Skip to content

පටුනට යන්න

යෙහෝවාට සන්තෝෂයෙන් සේවය කරන්නෝ

යෙහෝවාට සන්තෝෂයෙන් සේවය කරන්නෝ

යෙහෝවාට සන්තෝෂයෙන් සේවය කරන්නෝ

“තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.”—මතෙව් 5:3.

1. සැබෑ සන්තෝෂය යනු කුමක්ද? මින් අඟවන්නේ කුමක්ද?

සන්තෝෂය යන ගුණාංගය යෙහෝවාගේ ජනයා අතර තිබෙන ඉතා වටිනා සම්පතකි. ගීතිකාකරු දාවිත් මහත් උද්‍යෝගයෙන් පැවසුවේ මෙයයි. “යෙහෝවා තමන් දෙවි කොට ඇති සෙනඟ වාසනාවන්තයෝය [හෙවත් සන්තෝෂවත්ය].” (ගීතාවලිය 144:15) සන්තෝෂය වනාහි සිතට දැනෙන සැහැල්ලු හැඟීමකි. අපට වැඩියෙන්ම සන්තෝෂය ලැබෙන්නේ අප යෙහෝවාගෙන් ආශීර්වාද ලබන බව දැනගෙන සිටීමෙන්ය. අපගේ හද පත්ලෙන්ම නැඟෙන සන්තෝෂය මෙයයි. (හිතෝපදේශ 10:22) අපගේ ස්වර්ගික පියාණන් සමඟ තිබෙන කිට්ටු සම්බන්ධතාවක් ඒ මගින් අපට අඟවන අතර, අප ඔහුගේ කැමැත්ත කරමින් සිටින බව දැන සිටීමත් එම සන්තෝෂයට ඇතුළත්. (ගීතාවලිය 112:1; 119:1, 2) අපට සන්තෝෂ විය හැකි ප්‍රධාන හේතු නවයක් යේසුස් පෙන්නුම් කළේය. සන්තෝෂයට තුඩු දෙන මේ හේතු නවය ගැන මේ ලිපියේදීත් ඊළඟ ලිපියේදීත් අපි පරීක්ෂා කරන්නෙමු. මේ අනුව, “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවාට අප විශ්වාසවන්තව සේවය කරන්නේ නම්, අපට සන්තෝෂ විය හැකි ආකාරය වටහාගැනීමට මේ මගින් අපට හැකි වනවා ඇත.—1 තිමෝති 1:11.

අපගේ ආත්මික අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වීම

2. යේසුස් සන්තෝෂය ගැන කතා කළේ කිනම් අවස්ථාවේදීද? ඔහුගේ ආරම්භක ප්‍රකාශය කුමක්ද?

2 ක්‍රිස්තු වර්ෂ 31දී, යේසුස් මෙතෙක් දී ඇති වඩාත් ප්‍රසිද්ධතම දේශනය ඉදිරිපත් කළේය. එය හැඳින්වෙන්නේ කන්ද උඩ දේශනාව කියායි. මන්ද යේසුස් එය ඉදිරිපත් කළේ ගලීල මුහුදට එහා තිබූ කඳු බෑවුමක් මත සිටයි. මතෙව් ශුභාරංචියේ මෙසේ සඳහන් වේ. “[යේසුස්] සමූහයන් දැක කන්දට නැංගේය. ඔහු ඉඳගත් පසු ඔහුගේ ගෝලයෝ ඔහු වෙතට පැමිණියහ. එවිට ඔහු මුඛය හැර ඔවුන්ට මෙසේ උගන්වන්න පටන්ගත්තේය: ‘තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.’” යේසුස්ගේ ආරම්භක වචන පදගතාර්ථයෙන් පරිවර්තනය කළහොත් කියවන්නට ලැබෙන්නේ මෙලෙසයි. “ආත්මය සම්බන්ධයෙන් දිලිඳු අය සන්තෝෂවත්හුය.” නැතහොත් “ආත්මය ඉල්ලා සිඟමන් යදින්නෝ සන්තෝෂවත්හුය.” (මතෙව් 5:1-3, කිංඩම් ඉන්ටලීනියර් පාදසටහන) ඉන් අදහස් කරන්නේ තමන් ආත්මිකව දිලිඳු බව දන්නා අය සන්තෝෂවත් වන බවයි.

