Skip to content

පටුනට යන්න

යෞවනයෙනි ඔබේ ජීවිතය නමැති නෞකාව තනිවම යාත්‍රා කරන්න එපා!

යෞවනයෙනි ඔබේ ජීවිතය නමැති නෞකාව තනිවම යාත්‍රා කරන්න එපා!

යෞවනයෙනි ඔබේ ජීවිතය නමැති නෞකාව තනිවම යාත්‍රා කරන්න එපා!

නැවක කපිතාන්වරයෙක් මුහුණ දෙන ලොකුම අභියෝගය මොකක් කියලද ඔබ හිතන්නේ? මහ මුහුද හරහා අනතුරක් නොමැතිව ගමන් කිරීමද? නැහැ. ඒක නෙමෙයි. බොහෝමයක් නැව් මුහුදුබත් වන්නේ වෙරළට ආසන්නයේ මිසක මහ මුහුදේ නොවෙයි. ඇත්තම කියනවා නම් නැවක් වරායට සේන්දු කිරීම ගුවන් යානයක් ගොඩ බැස්සවීමකට වඩා අනතුරුදායක කාර්යයක්. එහෙම කියන්නේ ඇයි?

කපිතාන්වරයෙක් ඔහුගේ නැව ආරක්ෂාකාරීව වරායට සේන්දු කිරීමට නම් එම වරායේ තිබිය හැකි අනතුරු වළක්වාගත යුතුයි. අනෙක් නැව් සමඟ නොගැටෙන අයුරින් ඔහු නැව යාත්‍රා කරන අතරතුර දියඹේ තිබෙන ජල ප්‍රවාහ නැතහොත් මහා සැඩ පහර ගැනත් හොඳින් දැන සිටිය යුතුයි. ඒ වගේම ඔහු දිය යට සැඟවී තිබෙන වැලිකණ්ඩි, ගල්පර හෝ සුන් බුන් ඈත තියාම මඟහැරිය යුතුයි. කපිතාන්වරයා පළමු වතාවට නැවක් වරායට සේන්දු කරන කෙනෙකු නම් අවදානම ඊටත් වඩා වැඩි වෙන්න ඉඩ තිබෙනවා.

මෙම ගැටලු ජයගැනීමට නම් බුද්ධිමත් කපිතාන්වරයෙක් කරන්නේ වරාය ගැන හොඳින් දන්න නාවික නියමුවෙකුගේ උපකාරය ලබාගැනීමයි. මේ නියමුවා කපිතාන්වරයා සමඟ සිට ඉතාමත් නිවැරදි මඟ පෙන්වීම සපයනවා. ඔවුන් දෙදෙනාම එකතු වී උපද්‍රව ගැන සැලකිලිමත් වෙමින් පටු සමුද්‍ර සන්ධි හරහා සුපරීක්ෂාකාරීව නැව වරායට සේන්දු කරනවා.

නියමුවෙකුගෙන් ලැබෙන මිල කළ නොහැකි මඟ පෙන්වීම නිදර්ශනය කරන්නේ ක්‍රිස්තියානි යෞවනයන්ට තම ජීවිතයේ අද්දකින්න සිදු වන දුෂ්කර තත්වයන් ජයගැනීම සඳහා තිබෙන උපකාරයටයි. මොකක්ද මේ උපකාරය? යෞවනයන්ට එවන් උපකාරයක් අවශ්‍ය මන්ද?

නැවතත් නැව පිළිබඳ නිදර්ශනය සලකා බලමු. ඔබ නව යොවුන් වියේ පසු වන අයෙකු නම් ඔබත් හරියට නැවක කපිතාන්වරයෙක් වගේයි. ඔබේ ජීවිතය පිළිබඳව වගකිව යුත්තේ ඔබමයි. ඔබේ දෙමාපියන්ගේ කාර්යභාරය නැවේ නියමුවෙකුගේ කාර්යභාරය වගේයි. ඔබේ ජීවිතයේ දුෂ්කර අවස්ථා සමහරක් පසු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔබට ලබා දීමට ඔවුන් උත්සාහ කරයි. ඒත්, නව යොවුන් වියේදී දෙමාපියන්ගේ උපදෙස් පිළිගැනීම ඔබට ටිකක් අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. එවැන්නක් සිදු වීමට හේතුව මොකක්ද?

