Skip to content

පටුනට යන්න

පාරාදීසය පිළිබඳ ඔබේ බලාපොරොත්තුව ස්ථිරද?

පාරාදීසය පිළිබඳ ඔබේ බලාපොරොත්තුව ස්ථිරද?

පාරාදීසය පිළිබඳ ඔබේ බලාපොරොත්තුව ස්ථිරද?

“ක්‍රිස්තුස් සමඟ එක්සත්ව සිටින මිනිසෙකුව මම දනිමි. . . . ඔහුව පාරාදීසයට ඔසවාගනු [ලැබීය].”—2 කොරින්ති 12:2-4.

1. හුඟදෙනෙකුගේ සිත්ගන්නේ බයිබලයේ සඳහන් කුමන පොරොන්දුද?

පාරාදීසය යන වචනය ඔබට ඇසෙද්දී ඔබේ සිතෙහි මැවෙන්නේ කෙබඳු චිත්‍රයක්ද? පොළොව පාරාදීසයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් දෙවි දී තිබෙන පොරොන්දුව පිළිබඳව ඔබ මුලින්ම ඇසූ අවස්ථාවේදී ඔබ තුළ ඇති වූ හැඟීම ඔබට මතකද? ‘අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය; බිහිරන්ගේ කන් ඇරෙන්නේය; කාන්තාරයේ දොළ පාරවල්ද බිඳ ඇවිත්’ දේශය සරුසාර භූමියක් වන්නේය කියා ඔබට මුලින්ම අසන්න ලැබුණු අවස්ථාව ඔබේ මතකයේ තිබිය හැකියි. වෘකයා බැටළු වස්සා සමඟත් තිත් දිවියා එළු වස්සා සමඟත් වාසය කිරීම පිළිබඳ අනාවැකිය ඔබ දැනගත් අවස්ථාවේදී ඔබට හැඟුණේ කෙසේද? මිය ගිය ප්‍රේමණීය අය නැවත නැඟිටීමෙන් පසුව එම පාරාදීස පොළොවේ ජීවත් වෙන බව ශුද්ධ ලියවිල්ලෙන් කියවද්දී ඔබ ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙන්න ඇති.—යෙසායා 11:6; 35:5, 6; යොහන් 5:28, 29.

2, 3. (අ) පාරාදීසය පිළිබඳ බයිබලයේ සඳහන් පොරොන්දුව විශ්වාස කිරීමට තිබෙන පදනම කුමක්ද? (ආ) පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව විශ්වාස කිරීමට අපට තිබෙන තවත් හේතුවක් සඳහන් කරන්න.

2 පාරාදීසය ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව විශ්වාස කිරීමට ඔබට හේතු තිබේ. උදාහරණයක් හැටියට, වධකණුවේ එල්ලා සිටි අපරාධකරුවාට යේසුස් පැවසූ මෙම වදන් ගැන ඔබට ස්ථිරයි. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” (ලූක් 23:43) මේ පොරොන්දුව ගැනද ඔබට විශ්වාසයක් තිබේ. “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” දෙවි අපේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන බවටත් මරණය තවත් සිදු නොවන බවටත් වැලපීමද හැඬීමද වේදනාවද තවදුරටත් අද්නොදකින බවටත් දෙවි දී තිබෙන පොරොන්දුව ගැනද ඔබට නිසැකයි. මෙම පොරොන්දුවලින් කියාපාන්නේ මේ පොළොව නැවතත් පාරාදීසයක් වනු ඇති බවයි.—2 පේතෘස් 3:13; එළිදරව් 21:4.

3 පාරාදීසය පිළිබඳ පොරොන්දුව විශ්වාස කිරීමට තවත් හේතුවක් තිබේ. මෙම හේතුව වර්තමානයේ ලොව පුරා සිටින ක්‍රිස්තියානීන් අද්දකින දෙයක් හා සම්බන්ධයි. මේ දෙය කුමක්ද? දෙවි ආත්මික පාරාදීසයක් පිහිටුවා තිබෙන අතර එය භුක්ති විඳීමේ වරප්‍රසාදය ඔහුගේ සෙනඟට දී තිබේ. “ආත්මික පාරාදීසය” යන ප්‍රකාශය සංකල්පයක් පමණක් මෙන්ම තේරුම්ගැනීමට අමාරු දෙයක් ලෙස පෙනී යා හැකියි. එහෙත් ආත්මික පාරාදීසය යනු පුරෝකථනය කර තිබූ දෙයක් මෙන්ම වර්තමානයේ ඇත්තටම පවතින දෙයකි.

පාරාදීසය පිළිබඳ දර්ශනයක්

4. දෙවන කොරින්ති 12:2-4 දක්වා වගන්තිවල සඳහන් වන දර්ශනය කුමක්ද? ඇතැම්විට මෙම දර්ශනය දුටුවේ කවුද?

