Skip to content

පටුනට යන්න

නායකයා වීමට සුදුසුම තැනැත්තා කවුද?

නායකයා වීමට සුදුසුම තැනැත්තා කවුද?

නායකයා වීමට සුදුසුම තැනැත්තා කවුද?

වර්ෂ 1940දී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට නව නායකයෙකුව තෝරා පත් කරගැනීමේ හදිසි අවශ්‍යතාවක් පැනනැඟුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට 77 වියේ පසු වූ ඩේවිඩ් ලොයිඩ් ජොර්ජ් සවන් දෙමින් සිටියා. ඔහු පළමුවන ලෝක මහා යුධ සමයේදී බ්‍රිතාන්‍යය ජයග්‍රහණය කරා ගෙන ගිය නායකයෙක්. ඒ වගේම වසර ගණනාවක් පුරා ඔහු දේශපාලන ජීවිතයේ ලත් අද්දැකීම් නිසා මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය විමසුමට ලක් කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබුණා. මැයි මස අටවන දින පාර්ලිමේන්තුවේ කළ කතාවකදී ඔහු මෙසේ කියා සිටියා. “හොඳ නායකත්වයක් ඇත්නම්, ආණ්ඩුව විසින් කිරීමට බලාපොරොත්තු වන දේ පැහැදිලිව පෙන්වා දෙනවා නම්, ඒ වගේම ආණ්ඩුවේ පෙරමුණ ගන්න අය ජනතාවගේ යහපත උදෙසා උපරිමය කරනවා කියා විශ්වාසයක් තිබෙනවා නම් මහජනයා තම ජීවිතය වුණත් දෙන්න ලෑස්තියි.”

ලොයිඩ් ජොර්ජ් පැවසූ දෙයින් ජනතාව තම නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා පැහැදිලි වෙනවා. එනම්, දක්ෂ ලෙස නායකත්වය හෙබවීමත් ජනතාව මුහුණ දෙන සෑම ගැටලුවකටම විසඳුමක් ගෙන ඒමට ඔවුන් විසින් අවංකව වෑයම් කිරීමත් අපේක්ෂා කරනවා. ඡන්ද ව්‍යාපාර කටයුතුවල නියැලෙන පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් පළ කරන්නේ මෙවන් අදහසක්. “මිනිසුන් ජනාධිපති කෙනෙකුට ඡන්දය දෙනකොට, ඔවුන් ඇත්තටම ඔහුගේ අතට තම ජීවිතය, තම අනාගතය, තම දරුවන්ගේ අනාගතය භාර දෙනවා.” එවන් විශ්වාසයක් රැකගැනීම භාරදූර කටයුත්තක්. ඇයි එසේ පවසන්නේ?

අපගේ ලෝකය විසඳුම් නැති ප්‍රශ්නවලින් පිරිලා. අද කාලයේ තිබෙන අපරාධ, යුද්ධ මුළුමනින්ම නවත්වන්න පුළුවන් මොන ජගතාටද? හැම මිනිසෙකුටම කුසට හරි හැටි ආහාරයක්, බොන්න පිරිසිදු වතුර ටිකක්, සෞඛ්‍ය පහසුකම් දෙන්නට තරම් හිතේ තෙතමනයක්, වත්කමක් තියෙන්නේ කාටද? පරිසරය සුරැකීමට හා නැවත නඟා සිටුවන්නට දැනුම් තේරුමක් හා වුවමනාවක් තිබෙන්නේ මොන නායකයාටද? හැම මිනිසෙකුටම සතුටෙන් පිරි දිගු කල් ජීවිතයක් දෙන්න තරම් හැකියාවක් සහ බලයක් තිබෙන්නේ කාටද?

මිනිසුන්ට නම් බැහැ

සමහර නායකයන් යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල නෙළා තිබෙන බව ඇත්ත. ඒත් එය ටික කාලයකට විතරයි. ඊළඟට එන නායකයා කවුද? මෙතෙක් ජීවත්ව ඇති දක්ෂ නායකයන් අතුරින් එක් අයෙක් වන පුරාණ ඊශ්‍රායෙලයේ සිටි සලමොන් රජ එම ප්‍රශ්නය ගැන කල්පනා කළා. “මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැනම මම කලකිරුණෙමි. ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේදැයි කියන්නට දන්නේ කවරෙක්ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙයම ඔහු සන්තක වනු ඇත. මෙයද නිස්සාර දෙයකි.”—දේශනාකාරයා [ධර්මදේශකයා] 2:18, 19, නව අනුවාදය.