බොහෝවිට සිත තමයි මෙම ගැටලුවට හේතුව. කරන්නට එපා කියා තිබෙන දේවලට ආශා කිරීමට හෝ සීමා තහංචිවලට විරුද්ධ වීමට ඔබේ සිත ඔබව පොලඹවන්න පුළුවන්. ‘බාල කාලයේ පටන් මිනිසාගේ හෘදයේ [හෙවත් සිතේ] කල්පනාව නපුරුව තිබේ’ කියා බයිබලයෙත් කියනවා. (උත්පත්ති 8:21) ඔබ ඉදිරියෙහි අභියෝගාත්මක තත්වයක් තිබෙන බව යෙහෝවා දෙවි කල් තියා ඔබට දැනුම් දී තිබෙනවා. “සිත සැම දේටම වඩා වංචා සහිතය; ඉතා රෝගාතුරය [හෙවත් කැරලිකාරය];” කියා ඔහු අනතුරු අඟවනවා. (යෙරෙමියා 17:9) කාටත් හොරා වැරදි ආශාවන් දළුලන්න ඉඩ සලසනවාට අමතරව සිතකට පුළුවන් යෞවනයෙකුව නොමඟ යවන්න. තම දෙමාපියන්ට කොතරම් අද්දැකීම් තිබුණත් තමන් දෙමාපියන්ට වඩා දේවල් හොඳින් දන්නවාය කියා සිතීමට තරම් මුළා කරවන්න පුළුවන්. ඔබ අභියෝග නමැති රුදුරු දියඹේ ඔබේ තාරුණ්‍ය නමැති නෞකාව යාත්‍රා කරන විට දෙමාපියන්ගේ උපකාරය පැතීමට සාධාරණ හේතු කාරණා තිබෙනවා.

ඇයි ඔබේ දෙමාපියන්ට කීකරු විය යුත්තේ?

පවුල් විධිවිධානයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි කියන්නේ ඔබ දෙමාපියන්ගේ මඟ පෙන්වීමට ඇහුම්කන් දිය යුතු බවයි. (එෆීස 3:15) ඔබව සුරැකීමේ වගකීම යෙහෝවා දෙවි දෙමාපියන්ට පවරා තිබෙන නිසා ඔහු මෙම උපදෙස් ඔබට ලබා දෙනවා. “දරුවෙනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන් තුළ කීකරු වෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුයි.” (එපීස 6:1-3, පැරණි අනුවාදය; ගීතාවලිය 78:5) ඔබ දැන් නව යොවුන් වියේ පසු වුණත් තවමත් ඔබට මඟ පෙන්වන්න ඔබේ දෙමාපියන්ට වගකීමක් තිබෙනවා. ඔවුන්ට කීකරු වීම ඔබේ යුතුකමයි. දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතුයි කියා ප්‍රේරිත පාවුල් ලියූ විට ඔහු භාවිත කළ ග්‍රීක් වචනය ඕනෑම වයස් මට්ටමක සිටින දරුවෙකුට අදාළයි. මතෙව් 23:37හි සඳහන් දේ උදාහරණයක් හැටියට සලකා බලන්න. යෙරුසලමේ සිටි වැසියන් බොහෝදෙනෙක් වැඩිහිටියන් වුණත් “දරුවන්” කියා එහිදී යේසුස් ඔවුන්ව ඇමතුවා.

