Skip to content

පටුනට යන්න

ජීවිත කාලය පුරා ප්‍රයෝජනවත් වූ අධ්‍යාපනයක් මම ලැබුවා

ජීවිත කාලය පුරා ප්‍රයෝජනවත් වූ අධ්‍යාපනයක් මම ලැබුවා

ජීවිත කතාව

ජීවිත කාලය පුරා ප්‍රයෝජනවත් වූ අධ්‍යාපනයක් මම ලැබුවා

පැවසුවේ හැරල්ඩ් ග්ලූයස්

මා කුඩා ළමයෙක්ව සිටි කාලයේදී දැක්ක පින්තූරයක් අවුරුදු 70කට වඩා වැඩි කාලයක් පුරා මගේ මතකයේ රැඳිලා තියෙනවා. එදා මම මුළුතැන්ගෙයි වාඩි වෙලා ඉන්නකොට දැක්කා, “සිලෝන් ටී” කියලා ලියා තිබුණු ලේබලයක්. මම ඒක දිහා හොඳින් බැලුවා. ඒ පින්තූරයේ හිටියේ ලංකාවේ තියෙන සරුසාර තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් කිහිපදෙනෙක්. අපේ නිවස තිබුණේ දකුණු ඕස්ට්‍රේලියාවේ හුඟාක් වියළි ප්‍රදේශයකයි. එහෙ ඉඳන් බලද්දී මේ දර්ශනය තියෙන ලංකාව පිහිටා තියෙන්නේ හුඟාක් ඈත. මේ රට ගැන දැනගන්න මා තුළ ලොකු ආශාවක් ඇති වුණා. ලංකාව නම් හරිම ලස්සන තැනක් වෙන්න ඕනෙ කියලා මං හිතුවා. මේ අතිරමණීය දිවයිනේ මිෂනාරිවරයෙකු හැටියට මගේ ජීවිතයෙන් අවුරුදු 45ක්ම ගත වෙයි කියලා මං හිතුවේ නැහැ.

මම ඉපදුණේ 1922 අප්‍රියෙල් මාසයේයි. අද ලෝකය හුඟාක් වෙනස්. මගේ පවුලේ අය වැඩ කළේ පිටිසර ගමක තිබුණු ගොවිපොළකයි. අපේ ගොවිපොළට ආසන්නව තිබෙන කිම්බා කියන කුඩා ගැමි නගරය පිහිටා තිබුණේ අතිවිශාල ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ මැද හරියේ තියෙන විශාල කාන්තාර ප්‍රදේශයේ දකුණු කෙළවරේයි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන එක ලෙහෙසි වුණේ නැහැ. හැමතිස්සේම අපට නියඟයෙන් පීඩා විඳින්න සිදු වුණා. ඒ විතරක් නෙමෙයි නොයෙක් කෘමීන්ගෙනුත් ලෙඩ රෝග පැතිරුණා. දරාගන්න බැරි තරම් තද රස්නයක් තිබුණා. මගේ අම්මා, තාත්තාවත් දරුවෝ හයදෙනාවත් බලාගනිමින් ගෙදර දොරේ වැඩකටයුතු කරන්න හුඟාක් මහන්සි වුණා. අපි ඔක්කොම ජීවත් වුණේ ලඳු කැලෑවක තිබුණු පැල්පතකයි.

ඒත් හුදකලාවේ පිහිටි ඒ ගමේ ජීවිතය මම ගෙව්වේ හරිම නිදහසෙන්. ඒ වගේම ලොකු ප්‍රීතියකින්. විශාල ශක්තිසම්පන්න ගොන් බාන් ලවා ලඳු කැලෑවල තියෙන පඳුරු උගුලා පොළොව සුද්ද කරද්දී මා ඒ දෙස පුදුමයෙන් බලා සිටි ආකාරය මට තවමත් මතකයි. සමහර අවස්ථාවලදී මහ හඬක් නඟමින් හමා ගිය දූවිලි කුණාටු නිසා මුළු ගම් පළාතම දූවිල්ලෙන් වැහිලා ගියා. මම පාසැල් යන්නත් කලින් මේ වගේ දේවලින් ජීවිතය පිළිබඳව යම් දේවල් ඉගෙනගත්තා. මං ගිය පාසැල පිහිටා තිබුණේ අපේ ගෙදරට කිලෝමීටර් 5ක් විතර ඈතින්. මම පාසැලට ගියේ පයින්. පාසැලේ හිටියේ එක ගුරුවරයෙක් විතරයි.

