Skip to content

පටුනට යන්න

‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය’—ඒ කෙසේද?

‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය’—ඒ කෙසේද?

‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය’—ඒ කෙසේද?

“‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නවා’ යන යේසුස්ගේ හද දනවන වචන ඔබට හොඳට හුරු පුරුදු ඇති. ඒත්, මිනිසුන් අනෙක් මිනිසුන්ට කරන දේත් පොළොව විනාශ කරන හැටිත් දැක්කහම ඔබට මොනවාද හිතෙන්නේ? මොළොක් ගුණැති අයට උරුම කරගන්න මොනවා හරි දෙයක් ඉතුරු වෙයිද?”—මතෙව් 5:5; ගීතාවලිය 37:11.

යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන මිරියාම් ඉහත සඳහන් ප්‍රශ්න වෙනත් කෙනෙකු සමඟ බයිබලය පිළිබඳ සාකච්ඡාවක් ඇරඹීමට යොදාගත්තා. ඇය කතා කළ පුද්ගලයා මෙසේ කියා සිටියා. “ඒ පොරොන්දුව දුන්නේ යේසුස්නේ. ඉතින් පොළොව වටිනා උරුමයක් වෙයි කියලා හිතන්න පුළුවන්. එය විනාශ වෙන්නෙවත් පාළු ස්ථානයක් වෙන්නෙවත් නැහැ.”

එය ඇත්තෙන්ම ශුභවාදී පිළිතුරක්. නමුත් එවැනි ස්ථිර බලාපොරොත්තුවක් තබාගැනීමට සාධාරණ හේතු තියෙනවාද? ඇත්තටම තියෙනවා. එම පොරොන්දුව සැබෑවක් වනවා කියා විශ්වාස කිරීමට බයිබලයේ අපට පැහැදිලිව හේතු පෙන්වා තිබෙනවා. ඇත්තෙන්ම එම පොරොන්දුව ඉටුවීම, මිනිසා හා පොළොව සම්බන්ධයෙන් දෙවිට තිබෙන අරමුණට සමීපව බැඳී තිබෙනවා. ඒ වගේම දෙවි යමක් කිරීමට අදහස් කළොත් එය ඒ විදිහටම ඔහු ඉටු කරනවා කියා අපට සහතික කර තිබෙනවා. (යෙසායා 55:11) දැන් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ තමයි දෙවිගේ මුල් අරමුණ මොකක්ද? එය යථාර්ථයක් වෙන්නේ කොහොමද? යන ප්‍රශ්න.

පොළොව කෙරෙහි දෙවිට තිබෙන සදාතන අරමුණ

යෙහෝවා දෙවි පොළොව මැව්වේ විශේෂ අරමුණක් ඇතුවයි. “ස්වර්ගයන් මැව්වා වූ යෙහෝවා මෙසේ කියන්නේය. පොළොව මවා තැනුවාවූ ඔහු දෙවිය. ඔහු ඒක පිහිටෙව්වේය. ඔහු ඒක පාළු තැනක් වීමට නොව විසීමට තැනුවේය. යෙහෝවා මමය. අන් කිසිවෙක් නැත.” (යෙසායා 45:18) පොළොව විශේෂයෙන්ම මැව්වේ මිනිස් වාසය සඳහායි. ඒ විතරක් නෙමෙයි, දෙවිගේ අරමුණ වන්නේ පොළොව සදාකාලයට මිනිස් වර්ගයාගේ නිවස ලෙසට ඔවුන්ට එය ලබා දීමටයි. ඔහු “සදාකල්ම නොසෙල්වන ලෙස පොළොවේ අත්තිවාරම් ලූවේය” කියා බයිබලයේ පවසනවා.—ගීතාවලිය 104:5; 119:90.

යෙහෝවා මුල් මිනිස් යුවළට පැවරූ කාර්යයෙන්ද පොළොව සම්බන්ධයෙන් ඔහුට තිබූ අරමුණ කුමක්ද කියා පැහැදිලි වුණා. යෙහෝවා ආදම් සහ ඒවට මෙසේ කීවා. “ඔබ සපලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න. සමුද්‍රයෙහි මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද පොළොවෙහි යන එන ජීවමාන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරන්න.” (උත්පත්ති 1:28) ආදම් සහ ඒවට දුන් පොළොව ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් සදාකාලික නිවසක් වීමටයි තිබුණේ. “ස්වර්ගය වනාහි යෙහෝවාගේ ස්වර්ගයය. එහෙත් ඔහු පොළොව මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නේය” කියා ශතවර්ෂ ගණනාවකට පසු ගීතිකාකරු ප්‍රකාශ කළා.—ගීතාවලිය 115:16.

