Skip to content

පටුනට යන්න

“සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද මොහුමය” යනුවෙන් පවසන්නේ කා ගැනද?

“සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද මොහුමය” යනුවෙන් පවසන්නේ කා ගැනද?

“සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද මොහුමය” යනුවෙන් පවසන්නේ කා ගැනද?

අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පියා වන යෙහෝවා එකම සැබෑ දෙවිය. ඔහු තමාට ප්‍රේම කරන සියල්ලන්ටම සදාකාල ජීවනය දානය කරන්නාවූ මැවුම්කරුය. බයිබලය කියවන හා එය විශ්වාස කරන බොහෝදෙනෙකු ඉහත සඳහන් ප්‍රශ්නයට පිළිතුරු දෙනු ඇත්තේ එසේය. යේසුස්ම ඊට එකඟව මෙසේ පැවසීය. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ වූ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.”—යොහන් 17:3, පැරණි අනුවාදය.

නමුත් පල්ලි යන බොහෝදෙනෙකු මෙම ප්‍රකාශය තේරුම්ගන්නේ වෙනත් ආකාරයකිනි. මෙම ප්‍රකාශයෙන් විස්තර කෙරෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව කියා ඔවුහු විශ්වාස කරති. මෙම ලිපියේ මාතෘකාවේ සඳහන් වචන පෙළ, 1 යොහන් 5:20න් උපුටා දක්වන ලද්දකි. වර්ෂ 1938දී ප්‍රකාශයට පත් වූ පැරණි අනුවාදය නම් බයිබල් පරිවර්තනයේ එම පදය සඳහන් වන්නේ මෙලෙසයි. “සැබෑ වූ තැනැත්තා තුළ, එනම් ඔහුගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් තුළ අපි සිටිමු. සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද මොහුමය.”

මෙම පරිවර්තනයේ “සැබෑ වූ තැනැත්තා” යේසුස් ක්‍රිස්තුස් බව සඳහන් කර ඇත. එමනිසා, “සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද” යේසුස් ක්‍රිස්තුස් බව ත්‍රිත්වය විශ්වාස කරන අය තරයේ කියා සිටිති. එහෙත් මෙම අදහස ශුද්ධ ලියවිල්ලේ අනෙකුත් පද සමඟ නොගැළපේ. එසේනම්, එම පරිවර්තනයට එවැනි අදහසක් ඇතුළත් කර තිබෙන්නේ මන්ද? මෙම පදය මුලින්ම ලියැවුණු ග්‍රීක් භාෂාවේ ව්‍යාකරණ වැරදියට තේරුම්ගෙන පරිවර්තනය කිරීම හේතුවෙනි. මුල් ග්‍රීක් පිටපතේ මුල්ම වාක්‍යයේ අවසානයට සඳහන් වන තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්ය. ඒ නිසා, ඊළඟ පදයේ “මොහුමය” කියා සඳහන් වන්නේ යේසුස් ගැනයි කියා ත්‍රිත්වවාදීහු නිගමනය කරති. නමුත් ත්‍රිත්වයට රුකුල් දෙන එම අදහස සුප්‍රසිද්ධ විශාරදයන් බොහෝදෙනෙක් පිළි නොගනිති. කේම්බ්‍රිජ් සරසවියේ විශාරදයෙක් වන බී. එෆ්. වෙස්කොට් පැහැදිලි කළ පරිදි, “සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද” යේසුස් කියා නිගමනය කරනවා වෙනුවට එය යේසුස්ගේ පියා කියා නිගමනය කිරීම වඩාත් තර්කානුකූලයි. ප්‍රේරිත යොහන්ගේ මනසේ තිබුණේ එම අදහස බව පැහැදිලියි. දේවධර්මය පිළිබඳ ප්‍රවීණයෙක් වන එරික් හෞප්ට් මෙසේ ලීවේය. ‘“මොහුමය” කියා සඳහන් වන්නේ යේසුස් ගැනද දෙවි ගැනද කියා තීරණය කිරීමේදී, 21වෙනි පදයේ රූපවලින් දුරුව සිටීම පිළිබඳව දී තිබෙන අනතුරු ඇඟවීම ප්‍රයෝජනවත් වේ. එම අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිද්දී, කලින් වගන්තිය එකම සැබෑ දෙවි පිළිබඳව කරන ස්ථිර ප්‍රකාශයක් වෙනවා මිසක ක්‍රිස්තුස් දෙවිය කියා ඉන් අවධාරණය නොකරන බව පැහැදිලියි.’

රෝමයේ එක්තරා බයිබල් ආයතනයක් විසින් ග්‍රීක ව්‍යාකරණ පිළිබඳව ප්‍රකාශයට පත් කළ කෘතියක මෙසේ සඳහන් වේ. “(1 යොහන් 5:21වන ඡේදය) මගින් 1 යොහන් 5:18 සිට 20 දක්වා වූ ඡේදවල මූලික අදහස කාවද්දවයි. ඒ අනුව, ‘මොහුමය’ යන්නෙන් යොමු දැක්වෙන්නේ, මිථ්‍යාදෘෂ්ටික ආගම්වල දෙවිවරුන්ගෙන් වෙන් කර හඳුන්වා දී ඇති එකම සැබෑ වූ දෙවිට බව කිසිම සැකයක් නැත.”