3. යටහත් පහත් ස්වභාවයක් ඇතිව සිටීම අපගේ සන්තෝෂයට දායක වන්නේ කෙසේද?

3 තම කන්ද උඩ දේශනාවේදී, යේසුස් ගෙනහැර දැක්වූයේ යම් පුද්ගලයෙක් තමාගේ ආත්මික අවශ්‍යතා ගැන හොඳින් සැලකිල්ල දක්වයි නම්, ඔහු වඩාත් සන්තෝෂවත් පුද්ගලයෙකු බවය. තමන්ගේ පව්කාර තත්වයන් ගැන මනා දැනුමක් ඇති යටහත් පහත් ක්‍රිස්තියානීහු ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කරණකොටගෙන යෙහෝවාගෙන් සමාව අයැද සිටිති. (1 යොහන් 1:9) මෙසේ ඔවුහු මනසේ සාමය සහ සැබෑ සන්තෝෂය භුක්ති විඳිති. “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දේය [හෙවත් සන්තෝෂවත්ය].”—ගීතාවලිය 32:1; 119:165.

4. (අ) අපගේ සහ අනුන්ගේ ආත්මික අවශ්‍යතා ගැන අපට සැලකිල්ල දැක්විය හැක්කේ කිනම් ආකාරවලින්ද? (ආ) අප අපගේ ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන විට එය අපගේ සන්තෝෂයට තවත් දායක වන්නේ කෙලෙසද?

4 අපගේ ආත්මික අවශ්‍යතාව ගැන අප සැලකිලිමත්ව සිටින විට අපව යම් දේවල් කිරීමට ඒ මගින් පෙලඹේ. ඒවා නම්, දිනපතා බයිබලය කියවීම, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් “නියම වේලාවට” දෙන ආත්මික ආහාර ලබාගැනීම සහ නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමයි. (මතෙව් 24:45; ගීතාවලිය 1:1, 2; 119:111; හෙබ්‍රෙව් 10:25) අප අසල්වාසීන්ට ප්‍රේම කරන නිසා අප ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාව ගැන සිතන අතර, මේ හේතුවෙන් අප රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමටත් ඉගැන්වීමටත් උද්‍යෝගයෙන් කටයුතු කරනවා ඇත. (මාක් 13:10; රෝම 1:14-16) මෙලෙස බයිබලයේ තිබෙන සත්‍යතාවන් අන් අයට කියා දීම මගින් අප තුළ සන්තෝෂය ඇති වේ. (ක්‍රියා 20:20, 35) තවද රාජ්‍යය පිළිබඳ අනගි බලාපොරොත්තුව සහ එම රාජ්‍යය මගින් ගෙනෙනු ඇති ආශීර්වාද ගැන අප කල්පනා කරන විට, අපගේ සන්තෝෂය තව තවත් ගැඹුරු වෙයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත “කුඩා රැළ” සඳහා එම බලාපොරොත්තුව වන්නේ ක්‍රිස්තුස්ගේ රාජාණ්ඩුවේ පංගුකාරයන් වශයෙන් ස්වර්ගයේ අමරණීය ජීවිතයක් භුක්ති විඳීමයි. (ලූක් 12:32; 1 කොරින්ති 15:50, 54) “වෙනත් බැටළුවන්” සඳහා ඉන් අදහස් වන්නේ එම රාජ්‍යය යටතේ පාරාදීස පොළොවක සදාකල් ජීවිතය භුක්ති විඳීමය.—යොහන් 10:16; ගීතාවලිය 37:11; මතෙව් 25:34, 46.

