Skip to content

පටුනට යන්න

ආත්මික සාරධර්මවලින් පිරිපුන් ජීවිතයක සතුට

ආත්මික සාරධර්මවලින් පිරිපුන් ජීවිතයක සතුට

ආත්මික සාරධර්මවලින් පිරිපුන් ජීවිතයක සතුට

“රිදීයට ආලය කරන්නා රිදීයෙන්වත් බොහෝ ලැබීමට ආලය කරන්නා වැඩිවීමෙන්වත් තෘප්තියට නොපැමිණෙයි.”—දේශනාකාරයා 5:10.

පමණට වඩා මහන්සි වී වැඩ කිරීමෙන් මානසික පීඩනය ඇති වෙනවා. මානසික පීඩනය නිසා අසනීප හැදිලා සමහරවිට මිය යෑමටත් පුළුවනි. අද බොහෝ රටවල පවුල් දික්කසාදයෙන් කෙළවර වෙනවා. බොහෝ අවස්ථාවලදී එවන් අභාග්‍ය සම්පන්න තත්වයන් ඇති වෙලා තියෙන්නේ ද්‍රව්‍යමය දේවල් ලබාගැනීමට තිබෙන කනස්සල්ල නිසයි. තමාට තිබෙන දේවල් භුක්ති විඳිනවා වෙනුවට, තව තවත් දේවල් ලබාගන්නට උත්සාහ කරන පුද්ගලයෙක්, එහෙම කරන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් හානි පමුණුවාගනිමින්.

තව තවත් දේවල් ලබාගන්න පුද්ගලයෙකුට තියෙන තණ්හාව නිසා ඔහුට සතුට නැතිව යන්න පුළුවනි. බොහෝවිට ව්‍යාපාරිකයන් මිනිසුන්ට තිබෙන මේ දුර්වලකම තමන්ගේ වාසියට හරවාගැනීමට එක්තරා ප්‍රබල මාධ්‍යයක් පාවිච්චි කරනවා. ඒ තමයි, වෙළඳ දැන්වීම්! රූපවාහිනියේ වෙළඳ දැන්වීම්වලින් බොහෝවිට කෙරෙන්නේ ඔබට එතරම් අවශ්‍ය නැති, ඔබට මිල දී ගැනීමටත් එතරම් ලෙහෙසි පහසු නැති දේවල් මිල දී ගන්නට ඔබට බල කිරීමයි. මේ සියල්ලෙන් සෑහෙන හානියක් සමාජයට සිදු වෙනවා.

මිනිසුන් තමන්ගේ අසීමිත ආශාවන් පිනවගන්නට යෑමෙන් ඔවුන්ට ශාරීරික වශයෙනුත් සදාචාරමය වශයෙනුත් හානි සිදු වෙනවා. එහි බලපෑම ඉතා සියුම් වුවත්, එයින් ඉතා විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැකියි. උදාහරණයක් වශයෙන්, ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසුවේ මෙසේයි. “නිරෝගි සිතක් ශරීරයට ජීවනය වේ.” (හිතෝපදේශ 14:30) ඇත්තෙන්ම, ධනය හා සැප සම්පත් ලබාගැනීමට ඕනෑවට වඩා වෙහෙස මහන්සි වීම සහ කනස්සලු වීම නිසා අපගේ ශාරීරික සෞඛ්‍යයට හානිකර විය හැකි අතර, සන්තෝෂයද නැතිවීමට පුළුවනි. අපගේ ජීවිතයේ මූලික තැන දී තිබෙන්නේ මුදල් හා දේපොළ රැස් කිරීමට නම්, අප වෙනත් අය සමඟ ඇති කරගෙන තිබෙන සම්බන්ධතාද පිරිහෙන්නට පුළුවනි. තවද, යම් පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය සහ සමාජ ජීවිතය පිරිහෙන විට, ඔහුගේ ජීවිතයේ ගුණාත්මකභාවයද එලෙසින්ම පිරිහෙනවා.