ඔහුට පසුව එන තැනැත්තා ඔහු අත තැබූ කාර්යයන් ඉදිරියට කරගෙන යයිද නැතහොත් එය අතරමඟ නවතා දමයිද කියා සලමොන් දැන සිටියේ නැහැ. එක් නායකයෙක් යන විට තවත් නායකයෙකුව පත්වීම සලමොන්ට පෙනුණේ “නිස්සාර” දෙයක් හැටියටයි. වෙනත් පරිවර්තනවල මෙම ක්‍රියාව “නිෂ්ඵල” නැතහොත් “තේරුමක් නැති දෙයක්” හැටියට දක්වා තිබෙනවා.

සමහර අවස්ථාවල නව නායකයෙකුව පත් කරගැනීමට ප්‍රචණ්ඩත්වය යොදාගෙන තිබෙනවා. දක්ෂ නායකයන්ව පවා ඔවුන් කාර්යාලයේ සේවය කරමින් සිටින විට මරා දමා තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ගරුත්වයකින් සලකන ඒබ්‍රහැම් ලින්කන් ශ්‍රාවක පිරිසක් අමතා එක් අවස්ථාවක පැවසුවේ මෙවැන්නක්. “වැදගත් කටයුත්තක් සඳහා මාව කෙටි කාලයකට පත් කර තිබෙනවා. ඔබ ඉදිරිපිට මට භාර දුන් කටයුත්ත ඉටු කරන්න පුළුවන් වන්නේ ඉතාමත් ස්වල්ප කාලයකට විතරයි.” ඔහු සේවය කළේ කෙටි කාලයකට. ඔහු ජනතාවට කොතරම් හොඳ සේවයක් කළද තවත් බොහෝ දේ කිරීමට ආශාවක් තිබුණද ජනාධිපති ලින්කන්ට ඔහුගේ රට පාලනය කිරීමට හැකි වූයේ අවුරුදු හතරක තරම් කෙටි කාලයකට පමණයි. ඔහු දෙවෙනි වරට තේරී පත් වුණද නව නායකයෙකුව පත් කරගැනීමේ අවශ්‍යතාවක් තිබූ කෙනෙකු ඔහුව ඝාතනය කළා.

දක්ෂ නායකයන්ට පවා තම අනාගතය ගැන ස්ථිරභාවයක් නැහැ. එහෙමනම් ඔබේ අනාගතය ඔවුන්ගේ අතේ තැබිය යුතුද? බයිබලයේ මෙහෙම කියා තිබෙනවා. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න. ඔහුගේ හුස්ම නික්ම යයි. ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.” නව අනුවාදය නමැති බයිබල් පරිවර්තනයේ හතරවන පදයේ අවසාන කොටස දක්වා තිබෙන්නේ මෙහෙමයි. “එදිනම ඔහුගේ යෝජනා සුන් වී යයි.”—ගීතාවලිය 146:3, 4.

මිනිස් නායකයන් කෙරෙහි විශ්වාසය තබන්න එපාය යන අවවාදය පිළිගැනීමට අමාරු කාරණයක් වෙන්න පුළුවන්. ඒත් කවමදාකවත් මිනිසාට දක්ෂ, දිගු කලක් පාලනයේ රැඳී සිටින නායකයෙකුගේ මඟ පෙන්වීම ලැබෙන්නේ නැති වගක් බයිබලයේ සඳහන් වී නැහැ. යෙසායා 32:1හි සඳහන්ව ඇත්තේ “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය” යනුවෙන්. මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ‘රජෙකුව’ එනම් නායකයෙකුව පත් කර තිබෙනවා. ඔහු ඉතාමත් ඉක්මනින් පොළොවේ පාලනය භාරගන්නවා. කවුද ඒ නායකයා? බයිබල් අනාවැකිවල ඔහුව හඳුන්වා දෙනවා.

නායකත්වය සඳහා සුදුසුම තැනැත්තා

අවුරුදු දෙදහකට පෙර දේවදූතයෙක් මරියා නමැති තරුණ යුදෙව් කාන්තාවකට මෙසේ පැවසුවා. “බලන්න! ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” (ලූක් 1:31-33) බයිබල් අනාවැකිවල සඳහන් එම රජ හෙවත් නායකයා තමයි යේසුස්.