4 ආත්මික පාරාදීසය පිළිබඳව ප්‍රේරිත පාවුල් ලියූ මෙම වදන් සලකා බලන්න. “ක්‍රිස්තුස් සමඟ එක්සත්ව සිටින මිනිසෙකුව මම දනිමි. . . . ඔහුව තුන්වන ස්වර්ගයට ඔසවාගනු ලැබීය. . . . එසේය, මම එවැනි මිනිසෙකුව දනිමි—එසේ වූයේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා මම නොදනිමි. දෙවි දන්නේය—ඔහුව පාරාදීසයට ඔසවාගනු ලැබූ බවත්, පැවසීමට නොහැකි, මිනිසෙකුට කියන්න තහනම් වචන ඔහුට ඇසුණු බවත් මම දනිමි.” (2 කොරින්ති 12:2-4) පාවුල් මෙම වගන්ති පෙළ ලියන්නේ ප්‍රේරිතයෙකු වීමට ඔහුට තිබූ සුදුසුකම් සම්බන්ධයෙන් සාක්ෂි ගෙනහැර දැක්වීමෙන් අනතුරුවයි. එපමණක්ද නොව, එවන් අද්දැකීමක් ලැබූ වෙන කිසිවෙක් ගැන බයිබලයේ සඳහන් වන්නේ නැත. අනිත් අතට එම දර්ශනය ගැන අපට පවසන්නේ පාවුල්ය. මේ අනුව එම දර්ශනය දුටු තැනැත්තා පාවුල් වීමට ඉඩ තිබේ. යෙහෝවා පාවුල්ට දකින්න සැලැස්සූ මේ දර්ශනයේදී ඔහුව රැගෙන ගිය “පාරාදීසය” කුමක්ද?—2 කොරින්ති 11:5, 23-31.

5. පාවුල් දුටු දෙයින් අදහස් නොවන්නේ කුමක්ද? ඔහු දුටුවේ මොන වගේ පාරාදීසයක්ද?

5 “තුන්වන ස්වර්ගය” යනුවෙන් අදහස් කරන්නේ අපේ පෘථිවිය අවට තිබෙන වායුගෝලය හෝ අභ්‍යවකාශය නොවන බව අවට පාඨ සම්බන්ධය අනුව බලද්දී පෙනී යයි. යමක් අවධාරණය කිරීමට හෝ යමක ප්‍රබලත්වය දැක්වීමට හෝ වැඩි ශක්තියක් පෙන්වීමට බොහෝ අවස්ථාවලදී බයිබලයේ අංක තුන යොදාගෙන තිබේ. (දේශනාකාරයා 4:12; යෙසායා 6:3; මතෙව් 26:34, 75; එළිදරව් 4:8) මෙයින් පැහැදිලි වන්නේ පාවුල් දර්ශනයෙන් දුටුවේ නියම ස්ථානයක් නොව, වඩා ශ්‍රේෂ්ඨ වූ ආත්මික අර්ථයකින් යුත් යමක් බවයි.

6. පාවුල් දර්ශනයෙන් දුටු දෙය හඳුනාගැනීමට උපකාරවත් වන්නේ ඉතිහාසයේ වාර්තා වන කුමන සිද්ධියද?

6 පාවුල් දර්ශනයෙන් දුටු පාරාදීසය කුමක්ද කියා හඳුනාගැනීමට ඊට කලින් වාර්තා වී තිබෙන බයිබල් අනාවැකි අපට උපකාරවත් වේ. පුරාණයේ විසූ දෙවිගේ ජනයා විශ්වාසය කඩ කළ නිසා යූදා සහ යෙරුසලම යටත් කරගැනීමට බැබිලෝනිවරුන්ට ඉඩ දීමට දෙවි තීරණය කළේය. බයිබල් කාල ගණිතයට අනුව ක්‍රි.පූ. 607දී යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය. එම දේශය වසර 70ක කාලයක් පුරා අත්හැර දමනු ලැබූ ජන ශූන්‍ය තැනක් වන බවට එම අනාවැකියේ සඳහන් විය. එම කාලය ගෙවී යෑමෙන් පසු, පසුතැවිලි වූ යුදෙව්වන්ට ආපසු මව්බිමට පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටුවීමට දෙවි ඉඩහරින බවත් එහි සඳහන් විය. මෙය සිදු වූයේ ක්‍රි.පූ. 537න් පසුවයි. (ද්විතීය කතාව 28:15, 62-68; 2 රාජාවලිය 21:10-15; 24:12-16; 25:1-4; යෙරෙමියා 29:10-14) ඒ දේශයට සිදු වූයේ කුමක්ද? අවුරුදු 70ක් පුරා ඒ දේශයේ වල් බිහි වී තිබිණ. සිවලුන් වාසය කළ වියළී ගිය භූමියක් විය. (යෙරෙමියා 4:26; 10:22) එහෙත් ඒ දේශය ගැන මෙසේ පොරොන්දු කරන ලදි. “යෙහෝවා සියොන් සැනසුවේය; ඔහු ඇගේ සියලු පාළු තැන් සනසා ඇගේ වනය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන [නැතහොත් පාරාදීසය, සෙප්ටුඅජින්ට්] මෙන්ද කළේය.”—යෙසායා 51:3.

