Skip to content

පටුනට යන්න

දේවපාලනයට පක්ෂව ඉන්න අපි දැඩි තීරණයක් ගත්තා

දේවපාලනයට පක්ෂව ඉන්න අපි දැඩි තීරණයක් ගත්තා

ජීවිත කතාව

දේවපාලනයට පක්ෂව ඉන්න අපි දැඩි තීරණයක් ගත්තා

පැවසුවේ මීකාල් සෝබ්‍රාක්

මාව මාසයක්ම හිරකුටියක තනියෙන් හිර කරලා තිබුණා. ඊට පස්සේ නිලධාරියෙක් ළඟට මාව ඇදගෙන ගියා. ඔහු දිගින් දිගටම ප්‍රශ්න ඇහැව්වා. වැඩි වෙලාවක් ගියේ නැහැ, ඔහු කේන්තියෙන් කෑගැහැව්වා. “ඔත්තුකාරයෝ! අමෙරිකන් ඔත්තුකාරයෝ!” ඔහුට ඒ තරම් කේන්ති ගියේ ඇයි? මගේ ආගම මොකක්ද කියලා ඔහු මගෙන් ඇහැව්ව වෙලාවේ “මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්” කියලා කිව්ව නිසයි.

මේක සිද්ධ වුණේ අවුරුදු 50කට ඉස්සෙල්ලා. ඒ කාලෙදී මම හිටියේ කොමියුනිස්ට් පාලනය යටතේ තිබුණ රටකයි. ඒ වුණත්, කාලෙකට ඉස්සෙල්ලා අපේ ක්‍රිස්තියානි අධ්‍යාපනික වැඩයට දැඩි විරුද්ධවාදිකම් එල්ල වෙලා තිබුණා.

යුද්ධයේ ප්‍රතිඵල අපිටත් දැනෙයි

වර්ෂ 1914දී, 1වෙනි ලෝක මහා යුද්ධය පටන්ගන්නකොට මගේ වයස අවුරුදු අටයි. ඒ කාලයේදී අපි හිටියේ ශාලූෂිට්ස් නම් ගමෙයි. එතකොට ඒක ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය යටතේයි තිබුණේ. යුද්ධය නිසා ලෝකෙම අනිත් අතට පෙරළුණා විතරක් නෙවෙයි මගේ ළමා වියත් හිටි හැටියේම කෙළවර වුණා. සොල්දාදුවෙකු වූ මගේ තාත්තා යුද්ධයේ මුල් අවුරුද්දේදීම මිය ගියා. ඒ හින්දා මගේ අම්මාත්, මගේ නංගිලා දෙන්නාත්, මමත් අන්ත දුගී තත්වයකට ඇද වැටුණා. මුළු ගෙදරටම හිටිය එකම පිරිමියා මම නිසා මට සිද්ධ වුණා අපේ පුංචි ගොවිපොළෙයි, නිවසෙයි වගකීම් හුඟක් කරටගන්න. කුඩා කාලේ ඉඳලම මම ආගමට හුඟක් ලැදියි. අපේ රෙපරමාදු පල්ලියේ දේවගැතිවරයා මට කිව්වා ඔහුට උගන්වන්න එන්න බැරි වෙන වෙලාවට මට මගේ පාසැල් මිතුරන්ට උගන්වන්න කියලා.

වර්ෂ 1918දී ලෝක මහා යුද්ධය අවසන් වුණා. අපිට දැනුණේ පුදුම සහනයක්. ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යය පරාජය වී තිබුණ නිසා අපි චෙකොස්ලෝවැකියා ජනරජයේ පුරවැසියන් බවට පත් වුණා. අපේ පළාතෙන් එක්සත් ජනපදයට ගිහින් හිටිය හුඟදෙනෙක් වැඩි කල් යන්න කලින් ආපහු මව්බිමට ආවා. ඔවුන් අතරෙන් කෙනෙක් තමයි 1922දී අපේ ගමට ආව මීකාල් පෙට්‍රික්. අපේ ගෙවල් ළඟ ගෙදරකට ඔහු ආව වෙලාවක මටයි මගේ අම්මාටයි එහෙට එන්න කියලා ආරාධනාවක් ලැබුණා.