මගේ දෙමාපියන් ආගමට ලැදි අය වුණත් කවදාවත් පල්ලි ගියේ නැහැ. මේකට ප්‍රධානතම හේතුව වුණේ අපේ ගොවිපොළේ ඉඳන් පල්ලියට හුඟාක් දුර යන්න තිබීමයි. කොහොමවුණත් 1930 ගණන්වල මුල්භාගයේදී මගේ අම්මා සතිපතා ගුවන් විදුලියේ විකාශනය වුණ විනිසුරුවෙකු වූ රදෆර්ඩ්ගේ බයිබල් දේශනවලට සවන් දෙන්න පටන්ගත්තා. මේ දේශන විකාශනය කළේ ඇඩිලේඩ්වල තිබුණු ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සිටයි. මං හිතුවේ රදෆර්ඩ් කියන්නේ ඇඩිලේඩ්වල හිටිය දේශනාකරුවෙක් කියලයි. මම එච්චර උනන්දුවක් දැක්වූයේ නැහැ ඔහුගේ දේශනවලට සවන් දෙන්න. ඒ වුණත් අම්මා නම් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළ සහෝදර රදෆර්ඩ්ගේ දේශනවලට සවන් දෙන්න හැම සතියකම මහත් උනන්දුවෙන් බලාගෙන හිටියා. බැටරිවලින් වැඩ කරපු අපේ ගෙදර තිබුණු පරණ ගුවන්විදුලියෙන් හොඳට ඇහෙන්නේ නැති වුණත් අපේ අම්මා ඒක ළඟටම වෙලා උනන්දුවෙන් අහගෙන හිටියා.

දූවිලි සහිත හුළං හැමූ තද රස්නේ තිබුණු එක් දවාලක පරණ වාහනයක් අපේ ගේ ඉස්සරහ නතර කළා. ඒකේ හිටිය හොඳින් ඇඳ පැළඳගත් පුරුෂයන් දෙදෙනෙක් අපේ ගෙදරට ආවා. ඒ දෙන්නා යෙහෝවාගේ සාක්ෂිකරුවන්. අම්මා එයාලාගේ පණිවිඩයට සවන් දීලා, පොත් පත් කිහිපයක් අරං සම්මාදමක් කළා. ඈ ඉක්මනටම ඒ පොත් කියවන්න පටන්ගත්තා. මේ පොත් පත්වල තිබුණු දේවල් ඇගේ සිතට කොච්චර කාවැදුණාද කියනවා නම්, ඇය දැනගත්ත දේවල් ඉක්මනින්ම තම අසල්වැසියන්ට කියන්න ඇයට ඕන වුණා. ඇයව අසල්වැසියන්ගේ නිවෙස්වලට වාහනයෙන් ගෙනියන්න කියලා ඇය තාත්තාගෙන් ඉල්ලා සිටියා.