7. වසර 70ක් දේශය අත්හැර දමා තිබීමෙන් පසුව සිදුවීමට නියමිතව තිබුණේ කුමක්ද?

7 ඉහත සඳහන් දෙය ඉටු වූයේ පුරෝකථනය කළ පරිදි වසර 70ක් ගෙවී ගියාට පසුවයි. දෙවි ඔවුන්ට ආශීර්වාද කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තත්වය හොඳ අතට හැරුණි. මේ පිළිබඳව කර ඇති පහත සඳහන් විස්තරය ඔබේ සිතින් මවාගන්න. “වනයද වියළි දේශයද සතුටු වන්නෝය; කාන්තාරය ප්‍රීතිමත්ව සෙව්වන්දි මෙන් මල් හටගන්වන්නේය; ඒක බොහෝ සේ මල් හටගන්වන්නේය; සන්තෝෂයෙන්ද ගී කීමෙන්ද ප්‍රීතිමත් වන්නේය; . . . එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය; ගොළුවාගේ දිව ගී කියන්නේය; මක්නිසාද වනයේ ජලයද කාන්තාරයේ දොළ පාරවල්ද බිඳ එන්නේය; මිරිඟු වැල්ල පොකුණක්ද පිපාසිත බිම දිය උල්පතක්ද වන්නේය; සිවලුන් ලැග්ගාවූ නිවාසයේ උන් ලැග්ග තැන බට සහ පන් ඇතිව තණකොළ වැඩෙන්නේය.”—යෙසායා 35:1-7.

වෙනස්කම් කරගත් සෙනඟක් යළි මව්බිමෙහි පදිංචි කෙරේ

8. යෙසායා 35වන පරිච්ඡේදයේ සඳහන් දෑ මූලිකව අදාළ වන්නේ ජනයාට බව අප දන්නේ කෙසේද?

8 මොන තරම් කැපීපෙනෙන වෙනසක්ද! අත්හැර දමා පාළුවට ගිය දේශයක් පාරාදීසයක් බවට පත් වෙයි. පාළුවට ගිය දේශය සරුසාර භූමියක් බවට පත් වන්නාක් මෙන් එහි වැසියන්ගේ ජීවිතවලද වෙනසක් සිදු වන බව එම අනාවැකිය ඇතුළු වෙනත් අනාවැකිවලද පෙන්වා දී ඇත. වැසියන්ගේ ජීවිතවල වෙනසක් සිදු වන බව අපට පැවසිය හැක්කේ මන්ද? යෙසායා එම අනාවැකියේ මූලික අවධානයක් ලබා දෙන්නේ ‘ගී කියමින්’ තම මව්බිමට ආපසු පැමිණ ‘ප්‍රීතිය හා සන්තෝෂය භුක්ති විඳින යෙහෝවා විසින් නිදහස් කළ අය’ ගැනයි. (යෙසායා 35:10) මින් පැහැදිලි වන්නේ එම වදන් භූමියට නොව ජනයාට අදාළ වන බවයි. එපමණක්ද නොව යූදා සෙනඟ සියොන්හි යළි පිහිටුවනු ලැබීම ගැන යෙසායා වෙනත් තැනක මෙසේ පුරෝකථනය කළේය. ‘යෙහෝවා විසින් සිටෙවූ ධර්මිෂ්ඨකම නමැති ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන්නේය. මක්නිසාද පොළොව දළු දමන ලෙස ස්වාමි වූ යෙහෝවා ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සෑම ජාතීන් ඉදිරියේ හටගන්වන්නේය.’ දෙවිගේ සෙනඟ ගැන යෙසායා මෙසේද පැවසුවේය. “යෙහෝවා නිතර ඔබට පාර පෙන්වමින් . . . ඔබේ ආත්මය තෘප්තියට පමුණුවා ඔබේ ඇටද සවි කරන්නේය; ඔබ තෙමූ උයනක් මෙන් . . . වන්නෙහිය.” (යෙසායා 58:11; 61:3, 11; යෙරෙමියා 31:10-12) යූදා දේශයේ අවට පරිසරය සරුසාර වී පල දරන්නාක් මෙන් යළි සිය මව්බිමට පැමිණි යුදෙව් වැසියන්ගේ ජීවිතවලද වෙනස්කම් සිදු වනු ඇත.