දෙවිගේ පාලනය අප ඉදිරියේ සැබෑ පාලනයක් වෙයි

මීකාල් බයිබල් ශිෂ්‍යයෙක්. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ එහෙමයි. ඔහු බයිබලයේ තිබෙන වැදගත් කාරණා ගැන කතා කළා. ඔහු කතා කළ ප්‍රධාන කාරණයක් තමයි යෙහෝවාගේ රාජ්‍යයේ පැමිණීම. (දානියෙල් 2:44) ඊළඟ ඉරිදා සාහෝර් ගමේ ක්‍රිස්තියානි රැස්වීමක් තියෙන බව ඔහු කිව්වහම එහේ යන්න මම තීරණය කළා. පාන්දර 4:00ට නැඟිටලා, මගේ ඥාති සහෝදරයෙකුගේ බයිසිකලය ටිකකට ඉල්ලගන්න ඔහුගේ ගෙදරට කිලෝමීටර් 8ක් විතර මම ඇවිද්දා. ටයර් එකට හුළං ගහගත්තාට පස්සේ මම සාහෝර්වලට තවත් කිලෝමීටර් 24ක් බයිසිකලයෙන් ගියා. රැස්වීම පැවැත්වෙන තැන දැනගෙන හිටියේ නැති නිසා වීදියක් දිගේ හෙමින් බයිසිකලය පැදගෙන ගියා. එතකොට එක ගේක රාජ්‍ය ගීතිකා ගායනා කරන හඬක් මට ඇහුණා. මට ඒ වෙලාවේ ඇති වුණේ කියාගන්න බැරි තරම් සතුටක්. නිවසට ඇතුල් වෙලා මම ආව කාරණය පැහැදිලි කළා. ඔවුන් එක්ක උදේ ආහාරය ගන්න ඉඳගන්න කියලා ඒ පවුලේ අය මට ආරාධනා කළා. ඉන්පස්සේ ඔවුන් එක්කම මම රැස්වීමට ගියා. ආපහු ගෙදර යන්න මට බයිසිකලයෙන් සහ පයින් තව කිලෝමීටර් 32ක් යන්න සිද්ධ වුණත් මට කිසි මහන්සියක් දැනුණේ නැහැ.—යෙසායා 40:31.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයෙන් ඉතා පැහැදිලිව කරපු ඉගැන්වීම්වලට මගේ හිත ඇදිලා ගියා. දෙවිගේ පාලනය යටතේ කිසි අඩුවක් නැති තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳීමට තිබෙන ප්‍රස්තාව ගැන දැනගන්න ලැබුණාම ඒක මගේ සිතේ තදින් කාවැදුණා. (ගීතාවලිය 104:28) අපේ පල්ලියෙන් ඉල්ලා අස් වෙන බව දන්වමින් ලිපියක් ලියන්න අම්මායි, මමයි තීරණය කළා. මේ නිසා අපේ ගමේ ලොකු කලබලයක් ඇති වුණා. සමහරු අපිත් එක්ක කාලයක් කතා කළේ නැහැ. ඒත් අපේ පළාතේ හිටිය සාක්ෂිකරුවන් හුඟදෙනෙක් එක්ක හොඳින් ඇසුරු කරන්න අපිට අවස්ථාව ලැබුණා. (මතෙව් 5:11, 12) වැඩි කලක් යන්න කලින්, මට ඌහ් නමැති ගඟේ බව්තීස්ම වීමටත් හැකි වුණා.

දේවසේවය අපේ ජීවිතයේ කොටසක් බවට පත් වුණා

යෙහෝවාගේ රාජ්‍ය ගැන දේශනා කරන්න ලැබුණ හැම ප්‍රස්තාවකින්ම අපි ප්‍රයෝජන ගත්තා. (මතෙව් 24:14) විශේෂයෙන්ම ඉරිදා දිනවල සංවිධානාත්මක ලෙස දේශනා සේවයේ යෙදෙන්න උත්සාහ කළා. සාමාන්‍යයෙන් ඒ කාලයේදී මිනිස්සු දැනට වඩා වේලපහින් නැඟිටින්න පුරුදු වෙලා හිටිය නිසා අපිට පුළුවන් වුණා උදෙන්ම දේශනා සේවය පටන්ගන්න. හවස් යාමයේ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කරලා තිබුණා. බයිබල් ගුරුවරු වැඩිපුරම කතා දුන්නේ කොළවල ලියාගෙන නෙවෙයි. ඔවුන් උනන්දුව දැක්වුව අයගේ ගණන ගැන, ඔවුන්ගේ ආගමික පසුබිම ගැන සහ ඔවුන්ට දැනගන්න වුවමනා වුණ ප්‍රශ්න ගැන හිතලා ඒවාවලට ගැළපෙන ලෙස කතා දුන්නා.