වැලපෙන්නන්ට සන්තෝෂ විය හැකි අන්දම

5. (අ) “වැලපෙමින් සිටින අය” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) වැලපෙන එවන් අයට සහනය ලැබිය හැක්කේ කෙසේද?

5 සන්තෝෂය ලැබිය හැකි ඊළඟ හේතුව වශයෙන් යේසුස් සඳහන් කළ දෙය තුළ යම් පරස්පර විරෝධීතාවක් තිබෙන බව පෙනී යයි. ඔහු පැවසුවේ මෙසේයි. “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ව සනසනු ලබන්නෝය.” (මතෙව් 5:4) යම් පුද්ගලයෙකු වැලපෙන අතරම සන්තෝෂයෙන් සිටිය හැක්කේ කෙසේද? යේසුස් මෙහිදී කී දේ තේරුම්ගැනීම සඳහා, ඔහු කතා කරමින් සිටියේ කුමනාකාරයේ වැලපීමක් ගැනදැයි සලකා බැලීමට අවශ්‍යයි. අප සිටින පව්කාර ස්වභාවය නිසාම අප වැලපිය යුතු බව ශ්‍රාවක යාකොබ් පැහැදිලි කරයි. ඔහු ලීවේ මෙසේයි. “පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න. දෙගිඩියාවෙන් සිටින්නෙනි, ඔබේ සිත් පවිත්‍ර කරගන්න. දුක් වන්න. වැලපෙමින් හඬන්න. ඔබේ සිනාසීම වැලපීමටත් ඔබේ ප්‍රීතිය කලකිරීමටත් හැරේවා! යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට ඔහු ඔබව උසස් කරන්නේය.” (යාකොබ් 4:8-10) තමන් සිටින පව්කාර ස්වභාවය ගැන සැබවින්ම දුක් වෙන අය, ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තබා, යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් සැබෑ පසුතැවිල්ල පෙන්වන්නේ නම්, ඔවුහු තමන්ගේ පාපවලට සමාව ලැබෙන බව දැන සහනය ලබති. (යොහන් 3:16; 2 කොරින්ති 7:9, 10) මෙසේ, ඔවුන්ට යෙහෝවා සමඟ වටිනා සම්බන්ධතාවක් පවත්වාගත හැකි අතර, ඔහුට සේවය කර ප්‍රශංසා කිරීම පිණිස සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටිය හැකි බව ඔවුහු දනිති. මෙය ඔවුන්ට හද පත්ලෙන්ම නැඟෙන සතුටක් ලබා දෙයි.—රෝම 4:7, 8.

6. ඇතැම් අය වැලපෙන්නේ කිනම් අර්ථයෙන්ද? ඔවුන්ව සනසනු ලබන්නේ කෙසේද?

6 එමෙන්ම, පොළොව පුරා පැතිර තිබෙන පිළිකුල්සහගත තත්වයන් ගැන කෙඳිරිගාන අයද යේසුස්ගේ ප්‍රකාශයට ඇතුළත් වේ. යෙසායා 61:1, 2හි සඳහන් අනාවැකිය යේසුස් තමාටම අදාළ කරගත්තේ මෙසේ සඳහන් කරමිනි. “ස්වාමි වූ යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද මොළොක් ගුණ ඇත්තන්ට ශුභාරංචිය දේශනා කරන පිණිස යෙහෝවා මා ආලේප කළේය. බිඳුණු සිත් ඇත්තන් බඳින පිණිසත්, . . . වැලපෙන සියල්ලන් සනසන පිණිසත් . . . යෙහෝවා මා එව්වේය.” එම පැවරුම පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අදාළ වන අතරම, ඔවුන් එය කරන්නේ “වෙනත් බැටළුවන්” වන ඔවුන්ගේ හවුල් සේවකයන්ගේ උපකාරයත් ඇතුවය. මේ සියල්ලෝම “යෙරුසලම [ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසා ඇති යෙරුසලම, හෙවත් ක්‍රිස්තියානි ලෝකය] මැදින් ගොස් එහි කරන සියලු පිළිකුල් දේ නිසා සුසුම්ලන අඬන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක්” සංකේතමය ලෙස තැබීමෙහිලා හවුල් වෙති. (එසකියෙල් 9:4) වැලපෙන එවන් අයව සනසනු ලබන්නේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” මගිනි. (මතෙව් 24:14) තවද, සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමය ඉතාමත් ළඟදීම විනාශ වී ඒ වෙනුවට යෙහෝවාගේ ධර්මිෂ්ඨ නව ලෝකය පිහිටුවනු ලබන බව දැනගැනීම නිසා ඔවුහු සන්තෝෂ වෙති.