අධ්‍යාත්මික සාරධර්මවල වැදගත්කම

‘මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකෙන්න’ කියා ප්‍රේරිත පාවුල් මීට සියවස් ගණනාවකට පෙර අවවාද කළා. (රෝම 12:2) ලෝකයා කැමතියි තමන්ගේ විදිහට ජීවත් වෙන අයට. (යොහන් 15:19) ලෝකයා උත්සාහ කරන්නේ දකින දේ, පෙනෙන දේ, ආග්‍රහණය කරන දේ, ස්පර්ශ කරන දේ සහ රස දැනෙන දේ මගින් ඔබව ආකර්ෂණය කරගැනීමටයි. ඒ කියන්නේ ඔබව ද්‍රව්‍යවාදී ජීවන රටාවකට කොටු කරගැනීමටයි. හැම පැත්තෙන්ම කාවද්දන්නේ “ඇස්වල ආශාවන්” ගැනයි.—1 යොහන් 2:15-17.

නමුත් මුදල්, නම්බුව හා වත්පොහොසත්කම්වලට වඩා වටිනා උසස් සාරධර්ම තිබෙනවා. මීට සියවස් ගණනාවකට පෙරාතුව, සලමොන් රජ මේ ලෝකයේ තිබෙන සියලුම සැප සම්පත් රැස් කරගත්තා. ඔහු ගෙවල් හැදුවා, උද්‍යාන, මල්වතු, සේවකයෝ, ගොවිපොළවල්, ගායකයෝ, ගායිකාවෝ සහ තවත් රත්තරන්, රිදී මේ සෑම දෙයක්ම ඔහුට තිබුණා. තමන්ට පෙර සිටි, ධනය රැස් කරපු කිසිම කෙනෙකුට වඩා සලමොන් තමන්ගේ සැප සම්පත් වැඩි කරගත්තා. ඔහු පොහොසතුන්ගෙත් පොහොසතෙක් වුණා. කොටින්ම කියනවා නම්, සලමොන් ආශා කළ දේ මොකක්ද, ඒක ඔහුට තිබුණා. එහෙත්, තමන් ලබාගත් සියලු දේවල් දිහා බලලා ඔහු කිව්වේ මෙහෙමයි. “සියල්ල නිෂ්ඵලය. හුළඟ ලුහුබැඳ යන්ට උත්සාහ කිරීමක් විය.”—දේශනාකාරයා 2:1-11.

යෙහෝවාගෙන් තමන්ට ලැබුණු මහත් ප්‍රඥාව නිසාම, සලමොන් තේරුම්ගත්තා සැබෑ සන්තෝෂය ලැබෙන්නේ අධ්‍යාත්මික සාරධර්මවලින් පිරි ජීවිතයකින් බව. ඔහු ලීවේ මෙහෙමයි. “කාරණයේ අන්තිමය මේය. සියල්ල අසන ලදි. දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න. මනුෂ්‍යයාගේ මුළු යුතුකම නම් මේකය.”—දේශනාකාරයා 12:13.

රත්තරන් රිදීවලට වඩා දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දේවල් නිධානයක් සේ ඉතා වටිනවා. (හිතෝපදේශ 16:16) ඔබට ඒ තුළින් වටිනා මැණික් වැනි ගැඹුරු සත්‍යයන් සොයාගන්නට පුළුවනි. ඔබ ඒවා හාරා ලබාගන්න කැමතිද? (හිතෝපදේශ 2:1-6) සැබෑ සාරධර්මවල උල්පත වූ අපගේ මැවුම්කරුවාණන් ඔබෙන් ඉල්ලා සිටින්නේ එසේ කරන ලෙසයි. ඔහු ඔබට පිහිට වෙයි. ඒ කොහොමද?

යෙහෝවා තම වචනයෙන්, තම ආත්මයෙන් සහ තම සංවිධානයෙන් මැණික් බඳු සත්‍යතාවන් අපට කියා දෙනවා. (ගීතාවලිය 1:1-3; යෙසායා 48:17, 18; මතෙව් 24:45-47; 1 කොරින්ති 2:10) ඉතාමත් කලාතුරකින් හමු වන මිල කළ නොහැකි මෙම මැණික් ඔබ සතු නම්, යහපත්, ආශීර්වාදවලින් පිරි ජීවිතයක් තෝරාගැනීමට ඔබට හැකි වෙයි. එය අමාරු දෙයක් නොවෙයි. මන්ද අපගේ මැවුම්කරු වන යෙහෝවා දන්නවා සැබෑ සන්තෝෂය අත් කරගැනීමට අපට අවශ්‍ය මොනවාද කියා.

