Skip to content

පටුනට යන්න

දේශය පුරා ගමන් කරන්න

දේශය පුරා ගමන් කරන්න

දේශය පුරා ගමන් කරන්න

“නැඟිට දේශයෙහි දිගටත් හරහටත් යන්න.”—උත්පත්ති 13:17.

1. දෙවි ආබ්‍රහම්ට කරන්න කියා පැවසූ දෙය කුමක්ද?

නෙත් සිත් ඇදගන්න දසුන්වලින් පිරි ගමක සිරි නැරඹීමට යන්න ඔබ කැමතිද? සමහර අය ව්‍යායාමයටත් එක්ක මේ ගමන බයිසිකලයෙන් යන්න වැඩි කැමැත්තක් දක්වති. තවද බයිසිකලයෙන් යන විට වාහනයකින් යනවාට වඩා නිවාඩු පාඩුව අවට සිරි නැරඹිය හැකියි. තවත් සමහරුන්ගේ මනාපය වන්නේ මේ ගමන පයින් යෑමටයි. පයින් යන විට ඔවුන්ට ඉක්මන් නොවී හුඟ වේලාවක් යම් ප්‍රදේශයක සිරි නැරඹිය හැකියි. කොහොම ගියත් මේ ගමන පැය කිහිපයකින් හෝ දවස් කිහිපයකින් නිම වෙයි. එහෙත් දෙවි ආබ්‍රහම්ට යන්න කියා පැවසූ මේ ගමන ගැන සිතා බලන්න. “නැඟිට දේශයෙහි දිගටත් හරහටත් යන්න. මක්නිසාද ඔබට ඒක දෙන්නෙමි.” (උත්පත්ති 13:17) එම වදන් ඇසෙද්දී ඔහුට කෙසේ හැඟෙන්න ඇද්දැයි සිතා බලන්න.

2. ඊජිප්තුවෙන් පිටත් වී ආබ්‍රහම් ගියේ කොහේටද?

2 එම වචනවලට කලින් සඳහන් පද කිහිපය සලකා බලන්න. ආබ්‍රහම් ඔහුගේ භාර්යාව හා තවත් අය සමඟ ඊජිප්තුවේ තාවකාලිකව නතර වී සිටියේය. ඔහු ඊජිප්තුවෙන් පිටත් වී ඔවුන්ගේ එළු බැටළු රැළවල් සමඟ ඊට දකුණු දෙසින් පිහිටි නෙගෙබ් නමැති ප්‍රදේශය බලා ගමන් කළ බව උත්පත්ති 13වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබේ. ඊළඟට ආබ්‍රහම් “දකුණු දිගින් [නෙගෙබ් සිට] ගමන් ගෙන බෙතෙල් දක්වා [ගියේය].” එහිදී ඔහුගේ එඬේරුන් හා ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ගේ එඬේරුන් අතර ගැටලුවක් ඇති විය. ඒ අවස්ථාවේදී ගැටලුව නිරාකරණය කරගැනීමට දෙදෙනාට එකිනෙකාගෙන් වෙන්ව වෙනත් තණබිම් සොයාගෙන යෑමට අවශ්‍ය වූ බව පෙනී ගියේය. ආබ්‍රහම් තම වාසිය ගැන නොසිතා ලොත්ට කැමති ප්‍රදේශයක් තෝරාගැනීමට ඔහුට අවස්ථාව ලබා දුන්නේය. ලොත් තෝරාගත්තේ ‘යොර්දාන් සමභූමියයි.’ එය “යෙහෝවාගේ උයන මෙන්” නිල්වන් තැනිතලාවක් විය. පසු කලෙක ලොත් සොදොමෙහි පදිංචි විය. ඉන් අනතුරුව දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසුවේය. “ඔබේ ඇස් ඔසවා ඔබ සිටින ස්ථානය පටන් උතුරුදිගද දකුණුදිගද පෙරදිගද අපරදිගද බලන්න.” ඇතැම්විට බෙතෙල් අසල පිහිටා තිබූ උස් ස්ථානයක සිට මුළු දේශයම දැක බලා ගැනීමට ආබ්‍රහම්ට හැකි වෙන්න ඇති. එපමණක්ද නොව “දේශයෙහි දිගටත් හරහටත්” ගමන් කර ඊට අයත් ප්‍රදේශ හා එහි භූ විෂමතාව ගැන අවබෝධයක් ලබන්න කියාද දෙවි ඔහුට ආරාධනා කළේය.

3. ආබ්‍රහම් ගමන් කළ ප්‍රදේශ මොන වගේද කියා සිතාගැනීම අමාරු දෙයක් විය හැක්කේ මන්ද?

3 ආබ්‍රහම් හෙබ්‍රොන් නමැති ප්‍රදේශයට පැමිණෙන්න කලින් කොතෙක් දුරට දේශයේ දිගටත් හරහටත් ගමන් කළාද කියා අප දන්නේ නැත. එහෙත් අපගෙන් බොහෝදෙනෙකුට වඩා පොරොන්දු දේශය ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණු බව නම් ස්ථිරයි. මේ වාර්තාවේ සඳහන් නෙගෙබ්, බෙතෙල්, යොර්දාන් සමභූමිය, සොදොම හා හෙබ්‍රොන් යන ප්‍රදේශ ගැන ටිකක් සිතා බලන්න. මේ ප්‍රදේශ පිහිටා තිබුණේ කොහේද යන්න ගැන ඔබේ මනසේ චිත්‍රයක් මවාගැනීම දුෂ්කර කාර්යයක්ද? ඇත්තටම බොහෝදෙනෙකුට එය දුෂ්කර කාර්යයකි. මන්ද බයිබලයේ සඳහන් දේශවල දිගටත් හරහටත් ඇත්තටම ගමන් කර තිබෙන්නේ යෙහෝවාගේ සෙනඟ අතරින් අතළොස්සක් පමණයි. කෙසේවෙතත් බයිබලයේ සඳහන් ස්ථාන ගැන දැනගැනීමට අප උනන්දු විය යුතුය. මෙසේ පැවසීමට හේතුව කුමක්ද?