එම උදාර බලාපොරොත්තුව යථාර්ථයක් වීමට නම් ආදම් සහ ඒවත් ඔවුන්ගෙන් පැවත එන අයත් මැවුම්කරු සහ ජීවිත දායකයාණන් වන යෙහෝවා දෙවිව ඔවුන්ගේ පරමාධිපති ලෙස පිළිගැනීමත් ඔහුට කීකරු වීමට කැමැත්තක් දැක්වීමත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් යෙහෝවා මිනිසාට දැනුම් දෙන විට ඔහු එය පැහැදිලිව මෙසේ ප්‍රකාශ කළා. “උයනෙහි සියලු ගස්වලින් ඔබට කැමති ලෙස කන්ට පුළුවන. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් නොකන්න. මක්නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ආදම් සහ ඒව දිගටම ඒදන් උයනේ ජීවත් වීමට නම් පැහැදිලිව ප්‍රකාශ කළ එම සරල අණට ඔවුන් කීකරු විය යුතු වුණා. එවන් කීකරුකමක් පෙන්වීම ස්වර්ගික පියා ඔවුන්ට ලබා දුන් හැම දෙයක් සඳහාම අගය දැක්වීමක්ද වුණා.

ආදම් සහ ඒව හිතා මතා දෙවි ඔවුන්ට දී තිබූ අණ කඩ කිරීමෙන් ඇත්තටම ඔවුන් කළේ ඔවුන් භුක්ති විඳිමින් සිටි හැම දෙයක්ම දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කිරීමයි. (උත්පත්ති 3:6) එසේ අකීකරු වීමෙන් පාරාදීසමය වට පිටාවක තිබූ නිවස ඔවුන්ට අහිමි වුණා පමණක් නෙමෙයි ඔවුන්ගේ පැවත එන්නන්ටද එය අහිමි වුණා. (රෝම 5:12) පළමු යුවළගේ අකීකරුකම දෙවි පොළොව මැවීමේදී ඔහුට තිබූ අරමුණ ඉටු කරගැනීමට බාධාවක් වුණාද?

වෙනස් නොවන දෙවි කෙනෙක්

දෙවි තම ප්‍රොපේතවරයෙක් වූ මලාකි මාර්ගයෙන් මෙසේ ප්‍රකාශ කළා. “යෙහෝවා නම් මම වෙනස් නොවෙමි.” (මලාකි 3:6) මෙම බයිබල් පදය ගැන ප්‍රංශ බයිබල් විශාරදයෙක් වන එල්. ෆීයොං අදහස් දක්වමින් කියා සිටියේ මෙම ප්‍රකාශය දිව්‍ය පොරොන්දු ඉටු කිරීම හා සමීපව බැඳී තිබෙන බවයි. “තම කැරලිකාර සෙනඟව විනාශ කර දමන්න යෙහෝවාට හැකියාව තිබුණා. ඒත් ඔහු පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් නිසා ඔවුන් කුමක් කළත් ඔහු අතීතයේ තම සෙනඟට දුන් පොරොන්දු වෙනස් කළේ නැහැ.” යනුවෙන් ෆීයොං සටහන් කළා. දෙවි එක් එක් පුද්ගලයන්ට හෝ යම් ජාතියකට හෝ සියලු මනුෂ්‍ය වර්ගයාටම හෝ යම් පොරොන්දුවක් වූ විට එය කිසිවිටකත් අමතක කරන්නේ නැහැ. ඔහු එය තම නියමිත කාලයේදී ඉටු කරනවා. “ඔහු ස්වකීය ගිවිසුම වන පරම්පරා දහසකට ආඥා කළ වචනය සදාකාලයට සිහි කළේය.”—ගීතාවලිය 105:8.

