුන්ව දකින්නේ නැති බව පැවසූ විට, “ඔවුන් සියල්ලෝ බොහෝ සේ හැඬූ අතර, පාවුල්ගේ බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්තෝය.” (ක්‍රියා 20:25, 37) පාවුල් සහ ඔහුගේ සහෝදරයන් එකම නමස්කාරයක හවුල් වූ බව ඇත්තය. නමුත් ඔවුන් අතර සම්බන්ධයක් ගොඩනැඟීමට තවත් බොහෝ දේවල් ඊට දායක විය. ඔවුන් එකිනෙකාට ගැඹුරු ස්නේහයක් දැක්වීය.

ගැඹුරු ස්නේහය සහ ප්‍රේමය

3. ස්නේහය සහ ප්‍රේමය යනුවෙන් බයිබලයේ සඳහන් යෙදුම් එකිනෙකට බැඳී තිබෙන්නේ කෙසේද?

3 ගැඹුරු ස්නේහය, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දැක්වීම සහ දයානුකම්පාව යන සියලු ගුණාංග ක්‍රිස්තියානි ජීවිතයේ උතුම්ම ගුණාංගය වන ප්‍රේමය සමඟ ළඟින් බැඳී තිබේ. (1 තෙසලෝනික 2:8; 2 පේතෘස් 1:7) මනස්කාන්ත දියමන්තියක විවිධ මුහුණත් මෙන්, මෙම උදාර ගුණාංග එකට ක්‍රියාත්මක වන විට පුද්ගලයෙකු තුළ අලංකාර පෞද්ගලිකත්වයක් බිහි කරයි. එම ගුණාංග ඇති විට ඒවායින් ක්‍රිස්තියානීන්ව එකිනෙකා වෙතට පමණක් නොව, ඔවුන්ගේ ස්වර්ගික පියාණන් වෙතටද ආකර්ෂණය කරයි. මෙබැවින්, ප්‍රේරිත පාවුල් සිය සෙසු සහෝදරයන්ට පැවසුවේ මෙසේයි. “ඔබේ ප්‍රේමය කුහකකමින් තොරව තිබිය යුතුය. . . . සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න.”—රෝම 12:9, 10.

4. “ගැඹුරු ස්නේහය” යන යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 “ගැඹුරු ස්නේහය” යන යෙදුම සඳහා පාවුල් යොදාගත් ග්‍රීක් වචනය අර්ථ දෙකකින් සමන්විතය. එක් අර්ථයක් නම්, මිත්‍රත්වය වන අතර අනෙක් අර්ථය ජන්ම ස්නේහය යන්නයි. එක් බයිබල් විශාරදයෙකු පැහැදිලි කළ ආකාරයට මින් අදහස් කරන්නේ, ක්‍රිස්තියානීන් අතර තිබෙන බැඳීම “ප්‍රේමණීය ලෙස එකට බැඳුණු අන්‍යෝන්‍ය වශයෙන් සහය වෙන පවුලක දක්නට ලැබෙන ගැඹුරු බැඳීමකි.” ඔබගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ගැන ඔබට හැඟෙන්නේත් එලෙසමද? එවන් සුහද ඉතා මිත්‍රශීලී ස්වභාවයක් ක්‍රිස්තියානි සභාව පුරා පැතිර තිබිය යුතුයි. (ගලාති 6:10) ඇත්ත ඇති තැන අනුවාදයේ රෝම 12:10 පරිවර්තනය කර තිබෙන්නේ මෙසේයි. “සහෝදර ප්‍රේමයෙන් අන්‍යෝන්‍ය ලෙස බැඳී එකිනෙකාට ආදරය දක්වන්න.” තවද, නව අනුවාදයේ මෙසේ කියවන්නට තිබේ. “සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න.” එසේය, ක්‍රිස්තියානීන් එකිනෙකාට ප්‍රේම කරන්නේ එසේ කළ යුතු නිසාම හෝ යුතුකමක් ඉෂ්ට කිරීමට තිබෙන නිසාම නොවේ. අප ‘කුහකකමින් තොර සහෝදර ස්නේහය ඇතිව සිටින නිසා හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.’—1 පේතෘස් 1:22.