9. පාවුල් දුටු “පාරාදීසය” කුමක්ද? මෙය පැහැදිලිව දැකගත හැකි වූයේ කවදා සිටද?

9 පාවුල් දර්ශනයෙන් දුටු දෙය තේරුම්ගැනීමට අතීතයේදී සිදු වූ ඒ දෙය අපට උපකාරවත් වේ. මෙම දර්ශනය හා පල දරන තත්වයක තිබිය යුතු වූ ක්‍රිස්තියානි සභාව අතර සම්බන්ධයක් තිබේ. පාවුල් මෙම සභාව හැඳින්වූයේ “වගා කරනු ලබන දෙවිගේ කෙත” ලෙසය. (1 කොරින්ති 3:9) එම දර්ශනය ඉටුවීමට නියමිතව තිබුණේ කවදාද? පාවුල් ඔහු දුටු දෙය හැඳින්වූයේ අනාගතයේදී ඉටු වනු ඇති ‘එළිදරව් වීමක්’ ලෙසය. ඔහුගේ මරණින් පසුව මහ පරිමාණයෙන් ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමක් සිදු වනු ඇති බව ඔහු දැන සිටියේය. (2 කොරින්ති 12:1; ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3, 7) ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසූවන් සාර්ථකව වැඩි වර්ධනය වෙමින් සැබෑ ක්‍රිස්තියානීන්ව යටපත් කර දැමූ බවක් පෙනෙන්න තිබිණ. මේ කාලයේදී සැබෑ ක්‍රිස්තියානීන් සරුසාර උයනකට සමාන තත්වයක සිටි බව කිව නොහැකියි. කෙසේවෙතත් සැබෑ නමස්කාරය යළිත් උසස් තත්වයකට පත්වීමට නියමිතව තිබිණ. දෙවිගේ සෙනඟව යළි පිහිටුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් හැටියට “ධර්මිෂ්ඨයෝ තම පියාණන්ගේ රාජ්‍යයෙහිදී, සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙන්නෝය.” (මතෙව් 13:24-30, 36-43) දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා වසර කිහිපයකට පසු එම වදන්වල ඉටුවීම දැකගත හැකි විය. එතැන් පටන් අද දක්වාම දෙවිගේ සෙනඟ පාවුල් දර්ශනයෙන් දුටු ආත්මික පාරාදීසයේ සතුටින් කල් ගෙවන බව පැහැදිලිව දක්නට තිබේ.

10, 11. අසම්පූර්ණකම් මධ්‍යයේ වුවත් අප සිටින්නේ ආත්මික පාරාදීසයක කියා පැවසිය හැක්කේ මන්ද?

10 කෙසේවෙතත් අප සියලුදෙනාම අසම්පූර්ණ අය බව අපි දනිමු. එනිසා ක්‍රිස්තියානීන් අතර ඉඳ හිට ගැටලු ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පාවුල්ගේ කාලයේද ක්‍රිස්තියානීන් අතර ගැටලු හටගත්තේය. (1 කොරින්ති 1:10-13; ෆිලිප්පි 4:2, 3; 2 තෙසලෝනික 3:6-14) එහෙත් අද අප භුක්ති විඳින ආත්මික පාරාදීසය ගැන සිතා බලන්න. අප කාලයක් සිටි ආත්මික රෝගාතුර තත්වය සමඟ එය සසඳා බලන්න. අද අපි ආත්මිකව සුවය ලබා සිටින්නෙමු. අප කලින් ආත්මික වශයෙන් සාගින්නකින් පෙළුණත් දැන් අපි ආත්මික ආහාර බහුලව භුක්ති විඳින්නෙමු. ආත්මික අරුතින් වියළි, නිසරු දේශයක දැඩි දුෂ්කරතා අද්දකිමින් සිටි කාලය මෙන් නොව වර්තමානයේ දෙවිගේ සෙනඟ ආත්මික පාරාදීසයක් භුක්ති විඳිමින් ඔහුගේ අනුමැතිය ලබමින් සිටී. එමෙන්ම දිය උල්පතකින් ජලය ගලා එන්නාක් මෙන් ඔහුගේ ආශීර්වාද ඔවුන් වෙත ගලා එයි. (යෙසායා 35:1, 7) අප ආත්මික අන්ධකාර ගුහාවක අත පත ගාමින් සිටි කාලය මෙන් නොව අද අපි නිදහස හා දෙවිගේ ප්‍රසාදය නමැති ආලෝකය දකින්නෙමු. බයිබල් අනාවැකි ගැන අසන්නට නොලැබුණු හා ඒවා තේරුම්ගැනීමට නොහැකි වූ බොහෝදෙනෙකු සිටියේ බිහිරන් මෙනි. එහෙත් අද ඔවුන්ට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් තේරුම්ගැනීමේ හැකියාව ලැබී තිබේ. (යෙසායා 35:5) උදාහරණයක් හැටියට ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනකට දානියෙල්ගේ අනාවැකිය වගන්තියෙන් වගන්තිය අධ්‍යයනය කිරීමේ අවස්ථාව උදා විය. එම අධ්‍යයනයෙන් පසු යෙසායාගේ පොතේ සෑම පරිච්ඡේදයක්ම ගැඹුරින් සලකා බැලීමට ඔවුන්ට හැකි විය. එවන් ප්‍රබෝධජනක ආත්මික ආහාරවලින් පෙනී යන්නේ අප ආත්මික පාරාදීසයක සිටින බව නොවේද?

