Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානීන් කෑදරකම සැලකිය යුත්තේ කෙසේද?

දෙවිට සේවය කරන කෙනෙක් බේබද්දෙක් හා කෑදර පුද්ගලයෙක් විය නොහැකියි. ඊට හේතුව දේවවචනය එවැනි පුරුදු හෙළා දකින නිසයි. එමනිසා නිතරම කෑමට කෑදරකමක් දක්වන පුද්ගලයෙකුව සහ බේබද්දෙකුව ක්‍රිස්තියානීන් සලකන්නේ එකම තලයේ සිටින දෙදෙනෙකු ලෙසයි. බේබද්දෙකු හෝ කෑදර පුද්ගලයෙකු ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු විය නොහැකියි.

හිතෝපදේශ 23:20, 21හි පවසන්නේ මෙසේයි. “බොහෝ මිදි යුෂ බොන්නන් සහ ගිජු ලෙස මස් කන්නන්ට එකතු නොවන්න; මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිලිඳුකමට පැමිණෙන්නෝය; නිදිමතද මනුෂ්‍යයෙකු කඩමලුවලින් පොරවන්නේය.” ද්විතීය කතාව 21:20හි සඳහන් ‘මුරණ්ඩු හා කැරලිකාර’ පුද්ගලයෙකුට මෝසෙස්ගේ නීතිය යටතේ ලැබිය යුතු දඬුවම නම් මරණයයි. තවද ඒ පදයට අනුව එම කැරලිකාර හා පසුතැවිලි නොවන පුද්ගලයා තුළ දක්නට තිබූ ලක්ෂණ දෙකක් නම් ‘නාස්තිකාරකම [හෙවත් කෑදරකම, NW] හා බේබදුකමයි.’ ඉපැරණි ඊශ්‍රායෙලයෙහි දෙවිට සේවය කිරීමට කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකු තුළ නොතිබිය යුතු පුරුද්දක් ලෙස කෑදරකම ගණන් ගැනුණු බව පැහැදිලියි.

කෑදරයෙකු කියන්නේ කාටද? මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල පවසන්නේ කුමක්ද? කෑදරයෙකු යනු “ආහාර පානවලට නිරතුරුවම දැඩි ආශාවක් දක්වන්නෙක්.” තවද කෑදරකම යනු ගිජුකමේ එක් අංග ලක්ෂණයක්. මේ ගැන දේවවචනයේ පවසන්නේ ‘ගිජු අය’ දේවරාජ්‍යය උරුම කර නොගන්නා බවයි. (1 කොරින්ති 6:9, 10; ෆිලිප්පි 3:18, 19; 1 පේතෘස් 4:3) තවද, ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට “මාංසයේ ක්‍රියා” ගැන අනතුරු අඟවන විට “ඔහු බේබදුකම්, ඝෝෂාකාරී උත්සව යනාදි දේවල්” ගැන සඳහන් කළේය. (ගලාති 5:19-21) පමණ ඉක්මවා කෑම බොහෝවිට බේබදුකම හා ඝෝෂාකාරී උත්සව හා සම්බන්ධයි. තවද පාවුල් “යනාදි දේවල්” කියා සඳහන් කරද්දී එයට අනිවාර්යයෙන්ම කෑදරකමත් ඇතුළත් විය. එමෙන්ම කෑමට ඉතා කෑදරකමක් දක්වන බවට යම් ක්‍රිස්තියානියෙකුව ප්‍රචලිත වී ඇත්නම් හා ඔහු මුරණ්ඩු ලෙස එම පුරුද්ද අත්හැරීමට අකමැති වේ නම්, වෙනත් ‘මාංසයේ ක්‍රියා’ සම්බන්ධයෙන් ගන්නා පියවරම ගත යුතුය. එනම් ඔහුව සභාවෙන් ඉවත් කළ යුතුය.—1 කොරින්ති 5:11, 13. *

දේවවචනයේ බේබද්දෙකුව හා කෑදර පුද්ගලයෙකුව සලකන්නේ එකම තලයේ වුවද, බේබද්දෙකුව පහසුවෙන් හඳුනාගත හැකි වුවත් කෑදර කෙනෙකුව හඳුනාගැනීම පහසු නැත. බේබද්දෙකුගේ ගතිලක්ෂණ සාමාන්‍යයෙන් දැකගත හැකියි. එහෙත් කෙනෙක් නිතරම කෑමට කෑදරකමක් දක්වනවාද කියා දැනගැනීම අපහසුයි. ඊට හේතුව ඔහුගේ පිටත පෙනුමෙන් එය වටහාගත නොහැකි නිසයි. එමනිසා මෙවැනි අවධානයක් දිය යුතු තත්වයක් හැසිරවීමේදී සභාවේ වැඩිමහල්ලන් ඒ ගැන ඉතා සැලකිලිමත් වීම හා විචාර බුද්ධිය පාවිච්චි කිරීම අවශ්‍ය කෙරේ.

