Skip to content

පටුනට යන්න

“ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වන්නේය”

“ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වන්නේය”

“ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වන්නේය”

අර්මගෙදොන්හිදී සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමය විනාශ වන විට ‘දුෂ්ටයන්ගේ ගෙය කඩනු ලබන්නේය.’ ‘ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරමට’ කුමක් වෙයිද? එය දෙවිගේ නව ලොව තුළ “සපල වෙයි.”—හිතෝපදේශ 14:11, NW.

කෙසේවෙතත් ‘දුෂ්ටයන් දේශයෙන් සිඳ දමා, ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නන්ව එයින් උදුරා දමන’ තෙක් නිර්දෝෂ අයට දුෂ්ටයන් සමඟ වාසය කරන්න සිදු වෙයි. (හිතෝපදේශ 2:21, 22) ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ට මෙවන් තත්වයන් යටතේ සපල වෙන්න පුළුවන්ද? බයිබලයේ හිතෝපදේශ නමැති පොතේ 14වන පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා ඡේදවල පෙන්වන ආකාරයට, අප ප්‍රඥාවෙන් කතා කරනවා නම් හා ක්‍රියා කරනවා නම් අපට දැන් පවා යම් ප්‍රමාණයකට ජීවිතයේ සමෘද්ධියක් හා ස්ථාවරභාවයක් අද්දකින්නට පුළුවන්.

ප්‍රඥාවෙන් පවුලක් ගොඩනංවන විට

පවුලේ ශුභසිද්ධියට භාර්යාවක් දායක වන ආකාරය ගැන අදහස් ප්‍රකාශ කරමින් පුරාණ ඊශ්‍රායෙල්හි සලමොන් රජ මෙහෙම කියනවා. “ඥානවන්ත ස්ත්‍රී තමන් ගෙය ගොඩනඟයි; එහෙත් අඥාන තැනැත්තී තමාගේ අතින්ම ඒක කඩා දමයි.” (හිතෝපදේශ 14:1) ඥානවන්ත ස්ත්‍රියක් ඇගේ ගෙය හෙවත් පවුල ගොඩනංවන්නේ කොහොමද? මූලිකත්වය පිළිබඳ දෙවිගේ විධිවිධානයට ඇය ගෞරව කරයි. (1 කොරින්ති 11:3) සාතන්ගේ ලෝකය පුරා පැතිරී තිබෙන ස්වාධීනව කටයුතු කිරීමේ නැඹුරුවාවට ඇය හසු වන්නේ නැහැ. (එෆීස 2:2) ඇය තම ස්වාමිපුරුෂයාට යටත් වන අතර ඔහුගේ ගුණ කතා කරයි. මෙසේ කිරීමෙන් අනිත් අය ඔහුට පෙන්වන ගෞරවය වැඩි කිරීමට ඇයට හැකි වෙයි. ඥානවන්ත ස්ත්‍රියක් ඇගේ දරුවන්ට ආත්මික කාරණා ගැන මෙන්ම ගෙදර දොර වැඩකටයුතු ගැනද කියා දීමට උනන්දු වෙයි. ඇගේ පවුලේ ශුභසිද්ධිය වෙනුවෙන් ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන නිසා ඇගේ නිවස මුළු පවුලටම ප්‍රසන්න මෙන්ම සැප පහසු තැනක් බවට පත් වෙනවා. සකසුරුවම්කමින් හා සිහිකල්පනාවෙන් ඇය ගෙදර දොරේ වැඩකටයුතු හසුරුවයි. ඇත්තෙන්ම ඥානවන්ත ස්ත්‍රිය ඇගේ පවුලේ සමෘද්ධියටත් ස්ථාවරභාවයටත් දායක වෙනවා.

අනෙක් අතට, අඥාන තැනැත්තිය මූලිකත්වය පිළිබඳ දෙවිගේ විධිවිධානයට ගරු කරන්නේ නැහැ. ඇය කිසිම පැකිලීමකින් තොරව ඇගේ ස්වාමිපුරුෂයාගේ අඩු පාඩු ගැන තැන් තැන්වල කතා කරයි. ඇය අරපිරිමැස්මෙන් කටයුතු නොකරන නිසා වෙහෙස මහන්සියෙන් හම්බ කරගත් සම්පත් නැති නාස්ති වී යයි. ඇය කාලය අපතේ යවන නිසා ඇගේ නිවස අපිරිසිදු අපිළිවෙළකින් යුත් නිවසක් බවට පත් වෙයි. දරුවන්ට හොඳ පෝෂණය හා සනීපාරක්ෂාව නොලැබෙන අතර ඔවුන්ට ආත්මික පුහුණුවක්ද ලැබෙන්නේ නැහැ. අඥාන තැනැත්තී ඇත්තෙන්ම තම ගෙය කඩා දමයි. එනම්, ඇය තම පවුලට බලවත් හානියක් සිදු කරයි.