බයිබලය දිරිගන්වන්නේ උසස් සාරධර්ම අත් කරගැනීමටයි

බයිබලයේ සඳහන් වෙන නිවැරදි උපදේශය හෙවත් අවවාදය ප්‍රායෝගික වගේම වෙනත් කිසිම උපදෙසක් සමඟ සසඳන්නට බැහැ. එයින් සමාජයට කියා දෙන්නේ ඉතා උසස් සදාචාර ප්‍රමිති අනුගමනය කරන්නටයි. එහි උපදෙස් සෑම විටම ප්‍රයෝජනදායකයි. ඒවා අනාදිමත් කාලයක් මුළුල්ලේ ප්‍රයෝජනවත් වී තිබෙනවා වගේම සත්‍යයක් වී තිබෙනවා. බයිබලයේ දෙන හොඳ උපදෙස්වලට උදාහරණ හැටියට අපට මේවා සැලකිය හැකියි. එනම්, වෙහෙස මහන්සි වී වැඩ කරන්න, අවංක වෙන්න, තියෙන මුදල් ඥානවන්තව පාවිච්චි කරන්න, අලස නොවන්න යනාදි උපදෙස් තමයි බයිබලයේ තියෙන්නේ.—හිතෝපදේශ 6:6-8; 20:23; 31:16.

යේසුස්ද මීට සමාන උපදේශයක් දුන්නා. “මෙලොවෙහි ඔබට වස්තු රැස් කරගැනීම නතර කරන්න. මන්ද, කාවෝද මලකඩද ඒවා නාස්ති කරති. සොරුද කඩා වැද ඒවා සොරාගනිති. ඒ වෙනුවට, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න. එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති. සොරුද කඩා වැද ඒවා සොරා නොගනිති.”—මතෙව් 6:19, 20.

මේ කාලෝචිත අවවාදය දුන්නේ මීට වසර 2,000කටත් වඩා ඉහතදී. ඒත් ඒක අදටත් අදාළයි. ධන සම්පත් රැස් කරගැනීමේ රැල්ලට අහු වෙනවා වෙනුවට, ඊට වඩා උසස් ආකාරයේ ජීවිතයක් දැන් පවා ගත කිරීමට අපට පුළුවන්. මීට මූලිකවම දායක වන දේ තමයි, ආත්මික ධන සම්පත් රැස් කිරීම. ඒක තමයි සැබෑ සන්තෝෂයට හා සෑහීමට පත්ව සිටීමට රහස. ආත්මික ධන සම්පත් රැස් කරගන්නේ කොහොමද? දේවවචනය වන බයිබලය කියවීමෙන් සහ ඉන් උගන්වන දේවල් අදාළ කරගැනීමෙන්.

ආත්මික සාරධර්මවලින් මහත් විපාක ලැබෙයි

ආත්මික සාරධර්ම හරියට පිළිපදිනවා නම්, අපට ශාරීරිකව, මානසිකව හා ආත්මිකව මහත් ඵල ප්‍රයෝජන නෙළාගන්නට පුළුවන්. පෘථිවියට ඉහළින් තිබෙන ඕසෝන් ස්තරය නිසා අපව හිරුගේ මාරාන්තික කිරණවලින් ආරක්ෂා වෙනවා වගේ, නිවැරදි සදාචාර ප්‍රතිපත්ති අපගේ මනසේ පැහැදිලිව තිබෙනවා නම්, ඒවා මගින් අපට ද්‍රව්‍යවාදයේ භයානක විපාකවලින් ආරක්ෂා වෙන්නටත් පුළුවන්. ක්‍රිස්තියානි ප්‍රේරිතවරයෙකු වූ පාවුල් ලීවේ මෙහෙමයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