‘එකිනෙකාට ප්‍රේම කිරීමට දෙවි උගන්වා ඇත’

5, 6. (අ) ක්‍රිස්තියානි ස්නේහය ගැන සිය ජනයාට ඉගැන්වීම සඳහා යෙහෝවා ජාත්‍යන්තර සමුළු යොදාගෙන ඇත්තේ කෙසේද? (ආ) සහෝදරයන් අතර තිබෙන බැම්ම යම් කාලයක් ගත වන විට, තව තවත් ශක්තිමත් වන්නේ කෙසේද?

5 මේ ලෝකයේ ‘වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහී’ යමින් තිබුණද, යෙහෝවා තම නවීන දින ජනයාට උගන්වමින් සිටින්නේ ‘එකිනෙකාට ප්‍රේම කිරීමටය.’ (මතෙව් 24:12; 1 තෙසලෝනික 4:9) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලබන මෙම පුහුණුව ජාත්‍යන්තර සමුළුවලදී කැපීපෙනෙයි. මෙම සමුළුවලදී, ඒවා පැවැත්වෙන රටේ සහෝදරයන්ට ඈත එපිට රටවලින් පැමිණෙන සහෝදරයන්ව මුණගැසෙන අතර, බොහෝදෙනෙකු මෙම විදේශීය සහෝදරයන්ට තමන්ගේ නිවෙස්වල නවාතැන් දී තිබේ. මෑතකදී පැවති එක් සමුළුවකට සහභාගි වූ ඇතැම් අය පැමිණියේ, ප්‍රසිද්ධියේ තම හැඟීම් පළ කිරීමට එතරම්ම කැමැත්තක් නොදක්වන ජනයා වෙසෙන රටවලිනි. නවාතැන් භාර අංශයේ සේවය කළ ක්‍රිස්තියානි සහෝදරයෙක් මෙසේ සඳහන් කළේය. “මෙම සහෝදර සහෝදරියන් පැමිණි විට, ඔවුන් ඉතා භයෙන් සහ ලජ්ජාවෙන් සිටියා. නමුත් දවස් හයකට පසුව ඔවුන් ආපසු තම රටවල් බලා යෑමට සමුගනිද්දී, ඔවුන් සහ ඔවුන්ට සත්කාර කළ අය ඔවුන් එකිනෙකාව වැලඳගෙන අඬන්නට පටන්ගත්තා. ඔවුන් සියල්ලන්ම සුවිශේෂ ආකාරයකින් ක්‍රිස්තියානි ප්‍රේමය භුක්ති වින්දා. ඔවුන් කවදාවත් ඒක අමතක කරන එකක් නැහැ.” පසුබිම කුමක් වුවත්, අපගේ සහෝදර සහෝදරියන්ට ආගන්තුක සත්කාරය පෙන්වීමෙන් ආගන්තුකයාද සත්කාර කරන්නාද ඉමහත් ආශීර්වාද ලබති.—රෝම 12:13.

6 ඇත්තෙන්ම, එවන් සමුළුවලදී ප්‍රීතිමත් අද්දැකීම් භුක්ති විඳීමට ලැබෙනවා. එනමුත් ක්‍රිස්තියානීන් වසර ගණනාවක් යෙහෝවාට එක්ව සේවය කරන විට ඊටත් වඩා කිට්ටු සම්බන්ධතා වර්ධනය වෙයි. අපි අපේ සහෝදරයන්ව හොඳින් දැනගත් විට, ඔවුන්ගේ දයාබර ගුණාංග ගණනාවක් අපි වඩා වැඩියෙන් අගය කරමු. එනම්, ඔවුන්ගේ සත්‍යවාදිකම, විශ්වාසවන්තභාවය, පක්ෂපාතකම, කරුණාව, ත්‍යාගශීලිත්වය, සැලකිල්ල, දයානුකම්පාව සහ පරාර්ථකාමිත්වය වැනි ගුණාංගයි. (ගීතාවලිය 15:3-5; හිතෝපදේශ 19:22) නැඟෙනහිර අප්‍රිකාවේ මිෂනාරිවරයෙකු ලෙස සේවය කළ මාක් පැවසුවේ මෙසේයි. “අපගේ සහෝදරයන් සමඟ උරෙන් උර ගැටී වැඩ කිරීම මගින් අප අතර නොබිඳිය හැකි බන්ධනයක් ඇති වෙනවා.”

7. සභාව තුළ ක්‍රිස්තියානි ස්නේහය භුක්ති විඳීමට නම් අපෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?