සාමාන්‍යයෙන් ග්‍රීක් භාෂාවේ, “මොහු” හෝ “මොවුහු” වැනි වචන භාවිත කරද්දී එය හැමවිටම යොමු දක්වන්නේ කලින් වාක්‍යයේ හෝ වාක්‍ය ඛණ්ඩයේ අවසානයට සඳහන් වූ තැනැත්තාට නොවේ.

මීට එක් උදාහරණයක් ක්‍රියා 4:10, 11හි [පැ.අ.] සොයාගත හැක. ලූක් එහි මෙසේ සඳහන් කළේය. “ඔබ විසින් [වධ කණුවෙහි] ඇණගසන ලද්දාවූද දෙවි විසින් මළවුන්ගෙන් නැඟුටුවන ලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා ඔබ ඉදිරියෙහි සුවපත්ව සිටීයයි ඔබ සියල්ලෝද සියලුම ඊශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා. [මොහු] වනාහි ගෙවල් සාදන්නන් වන ඔබ විසින් සුළු කරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය.” එකොළොස්වන ඡේදයේ “මොහු” කියා සඳහන් වන්නේ නාසරිය යේසුස් ක්‍රිස්තුස් ගැන මිසක සුව කරන ලද මනුෂ්‍යයා ගැන නොවෙයි කියා පැහැදිලියි. ක්‍රිස්තියානි සභාව පිහිටුවන ලද “ප්‍රධාන ගල” වන්නේ ඔහුය.—එෆීස 2:20; 1 පේතෘස් 2:4-8.

ඉහත සඳහන් කරුණු සලකා බලද්දී, 1 යොහන් 5:20හි නිවැරදි පරිවර්තනය වන්නේ මෙයයි. “සැබෑ වූ තැනැත්තාගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි ඔහු සමඟ එක්සත්වද සිටිමු. සැබෑ වූ දෙවිද සදාකාල ජීවනයද වන්නේ මොහුය.” එම පදය උපුටා දක්වන ලද්දේ නව ලොව පරිවර්තනයෙනි.

“සැබෑ වූ තැනැත්තා”

ප්‍රේරිත යොහන් ලියූ පරිදි, “සැබෑ වූ තැනැත්තා” වන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ පියා වන යෙහෝවා දෙවිය. එකම සැබෑ දෙවි මෙන්ම මැවුම්කරු වන්නේ ඔහුය. ප්‍රේරිත පාවුල් එය මෙසේ සනාථ කරයි. “අපට ඇත්තේ එක දෙවි කෙනෙක් වන පියාය. සියල්ල පැමිණ තිබෙන්නේ ඔහුගෙන්ය.” (1 කොරින්ති 8:6, පැ.අ.; යෙසායා 42:8) සත්‍යයේ උල්පත වන්නේ යෙහෝවාය. පළමුවන යොහන් 5:20හි සඳහන් වන “සැබෑ වූ තැනැත්තා” යෙහෝවා කියා පැවසීමට එය තවත් හේතුවකි. ගීතිකාකරු විසින් යෙහෝවාව “සැබෑකමේ දෙවි” ලෙස විස්තර කර තිබෙන්නේ ඔහු කිසිවිටෙක බොරු නොකියන නිසාත් ඔහු සියල්ලේදීම විශ්වාසවන්තව සිටින නිසාත්ය. (ගීතාවලිය 31:5, පැ.අ.; නික්මයාම 34:6; තීතස් 1:2) පුත්‍රයා ස්වර්ගයේ සිටින තම පියා ගැන මෙසේ සඳහන් කළේය. “ඔබගේ වචනය සත්‍යතාවය.” තමාගේ ඉගැන්වීම ගැන ඔහු මෙසේද පැවසීය. “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනැත්තාගේය.”—යොහන් 7:16; 17:18; පැ.අ.

යෙහෝවාව “සදාකාල ජීවනය” ලෙසද විස්තර කළ හැක. මන්ද ජීවනයේ උල්පත වන්නේ ඔහුය. ඔහු තම මහත් කරුණාවෙන් පෙලඹී ක්‍රිස්තුස් මාර්ගයෙන් එය තෑග්ගක් ලෙස දානය කරන්නේය. (ගීතාවලිය 36:9; රෝම 6:23) දෙවි ‘ඔහුව සොයන අයට විපාක දෙන කෙනෙකු’ බව ප්‍රේරිත පාවුල් පැවසූ දේ මෙහි සඳහන් කිරීමට වටී. (හෙබ්‍රෙව් 11:6) දෙවි තම පුත්‍රයාට විපාක දුන්නේ ඔහුව මළවුන්ගෙන් නැඟිටුවීමෙනි. එමෙන්ම මුළු හදින්ම තමන්ට සේවය කරන සියලුදෙනාටම පියා සදාකාල ජීවනය නමැති විපාකය දෙනු ඇත.—ක්‍රියා 26:23; 2 කොරින්ති 1:9.

මේ සියල්ල සලකා බැලීමෙන් පසු අප නිගමනය කළ යුත්තේ කුමක්ද? යෙහෝවා මිස වෙන කිසිවෙකු “සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද” විය නොහැකි බවය. මවනු ලැබූ සියලුදෙනාගේම තනි භක්තිය ලැබීමට වටින එකම තැනැත්තා ඔහුය.—එළිදරව් 4:11.