Skip to content

පටුනට යන්න

පීඩා කරනු ලබන නමුත් සන්තෝෂයෙන් සිටින්නෝ

පීඩා කරනු ලබන නමුත් සන්තෝෂයෙන් සිටින්නෝ

පීඩා කරනු ලබන නමුත් සන්තෝෂයෙන් සිටින්නෝ

“මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය.”—මතෙව් 5:11.

1. සන්තෝෂය සහ පීඩා විඳීම සම්බන්ධයෙන් යේසුස් සිය අනුගාමිකයන්ට දුන්නේ කිනම් සහතිකයක්ද?

යෙසුස් සිය ප්‍රේරිතයන්ව රාජ්‍යය ගැන දේශනා කිරීමට යැවූ පළමු අවස්ථාවේදීම, පීඩාවලට මුහුණ දෙන්නට සිදු වන බවට අනතුරු ඇඟවූයේය. ඔහු ඔවුන්ට පැවසුවේ මෙසේයි. “මාගේ නාමය නිසා සියල්ලෝ ඔබට වෛර කරන්නෝය.” (මතෙව් 10:5-18, 22) එහෙත්, මීට පෙර, තම කන්ද උඩ දේශනාවේදී, ඔහු සිය ප්‍රේරිතයන්ට යම් දෙයක් සහතික කළේය. එය නම්, එවන් පීඩාවලට මුහුණ දෙන්නට සිදු වුවත්, එය ඔවුන්ගේ ඇතුළාන්ත සන්තෝෂය නැති වී යෑමට අනිවාර්යයෙන්ම හේතුවක් නොවන බවයි. ඇත්තෙන්ම, පීඩා විඳින ක්‍රිස්තියානීන් සන්තෝෂයෙන් සිටිනු ඇති බවද යේසුස් පැවසුවේය. එසේනම්, පීඩා විඳීමෙන් සන්තෝෂය ලැබෙන්නේ කෙසේද?

ධර්මිෂ්ඨකමේ නාමයෙන් දුක් විඳීම

2. යේසුස් සහ ප්‍රේරිත පේතෘස් කී පරිදි, කෙනෙකුට සන්තෝෂය ලැබෙන්නේ කිනම් ආකාරයේ දුක් විඳීමෙන්ද?

2 යේසුස් පැවසූ ආකාරයට සන්තෝෂයට තුඩු දෙන අටවෙනි කරුණ මෙයයි. “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.” (මතෙව් 5:10) යමෙක් තම ජීවිතයේ දුක් කරදර විඳින නිසාම ඔහු ප්‍රශංසා ලැබිය යුත්තෙක් නොවේය. ප්‍රේරිත පේතෘස් ලීවේ මෙසේයි. “ඔබ පව් කර ඊට පහර ලබන කල විඳදරාගන්නහු නම්, එහි ඇති වටිනාකම කුමක්ද? නමුත් ඔබ යහපත කර ඒ නිසා දුක් විඳින කල විඳදරාගන්නහු නම්, එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.” ඔහු තවදුරටත් සඳහන් කළේ මෙසේයි. “එහෙත්, ඔබෙන් කිසිවෙක් මිනීමරුවෙකු හෝ සොරෙකු හෝ අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණා අනිසි ලෙස හසුරුවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳීවා. නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු ලෙස දුක් විඳින්නේ නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමයෙන් දිගටම දෙවිව මහිමයට පමුණුවාවා!” (1 පේතෘස් 2:20; 4:15, 16) යේසුස් කී පරිදි, දුක් විඳීමෙන් සන්තෝෂය ලැබෙන්නේ ධර්මිෂ්ඨකමේ නාමයෙන් විඳදරාගත් විටය.

3. (අ) ධර්මිෂ්ඨකමේ නාමයෙන් දුක් විඳිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මුල් ක්‍රිස්තියානීන්ට විඳින්නට සිදු වූ පීඩා ඔවුන්ට බලපෑවේ කෙලෙසද?