කෙසේවෙතත් පොළොව සම්බන්ධයෙන් යෙහෝවාගේ මුල් අරමුණ ඔහු වෙනස් කර නැහැයි කියා අප විශ්වාස කරන්නේ කොහොමද? දෙවිගේ ආනුභාවය ලත් වචනය වන බයිබලය පුරාම දිව්‍ය අරමුණ වන කීකරු මනුෂ්‍ය වර්ගයාට පොළොව ලබා දීම පිළිබඳව කර තිබෙන ප්‍රකාශයන් අපට දැකගන්න පුළුවන්. ඒ නිසා අපට මේ සම්බන්ධයෙන් විශ්වාසයක් තබාගත හැකියි. (ගීතාවලිය 25:13; 37:9, 22, 29, 34) යෙහෝවා ආශීර්වාද කරන අය සුරක්ෂිතව ජීවත් වෙමින් “තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද” වාසය කරන බවත් ‘කිසිවෙක් ඔවුන්ව භය ගන්වන්නේ’ නැති බවත් ශුද්ධ ලියවිලි පදවල පැහැදිලි කර තිබෙනවා. (මීකා 4:4; එසකියෙල් 34:28) යෙහෝවා තෝරාගත් අය “ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය. මිදි වතු වවා එහි පල කන්නෝය.” ඔවුන් එළිමහනේ ඉන්න සතුන් සමඟ පවා සාමයෙන් ජීවත් වෙයි.—යෙසායා 11:6-9; 65:21, 25.

දෙවිගේ පොරොන්දු ගැන බයිබලයේ වෙනත් ආකාරයේ පෙරඡායාවක්ද දී තිබෙනවා. සලමොන් රජුගේ පාලන සමයේ ඊශ්‍රායෙල් ජාතිය යම් කාලයකට සාමය හා සමෘද්ධියක් භුක්ති වින්දා. ඔහුගේ පාලනය යටතේ ‘දාන් පටන් බෙයෙර්ෂෙබා දක්වා යූදා හා ඊශ්‍රායෙල් එකිනෙකා තම තමාගේ මිදි වැල සහ අත්තික්කා ගස යට සුරක්ෂිතව වාසය කළා.’ (1 රාජාවලිය 4:25) යේසුස් “සලමොන්ටත් වඩා උතුම්” කියා බයිබලයේ සඳහන් වෙන අතර ඔහුගේ පාලනය පිළිබඳව කතා කරමින් ගීතිකාකරු අනාවැකිමය ආකාරයකින් මෙසේ ප්‍රකාශ කළා. “ඔහුගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සපල වන්නේය. සඳ නැති වන තෙක් බොහෝ සමාදානයද වන්නේය.” ඒ කාලයේදී “පොළොවේ කඳු මුදුනේ බොහෝ ශස්‍ය වන්නේය.”—ලූක් 11:31; ගීතාවලිය 72:7, 16.

යෙහෝවා දෙවි තම වචනයට එකඟව ක්‍රියා කරමින් ඔහු පොරොන්දු වූ උරුමය ලබා දෙයි. ඒ විතරක් නෙමෙයි ආරම්භයේ තිබුණු හැම ආශීර්වාදයක්ම යළි ලබා දෙයි. පොරොන්දු කර තිබෙන නව ලොවේදී දෙවි “[මනුෂ්‍යයන්ගේ] ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියා ඔහුගේ වචනයෙහි එළිදරව් 21:4වන පදයේ අපට පවසනවා. ඇත්තටම පොරොන්දු වී තිබෙන්නේ පාරාදීසයක්.—ලූක් 23:43.

පොරොන්දු වූ උරුමය ලබාගන්නේ කොහොමද?

පොළොව පාරාදීසයක් බවට පත් කරනු ලබන්නේ ස්වර්ගයේ සිට පාලනය කරනු ලබන රාජ්‍යයක් මගින්. එය යේසුස් ක්‍රිස්තුස් රජ ලෙස කටයුතු කරන ආණ්ඩුවක්. (මතෙව් 6:9, 10) පළමුවෙන්ම එම ආණ්ඩුව “පොළොව විනාශ කරන අයව විනාශ කරයි.” (එළිදරව් 11:18; දානියෙල් 2:44) ඉන්පසු “සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස් මෙම අනාවැකිමය වචන ඉටු කරයි. “ආණ්ඩුවේ වැඩිවීමටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” (යෙසායා 9:6, 7) එම ආණ්ඩුව යටතේ මනුෂ්‍යයන් මිලියන ගණනකට නැවත නැඟිටින අය සමඟ පොළොව උරුම කරගැනීමට අවස්ථාවක් උදා වෙයි.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