අපි දේශනා කරපු බයිබල් සත්‍යය නිසා අවංක සිත් තිබුණ හුඟදෙනෙකුගේ ඇස් ඇරුණා. මම බව්තීස්ම වුණ ගමන්ම වගේ ට්‍රෝවිෂ්ටේ ගම්මානයේ දේශනා කළා. එක ගෙදරකදී හරිම කරුණාවන්ත, මිත්‍රශීලී කාන්තාවකට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඇය සුසෑනා මෝස්කැල් මහත්මියයි. මම වගේම, ඇය සහ ඇගේ පවුලේ අයත් රෙපරමාදු භක්තිකයන්ව හිටියා. ඇයට බයිබලය ගැන දැනුමක් තිබුණත් පිළිතුරු නොලැබුණ බයිබල් ප්‍රශ්න ගොඩක් තිබුණා. අපි පැයක් විතර සාකච්ඡාවක යෙදුණාට පස්සේ දෙවිගේ වීණාව (සිංහලෙන් නැත) නමැති පොත මම ඇයට දුන්නා. *

එදා පටන් මෝස්කැල්ගේ පවුලේ අය නිතිපතා කරන බයිබල් කියවීමේ වැඩසටහනට වීණාව පොත කියවීමද ඇතුළත් කළා. ඒ ගම්මානයේ පවුල් ගොඩක් උනන්දුවක් දැක්වුව අතර රැස්වීම්වලටත් එන්න පටන්ගත්තා. ඔවුන්ගේ රෙපරමාදු දේවගැතිවරයා අපිට විරුද්ධව කතා කරලා අපේ පොත් පත් කියවන්න එපා කියලා අනතුරු ඇඟෙව්වා. එවිට උනන්දුවක් දක්වලා තිබුණ අයගෙන් කිහිපදෙනෙක් දේවගැතිවරයාට කිව්වා අපේ රැස්වීමකට ඇවිල්ලා ප්‍රසිද්ධ විවාදයකට ඉඳලා අපේ ඉගැන්වීම් බොරු බව ඔප්පු කරන්න කියලා.

දේවගැතිවරයා ආවත් ඔහුගේ ඉගැන්වීම් හරි බව ඔප්පු කරන්න එක බයිබල් තර්කයක්වත් ඉදිරිපත් කරන්න ඔහුට බැරි වුණා. නිදහසට කරුණක් හැටියට ඔහු කිව්වේ මෙහෙමයි. “බයිබලයේ තියෙන හැම දෙයක්ම විශ්වාස කරන්න අපිට බැහැ. ඒක ලියලා තියෙන්නේ මිනිස්සු. ආගමික ප්‍රශ්න නොයෙක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්.” මේක හුඟදෙනෙකුට තීරණයක් ගන්න අවස්ථාවක් වුණා. සමහරු දේවගැතිවරයාට කිව්වා ඔහු බයිබලය විශ්වාස කරන්නේ නැත්නම් ඔහුගේ දේශනවලට සවන් දෙන්න ඔවුන් එන්නේ නැහැ කියලා. මේ නිසා ඔවුන් රෙපරමාදු පල්ලියෙන් අයින් වුණා. ඒ ගම්මානයේ 30දෙනෙක් විතර බයිබලයේ තියෙන සත්‍යයට අනුව ජීවත් වෙන්න ස්ථිර තීරණයක් ගත්තා.

රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම අපේ ජීවිතයේ කොටසක් වුණ හින්දා මම බලාපොරොත්තු වුණේ ආත්මිකව ශක්තිමත් පවුලකින් සහකාරියක් සොයාගන්නයි. මාත් එක්ක හවුලේ දේවසේවයේ යෙදුණ කෙනෙක් තමයි යාන් පෙට්රූෂ්කා. ඔහු සත්‍යය ඉගෙනගෙන තිබුණේ එක්සත් ජනපදයේදීයි. ඔහුගේ දියණියගේ නම මාරියා. ඇගේ පියා වගේම ඇය හැම කෙනෙකුටම සාක්ෂි දරන්න ඕනෑම වෙලාවක සූදානමින් හිටිය නිසා මගේ හිත ඇදිලා ගියා. අපි 1936දී විවාහ වුණා. අවුරුදු 50ක්, ඒ කියන්නේ මාරියා 1986දී මිය යන තුරුම ඈ මගේ විශ්වාසවන්ත මිතුරියව හිටියා. අපේ පුතා එඩ්වඩ් ඉපදුණේ 1938දීයි. ඒ කාලේදී යුරෝපය යුද්ධයකට අරඅඳිමින් හිටියා. ඒක අපේ සේවයට බලපෑවේ කොහොමද?

ක්‍රිස්තියානීන් හැටියට අපේ මධ්‍යස්ථභාවය පරීක්ෂණයට ලක් වී

දෙවන ලෝක යුද්ධය පටන්ගත්තහම වෙනම රටක් බවට පත් වුණ ස්ලෝවැකියාව තිබුණේ නාට්සි පාලනය යටතෙයි. ඒත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයට එරෙහිව රජයෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒත් අපිට සේවයේ යන්න වුණේ රහසින්. අපේ පොත් පත් පවා පරීක්ෂා කරලා බැලුවා. කොහොමවුණත් අපි නුවණක්කාරව දිගටම අපේ සේවය කරගෙන ගියා.—මතෙව් 10:16.

යුද්ධය දරුණු අතට හැරෙද්දී මට 35 පැනලා තිබුණත් මාව හමුදාවට බඳවාගන්න හැදුවා. ක්‍රිස්තියානියෙකු වශයෙන් මම මධ්‍යස්ථව හිටිය නිසා යුද්දෙට බැඳීම ප්‍රතික්ෂේප කළා. (යෙසායා 2:2-4) මට කරන්න ඕන දේ අධිකාරීන් තීරණය කරන්න ඉස්සෙල්ලා මගේ වයස් මට්ටමේ හිටිය හැමදෙනාවම නිදහස් කිරීම සතුටට කරුණක් වුණා.

බඩු මිල ඉහළ ගිය නිසා පිටිසරබද පළාත්වල ජීවත් වෙන අපිට වඩා, නගරබද ජීවත් වෙන සහෝදරයන්ට අමාරු බව වැටහුණ නිසා ඔවුන් එක්ක අපේ දේවල් බෙදා හදා ගන්න අපි කැමති වුණා. (2 කොරින්ති 8:14) මේ නිසා අපිට ගෙනියන්න පුළුවන් උපරිමයෙන් ආහාර ද්‍රව්‍ය අරගෙන අපි කිලෝමීටර් 500ක දුරක් ගෙවා බ්‍රැටිස්ලාවාවලට ගියා. යුධ සමයේදී සහෝදර සහෝදරියන් සමඟ අපි ඇති කරගත්ත මිත්‍රත්වයේ බැඳීම් හා ප්‍රේමය දුෂ්කර කාලයේදී අපිව ඉසිලුවා.

අත්‍යවශ්‍ය දිරිගැන්වීම ලබාගැනීම

දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ස්ලොවැකියාව ආපහු චෙකොස්ලෝවැකියාවේ කොටසක් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සමුළු 1946 ඉඳලා 1948 අතර කාලයේදී බර්නෝවල, එහෙමත් නැත්නම් ප්‍රාග්වල පැවැත්වුවා. නැඟෙනහිර ස්ලොවැකියාවේ හිටිය අපි, සමුළු නියෝජිතයන්ට පැමිණීමට සැලසුම් කරලා තිබුණ විශේෂ දුම්රියවලින් එහෙට ගියා. එහෙට යනකම්ම අපි ගීතිකා කිය කිය ගිය නිසා ඒ දුම්රිය ගී ගයන දුම්රියන් කියලා හඳුන්වන්න පුළුවන්.—ක්‍රියා 16:25.