3 සැබෑ ධර්මිෂ්ඨකම මනිනු ලබන්නේ දේවකැමැත්තට අනුකූලව දෙවිගේ නීති සහ අණ පනත්වලට කීකරු වීමෙනි. එම නිසා, ධර්මිෂ්ඨකමේ නාමයෙන් දුක් විඳීම කීමෙන් අදහස් කරන්නේ, යමෙක් දෙවිගේ ප්‍රමිති හෝ නීති උල්ලංගනය කිරීමට ඇති වන පීඩනයට එරෙහි වීම නිසා විඳීමට සිදු වන දුක් ගැහැටයි. ප්‍රේරිතයන් යුදෙව් නායකයන්ගේ අතින් පීඩා වින්දේ යේසුස්ගේ නාමයෙන් දේශනා කිරීම නැවැත්වීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාය. (ක්‍රියා 4:18-20; 5:27-29, 40) මේ නිසා ඔවුන්ගේ ප්‍රීතිය නැති වී ගියාද? නැතහොත් ඔවුන් දේශනා කිරීම නතර කළාද? නැත. කොහෙත්ම නැත! “එවිට ඔවුහු, ඔහුගේ නාමය නිසා නින්දා විඳින්න තමුන් වටින්නෝයයි ගණන්ගනු ලැබූ හෙයින් ප්‍රීතියෙන් සැන්හෙඩ්‍රිනයෙන් පිටත්ව ගියෝය. ඉන්පසු ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.” (ක්‍රියා 5:41, 42) මේ පීඩා නිසාවෙන් ඔවුහු ප්‍රීති වූ අතර, දේශනා සේවයට ඔවුන් තුළ තිබූ උද්‍යෝගය අලුත් විය. පසුව, අධිරාජ්‍යයාට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා රෝමවරුන් අතින් මුල් ක්‍රිස්තියානීන්ට පීඩා විඳින්නට සිදු විය.

4. ක්‍රිස්තියානීන් පීඩා විඳීමට ඇතැම් හේතු මොනවාද?

4 යෙහෝවාගේ සාක්ෂිකරුවන් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීම නවත්වා නැති හෙයින්, මෑතකදී ඔවුන්ට පීඩා කරනු ලැබ තිබේ. (මතෙව් 24:14) ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම් තහනම් කරනු ලැබූ අවස්ථාවල, එකට එක් රැස් වෙන ලෙස බයිබලයේ දී තිබෙන නියෝගය උල්ලංගනය කරනවා වෙනුවට, එය පිළිපදින්නේ පීඩාවලට ලක්වීමට සිදු වුවද කමක් නැත යන ආකල්පයෙනි. (හෙබ්‍රෙව් 10:24, 25) ක්‍රිස්තියානීන් ලෙස පක්ෂපාතකම රැකගැනීම නිසා හෝ රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කිරීම නිසා හෝ ඔවුහු පීඩාවලට ලක්ව සිටිති. (යොහන් 17:14; ක්‍රියා 15:28, 29) කෙසේවෙතත්, ධර්මිෂ්ඨකම උදෙසා මෙවන් ස්ථාවරයක් ඇතුව සිටීම නිසාවෙන් අද දින දෙවිගේ ජනයාට මහත් සාමයක් හා සන්තෝෂයක් භුක්ති විඳීමට හැකි වී තිබේ.—1 පේතෘස් 3:14.

ක්‍රිස්තුස් නිසා නින්දා කරනු ලැබීම

5. අද දින යෙහෝවාගේ ජනයාට පීඩා කරනු ලබන්නේ කිනම් මූලික හේතුව නිසාද?