4, 5. (අ) හිතෝපදේශ 18:15හි පවසන වදන් බයිබලයේ සඳහන් දේශ පිළිබඳ දැනුමට හා තේරුම්ගැනීමට සම්බන්ධ වන්නේ කෙසේද? (ආ) ශෙපනියා 2වන පරිච්ඡේදය කියවද්දී පැහැදිලි වන්නේ කුමක්ද?

4 දේවවචනයේ මෙසේ සඳහන් වේ. “බුද්ධිමත් [තේරුම් ඇති] අයගේ සිත දැනගැන්ම ලබයි. ඥානවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.” (හිතෝපදේශ 18:15) යමෙකුට දැනුම ලබාගත හැකි විෂයන් බොහොමයක් තිබේ. එහෙත් වැදගත්ම දෙය වන්නේ යෙහෝවා දෙවි ගැනත් ඔහු ජනයා සමඟ කටයුතු කර තිබෙන ආකාරය ගැනත් නිවැරදි දැනුමක් ලබාගැනීමයි. නිවැරදි දැනුම ලබාගත හැකි ප්‍රධානතම මාධ්‍යය වන්නේ බයිබලයයි. (2 තිමෝති 3:16) නිවැරදි දැනුම ලබාගැනීමේදී, ඊට තේරුම්ගැනීමද අයත් වන බව සැලකිල්ලට ගන්න. තේරුම්ගැනීම යනුවෙන් අදහස් වන්නේ යම් කාරණයක් ගැඹුරින් සෝදිසි කර බැලීමටත් එම කාරණය හා ඊට අදාළ විවිධ පැති අතර තිබෙන සම්බන්ධය වටහාගැනීමටත් තිබෙන හැකියාවයි. බයිබලයේ සඳහන් ස්ථාන ගැන අපට තිබිය යුතු අවබෝධය සම්බන්ධයෙන්ද මෙය අදාළ වෙයි. උදාහරණයක් හැටියට ඊජිප්තුව පිහිටා තිබෙන තැන අපගෙන් බොහෝදෙනෙක් දනිති. එහෙත් ආබ්‍රහම් ඊජිප්තුවෙන් පිටත්ව ‘දකුණු දිශාව’ කියා හඳුන්වා තිබෙන නෙගෙබ් ප්‍රදේශයටත්, ඉන්පසු බෙතෙල් නමැති ප්‍රදේශයටත් අනතුරුව හෙබ්‍රොන් ප්‍රදේශයටත් ගමන් කළ බවට සඳහන් විස්තරය අපට තේරුම්ගත හැකිද? ඒ එක් එක් ප්‍රදේශ අතර තිබෙන දුර ප්‍රමාණය හා ඒ ප්‍රදේශ පිළිබඳ වෙනත් තොරතුරු ඔබ තේරුම්ගෙන සිටිනවාද?

5 සමහරවිට ඔබ ශෙපනියා 2වන පරිච්ඡේදය ඔබේ බයිබල් කියවීමේදී කියවා තිබෙන්න පුළුවනි. එහි ඔබට විවිධ නගර, මිනිසුන් හා ප්‍රදේශ ගැන කියවීමට තිබේ. ගාසා, අෂ්කෙලොන්, අෂ්දොද්, එක්‍රොන්, සොදොම හා නිනිවය මෙන්ම කානාන්, මෝවබ්, අම්මොන් හා අෂූර් යන මේ සියලුම ප්‍රදේශ ගැන එම තනි පරිච්ඡේදයේ සඳහන් වේ. විවිධ ජාතීන් විසූ එම ප්‍රදේශ ඔබේ සිතින් මවාගන්න ඔබට හැකි වීද? මෙම ජාතීන් ගැන දෙවි අනාවැකි පළ කළ නිසා එය දැන සිටීම වැදගත්ය.

6. බයිබලය අධ්‍යයනය කරන සමහරුන් සිතියම් සෝදිසි කර බලන්න ආශා කරන්නේ මන්ද? (කොටුව බලන්න.)

6 දේවවචනය අධ්‍යයනය කරන බොහෝදෙනෙක් බයිබලයේ සඳහන් දේශ සොයාගත හැකි සිතියම් බැලීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා තිබේ. ඔවුන් සිතියම් බලන්නේ දේවවචනය පිළිබඳ තමන්ගේ දැනුමට අලුතින් යම් දේවල් එක් කරගැනීමට එය උපකාරවත් වන නිසා මිසක් සාමාන්‍යයෙන් සිතියම් අධ්‍යයනය කිරීමට ඔවුන් ආශා කරන නිසාම නොවේ. යම් දේවල් හොඳින් තේරුම්ගැනීමටත්, තමන් දැනටමත් දන්න කරුණු වෙනත් තොරතුරුවලට සම්බන්ධ වෙන ආකාරය තේරුම්ගැනීමටත් සිතියම් ඔවුන්ට උපකාරවත් වේ. අප දැන් උදාහරණ කිහිපයක් සලකා බලද්දී යෙහෝවා ගැන ඔබට තිබෙන අගය තව තවත් වැඩි වේවි. එමෙන්ම ඔහුගේ වචනයේ සඳහන් සිද්ධීන් වඩාත් ගැඹුරින් තේරුම්ගැනීමටත් ඔබට හැකි වේවි.—14වන පිටුවේ කොටුව බලන්න.

දුර ප්‍රමාණය දැනගැනීම වැදගත්ද?

7, 8. (අ) සම්සොන් ගාසාවේදී කළ විස්මිත ක්‍රියාව කුමක්ද? (ආ) සම්සොන් කළේ මොන තරම් වික්‍රමාන්විත ක්‍රියාවක්ද කියා හොඳින් තේරුම්ගැනීමට අපට උපකාරවත් වන්නේ කුමන තොරතුරුද? (ඇ) සම්සොන් හා සම්බන්ධ මේ වාර්තාව පිළිබඳ දැනුම හා අවබෝධය ලබාගැනීම අපට උපකාරවත් වන්නේ කෙසේද?