එම අනගි උරුමය ලබාගන්නේ කවුද? යේසුස්ගේ වචන සලකා බලන්න. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5) මෘදු ගුණැති කෙනෙක් නැතහොත් මොළොක් ගුණැති කෙනෙක් කියන්නේ කාටද? ශබ්දකෝෂවල “මෘදුකම” නැතහොත් “මොළොක් ගුණය” නිර්වචනය කරන්නේ කාරුණික, සැර පරුෂ නැති, යටහත් හා නිශ්චල ලෙසයි. නමුත් මුල් ග්‍රීක භාෂාවේ භාවිත කළ වචනයෙන් ඊට වඩා වැඩි යමක් අදහස් කරනවා. එම වචනයේ “කරුණාවන්තකම යන අදහස ගැබ් වී තිබෙනවා. නමුත් මෘදු පුද්ගලයෙකු ඉතාමත් ශක්තිමත් කෙනෙක්. හරියට යකඩයක් වගේයි” කියා විලියම් බාක්ලේගේ නිව් ටෙස්ටමන්ට් වර්ඩ්බුක්හි සඳහන් කරනවා. එහි සඳහන් ආකාරයට එම ගුණාංගය මානසික ස්වභාවයක්. එම මානසික ස්වභාවය පුද්ගලයෙකුට යම් පීඩාවකට මුහුණ දීමට සිදු වූ විට එය විඳදරාගැනීමටත් ඒ ගැන අමනාපයක් හෝ පළිගැනීමේ චේතනාවක් ඇති කර නොගැනීමටත් උපකාර කරනවා. මේ අයුරින් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ දෙවි සමඟ තිබෙන හොඳ සබඳතාව නිසයි. එම සබඳතාව මෘදු පුද්ගලයෙකුට ශක්තියේ උල්පතක් වෙයි.—යෙසායා 12:2; ෆිලිප්පි 4:13.

මොළොක් ගුණැති කෙනෙක් ඔහුගේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ ප්‍රමිති සලකා බලයි. ඔහු තමන්ගේම හෝ වෙනත් අයගේ අදහස් මත රඳා සිටින්නේ නැහැ. ඔහුට දේවල් ඉගැන්විය හැකියි. යෙහෝවාගෙන් ඉගෙනගන්න ඔහු කැමැත්තක් දක්වයි. මේ සම්බන්ධයෙන් ගීතිකාකරු දාවිත් මෙසේ ලීවා. “[යෙහෝවා] මොළොක් ගුණ ඇත්තන් යුතුකමෙහි හසුරුවන්නේය. මොළොක් ගුණ ඇත්තන්ට ඔහුගේ මාර්ගය උගන්වන්නේය.”—ගීතාවලිය 25:9; හිතෝපදේශ 3:5, 6.

ඔබත් පොළොව උරුම කරගන්න යන “මොළොක් ගුණැති” අයගෙන් කෙනෙක්ද? ඉතා උනන්දුවෙන් දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම තුළින් යෙහෝවාව දැන හඳුනා ගෙන, ඔහුගේ කැමැත්ත හොඳින් ඉගෙනගන්න. එසේ ඉගෙනගත් දේ අදාළ කරගැනීමෙන් ඔබටත් පුළුවන් පාරාදීස පොළොවක උරුමයක් ලබාගෙන එහි සදාකාලයටම ජීවත් වීම පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුව සිටින්න.—යොහන් 17:3.

[5වන පිටුවේ පින්තූරය]

දෙවි ආදම් සහ ඒවට දුන් කාර්යයෙන් පොළොව සම්බන්ධයෙන් දෙවි අරමුණු කළ දේ දැකගත හැකියි

[6, 7වන පිටුවේ පින්තූරය]

සලමොන්ගේ පාලන සමයේ තිබූ සමාදානය හා සුරක්ෂිතකම පොරොන්දු කරන ලද උරුමය පිළිබඳව පෙරඡායාවක්

[හිමිකම් විස්තර]

බැටළුවන් හා පසුබිමෙහි තිබෙන කන්ද: Pictorial Archive (Near Eastern History) Est.; Arabian oryx: Hai-Bar, Yotvata, Israel; සීසාන ගොවියෙක්: Garo Nalbandian

[7වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨ නව ලොවක් ඉදිරියේදී—ඔබ එහි සිටීවිද?