Skip to content

පටුනට යන්න

පක්ෂපාතකම හා නොසැලෙන ස්ථාවරය එදා සහ අද

පක්ෂපාතකම හා නොසැලෙන ස්ථාවරය එදා සහ අද

පක්ෂපාතකම හා නොසැලෙන ස්ථාවරය එදා සහ අද

පෝලන්තයේ දකුණු ප්‍රදේශයේ ස්ලෝවැකියාවට හා චෙක් ජනරජයට මායිම්ව කුඩා නගරයක් පිහිටා තිබෙනවා. එය වෙස්වා නගරයයි. සමහරවිට ඔබ වෙස්වා නගරය ගැන කිසිවක් නොදන්නවා ඇති. ඒත් එයට සැබෑ ක්‍රිස්තියානීන්ගේ සිත් ඇදගත හැකි ඉතිහාසයක් තිබෙනවා. එම ඉතිහාසයෙන් කියැවෙන්නේ විශ්වාසවන්තකම දිගටම පවත්වාගත් හා උද්‍යෝගයෙන් යෙහෝවාට සේවය කළ අය ගැනයි. ඔවුන් එය කළ ආකාරය ගැන දැන් අපි සලකා බලමු.

වෙස්වා නගරය පිහිටා තිබෙන්නේ ලස්සන කඳුකර ප්‍රදේශයකයි. එහි කඳුවල පිහිටීම ඉතා චිත්තාකර්ෂණීයයි. වේගයෙන් ගලා බසින දිය පහරවල් කිහිපයක් විස්ටුලා ගඟට එකතු වෙයි. විස්ටුලා ගඟ ඝන වනාන්තරයෙන් වැසුණු කඳු හා නිම්න පසු කර ලැසි ගමනින් ගලා යයි. ප්‍රදේශවාසීන්ගේ මිත්‍රශීලීභාවය හා එම ප්‍රදේශයටම ආවේනික වූ දේශගුණය නිසා වෙස්වා නගරය ප්‍රසිද්ධියක් උසුලන්නේ සෞඛ්‍යයට හිතකර ස්ථානයක් හැටියටයි. මෙම ස්ථානය, ගිම්හානයේ හා ශීත කාලයේ විවේක සුවය විඳිය හැකි ගිමන් හලක්යැයි කීවොත් නිවැරදියි.

පෙනෙන විදියට මේ නගරයට මුලින්ම මෙම නම ලැබී තිබෙන්නේ 1590 ගණන්වලදීයි. මුලින්ම එහි තැනුවේ ලී මඩුවක්. ඊට පස්සේ කඳුවල තැනිතලා ප්‍රදේශයේ මිනිස්සු පදිංචි වුණා. ඔවුන් බැටළුවන් හරකුන් වැනි සතුන් ඇති කරමින් වගා කටයුතු කරගෙන ජීවත් වුණා. මේ අහිංසක මිනිසුන්ට සිදු වුණා එහි ඇති වූ ආගමික විපර්යාසයන්ට මුහුණ දෙන්න. මාර්ටින් ලූතර්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු ආගමික සංශෝධනය එම ප්‍රදේශයට තදින්ම බලපෑවා. අන්ජා ඔට්චෙක් නම් පර්යේෂකයා පෙන්වා දෙන පරිදි ලූතරන්වාදය “1545දී රාජ්‍ය ආගම” බවට පත් වුණා. කොහොමවුණත් අවුරුදු 30ක් පුරා පැවතුණු යුද්ධයේ හා ඉන් අනතුරුව ඇති වූ ප්‍රතිසංස්කරණ විරෝධි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් තත්වය පුදුමාකාර ලෙස වෙනස් වුණා. වර්ෂ “1654දී ඔවුන්ගේ බයිබල් සහ ආගමික පොත් පත් මෙන්ම සියලුම රෙපරමාදු පල්ලි රාජසන්තක කරනු ලැබුවා. ඔවුන්ගේ දේවමෙහෙයන් තහනම් කළා” යැයි ඔට්චෙක් තවදුරටත් පැවසුවා. එහෙත් ප්‍රදේශයේ වැඩිදෙනෙක් ලූතරන් ආගම දිගටම ඇදහැව්වා.