7 සභාවක් තුළ එවන් බැඳීමක් ඇති කර එය පවත්වාගෙන යෑමට නම්, එහි සාමාජිකයන් එකිනෙකාට ළං විය යුතුයි. නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමෙන් අපි අපේ සහෝදර සහෝදරියන් සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගන්නෙමු. රැස්වීම්වලට පෙර හා පසුව ඇසුරු කිරීමෙන් හා රැස්වීම්වලදී අදහස් දැක්වීමෙන් අපි එකිනෙකාව දිරිගන්වා “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට” පොලඹවන්නෙමු. (හෙබ්‍රෙව් 10:24, 25) එක්සත් ජනපදයේ එක් වැඩිමහල්ලෙක් මෙසේ කියයි. “මට තාමත් හොඳට මතකයි, මගේ ළමා කාලයේ, මගේ පවුලේ අය තමයි අන්තිමටම රාජ්‍ය ශාලාවෙන් පිට වෙන්නේ. අපි හුඟාක් වෙලා යනකම් මිත්‍රශීලී සුහද අර්ථවත් ඇසුරක් භුක්ති වින්දා.”

‘ඔබේ සිත් විශාල කරගැනීමට’ ඔබට අවශ්‍යද?

8. (අ) “සිත් විශාල කරගන්න” කියා ක්‍රිස්තියානීන්ට පැවසීමේදී පාවුල් ඉන් අදහස් කළේ කුමක්ද? (ආ) සභාව තුළම ස්නේහය වර්ධනය කිරීමට අපට කුමක් කළ හැකිද?

8 එවන් ස්නේහයක් මුළුමනින්ම විදහාපෙන්වීමට නම්, අපට අපේ ‘සිත් විශාල කරගැනීමට’ අවශ්‍ය විය හැකියි. කොරින්තියේ තිබෙන සභාවට ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. ‘අපේ සිත විශාල වී තිබේ. අප තුළ ඔබට ඉඩක් නොතිබෙනවා නොවේ.’ පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ “සිත් විශාල කරගන්න” කියායි. (2 කොරින්ති 6:11-13) ඔබටත් ස්නේහය දැක්වීමේදී ‘සිත විශාල කරගත’ හැකිද? අනික් අය ඔබ ළඟට එන තුරු සිටීමට අවශ්‍ය නැත. රෝමවරුන්ට ලියන ලද තම ලිපියේ පාවුල්, ගැඹුරු ස්නේහයක් ඇතිව සිටීමේ අවශ්‍යතාව මෙම අවවාදය සමඟ සම්බන්ධ කළේය. “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) අන්‍යයන්ට ගෞරව පෙන්වීමට නම්, රැස්වීම්වලදී එකිනෙකා ළඟට ගොස් ආචාර කොට ඔවුන් හා කතා බස් කිරීමට ඔබට හැකියි. එලෙසම ඔබ සමඟ ක්ෂේත්‍ර සේවයේ සහභාගි වන ලෙස හෝ රැස්වීමකට සූදානම් වන ලෙස හෝ ඔවුන්ට ආරාධනා කිරීමටද හැකියි. එසේ කිරීමෙන් ගැඹුරු ස්නේහයක් වර්ධනය කිරීමට දොරටු විවෘත වෙයි.

9. සෙසු ක්‍රිස්තියානීන් සමඟ වඩාත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා ඇතමුන් ගෙන ඇති පියවරවල් මොනවාද? (සභාවේ යම් උදාහරණ තිබේ නම් ඇතුළත් කරන්න.)

9 සභාවේ සිටින පවුල්වලට සහ පුද්ගලයන්ට හැකියි, එකිනෙකාව බැහැදැකීමට යෑමෙන්, සමහරවිට සරල ආහාරයක් එකට ගැනීමෙන් සහ සුහද ලෙස ඇසුරු කිරීමෙන් හා ක්‍රිස්තියානීන්ට සුදුසු ක්‍රියාකාරකම් එකට කිරීමෙන් ‘සිත් විශාල කරගැනීමට.’ (ලූක් 10:42; 14:12-14) හාකොප් නමැති සහෝදරයා ඉඳ හිට කුඩා කණ්ඩායම් වශයෙන් යන විනෝද චාරිකා සූදානම් කරයි. “සියලුම වයස් මට්ටම්වල අය වගේම තනි මාපියන්ද සහභාගි වෙනවා. හැමදෙනාම ආපසු ගෙදර එන්නේ ඉතාමත් සන්තෝෂයෙන්, ඒ වගේම එකිනෙකාට තව තවත් ළං වෙලා” යයි ඔහු සඳහන් කරයි. ක්‍රිස්තියානීන් වශයෙන්, අප එක්ව දෙවිට නමස්කාර කරන අය පමණක් නොව සැබෑ මිතුරන් වීමටද උත්සාහ කළ යුතුයි.—3 යොහන් 14.