අතීතයේ සිටි විශ්වාසවන්ත මිනිසුන් හුඟදෙනෙක් ඔවුන් වැඩිහිටියන් වූ පසුව පවා තම දෙමාපියන්ට කීකරු වුණා. යාකොබ් වැඩිහිටි පුරුෂයෙක් වුවත් යෙහෝවාට නමස්කාර නොකරන ස්ත්‍රියක් විවාහ කරගැනීමෙන් වළකින්න කියා තම පියා දුන් නියෝගයට කීකරු විය යුතුයි කියා ඔහු තේරුම්ගත්තා. (උත්පත්ති 28:1, 2) යාකොබ්, තම සහෝදරයා මිථ්‍යාදෘෂ්ටික කානානි ස්ත්‍රීන්ව විවාහ කරගැනීමට ගත් තීරණය තම දෙමාපියන්ට විශාල වේදනාවක් ගෙන දුන් ආකාරය දකින්න ඇති බවට සැකයක් නැහැ.—උත්පත්ති 27:46.

ඔබට මඟ පෙන්වීම දෙවි දෙමාපියන්ට දී තිබෙන වගකීමක් වගේම ඔබේ උපදේශකයන් ලෙස කටයුතු කිරීමට වැඩිම සුදුසුකම් තියෙන්නෙත් ඔවුන්ටයි. එයට මූලික හේතුව ඔවුන් ඔබව හොඳින් දන්නවා වගේම අවුරුදු ගණනාවක් පුරා ඔවුන් අපරිමිත ආදරය, සෙනෙහස ඔබට පෙන්වා තිබීමයි. එය සත්‍යයක් නෙමෙයිද? නැවක නියමුවෙකු මෙන් ඔවුන් දැනමුතුකම් දෙන්නේ අද්දැකීමෙන්. ඔවුන්ද ‘යොවුන් වියට ආවේණික වූ ආශාවල්’ අද්දැක තිබෙනවා. ඒ වගේම සැබෑ ක්‍රිස්තියානීන් හැටියට බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ තිබෙන වටිනාකමත් පෞද්ගලිකවම ඔවුන් අද්දැක තිබෙනවා.—2 තිමෝති 2:22.

ඔබ සමීපයේ සිටින දෙමාපියන්ගෙන් ලැබෙන එම උපකාරය නිසා ඔබට ඉතාමත් දුෂ්කර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ලැබෙයි. උදාහරණයකට විරුද්ධ ලිංගයේ අයව ඇසුරු කිරීම පිළිබඳ කාරණය සලකා බලන්න. ඉතාමත් සංවේදි මෙම කාරණයේදී ක්‍රිස්තියානි දෙමාපියන්ට පුළුවන් ඔබට මඟ පෙන්වන්න. ඒ කොහොමද?

විරුද්ධ ලිංගයේ අය කෙරෙහි ඇති ආකර්ෂණය

නියමුවන් නැවේ කපිතාන්වරයාට උපදෙස් දෙන්නේ දිය යට තිබෙන වැලිකණ්ඩිවලින් හැකි තාක් දුරට ඈත්ව ගමන් කිරීමටයි. වැලිකණ්ඩිවල තද ගතියක් නැති වුණත් ඒවා පිහිටි ස්ථාන නිරතුරුවම වෙනස් වන නිසා ඒවා ඉතාමත්ම අනතුරුදායකයි. එයාකාරයට ඔබ මානසික වශයෙන් යම් පීඩාවකට ලක් විය හැකි තත්වයන්ගෙන් ඈත් කර තැබීමට ඔබේ දෙමාපියන්ටත් වුවමනා බව නිසැකයි. උදාහරණයකට ඔබේ දෙමාපියන් දන්නවා විරුද්ධ ලිංගයේ අය ගැන ඇති වන හැඟීම් වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් ගැඹුරු බව. ඔබ තුළ හැඟීම් ඇවිස්සුණු පසු එය කොහෙන් කෙළවර වෙයිද කියා කිව නොහැකි බව ඔවුන් දන්නවා.