5 සිය කන්ද උඩ දේශනාවේදී යේසුස් සඳහන් කළාවූ, සන්තෝෂයට හේතු වන නවවෙනි දෙයද පීඩා විඳීමට සම්බන්ධ වූවකි. ඔහු මෙසේ පැවසුවේය. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය.” (මතෙව් 5:11) යෙහෝවාගේ ජනයාට පීඩා විඳීමට සිදු වී ඇති මූලිකම හේතුව නම්, ඔවුන් මේ වත්මන් දුෂ්ට සමාජ ක්‍රමයේ කොටසක් නොවීමය. යේසුස් සිය ගෝලයන්ට පැවසුවේ මෙසේයි. “ඔබ ලෝකයේ කොටසක්ව සිටියා නම්, ඔබ ලෝකයට අයිති නිසා ලෝකය ඔබට ඇලුම් වනවා ඇත. නමුත් ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය.” (යොහන් 15:19) ඒ හා සමානව, ප්‍රේරිත පේතෘස් පැවසුවේ මෙසේයි. “ඔබ ඔවුන් සමඟ එක් වී අශිෂ්ටකම නමැති එම පහත් මඩවගුර කරා තවදුරටත් ගමන් නොකරන නිසා, ඔවුහු පුදුම වී ඔබ ගැන නිග්‍රහාත්මක ලෙස කතා කරති.”—1 පේතෘස් 4:4.

6. (අ) අභිෂේක ලත් ඉතිරි කොටසට සහ ඔවුන්ගේ සගයන්ට නින්දා පීඩා කරනු ලබන්නේ මන්ද? (ආ) එවන් නින්දා නිසා අපගේ සන්තෝෂය නැති වී යනවාද?

6 මුල් ක්‍රිස්තියානීන්ට පීඩා විඳින්නට සිදු වූයේ ඔවුන් යේසුස්ගේ නාමයෙන් දේශනා කිරීම නතර නොකළ නිසා බව අපි දැනටමත් වටහාගෙන සිටිමු. ඔබ “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය” යැයි පවසමින් යේසුස් සිය අනුගාමිකයන්ට පැවරුමක් දුන්නේය. (ක්‍රියා 1:8) ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ ඉතිරි කොටස, ‘මහත් සමූහයට’ අයත් සිය පක්ෂපාත මිතුරන්ගේ සහයෝගය ඇතුව එම පැවරුම ඉතා උද්‍යෝගයෙන් ඉටු කර තිබේ. (එළිදරව් 7:9) එම නිසා, සාතන්, “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු ඇගේ වංශයේ [දෙවිගේ සංවිධානයේ ස්වර්ගික කොටස නමැති “ස්ත්‍රියගේ” වංශයේ] ඉතිරි අයට විරුද්ධව යුද්ධ” කරයි. (එළිදරව් 12:9, 17) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි යේසුස්ට, එනම් මිනිස් රාජ්‍යයන් විනාශ කිරීමෙන් පසුව දෙවිගේ නව ලෝකය ගෙනෙන රාජාණ්ඩුවේ වත්මන් රජුට, පක්ෂව සාක්ෂි දරන්නෙමු. (දානියෙල් 2:44; 2 පේතෘස් 3:13) මේ නිසයි අපට නින්දා පීඩා කරනු ලබන්නේ. නමුත් ක්‍රිස්තුස්ගේ නාමය නිසා දුක් විඳීම අපි සතුටක් හැටියට සලකමු.—1 පේතෘස් 4:14.

7, 8. විරුද්ධවාදීන් මුල් ක්‍රිස්තියානීන්ට එරෙහිව කළ බොරු චෝදනා මොනවාද?

7 තවද මිනිසුන් යේසුස්ගේ නාමය නිසා “සියලු ආකාර දුෂ්ට දේ පවසන විට” තම අනුගාමිකයන් ඒ සම්බන්ධයෙන් සන්තෝෂ විය යුතු බව යේසුස් පැවසුවේය. (මතෙව් 5:11) මෙය මුල් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ඇත්තටම සිදු විය. ක්‍රිස්තු වර්ෂ 59 සිට 61 දක්වා කාලය අතරතුරේදී ප්‍රේරිත පාවුල්ව රෝමයේ හිර කරනු ලැබූ විට, යුදෙව් නායකයන් ක්‍රිස්තියානීන් ගැන පැවසුවේ මෙසේයි. “මේ නිකාය ගැන සෑම තැනම විරුද්ධව කතා කරන බව නම් අපි දනිමු.” (ක්‍රියා 28:22) පාවුල් සහ සීලස් “මුළු ලෝකය පෙරළූ මිනිස්සු” හැටියටත් ‘සීසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියා කරන’ බවටත් චෝදනා ලැබූහ.—ක්‍රියා 17:6, 7.