මුලින්ම බයිබල් සත්‍යය වැපුරූ දා

කෙසේවෙතත් සතුටට කරුණක් වන්නේ කලින් සිදු වූවාට වඩා වැදගත් ආගමික විපර්යාසයක් සිදුවීමයි. බයිබල් සත්‍යය නමැති බීජය මුලින්ම වපුරනු ලැබුවේ එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ උද්‍යෝගිමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් විසින්. මෙය සිදු වූයේ 1928දීයි. ඊළඟ අවුරුද්දේ යාන් ගොමොලා වෙස්වා නගරයට පැමිණියා. ඔහු, තැටිගත කරන ලද බයිබල් කරුණු පැහැදිලි කරන කතා තමා සතු ශබ්දවාහිනියෙන් අසන්නට සැලැස්සුවා. ඔහු, ළඟ පිහිටි නිම්නයකට දේශනා කිරීමට ගිය අතර ඔහුට එහිදී ඉතා උනන්දුවෙන් ඇහුම්කන් දුන් තැනැත්තෙක්ව මුණගැසුණා. ඔහුගේ නම අන්ජා රශ්කා. ඔහු ශක්ති සම්පන්න පෙනුමක් ඇති මිටි පුද්ගලයෙක්. ශබ්දවාහිනියෙන් ඔහුට අසන්ට ලැබුණු දේවල් ඔහුගේ බයිබලයේ තිබෙනවාද කියා තහවුරු කරගැනීමට ඔහු එවෙලේම තමන්ගේ බයිබලය පෙරළා බැලුවා. ඊට පස්සේ ඔහු මෙසේ පැවසුවා. “සහෝදරයා, මම හොයපු සත්‍ය මට හම්බ වුණා! මම පළවෙනි ලෝක යුද්ධ කාලයේ සටන් බිමේ හිටපු දවස්වල සිටම ප්‍රශ්න වගයකට උත්තර සෙව්වා!”

ප්‍රීති උද්දාමයට පත් රශ්කා, ගොමොලාව ඔහුගේ යහළුවන් වන යර්ෂා හා අන්ජා පිල්ක්ව මුණගස්වන්න කැඳවාගෙන ගියා. ඔවුනුත් දේවරාජ්‍ය පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. ප්‍රංශයේදී බයිබල් සත්‍යය ගැන ඉගෙනගත් අන්ජා ටර්නා මේ දෙදෙනාට ශුභාරංචිය පිළිබඳ තම දැනුම වැඩි කරගැනීමට උපකාර කළා. වැඩි කල් නොගොස් ඔවුන් බව්තීස්ම වුණා. වෙස්වාවල සිටි බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායමට උපකාර කිරීමට ළඟ පාත නගරවලින් සහෝදරයෝ 1930 ගණන්වල පැමිණියා. එයින් අත් වූ ප්‍රතිඵල නම් කදිමයි.

අලුතෙන් උනන්දුව දැක්වූ අයගේ සංඛ්‍යාව ඉක්මණින් වැඩි වුණා. එම ප්‍රදේශයේ වාසය කළ ලූතරන් සභාවට අයිති පවුල් පුරුද්දක් ලෙස බයිබලය කියෙව්වා. ඒ නිසා නිරාගින්න සහ ත්‍රිත්වය වැනි ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලට පටහැනි බව වටහාගත් ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට සත්‍යය හා බොරුව වෙන් කරගැනීමට හැකි වුණා. බොහෝ පවුල් බොරු ආගමික ඉගැන්වීම් අත්හැරියා. ඒ නිසා වෙස්වාවල පිහිටි සභාව වර්ධනය වුණා. වර්ෂ 1939දී එහි සාමාජිකයන් 140දෙනෙක් පමණ සිටියා. නමුත් පුදුමයට කාරණයක් නම් මෙහි සිටි බොහෝ වැඩිහිටි අය බව්තීස්ම නොවූ අයයි. මුල් කාලයේ සත්‍යයට පැමිණි හේලේනා නම් සාක්ෂිකාරියක් ඔවුන් ගැන මෙසේ පැවසුවා. “හැබැයි ඔවුන් බව්තීස්ම වෙලා නැති නිසා ඔවුන්ට යෙහෝවාගේ පැත්ත ගෙන ස්ථිරව ඉන්න බැරි වුණා කියන එක මේකෙන් අදහස් වුණේ නැහැ.” ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “වැඩි කල් නොගොස් ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වුණු අතර ඔවුන් යෙහෝවාට පක්ෂපාත බව ඔප්පු කළා.”