මෘදු ගුණැති අය සන්තෝෂවත්ය

7. “මෘදු ගුණය” කීමෙන් අදහස් නොකරන්නේ කුමක්ද?

7 යේසුස් තම කන්ද උඩ දේශනාවේදී මෙසේද කීවේය. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය, මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5) මෘදු අය දුර්වල පුද්ගලයන්යයි ඇතැම්විට සමහරු කියති. එහෙත්, යථාර්ථය එය නොවේ. “මෘදු ගුණය” යනුවෙන් පරිවර්තනය කර ඇති වචනයේ අර්ථය ගැන පැහැදිලි කරමින් එක් බයිබල් විශාරදයෙක් පැවසුවේ මෙසේයි. “මෘදු ගුණැති මිනිසෙකුගේ චරිතයේ ශ්‍රේෂ්ඨතම ලක්ෂණය නම්, ඔහු තමාවම හොඳින් පාලනය කරගෙන සිටීමයි. එවැනි කෙනෙක් කොන්ද පණ නැති කෙනෙකුවත්, හැඟීම්වලට වහල් වූ කෙනෙකුවත්, උදාසීන පුද්ගලයෙකුවත් නොවේ. තමාට ශක්තිය තිබුණත් එය මැනවින් පාලනය කිරීමට ඔහුට පුළුවන. එය මනා පාලනයක් යටතේ තිබෙන ශක්තියකි.” යේසුස් තමා ගැනම පැවසුවේ මෙසේයි. ‘මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකි.’ (මතෙව් 11:29) එහෙත්, යේසුස් ධෛර්යයෙන් යුතුව ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට පක්ෂව කතා කළේය.—මතෙව් 21:12, 13; 23:13-33.

8. මෘදු ස්වභාවය ළඟින්ම බැඳී තිබෙන්නේ කුමක් සමඟද? අනුන් සමඟ සබඳතා පවත්වද්දී මේ ගුණාංගය අපට අවශ්‍ය වන්නේ මන්ද?

8 එසේනම්, මෘදු ස්වභාවය යනු ආත්ම දමනය සමඟ ළඟින් බැඳී තිබෙන දෙයකි. ඇත්තෙන්ම, මෘදු ගුණය හා ආත්ම දමනය ප්‍රේරිත පාවුල් විසින් එකට සඳහන් කළේ, ඔහු “ආත්මයේ පල” ගැන කතා කරන විටය. (ගලාති 5:22, 23) මෘදුකම වර්ධනය කළ යුත්තේ ශුද්ධාත්මයේ උපකාරය සමඟිනුයි. එය වනාහි නොඇදහිලිවන්තයන් සහ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් සමඟ සමාදානය ඇති කරවන ක්‍රිස්තියානි ගුණාංගයකි. පාවුල් ලීවේ මෙසේයි. “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. . . . එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.”—කොලොස්සි 3:12, 13.

9. (අ) මෘදු ගුණ ඇතුව සිටීම, වෙනත් මිනිසුන් සමඟ අපට තිබෙන සම්බන්ධයට පමණක් සීමා නොවන්නේ මන්ද? (ආ) මෘදු ගුණැති අය ‘පොළොව උරුම කරගන්නේ’ කෙසේද?