11 ආත්මික පාරාදීසයට විවිධ පසුබිම්වලින් පැමිණ සිටින අවංක අය දේවවචනයේ සඳහන් දේවල් තේරුම්ගෙන ඒවා අදාළ කරගැනීම නිසා ඔවුන්ගේ ජීවිතවල සිදු වී තිබෙන වෙනස්කම් ගැනත් සිතා බලන්න. කලින් නපුරු සතුන් හා සමාන ගතිලක්ෂණ තිබූ ඔවුන් එම ගුණාංග ඉවත් කර දමන්න පියවර ගෙන තිබේ. සමහරවිට ඔබත් මහත් වෑයමක් දරා නරක ගුණාංග නැති කරගෙන තිබෙනවා විය හැකියි. ඔබේ ආත්මික සහෝදර සහෝදරියන්ද ඔවුන්ගේ ජීවිතවල එවැනිම වෙනස්කම් කරගෙන තිබේ. (කොලොස්සි 3:8-14) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් සමඟ ඇසුරු කරන ඔබ සිටින්නේ සාමකාමී හා ප්‍රසන්න සෙනඟක් අතරයි. ඔවුන් කිසිම වරදක් නොකරන අය නම් නොවේ. එහෙත් ඔවුන් සිංහයන් හා සමාන වෙනත් රෞද්‍ර වනසතුන් වගේ නම් කවදාවත් හැසිරෙන්නේ නැත. (යෙසායා 35:9) මෙම සාමකාමී සන්සුන් ඇසුර භුක්ති විඳින්න ලැබීමෙන් පෙනී යන්නේ කුමක්ද? ආත්මික පාරාදීසයක් කියා නිවැරදිව හැඳින්විය හැකි ප්‍රීතිමත් තත්වයක අප සිටින බවයි. අද අප සිටින ආත්මික පාරාදීසය දෙස බලද්දී පාරාදීස පොළොවේ ජීවිතය මොන වගේ එකක් වේවිද කියා සිතාගත හැකියි. එම පාරාදීස පොළොවේ අපට ජීවත් විය හැක්කේ අප දිගටම දෙවිට පක්ෂපාතව සිටියහොත් පමණි.

12, 13. ආත්මික පාරාදීසයේ දිගටම සිටීමට අප කළ යුත්තේ කුමක්ද?

12 මෙහිදී අප සුළු කොට නොසැලකිය යුතු දෙයක් තිබේ. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසුවේය. ‘ඔබ ශක්තිමත් වන්ටත් හිමි කරගන්නා පිණිස යන දේශයට ගොස් එය හිමි කරගන්ටත් හැකි වන පිණිස මා විසින් අද ඔබට අණ කරන මුළු ආඥාව පවත්වන්න.’ (ද්විතීය කතාව 11:8, 9) ඒ දේශය ගැනම ලෙවී කතාව 20:22, 24 වගන්තිවල මෙසේ සඳහන් වේ. “ඔබේ වාසය පිණිස මා විසින් ඔබ ගෙන යන දේශය ඔබ වමාරා නොදමන පිණිස ඔබ මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද රක්ෂා කරමින් පවත්වන්න; කිරිද මී පැණිද ගලා යන්නාවූ ඒ දේශය හිමි කරගන්නා පිණිස ඒක ඔබට දෙන්නෙමියි ඔබට කීවෙමි.” පොරොන්දු දේශය උරුම කරගැනීමට ඔවුන්ට හැකි වූයේ යෙහෝවා දෙවි සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යෑමෙන් පමණයි. ඊශ්‍රායෙල්වරුන්ව ආක්‍රමණය කර, ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පිටමං කිරීමට දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියේ ඔවුන් ඔහුට අකීකරු වූ නිසාය.