10. අපගේ සහෝදර සහෝදරියන් සමඟ යම් සම්බන්ධකම් ඇති කරගැනීම අසීරු වෙන විට අපට කුමක් කළ හැකිද?

10 එහෙත්, අප සතු අසම්පූර්ණකම නිසා ඇතැම් අවස්ථාවලදී මිත්‍රත්වයන් වර්ධනය කරගැනීම හා ස්නේහය දැක්වීම අභියෝගයක් විය හැකියි. අපට කුමක් කළ හැකිද? පළමුව, අප අපගේ සහෝදරයන් සමඟ හොඳ සම්බන්ධතා ඇති කරගැනීම සඳහා යාච්ඤා කළ හැකියි. තම සේවකයන් හොඳින් පෑහී සුහද ලෙස කටයුතු කිරීම දෙවිගේ කැමැත්ත වන අතර ඔහු එවන් අවංක යාච්ඤාවලට පිළිතුරු දෙනවා ඇත. (1 යොහන් 4:20, 21; 5:14, 15) තවද, අප අපගේ යාච්ඤාවලට එකඟව යම් පියවර ගත යුතුයි. නැඟෙනහිර අප්‍රිකාවේ සේවය කළ එක් සංචාරක දේවසේවකයෙකු වූ රික්, වෙනත් අයට පෑහී කටයුතු කිරීමට අසීරු පෞද්ගලිකත්වයක් තිබූ එක්තරා සහෝදරයෙක් සමඟ කටයුතු කිරීමට තමාට අසීරු වූ බව සිහිපත් කරයි. “මේ සහෝදරයාව අතේ දුරින් තියාගන්නවා වෙනුවට, ඔහුව වඩාත් හොඳින් ඔහුව කිට්ටුවෙන් ඇසුරු කරන්න මම තීරණය කළා. පස්සේ මට දැනගන්නට ලැබුණා ඔහුගේ පියා දැඩි නීති දමන පුද්ගලයෙකු වූ බව. මෙවැනි වාතාවරණයක් මැද ජීවත් වූ ඔහුට ඉන් ගොඩ ඒම සඳහා කොතරම් පොරබැදීමක් කරන්නට තිබුණාද, ඒ වගේම ඔහු කොතරම් දුරකට එවැනි තත්වයකින් ජයගෙන තිබෙනවාද කියා මා තේරුම්ගත්තාට පසු මම ඔහුව අගය කරන්නට පටන්ගත්තා. අපි හොඳ මිතුරෝ බවට පත් වුණා.”—1 පේතෘස් 4:8.

ඔබේ හැඟීම් අනුන්ට ප්‍රකාශ කරන්න!

11. (අ) සභාව තුළ ස්නේහය වර්ධනය වීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) අන්‍යයන්ට තම හැඟීම් ප්‍රකාශ නොකර සිටීම ආත්මිකව හානිකර විය හැක්කේ මන්ද?

11 අද බොහෝදෙනෙකු ජීවිතය ගෙවන්නේ කිසිම කෙනෙකු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නේ නැතිවයි. එය කොතරම් කනගාටුදායකද! ක්‍රිස්තියානි සභාව තුළ තත්වය මෙසේ විය යුතු නැත. සැබෑ සහෝදර ප්‍රේමය යනු ආචාරශීලී ලෙස කතා බහ කිරීම සහ හොඳ ගති පැවතුම් විදහාපෑම පමණක් නොවේ. එමෙන්ම යම් කෙනෙකු දුටු විට, අධික ලෙස හැඟීම් පිට කරමින් ඕනෑවට වඩා උද්‍යෝගයක් මවාපාමින් ඔහු හෝ ඇය සමඟ කතා කිරීම නොවේ. ඒ වෙනුවට, අප අපගේ සිත්වල තිබෙන හැඟීම් අවංකව ප්‍රකාශ කිරීමට කැමති විය යුතුයි. පාවුල් කොරින්තිවරුන්ට එලෙසින් තම හැඟීම් නොවළහා ප්‍රකාශ කළේය. ඒ හා සමානව අප අපගේ සෙසු සහෝදරයන්ගේ ශූභසාධනය ගැන ඇත්තටම සැලකිල්ලෙන් සිටින බව පෙන්විය යුතුයි. සෑම කෙනෙක්ම සහජයෙන්ම ඇසුරට කැමති, වැඩිය කතා කිරීමට කැමති අය නොවුණත්, ඕනෑවට වඩා අනුන්ගෙන් ඈත්වීමද හානිකර විය හැකියි. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව සොයමින් සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙයි” කියා බයිබලයේ අනතුරු අඟවා තිබේ.—හිතෝපදේශ 18:1.