8 රෝම අධිරාජ්‍යය බලයට පත්ව තිබූ කාලයේ විසූ ක්‍රිස්තියානීන් ගැන ලියමින්, ඉතිහාසඥ කේ. එස්. ලටූරෙට් සඳහන් කළේ මෙසේයි. “ඔවුන්ට විරුද්ධව විවිධාකාරයේ චෝදනා එල්ල විය. මිථ්‍යාදෘෂ්ටික මංගල්‍යවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා, ක්‍රිස්තියානීන්ට අදේවවාදීන්යයි ලේබල් ගසන ලදි. පොදු ජන ජීවිතයේදී පැවැත්වුණ මිථ්‍යාදෘෂ්ටික උත්සවවලින් හා පොදු ජනයා විනෝදයට කළ දේවලින් ඔවුන් වැළකී සිටීම නිසා මිනිස් සමාජයේ වෛරක්කාරයන් ලෙසට ඔවුන්ව හංවඩු ගසනු ලැබිණි. . . . ක්‍රිස්තියානි ආගමේ පුරුෂයන් හා ස්ත්‍රීන් රාත්‍රියේදී එකට හමු වී, . . . නොයෙක් ආකාරයේ ලිංගික සංවාසයන්හි නිරත වුණු බවට චෝදනා එල්ල විය. . . . එය [එනම්, ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම] පැවැත්වුණේ ඇදහිලිවන්තයන් සමඟ පමණක් වීම නිසා, ක්‍රිස්තියානීන් නිතරම බිලිඳෙකුව පූජා කළ බවත්, ඒ බිලිඳාගේ ලේ සහ මස් අනුභව කළ බවටත් වූ ගොතන ලද කට කතාවක් පැතිරිණි.” මීට අමතරව, මුල් ක්‍රිස්තියානීන් අධිරාජ්‍යයාට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා රාජ ද්‍රෝහීන් හැටියටද ඔවුන්ට චෝදනාවක් එල්ල විය.

9. පළමු සියවසේ ක්‍රිස්තියානීන් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? අද දින තත්වය කුමක්ද?

9 එවන් බොරු චෝදනා නිසා මුල් ක්‍රිස්තියානීන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීම නැවැත්වූයේ නැත. ක්‍රිස්තු වර්ෂ 60ත් 61ත් කාලයේදී, “ශුභාරංචිය” ‘ලොව පුරා පල දරමින් වර්ධනය වෙමින් තිබෙන’ බවත්, එය ‘අහසින් යට මුළු මැවිල්ලෙහි දේශනා කර’ තිබෙන බවත් පැවසීමට පාවුල්ට හැකි විණි. (කොලොස්සි 1:5, 6, 23) අද දිනත් සිදු වෙන්නේ එයමයි. මුල් ක්‍රිස්තියානීන්ට සිදු වුණාක් මෙන්, අද දිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බොරු චෝදනා එල්ල වේ. එහෙත්, අද රාජ්‍යය පණිවුඩය දේශනා කිරීමේ කටයුත්ත වර්ධනය වන අතර, එය ප්‍රකාශ කරන අයට මහත් සන්තෝෂයක් ලැබේ.

අනාගතවක්තෘවරුන් මෙන් පීඩා විඳීමට සතුටු වෙති

10, 11. (අ) සන්තෝෂයට තුඩු දෙන කාරණා නවය ගැන කතා කරමින් යේසුස් අවසානයට කී දේ කුමක්ද? (ආ) අනාගතවක්තෘවරුන්ට පීඩා කරනු ලැබුවේ මන්ද? උදාහරණ දෙන්න.