වස්තුවට තිබෙන ඇලුම්කම නිසා මිනිසුන් කරන්නේ තව තවත් ධනය, තත්වය හා බලය ලබාගැනීමට අර ඇඳීමයි. මෙහිදී බොහෝවිට සිදු වෙන්නේ සටකපට හා වංචනික ක්‍රමවලින් ධනය ලබාගැනීමට වෑයම් කිරීමයි. මේවා සෙවීමට වෙහෙසෙන අය නිරපරාදේ තමන්ගේ කාලය, ශක්තිය හා හැකියාවන් අපතේ යවනවා. ඒ නිසා, ඒ වගේ අයට රාත්‍රියේ හරි හැටි නිදාගන්නටවත් බැහැ. (දේශනාකාරයා 5:12) තව තවත් දේවල් ලබාගන්නට තිබෙන ආශාව මගින් අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ ආත්මික ප්‍රගතිය අඩාළ වෙන එකයි. මේ පොළොව මත විසූ ශ්‍රේෂ්ඨතම මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස් මේ බව ඉතා පැහැදිලිවම පෙන්වූයේ මේ විදිහටයි. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.” (මතෙව් 5:3) ආත්මික ධන නිධානයන් ලබාගැනීමෙන් ස්ථිර ආශීර්වාද ලැබෙන බවත්, ඒවා තාවකාලික ධනය, දේපොළවලට වඩා බොහෝ උතුම් බවත් ඔහු දැන සිටියා.—ලූක් 12:13-31.

අධ්‍යාත්මික සාරධර්මවලින් පිරි ජීවිතයක් ගත කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද?

“අධ්‍යාත්මික සාරධර්මවලින් පිරි ජීවිතයකින් කිසිම වැඩක් නැහැ කියා මට කාවද්දන්නට මගේ දෙමාපියන් බොහෝ උත්සාහ කළා. නමුත් මම ආත්මික ඉලක්ක ලුහුබැඳ ගිය නිසා දැන් මම ලොකු මානසික සහනයක් අද්දකිනවා. ඊට හේතුව, ධනය ලබාගන්න ඕනෑ කියලා මගේ මනසේ පීඩනයක් මට නැති නිසයි” කියා ග්‍රෙග් නමැති තරුණයා සිහිපත් කරනවා.

ආත්මික සාරධර්ම මගින් වඩාත් හොඳ පෞද්ගලික සම්බන්ධතා ඇති කරයි. සැබෑ මිතුරන් ඔබට ළං වෙන්නේ ඔබ කොයි විදිහේ කෙනෙක්ද යන කාරණය මත මිස ඔබට තියෙන දේවල් නිසා නොවෙයි. බයිබලයේ මෙහෙම කියනවා. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න. එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය.” (හිතෝපදේශ 13:20) ඒ විතරක් නොවෙයි, සාර්ථක පවුල් ගොඩනැඟෙන්නේ ප්‍රඥාවෙන් සහ ප්‍රේමයෙන් මිසක් ද්‍රව්‍යමය සැප සම්පත්වලින් නොවෙයි.—එෆීස 5:22–6:4.

සාරධර්ම අපට ජන්මයෙන් උරුම දේවල් නොවෙයි. අප ඒවා අප ඇසුරු කරන අයගෙන් හෝ වෙනත් උසස් කෙනෙකුගෙන් හෝ උසස් තැනකින් ඉගෙනගත යුතුයි. බයිබල් අධ්‍යාපනයක් ලැබීමෙන් ද්‍රව්‍යමය දේවල් ගැන අප දරන ආකල්පය වෙනස් කිරීමට අපට හැකි වන්නේ එම නිසයි. “මට තියෙන්නේ මොනවගේ සාරධර්මද කියලා මම හිතන්නට පටන්ගත්තා. මට වෙනස්කම් කරන්න වෙයි කියලා මට තේරුණා. තියෙන දේවලින් සෑහීමකට පත් වෙන හැටි මම ඉගෙනගත්තා” යයි බැංකුවක සේවය කළ උසස් නිලධාරියෙකු වූ ඩොන් පවසනවා.

