Skip to content

පටුනට යන්න

දක්ෂ නායකත්වයක් සොයා යෑම

දක්ෂ නායකත්වයක් සොයා යෑම

දක්ෂ නායකත්වයක් සොයා යෑම

ඔබ මෙම පදවියේ සිටියා ඇති. දැන් යන්න, දෙවියන්ගේ නාමයෙන් මෙතැනින් යන්න!”—ඔලිවර් ක්‍රොම්වෙල් පැවසූ මෙම වදන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වන ලියෝපෝල්ඩ් එමරි විසින් උපුටා දැක්වුවා.

ඉහත වදන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වූ ලියෝපෝල්ඩ් එමරි විසින් අගමැති නෙවිල් චේම්බලින්ට ගෙනහැර දැක්වුවේ 1940 මැයි 7වන දායි. ඉන් දින තුනකට පසු අගමැති චේම්බලින් තම තනතුරෙන් ඉවත් වූ අතර වින්ස්ටන් චර්චිල් එම තනතුර භාරගත්තා. දෙවන ලෝක මහ යුද්ධය මාස අටක් පුරා ඉතාමත් බිහිසුණු ලෙස පැවතුණේ මේ කාලයේදීයි. බ්‍රිතාන්‍යය හා එහි මිත්‍ර රාජ්‍යයන්ට හිතකර අන්දමින් යුද්ධය ක්‍රියාත්මක වුණේ නැහැ. එමනිසා, ලියෝපෝල්ඩ් එමරි ඇතුළු අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අලුත් නායකයෙකුව පත් කරගැනීමට අවශ්‍ය වුණා.

මූලිකත්වය ගෙන කටයුතු කරන නැතහොත් නායකත්වය හොඳින් හොබවන කෙනෙකු අවශ්‍යයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. ඒත් හැම නායකයෙකුටම ඒ අවශ්‍යතාව පිරිමසන්න බැහැ. පවුලක වුවත්, පියාට තම මූලිකත්වය නිසි ලෙස හසුරුවන්න හැකියාවක් තිබෙනවා නම් විතරයි භාර්යාව සහ දරුවන් සන්තෝෂය අද්දකින්නේ. එහෙමනම්, ජාතියක් නියෝජනය කරන නායකයෙකුට හෝ ලෝක නායකයෙකුට තම වගකීම් ඉටු කරන්න ඊට වඩා කොයි තරම් සුදුසුකම් තිබිය යුතුද? අද දක්ෂ නායකයෙකුව සොයාගැනීම කලුනික සොයනවා වගේ දුෂ්කර කටයුත්තක් වීම පුදුමයට කාරණයක් නෙමෙයි.

දක්ෂ නායකයෙකුව සොයාගැනීමේ අටියෙන් අවුරුදු දහස් ගණනක් පුරා බොහෝදෙනෙකුට රජ කිරුළු පැළදෙව්වා. නොයෙකුත් විප්ලව, කුමන්ත්‍රණ ඇති වුණා. බොහෝදෙනෙක් බලයට පත් වුණා. බලයෙන් වැටුණා. මැතිවරණ පැවැත්තුවා. ඝාතන සිදු කළා. පරිපාලන ක්‍රමවල වෙනස්කම් ඇති වුණා. රජවරු, අගමැතිවරු, කුමාරවරු, ජනාධිපතිවරු, මහ ලේකම්වරු, ඒකාධිපතිවරු බලයට පත් වුණා. බලයෙන් පහ වුණා. බලවත් නායකයන්ව පවා බලාපොරොත්තු නොවූ ලෙස බලයෙන් පහ කර තිබෙනවා. (“සැණෙකින් බලයෙන් පහවූවෝ” යන පස්වන පිටුවේ කොටුව බලන්න.) ඒ කොයි දේ කළත් තවමත් දක්ෂ හා කල් පවතින නායකත්වයක් සොයාගැනීම දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා.

‘විසඳුමක් නැද්ද?’

දක්ෂ නායකයෙකුව සොයාගැනීමට දරන උත්සාහයේදී, බොහෝදෙනෙකුගේ බලාපොරොත්තු සුන්වීම පුදුමයට කාරණයක් නෙවෙයි. සමහර රටවල මැතිවරණ කාලයේදී මෙය හොඳින් දැකගන්න පුළුවන්. අප්‍රිකාවේ පුවත්පත් ලේඛකයෙක් වන ජෙෆ් හිල් තමන් නිරීක්ෂණය කළ දේ මෙසේ සඳහන් කරනවා. “තමන්ගේ අසරණකමෙන් ගොඩ එන්න බැහැයි කියා ජනතාවට හැඟෙන විට ඔවුන් තම ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. . . . අප්‍රිකාවේ ජනතාව ඡන්දය නොදා සිටීමෙන් අදහස් කරන්නේ දැනටමත් බලයේ ඉන්න නායකයා ගැන ඔවුන් සෑහීමට පත් වී සිටින බව නෙවෙයි. එය බොහෝවිට තමන්ගේ දුක දකින්න කෙනෙකු නැහැයි කියා කරන නිහඬ අඳෝනාවක්.” අමෙරිකා එක්සත් ජනපදයේ පුවත්පත් තීරු ලේඛකයෙක්ද පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳව ඊට සමාන අදහසක් ඉදිරිපත් කළා. “හැම අතින්ම දක්ෂ ඡන්ද අපේක්ෂකයෙක් සිටිනවා නම් මම කැමතියි. එහෙම කෙනෙක් නැහැ. ඒක දවල් හීනයක් විතරයි. අපිට විසඳුමකුත් නැහැ.”

ඇත්තටම ‘විසඳුමක් නැද්ද?’ මිනිස් නායකයන් තම ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීමෙන් අදහස් වන්නේ අපට කවමදාකවත් දක්ෂ නායකයෙකු ලැබෙන්නේ නැහැ කියන කාරණයද? ඇත්තෙන්ම නැහැ. හැම අතින්ම දක්ෂ නායකයෙකු සිටිනවා. කවුද මේ නායකයා? ඔහුගේ සේවයෙන් ඔබට මෙන්ම සෑම තරාතිරමකම සිටින මිනිසුන් මිලියන ගණනකට ප්‍රයෝජන ලැබිය හැකි අන්දමත් ඊළඟ ලිපියේ පැහැදිලි කරනවා.

[3වන පිටුවේ පින්තූර]

ඉහළ වමේ: නෙවිල් චේම්බලින්

ඉහළ දකුණේ: ලියෝපෝල්ඩ් එමරි

පහළ: වින්ස්ටන් චර්චිල්

[හිමිකම් විස්තර]

චේම්බලින්: Photo by Jimmy Sime/Central Press/Getty Images; එමරි: Photo by Kurt Hutton/Picture Post/Getty Images; චර්චිල්: The Trustees of the Imperial War Museum