10 සන්තෝෂයට තුඩු දෙන නවවෙනි හේතුව ගැන කතා කළ යේසුස් අන්තිමට කීවේ මෙයයි. “ප්‍රීති වෙන්න . . . මන්ද ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.” (මතෙව් 5:12) විශ්වාසය කඩ කළාවූ ඊශ්‍රායෙලිතයන්ට අනතුරු ඇඟවීමට යෙහෝවා අනාගතවක්තෘවරුන්ව යැව්වත්, ඔවුහු ඔවුන්ව පිළිගත්තේ නැති අතර, බොහෝ අවස්ථාවලදී ඔවුන්ට පීඩා කළහ. (යෙරෙමියා 7:25, 26) ප්‍රේරිත පාවුල් මෙම කාරණය ගැන සහතික කළේ මෙසේ ලියමිනි. “මා තව කුමක් කියන්නද? . . . අනාගතවක්තෘවරුන් . . . ඇදහිල්ල මාර්ගයෙන්, . . . සරදම් හා කස පහරවල් පමණක් නොව, බැඳුම් හා සිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය.”—හෙබ්‍රෙව් 11:32-38.

11 දුෂ්ට ආහබ් රජ සහ ඔහුගේ භාර්යාව වූ යෙසබෙල්ගේ පාලන කාලයේදී, යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙකුව කඩුවෙන් මරනු ලැබීය. (1 රාජාවලිය 18:4, 13; 19:10) පසු කාලයකදී අනාගතවක්තෘ යෙරෙමියාව දඬුකඳේ ගසනු ලැබ, පසුව මඩ වළකට බස්සවන ලදි. (යෙරෙමියා 20:1, 2; 38:6) අනාගතවක්තෘ දානියෙල්ව සිංහ ගුහාවට දමනු ලැබිණි. (දානියෙල් 6:16, 17) ක්‍රිස්තියානි යුගයට පෙර විසූ මෙම අනාගතවක්තෘවරුන් සියලුදෙනාටම පීඩා කරනු ලැබුවේ ඔවුන් යෙහෝවාගේ ශුද්ධ නමස්කාරය ගැන කතා කළ නිසයි. අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙකුට යුදෙව් ආගමික නායකයන් විසින් පීඩා කරන ලදි. එම නිසා, යේසුස් ලියන්නන්ව සහ පරිසිවරුන්ව ඇමතුවේ, “අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්” හැටියටයි.—මතෙව් 23:31.

12. පුරාණයේ විසූ අනාගතවක්තෘවරුන් මෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද පීඩා කරනු ලැබීම වරප්‍රසාදයක් හා ගෞරවයක් හැටියට සලකන්නේ මන්ද?

12 අදත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපට බොහෝවිට පීඩා කරනු ලබන්නේ, අප රාජ්‍යයේ ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කරන නිසයි. “බලෙන් මිනිසුන්ව ආගමට හරවාගන්නවා” කියා අපගේ සතුරන් අපට චෝදනා කළත්, අපට පෙර විසූ යෙහෝවාගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ද ඒ හා සමාන විවේචනවලට මුහුණ දුන් බව අපි දනිමු. (යෙරෙමියා 11:21; 20:8, 11) පුරාණයේ ඒ ඇදහිලිවන්ත අනාගතවක්තෘවරුන් දුක් විඳි හේතුව නිසාම දුක් විඳීම වරප්‍රසාදයක් හා ගෞරවයක් හැටියට අපි සලකමු. ශ්‍රාවක යාකොබ් ලීවේ මෙසේයි. “සහෝදරයෙනි, යෙහෝවාගේ නාමයෙන් කතා කළ අනාගතවක්තෘවරුන් නපුර දරාගත් ආකාරයද, ඔවුන්ගේ ඉවසිල්ලද ආදර්ශයක් කොට ගන්න. බලන්න! විඳදරාගත් අය සන්තෝෂවත්යයි අපි ප්‍රකාශ කරන්නෙමු.”—යාකොබ් 5:10, 11.