ආගමික චිත්‍රවල හා සිතුවම්වල බොහෝවිට යේසුස්ව චිත්‍රයට නඟා තිබෙන්නේ කුඩා ළදරුවෙක් හැටියටයි. එහෙමත් නැත්නම් මනා ශරීර ශක්තියක් නැති ඈලි මෑලි දුබලයෙක් හෝ ඕනෑම දෙයකට හිස නමන තාපසයෙක් හැටියට. මෙවැනි පින්තූරු දකිද්දී ඔහු නායකයෙකු වීමට සුදුසුයි කියා සිතෙන්නේ නැහැ. නමුත් බයිබලය තුළ යේසුස්ගේ සැබෑ පෞද්ගලිකත්වය විස්තර කර තිබෙනවා. එහි විස්තර කරන්නේ ඔහු මූලිකත්වය ගෙන උද්‍යෝගයෙන් කටයුතු කළ, ක්‍රියාශීලී, මේරූ පුද්ගලයෙක් බවයි. නායකයෙකුට අවශ්‍ය කරන වෙනත් සුදුසුකම්ද ඔහුට තිබෙනවා. (ලූක් 2:52) පහත දැක්වෙන්නේ ඔහුගේ සුවිශේෂී පෞද්ගලිකත්වයේ අංග කිහිපයක්.

තම විශ්වාසවන්ත ස්ථාවරයෙන් ඉවත් වුණේ නැහැ. අවංක, නිර්දෝෂ පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධව සිටි අතර තමන්ට විරුද්ධව යම් චෝදනාවක් තිබේ නම් ඉදිරිපත් කරන්න කියා ඔහුගේ සතුරන්ට අභියෝග කළා. නමුත් චෝදනා කරන්න ඔවුන්ට කිසිවක් තිබුණේ නැහැ. (යොහන් 8:46) බොරුවෙන් හා වංචාවෙන් තොර ඔහුගේ ඉගැන්වීම් බොහෝ අවංක අයට ඔහුගේ අනුගාමිකයන් වීමට උපකාර කළා.—යොහන් 7:46; 8:28-30; 12:19.

යේසුස් කැප වී සිටියේ දෙවි වෙනුවෙන්මයි. දෙවි තමන්ට දුන් රාජකාරිය අවසන් කිරීමට ඔහු තුළ විශාල අදිටනක් තිබූ නිසා කිසි මිනිසෙකුට හෝ භූතයෙකුට ඔහුගේ වැඩකටයුතුවලට වැට කඩුලු බඳින්න බැරි වුණා. ඇතමුන් ජීවිතයට හානි කරන්න මාන බැලුවත් ඔහු එයට භය වුණේ නැහැ. (ලූක් 4:28-30) ඔහු වෙහෙස, කුසගින්න බාධාවක් කරගත්තේ නැහැ. (යොහන් 4:5-16, 31-34) ඔහුගේ මිතුරන් ඔහුව අත්හැර ගියත් ඔහු තම පරමාර්ථය අත්හැරියේ නැහැ.—මතෙව් 26:55, 56; යොහන් 18:3-9.

මිනිසුන් විඳි වේදනාව යේසුස්ට දැනුණා. ඔහු කුසගින්නෙන් පෙළුණු අයට කන්න දුන්නා. (යොහන් 6:10, 11) ඔහු දුකෙන් සිටි අයව සැනසුවා. (ලූක් 7:11-15) අන්ධයන්ට පෙනීම ලබා දුන්නා. බිහිරන්ට ඇසීම ලබා දුන්නා. ලෙඩින් සිටි අයට සුවය ලබා දුන්නා. (මතෙව් 12:22; ලූක් 8:43-48; යොහන් 9:1-6) වෙහෙස මහන්සි වී වැඩ කළ තම ප්‍රේරිතයන්ව දිරිගැන්වුවා. (යොහන් 13-17, පරිච්ඡේද) තම බැටළුවන් රැකබලා ගන්නා “උතුම් එඬේරා” ඔහු බව ඔප්පු කළා.—යොහන් 10:11-14.

වෙහෙස මහන්සි වී වැඩ කරන්න කැමැත්තක් දැක්වුවා. ඔහු තම ප්‍රේරිතයන්ගේ පාද සේදුවා. එසේ කළේ වැදගත් පාඩමක් උගන්වන්න. (යොහන් 13:4-15) ඔහු ඊශ්‍රායෙලයේ දූවිලි මංමාවත් පුරා ඇවිදිමින් ශුභාරංචිය දේශනා කළා. (ලූක් 8:1) “පාළු තැනක” විවේකයක් ගන්න ගිය විට පවා ඔහුගෙන් ඉගෙනගැනීමට ආ පිරිසට උපදෙස් ලබා දීමට මැළිකමක් දැක්වූයේ නැහැ. (මාක් 6:30-34) මේ අයුරින් ඔහු කඩිසරකම පිළිබඳව සියලු ක්‍රිස්තියානීන්ට හොඳ ආදර්ශයක් තැබුවා.—1 යොහන් 2:6.

