Skip to content

පටුනට යන්න

තම විශ්වාසයන් පන්තියේ ළමුන් සමඟ බෙදාගත් දැරියක්

තම විශ්වාසයන් පන්තියේ ළමුන් සමඟ බෙදාගත් දැරියක්

තම විශ්වාසයන් පන්තියේ ළමුන් සමඟ බෙදාගත් දැරියක්

ඔබේ පන්තියේ ළමයින්ට ඔබ විශ්වාස කරන බයිබලයේ ඉගැන්වීම් ගැන වඩාත් නිවැරදි දැනුමක් ලබාගන්න උපකාර කරන්න ඔබ කැමතිද? අවුරුදු 18ක් වයසැති මැග්ඩලේනා පෝලන්තයේ ද්විතීයික පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් නිසා නිතරම ඇගේ පන්තියේ ළමයින්ට ඇගේ ආගමික විශ්වාසයන් ගැන කතා කළා. මේ නිසා බොහෝවිට පන්තියේ ළමුන් ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන්නේ කාටද? ඔබේ විශ්වාසයන් මොනවාද?’ සහ ‘යේසුස්ව විශ්වාස කරන්නේ නැද්ද?’ යන ප්‍රශ්න ඇහුවා. ඇයට පන්තියේ ළමයින්ට උපකාර කරන්න පුළුවන් කොහොමද? මැග්ඩලේනා යෙහෝවාගෙන් මඟපෙන්වීම ඉල්ලා යාච්ඤා කළ අතර ඒ යාච්ඤාවලට එකඟව ක්‍රියා කළා.—යාකොබ් 1:5.

එක දවසක් මැග්ඩලේනා ඇගේ විශ්වාසයන්ට ගරු කළ ගුරුවරියෙකුගෙන් ඇහුවා ඇය පන්තියේ ළමුන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු * යන වීඩියෝ පටිය පෙන්නුවාට කමක් නැද්ද කියා. ගුරුවරිය මෙයට එකඟ වුණා. ඉන්පසු මැග්ඩලේනා ඇගේ පන්තියේ ළමයින්ට කිව්වා “මම මිනිත්තු 90ක වැඩසටහනක් පන්තියට ඉදිරිපත් කරන්න මගේ යාළුවෙක්ව සූදානම් කරනවා. ඒ වැඩසටහනට වීඩියෝ පටියක් පෙන්වීම හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතුළත්. ඔබ ඒකට එන්න කැමතිද?” හැමෝම කිව්වා කැමතියි කියලා. මැග්ඩලේනා හා අද්දැකීම් ලත් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙක් වන වෝයිට්සියෙක් මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට සැලසුම් සූදානම් කළා.

ඔවුන් සැලසුම් කළා මුලින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? * ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාවේ තියෙන තොරතුරු උපයෝගි කරගෙන මිනිත්තු 20ක කතාවක් ඉදිරිපත් කරන්න. ඊටපස්සේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් පවත්වන්න. ඉන් අනතුරුව පාසැලේ පුස්තකාලයේ වීඩියෝ පටිය පෙන්වීමට. ඒ විතරක් නෙවෙයි පන්තියේ සිටින සෑම ශිෂ්‍යයෙකුටම යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * යන පොතත්, සඟරා හා පත්‍රිකා කිහිපයක් අඩංගු තෑගි මල්ලක් දෙන්නත් කටයුතු සූදානම් කරගත්තා.

මෙම වැඩසටහන සඳහා පන්තියේ ළමයින් 14දෙනෙක් ගුරුවරිය හා තවත් ඒ වේලාවේ පුස්තකාලයේ හිටිය ළමුන් 4දෙනෙකුත් සහභාගි වුණා. පෝලන්ත ජාතික කවියන් හා කර්තෘවරුන් කිහිපදෙනෙක් තමන්ගේ කෘතීන්වල යෙහෝවා යන දිව්‍ය නාමය භාවිත කර ඇති බව වෝයිට්සියෙක් ආරම්භයේදී පැහැදිලි කළා. ඒ වගේම ඔහු පෙන්නුම් කළා සමහර පැරණි කතෝලික ඥාන උපදේශ පොත්වල පවා දිව්‍ය නාමය අඩංගු වී තිබුණු බව. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කරමින් විවිධ ශාඛා කාර්යාලවල හා එක්රැස්වීම් ශාලාවල පින්තූරු පෙන්නුවා.