දරුවන් ගැන මොනවාද කියන්න පුළුවන්? ඔවුන් දැනගත්තා ඔවුන්ගේ දෙමව්පියන්ට සත්‍යය ලැබී තිබෙන බව. ෆ්‍රාන්චීස්ක් බ්‍රාන්ට්ස් මෙසේ විස්තර කරයි. “මගේ තාත්තා ඔහුට සත්‍යය ලැබුණු බව වටහාගත්තාම ඒ සත්‍යය අයියාගේයි මගෙයි සිත්වලට කාවදින ලෙස ඉගැන්නුවා. එතකොට අයියාට අවුරුදු 10යි මට අවුරුදු 8යි. තාත්තා මේ වගේ සරල ප්‍රශ්න අපෙන් ඇහුවා. ‘දෙවි කියන්නේ කවුද? ඔහුගේ නම මොකක්ද? යේසුස් ගැන දන්නේ මොනවාද?’ අපිට මේ ප්‍රශ්නවලට උත්තරත්, ඒ උත්තර නිවැරදි බව ඔප්පු කරන බයිබල් පදත් ලියන්න සිදු වුණා.” තවත් සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවා. “මගේ දෙමව්පියන් රාජ්‍ය පණිවිඩයට කැමැත්තෙන්ම ප්‍රතිචාරය දක්වලා 1940දී ලූතරන් පල්ලියෙන් අයින් වුණ නිසා ඉස්කෝලේදී විරුද්ධවාදිකම්වලට මම මුහුණ දුන්නා. ඒ විතරක් නෙවෙයි ගුටිත් කෑවා. මගේ දෙමව්පියන් බයිබල් ප්‍රතිපත්ති මගේ සිතේ පැලපදියම් කරන්න ගත් උත්සාහයට මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම පීඩාකාරී කාලවලදී විඳදරාගැනීමට ඒවා මහත් අත්වැලක් වුණා.”

පරීක්ෂා යටතේ විශ්වාසවන්තව සිටීම

දෙවන ලෝක මහ යුද්ධය පටන්ගෙන නාට්සිවරු එම ප්‍රදේශය අත් පත් කරගත් විට ඔවුන්ගේ එකම අරමුණ වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සම්පූර්ණයෙන්ම අතු ගා දමන්නයි. ඔවුන් මෙය පටන්ගත්තේ වැඩිහිටියන්ගෙන්. විශේෂයෙන්ම පියවරුන්ගෙන්. යම් වරප්‍රසාද ලබාගැනීම සඳහා ජර්මානු ජාතිකයන් බව හඳුන්වා දෙන ලැයිස්තුවකට අත්සන් කරන්න ඔවුන්ට බල කළා. සාක්ෂිකරුවන් නාට්සිවරුන්ට සහයෝගය දැක්වූයේ නැහැ. තවද හමුදා සේවයට බඳවාගන්න වයසේ සිටි බොහෝ සහෝදරයන් සහ සත්‍යය කෙරෙහි උනන්දුව දැක්වූ අය ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවා. එනම් ඔවුන් හමුදා සේවයට බැඳෙනවාද, නැද්ද යන ප්‍රශ්නයයි. හැබැයි හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න තීරණය කරනවා නම් දරුණු දඬුවම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ගෙස්ටාපෝ පොලීසිය 1943දී අත්අඩංගුවට ගත් අන්ජා ශැල්බොට් මෙසේ විස්තර කරයි. “හමුදා සේවයට බැඳෙන්න අකමැත්ත පළ කරනවා කියන්නේ ගාල් කඳවුරකට යනවා කියන එකයි. බොහෝවිට යැව්වේ ඖෂ්විට්ස් කඳවුරටයි. මම එතකොට බව්තීස්ම වෙලා හිටියේ නැහැ. හැබැයි මම දැනගෙන හිටියා මතෙව් 10:28, 29 යේසුස් දුන්නාවූ පොරොන්දුව ගැන. මම දන්නවා මම යෙහෝවාට පක්ෂපාතව සිට මැරුණත් මාව නැවත ජීවත් කරවන්න ඔහුට පුළුවන් බව.”