නමුත් කෙනෙක් ඥානවන්තද අඥානද කියා තීරණය කරන්නේ කොහොමද? “ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්නා යෙහෝවාට භය වේ; එහෙත් වංකව කටයුතු කරන්නා දෙවිව හෙළා දකියි” යනුවෙන් හිතෝපදේශ 14:2හි [NW] පවසයි. ප්‍රතිපත්ති ගරුක පුද්ගලයා සැබෑ දෙවිට භය වෙයි. “යෙහෝවාට භයවීම ඥානයේ පටන්ගැන්මයි.” (ගීතාවලිය 111:10) සැබෑ ‘දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කිරීම’ තම යුතුකම බව ප්‍රඥාවන්ත කෙනෙක් දන්නවා. (දේශනාකාරයා 12:13) ඒත් අඥාන තැනැත්තා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟ නොවන මාර්ගයක් අනුව යයි. ඔහුගේ මාර්ග වංචනිකය. එවන් පුද්ගලයෙක් ‘යෙහෝවා නැතැයි’ සිතින් කියමින් දෙවිට නිග්‍රහ කරයි.—ගීතාවලිය 14:1, NW.

ප්‍රඥාවෙන් තොල් පාවිච්චි කරන විට

යෙහෝවාට භය වන තැනැත්තෙකුගේ හා ඔහුට නිග්‍රහ කරන තැනැත්තෙකුගේ කතා විලාසය ගැන කුමක් කිව හැකිද? “අඥානයාගේ කටේ උඩඟුකම නමැති ඉපලක් ඇත” යනුවෙන් රජ පවසයි. “එහෙත් ඥානවන්තයන්ගේ තොල් ඔවුන් රක්ෂා කරන්නෝය.” (හිතෝපදේශ 14:3) ඉහළින් පැමිණෙන ප්‍රඥාව තමාට නැති නිසා අඥානයා සාමකාමී හෝ සාධාරණ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඔහුගේ ක්‍රියා පිටුපස තිබෙන ප්‍රඥාව භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන් වූවක් වෙයි. ඔහුගේ කටින් පිට වන වචනවල තිබෙන්නේ කලහකාරී හා උද්ධච්ච ස්වභාවයක්. ඔහුගේ උඩඟු කතා විලාසය නිසා තමාටත් අන් අයටත් ඔහු මහත් හානියක් කරයි.—යාකොබ් 3:13-18.

ප්‍රඥාවන්තයෙකුගේ කට ඔහුව ආරක්ෂා කරන අතර, එය ඔහුගේ සතුටට දායක වෙයි. ඒ කොහොමද? බයිබලය මෙහෙම පිළිතුරු දෙනවා. “කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා කරන්නෙක් ඇත; එහෙත් ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ.” (හිතෝපදේශ 12:18) ඥානවන්තයෙක් කටට එන පළියට දොඩවන්නේවත් කැපෙනසුලු වචන කියන්නේවත් නැහැ. ඔහු උත්තරයක් දෙන්න කලින් කල්පනා කරයි. (හිතෝපදේශ 15:28) හොඳින් හිතා බලා කතා කරන නිසා ඔහුගේ කටින් නික්මෙන්නේ සුවදායක වචනයි. ඒවා මානසිකව වැටී සිටින අයට දිරිගැන්වීමක් සහ පීඩිතයන්ට ප්‍රබෝධයක් ලබා දෙනවා. ඔහු කතා කරන ආකාරයෙන් අන් අයව කේන්ති ගස්වනවා වෙනුවට සාමය හා සන්සුන්කම ඇති කරනවා.