12. සභාවේ එකිනෙකා සමඟ කිට්ටු සම්බන්ධතාවන් ඇතුව සිටීමට නම් හොඳින් එකිනෙකා සමඟ කතා බහ කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද?

12 අවංකව කතා බහ කිරීමත් සැබෑ මිත්‍රත්වයක මූලික ලක්ෂණයකි. (යොහන් 15:15) අපගේ ඇතුළාන්ත සිතුවිලි හා හැඟීම් කියා පෑ හැකි මිත්‍රයන් අප සියලුදෙනාටම සිටිය යුතුයි. එපමණක්ද නොව, අප එකිනෙකාව වඩාත් හොඳින් දැනගනිත්ම, එකිනෙකාගේ අවශ්‍යතා සපුරාලීම වඩාත් පහසුයි. අප මේ අයුරින් එකිනෙකාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලන විට, අප ස්නේහය වැඩි වර්ධනය කිරීමට දායක වන අතර, යේසුස්ගේ වචනවල සත්‍යතාවද අද්දකින්නෙමු. යේසුස් මෙසේ පැවසුවේය. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ.”—ක්‍රියා 20:35; ෆිලිප්පි 2:1-4.

13. අපගේ සහෝදරයන් කෙරෙහි සැබෑ ස්නේහයක් ඇති බව පෙන්වීමට අපට කුමක් කළ හැකිද?

13 අප අනුන්ට ස්නේහය පෙන්වන විට, ඒ මගින් ඔවුන් ලබන ප්‍රයෝජන ඉමහත්ය. (හිතෝපදේශ 27:5) අප අවංකව ස්නේහය පෙන්වන විට, අපගේ මුහුණින් ඒ බව දිස් වේ. එවිට, අනික් තැනැත්තා ඊට ප්‍රතිචාර දැක්වීමට ඉඩ තිබේ. “ඇස්වල එළියෙන් සිත සතුටු වේ” කියා බයිබලයේ හිතෝපදේශයක සඳහන් වේ. (හිතෝපදේශ 15:30) හිතා මතා කරන යම් යම් ක්‍රියාවලින්ද ගැඹුරු ස්නේහය වැඩි කරයි. කිසිම කෙනෙකුට සැබෑ ස්නේහය මිලට ගත නොහැකි වුණත්, මුළු හදවතින්ම දෙන යම් ත්‍යාගයක විශේෂ අරුතක් තිබිය හැකියි. කාඩ්පතක්, ලිපියක් සහ “නිසි කලට කී වචනයක්” යන මේ සියල්ලෙන්ම ගැඹුරු ස්නේහයක් පළ කළ හැකියි. (හිතෝපදේශ 25:11; 27:9) අප අන්‍යයන්ගේ මිත්‍රත්වය දිනාගත් පසු, පරාර්ථකාමී ස්නේහයක් දිගටම පෙන්වීමෙන් අපි එය දිගටම පවත්වාගෙන යා යුතුය. විශේෂයෙන්ම යම් හදිසි අවස්ථාවලදී, අපි අපේ මිතුරන් අසලම සිටින්නෙමු. බයිබලය මෙසේ කියයි. “මිත්‍රයෙක් සෑම කල්හිම ප්‍රේමවන්නේය. සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිට වීමටය.”—හිතෝපදේශ 17:17, පැරණි අනුවාදය.

14. යම් කෙනෙක් අප දක්වන ස්නේහයට ප්‍රතිචාර නොදක්වන බවක් පෙනෙන්නට තිබෙනවා නම් අපට කළ හැක්කේ කුමක්ද?