යේසුස් තම රාජකාරිය අවසන් කර පොළොවෙන් සමුගත්තා. ඔහුගේ විශ්වාසවන්තකම වෙනුවෙන් යෙහෝවා දෙවි ස්වර්ගයේදී ඔහුට රජකම හා අමරණීයභාවය දානය කළා. නැවත නැඟිටින ලද යේසුස් ගැන බයිබලයේ මෙසේ සඳහන්ව තිබෙනවා. “මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස් තවත් මිය යන්නේ නැති බව අපි දනිමු. මරණය ඔහු කෙරෙහි තවත් බලපවත්වන්නේද නැත.” (රෝම 6:9) ඔහු මිනිස් වර්ගයා සඳහා සුදුසුම නායකයා කියා ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියාගන්න පුළුවන්. යේසුස් පොළොවේ පාලනය භාරගත් පසු වෙනත් කෙනෙකුට එය භාර දීමට අවශ්‍ය නැහැ. නායකත්වය වෙනස් කරන්න කිසිම වුවමනාවක් නැහැ. ඔහු රාජකාරියේ යෙදී සිටින විට කිසිවෙකු පැමිණ ඔහුව මරා දමන්නේ නැහැ. සුදුසුකම් නැති අදක්ෂ නායකයෙක් පැමිණ ඔහුගේ වෑයම් නවතා දමන්නේද නැහැ. ඔහු මිනිස් වර්ගයාගේ යහපත උදෙසා මොනවාද කරන්නේ? දැන් තිබෙන ප්‍රශ්නය එයයි.

මෙම නව නායකයාගේ ඉදිරි සැලසුම්

ගීතාවලිය පොතේ 72වන ගීතිකාවේ පරිපූර්ණ වූ මෙම අමරණීය රජ පාලනය කරන ආකාරය පිළිබඳ අනාවැකි පළ කර තිබෙනවා. ගීතා 72 හත්වන හා අටවන පදවල අපට කියන්නේ, “ඔහුගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සපල වන්නේය. සඳ නැති වන තෙක් බොහෝ සමාදානයද වන්නේය. ඔහු මුහුදෙන් මුහුදටත් ගංගාව පටන් පොළොවේ කෙළවරටත් අධිපතිකම් කරන්නේය.” ඔහුගේ ධර්මිෂ්ඨ පාලනය යටතේ පොළොවේ වැසියන් සදාකාලයටම සුරක්ෂිතව සිටිනවා. ඔහු සෑම අවි ආයුධයක්ම විනාශ කර දමයි. ගැටුම්වලට තුඩු දෙන ආකල්ප පවා මිනිසාගේ හදවතින් උදුරා දමයි. තම අසල්වාසීන් වෙත නපුරු සිංහයන් මෙන් කඩා පනින මිනිසුන් තම ස්වභාවය වෙනස් කරගනියි. (යෙසායා 11:1-9) පොළොව පුරා රජයන්නේ සාමයයි.

ගීතාවලිය 72වන පරිච්ඡේදයේ 12වන පදයේ සිට 14වන පදය දක්වා මෙසේ කියවීමට තිබෙනවා. “ඔහු මොරගසන දිලින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය; දිලිඳුන්ගේ ආත්මයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ආත්මය පීඩාව හා බලාත්කාරකමෙන් මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” යේසුස් ක්‍රිස්තුස් රජ ලෙස පාලනය කරන විට දිලිඳු, අසරණ, පීඩා විඳින අය ප්‍රීතිමත් එක මිනිස් පවුලක සාමාජිකයන් මෙන් එකට ජීවත් වෙයි. ඔවුන්ගේ ජීවිතයේ තිබෙන්නේ ප්‍රීතිය මිස බලාපොරොත්තු කඩවීමෙන් ඇති වන දුක නොවෙයි.—යෙසායා 35:10.

දහසයවන පදයේ පොරොන්දුව මෙයයි. “පොළොවේ කඳු මුදුනේ බොහෝ ශස්‍ය වන්නේය.” අද ලොව පුරා සිටින හුඟදෙනෙකුගේ සමීපතම මිතුරා වී තිබෙන්නේ කුසගින්නයි. දේශපාලන ගැටුම් සහ තම මඩිය තර කරගැනීමේ ආශාව නිසා සාධාරණ ලෙස ආහාර බෙදාහැරීමක් සිදු වන්නේ නැහැ. මේ නිසා දරුවන් ඇතුළු දහස් ගණනක් දෙනා කුසගින්නේ මිය යනවා. නමුත්, යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ මෙම ප්‍රශ්නය තුරන් වෙයි. පොළොව සශ්‍රීක වී සරු පලදාවක් නිපදවයි. හැම මිනිසෙක්ටම බඩ කට පිරෙන්න කන්න ලැබෙයි.