9 එහෙත්, මෘදු ගතිය සීමා වෙන්නේ අප වෙනත් මිනිසුන් සමඟ පවත්වන සබඳතාවලට පමණක් නොවේ. යෙහෝවාගේ පරමාධිපත්‍යයට කැමැත්තෙන්ම යටත් වීමත් අප මෘදු ගතිය පෙන්වන එක් ක්‍රමයකි. මේ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තැබුවේ යේසුස්ය. මන්ද පොළොව මත වෙසෙන විට මෘදු ස්වභාවය පෙන්වූ ඔහු, සිය පියාණන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත් විය. (යොහන් 5:19, 30) ප්‍රධාන වශයෙන්ම පොළොව උරුම කරගන්නේ යේසුස්ය. මන්ද පොළොව පාලනය කිරීමට පත් කර ඇත්තේ ඔහුවය. (ගීතාවලිය 2:6-8; දානියෙල් 7:13, 14) “පොළොව කෙරෙහි රජකම් කිරීමට” “මිනිසුන් අතරින්” තෝරාගන්නා ලද, 1,44,000කින් සමන්විත ‘හවුල් උරුමක්කාරයන්’ සමඟ ඔහු තම උරුමය බෙදාගනී. (රෝම 8:17; එළිදරව් 5:9, 10; 14:1, 3, 4; දානියෙල් 7:27) ක්‍රිස්තුස් සහ ඔහුගේ හවුල් රජවරුන් මිලියනගණනකින් යුත් බැටළු ගුණැති පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව පාලනය කරනු ඇති අතර, නුදුරු අනාගතය ගැන යමක් කියන මෙම ගීතිකාව මොවුන් සම්බන්ධයෙන් ඉෂ්ට වෙනවා ඇත. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11; මතෙව් 25:33, 34, 46.

ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය සන්තෝෂවත්ය

10. ‘ධර්මිෂ්ඨකමට සාපිපාසාවක්’ ඇති අය තෘප්තියට පැමිණෙන එක් ආකාරයක් නම් කරන්න.

10 ගලීල මුහුද අසබඩ කඳු ගැටයක සිට සන්තෝෂය සම්බන්ධයෙන් යේසුස් ඊළඟට කතා කළේ මෙසේයි. “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු තෘප්තිමත් වන්නෝය.” (මතෙව් 5:6) යෙහෝවා ක්‍රිස්තියානීන් උදෙසා ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් ප්‍රමිති තබා ඇත. මේ නිසා, ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය දිව්‍ය මඟ පෙන්වීම කෙරෙහිද සාපිපාසයෙන් පෙළෙති. එවන් අය තමන්ගේ පව් සහ අසම්පූර්ණකම් ගැන ඉතා හොඳින් තේරුම්ගෙන තිබෙන අතර, යෙහෝවා ඉදිරියේ පිළිගත හැකි තත්වයකට පැමිණීමට ඉතා ආශාවෙන් පසුවෙති. තමන් පසුතැවිලි වී ක්‍රිස්තුස්ගේ මිදීමේ යාගය පදනම් කරගෙන සමාව ඉල්ලුවහොත් තමන්ට එය ලැබෙන බවත්, තමන් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලබන බවත් දේවවචනයෙන් දැනගන්නා විට ඔවුහු කොතරම් සන්තෝෂ වෙත්ද!—ක්‍රියා 2:38; 10:43; 13:38, 39; රෝම 5:19.

11, 12. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලබන්නේ කෙසේද? (ආ) අභිෂේක ලත් අයගේ මිත්‍රයන් තුළ තිබෙන ධර්මිෂ්ඨකම සඳහා වූ පිපාසය සංසිඳවනු ලබන්නේ කෙසේද?