මට තාමත් මතකයි 1947දී බර්නෝවල තිබුණ සමුළුව. ලෝක මූලස්ථානයේ සේවය කරමින් හිටිය සහෝදර නේදන් එච්. නෝර් ඇතුළු ක්‍රිස්තියානි සහෝදරයන් තුන්දෙනෙක් ඒකට ඇවිත් හිටියා. අපි හුඟදෙනෙක් ප්‍රසිද්ධ කථාව නිවේදනය කරන්න කතාවේ තේමාව ලියපු නිවේදන පුවරු උස්සගෙන නගරය පුරා ඇවිද්දා. අපේ පුතා එඩ්වඩ්ට හුඟක් දුක හිතුණා එයාට ඒ වගේ එකක් ලැබුණේ නැති හින්දා. එතකොට එයාගේ වයස අවුරුදු නවයයි. ඉතින් සහෝදරයෝ ඔහුට විතරක් නෙවෙයි අනිත් ළමයින් හුඟදෙනෙකුටත් පුංචි නිවේදන පුවරු හදලා දුන්නා. මේ පුංචි කට්ටිය කතාව ගැන නිවේදනය කරන්න සෑහෙන්න දායක වුණා.

වර්ෂ 1948 පෙබරවාරිවලදී කොමියුනිස්ට් පාලනය බලයට පත් වුණා. මේ රජය වැඩි කල් නොගොස් අපේ දේවසේවය නවත්වන්න වැඩ පිළිවෙළක් යොදයි කියලා අපි දැනගෙන හිටියා. ඒ අවුරුද්දෙම සැප්තැම්බර්වලදී ප්‍රාග්හි සමුළුවක් පැවැත්තුවත් අපේ එක්රැස්වීම් ආපහු පවත්වන්න බැරි වෙන විදිහට තහංචි පනවයි කියන එක ගැන නම් අපිට සැකයක් තිබුණේ නැහැ. එකට රැස්වීමට නිදහස ලැබිලා ඒ වෙනකොට අවුරුදු තුනයි ගත වෙලා තිබුණේ. ඒ සමුළුව ඉවර වෙන්න කලින් අපි සම්මුතියකට ආවා. මේ ඒකෙන් කොටසක්. “මෙහි එක් රැස් වී සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි . . . මෙම ප්‍රීතිමත් සේවය තවත් වැඩි කිරීමටත්, දෙවිගේ මහත් කරුණාව ලැබේ නම් යහපත් කාලයේදී මෙන්ම අයහපත් කාලයේදීද එහි නිරත වීමටත්, මීටත් වඩා උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් තීරණය කරන්නෙමු.”

“රාජද්‍රෝහියෝ”

ප්‍රාග්වල සමුළුව පවත්වලා මාස දෙකක් ගත වෙද්දී ප්‍රාග් කිට්ටුව තිබුණ බෙතෙල් නිවසට රහස් පොලිසියෙන් කඩාවැදුණා. ඔවුන් පුළුවන් හැම තැනින්ම පොත් පත් හොයාගෙන ඒවා රාජසන්තක කළා. බෙතෙල් සේවයේ යෙදිලා හිටිය හැමෝමවත්, තවත් සහෝදරයන් කීපදෙනෙකුවත් අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ ඊටත් වඩා දේවල් සිද්ධ වුණා.

වර්ෂ 1952දී පෙබරවාරි 3වෙනි දාත් 4වෙනි දාත් අතර රාත්‍රියේ මුළු රට හරහා ගිය ආරක්ෂක භටයන් සාක්ෂිකරුවන් 100දෙනෙකුට වඩා අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතරේ මමත් හිටියා. එදා පාන්දර තුනට විතර පොලිසියෙන් අපේ ගෙදරට ඇවිත් අපි හැමෝවම ඇහැරෙව්වා. හේතුවක් නොකියා ඔවුන් මාව එක්කගෙන ගියා. මාංචු දාලා, මගේ ඇස් බැඳලා තව කීපදෙනෙක් හිටිය ට්‍රක් රථයක් ඇතුළට මාව තල්ලු කෙරුවා. අන්තිමේදී මාව ගෙනිහින් තනි හිර කුටියක හිර කළා.

