Skip to content

පටුනට යන්න

දීමෙන් කොතරම් සතුටක් ලැබේදැයි ඔබ දන්නවාද?

දීමෙන් කොතරම් සතුටක් ලැබේදැයි ඔබ දන්නවාද?

දීමෙන් කොතරම් සතුටක් ලැබේදැයි ඔබ දන්නවාද?

එක්තරා ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරියක් වසර 50කට ආසන්න කාලයක් ක්‍රිස්තියානි සේවයෙහි ක්‍රියාශීලීව සිට ඇත.” මහලු විය නිසා ඇය දුබලව සිටියත් ඇගේ අදිටන වූයේ අලුතෙන් සෑදූ රාජ්‍ය ශාලාව බැලීමට යෑමයි. ක්‍රිස්තියානි සහෝදරයෙකුගේ වාරුවෙන් ශාලාවට ඇතුල් වූ ඇය, ඇයට වුවමනා වූ දේ ඉටු කරගැනීමට සම්මාදම් පෙට්ටිය දෙසට සෙමින් සෙමින් පා නැඟුවාය. ශාලාව වෙනුවෙන් ඇය ඉතිරි කළ සුළු මුදල ඈ එයට දැමුවාය. ඇයට වුවමනා වූයේ, ශාලාව ඉදි කිරීම සඳහා කය වෙහෙසා වැඩ කිරීමට නොහැකි වුවත් කෙසේ හෝ උපකාර කිරීමටය.

මෙම ක්‍රිස්තියානි ස්ත්‍රිය තවත් ඇදහිලිවන්ත ස්ත්‍රියක වෙත ඔබේ මතකය රැගෙන යයි. ඇය යේසුස් බලා සිටියදී දේවමාලිගාවේ මුදල් බඳුනට කුඩා කාසි දෙක දැමූ “දිලිඳු වැන්දඹු” ස්ත්‍රියයි. ඇගේ තත්වය ගැන අපට පවසා නැතත් ස්වාමිපුරුෂයා අහිමිව සිටි ස්ත්‍රියක හැටියට ඒ කාලයේදී ඇයට මුදල් අතින් සෑහෙන කරදර තිබෙන්නට ඇත. යේසුස් ඇගේ අසරණභාවය හොඳින් අවබෝධ කරගෙන සිටි නිසා ඇයට ඔහු අනුකම්පාවක් දැක්වූ බවට සැකයක් නැත. තම ගෝලයන්ට ඇයව ආදර්ශයක් ලෙස පෙන්වමින් ඇගේ සුළු දීමනාව, ඇය “සතුව තිබුණු සියල්ල, එනම් ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල” බව ඔහු පැවසුවේය.—මාක් 12:41-44.

අග හිඟකම් තිබූ දිලිඳු තැනැත්තියක් මෙවැනි පරිත්‍යාගයක් කළේ මන්ද? යෙරුසලමේ දේවමාලිගාවේ දෙවිට නමස්කාර කරමින් සිටි ඇය එසේ කළේ යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු භක්තියක් තිබූ නිසාය. ඇයට කළ හැකිව තිබුණ දේ සීමිත වුවත් ඇයට වුවමනා වූයේ පරිශුද්ධ සේවයට අත හිත දීමටය. එමෙන්ම තමාට හැකි අයුරින් දීම මගින් ඇය සැබෑ ප්‍රීතියක් ලැබුවා විය යුතුයි.

යෙහෝවාගේ සේවය සඳහා දීම

ද්‍රව්‍යමය හා මූල්‍යමය සම්මාදම් දීම පවිත්‍ර නමස්කාරයේ අත්‍යවශ්‍ය කොටසක්ව තිබූ අතර එය සැමවිටම ඉමහත් ප්‍රීතියකට හේතුවක් විය. (1 ලේකම් 29:9) ඉපැරණි ඊශ්‍රායෙලයෙහි සම්මාදම් භාවිත කළේ දේවමාලිගාව අලංකාරව තැබීමට පමණක් නොව යෙහෝවාගේ නමස්කාරය සම්බන්ධයෙන් එහි දෛනිකව සිදු කෙරුණු සියලුම අංගයන් පවත්වාගෙන යෑමටය. ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබූ නීතියට අනුව, දේවමාලිගාවේ සේවාවන් ඉටු කළ ලෙවීවරුන්ගේ නඩත්තුව සඳහා ඔවුන් තම ආදායමෙන් දසයෙන් කොටසක් දිය යුතු විය. එහෙත් ලෙවීවරුද තමන්ට ලැබෙන ආදායමෙන් දසයෙන් කොටසක් යෙහෝවාට දිය යුතු වූහ.—ගණන් කථාව 18:21-29.

ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතිය යටතේ නොසිටියා වුවත්, සැබෑ නමස්කාරය වෙනුවෙන් ද්‍රව්‍යමය දේවල් සම්මාදම් කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිය ඔවුන් අනුගමනය කළ යුතු විය. (ගලාති 5:1) පළමු සියවසේ ක්‍රිස්තියානීහු තම සහෝදරයන්ගේ අග හිඟකම් සඳහා සම්මාදම් කිරීම ප්‍රීතියක් ලෙස සැලකූහ. (ක්‍රියා 2:45, 46) ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට සිහිගැන්වූයේ, දෙවි ඔවුන්ට ත්‍යාගශීලීව යහපත් දේවල් සපයා දුන් ලෙසම ඔවුන්ද අන්‍යයන්ට ත්‍යාගශීලී විය යුතු බවය. ඔහු මෙසේ ලීවේය. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, දැන් පවතින සමාජ ක්‍රමයෙහි සිටින ධනවතුන්ට අණ කරන්න. එමෙන්ම යහපත්කම් කිරීමටත්, යහපත් ක්‍රියාවලින් පොහොසත්ව සිටීමටත්, ත්‍යාගශීලී වීමටත්, බෙදාගැනීමට සූදානම්ව සිටීමටත් අණ කරන්න. එසේ කිරීමෙන් සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.” (1 තිමෝති 6:17-19; 2 කොරින්ති 9:11) සැබවින්ම පෞද්ගලික අද්දැකීමෙන් පාවුල්ට යේසුස්ගේ වදන් මෙලෙස ස්ථිර කළ හැකි විය. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.

ක්‍රිස්තියානි ක්‍රමයට අනුව අද දින දීම

අද දින, යෙහෝවාගේ සේවකයෝ එකිනෙකාට උපකාර කිරීම සඳහා මෙන්ම දෙවිගේ සේවයට අත හිත දීම සඳහා තමන්ගේ ද්‍රව්‍යමය සම්පත් භාවිත කරමින් සිටිති. අග හිඟකම් ඇති අය පවා තමන්ට හැකි අයුරින් සම්මාදම් දෙති. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ හැඟීම වී තිබෙන්නේ මෙලෙස ලැබෙන සියලුම මුදල් සුදුසුම ආකාරයකින් භාවිත කිරීම සඳහා තමන් යෙහෝවාට බැඳී සිටින බවය. (මතෙව් 24:45) ශාඛා කාර්යාල පවත්වාගෙන යෑම, පරිවර්තනය කිරීම, බයිබල් සහ බයිබලය මත පදනම් පොත් පත් නිපදවීම, විශාල ක්‍රිස්තියානි එක්රැස්වීම් සැලසුම් කිරීම, සංචාරක අවේක්ෂකයන්ව හා මිෂනාරිවරුන්ව පුහුණු කර යැවීම, විපත්තිවලට මුහුණ දුන් අයට සහනාධාර සැපයීම සඳහා මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය දේවල් බොහොමයක් සඳහාද එම මුදල් යොදාගැනේ. එවැනි එක් දෙයක් නම් නමස්කාර ස්ථාන ඉදි කිරීමට සහාය වීමය.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ආත්මික අධ්‍යාපනයෙන් හා යහපත් ආශ්‍රයෙන් ප්‍රයෝජන ලැබීම සඳහා තම රාජ්‍ය ශාලාවල සතියකට කීප වතාවක් මුණගැසෙති. කෙසේවුවද, බොහෝ රටවල පවතින ආර්ථික තත්වයන් නිසා එම රටවල සිටින සාක්ෂිකරුවන්ට වෙනත් අයගේ උදව් උපකාර නොමැතිව රාජ්‍ය ශාලා ඉදි කිරීමට මුදල් වැය කිරීමට හැකියාවක් නැත. එබැවින්, ධනවත් රටවලින් ලැබුණ අරමුදල් එතරම් ධන සම්පත් නැති රටවල රාජ්‍ය ශාලා ඉදි කිරීමට යොදාගැනීම සඳහා 1999දී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රාජ්‍ය ශාලා අරමුදලක් පිහිටෙව්වෝය. ඊට අමතරව, ස්වේච්ඡා සේවකයෝ දහස් ගණනක් තමන්ගේ කාලය හා කුසලතා පරිත්‍යාග කර තිබෙන අතර ඔවුන් බොහෝවිට මෙම රටවල පිටිසරබද පළාත්වල සේවය කර ඇත. ඉදි කිරීම්වල නියැලී සිටියදී දේශීය සාක්ෂිකරුවෝ ඉදි කිරීමේ හා නඩත්තු කිරීමේ දක්ෂතාවන් ඉගෙනගනිති. රාජ්‍ය ශාලා අරමුදලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍ය මිල දී ගැනීමට හැකියි. තම සෙසු ඇදහිලිවන්තයන් පරිත්‍යාග කළ කාලය හා මුදල් සඳහා දැන් මෙම අලුත් ශාලා භාවිත කරමින් සිටින සාක්ෂිකරුවෝ හද පත්ලෙන්ම ස්තුතිපූර්වක වෙති. එමෙන්ම අලුත් රාජ්‍ය ශාලාව නඩත්තු කිරීමට හා ඉදි කිරීම සඳහා වැය වූ මුදල් ගෙවීම සඳහා උපකාර කිරීමට එම ශාලා පාවිච්චි කරන සාක්ෂිකරුවෝ මාස්පතා සම්මාදමක් දෙති. මෙසේ ඔවුහු තවත් රාජ්‍ය ශාලා ඉදි කිරීමට අත හිත දෙමින් සිටිති.