11 එවන් අය සන්තෝෂයට පත් වනු ඇති බවයි යේසුස් පැවසුවේ. මන්ද, ඔවුහු “තෘප්තිමත් වන්නෝය.” (මතෙව් 5:6) ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ ‘රජකම් කිරීමට’ කැඳවනු ලබන අභිෂේක ලත් අයව ‘ජීවනය සඳහා ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබේ.’ (රෝම 5:1, 9, 16-18) යෙහෝවා ඔවුන්ව ආත්මික පුත්‍රයන් ලෙසට භාරගනී. මෙසේ ඔවුහු ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයන් වී, ඔහුගේ ස්වර්ගික රාජාණ්ඩුවේ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කිරීමට කැඳවනු ලබති.—යොහන් 3:3; 1 පේතෘස් 2:9.

12 අභිෂේක ලත් අයගේ මිතුරන් තවමත් ජීවනය සඳහා ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර නැත. එහෙත්, ක්‍රිස්තුස් විසින් වගුරන ලද රුධිරය කෙරෙහි දක්වන ඇදහිල්ල කරණකොටගෙන යෙහෝවා විසින් ඔවුන්ව යම් දුරකට ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලැබේ. (යාකොබ් 2:22-25; එළිදරව් 7:9, 10) තවද, ‘මහත් පීඩාව’ තිබෙන කාලයේදී ගැලවීම ලැබීම සඳහා ඔවුන්ව යෙහෝවාගේ මිත්‍රයන් ලෙසට ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කෙරේ. (එළිදරව් 7:14) එමෙන්ම “අලුත් අහසක්” යටතේ “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” අලුත් පොළොවක ජීවත් වීමට සැලැස්වීමෙන් ධර්මිෂ්ඨකම සඳහා ඔවුන්ට ඇති සාපිපාසාව සංසිඳවනු ලබනවා ඇත.—2 පේතෘස් 3:13; ගීතාවලිය 37:29.

දයාවන්ත අය සන්තෝෂවත්ය

13, 14. අප අන්‍යයන්ට දයාව දැක්විය යුත්තේ කිනම් ප්‍රායෝගික මාර්ගවලින්ද? මේ මගින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 තම කන්ද උඩ දේශනාවේ යේසුස් තවදුරටත් පැවසුවේ මෙසේයි. “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය.” (මතෙව් 5:7) නීතියට අනුව ගත් කල, දයාව දක්වනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ, යම් වැරදිකරුවෙකුට නීතියට අනුව සම්පූර්ණ දඬුවම දීමට හැකියාව තිබියදී එසේ නොකිරීමට විනිසුරුවරයෙකු විසින් ඔහු කෙරෙහි යම් දුරකට කරුණාවක් දක්වනු ලැබීමයි. එහෙත්, “දයාව” ලෙස පරිවර්තනය කර ඇති මුල් වචන බයිබලයේ යොදා ඇති ආකාරය සැලකිල්ලට ගත් කල, එය බොහෝවිට භාවිත වී ඇත්තේ, යම් අසරණ තත්වයක සිටින අයට සහනය සැලසීම සඳහා කරුණාවෙන් හා අනුකම්පාවෙන් පෙලඹී කරන ක්‍රියාවකටය. මෙසේ, දයාවන්තයෝ වනාහි දයානුකම්පාවෙන් යුතුව යමක් කරන පුද්ගලයෝ වෙත්. කරුණික සමරිතානුවරයා සම්බන්ධ යේසුස් කී උපමාව, අසරණ තත්වයකට පත් පුද්ගලයෙකුට “දයාන්විතව ක්‍රියා කළ” තැනැත්තෙකු පිළිබඳ කදිම ආදර්ශයක් ඉදිරිපත් කරයි.—ලූක් 10:29-37.