සන්තෝෂ වීමට ප්‍රබල හේතු

13. (අ) අප පීඩා මගින් අධෛර්යයට පත් නොවන්නේ මන්ද? (ආ) ස්ථිරව සිටීමට අපට හැකියාව ලබා දෙන්නේ කුමකින්ද? මේ මගින් ඔප්පු වන්නේ කුමක්ද?

13 පීඩාවලින් අධෛර්ය වෙනවා වෙනුවට, අප අනාගතවක්තෲන්ගේ, මුල් ක්‍රිස්තියානීන්ගේ මෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අඩිපාරේ ගමන් කරන බව දැනගැනීම අපට සැනසීමට කරුණකි. (1 පේතෘස් 2:21) ශුද්ධ ලියවිල්ලෙන් අප ලබන්නේ විශාල සහනයකි. ප්‍රේරිත පේතෘස්ගේ පහත දැක්වෙන වචන එවැනි සහනයක් ගෙන දෙයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබ අතරේ ඇවිළෙන ගින්න ගැන, අමුතු දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. ක්‍රිස්තුස්ගේ නාමය නිසා ඔබට නින්දා කරනු ලබන්නේ නම්, ඔබ සන්තෝෂවත්හුය. මන්ද තේජසයෙහි ආත්මය, එනම් දෙවිගේ ආත්මය ඔබ කෙරෙහි රඳා පවතින්නේය.” (1 පේතෘස් 4:12, 14) අපට පීඩා විඳදරාගැනීමට හැකි වී තිබෙන්නේ යෙහෝවාගේ ආත්මය අප තුළ තිබෙන නිසාත් අපව ශක්තිමත් කරන නිසාත් බව අපි අද්දැකීමෙන් දනිමු. ශුද්ධාත්මයේ අනුබලය යෙහෝවාගේ ආශීර්වාද අපට තිබෙන බවට සාක්ෂියක් වන අතර, මේ නිසා අපට මහත් සන්තෝෂයක් ලැබේ.—ගීතාවලිය 5:12; ෆිලිප්පි 1:27-29.

14. ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා කරනු ලැබීම නිසා ප්‍රීතිවීමට අපට තිබෙන හේතු මොනවාද?

14 ධර්මිෂ්ඨකමේ නාමයෙන් විරුද්ධවාදිකම්වලට හා පීඩාවලට මුහුණ දීම අපට සන්තෝෂයක් වීමට තවත් හේතුවක් නම්, අප සැබෑ ක්‍රිස්තියානීන් හැටියට දේවභක්තිය ඇතිව ජීවත් වන බව ඒ මගින් සනාථ වීමයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ඇත්තෙන්ම, ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12) අපට එල්ල වන පරීක්ෂා යටතේ අපගේ විශ්වාසවන්තකම රැකගැනීම අපට මහත් සන්තෝෂයකි. මන්දයත් පරීක්ෂා යටතේ අප විශ්වාසවන්තකම රැකගැනීම, සාතන්ගේ අභියෝගයට, එනම් යෙහෝවාගේ මැවිලි ඔහුට සේවය කරන්නේ ආත්මාර්ථකාමී හේතූන් නිසාය යන අභියෝගයට දෙන තවත් පිළිතුරක්ය. (යෝබ් 1:9-11; 2:3, 4) මේ අනුව, යෙහෝවාගේ ධර්මිෂ්ඨ වූ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීමට සුළු වශයෙන් හෝ දායක වීමට ලැබීම ගැන අපි ප්‍රීති වෙමු.—හිතෝපදේශ 27:11.

විපාකය දෙස බලමින් ප්‍රීතියෙන් ඉපිල යෑම

15, 16. (අ) ‘ප්‍රීතියෙන් ඉපිල යෑමට’ යේසුස් අපට දුන්නේ කිනම් හේතුවද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සඳහා ස්වර්ගයෙහි ගබඩා කර තිබෙන්නේ කිනම් ත්‍යාගයද? ඔවුන්ගේ මිතුරන් වන ‘වෙනත් බැටළුවන්’ විපාක ලබන්නේ කෙසේද?