රාජ්‍ය ශාලා ඉදි කරන්නේ දේශීය ක්‍රම හා අමුද්‍රව්‍ය යොදාගෙනය. මෙම ශාලා අරුමෝසම් ඒවා නොවුණත් ඒවා ඉතා ආකර්ෂණීයයි; ප්‍රයෝජනදායකයි; එමෙන්ම ඉඩ පහසුකම්වලින්ද යුක්තයි. වර්ෂ 1999දී ඉදි කිරීමේ වැඩසටහන පටන්ගත් අවස්ථාවේදී ප්‍රමාණවත් ලෙස ධන සම්පත් නොතිබූ රටවල් 40ක් පමණ ඊට ඇතුළත් කෙරිණ. ඉන්පසු, රටවල් 116ක් දක්වා ඉදි කිරීමේ වැඩසටහන පුළුල් විය. මීට ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලින් අඩකට වඩා ඇතුළත් විය. පසුගිය වසර පහ තුළදී, එම විධිවිධානය යටතේ රාජ්‍ය ශාලා 9,000කට වඩා ඉදි කර තිබේ. මෙහි සාමාන්‍යය ගත් කල, දිනකට අලුත් ශාලා 5ක ප්‍රමාණයකි! එහෙත්, මෙම රටවල් 116හි අලුත් රාජ්‍ය ශාලා 14,500ක අවශ්‍යතාවක් පවතී. යෙහෝවාගේ ආශීර්වාදයෙන් හා ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ගේ කැමැත්ත හා ත්‍යාගශීලීභාවය මගින් එම අවශ්‍යතාව සපුරාගැනීමට ප්‍රමාණවත් රාජ්‍ය ශාලා අරමුදලක් තිබෙනු ඇතැයි විශ්වාස කෙරේ.—ගීතාවලිය 127:1.

පැමිණීමේ සංඛ්‍යාව වැඩි වේ

මෙම විශාල වෑයම නිසා එම රටවල සාක්ෂිකරුවන්ට හා රාජ්‍ය දේශනා සේවයට මොන තරම් මහඟු ප්‍රතිඵල ලැබී ඇද්ද? බොහෝ ස්ථානවල නව රාජ්‍ය ශාලා ඉදි කළ පසුව රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. ඊට කදිම උදාහරණයකි බුරුන්ඩිවලින් ලැබී ඇති මෙම වාර්තාව. “රාජ්‍ය ශාලාව ඉදි කර අවසන් වූ සැනින් එය පිරී ගියා. නිදසුනකට, එක් රාජ්‍ය ශාලාවක් ඉදි කළේ ඔවුන්ගේ රැස්වීම්වලට 100ක පමණ සාමාන්‍යයක් පැමිණෙමින් සිටියදීයි. ඔවුන්ගේ නව රාජ්‍ය ශාලාවේ පහසුවෙන්ම 150දෙනෙකුට අසුන්ගන්න පුළුවන්කම තිබුණා. එය සාදා අවසන් වෙද්දී රැස්වීම්වලට පැමිණීමේ සංඛ්‍යාව 250ක් දක්වා වැඩි වෙලා.”

එවැනි වැඩිවීමක් දක්නට තිබෙන්නේ මන්ද? එක් දෙයක් නම්, රැස්වීමට සුදුසු තැනක් නොමැති නිසා ගසක් යට හෝ කෙතක රැස්වීම් පැවැත්වීමට සිදු වූ රාජ්‍ය ප්‍රචාරක කණ්ඩායම් දෙස ඇතැම්විට බලනු ලැබුවේ සැක සහිතව වීමය. එක් රටක එවැනි කුඩා ආගමික කණ්ඩායම් වාර්ගික ප්‍රචණ්ඩත්වයට හවුල් වී තිබූ බැවින් සියලුම ආගමික රැස්වීම් නමස්කාර ගෘහයක් ඇතුළේ පැවැත්විය යුතුයයි නීතියක් දමා තිබේ.