7 විනිශ්චයකාරයෙකු වූ සම්සොන් ගාසාව නමැති ප්‍රදේශයට ගොස් සිටි බව විනිශ්චයකාරයෝ 16:2හි අපට කියවීමට තිබේ. අද දිනද ප්‍රවෘත්ති වාර්තාවල ගාසා කියන නම බොහෝ අවස්ථාවලදී සඳහන් වේ. මේ නිසා සම්සොන් සිටි ගාසා නමැති ප්‍රදේශයේ පිහිටීම ගැන ඔබට යම් අවබෝධයක් තිබෙනවා විය හැකියි. ඒ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මධ්‍යධරණී වෙරළබඩ තීරයේ පිලිස්තියාව නමැති දේශය අසලයි. [11] විනිශ්චයකාරයෝ 16:3හි සඳහන් මේ වදන් දැන් සලකා බලන්න. ‘සම්සොන් මධ්‍යම රාත්‍රියේ නැඟිට නුවර වාසල් දොරත්, උළුවහු දෙකත්, අගුලත් උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට පිහිටි කන්ද මුදුනට ගියේය.’

8 ගාසා වැනි බලකොටුවක දොරටුව හා එහි උළුවහු කණු විශාල මෙන්ම අධික බරකින් යුක්ත වූ බවට සැකයක් නැත. ඒවා උසුලාගෙන යෑමට තැත් කිරීම ගැන නිකමට සිතා බලන්න! මෙය කිසිවෙකුට කළ නොහැකි දෙයකි. එහෙත් ඒවා උසුලාගෙන යන්නට සම්සොන්ට හැකි විය. එපමණක්ද නොව ඔහු ඒවා උසුලාගෙන ගියේ කොහේටද කියාත් එය කුමන ආකාරයේ ගමනක් වෙන්න ඇද්ද කියාත් සිතා බලන්න. ඔහු ගමන් ඇරඹූ ගාසාව පිහිටා තිබෙන්නේ වෙරළබඩ තීරයේයි. [15] එහෙත් ගාසාවට නැඟෙනහිර දෙසින් පිහිටි හෙබ්‍රොන් නගරය තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 900කට ඉහළින්. ඇරත් එතැනට යෑමට තිබූ මාර්ගය තද බෑවුමක් සහිත එකක් විය. “හෙබ්‍රොන් ඉදිරිපිට [පිහිටි] කන්ද” තිබූ ස්ථානය අපට හරියටම නිශ්චය කළ නොහැකියි. එහෙත් ගාසාවේ සිට හෙබ්‍රොන් දක්වා දුර කිලෝමීටර් 60ක් පමණ වේ. එපමණක්ද නොවේ, මේ ගමනේදී තද බෑවුමක් නඟින්නත් තිබේ! ගාසාවේ සිට හෙබ්‍රොන් දක්වා තිබෙන දුර ප්‍රමාණය දැන සිටීම සම්සොන් කළ වික්‍රමාන්විත ක්‍රියාව දෙස අලුත් කෝණයකින් බලන්න උපකාරවත් වේ. තවද සම්සොන්ට එවැනි දේවල් කළ හැකි වූයේ “යෙහෝවාගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණි” නිසා බවත් මතක තබාගන්න. (විනිශ්චයකාරයෝ 14:6, 19; 15:14) අද සිටින දෙවිගේ සේවකයන් වන අපට දෙවිගේ ආත්මය මගින් අසාමාන්‍ය කාය ශක්තියක් ලබා දෙයි කියා අප අපේක්ෂා කරන්නේ නැත. එහෙත් ගැඹුරු ආත්මික කාරණා පිළිබඳව අපේ අවබෝධය තව තවත් පුළුල් කිරීමට ඒ බලවත් ආත්මයට හැකියි. එමෙන්ම අපේ ඇතුළාන්ත මිනිසාව ශක්තිමත් කිරීමටද එයට හැකියි. (1 කොරින්ති 2:10-16; 13:8; එෆීස 3:16; කොලොස්සි 1:9, 10) සම්සොන් පිළිබඳව බයිබලයේ සඳහන් මේ වාර්තාව තේරුම්ගන්න විට, අපට උපකාර කිරීමට දෙවිගේ ආත්මයට හැකි බවට වූ අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වේ.

9, 10. (අ) ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කළ ආකාරය විස්තර කරන්න. (ආ) මේ සිද්ධියට සම්බන්ධ ප්‍රදේශවල පිහිටීම දැනගැනීම මේ වාර්තාව වඩාත් හොඳින් තේරුම්ගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?

9 දුර ප්‍රමාණය දැනගැනීම කොතරම් වැදගත්ද කියා පෙන්වා දෙන තවත් උදාහරණයක් වන්නේ ගිඩියොන් මිදියන්වරුන් සමඟ කළ සටනින් ලැබූ ජයග්‍රහණය පිළිබඳ වාර්තාවයි. විනිශ්චයකාරයෙකු වූ ගිඩියොන් හා පුරුෂයන් 300දෙනෙකුගෙන් සමන්විත වූ ඔහුගේ කණ්ඩායම භටයන් 1,35,000කින් යුත් මිත්‍ර හමුදාවක් පරාජය කළ බව බයිබලය කියවන බොහෝදෙනෙක් දනිති. මිදියන්වරුන්ගෙන්, අමලෙක්වරුන්ගෙන් හා තවත් ජාතීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වූ එම මිත්‍ර හමුදාවක් කඳවුරු බැඳගෙන සිටියේ මෝරේ කන්ද ළඟ පිහිටි යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිය. [18] ගිඩියොන්ගේ මිනිස්සු හොරණෑ පිඹ, කළගෙඩි ඇතුළේ තිබූ පන්දම්වල ආලෝකය විහිදුවාලීම සඳහා ඒවා බිඳ දමා, “යෙහෝවාගේද ගිඩියොන්ගේද කඩුව” කියා කෑ මොර ගැසූහ. මේ මොරගැසීමෙන් ව්‍යාකූල වී බියට පත් වූ ඔවුන්ගේ සතුරෝ ඔවුන් එකිනෙකාව ඝාතනය කරගත්හ. (විනිශ්චයකාරයෝ 6:33; 7:1-22) මේ සටන එක රැයකින් සිදු වූවක්ද? විනිශ්චයකාරයෝ පොතේ 7වන හා 8වන පරිච්ඡේද දිගටම කියවාගෙන යන්න. ගිඩියොන් ඒ ප්‍රහාරය දිගටම කරගෙන ගිය බව ඔබ ඒ පරිච්ඡේද දෙක කියවද්දී දකීවි. මෙම වාර්තාවේ සඳහන් ප්‍රදේශවලින් සමහරක් අද සොයාගැනීමට නොහැකියි. එමනිසා එම ප්‍රදේශ බයිබල් සිතියම්වලත් දක්නට නැත. එහෙත් ගිඩියොන් ගමන් කළ මාර්ගය සොයාගැනීමට අපට උපකාරවත් වන ප්‍රදේශ බොහොමයක් හඳුනාගෙන තිබේ.