13 ආත්මික පාරාදීසයේ අපේ සිත්ගන්නා දේවල් බොහොමයක් තිබිය හැකියි. ආත්මික පාරාදීසයේ සිටින විට සාමකාමී බවක් සිතට දැනේ. ඇතැම් වනසතුන් හා සමාන ගතිලක්ෂණ තම ජීවිතයෙන් පහ කර දමා සිටින ක්‍රිස්තියානීන් සමඟ අපි සාමයෙන් කල් ගෙවන්නෙමු. අන් අයට කරුණාව පෙන්වීමට හා උපකාර කිරීමට ඔවුහු මහත් වෑයමක් දරති. කෙසේවෙතත් ආත්මික පාරාදීසයේ දිගටම සිටින්න නම් සෙසු ක්‍රිස්තියානීන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යෑමට වඩා වැඩි යමක් කළ යුතුයි. ඒ සඳහා අප යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගේ කැමැත්ත කිරීම අවශ්‍යයි. (මීකා 6:8) අප මේ ආත්මික පාරාදීසයට පැමිණියේ අපේම කැමැත්තෙන්. එහෙත් දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව දිගටම රැකගැනීමට ක්‍රියා කළේ නැත්නම් අප ආත්මික පාරාදීසයෙන් ඉවතට ගසාගෙන යා හැකියි. නැත්නම් අපව එයින් නෙරපා දැමිය හැකියි.

14. ආත්මික පාරාදීසයේ දිගටම සිටීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?

14 ආත්මික පාරාදීසයේ දිගටම සිටීමට අපට උපකාරවත් වන එක් වැදගත් දෙයක් වන්නේ දේවවචනය මගින් නිතරම ශක්තිමත් වීමයි. ගීතාවලිය 1:1-3 දක්වා වගන්තිවල විචිත්‍රවත්ව විස්තර කරන මේ දෙය සැලකිල්ලට ගන්න. “දුෂ්ටයන්ගේ මන්ත්‍රණයෙහි නොහැසිරෙන්නාවූ . . . මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය [සන්තෝෂවත්ය, NW]. ඔහුගේ ප්‍රීතිය යෙහෝවාගේ ව්‍යවස්ථාව කෙරෙහිය; ඔහු රෑ දාවල් ඔහුගේ ව්‍යවස්ථාව මෙනෙහි කරයි. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ නියම කලට පල දෙන්නාවූ නොමැලවෙන කොළ ඇත්තාවූ ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සපල වන්නේය.” දේවවචනයට අමතරව විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය විසින් සපයන බයිබලය මත පදනම් ප්‍රකාශන මගින්ද ආත්මික පාරාදීසයේ සිටින අයට ආත්මික ආහාර සපයනු ලැබේ.—මතෙව් 24:45-47.

ඇත්තටම පාරාදීසය මොන වගේ තැනක්ද?

15. ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට රැගෙන යෑමට මෝසෙස්ට නොහැකි වූයේ මන්ද? එහෙත් ඔහුට දැකගැනීමට හැකි වූයේ කුමක්ද?

15 පාරාදීසය කලින් දකින්න පුළුවන් ආකාරයක් ගැන සලකා බලන්න. ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 40ක් පුරා පාළුකරයේ ඔබ මොබ ඇවිදීමෙන් අනතුරුව, මෝසෙස් ඔවුන්ව මෝවබ් තැනිතලාව වෙතට රැගෙන ගියේය. මෝබව් තැනිතලාව පිහිටා තිබුණේ යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසිනි. කලකට ඉහතදී මෝසෙස් අතින් සිදු වූ වරදක් නිසා ඊශ්‍රායෙල්වරුන්ව යොර්දාන් ගඟ හරහා රැගෙන යෑමට මෝසෙස්ට ඉඩ නොදීමට යෙහෝවා තීරණය කළේය. (ගණන් කතාව 20:7-12; 27:12, 13) මෝසෙස් යෙහෝවාට මෙසේ ආයාචනා කළේය. ‘යොර්දානෙන් එතෙර තිබෙන යහපත් දේශය දකින පිණිස එතෙර යන්ට මට අවසර දෙන්න.’ එනමුත් මෝසෙස්ට ඒ දේශයට ඇතුල් වෙන්න නොහැකි විය. එහෙත් පිස්ගා කන්දේ මුදුනට නැඟ එහි සිට යොර්දාන් ගඟෙන් එතෙර තිබූ දේශය බැලීමෙන් පසු එය ‘යහපත් දේශයක්’ බව මෝසෙස් තේරුම්ගන්න ඇති. ඒ දේශය මොන වගේ දේශයක් කියාද ඔබ සිතන්නේ?—ද්විතීය කතාව 3:25-27.

16, 17. (අ) පොරොන්දු දේශයේ පුරාණයේ තිබූ තත්වය අද පවතින තත්වයට වඩා වෙනස් වන්නේ කෙසේද? (ආ) පොරොන්දු දේශය කාලයක් පාරාදීසයක් බඳු තත්වයක පැවති බව අපට විශ්වාස කළ හැක්කේ මන්ද?

