Skip to content

පටුනට යන්න

ඔබ බලා සිටින්නේ කෙසේද?

ඔබ බලා සිටින්නේ කෙසේද?

ඔබ බලා සිටින්නේ කෙසේද?

අද දින, යමෙකු පැමිණෙන තෙක් හෝ යම් දෙයක් ඉටු වන තෙක් හෝ බලා සිටීමට සිදු වන විට වැඩිදෙනෙකුගේ ඉවසීම නැති වී යයි. කෙසේවුවද, දෙවිගේ සෙනඟට ශුද්ධ ලියවිල්ලෙහි දිරිගන්වන්නේ ‘බලා සිටීමට’ වෑයම් කරන්න කියාය. ප්‍රොපේත මීකාට තිබුණේ ඔහුගේ කාලයේ සිටි ජනයාට වඩා වෙනස් ආකල්පයකි. ඔහු මෙලෙස පැවසුවේය. “මම . . . මාගේ ගැලවීමේ දෙවි [කෙරෙහි] බලා සිටින්නෙමි.”—මීකා 7:7; විලාප ගී 3:26.

එහෙත්, යෙහෝවා කෙරෙහි බලා සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානියෙකු දෙවි කෙරෙහි බලා සිටිය යුත්තේ කෙසේද? මෙය කිරීමට සුදුසු හා නුසුදුසු විධි තිබේද? ක්‍රිස්තු පූර්ව නවවන සියවසේ ප්‍රොපේත යෝනාගේ අද්දැකීම මේ කාරණය පිළිබඳව අපට පාඩමක් කියා දෙන්නේය.

නුසුදුසු ලෙස බලා සිටි කෙනෙක්

ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර වන නිනිවයේ වැසියන් වෙත ගොස් දේශනා කරන්නයයි යෙහෝවා දෙවි යෝනාට නියම කළේය. නිනිවය ප්‍රචලිත වී තිබුණේ “ලේ වගුරුවන නුවර” ලෙසිනි. ඊට හේතුව එහි අමු අමුවේ මරා දැමීම් සිදුවීමත්, කුරිරුකම ව්‍යාප්තව තිබීමත්ය. ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් ඒ බව තහවුරු කර තිබේ. (නාහුම් 3:1) මුලදී එම පැවරුම භාර නොගැනීමට යෝනා උත්සාහයක් දැරුවත් යෙහෝවා කෙසේ හෝ මෙම ප්‍රොපේතවරයාව නිනිවයට යැවීමට වගබලා ගත්තේය.—යෝනා 1:3–3:2.

“යෝනා නුවරට ඇතුල්ව දවසක ගමන ගොස් මොරගසමින්: තවත් හතළිස් දවසකට පසු නිනිවය විනාශ කරනු ලබන්නේයයි කීය.” (යෝනා 3:4) යෝනාගේ වෑයමට අතිවිශිෂ්ට ප්‍රතිචාරයක් ලැබිණ. “නිනිවයේ සෙනඟ දෙවි විශ්වාස කළෝය. ඔවුහු නිරාහාරව සිටින්ට නියම කොට ඉතා ලොකු අය පටන් ඉතා කුඩා අය දක්වාම ගෝණි රෙදි ඇඳගත්තෝය.” (යෝනා 3:5) මේ නිසා, “සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට . . . කැමති නැති” දෙවි කෙනෙකු වන යෙහෝවා එම නගරය විනාශ නොකිරීමට තීරණය කළේය.—2 පේතෘස් 3:9.

යෝනාගේ ප්‍රතිචාරය කුමක් වීද? බයිබල් වාර්තාවේ පවසන්නේ මෙයයි. “එහෙත් යෝනා එයට බොහෝ නොසතුටුව කෝප විය.” (යෝනා 4:1) මන්ද? තමා පැවසූ ලෙස නියමිත දිනයේදී විනාශය සිදු නොවූ නිසා ප්‍රොපේතවරයෙකු හැටියට තමාට අගෞරවයක් සිදු වුණාය කියා යෝනාට සමහරවිට හැඟෙන්න ඇති. අන් අය දෙස අනුකම්පාවෙන් බලනවා වෙනුවට හා අන් අයගේ ගැලවීම ගැන සිතනවා වෙනුවට තමාට සිදු වන කැළල ගැනයි ඔහු සිතමින් සිටියේ.