සදාකාලික ආත්මික සාරධර්ම සොයා යන්න

ආත්මික සාරධර්මවලින් ලැබෙන්නේ දිගු කාලීන ආශීර්වාද මිසක කෙටි කාලීන වින්දනයක් නොවෙයි. පාවුල් මෙසේ ලිව්වා. “පෙනෙන දේවල් [ද්‍රව්‍යමය දේවල්] තාවකාලිකය. නමුත් නොපෙනෙන දේවල් [ආත්මික දේවල්] සදාකාලිකය.” (2 කොරින්ති 4:18) ද්‍රව්‍යමය දේවලින් මොහොතකට ආශාවන් සන්තර්පණය කළ හැකි බව සත්‍යයක් වුවත් ගිජු පුද්ගලයෙකුගේ ආශාව ඉන් සන්සිඳෙන්නේ නැහැ. නමුත් ආත්මික සාරධර්මවලින් සදාකාලික තෘප්තියක් ලැබෙයි.—හිතෝපදේශ 11:4; 1 කොරින්ති 6:9, 10.

මේ කාලයේ වැඩි වැඩියෙන්ම ජනයා ද්‍රව්‍යමය දේවල් රැස් කරගැනීමට පෙලඹෙනවා. මෙම නැඹුරුවාව බයිබලය හෙළා දකිනවා. අපේ ඇස සරලව තබාගනිමින් අප තුළ ඇති ආත්මාර්ථකාමී ආශාවන් පාලනය කරගන්නේ කොහොමද කියා එය අපට උගන්වනවා. දේවවචනයේ අවධාරණය කර තිබෙන්නේ වඩා වැදගත් දේවල් කෙරෙහි, එනම් ආත්මික ධන නිධාන කෙරෙහි සිත යොමු කරන්න කියායි. (ෆිලිප්පි 1:10) ගිජුකම යනු එක්තරා විදිහක රූප වන්දනාවක්. ගිජුකමේ මේ නියම ස්වභාවය බයිබලය අපට හෙළි කරනවා. අප දේවවචනයෙන් ඉගෙනගන්නා දේවල් පිළිපදිද්දී අප සන්තෝෂය අද්දකිනවා. ගැනීමට වඩා දීමට අපි වැඩි වැඩියෙන් පෙලඹෙනවා. තමාවම පිනවාගැනීමේ ජීවිතයක් අත්හැර දමා ආත්මික සාරධර්ම අගයන ජීවිතයක් ගත කිරීමට දීමේ ස්වභාවයට මොන තරම් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිද!

මුදල් යම් තරමකට ආරක්ෂාවක් සපයන බව ඇත්තයි. (දේශනාකාරයා 7:12) නමුත් බයිබලය කියන විදිහට වස්තුව කියන දේ සම්බන්ධ යථාර්ථය මේකයි. “වස්තුව අහස දෙසට ඉගිලී යන රාජාලියෙකු මෙන් සැබවින් පියාපත් සාදාගනියි.” (හිතෝපදේශ 23:5) මිනිසුන් මෙම ද්‍රව්‍යවාදය නමැති පූජාසනය මත තමන්ගේ සෞඛ්‍යය, පවුල සහ හොඳ හෘදය සාක්ෂිය පවා පූජා කර තිබෙනවා. ඒ මගින් ඇති වී තිබෙන ප්‍රතිඵල ඉතා කනගාටුදායකයි. එහෙත්, අප අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙන්නේ නම්, අපේ ජීවිතයේ ඇත්තෙන්ම වැදගත් වන දේවල් අපට ලබාගත හැකියි. ඒ තමයි, ප්‍රේමය දීමට හා ලැබීමට තිබෙන අවශ්‍යතාව, ජීවිතයට අරමුණක් ඇතුව සිටීමේ අවශ්‍යතාව, ප්‍රේමණීය යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට තිබෙන අවශ්‍යතාව යන මේ දේවල්. ඒ වගේම මිනිසුන්ට පරිපූර්ණත්වයට පත් වී පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ මාර්ගයද ඒ මගින් අපට කියාපානවා. දෙවි අපට දී තිබෙන අනාගත බලාපොරොත්තුව තමයි එය.