අනතුරක් තිබෙන තැනට ළංවීමෙන් සිදු විය හැකි අවදානම දීනාගේ කතා පුවතෙන් පැහැදිලි වෙනවා. සමහරවිට ඇයට යම් දේවල් ගැන දැනගැනීමට තිබූ කුතුහලය නිසාත්, විනෝද වීමට තිබූ ආශාව නිසාත්, කිසිම ස්ථිර සදාචාර ප්‍රතිපත්ති නොතිබූ කානානි දේශයේ ගැහැනු ළමයි සමඟ මිතුරු වීමේ අදහසක් ඈ තුළ පහළ වෙන්න ඇති. අනතුරක් වෙන එකක් නැහැයි කියා සිතූ අහිංසක විනෝදය අන්තිමේදී මහත් ව්‍යසනයකට මඟ පෑදුවා. නගරයේ “සියල්ලන්ට වඩා ගරුකටයුතු” තරුණයෙකු අතින් ඇයව දූෂණයට ලක් වුණා.—උත්පත්ති 34:1, 2, 19.

ලිංගිකව වියරු වැටුණු මෙම කාලයේ එවන් අනතුරු සිදුවීමට තිබෙන ඉඩ කඩ තවත් වැඩියි. (හොෂෙයා 5:4) සමහරවිට විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ විනෝද වීම තමයි ලබන්න පුළුවන් ලොකුම සතුට කියා පෙන්වීමට යෞවනයන් හුඟදෙනෙක් උත්සාහ දරනවා. ලස්සනයි කියා ඔබ සිතන ගැහැනු ළමයෙක් හෝ කඩවසම් පිරිමි ළමයෙකු සමඟ තනිපංගලමේ ටිකක් කාලය ගත කිරීමේ සිතුවිල්ල ඔබේ හදවතට යම් සතුටක් ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ ගැන සැලකිලිමත් වන දෙමාපියන්, දෙවිගේ ප්‍රතිපත්තිවලට ගරු සැලකිල්ලක් නැති තරුණ තරුණියන්ව ඇසුරු කිරීමට ඉඩ නොදෙන්න පුළුවන්.

තරුණ අයට තිබෙන කුතුහලය නිසා යම් දේවල්වලින් සිදු වන අනතුරු නොදකින තත්වයට පත් වෙන්න පුළුවන් කියා ලෝරා නමැති තරුණිය පවසනවා. “මගේ පංතියේ ඉන්න ගැහැනු ළමයි කඩවසම් පිරිමි ළමයි එක්ක රෑ එළිවෙනකම් නටපු හැටි මට කියනවා. ජීවිතේට අමතක කරන්න බැරි අපූරු අද්දැකීමක් විදිහට තමයි ඒවා කියන්නේ. මට තේරෙනවා එයාලා අතින් පයින් දමලා තමයි කියන්නේ කියලා. ඒත් මට හිතෙනවා එයාලත් එක්ක ගිහිල්ලාම බලන්න. මට විනෝදයක් කියලා එකක් නැහැනේ කියලත් එක වේලාවකට හිතෙනවා. මගේ දෙමාපියන් මට ඒ වගේ තැන්වලට යන්න දෙන්නේ නැති එක හරි කියලා මම දන්නවා. ඒ වුණත්, ඒ තැන්වලට යන්න මට හිතෙනවා.”

නැවකට බ්‍රේක් නැහැ. ඒක විගස නවත්වන්න බැහැ. විරුද්ධ ලිංගයේ අය ගැන ඇති වන හැඟීම්ද අන්න ඒ වගේයි කියලා දෙමාපියන් දන්නවා. හැඟීම් පාලනය කර නොගත් තරුණයෙකුව හිතෝපදේශ පොතේ සමාන කර තිබෙන්නේ මරන්න ගෙන යන ගොනෙකුටයි. (හිතෝපදේශ 7:21-23) ඔබේ ආත්මික ජීවිතය විනාශ කරගෙන සිත් වේදනා ඇති කරගන්න ඔබට අවශ්‍යද? ඔබට අවශ්‍ය නැති බව ස්ථිරයි. මෙම කාරණයේදී ඔබේ සිත ඔබව වැරදි මඟකට යොමු කරන බව ඔබේ දෙමාපියන්ට වැටහෙයි. එවිට ඔවුන්ට පුළුවන් ඊට අවශ්‍ය උපදෙස් ඔබට ලබාදෙන්න. ඔවුන්ට ඇහුම්කන් දී අනවශ්‍ය කරදර මඟහැරීමට තරම් ඔබට බුද්ධියක් තිබෙනවාද?—හිතෝපදේශ 1:8; 27:12.