උදාහරණයක් ලෙස තරබාරුකම කෑදරකමේ ලක්ෂණයක් විය හැකියි. නමුත් සෑමවිටම මෙය සත්‍යය නොවේ. සමහරවිට කෙනෙකුගේ බර අධික වන්නේ අසනීප තත්වයක් නිසා විය හැකියි. අනික් අතට කෙනෙක් තරබාරු වන්නේ ආරෙට විය හැකියි. එමෙන්ම අප මතක තබාගත යුතු තවත් වැදගත් කාරණයක් නම් තරබාරුකම ශාරීරික තත්වයක් වුවත් කෑදරකම මානසික ස්වභාවයක් බවයි. තරබාරුකම යනු ශරීරයේ මේදය අධික ලෙස තැන්පත් වීම නිසා ඇති වන තත්වයකි. නමුත් කෑදරකම යනු ගිජුකම හෝ ආහාර පානවලට දැඩි ආශාවක් දැක්වීමයි. කෙනෙක් කෑදරද කියා තීරණය කරන්නේ ඔහුගේ ශරීරයේ ප්‍රමාණය අනුව නොව ඔහු කෑම කෙරෙහි දක්වන ආකල්පය අනුවයි. යම් කෙනෙක් සමහරවිට සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරක් හෝ සිහින් සිරුරක් ඇති කෙනෙක් වුවද කෑමට කෑදර කෙනෙක් විය හැකියි. තවද කෙනෙකුට තිබිය යුතු නියමිත බර හෝ හැඩය සම්බන්ධයෙන් දරන ආකල්පය රටින් රටට වෙනස්ය.

කෑදර කෙනෙකුව හඳුනාගන්නේ කෙසේද? කෑදර පුද්ගලයෙකුට නිතරම තමාව පාලනය කරගැනීමට අපහසුයි. තවද ඔහු තමාට දැඩි අපහසුතාවක් දැනෙන තරමටම හෝ අසනීප වන තරමටම පමණ ඉක්මවා ආහාර ගනියි. ඔහුගේ ආත්ම දමනයේ ඌනතාවෙන් පෙන්නුම් කරන්නේ ඔහු යෙහෝවා දෙවිගේ නමට ගෙනෙන කැළල ගැන හෝ දෙවිගේ සෙනඟ දරන හොඳ නාමයට ඇති වන පලුද්ද ගැන කිසි සැලකිල්ලක් නොදක්වන බවයි. (1 කොරින්ති 10:31) අනිත් අතට යම් කෙනෙක් ඉඳ හිට ටිකක් වැඩිපුර ආහාර ගැනීම නිසා ඔහුව ‘ගිජු කෙනෙකු [හෙවත් කෑදරයෙකු]’ ලෙස සැලකිය නොහැක. (එෆීස 5:5) නමුත් ගලාති 5:5 පෙන්වා දී ඇති පරිදි එවැනි ක්‍රිස්තියානියෙකුට උපකාර අවශ්‍ය විය හැකියි. පාවුල් මෙසේ පැවසුවේය. “සහෝදරයෙනි, යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගත්තොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න.”

පමණ ඉක්මවා ආහාර ගැනීම සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති උපදෙස විශේෂයෙන්ම අද කාලයට යෝග්‍ය වන්නේ මන්ද? එයට හේතුව යේසුස්ගේ මේ අනතුරු ඇඟවීමයි. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව උගුලක් මෙන් පැමිණෙන්නේය.” (ලූක් 21:34, 35) ආත්මික ජීවිත රටාවට හානියක් සිදු විය හැකි දේවල්වලින් ආරක්ෂා වන බව පෙන්නුම් කළ හැකි එක් ක්‍රමයක් වන්නේ නිතරම පමණ ඉක්මවා කෑමෙන් වැළකී සිටීමයි.

පමණ දැන ක්‍රියා කිරීම ක්‍රිස්තියානියෙකුට තිබිය යුතු හොඳ ගුණාංගයකි. (1 තිමෝති 3:2,11) එමනිසා කෑම බීම සම්බන්ධයෙන් පමණ දැන ක්‍රියා කිරීමට දී ඇති බයිබල් උපදෙස පිළිපැදීමට වුවමනාවෙන් වෑයම් කරන අයට යෙහෝවා අනිවාර්යයෙන්ම උපකාර කරයි.—හෙබ්‍රෙව් 4:16.

[පාදසටහන]

^ 5 ඡේ. වර්ෂ 1986 මැයි 1වෙනි දා මුරටැඹ කලාපයේ පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” (සිංහලෙන් නොමැත) නමැති කොටස බලන්න.