හොඳ ආශ්‍රයෙන් ලැබුණු ප්‍රයෝජන

මේ දේවල් සිදු වෙලා වැඩි කාලයක් ගියේ නැහැ, අපි හිටිය ගම් පළාතේ ජීවත් වෙන එක දරාගන්න බැරි තරමටම කටුක එකක් වුණ හින්දා අපිට සිද්ධ වුණා, කිලෝමීටර් 500ක් ඈත තිබුණු ඇඩිලේඩ් නගරයට පදිංචියට යන්න. ඊටපස්සේ අපේ පවුලේ අය ඇඩිලේඩ්වල තිබුණු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව සමඟ ඇසුරු කරන්න පටන්ගත්තා. අපි ටිකෙන් ටික ආත්මිකව දියුණු වුණා. අපේ පදිංචිය මාරු වුණත් එක්කම මගේ පාසැල් අධ්‍යාපනයත් නතර වුණා. එතකොට මගේ වයස අවුරුදු 13යි. මම ඉගෙනගත්තේ හත්වෙනි පන්තියට වෙනකං විතරයි. මම ජීවිතය ඒ තරම් බැරෑරුම් දෙයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම කා එක්කත් හොඳ හිතක් තියාගන්නයි මම උත්සාහ කළේ. මේ හින්දා සමහරවිට මම ආත්මික ඉලක්ක තබා නොගන්න ඉඩ තිබුණා. ඒ කාලයේ මා ගැන උනන්දුවක් දැක්වූ පූර්ණ කාලීන දේවසේවකයන් වන පුරෝගාමී සහෝදරයන් කිහිපදෙනෙකුගේ උපකාරය නොලැබුණා නම් මගේ ඉලක්ක වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ආත්මික දේවල්වලට තිබුණු ඇල්ම ටික කාලයක් යටපත් වෙලයි තිබුණේ. ඒත් කාලයක් යන විට ඒ උද්‍යෝගිමත් සහෝදරයන්ගේ ඇසුර නිසා ආත්මික දේවල් සඳහා ඇල්මක් නැවතත් ඉස්මතු වෙන්න පටන්ගත්තා. ඔවුන් එක්ක ඇසුරු කරන්න මට ලොකු ආශාවක් තිබුණා. වෙහෙස මහන්සි වෙලා සේවය කරන්න ඔවුන් තුළ තිබුණු කැමැත්ත මම අගය කළා. වර්ෂ 1940දී ඇඩිලේඩ්වල පැවැත්වූ සමුළුවකදී පූර්ණ කාලීන සේවය කිරීමට උනන්දු කරමින් නිවේදනයක් නිකුත් කළා. මටම පුදුමයි, මගේ නමත් මම දුන්නා. ඒ කාලයේදී මම බව්තීස්ම වෙලාවත් හිටියේ නැහැ. මම දේශනා සේවයේ එච්චර හවුල් වෙලා තිබුණෙත් නැහැ. කොහොමවුණත් වොනම්බූල් කියන නගරයේ සේවය කරමින් හිටිය කුඩා පුරෝගාමී කණ්ඩායමක් එක්ක සේවයේ හවුල් වෙන්න කියලා දවස් කිහිපයකට පස්සේ මට ආරාධනාවක් ලැබුණා. මේ නගරය පිහිටා තියෙන්නේ ඇඩිලේඩ්වල ඉඳන් කිලෝමීටර් සියගණනක් ඈතින්. ඊට ළඟම තිබුණු ජනපදය වික්ටෝරියා ජනපදයයි.

දෙගිඩියාවකින් පටන්ගත්තත් වැඩි කාලයක් යන්න කලින් ක්ෂේත්‍ර සේවයට ලොකු ඇල්මක් මා තුළ ඇති වෙන්න පටන්ගත්තා. මට සන්තෝෂයි කියන්න, දේවසේවයට තියෙන මගේ ඇල්ම ගෙවී ගිය අවුරුදු ගණනාව පුරා අඩු වෙලා නැහැ. ඇත්තෙන්ම ඒ කාලය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. මම ආත්මිකව වර්ධනය වෙන්න පටන්ගත්තා. ආත්මික දේවලට ඇල්මක් තියෙන අයත් එක්ක කිට්ටු ඇසුරක් පැවැත්වීමේ වටිනාකම මම ඉගෙනගත්තා. අපේ අධ්‍යාපන මට්ටම මොකක් වුණත් හොඳ ආශ්‍රයක් මගින් අපත් වඩාත් හොඳ පුද්ගලයන් වන බව මම ඉගෙනගත්තා. ඒ වගේම අපි ඉගෙනගන්න පාඩම් ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙන ආකාරයත් මම තේරුම්ගත්තා.