14 දයාවන්ත වීමෙන් ලැබෙන සන්තෝෂය අද්දැකීමට නම් අවශ්‍යතාව ඇති අය උදෙසා අප කාරුණික ක්‍රියා කළ යුතුය. (ගලාති 6:10) යේසුස්ට තමා දුටු මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් හැඟුණි. “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි හෙයින් ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹී, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.” (මාක් 6:34) මිනිස් වර්ගයාගේ ඉහළම අවශ්‍යතාව ආත්මික අවශ්‍යතාවන් සපුරාගැනීම බව යේසුස් වටහාගත්තේය. අන්‍යයන්ට බොහෝ සෙයින් අවශ්‍ය වන දේ, එනම් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ඔවුන්ට පැවසීම මගින් කරුණාව හා දයාව පෙන්වීමට අපටත් හැකියි. (මතෙව් 24:14) තවද, මහලු ක්‍රිස්තියානීන්ට, වැන්දඹුවන්ට හා අනාථ දරුවන්ට ප්‍රායෝගික උපකාර දිය හැකි අතර, “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා . . . කරමු.” (1 තෙසලෝනික 5:14; හිතෝපදේශ 12:25; යාකොබ් 1:27) මේ මගින් අපට සන්තෝෂය ලැබෙනවා පමණක් නොව, අපිද යෙහෝවාගේ දයාව ලැබීමට සුදුස්සන් බවට පත් වන්නෙමු.—ක්‍රියා 20:35; යාකොබ් 2:13.

නිර්මල සිත් ඇති, සාමය ඇති කරන අය

15. අපට නිර්මල සිත් ඇතිව සිටීමටත් සාමය ඇති කිරීමටත් හැක්කේ කෙසේද?

15 සන්තෝෂයට තුඩු දෙන හයවෙනි සහ හත්වෙනි කාරණය යේසුස් සඳහන් කළේ මෙලෙසයි. “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු දෙවිව දකින්නෝය. සාමය ඇති කරන අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු ‘දෙවිගේ පුත්‍රයෝ’ ලෙස හඳුන්වනු ලබන්නෝය.” (මතෙව් 5:8, 9) නිර්මල සිතක් ඇති කෙනෙකු යනු හොඳ සදාචාර ගතිපැවතුම් ඇති කෙනෙකු පමණක් නොව, ආත්මික වශයෙන් පිරිසිදු වූ යෙහෝවාට සම්පූර්ණයෙන්ම කැප වූ සිතක් ඇති කෙනෙකු ලෙසද විග්‍රහ කළ හැක. (1 ලේකම් 28:9; ගීතාවලිය 86:11) සාමය ඇති කරන අය, තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟද, හැකි තාක් දුරට තමන්ගේ අසල්වාසීන් සමඟද සාමයෙන් ජීවත් වෙති. (රෝම 12:17-21) ඔවුහු ‘සමාදානය සොයා, එය ලුහුබඳිති.’—1 පේතෘස් 3:11.

16, 17. (අ) අභිෂේක ලත් අයව ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලබන්නේ මන්ද? ඔවුන් ‘දෙවිව දකින්නේ’ කෙසේද? (ආ) “වෙනත් බැටළුවන්” ‘දෙවිව දකින්නේ’ කෙසේද? (ඇ) “වෙනත් බැටළුවන්” පූර්ණ අර්ථයෙන් “දෙවිගේ පුත්‍රයෝ” වන්නේ කෙසේද? කවදාද?

16 නිර්මල සිත් ඇති, සාමය ඇති කරන්නන්ට දී ඇති පොරොන්දුව නම්, ඔවුන්ව ‘“දෙවිගේ පුත්‍රයෝ” ලෙස හඳුන්වනු ලබන’ බවත්, ඔවුන් ‘දෙවිව දකින’ බවත්ය. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ශුද්ධාත්මයෙන් ජනිතව සිටින අතර, ඔවුන් පොළොව මත ජීවත්ව සිටියදීම, යෙහෝවා විසින් ඔවුන්ව ‘පුත්‍රයන්’ ලෙසට පිළිගනු ලැබේ. (රෝම 8:14-17) ඔවුහු ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිටීමට නැවත නැඟිටුවනු ලැබූ පසු යෙහෝවා ඉදිරියෙහිම සේවය කරන අතර, දෙවිව ඇත්තටම දකිති.—1 යොහන් 3:1, 2; එළිදරව් 4:9-11.