දක්ෂ නායකත්වයක් යටතේ එම ආශීර්වාද භුක්ති විඳින්න ඔබ කැමතිද? එසේනම්, පොළොවේ සෑම දෙයක්ම භාරගැනීමට සිටින නායකයා ගැන ඉගෙනගන්න කියා අප ඔබට උනන්දු කරන්න ආසයි. ඒ සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔබට උපකාරය පිරිනමන්න සතුටුයි. “සියොන් නම් මාගේ ශුද්ධ හෙළ මතුයෙහි මාගේ රජ්ජුරුවන් සිටෙව්වෙමි.” යෙහෝවා දෙවි තම පුත්‍රයා ගැන එසේ පවසනවා. ඒ නිසා ඔබේ බලාපොරොත්තු කවමදාකවත් සුන් නොවන බව නම් ස්ථිරයි.—ගීතාවලිය 2:6.

[5වන පිටුවේ කොටුව]

සැණෙකින් බලයෙන් පහවූවෝ

සාමාන්‍යයෙන් නායකයෙක් තම බලය යටතේ සිටින ජනතාවට යම් තාක් දුරට සාමයක් හා සුරක්ෂිත ජීවන තත්වයක් ලබා දෙනවා නම් ජනතාවගේ ප්‍රසාදය සහ සහයෝගය එම නායකයා දිනාගන්නවා. ඒත් යම් හේතුවක් නිසා ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳී ගියොත් වෙනත් කෙනෙක් ඔහුගේ බලය තම අතට ගනියි. පහත දැක්වෙන්නේ දක්ෂ ලෙස නායකත්වය හෙබවූ අය පවා බලයෙන් පහවීමට හේතු වූ කාරණා කිහිපයක්.

පහත් ජීවන තත්වය. දහඅටවන ශතවර්ෂය අගභාගයේදී පමණ ප්‍රංශයේ වැසියන් අනවශ්‍ය බදු බරකින් හා ආහාර හිඟයකින් මිරිකී සිටියා. මෙම තත්වය ප්‍රංශ විප්ලවයට මඟ පෑදූ අතර 1793දී 16වන ලුවී රජගේ හිස ගසා දැම්මා.

යුද්ධ. පළමුවෙනි ලෝක මහ යුද්ධය, ඉතිහාසයේ දේශපාලන කරළියේ වැජඹෙමින් සිටි බලවත් අධිරාජ්‍යයන්ගේ පාලන ක්‍රමයන්ට නැවතීමේ තිත දැමුවා. මීට උදාහරණයක් පෙන්වනවා නම්, 1917දී යුද්ධය නිසා රුසියාවේ සාන්ත පීටස්බර්ග්හි ආහාර හිඟයක් ඇති වූ අතර එය පෙබරවාරි විප්ලවය ඇතිවීමට මඟ පෑදුවා. මෙම විප්ලවය, දෙවන නිකලස් රජුව රජකමින් පහ කර කොමියුනිස්ට් පාලනයක් ඇති කළා. වර්ෂ 1918දී ජර්මනියට සාමය අවශ්‍ය වුණත් රටේ පැවති පාලන ක්‍රමය වෙනස් කරන තුරු මිත්‍ර රාජ්‍යයන් තම සටන අත්හැරියේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මනියේ අධිරාජයා වන දෙවන විල්හෙල්ම්ව නෙදර්ලන්තයට පිටුවහල් කළා.

වෙනස් ආණ්ඩු ක්‍රමයක් සඳහා ඇති ආශාව. වර්ෂ 1989දී කොමියුනිස්ට් පාලන ක්‍රමය බිඳ වැටුණා. ජනතාව කොමියුනිස්ට් ක්‍රමය ප්‍රතික්ෂේප කර වෙනස් ආණ්ඩු ක්‍රමවලට වැඩි කැමැත්තක් දැක්වූ විට පර්වත මෙන් පෙනෙන්නට තිබූ පාලන ක්‍රම පවා සැණෙකින් සුනුවිසුනු වී ගියා.

[7වන පිටුවේ පින්තූර]

යේසුස් කුසගින්නේ සිටි අයට කන්න දුන්නා. ලෙඩුන්ව සුව කළා. සෑම ක්‍රිස්තියානියෙකුටම හොඳ ආදර්ශයක්ද තැබුවා

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ලොයිඩ් ජොර්ජ්: Photo by Kurt Hutton/Picture Post/Getty Images