ජීවිතයේ සමෘද්ධිය හා සෞභාග්‍යය පිළිබඳ මිනිස් වර්ගයාට තිබෙන අපේක්ෂාව දෙවිගේ නව ලෝකයේදී ඉතා ළඟදීම ඉෂ්ට වෙනවා. (ගීතාවලිය 145:16) ඒ කාලයේදී “යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්නේය.” (යෙසායා 11:9) එවිට ආත්මික සාරධර්ම මිනිසුන්ගේ ජීවිතවලින් පිටාර ගලයි. ද්‍රව්‍යවාදය හා එහි අඳුරු ඵලවිපාක සදහටම තුරන් වී යයි. (2 පේතෘස් 3:13) එවිට ජීවත් වීම ඉතා මිහිරි සුන්දර අද්දැකීමක් වෙනවා නිසැකයි. ඒ කියන්නේ, පරිපූර්ණ සෞඛ්‍යයක්, තෘප්තිය ගෙන දෙන වැඩ, විවේකය, ප්‍රේමණීය පවුල් සම්බන්ධතා සහ දෙවි සමඟ ඇති කරගන්නා සදාකාලික මිත්‍රත්වය යනාදිය මගින් මිනිස් වර්ගයා සදාකාලයටම සතුට භුක්ති විඳියි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ මුදල් ඥානවන්තව පාවිච්චි කරන්න!

ඔබේ අවශ්‍යතා හඳුනාගන්න. යේසුස් අපට ඉගැන්නුවේ, “අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව” කියා යාච්ඤා කරන්නටයි. (ලූක් 11:3, පැරණි අනුවාදය) ඔබ ලබාගන්නට ආශා කරන දේවල් හැම එකක්ම ඔබට අවශ්‍යයි කියා සිතන්නට එපා. ඔබට තියෙන දේවල් මත ඔබේ ජීවිතය රඳා නොතිබෙන බව මතක තියාගන්න.—ලූක් 12:16-21.

සැලසුම් කරන්න. කිසිම දෙයක් දුටු විගසම මිල දී ගැනීමෙන් වළකින්න. බයිබලය කියන්නේ මෙසේයි. “කඩිසර ඇත්තාගේ සිතිවිලි අභිවෘද්ධිය පිණිසම වේ. එහෙත් ඉක්මන්කාර සියල්ලෝ හිඟකමට පමණක් යුහුව යති.” (හිතෝපදේශ 21:5) මේ නිසයි, මුදල් වැය වෙන යම් දෙයක් කිරීමට පෙර ඊට යන වියදම ගණන් බලන ලෙස යේසුස් තමාට සවන් දුන් අයට අවවාද කළේ.—ලූක් 14:28-30.

අනවශ්‍ය ලෙස ණයවීමෙන් වැළකෙන්න. ණය වී යමක් මිලට ගන්නවාට වඩා අත්පිට මුදලට ගත හැකි වන පිණිස මුදල් ඉතිරි කරගන්න. හිතෝපදේශයේ පවසන්නේ මෙලෙසයි. “ණය ගත් අය දුන් අයගේ මෙහෙකරුවාය.” (හිතෝපදේශ 22:7) දකින දකින හැම දෙයම මිලට ගන්නට තමන් තුළ ඇති වන පෙලඹීම දමනය කරගැනීමෙන් සහ ඔබගේ අය වැය මනා ලෙස පාලනය කිරීමෙන්, මිල අධික දෙයක් පවා පසුව මිල දී ගන්නට ඔබට හැකි වේවි.

මුදල් නාස්ති කරන්න එපා. ඔබ සතුව දැනටමත් තිබෙන බඩු භාණ්ඩ හොඳින් නඩත්තු කිරීමෙන් ඔබට අනවශ්‍ය නාස්තිය මඟහැරිය හැකියි. යේසුස් තමන් පාවිච්චි කළ දේවල් අරපිරිමැස්මෙන් පාවිච්චි කළා.—යොහන් 6:10-13.