වර්ෂ 1942 මුල් කාලයේදී නාට්සිවරුන් වෙස්වා නගරයෙන් සහෝදරයන් 17දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. මාස තුනක් ඇතුළත ඖෂ්විට්ස් කඳවුරේදී ඔවුන්ගෙන් 15දෙනෙක් මිය ගියා. මේ සිද්ධිය වෙස්වා නගරයේ සිටි අනෙකුත් සාක්ෂිකරුවන්ට බලපෑවේ කොහොමද? ඔවුන්ගේ ඇදහිල්ල අතහැර දමනවා වෙනුවට මොනම හෝ තත්වයක් යටතේ යෙහෝවාගේ පැත්තේ ස්ථිරව සිටීමට ඔවුන්ට මෙය දිරිගැන්වීමක් වුණා. ඊළඟ මාස හය ඇතුළතදී වෙස්වා නගරයේ සිටි ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වුණා. ටික කලකින් තවත් අයව අත්අඩංගුවට ගත්තා. සහෝදරයන්, සත්‍යයට උනන්දුව දැක්වූ අය හා දරුවන් ඇතුළුව 83දෙනෙක් හිට්ලර්ගේ දැඩි හිංසා පීඩාවලට ලක් වුණා. ඔවුන්ගෙන් 53දෙනෙක්ව ගාල් කඳවුරුවලට (බොහෝවිට ඖෂ්විට්ස් කඳවුරට) යැව්වා. එහෙමත් නැත්නම් පෝලන්තයේ, ජර්මනියේ හා බොහිමියාවේ පිහිටි පතල් හෝ ගල්වළවල්වල ඔවුන් යොදවා බලෙන් වැඩගත්තා.

පක්ෂපාතකම හා නොසැලෙන ස්ථිරත්වය

සාක්ෂිකරුවන්ට ඉක්මනටම නිදහස ලබා දෙන බවට කියා ඔවුන්ව නම්මාගන්න ඖෂ්විට්ස් කඳවුරේ නාට්සිවරුන් උත්සාහ කළා. එක් SS මුරකරුවෙක් අපේ සහෝදරයෙකුට මෙහෙම කිව්වා. “තවදුරටත් බයිබල් ශිෂ්‍යයෙක් නෙමෙයි කියා ලියවිල්ලක අත්සන් කරන්න විතරයි ඔයාට තියෙන්නේ. අපි ඔයාව නිදහස් කරනවා. එතකොට ඔයාට ගෙදර යන්න පුළුවන්.” ඔවුන් නැවත නැවතත් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් ඒ සහෝදරයා යෙහෝවාට ඇති ඔහුගේ පක්ෂපාතකම පාවා දුන්නේ නැහැ. ඒ නිසා ඔහුව ජර්මනියේ ඖෂ්විට්ස් කඳවුරේ හා මිටල්බොඩෝරා කඳවුරේ සිරගත කරනු ලැබුවා. ඒ කඳවුරුවලදී පහරකෑම්වලට, සමච්චල් කිරීම්වලට ලක් වූ අතර බර වැඩ කිරීමටද ඔහුට සිදු වුණා. නිදහස ලැබීමට ටිකකට කලින් මෙම සහෝදරයා සිටි කඳවුර ප්‍රහාරයකට ලක් වූ අතර ඔහු අනූනවයෙන් බේරුණා.

මෑතකදී මිය ගිය සාක්ෂිකාරයෙක් වන පවල් සාල්බොට් මෙසේ පවසා තිබුණා. “ගෙස්ටොපෝ පොලීසිය මගෙන් ප්‍රශ්න කරද්දී දිගින් දිගටම මෙහෙම ඇහුවා. ‘ඇයි ජර්මානු හමුදාවට බැඳෙන්න අකමැති? ඇයි හිට්ලර්ට ජයවේවා කියන්නේ නැත්තේ?’” ඔහු එවැනි ක්‍රිස්තියානි ස්ථාවරයක් ගැනීමට හේතු වූ බයිබල් පදනම ගැන පැහැදිලි කළාට පසු ඔහුව යුද්ධායුධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වැඩ කරන්න යැව්වා. “මගේ හෘදය සාක්ෂියට එකඟව මට මෙවැනි තැනක වැඩ කරන්න කොහෙත්ම බැහැ. ඒ නිසා ඔවුන් මාව පතලක වැඩ කරන්න යැව්වා.” ඒත් ඔහු පක්ෂපාතකම රැකගත්තා.