පරීක්ෂා නිසා ශක්තිමත් වී

මම පුරෝගාමි සේවය පටන් අරං වැඩි කාලයක් ගියේ නැහැ, ඕස්ට්‍රේලියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය තහනම් කෙරුවා. මොනවා කරන්නද කියල මම දැනගෙන හිටියේ නැහැ. මම සහෝදරයන්ගෙන් ඇහැව්වා මේ වගේ වේලාවක කරන්න ඕනෙ මොනවාද කියලා. බයිබලය ගැන මිනිසුන්ට කතා කරන එකට විරුද්ධව කිසිම තහනමක් නැහැ කියලා ඒ සහෝදරයෝ මට පෙන්වා දුන්නා. මම අනෙක් පුරෝගාමීන් එක්ක එකතු වෙලා බයිබලය පාවිච්චි කරමින් ගෙයින් ගෙට ගොස් පණිවිඩය කෙටියෙන් පවසන්න පටන්ගත්තා. වැඩි කාලයක් නොගොස් මුහුණ දෙන්න තිබුණු පරීක්ෂණ ඉදිරියෙහි නොසැලී සිටින්න ඒ සේවය මට උදව් කළා.

මාස හතරකට පස්සේ මට අවුරුදු 18 සම්පූර්ණ වුණාම, නියෝගයක් ලැබුණා හමුදා සේවයට වාර්තා කරන්න කියා. හමුදා නිලධාරීන් හා මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ මගේ ඇදහිල්ල ගැන කතා කරන්න මට අවස්ථාවක් ලැබුණා. දේශපාලනය සම්බන්ධයෙන් පැති නොගන්න නිසා ඒ කාලයේදී සහෝදරයන් 20දෙනෙක් විතර ඇඩිලේඩ්වල තිබුණු බන්ධනාගාරයේ සිටියා. මාවත් ඔවුන් හිටිය සිරගෙදරට දැම්මා. අපිට බර වැඩ නියම කළා. ගල් වළවල්වල වැඩ කරන්නත් පාරවල් අලුත්වැඩියා කරන්නත් අපිට නියම කළා. විඳදරාගැනීම හා අධිෂ්ඨාන ශක්තිය වැනි ගුණාංග දියුණු කරගන්න ඒක මට උදව් වුණා. අපේ හොඳ හැසිරීම හා නොසැලෙන ස්ථාවරය නිසා අන්තිමේදී අපිට පුළුවන් වුණා, සිරගෙදර නිලධාරීන් බොහෝදෙනෙකුගේ ගෞරවය දිනාගන්න.

මාස කිහිපයකට පස්සේ මට නිදහස ලැබුණා. ඒ විතරක් නෙමෙයි කාලයකට පස්සේ කටට රහට කෑම ටිකක් කන්නත් පුළුවන් වුණා. මම නැවතත් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ දවස්වල පුරෝගාමීන් එච්චර හිටියේ නැහැ. ඒ හින්දා මගෙන් ඇහැව්වා, දකුණු ඕස්ට්‍රේලියාවේ ගොවිතැන් කරන පිටිසර ප්‍රදේශයක තනියම සේවය කරන්න කැමතිද කියලා. මම ඒකට කැමති වෙලා, යෝර්ක් අර්ධද්වීපයට නැවෙන් ගියා. මම අරං ගියේ දේශනා සේවය සඳහා අවශ්‍ය කරන දේවල් හා බයිසිකලයක් විතරයි. මම ඒ ප්‍රදේශයට ආවට පස්සේ උනන්දුව දැක්වූ පවුලක් මට කුඩා නවාතැනක් හොයල දුන්නා. එහි සිටි කරුණාවන්ත කාන්තාව පුතෙකුට වගේ මට සැලකුවා. දහවල් කාලයේදී මම දූවිලි පාරවල් දිගේ බයිසිකලය පදිමින් ඒ අර්ධද්වීපයේ තැනින් තැන තිබුණු පොඩි නගරවල දේශනා කළා. දුර ප්‍රදේශවල දේශනා කරන්න ගිය සමහර අවස්ථාවලදී මම රෑට නතර වුණේ කුඩා නවාතැන්පොළවලයි. මේ විදිහට දේශනා කරමින් මම කිලෝමීටර් සියගණනක් බයිසිකලය පැද්දා. මේ කාලයේදී ලැබූ අද්දැකීම්වලින් මට ලොකු ප්‍රීතියක් ලැබුණා. තනියම සේවය කරන එක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. යෙහෝවා මාව බලාගන්න බව අද්දකිද්දී මම තව තවත් ඔහුට ළං වුණා.