15 ඉපැරණි අනාගතවක්තෘවරුන්ට මෙන් නපුරු දේ විඳීමට හා පීඩාවලට පාත්‍රවීම නිසා ප්‍රීතිවීමට තිබෙන තවත් හේතුවක් යේසුස් සඳහන් කළේය. සන්තෝෂයට තුඩු දෙන හේතු නවය ගැන කතා කරමින් අන්තිමට යේසුස් තවත් දෙයක් ගැන මෙසේ කීවේය. “ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න.” (මතෙව් 5:12) ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම්, සදාකාල ජීවනයය.” (රෝම 6:23) එසේය, ‘මහත් විපාකය’ නම් ජීවනය වන අතර, අප කොතරම් වෙහෙසුණත් එය ඉපයීමට අපට නොහැකි වෙයි. එය නොමිලයේ ලැබෙන දීමනාවකි. මෙම විපාකය “ස්වර්ගයෙහි” බව යේසුස් පැවසුවේ එය යෙහෝවාගෙන් පැමිණෙන දෙයක් නිසාය.

16 අභිෂේක ලත් අය “ජීවනය නමැති ඔටුන්න” ලබති. එනම්, ඔවුන්ගේ විපාකය වන්නේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබීමයි. (යාකොබ් 1:12, 17) තවද, භූමික බලාපොරොත්තුවක් ඇති අය, එනම්, ‘වෙනත් බැටළුවෝ’ පාරාදීස පොළොවක සදාකල් ජීවිතයක් උරුම කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති. (යොහන් 10:16; එළිදරව් 21:3-5) මේ පංති දෙකම, තමන්ට ලැබුණු “විපාකය” උපයාගත් එකක් නොවේ. අභිෂේක ලත් අය මෙන්ම ‘වෙනත් බැටළුවන්ද’ තම විපාකය ලබාගන්නේ “සියල්ල අබිබවා යන දෙවිගේ මහත් කරුණාව” නිසා වන අතර, ප්‍රේරිත පාවුල් මෙසේ කීමට පෙලඹුණේ ඒ හේතුවෙනි. “කියා නිම කළ නොහැකි, දෙවිගේ නොමිලේ දෙන දීමනාව සඳහා ඔහුට ස්තුති වේවා!”—2 කොරින්ති 9:14, 15.

17. අපට පීඩා කරනු ලැබූ විට සන්තෝෂ විය හැක්කෙත්, සංකේතාත්මකව ‘ප්‍රීතියෙන් ඉපිල යා හැක්කෙත්’ මන්ද?

17 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගන්වමින් ලියද්දී, ඔවුන්ගෙන් සමහරදෙනෙක් වැඩි කල් නොගොස් නීරෝ නම් අධිරාජ්‍යයා අතින් කුරිරු ලෙස පීඩා ලැබුවෝය. ප්‍රේරිත පාවුල් ලීවේ මෙයයි. “අපි පීඩා මධ්‍යයෙහි සිටියදීත් සතුටින් ඉපිල යමු. මන්ද, අපි මේ දේ දනිමු. එනම්, පීඩාවලින් විඳදරාගැනීම ඇති වන්නේය, විඳදරාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේය, දෙවිගේ අනුමැතියෙන් බලාපොරොත්තුව ඇති වන්නේය. ඒ බලාපොරොත්තුව කලකිරීමකට මඟ පාදන්නේ නැත.” තවද ඔහු මෙසේද පැවසීය. “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩා හමුවෙහි විඳදරාගන්න.” (රෝම 5:3-5; 12:12) අපගේ බලාපොරොත්තුව ස්වර්ගික එකක් වේවා භූමික එකක් වේවා, පරීක්ෂා යටතේ විශ්වාසවන්තව සිටීම නිසා අපට ලැබෙන විපාකය අප ලැබීමට වටින කිසිම දෙයකට වඩා බොහෝ සෙයින් වටී. අපගේ රජු වන යේසුස් ක්‍රිස්තුස් යටතේ අපගේ ප්‍රේමණීය පියාණන් වන යෙහෝවාට ප්‍රශංසා කරමින් සේවය කිරීමේ අපේක්ෂාව සමඟ අපට තිබෙන ප්‍රීතියට නිම් හිම් නැත. එසේනම්, සංකේතාත්මකව අපි ‘ප්‍රීතියෙන් ඉපිල යන්නෙමු.’

