Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“කිසිවක් ආපසු ලබාගැනීමේ අරමුණින් තොරව පොලී රහිතව ණයට දෙන්න” කියා තම අනුගාමිකයන්ට යේසුස් උපදෙස් දුන් විට, ඔවුන් ණයට දුන් මුල් මුදල පවා ආපසු ලබාගැනීම නොකළ යුත්තක් බවද ඔහු අදහස් කළේ?

මේ සම්බන්ධයෙන් වඩාත්ම සුදුසු දෙය වන්නේ මෝසෙස්ගේ නීතිය මනසේ තබාගෙන ලූක් 6:35හි සඳහන් යේසුස්ගේ වදන් තේරුම්ගැනීමට උත්සාහ කිරීමය. ඒ නීතිය තුළින් දෙවි ඊශ්‍රායෙලිතයන්ට අණ කළේ, ආර්ථික වශයෙන් අසරණ තත්වයකට පත්ව සිටි සෙසු ඊශ්‍රායෙලිතයන්ට ණයට දීමේදී පොලී අය නොකරන්න කියාය. (නික්මයාම 22:25; ලෙවි කතාව 25:35-37; මතෙව් 5:42) මෙවන් ණයක් දෙනු ලැබුවේ ලාභයක් උපයාගැනීම සඳහා නොවේ. පොලී රහිතව ණයට දීමේ අරමුණ වූයේ දුගීකමේ හෝ විපත්තියක බර සැහැල්ලු කිරීමය. ඇත්තෙන්ම කියනවා නම්, අසල්වැසියෙකු ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටිද්දී ඒ තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම කොහෙත්ම ප්‍රේමණීය ක්‍රියාවක් නොවනු ඇත. ඒ කෙසේවෙතත් ණය දුන් තැනැත්තාට මුල් මුදල ආපසු ලබාගැනීමට අවසර තිබුණි. සමහරවිට ලබාගත් ණය ආපසු ගෙවන තුරු යමක් ඇපයක් වශයෙන් තබාගැනීමද සිදු විය.—ද්විතීය කතාව 15:7, 8.

නීතිය උසස් කොට සැලකූ යේසුස් එයට වඩාත් පුළුල් අර්ථයක් දෙමින් පැවසුවේ, උපකාරය ලබා දෙන තැනැත්තා “කිසිවක් ආපසු ලබාගැනීමේ” බලාපොරොත්තුවෙන් උපකාර නොකළ යුතු බවය. ඊශ්‍රායෙලිතයන්ට මෙන් ක්‍රිස්තියානීන්ටත් ඇතැම්විට ආර්ථික ප්‍රශ්න ගැටලුවලට හෝ වෙනත් යම් අසීරු තත්වයකට මුහුණ දීමට සිදු විය හැකිය. මේ නිසා ඔවුන් දුගී, අසරණ තත්වයකට පත් වෙන්න පුළුවන්. මෙවන් අන්ත අසරණ තත්වයකට පත් වූ ක්‍රිස්තියානි සහෝදරයෙක් මූල්‍යමය ආධාර පතයි නම්, ඔහුට උපකාර කිරීම කාරුණික දෙයක් වන්නේ නැද්ද? තමාට පාලනය කළ නොහැකි තත්වයක් නිසා බරපතළ ආර්ථික දුෂ්කරතාවක් අද්දකින සහෝදරයෙකුට උපකාර කිරීමට සෙසු ක්‍රිස්තියානියෙකුව අනිවාර්යයෙන්ම පොලඹවන්නේ අව්‍යාජ ප්‍රේමයයි. (හිතෝපදේශ 3:27) එවැනි අවශ්‍යතාවක් තිබෙන සහෝදරයෙකුට, ණයක් වශයෙන් ඉල්ලන මුළු මුදලම දිය නොහැකි වුවත් ඊට වඩා අඩු මුදලක් තෑග්ගක් වශයෙන් දීමට ඔබට හැකියාවක් තිබිය හැකිය.—ගීතාවලිය 37:21.