10 ගිඩියොන් මිත්‍ර හමුදාවේ ඉතිරි භට පිරිසව බෙත්ෂිට්ටා දක්වාද, ඉන්පසු ඊට නැඟෙනහිර දෙසින් යොර්දානය අසබඩ පිහිටි ආබෙල්-මෙහෝලා දක්වාද ලුහුබැඳ ගියේය. (විනිශ්චයකාරයෝ 7:22-25) වාර්තාවේ මෙසේ සඳහන් වේ. “ගිඩියොන් යොර්දානයට ඇවිත් එතෙරව ඔහුද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්ත වූ නුමුත් ලුහුබැඳ ගියෝය.” යොර්දාන් ගඟෙන් එතෙර වීමෙන් පසු ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ සතුරන්ව නැඟෙනහිර දෙසින් පිහිටි යබ්බොක් ඔයට නුදුරින් තිබූ සුක්කොත් හා පෙනූයේල් දක්වාද, ඉන්පසු යොග්බෙහා නම් කඳුකර ප්‍රදේශය දක්වාද ලුහුබැඳ ගියහ. (යොග්බෙහා පිහිටා තිබුණේ වර්තමානයේ යොර්දාන්හි අම්මාන් නුවර අසලයි.) මෙහිදී ගිඩියොන් හා ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ සතුරන්ව ලුහුබඳිමින් කිලෝමීටර් 80ක් පමණ ගමන් කළහ. මෙම සටනේදී ගිඩියොන් මිදියන් රජවරුන් දෙදෙනෙකුව ඝාතනය කළේය. ඉන්පසු ඔහු සටන ඇරඹූ ස්ථානය වන ඔහු විසූ ඔප්රා (ඔප්‍රා) නම් නගරය බලා ආපසු පිටත්ව ගියේය. (විනිශ්චයකාරයෝ 8:4-12, 21-27) ගිඩියොන් කළ වික්‍රමාන්විත ක්‍රියාව විනාඩි කිහිපයකදී කළ හොරණෑ පිඹීමකට, පන්දම් පත්තු කිරීමකට හා කෑ මොර ගැසීමකට වඩා වැඩි යමක් විය. අප දැනගත් මෙම තොරතුරු මගින් ඇදහිලිවන්ත පුරුෂයන් ගැන කර තිබෙන මතු දැක්වෙන ප්‍රකාශය තවත් අර්ථවත් වන ආකාරය ගැන සිතා බලන්න. ‘ගිඩියොන්ද දුර්වලව සිටි විට බලවත් කරනු ලැබ යුද්ධයේදී එඩිතර වූ අනිත් අය ගැනද කියන්න පටන්ගත්තොත් මට කාලය මදි වන්නේය.’ (හෙබ්‍රෙව් 11:32-34) ඇතැම්විට අපද ශාරීරිකව වෙහෙසට පත් විය හැකියි. එනමුත් අප අත් නෑර දෙවිගේ කැමැත්ත කිරීම අතිවැදගත් දෙයක් නොවේද?—2 කොරින්ති 4:1, 16; ගලාති 6:9.

මිනිසුන් සිතන්නේ කෙසේද? ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

11. ඊශ්‍රායෙල්වරුන් කාදෙෂ් නමැති ප්‍රදේශයට පැමිණීමට කලින් හා පසුව ඔවුන්ගේ ගමන විස්තර කරන්න.

11 සමහර අය බයිබල් සිතියම් බලන්නේ යම් ප්‍රදේශ පිහිටි ස්ථාන සොයාගැනීම සඳහා විය හැකියි. එහෙත් මිනිසුන්ගේ සිතුවිලි හොඳින් තේරුම්ගන්න උපකාරවත් වන තොරතුරුද එම සිතියම්වලින් සොයාගත හැකියි කියා ඔබ දැනගෙන සිටියාද? උදාහරණයක් හැටියට සීනයි කඳු පාමුල සිට පොරොන්දු දේශය කරා ගමන් කළ ඊශ්‍රායෙල්වරුන් ගැන සිතා බලන්න. අතරමඟ නතර වෙමින් කළ මේ දිගු ගමනේ අවසාන භාගයේදී ඔවුහු කාදෙෂ් (නොහොත් කාදෙෂ්-බර්නේ) වෙත පැමිණියහ. [9] කිලෝමීටර් 270කින් යුත් මේ ගමන සඳහා දින 11ක් ගත වන බව ද්විතීය කතාව 1:2හි සඳහන් වේ. මෝසෙස් පොරොන්දු දේශය බැලීමට ඔත්තුකරුවන් 12දෙනෙක් පිටත් කර යැව්වේ මෙහි සිටය. (ගණන් කතාව 10:12, 33; 11:34, 35; 12:16; 13:1-3, 25, 26) මෙම ඔත්තුකරුවෝ නෙගෙබ් හරහා පොරොන්දු දේශයේ උතුරු දෙසට ගමන් කළහ. පෙනෙන විදිහට ඔවුන් බෙයර්-ෂෙබාද, ඉන්පසු හෙබ්‍රොන්ද පසු කර යමින් පොරොන්දු දේශයේ උතුරු මායිමට පැමිණෙන්න ඇති. (ගණන් කතාව 13:21-24) ඔත්තුකරුවන්ගෙන් දසදෙනෙක් ගෙනා අධෛර්ය කරවනසුලු වාර්තාව පිළිගත් නිසා ඊශ්‍රායෙල්වරුන්ට අවුරුදු 40ක් පාළුකරයේ එහෙ මෙහෙ ගමන් කරන්නට සිදු විය. (ගණන් කතාව 14:1-34) මේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇදහිල්ල ගැන හා ඔවුන්ට යෙහෝවා කෙරෙහි තිබූ විශ්වාසය ගැන හෙළි වන්නේ කුමක්ද?—ද්විතීය කතාව 1:19-33; ගීතාවලිය 78:22, 32-43; විනිශ්චයකාරයෝ 5වන පරිච්ඡේදය.