16 පොරොන්දු දේශය ගැන ඔබ දන්නා තොරතුරු බොහොමයක් පදනම් වී තිබෙන්නේ ඒ දේශයේ වත්මන් තත්වය මතද? එසේනම් ඒ දේශය වැලිවලින් පිරි, අධික වියළි දේශගුණයක් සහිත කඳුවලින් යුත් කාන්තාරයක් කියා ඔබ සිතන්න ඉඩ තිබේ. කෙසේවෙතත් මේ දේශය ගැන බයිබලයේ විස්තර කර තිබෙන තත්වයන් අද එහි පවතින තත්වයට වඩා බොහෝ සේ වෙනස් බව විශ්වාස කිරීමට හේතු තිබේ. ජලය හා පස ගැන හදාරන විශේෂඥයෙක් වන ආචාර්ය වෝල්ටර් සී. ලව්ඩර්මිල්ක් එක් සඟරාවක මෙසේ පැහැදිලි කළේය. මේ දේශයේ සම්පත් “අවුරුදු දහසක් පුරා අනිසි ලෙස පරිහරණය කිරීම නිසා හානියට පත් වී තිබේ.” ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “කාලයක් සමෘද්ධිමත්ව තිබූ මේ දේශය ‘කාන්තාරයක්’ බවට පත්වීමට හේතුව මිනිසුන් මිස ස්වභාවධර්මය නොවේ.” ඔහු කළ අධ්‍යයනවලින් පෙනී යන්නේ “කලකට ඉහතදී මේ දේශය නිල්වන් තැනිතලාවලින් ගහන වූ පාරාදීසයක් ලෙස පැවති” බවයි. කලකට ඉහතදී “නිල්වන් තැනිතලාවලින් ගහන වූ පාරාදීසයක්” වූ මේ දේශය හානියට පත් කර තිබෙන්නේ මිනිසුන් බව පැහැදිලියි.” *

17 පොරොන්දු දේශය ගැන බයිබලයෙන් ඔබ කියවා තිබෙන දේවල් ගැඹුරින් කල්පනා කර බලද්දී, ඒ දේශය ඇත්තෙන්ම පාරාදීසයක්ව තිබූ බව නිගමනය කිරීම තර්කානුකූල බව ඔබට වැටහේවි. යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට සහතික ලෙස පැවසූ මෙම වදන් මතකයට නඟාගන්න. “ඔබ හිමි කරගන්ට යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්ත වූ අහසෙහි වැසි වතුර බොන්නාවූ දේශයකි. එය ඔබේ දෙවි වූ යෙහෝවා සලකන [රැකබලා ගන්නාවූ] දේශයකි.”—ද්විතීය කතාව 11:8-12.

18. පොරොන්දු දේශය මොන වගේ තැනක් වනු ඇද්ද කියා සිතින් මවාගැනීමට යෙසායා 35:2හි සඳහන් විස්තරය වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට උපකාරවත් වන්න ඇත්තේ කෙසේද?

18 පොරොන්දු දේශය හරිත වර්ණයෙන් දිදුලන මොන තරම් ඵලදායක දේශයක් වූවාද කියනවා නම් එහි ඇතැම් ස්ථාන ගැන සඳහන් කරන විට මනසට නැඟෙන්නේ පාරාදීසයක් බඳු තත්වයකි. යෙසායා 35වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකියේ අඩංගු දේවලින් ඒ බව පැහැදිලි වේ. මෙම අනාවැකියේ මුල් ඉටුවීම සිදු වූයේ ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ සිට ආපසු සිය මව්බිමට පැමිණීමෙන් පසුවයි. යෙසායා මෙසේ පුරෝකථනය කළේය. “ඒක බොහෝ සේ මල් හටගන්වන්නේය; සන්තෝෂයෙන්ද ගී කීමෙන්ද ප්‍රීතිමත් වන්නේය; ලෙබනොන්ගේ ඉසුරත් කර්මෙල් සහ ෂාරොන්ගේ උතුම්කමත් ඊට දෙනු ලබන්නෝය; ඔවුහු යෙහෝවාගේ මහිමය වන අපේ දෙවිගේ මහිමය දකින්නෝය.” (යෙසායා 35:2) ලෙබනොන්, කර්මෙල් හා ෂාරොන් (ශාරොන්) ගැන සඳහන් කරද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ සිත් තුළ මහත් ප්‍රීතියක් හා අලංකාර දසුනක් ඇති කළා විය හැකියි.

19, 20. (අ) පුරාණයේ තිබූ ෂාරොන්හි පැවති තත්වය විස්තර කරන්න. (ආ) පාරාදීසය පිළිබඳ අපේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් කරගැනීමට අපට හැකි එක් ආකාරයක් කුමක්ද?