වැදගත්ම දේට ප්‍රමුඛත්වය දෙන්න. ඥානවන්තයා වඩාත් වැදගත් ඉලක්ක අත් කරගැනීම පිණිස ‘ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නවා.’—එෆීස 5:15, 16.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පාඩමක් ඉගෙනගන්න අත පුච්චගන්නම ඕනේද?

අපේම පෞද්ගලික අද්දැකීම් හොඳ ඒවා වුණත් නරක ඒවා වුණත් අපිට වටිනා පාඩම් රැසක් ඒවායින් ඉගෙනගන්න පුළුවන්. එහෙත් අද්දැකීමට වඩා හොඳ ගුරුවරයෙක් නැහැයි කියන කතාව ඇත්තද? නැහැ. අපට ජීවිතයට මඟ පෙන්වීම් ලබා දෙන ශ්‍රේෂ්ඨ ප්‍රභවයක් තිබෙනවා. ගීතිකාකරු එය කුමක්ද කියා හඳුනාගත්තා. ඔහු යාච්ඤාපූර්වකව පැවසූ මේ වදන්වලින් එය කුමක්ද කියා දැනගත හැකියි. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.

පෞද්ගලික අද්දැකීමෙන් ඉගෙනගන්නවාට වඩා දෙවිගෙන් ඉගෙනගැනීම වටින්නේ ඇයි? මේ ගැන සිතා බලන්න. අද්දැකීමෙන් ඉගෙනගන්නවා කියන්නේ අපි වරද්ද වරද්ද යමක් ඉගෙනගැනීමයි. එහිදී අපිට පාඩු සිදු වෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් අත පුච්චගෙන තමයි පාඩමක් ඉගෙනගන්නේ. ඇත්තෙන්ම එවැනි තත්වයකට අපි පත් විය යුතු නැහැ. දෙවි පුරාණයේ විසූ ඊශ්‍රායෙලිතයන්ට පැවසුවේ, “අහෝ, ඔබ මාගේ ආඥාවලට කන් දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය” කියායි.—යෙසායා 48:18.

දෙවිගේ වචනය උපදෙස් සපයන ශ්‍රේෂ්ඨතම ප්‍රභවය වීමට එක් හේතුවක් වන්නේ මිනිස් අද්දැකීම් පිළිබඳව පැරණිතම මෙන්ම නිවැරදිම වාර්තාව එතුළ අන්තර්ගත වන නිසයි. අන් අයගේ හොඳ හා නරක අද්දැකීම් ගැන කියවා ඔවුන් කළ වැරදිවලින් අප යම් පාඩමක් ඉගෙනගෙන ඒවායින් වැළකී සිටීම, අපත් එම වැරදිම කර කරදරේ වැටෙනවාට වඩා හොඳ දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද? (1 කොරින්ති 10:6-11) මෙම වාර්තාවලට අමතරව බයිබලය ශ්‍රේෂ්ඨතම ප්‍රභවය වීමට හේතුව, දෙවි කිසිදා නොවරදින ශ්‍රේෂ්ඨ නීති හා මඟ පෙන්වීම් ලබා දෙන ප්‍රතිපත්ති එහි සපයා තිබීමයි. “යෙහෝවාගේ ව්‍යවස්ථාව [නීතිය] සම්පූර්ණය. . . . යෙහෝවාගේ සාක්ෂිය [සිහිගැන්වීම්] සත්‍යය. නුවණ නැත්තන් ඥානවන්ත කරන්නේය.” (ගීතාවලිය 19:7) ඇත්තෙන්ම, අපේ ප්‍රේමණීය මැවුම්කරුගේ ප්‍රඥාවෙන් ඉගෙනගැනීමට වඩා තවත් හොඳ ඉගෙනගැනීමේ ක්‍රමයක් තිබෙනවාද?

[4වන පිටුවේ පින්තූර]

ලෝකය උත්සාහ කරන්නේ ඔබව ද්‍රව්‍යමය ජීවිත රටාවකට හැඩගස්වන්නයි

[5වන පිටුවේ පින්තූරය]

රත්තරන් සහ රිදීවලට වඩා වටිනා නිධානයක් බයිබලයේ සොයාගන්නට පුළුවන්