14 අපට සභාවේ සෑම කෙනෙකුටම එක හා සමානව ළංවීමට නොහැකි බව සැබෑවකි. අනිත් අයට වඩා අප යම් පුද්ගලයන්ට සහජයෙන්ම වඩාත් ළං වෙනවා ඇත. වෙනත් පුද්ගලයෙක්, ඔබ කැමති අන්දමටම, ඔබට සුහද බවක් පෙන්වන්නේ නැත්නම්, ඔබ තුළ හෝ ඒ පුද්ගලයා තුළ හෝ යම් වරදක් තිබෙනවා කියා සිතීමට ඉක්මන් වෙන්න එපා. එමෙන්ම එම තැනැත්තා සමඟ කිට්ටු සම්බන්ධතාවක් බලෙන්ම ඇති කරගන්නට උත්සාහ කරන්නටත් එපා. ඒ පුද්ගලයා ඉඩ දෙන තරමට ඔබේ මිත්‍රත්වය පළ කරන්න. එසේ කිරීමෙන්, අනාගතයේදී යම් දවසක වඩාත් කිට්ටු මිතුරන් වීමට දොරටු විවෘත වෙනවා ඇති.

“මම ඔබව අනුමත කළෙමි”

15. අප අනුන්ට ප්‍රශංසා කිරීම සහ නොකිරීම මගින් ඔවුන් මත ඇති කරන බලපෑම කුමක්ද?

15 “මම ඔබව අනුමත කළෙමි” කියා ස්වර්ගයේ සිට තම පියා පැවසූ වචන ඇසූ අවස්ථාවේ යේසුස් ඒ ගැන ඉතා සන්තෝෂ වූවා විය යුතුයි. (මාක් 1:11) මෙසේ, තමාව පිළිගනිමින් තම පියා පළ කළ අදහස් නිසා ඔහු කොතරම් ගැඹුරු ස්නේහයක් තමාට දක්වනවාද කියා යේසුස්ට වැටහී ගියා විය යුතුයි. (යොහන් 5:20) සමහරුන් තමන් ගෞරව කරන හා ප්‍රේම කරන අයගෙන් කිසිම දවසක එවන් ප්‍රශංසාත්මක ප්‍රකාශයක් නොඇසීම කනගාටුදායකය. “මං වගේම හුඟක් යෞවනයන්ගේ පවුල්වල අය සත්‍යයේ නැහැ” යයි ඈන් කියා සිටින්නීය. “අපි ගෙදර ඉන්නකොට අපට ඇහෙන්නේ විවේචන විතරයි. ඒ ගැන අපිට හරි දුකක් දැනෙනවා.” එහෙත්, ඔවුන් සභාවේ සාමාජිකයන් බවට පත් වෙන විට, සහයෝගශීලී, සැලකිලිමත් ආත්මික පවුලක ස්නේහය ඔවුන්ට දැනේ. එකම ඇදහිල්ලේ සිටින තාත්තලා, අම්මලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ඔවුන්ට සිටිති.—මාක් 10:29, 30; ගලාති 6:10.

16. අන්‍යයන් ගැන විවේචනාත්මක ආකල්පයක් තිබීම සුදුසු දෙයක් නොවන්නේ මන්ද?

16 ඇතැම් සංස්කෘතීන්වල, දෙමාපියෝ, වැඩිහිටියෝ සහ ගුරුවරු ළමුන්ව ප්‍රශංසාවට ලක් කිරීමට හෝ ඔවුන්ව අගය කිරීමට මැළිකමක් දක්වති. ඊට හේතුව නම්, එසේ කිරීමෙන් ළමුන් දියුණු වීමට උත්සාහයක් නොදරන හෝ අහංකාර පුද්ගලයන් බවට හෝ පත් වේයයි ඔවුන් සිතන නිසාය. එවන් ආකල්ප ක්‍රිස්තියානි පවුල්වලට සහ සභාවට බලපෑ හැකියි. යෞවනයෙක් කතාවක් දුන්නායින් පසුව හෝ වෙනත් යමක් කළායින් පසුව, වැඩිහිටි අය මෙසේ කියනවා විය හැකියි. “ඒක හොඳයි, නමුත් ඔයාට ඊට වඩා හොඳට කරන්න පුළුවන්.” එසේත් නැත්නම්, ඔවුන් වෙනත් ආකාරවලින් යෞවනයෙකුට ඒ ගැන තමුන්ගේ නොසතුට පළ කරන්නටද පුළුවනි. එසේ කිරීමෙන්, බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ තමන් යෞවනයන්ට ඔවුන්ගේ උපරිම හැකියාවෙන් යමක් කිරීමට පොලඹවනවා කියායි. නමුත් බොහෝවිට මෙසේ කිරීමෙන් සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. එනම්, යෞවනයන් එය කිරීමෙන් වැළකීම හෝ තමන්ට එය කිරීමට නොහැකිය යන හැඟීමක් ඔවුන් තුළ ඇති කරගැනීමය.