12. ඊශ්‍රායෙල්වරුන්ගේ ඇදහිල්ල ගැන අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? අපත් මෙය ගැන සලකා බැලීම වැදගත් වන්නේ මන්ද?

12 මේ වාර්තාවේ සඳහන් භූගෝලීය කරුණු සැලකිල්ලට ගනිමින් ඒ ගැන සිතා බලන්න. ඊශ්‍රායෙල්වරුන් ඇදහිල්ල පෙන්වමින් යෝෂුවා හා කාලෙබ් දුන් උපදේශය අනුව ක්‍රියා කළා නම් පොරොන්දු දේශය කරා යෑමේදී ඔවුන්ට බොහෝ දුරක් ගමන් කරන්න සිදු වෙයිද? කාදෙෂ් පිහිටා තිබුණේ බෙයෙර්-ලහයි-රොයි නමැති ප්‍රදේශයේ සිට කිලෝමීටර් 16ක් දුරකිනි. ඊසාක් හා රෙබෙකා වාසය කරමින් සිටියේ එම ප්‍රදේශයේය. [7] එහි සිට පොරොන්දු දේශයේ දකුණු මායිමේ පිහිටි බෙයර්-ෂෙබා දක්වා තිබෙන්නේ කිලෝමීටර් 95කට ආසන්න දුරකි. (උත්පත්ති 24:62; 25:11; 2 සාමුවෙල් 3:9) ඊජිප්තුවේ සිට සීනයි කන්ද දක්වාද එතැන් සිට කිලෝමීටර් 270ක් දුර ගෙවා කාදෙෂ් දක්වාද ගමන් කර තිබූ ඔවුන් සිටියේ පොරොන්දු දේශය අද්දරය. අප ගැන කිව හැක්කේ කුමක්ද? අප සිටින්නේද දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීස පොළොව අද්දරය. එයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? ප්‍රේරිත පාවුල් ඊශ්‍රායෙල්වරුන් සිටි තත්වය සඳහන් කරමින් මෙම උපදේශය දුන්නේය. “එබැවින්, ඒ අකීකරුකමේ ආදර්ශයට අනුව ගොස් කිසිවෙකු නොවැටෙන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුල් වීමට අපි අපේ උපරිමය කරමු.”—හෙබ්‍රෙව් 3:16–4:11.

13, 14. (අ) ගිබියොන්වරුන් තීරණාත්මක පියවරක් ගත්තේ කුමන තත්වයක් යටතේද? (ආ) ගිබියොන්වරුන්ට තිබුණේ මොන වගේ ආකල්පයක්ද කියා පෙනී යන්නේ කුමකින්ද? අප එයින් ඉගෙනගත යුතු පාඩම කුමක්ද?

13 ගිබියොන්වරුන් පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාවෙන් පැහැදිලි වන්නේ ඊශ්‍රායෙල්වරුන්ට වඩා වෙනස් ආකල්පයක් ඔවුන් විදහාපෙන්වූ බවයි. දෙවි තමා අරමුණු කළ දේ ඉටු කරන බවට දැඩි විශ්වාසයක් ඔවුන්ට තිබිණ. යෝෂුවාගේ මූලිකත්වය යටතේ ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ හරහා ගමන් කර, දෙවි ආබ්‍රහම්ගෙන් පැවත එන අයට පොරොන්දු වී තිබූ දේශයට පැමිණියහ. එහි වාසය කරමින් සිටි ගිබියොන්වරුන් ඇතුළු කානානිවරුන්ව විනාශ කර දැමීමට කාලය උදා වී තිබිණ. (ද්විතීය කතාව 7:1-3) මේ වන විට ඊශ්‍රායෙල්වරු යෙරිකෝව හා හායි නගර අත් පත් කරගෙන ගිල්ගාල් අසල කඳවුරු බැඳගෙන සිටියහ. ශාප ලත් කානානිවරුන් මෙන් මිය යන්නට ගිබියොන්වරුන් කැමති වූයේ නැත. එනිසා ඔවුහු ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙත ඔවුන්ගේ නියෝජිතයන්ව යැවූහ. හෙබ්‍රෙව්වරුන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගැනීමට වුවමනා වූ නිසා තමන් කානානීය දේශයෙන් නොව පිට පළාතකින් පැමිණි සෙනඟක් බව ඔවුහු පැවසූහ.