ඔබේ සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන පීඩනය මඟහැරීමටත් ඔබේ දෙමාපියන්ගේ උපකාරය ඔබට අවශ්‍යයි. මේ කාරණයේදී ඔවුන් කොහොමද උපකාරය පිරිනමන්නේ?

ඔබේ මිත්‍රයන්ගෙන් එල්ල වන බලපෑම

ඉතා සැර සැඩ පහර නිසා නැවක් වෙනත් දිශාවකට ගසාගෙන යා හැකියි. මෙම බලයෙන් වැළකෙන්න නම් වෙනත් දිශාවකට යාත්‍රා කරන්න සිදු වෙනවා. ඒ ආකාරයටම අනෙක් යෞවනයන්ගෙන් එල්ලවන බලපෑම ඔබ මඟහැරියේ නැත්නම් ඔබේ ආත්මික ක්‍රියාකාරකම්වලින් ඔබව වෙනත් දිශාවකට තල්ලු වී යා හැකියි.

දීනාගේ අද්දැකීමෙන් යමක් පැහැදිලි වෙනවා. ඒ තමයි “අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය” කියන එක. (හිතෝපදේශ 13:20) බයිබලයේ “අඥානයා” කියන වචනය යොමු දක්වන්නේ යෙහෝවාව දන්නේ නැති හෝ ඔහුගේ මාර්ගයේ ගමන් කිරීමට අකමැති කෙනෙකුට කියන එක අමතක කරන්න එපා.

කොහොමනමුත් ඔබේ පංතියේ මිතුරන් දරන මත හෝ පුරුදු ප්‍රතික්ෂේප කිරීම නම් ලෙහෙසි දෙයක් නොවෙන්න පුළුවන්. එය මාරියා හොසේ කියන යෞවනිය මේ විදිහට පැහැදිලි කරනවා. “මගේ වයසේ ඉන්න අනික් ළමයි මාව එයාලගේ මිතුරියක් හැටියට පිළිගන්නවාට මම කැමති වුණා. මම වෙනස් කෙනෙක් කියලා එයාලා හිතනවාට මම අකමැති වූ නිසා ඒගොල්ලෝ කරන එකම කරන්න මම උත්සාහ කළා.” ඔබ තේරුම්ගන්නත් කලින් සමහරවිට ඔබ ඔබේ මිතුරන්ගේ බලපෑමට හසුවෙලා ඇති. ඔබ තෝරාගන්න සංගීතය, ඔබ අඳින්න කැමති දේවල් හෝ ඔබේ කතා විලාසය මිතුරන්ගේ ක්‍රමයට හැඩ ගැහිලා ඇති. සමහරවිට ඔබේ වයසේ මිතුරන් සමඟ සිටින විට ඔබට පහසුවක් දැනෙනවා ඇති. එය සාමාන්‍ය දෙයක්. ඒත් එමගින් ඔබ ඔවුන්ගේ දැඩි බලපෑමට විගස හසුවීමට ඉඩ කඩ තිබෙනවා. එය ඔබට අනතුරක් වීමට මඟ පෑදිය හැකියි.—හිතෝපදේශ 1:10-16.