17 සාමය ඇති කරන “වෙනත් බැටළුවන්” උතුම් එඬේරාණන් වන ක්‍රිස්තුස් යේසුස් යටතේ යෙහෝවාට සේවය කරන අතර, ක්‍රිස්තුස් ඔවුන්ගේ “සදාකාල පියාණෝ” බවට පත් වෙයි. (යොහන් 10:14, 16; යෙසායා 9:6) ක්‍රිස්තුස්ගේ සහස්‍ර පාලනයට පසුව අන්තිම පරීක්ෂණයෙන් ජයගන්නා අයව යෙහෝවාගේ භූමික පුත්‍රයන් ලෙසට භාරගනු ලබන අතර, “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” ඔවුන්ට ලැබෙනවා ඇත. (රෝම 8:21; එළිදරව් 20:7, 9) මේ ගැන ඉතා ආශාවෙන් බලා සිටින ඔවුහු, තම පියාණන් හැටියට යෙහෝවාව අමතන්නේ, ඔවුන් තම ජීවිත කැප කර තිබෙන්නේ යෙහෝවාට නිසයි. ඒ වගේම තමන්ගේ ජීවිත දායකයාණන් ලෙස ඔහුව පිළිගන්නා නිසයි. (යෙසායා 64:8) පුරාණයේ විසූ යෝබ් සහ මෝසෙස් මෙන්, ඔවුහු තම ඇදහිල්ල නමැති ඇස්වලින් ‘දෙවිව දකින්නෝය.’ (යෝබ් 42:5; හෙබ්‍රෙව් 11:27) ‘තම සිත නමැති ඇස්වලින්’ සහ දෙවි පිළිබඳ නිවැරදි දැනුම තුළින්, ඔවුහු යෙහෝවාගේ අතිඋදාර ගුණාංග වටහාගෙන, ඔහුගේ කැමැත්ත කරමින් ඔහුව අනුකරණය කිරීමට උත්සුක වෙති.—එෆීස 1:18; රෝම 1:19, 20; 3 යොහන් 11.

18. යේසුස් විසින් සඳහන් කළාවූ සන්තෝෂයට හේතු වන මුල් කාරණා හත දෙස බලන විට, අද දින සැබෑ සන්තෝෂය ලබන්නේ කවුරුන්ද?

18 තම ආත්මික අවශ්‍යතා ගැන සලකන අය, වැලපෙන අය, මෘදු ගුණැති අය, ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය, දයාවන්ත අය, සිතෙන් නිර්මලව සිටින අය සහ සාමය ඇති කරන අය යෙහෝවාට සේවය කරමින් සැබෑ සන්තෝෂය අද්දකින බව අපි වටහාගත්තෙමු. එහෙත්, එවන් අය සෑමවිටම විරුද්ධවාදිකම්වලට, සමහරවිට පීඩාවලට පවා ලක් වී ඇත්තාහ. මේ නිසා ඔවුන්ගේ සන්තෝෂය අහිමි වී ඇද්ද? මෙම ප්‍රශ්නය ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත.

පුනරීක්ෂණය

• තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අයට ලැබෙන සන්තෝෂය කුමක්ද?

• වැලපෙන අයව සනසනු ලබන්නේ කිනම් මාර්ගවලින්ද?

• අප මෘදු ගුණය විදහාපාන්නේ කෙසේද?

• අප දයාවන්ත අය, සිතින් නිර්මල අය සහ සාමය ඇති කරන අය විය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

“තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය”

[10වන පිටුවේ පින්තූරය]

“දයාවන්ත අය සන්තෝෂවත්ය”

[10වන පිටුවේ පින්තූරය]

“ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය සන්තෝෂවත්ය”