ප්‍රොපේතකමෙන් ඉල්ලා අස් වෙන තරමට යෝනා දුර දිග ගියේ නැත. කෙසේනමුත්, ඔහු “නුවරට කුමක් වන්නේදැයි” කියා බලා සිටියේය. ඇත්තෙන්ම, ඔහු සිටියේ අමනාපයෙන්, මොකද වෙන්නේ කියලා බලමුකො යන අදහසින්. තමන් අපේක්ෂා කළ ආකාරයට දේවල් සිදු නොවුණ බව වැටහුණ ඔහු පැලක් සාදා එහි සෙවණෙහි ඉඳගෙන කෝපයෙන් බලා සිටියේ සිදු වන දේ දැකගැනීමටය. කෙසේවෙතත්, යෙහෝවා යෝනා සිතූ ආකාරය අනුමත කළේ නැත. එබැවින් ඔහු යෝනාගේ වැරදි ආකල්පය ප්‍රේමණීය ලෙස නිවැරදි කළේය.—යෝනා 4:5, 9-11.

යෙහෝවා ඉවසන හේතුව

පසුතැවිලි වූ නිසා නිනිවය විනාශ නොවී බේරුණත් එහි වැසියෝ කලකට පසු යළිත් දුෂ්ට ක්‍රියාවල නිරත වූහ. නාහුම් හා ශෙපනියා යන ප්‍රොපේතවරුන් මාර්ගයෙන් යෙහෝවා එහි විනාශය ගැන පුරෝකථනය කළේය. “ලේ වගුරුවන නුවර” ගැන කතා කරමින් තමා ඇසිරියාව විනාශ කරන බවත්, නිනිවය පාළු කරන බවත් යෙහෝවා පැවසුවේය. (නාහුම් 3:1; ශෙපනියා 2:13) ක්‍රිස්තු පූර්ව 632දී නිනිවය විනාශ විය. නැවත කවදාවත් එය ගොඩනැඟුවේ නැත.

අදත් එදා මෙන් මේ ලෝකය හිත් පිත් නැති අයුරින් ලේ වගුරුවමින් සිටින්නේ පුරාණ නිනිවයේ සිදු වූවාට වඩා මහා පරිමාණයෙනි. මේ හේතුව හා වෙනත් හේතූන් නිසා, යෙහෝවා පෙර නොවූ විරූ ලෙස “මහත් පීඩාවක්” ගෙන එමින් පවතින දුෂ්ට ක්‍රමය විනාශ කර දැමීමට තීන්දු කර ඇත.—මතෙව් 24:21, 22.

යෙහෝවා පැවසූ එම විනාශය තවමත් සිදු කර නැත්තේ, නිනිවයෙහි පසුතැවිලි වූ අය මෙන් අද දින අවංක ජනයාටද පසුතැවිලි වී ගැලවීම ලැබිය හැකිවීම සඳහාය. දෙවිගේ ඉවසීම ගැන ප්‍රේරිත පේතෘස් පවසන්නේ මෙලෙසිනි. “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තම පොරොන්දුව ගැන ප්‍රමාද වන්නේ නැත. නමුත් සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට ඔහු කැමති නැති බැවින්, ඔහු ඔබ ගැන ඉවසන්නේය.”—2 පේතෘස් 3:9, 10, 13.

නිසි ආකාරයෙන් බලා සිටීම

පේතෘස් තවදුරටත් මෙසේ පවසයි. “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න.” (2 පේතෘස් 3:11, 12) යෙහෝවාගේ දවස පැමිණෙන තෙක් බලා සිටින අතරතුර අප “ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද” සිටිය යුතු බව සැලකිල්ලට ගන්න. එසේනම් සුදුසු දේ වන්නේ අලසව සිටීම නොව කඩිසරව සිටීමය.

ඇත්තෙන්ම, යෙහෝවාගේ දවස යෙහෝවා අරමුණු කළ දිනයට වඩා එක මොහොතක් හෝ ප්‍රමාද නොවී පැමිණෙනු ඇතැයි යන පූර්ණ විශ්වාසයක් නිසි ආකාරයෙන් බලා සිටින කෙනෙකු තුළ දක්නට ලැබේ. එවැනි විශ්වාසයක් තුළින් ගොඩනැඟෙන ඇදහිල්ල ශුද්ධ ලෙස හැසිරීමට මඟ පාදන අතර දේවභක්තික ක්‍රියා කිරීමට සලස්වයි. මේ ක්‍රියාවලින් ප්‍රධාන එකක් වන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමය. දේශනා කිරීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබූ අතර තම අභිෂේක ලත් අනුගාමිකයන්ට මෙසේ උපදෙස් දුන්නේය. “ඔබේ ඉඟටි බැඳගෙන ඔබේ පහන්ද දල්වා තබාගන්න. තම ස්වාමියා විවාහ මංගල්‍යයේ සිට ඇවිත් තට්ටු කළ විගස දොර ඇරීමට සූදානමින් සිටින මිනිසුන්ට ඔබ සමාන වන්න. ස්වාමියා ආ කල, තම දාසයන් අවදිව සිටිනවා දකී නම්, ඒ දාසයන් සන්තෝෂවත්ය!”—ලූක් 12:35-37.