අවුරුදු කිහිපයකට පෙර තමන් මුහුණ දුන් දුෂ්කරතා ගැන කැරලයින් මෙහෙම කියනවා. “මට වයස අවුරුදු 13 ඉඳන්ම මම ආශ්‍රය කළ ගැහැනු ළමයි හුඟදෙනෙකුට පෙම්වතුන් හිටියා. සෑහෙන කාලයකට එයාලාගේ හැසිරීම අනුකරණය කිරීමේ පීඩනයට මම හසු වෙලා හිටියා. ඒත් මගේ අම්මා මේ දුෂ්කර කාලයේදී මට මඟ පෙන්වීම් දුන්නා. ඇය පැය ගණන් මම කියන දේවල් අහගෙන හිටියා. මට කාරණා වටහලා දුන්නා. මම මේරූ වයසකට එනතුරු එවැනි සබඳතාවක් ඇති කර නොගත යුත්තේ ඇයි කියලා තේරුම්ගැනීමට ඇය මට උදව් කළා.”

කැරලයින්ගේ මව මෙන් ඔබේ දෙමාපියන්ද මිතුරන්ගෙන් එල්ල වන පීඩනය ගැන ඔබට අනතුරු ඇඟවීමට හෝ සමහර ක්‍රියාකාරකම් හෝ මිතුරන් සම්බන්ධයෙන් යම් තහංචි දැමීමට, තමන් බැඳී සිටිනවා කියා සිතිය හැකියි. මෙවන් කාරණාවලදී නේදන් නමැති යෞවනයා තම දෙමාපියන් සමඟ තිබූ ගැටුම් මතකයට නඟමින් මෙසේ කියනවා. “මගේ යාළුවෝ නිතරම මට එන්න කිව්වා එයාලත් එක්ක ගමන් බිමන් යන්න. නමුත් යාළුවෝ කට්ටියක් එක්ක මම එහෙ මෙහෙ යනවාට මගේ දෙමාපියන් කැමති වුණේ නැහැ. ඒ වගේම වැඩිහිටියෙකුගේ සහභාගිත්වයක් නැති සාදවලට යන්න ඉඩ දුන්නෙත් නැහැ. ඒ කාලයේ අනිත් දෙමාපියන් මගේ දෙමාපියන්ට වඩා ළමයින්ට වැඩි නිදහසක් දෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න මට බැරිව ගියා.”

ඒත් පසු කාලයකදී නේදන් ඒ ඇයි කියා තේරුම්ගත්තා. “‘ළමයෙකුගේ සිතේ අඥානකම බැඳී තිබෙනවා’ කියන කාරණය මා තුළත් දකින්න තිබුණා. මේ අඥානකම ඉක්මනට මතු වෙනවා පිරිමි ළමයි කට්ටියක් එකට එකතු වෙලා ඉන්නකොට. එක් කෙනෙක් නරක දෙයක් කරන්න පටන්ගත්තොත් අනෙක් කෙනා ඊට වඩා නරක දෙයක් කරනවා. තුන්වෙනි එක් කෙනා කරන්නේ ඒ දෙකටම වඩා දරුණු දෙයක්. අන්තිමේදී හැමෝම ඒ දේවල් කරන්න පෙලඹෙනවා. යෙහෝවාට සේවය කරන තරුණ අය පවා මේ උගුලට වැටෙන්න පුළුවන්.”—හිතෝපදේශ 22:15.

නේදන් සහ මාරියා හොසේ යන දෙදෙනාගේම දෙමාපියන් ඔවුන්ට ඉඩ දුන්නේ නැහැ ඔවුන්ගේ මිතුරන් ඔවුන්ට යොජනා කළ ක්‍රියාවන්වල නිරත වෙන්නට. ඒ අවස්ථාවේ සිතත් සමඟ ලොකු සටනක් කරන්න ඔවුන් දෙදෙනාට සිදු වුණා. ඒත් ඔවුන් තම දෙමාපියන්ට කීකරු වුණා. පසුව ඔවුන් එසේ කටයුතු කිරීම ගැන සතුටු වුණා. “ඔබේ කන් නමා ඥානවන්තයන්ගේ වචන අසා ඔබේ සිත මාගේ දැනගැන්මට යොමු කරන්න” කියලා හිතෝපදේශයේ කියනවා.—හිතෝපදේශ 22:17.