මුළු මාසයක් පුරාම කාත් එක්කවත් කතා කරන්න ලැබුණේ නැහැ. මම දැක්ක එකම එක් කෙනා හිරගෙයි මුරකරුවා විතරයි. ඔහු ඇවිත් කෑම චුට්ටක් තිබුණ පිඟාන දොර හිඩසෙන් තල්ලු කළා. ඊටපස්සේ මුලින් කිව්වා වගේ ප්‍රශ්න කිරීමකට මාව ලක් කළා. මම ඔත්තුකාරයෙක් කියලා ඔහු කියන ගමන් මෙහෙමත් කිව්වා. “ආගමක් අදහන්නේ මොළේ නැති අයයි. දෙවියෙක් කියලා කෙනෙක් නැහැ! අපේ කම්කරුවන්වත් මෝඩයෝ කරන්නයි තමුසෙලා හදන්නේ. ඒකට ඉඩ දෙන්න අපිට බැහැ. එක්කෝ අලුගෝසුවා තමුසෙව එල්ලලා මරලාදායි එහෙම නැත්නම් තමුසේ හිරේම ඉඳලා මැරිලා යයි. තමුසෙගේ දෙවියෝ මෙහෙ ආවොත් එයාවත් අපි මරලා දානවා!”

අපේ ක්‍රිස්තියානි සේවාවන් තහනම් කරන්න නිශ්චිත නීතියක් නැති බව අධිකාරීන් දැනගෙන හිටිය නිසා අපි “රාජ ද්‍රෝහියෝ” බවත්, ඔත්තු හොයන්න ආපු පරදේශක්කාරයෝ බවත් පෙන්වමින් ඔවුන්ට ඕන වුණේ තිබුණ නීතිය සංශෝධනය කරලා අපේ සේවය නතර කරන්නයි. ඒක ඇත්ත කියලා අපි ලව්වා කියවගන්න තමයි ඔවුන්ට ඕන වුණේ. එහෙම කරන්න නම් ඔවුන්ට සිද්ධ වෙනවා අපේ ස්ථාවරය නැති කරන්න. ප්‍රශ්න කරපු දා රාත්‍රියේ ඔවුන් මට නිදාගන්න ඉඩ දුන්නේ නැහැ. පැය කීපයකට පස්සේ ආපහු මගෙන් ප්‍රශ්න කළා. මේ අවස්ථාවේ, “මහජන නිදහස් චෙකොස්ලෝවැකියාවේ සතුරෙකු වන මම, රජයේ ගොවිපොළට හවුල් වුණේ නැත්තේ අමෙරිකානුවන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටිය නිසයි” කියලා සඳහන් වුණ ලියවිල්ලකට මගේ අත්සන ගන්න ඔවුන් හැදුවා. ඒ වගේ බොරුවකට අත්සන් කරන්න බැහැ කියලා මම කිව්ව නිසයි මුලින් කිව්ව වගේ මාව පුනරුත්ථාපන කඳවුරක හිර කුටියකට දැම්මේ.

මට නිදාගන්නවත්, හාන්සි වෙන්නවත්, ඉඳගන්නවත් ඉඩ දුන්නේ නැහැ. හිටගෙන ඉන්න හරි, ඇවිදින්න හරි විතරයි අවසර තිබුණේ. ඉඳලා ඉඳලා බැරිම තැන මම කොන්ක්‍රීට් පොළොවේ ඉඳගත්තා. එතකොට මුරභටයන් ආපහු මාව නිලධාරියෙකුගේ කාර්යාලයට අරගෙන ගියා. “දැන් මේකට අත්සන් කරනවාද” කියලා ඔහු ඇහැව්වා. මම ඒ වතාවෙත් බැහැයි කිව්ව නිසා ඔහු මට කම්මුල් පහරක් ගැහැව්වා. මගේ මූණෙන් ලේ ගලන්න පටන්ගත්තා. එතකොට ඔහු යටිගිරියෙන් කෑගහලා මුර භටයන්ට කිව්වා “එයා විහින් මැරෙන්නයි හදන්නේ. එයා ගැන සෝදිසියෙන් ඉන්න” කියලා. මාව ආපහු ගෙනිහින් තනි හිරගෙයක හිර කළා. මේ විදිහට මාස හයක් තිස්සේ කිහිප වතාවක්ම ප්‍රශ්න කිරීමේ උපක්‍රම යෙදුවා. මම රජයේ සතුරෙක් කියලා මට පිළිගන්වන්න හේතු සාධක පෙන්වන්න උත්සාහ කළත්, ඒ බව මට ඒත්තුගන්වන්න හැදුවත් යෙහෝවා කෙරෙහි මා තුළ තිබුණ නොසැලෙන විශ්වාසය නැති කරන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ.