සුදුසුකම් නැතැයි හැඟුණු අවස්ථාවලට මුහුණ දීම

සංචාරක සේවයේ හවුල් වෙන්න කියලා මට 1946දී ආරාධනාවක් ලැබුණා. චාරිකාවකට අයත් සභාවල් ගණනාවක් බැහැදැකීම ඒ සේවයට අයත් වුණා. මේ පැවරුමට අදාළ වගකීම් ඉටු කරන එක මට ඒ තරම් ලෙහෙසි වුණේ නැහැ. මට එක දවසක් ඇහුණා සහෝදරයෙක් මෙහෙම කියනවා. “හැරල්ඩ් හොඳ කථිකයෙක් නම් නෙමෙයි, ඒ වුණත් එයා දේශනා සේවයට නම් හරි දක්ෂයි.” මේ අදහස්වලින් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. මට ඒ තරම් හොඳින් කතා ඉදිරිපත් කරන්න බැරි බවත් සංවිධානය කිරීමේ කටයුතු දක්ෂ ලෙස හසුරුවන්න බැරි බවත් මම හොඳින් දැන සිටියා. ඒ වුණත් ක්‍රිස්තියානීන්ට තියෙන ප්‍රධානතම වැඩය දේශනා සේවය බව මම විශ්වාස කළා.

බෘක්ලින්වල තියෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ඉඳන් සහෝදර නේදන් නෝර් හා මිල්ටන් හෙන්ෂල් 1947දී පැමිණෙන බව අපිට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන මහත් උනන්දුවකින් බලා සිටියා. සහෝදර රදෆර්ඩ් 1938දී ආවට පස්සේ ලෝක මූලස්ථානයෙන් කවුරුත් ඒ වගේ බැහැදැකීමක් කරලා තිබුණේ නැහැ. මේ බැහැදැකීම කළ කාලයේදී විශාල සමුළුවක් සිඩ්නි නුවර පැවැත්තුවා. තරුණ පුරෝගාමීන් හුඟදෙනෙකුට ලොකු ආශාවක් තිබුණා අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි දකුණු ලන්සින්වල පිහිටා තිබුණු ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පුහුණුව ලබන්න. ඒ කාලයේ පටන්ගත් ඒ පාසැලට යන්න මටත් ලොකු ආශාවක් තිබුණා. මේ පාසැලට ඇතුළත් වෙන්න හොඳ අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍ය වෙයිද කියා අපි හුඟදෙනෙක් හිතුවා. ඒත් සහෝදර නෝර් පැහැදිලි කළා, මුරටැඹ සඟරාවක ලිපියක් කියවා එහි මූලික කරුණු මතක තියාගන්න හැකි නම් ගිලියද් පාසැලෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියල.

මම එච්චර දුරට ඉගෙනගෙන තිබුණේ නැති නිසා මට නම් ගිලියද් පාසැලට යන්න ලැබෙන එකක් නැහැ කියලා මට හැඟුණා. මාව පුදුමයට පත් කරමින් මාස කිහිපයකට පස්සේ ගිලියද් පාසැලේ පුහුණුව සඳහා අයදුම් කරන්න කියා මටත් ආරාධනාවක් ලැබුණා. පසුව මට 1950දී පැවැත්වූ 16වෙනි පන්තියේ ශිෂ්‍යයෙකු හැටියට ඉගෙනගන්න අවස්ථාවක් සැලසුණා. මේ පාසැලට සහභාගි වීම මගේ ජීවිතයේ මම ලබපු ලොකු අද්දැකීමක්. ගිලියද් පාසැලේදී ඉගෙනගත්ත දේවල් මා තුළ ලොකු ආත්ම විශ්වාසයක් ඇති කළා. සාර්ථකත්වය සඳහා ප්‍රධානම දෙය වන්නේ අධ්‍යාපනික සමර්ථකම් නොවන බව මට එයින් වැටහුණා. සාර්ථක වීම සඳහා මූලිකව අවශ්‍ය වෙන්නේ උනන්දුවෙන් වැඩ කිරීම හා කීකරුකමයි. ඒ පාසැලේ අපට ඉගැන්වූ අය අපව දිරිමත් කළේ අපේ උපරිමය කරන්න කියායි. ඔවුන් ඉගැන්වූ දේවල් අදාළ කරගනිද්දී මම හොඳ දියුණුවක් ලැබුවා. ඒ විතරක් නෙමෙයි, පාසැලේදී ඉගැන්වූ දේවල් හොඳින් තේරුම්ගන්නත් මට හැකි වුණා.