14 එම නියෝජිතයෝ මෙසේ පැවසූහ. “ඔබගේ මෙහෙකරු වූ අපි ඔබගේ දෙවි වූ යෙහෝවාගේ නාමය නිසා ඉතා දුර රටකින් ආවෙමු.” (යෝෂුවා 9:3-9) ඔවුන්ගේ ඇඳුම් හා ආහාර දුටු විට පෙනී ගියේ ඔවුන් බොහෝ දුර සිට පැමිණි සෙනඟක් බවයි. එහෙත් ඇත්තටම ගිබියොන්වරුන්ට ගිල්ගාල් වෙතට පැමිණීම සඳහා ගමන් කිරීමට සිදු වූයේ කිලෝමීටර් 30ක් පමණි. [19] ගිබියොන්වරුන් පැමිණ තිබෙන්නේ බොහෝ දුර ප්‍රදේශයක සිටයි කියා සිතූ යෝෂුවා හා ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතියෝ ඔවුන් සමඟත් ඔවුන් සම්බන්ධකම් පැවැත්වූ අසල පිහිටි නුවරවල් සමඟත් මිත්‍ර ගිවිසුමක් ඇති කරගත්හ. ගිබියොන්වරුන් එවන් උපක්‍රමයක් දියත් කළේ හුදෙක් දිවි ගලවාගැනීම සඳහා පමණක්ද? නැත. ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කළ දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන් තුළ ආශාවක් තිබූ බව ඉන් පැහැදිලි විය. යෙහෝවා ඔවුන්ව පිළිගෙන, ‘සභාවටත් යෙහෝවාගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද’ වශයෙන් ඔවුන්ව පත් කළේය. (යෝෂුවා 9:11-27) මෙවැනි කාර්යයන් පහත්යැයි පෙනිය හැකි වුවද යෙහෝවා වෙනුවෙන් දිගටම එවන් කාර්යයන්වල නියැලෙන්න තමන් කැමැත්තෙන් සිටි බව ගිබියොන්වරු පෙන්වූහ. බැබිලෝනියේ සිට ආපසු පැමිණ දේවමාලිගාව යළි ගොඩනැඟීමේ කටයුතුවල හවුල් වූ නෙතිනිම්වරුන් අතර ගිබියොන්වරුන්ගෙන් සමහරදෙනෙක්ද සිටි බව පෙනෙන්න තිබේ. (එස්රා 2:1, 2, 43-54; 8:20) දෙවි සමඟ දිගටම සාමකාමී සබඳතාවක් පවත්වාගැනීමට වෑයම් කිරීමෙන් හා ඔහුගේ සේවයේ අපට පැවරෙන ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන් සිටීමෙන් ගිබියොන්වරුන්ගේ ආකල්පය විදහාපෙන්වීමට අපටත් හැකියි.

පරිත්‍යාගශීලී වීම

15. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල සඳහන් ප්‍රදේශ පිළිබඳ විස්තර දැනගැනීමට අප උනන්දු විය යුත්තේ මන්ද?

15 බයිබලයේ සඳහන් ප්‍රදේශ පිළිබඳ විස්තර ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල සඳහන් වාර්තාවලද දැකිය හැකියි. යේසුස් හා පාවුල් කළ දේවසේවය හා ගමන් කළ ප්‍රදේශ ගැන තොරතුරු එවැනි වාර්තාවල අපට සොයාගැනීමට තිබේ. (මාක් 1:38; 7:24, 31; 10:1; ලූක් 8:1; 13:22; 2 කොරින්ති 11:25, 26) පහත සඳහන් වාර්තාවල දැක්වෙන ගමන් මාර්ග සිතින් මවාගැනීමට වෑයම් කරන්න.

16. බෙරීයයේ ක්‍රිස්තියානීන් පාවුල්ට ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

16 පාවුල්ගේ දෙවන මිෂනාරි ගමනේදී (සිතියමේ දම් පාට ඉරකින් දක්වා තිබේ) ඔහු ෆිලිප්පියට පැමිණියේය. මේ ප්‍රදේශය අද ග්‍රීසියට අයත් කොටසකි. [33] ඔහු එහි සාක්ෂි දැරුවේය. එමෙන්ම එහිදී ඔහුව සිරගත කරන ලදි. පසුව නිදහස ලැබූ ඔහු තෙසලෝනිකයට පැමිණියේය. (ක්‍රියා 16:6-17:1) එහිදී යුදෙව්වන් කෝලහලයක් ඇති කළ විට තෙසලෝනිකයේ සහෝදරයෝ බෙරීයයට යන්න කියා පාවුල්ගෙන් ඉල්ලා සිටියහ. බෙරීයය පිහිටා තිබෙන්නේ තෙසලෝනිකයේ සිට කිලෝමීටර් 65ක් දුරින්ය. පාවුල් බෙරීයයේදී සාර්ථක ලෙස ඔහුගේ සේවය කරගෙන ගිය නමුත් යුදෙව්වෝ එම ප්‍රදේශයට පැමිණ ජනයාව ඇවිස්සූහ. මේ නිසා “සහෝදරයෝ එකෙණෙහිම පාවුල්ව මුහුද ළඟට පිටත් කර යැව්වෝය.” මෙහිදී “පාවුල්ව ඇරලීමට ගිය අය ඇතන්ස් දක්වාම ඔහුව ගෙන ගියහ.” (ක්‍රියා 17:5-15) ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් නවකයන් කිහිපදෙනෙක් ඒජියන් මුහුද දක්වා වූ කිලෝමීටර් 40ක දුරක් පයින් ගමන් කර, නැව් ගාස්තු ගෙවා එතැන් සිට කිලෝමීටර් 500ක පමණ දුරක් නැවෙන් ගමන් කිරීමටත් කැමති වූහ. මෙම ගමන අනතුරුදායක වීමට ඉඩ තිබිණ. එනමුත් ඒ සහෝදරයෝ ඒ අවදානම් තත්වයට මුහුණ දීමට කැමති වූයේ දෙවිගේ සංචාරක නියෝජිතයා සමඟ දිගටම ඇසුරු කිරීමට තිබූ ආශාව නිසාය.

17. මිලේටස් සහ එෆීසය අතර තිබෙන දුර ප්‍රමාණය දැනගත් පසු අපට වඩාත් හොඳින් තේරුම්ගත හැක්කේ කුමක්ද?