සිරභාරයේ නොසිටි ස්ත්‍රීන් හා දරුවන් ඖෂ්විට්ස් කඳවුරේ සිටින අයට කෑම සැපයුවා. “අපි ගිම්හාන කාලයේදී කැලෑවට ගිහින් රතු පාට පොඩි බෙරි ගෙඩි අහුලාගෙන ඒවා තිරිඟුවලට හුවමාරු කරගත්තා” යැයි එවකට යෞවන වියේ පසු වූ සහෝදරයෙක් පැවසුවා. “සහෝදරියෝ කුඩා පාන් හදලා ඒවා සත්ව තෙල්වල පෙඟෙන්න තියලා කඳවුරේ ඉන්න සහෝදරයන්ට ටික ටික යැව්වා.”

වෙස්වා නගරයෙන් ගාල් කඳවුරට යැවූ වැඩිහිටි සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 53යි. එහිදී ඔවුන්ගෙන් බලෙන් වැඩ ගත්තා. ඉන් 38දෙනෙක් මියැදුණා.

දරුවන්ගේ පක්ෂපාතකම

නාට්සිවරුන්ගේ කුරිරු ක්‍රියාවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ද ගොදුරු වුණා. සමහර දරුවන්ව තමන්ගේ මව්වරුන් සමඟ බොහිමියාවල පිහිටි තාවකාලික කඳවුරුවලට යැව්වා. තවත් සමහර දරුවන්ව ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කර දරුවන්ට නින්දිත ආකාරයෙන් සලකන බවට ප්‍රසිද්ධියක් ඉසිලූ ලූජ් කඳවුරට යවනු ලැබුවා.

ඉන් තුන්දෙනෙක් මෙසේ පැවසුවා. “ජර්මානුවන් මුලින්ම අපි දහදෙනෙක්ව ලූජ්වලට ගෙන ගියා. එහෙම ගෙන ගියේ වයස අවුරුදු පහත් නවයත් අතර අයවයි. අපි බයිබලයේ විවිධ මාතෘකා සාකච්ඡා කරමින් යාච්ඤා කරමින් එකිනෙකාව දිරිගැන්වුවා. විඳදරාගන්න ලේසි වුණේ නැහැ.” වර්ෂ 1945දී ඒ ළමයින්ට ගෙදර එන්න හැකි වුණා. ඔවුන් ගෙදර එන විට ශාරීරිකව දිරාපත් වෙලයි හිටියේ. මානසිකවත් ලොකු කම්පනයකට පත් වෙලා හිටියා. ඒ මොනවාවුණත් දෙවි කෙරෙහි ඔවුන්ට තිබුණු විශ්වාසවන්තකම නැති කිරීමට කිසිම දෙයකට හැකි වුණේ නැහැ.

ඉන්පසු සිදු වූ දේ . . .

දෙවන ලෝක මහ යුද්ධය අවසන් වන විටත් වෙස්වාවල හිටිය සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තිබුණා. ඔවුන් නැවතත් දේශනා සේවය ඉතා උනන්දුවෙන් දිගටම කරගෙන යන්න සූදානමින් සිටියා. වෙස්වා නගරයට කිලෝමීටර් 40ක් පමණ ඈතින් වෙසෙන ජනයාටත් දේශනා කිරීමට හා බයිබලයේ තොරතුරු අඩංගු පොත් පත් බෙදා දීමට සහෝදරයන් කණ්ඩායම් වශයෙන් ගියා. යාන් කෂොක් මෙහෙම කිව්වා. “ඉක්මණින්ම ක්‍රියාශීලී සහෝදරයන්ගෙන් යුත් සභා තුනක් අපේ නගරයේ පිහිටෙව්වා.” කෙසේවෙතත් ආගමික නිදහස වැඩි කල් තිබුණේ නැහැ.