වියළි මහාද්වීපයක සිට මුතු ඇටයක් බඳු දිවයිනට පැමිණීම

ගිලියද් පාසැලේ උපාධිය ලැබීමෙන් පස්සේ ඕස්ට්‍රේලියාවේ තවත් සහෝදරයන් දෙදෙනෙකුටයි මටයි ලංකාවේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපි 1951 සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අගනුවර වූ කොළඹට ආවා. එහි උණුසුම් දේශගුණයක් තිබුණා. කලින් දැකලා නැති දේවල් අපි දැක්කා. කලින් අහලා නැති ශබ්ද ඇහුණා. කලින් දැනිලා තිබුණේ නැති සුවඳවල් දැනුණා. අපි නැවෙන් බැහැලා එද්දී අපිව පිළිගත්තේ ඒ වෙද්දීත් ලංකාවේ සේවය කරමින් සිටිය මිෂනාරි සහෝදරයෙක්. ඔහු මාව පිළිගත්තේ අත්පත්‍රිකාවක් මට දෙමිනුයි. ඒ පත්‍රිකාවේ සඳහන් කර තිබුණේ ඊළඟ ඉරිදා කොළඹ නගරයේ එළිමහන් ස්ථානයක ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු ප්‍රසිද්ධ කතාවක් ගැනයි. ඒ කතාව ඉදිරිපත් කරන කථිකයා හැටියට මගේ නම දැක්කාම මට පුදුම හිතුණා! මට දැනුණු බය කොච්චරද කියලා ඔබට හිතාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වුණත් ඕස්ට්‍රේලියාවේ පුරෝගාමියෙකු හැටියට සේවය කළ අවුරුදු ගණනාව තුළ මා ඉගෙනගත්ත එක දෙයක් තමා, මට දෙන ඕනෑම පැවරුමක් බාරගැනීම. යෙහෝවාගේ උපකාරය ඇතිව ඒ කතාව හොඳින් ඉදිරිපත් කරන්න මට හැකි වුණා. ඒ වන විටත් කොළඹ මිෂනාරි නිවසේ තනිකඩ සහෝදරයන් හතරදෙනෙක් පදිංචි වෙලා හිටියා. ඔවුන් එක්ක අපි තුන්දෙනාත් එකතු වෙලා ඉගෙනගන්න අමාරු සිංහල භාෂාව ටික ටික කතා කරමින් ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. හුඟාක් වේලාවට අපි සේවය කළේ තනියමයි. ඒ රටේ අය ආචාරශීලී හා ආගන්තුක සත්කාරයට ලැදි අය වීම ගැන අපි සතුටු වුණා. වැඩි කාලයක් ගියේ නැහැ, රැස්වීම්වලට පැමිණෙන ගණන වැඩි වෙන්න පටන්ගත්තා.

කාලය ගෙවී යන අතරේදී, මම ලස්සන පුරෝගාමි සහෝදරියක් වන සිබිල් ගැන හිතන්න පටන්ගත්තා. ඇයව මට හමු වුණේ මම ගිලියද් පාසැලට ගිය නැවේදීයි. ඇය නිව් යෝර්ක් නුවර පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවට යමින් සිටියා. පසුව ඇය ගිලියද් පාසැලේ 21වන පන්තියේ ඉගෙනගත්තා. වර්ෂ 1953දී ඇයට හොංකොංවල සේවය කරන්න පැවරුමක් ලැබුණා. මම එයත් එක්ක ලියුම් හුවමාරු කරගන්න පටන්ගත්තා. එක්දහස් නවසිය පනස් පහේදී අපි දෙන්නා විවාහ වෙන තෙක් ලියුම් හුවමාරු කරගත්තා. අපි විවාහ වුණේ ලංකාවේයි.