19 සමාරිය හා මධ්‍යධරණී මුහුද අතර පිහිටි ෂාරොන් නම් වෙරළබඩ තැනිතලාව ගැන සිතා බලන්න. (දහවන පිටුවේ ඡායාරූපය බලන්න.) අලංකාරය හා සරුසාරකම අතින් එය ප්‍රසිද්ධියට පත් වී තිබිණ. ඇති තරම් ජලය තිබූ නිසා එය තණබිම්වලට යෝග්‍ය තැනක් විය. එමෙන්ම එහි උතුරට වෙන්නට ඕක් ගස්වලින් පිරි වනාන්තරද තිබිණ. (1 ලේකම් 27:29; සලමොන්ගේ ගීතිකාව 2:1; යෙසායා 65:10) මේ අනුව යෙසායා 35:2හි පුරෝකථනය කර තිබුණේ යළිත් වරක් යථා තත්වයට පත් වන දේශයක් ගැනයි. පාරාදීසයක් හා සමානව අලංකාර මල් හටගන්න අතිරමණීය දේශයක් ගැනයි. පාවුල් දර්ශනයෙන් දුටු දෙයට එකඟව සිත්ගන්නාසුලු ආත්මික පාරාදීසයක් ගැනද එම අනාවැකියෙන් කියැවේ. මෙම අනාවැකිය ඇතුළු සෙසු අනාවැකිවලින් අනාගතයේදී මිනිසුන් පොළොව මත භුක්ති විඳින පාරාදීසය ගැන අපේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වේ.

20 අප ආත්මික පාරාදීසයේ වාසය කරන අතරේදී එය කෙරෙහි තිබෙන අපේ අගය තව තවත් වැඩි කරගැනීමට අපට පුළුවනි. එමෙන්ම පොළොව මත පාරාදීසය පිළිබඳ අපේ බලාපොරොත්තුවද තව තවත් ශක්තිමත් කරගැනීමටත් අපට හැකියි. මෙය කරන්නේ කෙසේද? බයිබලයෙන් අප කියවන දේවල් ගැන පුළුල් අවබෝධයක් ලබාගැනීමෙන් එය කළ හැකියි. බයිබලයේ සඳහන් ඇතැම් විස්තරවල හා අනාවැකිවල බොහෝවිට නිශ්චිත ප්‍රදේශ ගැන සඳහන් වේ. මේ ප්‍රදේශ පිහිටා තිබෙන ස්ථාන වඩාත් හොඳින් දැනගැනීමටත් ඒවා හා වෙනත් ස්ථාන අතර තිබෙන සම්බන්ධය කුමක්ද කියා දැනගැනීමටත් ඔබ කැමතිද? මෙය ප්‍රයෝජනවත් ආකාරයකින් කළ හැකි අන්දම ගැන ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත.

[පාදසටහන]

^ 16 ඡේ. “මේ දේශය ගැන බයිබලයේ සඳහන් සිද්ධීන් සිදු වූ කාලයේ පටන් වෘක්ෂලතාදිය විශාල වෙනස්කම්වලට ලක් වී තිබේ” කියා ඩෙනිස් බේලී පවසයි. මීට හේතුව කුමක්ද? “මිනිසාට ඉන්ධන හා ගොඩනැඟිලි ද්‍රව්‍ය සඳහා දැව ලබාගැනීමේ අවශ්‍යතාව ඉස්මතු විය. මේ නිසා . . . ඔහු ගස් කපන්න පටන්ගත් අතර එහි ප්‍රතිඵලයක් හැටියට මේ දේශය දැඩි නියඟයන්ට හසු විය. මෙසේ මිනිසා පරිසරයට හානි කිරීම නිසා දේශගුණය ටිකෙන් ටික වෙනස් විය. අන්තිමේදී ඒ දේශය විනාශ වී යෑමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ එසේ වෙනස් වූ දේශගුණයයි.”

ඔබට මතකද?

• ප්‍රේරිත පාවුල් දර්ශනයකදී දුටු “පාරාදීසය” කුමක්ද?

යෙසායා 35වන පරිච්ඡේදයේ මුල් ඉටුවීම කුමක්ද? එය පාවුල් දර්ශනයෙන් දුටු දෙයට සම්බන්ධ වන්නේ කෙසේද?

• ආත්මික පාරාදීසය කෙරෙහි අපේ අගය වැඩි කරගැනීමටත් පොළොව මත පාරාදීසය පිළිබඳ අපේ බලාපොරොත්තුව තවත් ශක්තිමත් කරගැනීමටත් අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

පොරොන්දු දේශයේ සාරවත් ප්‍රදේශයක් වූ ෂාරොන් මිටියාවත

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[12වන පිටුවේ පින්තූරය]

එය ‘යහපත් දේශයක්’ බව මෝසෙස් තේරුම්ගත්තේය