ගෞරවය ලබන්න සුදුසුයි

නැවක් එක් පැත්තකට ඇල වුණොත් එය හසුරුවන්න අමාරුයි. නැව හුඟාක් ඇල වුණොත් එය නිකම්ම පෙරළෙනවා. ඒ වගේ අපි හැමෝම අපේ මේ අසම්පූර්ණකම නිසා ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන්න, එපා කියලා තියෙන දේම කරන්න තමයි වැඩි නැඹුරුවාවක් දක්වන්නේ. මෙවැනි නැඹුරුවාවන් තිබුණත් යෞවනයන් තම දෙමාපියන්ගේ මඟ පෙන්වීම්වලට සැලකිල්ලක් පෙන්වා ඒවා පිළිගන්නවා නම් ජීවිතය සාර්ථක කරගත හැකියි.

උදාහරණයක් පෙන්වනවා නම් විනාශයට යන පළල් පාරත් ගැලවීමට මඟ පාදන පටු පාරත් අතරින් යා හැකි තවත් පාරක් තිබෙනවාය යන සිතුවිල්ල ඔබේ සිතින් අහක් කරගැනීම සඳහා උදව් කිරීමට ඔබේ දෙමාපියන්ට පුළුවන්. (මතෙව් 7:13, 14) දෙවිගේ නීති කඩ කරන්නේ නැතුව යාන්තමින් වැරදි දේවල් කිරීමෙහි වරදක් නැහැ කියා සිතීම සුදුසු දෙයක් නොවේ. වෙනත් විදිහකින් කියනවා නම් ඔබට පුළුවන් යමක් නොකා “රස බලන්න.” එම අදහස තුළ නම් කිසිදු සත්‍යයක් නැහැ. එවැනි හැසිරීමක නියැලෙන අය ‘දෙසිත් ඇති අයයි.’ ඔවුන් යම් දුරකට යෙහෝවාට සේවය කළත් ලෝකයටත් ලෝකයේ දේවලටත් ප්‍රේම කරනවා. එවැනි අය ඉතාමත් පහසුවෙන් ආත්මිකව වැටෙන්න ඉඩ තිබෙනවා. (1 රාජාවලිය 18:21; 1 යොහන් 2:15) ඇයි එහෙම වෙන්නේ? අපේ පව්කාර නැඹුරුවාව නිසයි.

අපේ අසම්පූර්ණකම නිසා ඇති වන ආශාවන්ට අප ඉඩ දුන්නොත් ටිකෙන් ටික එම ආශාවන් උත්සන්න වෙනවා. අපේ ‘වංචා සහිත සිත’ වැරදි දේවල් ටිකක් රස බලා සෑහීමට පත් වෙන්නේ නැහැ. එය තව තවත් ඉල්ලනවා. (යෙරෙමියා 17:9) අප ආත්මිකව ටිකෙන් ටික ගසාගෙන යන්න පටන්ගත්තාම ලෝකය වැඩි වැඩියෙන් බලපෑම් කරයි. (හෙබ්‍රෙව් 2:1) ඔබ ආත්මිකව වැටෙනවා කියා ඔබට සමහරවිට තේරෙන්නේ නැහැ. නමුත් ඔබේ දෙමාපියන්ට එය තේරෙනවා. ඇත්ත, ඔබේ දෙමාපියන්ට ඔබ වගේ ඉක්මනින්ම පරිගණක පාඨමාලාවක් ඉගෙනගැනීමේ හැකියාවක් නැතුව ඇති. හැබැයි, ඔබට වඩා ඔබේ දෙමාපියන් දන්නවා කැරලිකාර සිත කොයි වගේද කියලා. ඉතින්, ඔවුන්ට අවශ්‍ය, ජීවනයට යන ‘මාර්ගයේ ඔබේ සිත’ යොමු කිරීමට ඔබට උපකාර කරන්නයි.—හිතෝපදේශ 23:19.