මිෂනාරි යුවළක් හැටියට අපි දෙන්නාට ලැබුණු මුල්ම පැවරුම වුණේ ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි යාපනයේ සේවය කරන්නයි. එක්දහස් නවසිය පනස්ගණන්වල මැදභාගයේදී දේශපාලනික වෙනස්කම් නිසා සිංහල හා දෙමළ ජනයා අතර භේද ඇති වෙන්න පටන්ගත්තා. දශක කිහිපයකට පස්සේ මේ ජන කොටස් දෙක අවි අතට ගෙන සටන් කිරීම දක්වා මෙම භේද වැඩි වුණා. යුද්ධය තිබුණු දුෂ්කර කාලවලදී සිංහල හා දෙමළ සාක්ෂිකරුවන් එකිනෙකාට ආරක්ෂාව සැලසූ ආකාරය දැකීම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි. ඒ කාලවල ඇති වුණ පීඩා නිසා සහෝදරයන්ගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා.

ශ්‍රී ලංකාවේ දේශනා කිරීම හා ඉගැන්වීම

හින්දු හා මුස්ලිම් ජනයාට දේශනා කරද්දී ඉවසීම අවශ්‍ය වුණා. ඒ සඳහා අත්නෑර උත්සාහ කළ යුතුයි. ඒ සංස්කෘතීන් දෙකම තේරුම්ගෙන ඔවුන්ගේ හොඳ ගුණාංග අගය කරන්න අපි පටන්ගත්තා. විදේශිකයන් බස්වල ගමන් කරන එක මිනිසුන්ට අසාමාන්‍ය දර්ශනයක් නිසා ඔවුන් අපි දිහා කුතුහලයකින් බලා හිටියා. ඒ වගේ වේලාවල සිබිල් ඒ අයත් එක්ක හොඳට හිනා වුණා. කුතුහලයෙන් බලා සිටි ඒ අයත් ලස්සන සිනහවකින් අපට සංග්‍රහ කරද්දී ලොකු සතුටක් අපට දැනුණා.

එක අවස්ථාවකදී අපිව මාර්ග බාධකයක් ළඟ නතර කළා. ඒ වේලාවේ එතැන හිටිය ආරක්ෂක නිලධාරියා අපෙන් ඇහැව්වා, අපි කොහේ අයද, යන්නේ කොහේටද කියලා. ටික වේලාවක් යද්දී ඔහු අපේ පෞද්ගලික තොරතුරුත් අහන්න පටන්ගත්තා.

“කවුද මේ නෝනා?”

“මගේ භාර්යාව” කියා මම උත්තර දුන්නා.

“ඔය දෙන්නා බැඳලා කොච්චර කල්ද?”

“අවුරුදු අටයි.”

“දරුවෝ ඉන්නවාද?”

“නැහැ.”

“හරි පුදුමයිනේ! දොස්තර කෙනෙක්ව හම්බ වුණේ නැද්ද?”

ඔවුන්ගේ මේ ස්වභාවය ගැන මුලදී අපිට පුදුම හිතුණා. ඒ වුණත් කාලයක් යද්දී අපිට තේරුණා, ඒ වගේ දේවල් අහන්නේ ඒ රටේ ඉන්න අය අනිත් අය ගැන පෞද්ගලිකව සැලකිලිමත් වෙන නිසයි කියලා. ඇත්තෙන්ම, අනිත් අය ගැන සැලකිල්ල දැක්වීම ඔවුන්ගේ ප්‍රියමනාප ගතිලක්ෂණයක්. යම් කෙනෙක් පාරක තනි වෙලා හිටියොත් වැඩි වේලාවක් යන්න කලින් කවුරු හරි කෙනෙක් ඇවිත් උදව්වක් අවශ්‍යද කියලා කාරුණිකව අහනවා.