17 පාවුල්ගේ තුන්වන ගමනේදී ඔහු මිලේටස් නමැති වරායට පැමිණියේය. (එම ගමන සිතියමේ කොළ පාට ඉරකින් දැක්වේ.) මෙහි සිට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි එෆීසයේ විසූ වැඩිමහල්ලන්ට එහි එන්න කියා ඔහු දැනුම් දුන්නේය. මේ වැඩිමහල්ලන් ඔවුන්ගේ වැඩකටයුතු නතර කර දමා විගස පාවුල්ව හමුවීමට ගිය ආකාරය ගැන සිතා බලන්න. පාවුල්ව හමුවීමට මහත් ආශාවකින් සිටි ඔවුන් ඒ ගැන මහත් උද්‍යෝගයකින් කතා කරමින් ගමන් කරන්න ඇති. පාවුල්ව හමුවීමෙන් පසු ඔවුන් පිටත්ව ඒමට කලින් ඔහු යාච්ඤා කළේය. ඉන්පසු “ඔවුන් සියල්ලෝ බොහෝ සේ හැඬූ අතර, පාවුල්ගේ බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්තෝය.” අනතුරුව ඔවුහු, යෙරුසලම බලා පිටත්ව යන “ඔහුව නැවට ඇරලීමට ගියෝය.” (ක්‍රියා 20:14-38) ඔවුන් ආපසු එෆීසය බලා යන අතරේදී ඔවුන්ට කල්පනා කර බැලීමටත් කතා කිරීමටත් බොහෝ දේවල් තිබෙන්න ඇති. ඔවුහු තමන්ව දැනුවත් කළ දිරිමත් කළ සංචාරක දේවසේවකයෙකුව හමුවීමට කිලෝමීටර් 50ක් තරම් දුරක් ඇවිදගෙන ගියහ. ඔවුන් ඔහුව කොතරම් අගය කළාද කියා සිතා බලන්න! මේ වාර්තාවෙන් ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි යමක් තිබෙන බව ඔබට පෙනී යනවාද? ඔබ සිතන ආකාරයෙහිත් යම් වෙනසක් කිරීම අවශ්‍ය බව ඔබට පෙනෙනවාද?

ඒ දේශය ගැනත් අප හමුවෙහි තිබෙන දෙය ගැනත් ඉගෙනගන්න

18. බයිබලයේ සඳහන් ප්‍රදේශ ගැන කියවද්දී අප අදිටන් කරගත යුත්තේ කුමක් කරන්නද?

18 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන් දේශය ගැන අධ්‍යයනය කිරීමේ වටිනාකම අප සලකා බැලූ උදාහරණවලින් පෙනී යයි. එම දේශය බොහෝ බයිබල් වාර්තාවල වැදගත් තැනක් ගනී. (ඒ දේශය අවට ප්‍රදේශ ගැන ඉගෙනගැනීමෙන්ද බයිබල් වාර්තා පිළිබඳව අපේ අවබෝධය පුළුල් කරගත හැකියි.) පොරොන්දු දේශය පිළිබඳ අපේ දැනුම හා අවබෝධය තව තවත් වැඩි කරගන්න විට අප මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබේ. එය නම් යෙහෝවාට භයව ඔහුගේ ආඥා පැවැත්වීමයි. එදා, ඊශ්‍රායෙල්වරුන් “කිරි හා මීපැණි ගලා යන” ඒ දේශයට ඇතුල් වී, එහි ප්‍රීතියෙන් වාසය කිරීම සඳහා දෙවිට භයව ඔහුගේ ආඥා පැවැත්විය යුතු විය.—ද්විතීය කතාව 6:1, 2; 27:3.

19. දිගටම අපේ අවධානය යොමු විය යුතු පාරාදීස දෙක කුමක්ද?

19 අද සිටින අපත් යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වමින් අපේ කොටස කළ යුතුයි. මෙසේ අපේ කොටස අප කරද්දී අද ලොව පුරා තිබෙන ක්‍රිස්තියානි සභාවල පවතින ආත්මික පාරාදීසය තව තවත් අලංකාර කිරීමෙහි දායක වීමට අපටත් හැකි වනු ඇත. එමෙන්ම ආත්මික පාරාදීසය පිළිබඳ අපේ අවබෝධයද එහි භුක්ති විඳින ආශීර්වාද පිළිබඳ අපේ අගයද තව තවත් වැඩි වෙනවාට සැකයක් නැත. අනාගතයේදී තව බොහෝ ආශීර්වාද අද්දකින්න තිබෙන බවද අපි දනිමු. යෝෂුවාගේ මූලිකත්වය යටතේ ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟෙන් එතෙර වී ඒ සරුසාර දේශයට ඇතුල් වූහ. අප ඉදිරියෙහි තිබෙන සරුසාර යහපත් දේශය වන පාරාදීස පොළොව දෙස නිසැකකමින් යුතුව බලා සිටීමට අපටද හොඳ හේතු තිබේ.

ඔබට මතකද?

• බයිබලයේ සඳහන් ප්‍රදේශ ගැන අපේ දැනුම හා අවබෝධය පුළුල් කරගැනීමට අප ආශා විය යුත්තේ මන්ද?

• ඔබේ දැනුම තවත් වැඩි වූයේ භූගෝලීය ලක්ෂණ පිළිබඳ මේ ලිපියේ සලකා බැලූ කුමන විස්තරයෙන්ද?

• බයිබලයේ සඳහන් සමහර සිද්ධීන් හා සම්බන්ධ ප්‍රදේශ ගැන ඔබ ඉගෙනගන්න විට ඔබේ සිතට කාවැදුණු පාඩම් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘ඒ සරුසාර දේශය දැකගනිමු’

වසර 2003දී පවත්වන ලද දිස්ත්‍රික් සමුළුවේදී ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති විවරණිකාව තමන් අතට පත්වීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටු වූහ. මේ ප්‍රකාශනය භාෂා 80කින් පමණ ලබාගත හැකියි. බයිබලයේ සඳහන් දේශ ඇතුළත් එවකට තිබූ ලෝකයේ නොයෙක් ප්‍රදේශ මෙහි දැකිය හැකියි. විශේෂයෙන්ම විවිධ කාල පරිච්ඡේදවලදී පොරොන්දු දේශයේ පැවති තත්වය විස්තර කරන වර්ණ හතරකින් යුත් සිතියම් හා වෙනත් සටහන්වලින් මේ විවරණිකාව පිරී තිබේ.