නඩුවට පෙනී ඉන්න මාසයකට විතර කලින් ප්‍රාග්වලින් ආව නිලධාරියෙක් සහෝදරයන් 12දෙනෙකුගෙන් යුත් අපේ කණ්ඩායමේ හැමෝගෙන්ම ප්‍රශ්න කළා. ඔහු මගෙන් මෙහෙම ඇහැව්වා. “බටහිර සන්ධාන රටවල් එකතු වෙලා අපේ රටට පහර දුන්නොත් තමුසේ මොනවාද කරන්නේ?” “හිට්ලර්ගේ පාලනයේදී මේ රට සෝවියට් සමාජවාදී ජනරජ සංගමයට පහර දුන්න අවස්ථාවේ කරපු දේමයි මම කරන්නේ. එතකොට මම සටන් කළේ නැහැ. මම ක්‍රිස්තියානියෙක් නිසාත්, මධ්‍යස්ථව ඉන්න නිසාත් මම දැනුත් සටන් කරන්නේ නැහැ.” එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විතරක් නිදහසේ ඉන්න ඉඩ දෙන්න අපිට බැහැ. බටහිර සන්ධාන රටවල් අපිට පහර දුන්නොත් අපිට සෙබළුන් අවශ්‍යයි. බටහිරේ ඉන්න අපේ කම්කරුවන්ව නිදහස් කරන්න අපිට සෙබළුන් අවශ්‍යයි.”

වර්ෂ 1953 ජූලි 24වෙනි දා අපිව නඩු ශාලාවට අරගෙන ගියා. අපි 12දෙනාවම විනිසුරු මඬුල්ලක් ඉදිරියේ හිටවලා අපි 12දෙනාගෙන්ම ප්‍රශ්න කළා. අපේ ඇදහිල්ල ගැන සාක්ෂියක් දෙන්න අපි ඒක ප්‍රස්තාවක් කරගත්තා. අපිට විරුද්ධව දාලා තිබුණ බොරු පැමිණිලි ගැන අපි කට උත්තර දුන්නාට පස්සේ එක නීතිඥයෙක් ආසනයෙන් නැඟිටලා මෙහෙම කිව්වා. “මම මේ නඩු ශාලාවේ බොහෝ වාරයක් ඉඳලා තියෙනවා. බොහෝවිට මට දකින්න ලැබිලා තියෙන්නේ තමන්ගේ වරද ගැන පාපෝච්චාරණය කරන, පසුතැවෙන එහෙමත් නැත්නම් අඬන අයයි. ඒත් මේ මිනිස්සු මෙතනින් පිටව යන්නේ හිටියටත් වඩා ශක්තිමත්වයි.” ඊටපස්සේ, අපි 12දෙනාවම වැරදිකරුවන් බව නිවේදනය කරනු ලැබුවේ අපි රජයට විරුද්ධව කැරලි ගැසූ බවට චෝදනා කරමිනුයි. අවුරුදු තුනකට මාව හිරේට යැව්වා. මගේ දේපොළ රාජසන්තක කළා.

වයසට ගියත් මාව නවත්වන්න බැරි වුණා

නිදහස් වෙලා ගෙදර ආවාට පස්සෙත් රහස් පොලීසිය නිතරම මා ගැන සෝදිසියෙනුයි හිටියේ. කොහොමවුණත් මම මගේ දිව්‍යාණ්ඩු සේවය දිගටම කරගෙන ගියා. අපේ සභාවේ ආත්මික වගකීම් කීපයකුත් මට පවරලා තිබුණා. අපේ නිවස රාජසන්තක කරගෙන තිබුණත් අපිට ඒකේ ඉන්න අවසර දීලා තිබුණා. නීතියෙන් අපිට ඒක ආපහු ලැබුණේ අවුරුදු 40කට විතර පස්සේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණහමයි.