වෙනස්කම් හා මතකයන්

වසර ගණනාවක් පුරා අපි ශ්‍රී ලංකාවේ කළ මිෂනාරි සේවයට අමතරව තවත් විවිධ පැවරුම්ද ප්‍රීතියෙන් ඉටු කළා. චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයෙකු හැටියටත් ශාඛා කමිටුවේ සාමාජිකයෙකු හැටියටත් සේවය කිරීමේ ප්‍රස්තා මට ලැබුණා. එක්දහස් නවසිය අනූහය වෙන කොට මම හිටියේ හැත්තෑ ගණන්වලයි. ඒ වෙද්දී මම ශ්‍රී ලංකාවේ අවුරුදු 45කට වැඩි කාලයක් පුරා මිෂනාරිවරයෙක් හැටියට සේවය කරලා තිබුණා. ඒ කාලය තුළ මම ලොකු ප්‍රීතියක් ලැබුවා. මම කොළඹදී සහභාගි වුණ මුල්ම රැස්වීමට ඇවිල්ලා හිටියේ විසිදෙනෙකුට කිට්ටු ගණනක්. අද වෙනකොට ප්‍රචාරකයන් 3,500කටත් වඩා ඉන්නවා. සිබිල් සහ මම මේ අයගෙන් හුඟදෙනෙකුව සලකන්නේ අපේ ආත්මික දරුදැරියන් හා මුණුපුරන් හා මිණිපිරියන් ලෙසයි. ශ්‍රී ලංකාව පුරා තව විශාල සේවයක් කරන්න තිබුණා. මේ සඳහා අපිට වඩා වයසින් අඩු ශක්ති සම්පන්න හා හැකියාවන් තියෙන අය අවශ්‍ය වුණා. මෙය හිතට ගත් අපි, ආපහු ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න කියා පාලක මණ්ඩලය දුන් ආරාධනාව පිළිගත්තා. මේ හින්දා සුදුසුකම් ලත් තරුණ මිෂනාරි යුවළයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාවට යන්න.

දැන් මගේ වයස අවුරුදු 83යි. මගේ කලින් නිවහන වුණ ඇඩිලේඩ්වල විශේෂ පුරෝගාමීන් හැටියට දිගටම සේවය කරගෙන යන්න තරම් හොඳ සෞඛ්‍යයක් තවමත් අපිට තිබීම ගැන සිබිල් සහ මම සතුටු වෙනවා. වෙනස් වෙන තත්වයන්ට හැඩගැසීමේ හැකියාව අපේ දේවසේවය නිසා අපට ලැබිලා තියෙනවා. ලංකාවට වඩා ඕස්ට්‍රේලියාවේ ජීවන රටාව හුඟාක් වෙනස්. ඒකට නැවත හැඩගැසෙන්නත් අපට උපකාරවත් වෙලා තියෙන්නේ අපේ දේවසේවයයි.

අපේ හැම ද්‍රව්‍යමය අවශ්‍යතාවක්ම සපුරාලමින් යෙහෝවා දෙවි දිගටම අපිව රැකබලා ගන්නවා. අපි සේවය කරන සභාවේ සහෝදර සහෝදරියන් අපිට හුඟාක් උදව් කරනවා. ඔවුන්ගේ ප්‍රේමය අපිට නොඅඩුව ලැබෙනවා. ළඟදී මට අලුත් පැවරුමක් ලැබුණා. ඒ තමයි අපේ සභාවේ ලේකම් හැටියට සේවය කරන්න. යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න මම අඛණ්ඩව උත්සාහ කරද්දී මම දිගටම පුහුණුව ලබන බව තේරුම් අරං තියෙනවා. අතීතය දිහා ආපහු හැරිලා බලද්දී, ලඳු කැලෑවලින් ගහන පිටිසර ගම්මානයක හැදී වැඩුණු චාම් ජීවිතයක් ගත කළ, ජීවිතය ඒ තරම් බැරෑරුම් ලෙස සැලකුවේ නැති පිරිමි ළමයෙකුට මේ තරම් අපූර්ව අධ්‍යාපනයක් ලබන්න හැකි වුණ එක ගැන මට හැම වේලාවෙම දැනෙන්නේ පුදුමයක්. ඒ අධ්‍යාපනය ජීවිත කාලයටම මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

[26වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වූ දවස, 1955

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1957දී ශ්‍රී ලංකාවේ සහෝදරයෙක් වූ රාජන් කදිර්ගාමර් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙමින්

[28වන පිටුවේ පින්තූරය]

අද සිබිල් සමඟ