ඊටපස්සේ ප්‍රාණවත් සාකච්ඡාවක් ඇරඹුණා. මැග්ඩලේනා හා වෝයිට්සියෙක් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා බයිබලය පාවිච්චි කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ තමන්ගේ මත නෙවෙයි නමුත් බයිබලයේ අදහස් බව එහි සිටි අයට ඒත්තුගියා. ශිෂ්‍යයන් ඇසූ සමහර ප්‍රශ්න මොනවාද? ඒවාට දුන් පිළිතුරු මොනවාද?

ප්‍රශ්නය: බයිබලයේ තේරුම්ගැනීමට අපහසු තැන් බොහෝමයක් තියෙනවා. ඒ වගේම එහි තිබෙන රූපකාලංකාර භාෂා ශෛලිය නිසා ඒ අදහස් විවිධ විදිහට තේරුම් කර දෙන්නත් පුළුවන්. මේ හේතු නිසා බයිබලයට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගන්නේ කොහොමද?

පිළිතුර: සමහර අය කියන්නේ තමන් කැමති අදහසක් හරි කියා ඔප්පු කරන්න බයිබලය පාවිච්චි කරන්න පුළුවන් කියායි. නමුත් මෙහෙම හිතලා බලන්න. ඔබට අවශ්‍ය නම් කර්තෘවරයෙක් ලියා තිබෙන අදහස් ගැන හරියටම දැනගන්න ඒක ඔහුගෙන් අහලා දැනගන්න එක වඩාත් හොඳම ක්‍රමය නෙවෙයිද ? මිනිස් කෘතීන්වල කර්තෘවරු කාලයක් ජීවත් වී මිය ගොස් තිබුණත් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි ජීවමාන දෙවි කෙනෙක්. (රෝම 1:20; 1 කොරින්ති 8:5, 6) බයිබල් පදයක නිවැරදි තේරුම එහි අවට පාඨවලින් අඟවන්න පුළුවන්. ඊට අමතරව එක විෂයක් ගත්තහම ඒක ගැන බයිබලයේ විවිධ තැන්වල අදහස් දක්වා තිබෙනවා. මේ බයිබල් පද සියල්ලම එකිනෙකට සන්සන්දනය කර බැලීම නිවැරදි තේරුම දැනගැනීමට උපකාරවත් වෙයි. එලෙස කිරීමෙන් අපි දෙවිට අපේ කල්පනාවන් හසුරුවාලීමට ඉඩ දෙනවා. ඒක හරියට ඔහුම අපිට බයිබලයේ කරුණු පහදා දෙනවා වගේයි. එසේ කිරීමෙන් බයිබලයේ කියා තිබෙන විදිහට දෙවිගේ කැමැත්ත දැනගැනීමටත් එයට අනුව අපේ ජීවිත හැඩගස්වා ගැනීමටත් අපිට හැකි වෙන්නේ නැද්ද?

ප්‍රශ්නය: ක්‍රිස්තියානීන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ඇති වෙනස මොකක්ද?

පිළිතුර: අපි ක්‍රිස්තියානීන්. හැබැයි නිකම්ම ක්‍රිස්තියානීන් කියලා ලේබලයක් ගහගන්නවාට වඩා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ විශ්වාසයන්ට එකඟව ජීවත් වෙන්නත් ඒ වගේම ඔවුන්ගේ යහපත සඳහා දෙවි උගන්වන දේවල් අදාළ කරගැනීමටත් උත්සහ දරනවා. (යෙසායා 48:17, 18) ඔවුන්ගේ සියලුම ඉගැන්වීම් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි. ඒ නිසා ඔවුන් දන්නවා ඔවුන් ළඟ සත්‍ය ඉගැන්වීම තියෙනවා කියල.—මතෙව් 7:13, 14, 21-23.

ප්‍රශ්නය: ඔබ අමුත්තන් මුණ ගැසී ඔවුන්ට කතා කිරීමට මෙතරම් උත්සහ කරන්නේ ඇයි? එය ඔබේ විශ්වාසයන් අන් අයට පිළිගැන්වීමට බල කිරීමක් නෙවෙයිද?