18. අන්තිමය ළඟා වෙත්ම, කුමක් අපේක්ෂා කළ හැකිද? යෙහෝවා කරනු ඇත්තේ කුමක්ද?

18 සමහර රටවල, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා කොට තිබෙන අතර, ඔවුහු තවමත් පීඩාවට ලක්ව සිටිත්. මේ සමාජ ක්‍රමයේ අවසානය ගැන දුන් සිය අනාවැකියේදී යේසුස් සැබෑ ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයේ මෙසේයි. “මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත.” (මතෙව් 24:9) අවසානය ළඟා වෙත්ම, සාතන් යෙහෝවාගේ ජනයාට එරෙහිව තම වෛරය පෙන්වීමට ලෝකයේ ජාතීන්ව පොලඹනවා ඇත. (එසකියෙල් 38:10-12, 14-16) මේ නිසා යෙහෝවාට ක්‍රියා කිරීමට කාලය පැමිණෙනවා ඇත. “මම උතුම් වන්නෙමි; ශුද්ධ බව පෙන්වන්නෙමි; බොහෝ වර්ගයන්ගේ ඇස් හමුයෙහිදී මා අඳුන්වා දෙන්නෙමි; මම යෙහෝවායයි ඔවුහු දැනගන්නෝය.” (එසකියෙල් 38:23) මෙසේ, යෙහෝවා තමාගේ නාමය විශුද්ධ කර තම ජනයාව පීඩාවලින් ගලවාගන්නවා ඇත. එම නිසා, “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය.”—යාකොබ් 1:12.

19. ‘යෙහෝවාගේ මහත් දවස’ බලා සිටින අතර අප කුමක් කළ යුතුද?

19 “යෙහෝවාගේ දවස” වෙන කවරදාටත් වඩා ළඟා වෙත්ම, අපි යේසුස්ගේ නාමය ‘නිසා නින්දා විඳින්න වටින අය ලෙස ගණන් ගනු ලබන හෙයින්’ ප්‍රීති වෙමු. (2 පේතෘස් 3:10-13; ක්‍රියා 5:41) යෙහෝවාගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ අපට තිබෙන ත්‍යාගය දෙස බලා සිටිමින්, මුල් ක්‍රිස්තියානීන් මෙන් අපද, “අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය” හා ඔහුගේ රාජාණ්ඩුව ගැන “ප්‍රකාශ කරමින්ද” ඉදිරියටම යමු.—ක්‍රියා 5:42; යාකොබ් 5:11.

පුනරීක්ෂණය

• ධර්මිෂ්ඨකම උදෙසා දුක් විඳිනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• මුල් ක්‍රිස්තියානීන් මතට පැමිණි පීඩා නිසා ඇති වූ බලපෑම කුමක්ද?

• ඉපැරණි අනාගතවක්තෘවරුන් මෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද පීඩාවට ලක් වන බව පැවසිය හැක්කේ මන්ද?

• පීඩා කරනු ලැබුවත් අපට ‘ප්‍රීතියෙන් ඉපිල යා’ හැක්කේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූර]

‘මිනිසුන් ඔබට නින්දා පීඩා කරන කල ඔබ සන්තෝෂවත්ය‘

[හිමිකම් විස්තර]

බන්ධනාගාරයේ පිරිස: Chicago Herald-American