17. අන්‍යයන්ට ප්‍රශංසා කිරීමට අප ප්‍රස්තා සෙවිය යුත්තේ මන්ද?

17 එහෙත්, ප්‍රශංසාව දිය යුත්තේ පුද්ගලයෙකුට උපදෙස් දීමට සිදු වන අවස්ථාවලදී පමණක් නොවේ. අප අවංකව ප්‍රශංසා කරන විට, එය පවුල තුළ, සභාව තුළ ගැඹුරු ස්නේහයක් ගොඩනංවයි. මේ මගින් අද්දැකීම් ලත් සහෝදර සහෝදරියන්ගෙන් උපදෙස් පැතීමට යෞවනයන්ව දිරිගැන්වේ. එමනිසා, අප සිටින සංස්කෘතියේ තිබෙන යම් යම් ඍණාත්මක බලපෑම් මගින් අප අන්‍යයන්ට සලකන විදිහ පාලනය කිරීමට ඉඩහරිනවා වෙනුවට, අපි “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය [පැළඳගනිමු].” එසේනම්, යෙහෝවාව අනුකරණය කරමින් අනුන්ට ප්‍රශංසාව දෙන්න.—එෆීස 4:24.

18. (අ) යෞවනයෙනි, ඔබ වැඩිහිටියන්ගේ උපදෙස් සැලකිය යුත්තේ කෙසේද? (ආ) තමන් උපදෙස් දෙන ආකාරය ගැන වැඩිහිටියන් සැලකිලිමත් විය යුත්තේ මන්ද?

18 අනෙක් අතට යෞවනයෙනි, වැඩිහිටි අය ඔබව නිවැරදි කරයි නම් හෝ ඔබට යම් යම් උපදෙස් දෙයි නම්, ඔවුන් එසේ කරන්නේ ඔබට අකමැති නිසයි කියා සිතන්න එපා. (දේශනාකාරයා 7:9) ඇත්තටම ඔවුන් ඔබට කැමතියි! ඔවුන් එසේ කරන්නේ ඔබට තිබෙන සැලකිල්ල හා ගැඹුරු ස්නේහය නිසා විය හැකියි. එසේ නොවේ නම්, ඔවුන් යම් කාරණයක් ගැන ඔබ සමඟ කතා කිරීමට කරදර වෙන්නේ ඇයි? වචනවලින් ඇති කරන බලපෑම ගැන සිතන වැඩිහිටියෝ, විශේෂයෙන්ම සභාවේ වැඩිමහල්ලන් උපදෙස් දීමට පෙර බොහෝවිට සෑහෙන කාලයක් ගෙන සිතා බලා යාච්ඤා කර ඉන්පසුවයි උපදෙස් දෙන්නේ. මන්ද ඔවුන්ට වුවමනා කරන්නේ ඔබට යහපතක් කිරීමටයි.—1 පේතෘස් 5:5.

‘යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකි’

19. අප්‍රසන්න අද්දැකීම්වලට මුහුණ දී ඇති අයට යෙහෝවාගෙන් උපකාර පැතිය හැක්කේ මන්ද?

19 වෙනත් කෙනෙකුට ගැඹුරු ස්නේහය දක්වන්නට යෑමෙන් යම් අවස්ථාවල තමන්ට යම් අප්‍රසන්න අද්දැකීම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවායයි සිතෙන නිසා ආයෙත් නම් ස්නේහය පෙන්වන්නට යන්නේ නැහැ කියා ඇතැම් අය සිතා ගනිති. යළිත් වරක් අනුන් ඉදිරියේ තමන්ගේ සිත් විවෘත කිරීමට ඔවුන්ට යම් ධෛර්යයක් හෝ යෙහෝවා කෙරෙහි බලවත් ඇදහිල්ලක් අවශ්‍ය වෙයි. යෙහෝවා ‘අප එකිනෙකාට නුදුරුව සිටින බව’ ඔවුන් කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. ඔහුට ළං වන්න කියා ඔහු අපට ආරාධනා කරන්නේ එනිසයි. (ක්‍රියා 17:27; යාකොබ් 4:8) අපගේ සිත් නැවතත් රිදේවිදෝ කියා අප භයෙන් සිටින බව තේරුම්ගන්නා ඔහු, අප අසලම සිට අපට උපකාර කිරීමට පොරොන්දු වෙයි. ගීතිකාකරු දාවිත් අපට සහතික කරන්නේ මෙයයි. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය.”—ගීතාවලිය 34:18.