ඔබේ දෙමාපියන් සංගීතය, විනෝදාංශ සහ පෙනුම වැනි කාරණා සම්බන්ධයෙන් ඔබට යම් මඟ පෙන්වීම් ඔවුන් ලබා දෙන විට ඔවුන් සීයට සීයක් කාරණා නිවැරදිව විනිශ්චය කරයි කියා බලාපොරොත්තු වෙන්න එපා. මෙය යම් අවස්ථාවලදී ඔවුන්ට අසීරු දෙයක් වෙන්න පුළුවන්. ඔබේ දෙමාපියන්ට සලමොන්ට වගේ ප්‍රඥාවක් හෝ යෝබ්ට තිබුණාවූ ඉවසීම හෝ නැතුව ඇති. හරියට නැවක නියමුවෙක් වගේ ඔවුන් සමහරවිට ඕනෑවටත් වැඩිය ඔබව ආරක්ෂා කරන්න පුළුවන්. ඒ කොහොමනමුත් ‘ඔබේ පියාණන්ගේ ගුරුකම අසා ඔබේ මෑණියන්ගේ ව්‍යවස්ථාව අත්නාරිනවා’ නම් ඔවුන්ගේ මඟ පෙන්වීම මිල කරන්න බැරි දෙයක් බව ඔබ තේරුම්ගනීවි.—හිතෝපදේශ 1:8, 9.

වෙනත් යෞවනයන් තමන්ගේ දෙමාපියන් ගැන ගරුසරුවක් නැතිව කතා කරන්න පුළුවන්. ඒත්, ඔබේ දෙමාපියන් ශුද්ධ ලියවිලි අනුගමනය කිරීමට වෑයම් කරනවා නම් ඔවුන් හරියට නැවක නියමුවෙක් වගේ ඕනෑම කාලගුණ තත්වයකදී, ඕනෑම වේලාවකදී සහ සියලු ආකාර සතුරු උපද්‍රවවලදී පවා අවශ්‍ය උපකාරය දීමට ඔබ ළඟ සිටිනවා. නැවක කපිතාන්වරයෙකුට අද්දැකීම් ලත් නියමුවෙකු උපදෙස් දෙන්නාක් මෙන් ඔබට ප්‍රඥාවන්ත ලෙස කටයුතු කිරීමට ඔබේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඔබ එම මඟ පෙන්වීම් පිළිගන්නවා නම් ලැබෙන ප්‍රයෝජන අපමණයි.

“මක්නිසාද ප්‍රඥාව ඔබේ සිතට ඇතුල් වන්නේය. දැනගැන්මද ඔබේ ආත්මයට ප්‍රසන්න වන්නේය. නපුරු මාර්ගයෙන්ද වංක වූ දේ කියන මනුෂ්‍යයන්ගෙන්ද ඔබ ගලවන පිණිස තේරුම්ගැනීම ඔබ රැකවල් කරන්නේය. පරීක්ෂා කර බැලීම ඔබ ආරක්ෂා කරන්නේය. ඔවුහු අඳුරුකමේ මාර්ගවල ගමන් කරන පිණිස අවංකකමේ මාවත් අත්හරිති. . . . මක්නිසාද ඇද නැති අය දේශයේ වසන්නෝය. ගුණයෙන් සම්පූර්ණ අයද එහි නැවතී සිටින්නෝය.”—හිතෝපදේශ 2:10-13, 21.

[22වන පිටුවේ පින්තූරය]

වෙනත් යෞවනයන්ගෙන් එල්ල වන බලපෑම නිසා, ඔබව ආත්මික ක්‍රියාකාරකම්වලින් වෙනත් දිශාවකට තල්ලු වී යා හැකියි

[23වන පිටුවේ පින්තූරය]

දීනාගේ අද්දැකීම අමතක කරන්න එපා

[24වන පිටුවේ පින්තූරය]

නැවක කපිතාන්වරයෙක් පළපුරුදු නියමුවෙකුගෙන් උපදෙස් ලබාගන්නවා හා සමානව යෞවන අය ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මඟ පෙන්වීම පැතිය යුතුයි

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo: www.comstock.com