පළමු සියවසේ සිටි වහලුන් ‘ඉඟටි බැඳගත්තේ’ තම ඇඳුමේ යට කොටස එක් කොට කැහැපට ගසාගැනීමෙනි. එසේ කළේ පහසුවෙන් කය වෙහෙසා වැඩ කිරීමටය. මෙයාකාරයෙන්, ක්‍රිස්තියානියෙකුටද යහපත් වැඩවල උද්‍යෝගයෙන් කඩිසරව යෙදීමට සිදු වේ. ඔහු ආත්මිකව අක්‍රියාශීලී වන තරමටම වින්දනය ලබාගැනීමට හෝ නොයෙක් මෙවලම් ලබාගැනීමට තම ශක්තිය වැය කරනවා විය හැක. එලෙස “කම්මැළි” වීමට නැඹුරු විය හැකි ඕනෑම දේකට ඔහු එරෙහි විය යුතුයි. යෙහෝවාගේ මහත් ගරු බිය දනවන දවස පැමිණෙන තෙක් බලා සිටින අතරතුර ඔහු “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී” සිටිය යුතුය. —රෝම 12:11; 1 කොරින්ති 15:58.

බලා සිටින අතරතුර කඩිසරව සිටීම

යෙහෝවාගේ දවස පැමිණෙන තුරු බලා සිටින අතරතුර යෙහෝවාගේ සාක්ෂිකරුවන් කඩිසරව ක්‍රියා කර ඇත. උදාහරණයකට, 2003 සේවා වර්ෂයේදී, ඔවුන් සෑම දිනකදීම සාමාන්‍යයෙන් පැය 33,83,000ක් පමණ දේශනා සේවයේ යෙදී ඇත. එක් දිනකදී එසේ ඉටු කළ දේ තනි පුද්ගලයෙකු කරනවා නම් ඔහුට සිදු වෙනවා වසර 386ක් නොනවත්වා දේශනා සේවයේ යෙදීමට!

කෙසේනමුත් අප අපෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මම බලා සිටින්නේ කෙසේද?’ ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වන කාර්යශීලිත්වය පිළිබඳව පැවසෙන උපමාවක් යේසුස් දුන්නේය. ඔහු දාසයන් තිදෙනෙකු ගැන කතා කළේය. “[ස්වාමියා] එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට තලෙන්ත පහක්ද තව කෙනෙකුට දෙකක්ද තවත් කෙනෙකුට එකක්ද බැගින් දී පිටරට ගියේය. තලෙන්ත පහ ලැබූ තැනැත්තා එකෙණෙහිම ගොස් ඒවායින් වෙළඳාම් කොට තව පහක් උපදවාගත්තේය. එලෙසම, දෙක ලැබූ තැනැත්තාද තවත් දෙකක් උපදවාගත්තේය. නමුත් එකක් පමණක් ලැබූ තැනැත්තා ගොස් පොළොව හාරා, තම ස්වාමියාගේ රිදී මුදල සඟවා තැබීය. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලුවේය.”—මතෙව් 25:15-19.

ස්වාමියා ආපසු පැමිණෙන තුරු දාසයෝ තුන්දෙනාම බලා සිටියෝය. තම ස්වාමියා එන තුරු කඩිසරව වැඩ කර තිබූ දෙදෙනාට ස්වාමියා පැමිණි විට මෙසේ පැවසීය. “යහපත්, විශ්වාසවන්ත දාසය, ඉතා අගෙයි!” කෙසේවෙතත්, අලසකමින් බලා සිටි තැනැත්තාට ලැබුණේ වෙනස් ආකාරයේ සැලකිල්ලකි. ස්වාමියා මෙසේ පැවසීය. “කිසි කමකට නැති මේ දාසයාව පිටත අන්ධකාරයට වීසි කරන්න.”—මතෙව් 25:20-30.