20, 21. (අ) අපට යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධතාවක් තබාගැනීමට හැකි බව අප දන්නේ කෙසේද? (ආ) යෙහෝවා සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

20 අපට වර්ධනය කළ හැකි වඩාත්ම වැදගත් වූ සම්බන්ධය නම් යෙහෝවා සමඟ ඇති කරගන්නාවූ කිට්ටු මිත්‍රත්වයයි. එහෙත්, එවන් බැඳීමක් සැබවින්ම අපට ඇති කරගන්නට හැකිද? හැකිය. අපගේ ස්වර්ගික පියාණන්ට ඉතා සමීපව සිටි ධර්මිෂ්ඨ පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට ඒ ගැන හැඟුණු විදිහ ගැන බයිබලය අපට හෙළි කරයි. ඔවුන් මහත් හැඟීමකින් පළ කළ අදහස් බයිබලයේ වාර්තා කර තිබෙන්නේ යෙහෝවාට ඉතා ළංවීමට අපටද හැකි බවට සහතිකයක් දීම සඳහාය.—ගීතාවලිය 23, 34, 139 පරිච්ඡේද; යොහන් 16:27; රෝම 15:4.

21 යෙහෝවා සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීම සෑම කෙනෙකුටම කළ හැකි දෙයකි. “යෙහෝවා, ඔබගේ මණ්ඩපයේ සිටින්නේ කවුද?” යනුවෙන් ඇසූ දාවිත්ම මෙසේ පිළිතුරු දුන්නේය. “අවංක ලෙස හැසිරෙන්නාවූ ධර්මිෂ්ඨකම් කරන්නාවූ සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.” (ගීතාවලිය 15:1, 2; 25:14) දෙවිට සේවය කිරීමෙන් අපට යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්, ඔහුගේ මඟ පෙන්වීම හා ආරක්ෂාව අපට ලැබෙන බවත් අප තේරුම්ගන්නා විට, “යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකු බව” අපි වටහාගනිමු.—යාකොබ් 5:11.

22. යෙහෝවා කැමති වන්නේ තමන්ගේ සෙනඟ කිනම් ආකාරයේ සම්බන්ධතාවක් තබාගන්නවා දකින්නටද?

22 අප අසම්පූර්ණ මිනිසුන් වුවත් අප සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් තබාගැනීමට යෙහෝවා කැමති වීම දෙස බලන විට, අප මොන තරම් ආශීර්වාද ලත් සෙනඟක්ද! එසේ නම්, අපත් එකිනෙකාට ගැඹුරු ස්නේහය දැක්විය යුතු නැද්ද? යෙහෝවාගේ උපකාරය සමඟින් අප සෑම කෙනෙකුටම, අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ ප්‍රධාන ලක්ෂණයක් වන ගැඹුරු ස්නේහය පෙන්වීමටත්, ලැබීමටත් හැකියි. දෙවිගේ රාජ්‍යය යටතේදී පොළොවේ වෙසෙන සෑම කෙනෙකුම මෙම ස්නේහය සදහටම භුක්ති විඳිනවා ඇති.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ක්‍රිස්තියානි සභාව තුළ කිනම් ආකාරයේ වාතාවරණයක් තිබිය යුතුද?

• සභාව තුළ තිබෙන ගැඹුරු ස්නේහය වැඩි කිරීමට අප එකිනෙකාට දායක විය හැක්කේ කෙසේද?

• අවංකව කරන ප්‍රශංසාව මගින් ක්‍රිස්තියානි ස්නේහය වැඩි වර්ධනය කළ හැක්කේ කෙසේද?

• යෙහෝවාගේ ගැඹුරු ස්නේහය සහ උපකාරය අපට අවශ්‍ය වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් අතර ප්‍රේමය ප්‍රකාශ කිරීම යනු නිකම්ම යුතුකම් ඉටු කරනවාට වඩා වැඩි යමකි

[16, 17වන පිටුවේ පින්තූර]

ස්නේහය පෙන්වීමේදී ඔබට ඔබේ ‘සිත් විශාල කරගත’ හැකිද?

[18වන පිටුවේ පින්තූරය]

ඔබ අනුන්ව විවේචනය කරන කෙනෙක්ද? නැතහොත් අනුන්ව දිරිගන්වන කෙනෙක්ද?