මෙම පාඩම් ලිපිය තුළ විවිධ සිතියම්වලට යොමු දක්වා තිබෙන්නේ සිතියම ඇතුළත් පිටු අංකය දක්වමිනි. එම පිටු අංකය තද කලු පාටින් ([15] යනාදි වශයෙන්) දක්වා තිබේ. ඔබ ළඟ මේ අලුත් විවරණිකාව තිබෙනවා නම් දේවවචනය පිළිබඳව ඔබේ දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට උපකාරවත් වන විශේෂිත අංග හොඳින් හඳුනාගැනීමට කාලය ගන්න.

(1) විශේෂ සංකේත හෝ සලකුණු පිළිබඳ විස්තරයක් අඩංගු කොටුවක් බොහෝ සිතියම්වල දක්නට තිබේ [18]. (2) බොහෝ සිතියම්වල සැතපුම් හා කිලෝමීටර්වලින් පරිමාණයක් දක්වා ඇත. ප්‍රමාණය හා දුර පිළිබඳව යම් අදහසක් ලබාගැනීමට ඒවා ඔබට උපකාරවත් වේ [26]. (3) දිශාව හඳුනාගැනීමට ඔබට උපකාරවත් වන උතුරු දිශාව දක්වන ඊතලයක් තිබේ [19]. (4) බොහෝ සිතියම්වල උස ප්‍රමාණය දැක්වීමට ඒවා වර්ණ ගන්වා ඇත [12]. (5) යම් නගරයක් හෝ ප්‍රදේශයක් සොයාගැනීමට උපකාරයක් වශයෙන් සිතියමක කෙළවර මායිම්වල ඉලක්කම් හා ඉංග්‍රීසි හෝඩියේ අකුරු දක්නට තිබේ [23]. (6) ස්ථානවල නම් දැක්වෙන පිටු දෙකකින් යුත් සූචියක් දක්නට තිබේ [34-5]. පිටු අංක තද කලු පැහැයෙන් දක්වා ඇත. මෙම ඉලක්කමට පසුව බොහෝ තැන්වල E2 යනාදි වශයෙන් සංකේතයක් දැකිය හැකියි. මෙම ඉංග්‍රීසි අකුර සිරස් අතටද ඉලක්කම තිරස් අතටද යා කිරීමෙන් අදාළ ස්ථානය ඔබට පහසුවෙන් සොයාගත හැකියි. මේ අංගවලින් ප්‍රයෝජන ගැනීමෙන් පසු ඔබේ දැනුම හා අවබෝධය පුළුල් කරගැනීමට ඒවා ඔබට මොන තරම් උපකාරවත් වෙනවාද කියා ඔබ පුදුම වේවි.

[16, 17වන පිටුවේ වගුව/සිතියම]

ස්වාභාවික ප්‍රදේශවල සිතියම් විස්තරය

(මුද්‍රිත පිටපත බලන්න)

A. මහ මුහුදේ වෙරළ තීරය

B. යොර්දානයට බටහිරින් පිහිටි තැනිතලා

1. ආෂෙර්ගේ තැන්න

2. දෝර් වෙරළබඩ තීරය

3. ශාරොන්හි ගොදුරුබිම්

4. පිලිස්තියාවේ තැන්න

5. මධ්‍යම නැඟෙනහිර-බස්නාහිර නිම්නය

a. මෙගිද්දෝ තැන්න

b. යෙශ්‍රෙයෙල් මිටියාවත

C. යොර්දානයට බටහිරින් පිහිටි කඳු

1. ගලීල කඳු

2. කර්මෙල් කඳු

3. සමාරියේ කඳු

4. ෂෙෆීලා (මිටි කඳු)

5. යූදාහි කඳුකර ප්‍රදේශය

6. යූදාහි පාළුකරය

7. නෙගෙබ්

8. පාරාන් පාළුකරය

D. අරබා (සුවිභේද නිම්නය)

1. හූලා ද්‍රෝණිය

2. ගලීල මුහුද අවට ප්‍රදේශය

3. යොර්දාන නිම්නය

4. ලුණු මුහුද (මළ මුහුද)

5. අරබා (ලුණු මුහුදට දකුණින්)

E. යොර්දානයට නැඟෙනහිරින් පිහිටි කඳු/මේසා

1. බාෂාන්

2. ගිලියද්

3. අම්මොන් සහ මෝවබ්

4. ඒදොම් සානුව

F. ලෙබනොන්හි කඳු

[සිතියම]

හෙර්මොන් කන්ද

මෝරේ

ආබෙල්-මෙහෝලා

සුක්කොත්

යොග්බෙහා

බෙතෙල්

ගිල්ගාල්

ගිබියොන්

යෙරුසලම

හෙබ්‍රොන්

ගාසාව

බෙයර්-ෂෙබා

සොදොම?

කාදෙෂ්

[15වන පිටුවේ සිතියම/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කානාන්

මෙගිද්දෝ

ගිලියද්

දොතාන්

ෂීකෙම්

බෙතෙල් (ලූස්)

හායි

යෙරුසලම (සාලෙම්)

බෙත්ලෙහෙම (එප්‍රාත්)

මම්රේ

හෙබ්‍රොන් (මක්පේලා)

ගෙරාර්

බෙයර්-ෂෙබා

සොදොම?

නෙගෙබ්

රෙහොබොත්?

[කඳු]

මොරියා

[මුහුදු]

ලුණු මුහුද

[ගංගා]

යොර්දාන්

[පින්තූරය]

ආබ්‍රහම් පොරොන්දු දේශයේ දිගටත් හරහටත් ගමන් කළේය

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ත්‍රෝවස

සැමොත්‍රෙස්

නෙයපොලිසය

ෆිලිප්පිය

අම්ෆිපොලිසය

තෙසලෝනිකය

බෙරීයය

ඇතන්ස්

කොරින්තිය

එෆීසය

මිලේටස්

රෝඩ්ස්