මගේ පවුලෙන් හිරේ ඉඳලා තියෙන්නේ මං විතරක් නෙවෙයි. මම ගෙදර ඇවිත් අවුරුදු තුනක් යද්දී එඩ්වඩ්ව හමුදා සේවයට බන්දගන්න හැදුවා. බයිබලයේ ඉගැන්වීම්වලට අනුව ඔහු හෘදය සාක්ෂිය පුහුණු කරගෙන තිබුණ නිසා ඔහු ඒකට අකමැති වුණා. ඔහුව හිරේට දැම්මා. අවුරුදු ගණනාවකට පස්සේ මගේ මුණුපුරා වූ පීටර්ටත් ඒ අද්දැකීමම විඳින්න සිද්ධ වුණේ ඔහුගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙලා තිබෙද්දීමයි.

වර්ෂ 1989දී චෙකොස්ලෝවැකියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණා. දශක හතරක තහනමකින් පස්සේ ආපහු මට නිදහසේ ගෙයින් ගෙට දේශනා සේවයේ යන්න ලැබුණ එක මොන තරම් සතුටක්ද! (ක්‍රියා 20:20) මගේ සෞඛ්‍ය තත්වය හොඳින් තිබුණු කාලය පුරාම මේ විදිහට නොයෙක් ආකාරයෙන් සේවය කිරීමෙන් ප්‍රීතියක් ලැබුවා. දැන් මගේ වයස අවුරුදු 98යි. කලින් තිබුණා වගේ හොඳ සෞඛ්‍යයක් දැන් මට නැහැ. අනාගතය සම්බන්ධයෙන් යෙහෝවාගේ මහිමාන්විත පොරොන්දු ගැන ජනයාට සාක්ෂි දරන්න තාමත් මට හැකියාව තියෙන එක ගැන මම සතුටු වෙනවා.

මගේ ජීවිත කාලය තුළ මගේ රටේ තිබුණ පාලන ක්‍රම පහක හිටිය නායකයන් 12දෙනෙක් ගැන කියන්න මට පුළුවන්. ඔවුන් අතරේ ඒකාධිපතීන්, ජනාධිපතිවරුන් සහ රජ කෙනෙක් හිටියා. ඔවුන්ගේ පාලනයන් යටතේ හිටිය මිනිසුන්ගේ ගැටලුවලට විසඳුමක් දෙන්න ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් පුළුවන් වුණේ නැහැ. (ගීතාවලිය 146:3, 4) මගේ යෞවන කාලයේදීම මට යෙහෝවාව දැනගන්න ඔහු මට අවස්ථාව ලබා දුන්න එක ගැන මම යෙහෝවාට ස්තුති කරනවා. මෙසියානු රාජ්‍යය මගින් ඔහු ගෙනෙන විසඳුම වටහාගන්නත්, දෙවිගෙන් ඈත්ව සිටින මේ ලෝකයේ නිෂ්ඵල ජීවිතයෙන් වැළකී ඉන්නත් මට පුළුවන් වුණේ ඒ හින්දයි. මම අවුරුදු 75කට වැඩි කාලයක් හොඳම ආරංචිය ක්‍රියාශීලීව දේශනා කරලා තියෙනවා. ඒක මට ජීවිතයට අරමුණකුත්, තෘප්තියකුත් සදාකාලේටම පොළොවේ ජීවත් වීමේ දීප්තිමත් බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. ඊටත් වඩා දෙයක් තියෙනවාද! *

[පාදසටහන්වල]

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

^ 38 ඡේ. කනගාටුදායක දෙයක් වන්නේ සහෝදර මීකාල්ගේ මරණය සිදුවීමයි. මේ ලිපිය පළ කිරීමට සූදානම් කෙරෙමින් තිබියදී ඔහු ඇදහිලිවන්තව මිය ගියේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන නිසැකකමක් ඇතුවයි.

[26වන පිටුවේ පින්තූරය]

අපේ විවාහයෙන් ටික කලකට පසු

[26වන පිටුවේ පින්තූරය]

එඩ්වඩ් එක්ක 1940 ගණන්වල මුල් කාලයේදී

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1947දී බර්නෝවල සමුළුව නිවේදනය කරමින්