මෙම උපමාව අදාළ වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වුවත් අප සියලුදෙනාටම ඉන් පාඩමක් ඉගෙනගත හැකියි. ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් අප එක් එක් කෙනාගෙන් අපේක්ෂා කරන්නේ යෙහෝවාගේ මහත් දවසේදී ඔහු පැමිණෙන තෙක් අප බලා සිටිමින් ඔහුගේ සේවයෙහි උද්‍යෝගයෙන් කඩිසරව යෙදී සිටිනවා දැකීමය. “එකිනෙකාගේ හැකියාව අනුව” හා තත්වයන් අනුව ඔවුන් වෙහෙස දරා කරන සේවය ඔහු අගය කරන්නේය. බලා සිටීම අවසන් වූ විට ස්වාමියාගෙන් පැසසුමක් ලැබේ නම් එය මොන තරම් ප්‍රීතියක් වනු ඇද්ද!

අපගේ ස්වාමියාගේ ඉවසීමෙන් අදහස් වන්නේ ගැලවීමය

අප වරක් සිතූ හෝ බලාපොරොත්තු වූ කාලයට වඩා දිගු කලක් මෙම සමාජ ක්‍රමය පැවත ඇත්නම් කුමක්ද? මෙසේ වී තිබෙන්නේ හේතුවක් නැතුව නොවේ. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “අපේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ගැලවීමයයි සලකන්න.” (2 පේතෘස් 3:15) අප දෙවිගේ අරමුණ ගැන නිවැරදි දැනුමක් ලබාගෙන, දෙවිගේ අරමුණ හා සසඳන කල අපේ පෞද්ගලික අභිලාෂයන් වැදගත් නොවන බව නිහතමානීව තේරුම්ගැනීම වැදගත්ය. යෙහෝවා මෙම සමාජ ක්‍රමය ගැන ඉවසන තාක් කල් අපටද ඉවසා සිටීමට හැකි වන්නේ එවිට පමණි.

ක්‍රිස්තියානීන්ට ඉවසා සිටීමට දිරිගැන්වීම සඳහා බයිබල් ලේඛක යාකොබ් උපමාවක් දුන්නේය. ඔහු ලීවේ මෙයයි. “බලන්න! පළමු වර්ෂාවත් අන්තිම වර්ෂාවත් ලැබෙන තුරු ඉවසිල්ලෙන් සිටිමින් ගොවියා පොළොවේ අනර්ඝ පල ගැන බලා සිටින්නේය. ඔබත් ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමීන්ගේ පැමිණ සිටීම ළඟා වී තිබෙන නිසා, ඔබේ සිත් ස්ථිර කරගන්න.”—යාකොබ් 5:7, 8.

අප බලා සිටින අතරතුර අප වෙහෙසට පත්ව පැත්තකට වෙනවා හෝ අත්හැර දමනවා දැකීමට යෙහෝවා දෙවි කැමති නැත. ඔහු අපට වැඩක් පවරා ඇති අතර ඔහු ප්‍රිය වන්නේ අප බලා සිටින කාලය තුළ එම වැඩෙහි කඩිසර ලෙස යෙදී සිටිනවා දැකීමටයි. එමෙන්ම ඔහු සතුටු වන්නේ, ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියද්දී විස්තර කළ අය අතරේ අපද සිටිනවා දැකීමටයි. ඔහු මෙසේ ලිවීය. “ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු. අප එසේ කියන්නේ ඔබ කම්මැළි නොවී, ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්නන් වන පිණිසය.”—හෙබ්‍රෙව් 6:11, 12.

එබැවින් අපි උත්සාහය අත් නොහරිමු. යෙහෝවා දෙවි සමඟ අපේ පෞද්ගලික සබඳතාව, යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි අපේ ඇදහිල්ල හා නව සමාජ ක්‍රමයේදී තිබෙනු ඇති දීප්තිමත් බලාපොරොත්තුව යනාදී දෑ අපේ ජීවිතයට නව පණක් දෙන ඒවා කරගනිමු. යේසුස්ගේ උපමාවේ සඳහන් ‘යහපත් විශ්වාසවන්ත දාසයන්’ මෙන් අපගේ දෙවිට ප්‍රශංසා කිරීමේදී කඩිසරව සිටීමෙන් අපි පැසසුමට ලක්වීමට හා ආශීර්වාද ලැබීමට සුදුස්සන් වීමට උත්සාහ කරමු. එලෙස ක්‍රියා කළ ගීතිකාකරු මෙසේ පැවසීය. “එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතාවලිය 71:14.

[21වන පිටුවේ පින්තූරය]

අධෛර්යයට පත් වූ යෝනා බලා සිටියේ නිනිවයට සිදු වන දේ දැකගැනීමටය

[22, 23වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ දවස පැමිණෙන තෙක් බලා සිටින අතරතුර අපි දේවභක්තික ක්‍රියාවල නියැලෙමු