පිළිතුර: පාරේදී මුණගැසෙන කෙනෙක් ඔබට කාරුණිකව කතා කරලා යම් කාරණයක් ගැන ඔබේ අදහස් විමසන එක වැරදියි කියලා ඔබ හිතනවාද? (යෙරෙමියා 5:1; ශෙපනියා 2:2, 3) (ඉන්පසු වෝයිට්සියෙක් සහ මැග්ඩලේනා මෑතකදී පෝලන්තයේ ඇති වූ ගංවතුරෙන් විපතට පත්වූවන් ගැන දෙවි සලකනවාද යන ප්‍රශ්නය ගැන වීදියේ හමු වන කෙනෙකුගෙන් අහන හැටි නිරූපණය කර පෙන්නුවා.) ඒ තැනැත්තාගේ අදහස් විමසලා පසුව අපි බයිබලය වෙතට ඔහුගේ අවධානය යොමු කරනවා. කෙනෙක් කතා කරන්න අකමැති නම් ඒකට කමක් නැහැයි කියල ඔහුට යන්න අරිනවා. (මතෙව් 10:11-14) ඉතින් ඒක, අපිත් එක්ක කතා කරන්න කියා අන් අයට කරන බල කිරීමක්ද? අනෙක මිනිසුන් එකිනෙකා එක්ක කතා කරන එකත් වැරදිද?

ප්‍රශ්නය: ඔබ සමහර උත්සව පවත්වන්නේ නැත්තේ ඇයි?

පිළිතුර: අපිට පවත්වන්න කියා බයිබලයේ අණ කර තිබෙන්නේ එක උත්සවයයි. ඒ යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයයි. (1 කොරින්ති 11:23-26) වෙනත් උත්සව සම්බන්ධයෙන් සුල මුල විශ්වකෝෂවලින් හෝ වෙනත් විශ්වාසවන්ත තොරතුරු සපයා තිබෙන මූලාශ්‍රවලින් සොයා දැනගන්න පුළුවන්. ඔබ එහෙම සොයා බලනවා නම් අපි එවැනි උත්සව පවත්වන්නේ නැත්තේ මන්ද කියා ඔබට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් වෙයි.—2 කොරින්ති 6:14-18.

තවත් බොහෝ ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡා කෙරුණා. මේ සාකච්ඡාවට කොතරම් වේලාවක් ගත වුණාද කියතොත් වීඩියෝ පටිය පෙන්වීම කල් දාන්න සිද්ධ වුණා.

ශිෂ්‍යයන්ගේ ප්‍රතිචාරය කොහොමද? අපි මැග්ඩලේනාට ඇහුම්කන් දෙමු. “මට පුදුම හිතුණා, සාමාන්‍යයෙන් පන්තියේ මෝඩ වැඩ කරන හා අනිත් අයව සමච්චල් කරන සමහර ශිෂ්‍යයන් ඇත්තටම හොඳ ප්‍රශ්න ඇහුවා. ඒ අය දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැයි කියල කිව්වත් සාකච්ඡාව කරන අවස්ථාවේදී ඔවුන් දෙවි කෙනෙක්ව විශ්වාස කරන බව පැවසුවා.” පැමිණ සිටි සියලුදෙනාම ඔවුන්ට දුන් තෑගි ස්තුතිපූර්වකව ලබාගත්තා. එහිදී පොත් 35ක්, විවරණිකා 63ක් සහ සඟරා 34ක් බෙදා දුන්නා.

පාසැලේදී කරනු ලැබූ වැඩසටහනකින් ලැබුණු ප්‍රතිඵල මොන තරම් හොඳද! එම වැඩසටහන මගින් මැග්ඩලේනාගේ පන්තියේ ළමයින්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වඩාත් හොඳින් දැනගන්න අවස්ථාවක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි එහි සිටි බොහෝ යෞවන අයට ජීවිතයේ අරමුණ ගැන සොයා බැලීමට ආශාවක් වර්ධනය කරලීමටත් එමගින් හැකි වුණා. ඔබේ විශ්වාසයන් ගැනත් ඔබේ පන්තියේ ළමයින්ට තවත් වැඩිපුර කියාදීමට උත්සාහනොකරන්නේ මන්ද?

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවන ලදි.

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවන ලදි.

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවන ලදි.

[31වන පිටුවේ පින්තූරය]

මැග්ඩලේනා හා වෝයිට්සියෙක් සාකච්ඡාව සඳහා සූදානම් වෙන අයුරු