තමන්ගේම ශාලා තිබීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තමන් යම් දේවගැතිවරයෙකුගේ ගෝලයන් නොවන බව අවට ජනයාට පෙන්වීමටද හැකි වී තිබේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සිම්බාබ්වේ ශාඛා කාර්යාලය මෙසේ ලියයි. “අතීතයේදී මෙම ප්‍රදේශයේ සහෝදරයන් රැස් වුණේ කාගේ හෝ නිවසකයි. ඒ අවට ජනයා එහි රැස් වූ සභාව හැඳින්වූයේ නිවසේ අයිතිකරුගේ නමින්. ඔවුන් සහෝදරයන් ගැන සඳහන් කළ විට පැවසුවේ අහවල් තැනැත්තාගේ සභාවේ කට්ටිය කියලයි. ඒත් දැන් ජනයා දකින්නේ ‘යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව’ ලෙස පැහැදිලිව නම් කළ ගොඩනැඟිලි නිසා එම තත්වය වෙනස් වෙමින් පවතිනවා.”

ප්‍රීතියෙන් දෙන්නෝ

“සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය” කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (2 කොරින්ති 9:7) ඇත්තෙන්ම විශාල ලෙස සිදු කෙරෙන පරිත්‍යාගයන් ඉතා ප්‍රයෝජනවත්ය. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය සඳහා සම්මාදම්වලින් වැඩි කොටසක් ලැබෙන්නේ රාජ්‍ය ශාලාවල තිබෙන සම්මාදම් පෙට්ටිවලිනි. විශාල වුවත්, කුඩා වුවත් සෑම සම්මාදමක්ම වැදගත් වන අතර එය නොසලකා නොහැරේ. යේසුස් කළ දේ මතකයට නඟමු. ඔහු දිලිඳු වැන්දඹුව කුඩා කාසි දෙක සම්මාදම් කරන අයුරු බලා සිටියේය. එපමණක් නොව දේවදූතයෝ හා යෙහෝවාද ඇයව දුටුවෝය. වැන්දඹුවගේ නමවත් අප නොදන්නවා වුවත් ඇගේ පරාර්ථකාමී ක්‍රියාව කිසිදා අමතක නොවන සේ බයිබලයේ වාර්තා කිරීමට යෙහෝවා වගබලා ගත්තේය.

රාජ්‍ය ශාලා ඉදි කිරීමට අමතරව ඉතා වටිනා රාජ්‍ය වැඩකටයුතුවල වෙනත් අංගයන් සියල්ලටද අපේ සම්මාදම් උපකාරවත් වේ. මෙයාකාරයෙන් සහයෝගය දැක්වීම ප්‍රීතිවීමට අපට හේතුවක් වන අතර “එතුළින් දෙවිට බොහෝ ස්තුති දීම්ද හටගන්නේය.” (2 කොරින්ති 9:12) බෙනින්හි අපේ ක්‍රිස්තියානි සහෝදරයෝ මෙසේ වාර්තා කරති. “ජාත්‍යන්තර සහෝදරත්වයෙන් ලැබෙන මූල්‍යමය ආධාර සඳහා සෑම දිනකම යෙහෝවාට ස්තුතිපූර්වක යාච්ඤා බොහොමයක් යොමු කෙරේ. ඒ අතරතුර, මුදල් දෙමින් රාජ්‍ය සේවය සඳහා සහාය වීමේ පංගුකාරයන් වන අප සියල්ලෝම ක්‍රිස්තියානි ක්‍රමයට අනුව දීමෙන් සතුටක් ලබන්නෙමු.”

[22, 23වන පිටුවේ කොටුව/පින්තූරය]

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් ඉතිරි කරති, නැතහොත් වෙන් කරති.

සෑම මසකම සභාවන් මෙම මුදල එක් එක් රටවල ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට යවයි. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ වෙසෙන රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවිය හැක. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. චෙක්පත් “වොච් ටවර්” යන නමට ලිවිය යුතුය. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය

දායකයාට එය ඉල්ලූ විට ආපසු ලබාගත හැකි වන පරිදි විශේෂ කොන්දේසියක් මත මුදල් පරිත්‍යාග කළ හැක. තවත් තොරතුරු සඳහා ඉහත සඳහන් ලිපිනයට ලියා සමිතියේ භාණ්ඩාගාරයෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැක.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතිය අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරිත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දිය හැක.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැක.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුය.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය යනු යමෙකු තමා සතු මුදල් හෝ සුරැකුම් වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලසුමකි. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි. පරිත්‍යාග කරන ලද වාර්ෂිකය ආරම්භ කරන වසරේදී දායකයාට ආදායම් බද්ද අඩුවෙන් ගෙවීමට හැකියාවක් ලැබේ.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් පිරිනැමීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැක.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබේ රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්විය හැක. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[20, 21වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පැරණි හා නව රැස්වීම් ස්ථාන

සැම්බියා

මධ්‍යම අප්‍රිකානු ජනරජය