නාට්සි පාලනය වෙනුවට පත් වූ කොමියුනිස්ට් රජය 1950දී පෝලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් තහනම් කළා. ඒ නිසා එහි සිටි සහෝදරයන්ට අලුත් ක්‍රම පාවිච්චි කරමින් තමන්ගේ සේවය කරගෙන යන්න සිදු වුණා. සමහර අවස්ථාවලදී ඔවුන් සත්තු හෝ ධාන්‍ය මිල දී ගන්න යන ආකාරයෙන් ගිහින් දේශනා කළා. සාමාන්‍යයෙන් රැස්වීම් පැවැත්තුවේ කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වී රාත්‍රි කාලයේයි. ඒ කොහොමවුණත් ආරක්ෂක භටයින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විදේශීය ඔත්තු සේවාවකට සම්බන්ධයි කියා පවසමින් බොහෝදෙනෙකුව අත්අඩංගුවට ගත්තා. මෙය අමූලික බොරු චෝදනාවක්. පවල් පිල්ක්ට සමහර නිලධාරීන් සමච්චලයට මෙන් මෙසේ කියමින් තර්ජනය කළා. “දෙවිට තියෙන ඔයාගේ පක්ෂපාතකම නැති කරන්න හිට්ලර්ට බැරි වුණා. හැබැයි අපි ඒක කරනවා.” ඔහු අවුරුදු පහක් සිරගෙදර සිටියත් යෙහෝවාට තිබුණු පක්ෂපාතකම නැති කරගත්තේ නැහැ. තරුණ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සමාජවාදී ආණ්ඩුවෙන් නිකුත් කරන ලද දේශපාලනමය ලියවිල්ලකට අත්සන් කිරීමට අකමැති වූ නිසා ඔවුන්ගෙන් සමහරදෙනෙකුව පාසැලෙන් අස් කළා, එහෙමත් නැත්නම් රැකියාවෙන් අයින් කළා.

යෙහෝවා ඔවුන් සමඟ සිටියා

වර්ෂ 1989දී දේශපාලනමය වාතාවරණය වෙනස් වුණා. පෝලන්තයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තහනම ඉවත් කළා. නොසැලෙන ස්ථාවරයක් පවත්වාගෙන සිටි වෙස්වා නගරයේ යෙහෝවාගේ නමස්කාරකයන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි කළා. පුරෝගාමීන්ගේ හෝ පූර්ණ කාලීන සේවකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමෙන් මෙය මනාව පැහැදිලි වෙනවා. මේ ප්‍රදේශයෙන් බිහි වූ පුරෝගාමීන්ගේ ගණන 100ක් විතර වෙනවා. මේ නගරයට, පුරෝගාමීන් බිහි වෙන තෝතැන්නක් කියන නම පටබැඳීම පුදුමයට කාරණයක් නෙවෙයි.

පුරාණ කාලයේ දෙවි ඔහුගේ සේවකයන්ට පිහිට වූ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙයි. “මනුෂ්‍යයන් අපට විරුද්ධව නැඟිටුණු කල අපේ පක්ෂයට සිටියේ යෙහෝවා නොවේ නම් ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවිළුණු කල ඔවුන් අප පණපිටින් ගිලගන්ට ඇත.” (ගීතාවලිය 124:2, 3) අද අපට දක්නට තිබෙන්නේ අන් අය කෙරෙහි කිසිම හැඟීමක් නැති හා අනාචාරයේ යෙදෙන අයගෙන් පිරි සමාජයක්. තත්වය එසේවුණත් වෙස්වා නගරයේ සිටින යෙහෝවාගේ නමස්කාරකයන් අදටත් ඔවුන්ගේ පක්ෂපාතකම නොකඩවා රැකගන්න උත්සාහ කරන නිසා ඔවුන්ට මහත් ආශීර්වාද ලැබී තිබෙනවා. දැන් එම ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ට පාවුල්ගේ වදන් සත්‍ය බව ඔප්පු කරන්න පුළුවන්. එනම් “දෙවි අපේ පැත්තේ නම්, අපට විරුද්ධ වන්නේ කවුද?”—රෝම 8:31.

[26වන පිටුවේ පින්තූරය]

එමීලියා කෂොක් සහ ඇගේ දරුවන් වන හෙලේනා, එමිල්යා සහ යාන්ව බොහිමියාවේ පිහිටි තාවකාලික කඳවුරකට යවනු ලැබුවා

[26වන පිටුවේ පින්තූරය]

පවල් සාල්බොට් හමුදා සේවයට බැඳෙන්න අකමැත්ත පළ කළ විට ඔහුව පතලක වැඩ කිරීමට යැව්වා

[27වන පිටුවේ පින්තූරය]

ඖෂ්විට්ස් කඳවුරේ සහෝදරයන් මියැදුණත් එය වෙස්වා නගරයේ වර්ධනයට බාධාවක් වුණේ නැහැ

[28වන පිටුවේ පින්තූරය]

තරුණයින් සඳහා ලූජ්වල පිහිටි කඳවුරකට පවල් පිල්ක්ව සහ යාන් පොලෙක්ව යවනු ලැබුවා

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Berries and flowers: © R.M. Kosinscy/www.kosinscy.pl