ක්‍රිස්තු වර්ෂ පළමුවන ශතවර්ෂයේදී, යුදයේ සාගතයක් තිබූ නිසා එහි සිටි සහෝදරයන්ට කුඩා ආසියාවේ සිටින සහෝදරයන්ගෙන් සහනාධාර රැගෙන යෑමට ප්‍රේරිත පාවුල්ටත් බානබස්ටත් පැවරුමක් ලැබුණි. (ක්‍රියා 11:28-30) ඒ හා සමානව, අද දිනත් ක්‍රිස්තියානීහු විපත්තිවලට මුහුණ දෙන තම සහෝදරයන්ට උදව් උපකාර කරති. එසේ කිරීමේදී ඔවුහු දෙවිවත් ගෞරවයට පත් කරති. (මතෙව් 5:16) කෙසේවෙතත් උපකාරය බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තාගේ ආකල්පය හා තත්වය සැලකිල්ලට ගත යුතු බව සැබෑවකි. ඔහුට මෙම අවශ්‍යතාව පැනනැඟී තිබෙන්නේ මන්ද? පාවුල්ගේ මෙම වදන් සැලකිල්ලට ගැනීම වටී. “යමෙකු වැඩ කිරීමට අකමැති නම්, ඔහු නොකා සිටීවා!”—2 තෙසලෝනික 3:10.

ණයක් ඉල්ලා සිටින සහෝදරයෙක් අන්ත අසරණ තත්වයකට පත් වී නැතත් යම් ආර්ථික ගැටලුවකට මුහුණ දීමෙන් පසුව දේවල් නැවත යථා තත්වයට සකස් කරගැනීම සඳහා පමණක් උපකාරය ඉල්ලා සිටියි නම්, පොලී රහිත ණයක් ඔහුට දීම යෝග්‍ය දෙයක් විය හැකිය. එවන් තත්වයන් යටතේදී, සම්පූර්ණ මුදල නැවත ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ණයක් දීම ලූක් 6:35හි සඳහන් යේසුස්ගේ වදන්වලට පටහැනි දෙයක් නොවනු ඇත. මෙහිදී ලිඛිත පොරොන්දුවක් සකස් කරගත යුතු අතර, පොරොන්දුවේ සඳහන් කොන්දේසිවලට අනුව එය නැවත ගෙවීමට ණය ලබාගන්නා උපරිම උත්සාහයක් දැරිය යුතුය. ණයට මුදල් දීමට යම් කෙනෙකුව ක්‍රිස්තියානි ප්‍රේමය මඟින් පෙලඹුවා සේම, එය ලබාගන්නාටත් එම ණය මුදල ආපසු ගෙවා නිම කිරීමට ක්‍රිස්තියානි ප්‍රේමය පෙලඹවිය යුතුය.

ණයක් (හෝ තෑග්ගක් වශයෙන් මුදල්) දීම ගැන කල්පනා කරන කෙනා, තමාගේම පවුලේ අයගේ තත්වයත් සැලකිල්ලට ගත යුතුය. නිදසුනක් වශයෙන් තමාගේ පවුල් සාමාජිකයන්ගේ අවශ්‍යතා පිරිමැසීම ඔහුගේ මූලික අවධානයට ලක් විය යුතු කරුණක් බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වේ. ණයක් දීමෙන් මෙම ශුද්ධ ලියවිලිමය වගකීම ඉටු කිරීමට ඔහුට නොහැකි වේවිද? (2 කොරින්ති 8:12; 1 තිමෝති 5:8) එහෙත් ක්‍රිස්තියානීන් එකිනෙකාට තම ප්‍රේමය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රම සෙවීම වැදගත් දෙයකි. එම ප්‍රේමය ඔවුන් පෙන්විය යුතු වන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ප්‍රායෝගික ආකාරවලිනි.—යාකොබ් 1:27; 1 යොහන් 3:18; 4:7-11.