ප්‍රඥාවෙන් තීරණ ගන්නා විට

සලමොන් ඊළඟට සිත් ඇදගන්නා වදන් ස්වල්පයක් පවසනවා. යම් කාර්යයක් පටන්ගැනීමට පෙර එහි වාසි අවාසි ගැන සලකා බැලීමට තිබෙන අවශ්‍යතාව මෙම හිතෝපදේශයෙන් කියැවෙන බව පෙනෙයි. ඔහු පවසන්නේ මෙයයි. “ගොනුන් නැති පට්ටිය පවිත්‍රය; එහෙත් ගොනාගේ සවියෙන් බොහෝ ලාභය ඇත.”හිතෝපදේශ 14:4.

මෙම හිතෝපදේශයේ අර්ථය පිළිබඳව අදහස් දක්වමින් එක් ආශ්‍රේය ග්‍රන්ථයක මෙහෙම සඳහන් වුණා. “හිස් ගව මඩුවක් [පට්ටියක්] තිබීමෙන් අදහස් කරන්නේ ගොන්නු නැති නිසා උන්ට කෑමත් අවශ්‍ය නැති බවයි. එම නිසා සුද්ද පවිත්‍ර කිරීම හා උන්ව බලා කියා ගැනීමේ කරදරයෙන්ද කෙනෙක් නිදහස් වන අතර ඒ සඳහා වියදමක් දැරීමට සිදු වෙන්නේද නැහැ. නමුත් මෙම වාසියේ අවාසිදායක පැත්ත ගැන හතරවන පදයේ දෙවෙනි කොටසෙන් අපට පැහැදිලි වෙයි. ගොනුන්ව වැඩට යොදාගන්නේ නැත්නම්, සරු අස්වැන්නක් නොලැබෙන බව ඉන් අඟවයි.” එසේනම් ගොවියාට ප්‍රඥාවන්ත තේරීමක් කරන්න සිදු වෙනවා.

රැකියාව වෙනස් කිරීම, නිවසක් තෝරාගැනීම, වාහනයක් මිල දී ගැනීම, සුරතල් සතෙක් ඇති කිරීම වැනි දේවල් ගැන කල්පනා කරද්දී මෙම හිතෝපදේශයෙන් කාවද්දන ප්‍රතිපත්තිය සලකා බලන්න වටින්නේ නැද්ද? ප්‍රඥාවන්ත කෙනෙක් යම් කාර්යයක නියැලෙන්නට පෙර එහි වාසි අවාසි සලකා බලයි. එනම් ඔහු ඒ සඳහා වැය වන වියදම සහ මහන්සිය සමඟ ඉන් ලැබෙන ප්‍රතිඵල සසඳා බලයි.

සාක්ෂිකාරයෙක් ප්‍රඥාවන්ත වන විට

“විශ්වාස සාක්ෂිකාරයා බොරු නොකියන්නේය; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු කියයි” යනුවෙන් සලමොන් තවදුරටත් පවසයි. (හිතෝපදේශ 14:5) බොරු සාක්ෂිකාරයෙක් පවසන බොරු නිසා ඇත්තෙන්ම බරපතළ හානි සිදුවීමට ඉඩ තිබෙනවා. යෙශ්‍රෙයෙල්හි නාබොත්ට ගල් ගසා මරනු ලැබුවේ කිසි කමකට නැති මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔහුට විරුද්ධව බොරු සාක්ෂි ප්‍රකාශ කළ නිසයි. (1 රාජාවලිය 21:7-13) යේසුස්ගේ මරණයට හේතු වුණෙත් බොරු සාක්ෂිකරුවන්ගේ බොරු චෝදනා නොවේද? (මතෙව් 26:59-61) යේසුස්ගේ ගෝලයන් අතර තම ඇදහිල්ල වෙනුවෙන් මරනු ලැබූ ප්‍රථම ගෝලයා වූ ස්තේපන්ට විරුද්ධවද බොරු සාක්ෂිකරුවන් බොරු චෝදනා ඉදිරිපත් කළා.—ක්‍රියා 6:10, 11.

පුද්ගලයෙකුගේ වංචාව කලකට හෙළි නොවී තිබිය හැකි වුවත්, එවැනි පුද්ගලයෙකුගේ අනාගතය ගැන ටිකක් සිතා බලන්න. ‘මුසාවාද කියන බොරු සාක්ෂිකාරයෙකුට’ යෙහෝවා ද්වේෂ කරන බව බයිබලය පවසයි. (හිතෝපදේශ 6:16-19) එවන් පුද්ගලයෙකුව මිනීමරුවන්, වේශ්‍යාකම් කරන්නන් සහ රූපවඳින්නන් සමඟ ගින්නෙන්ද ගෙන්දගමින්ද දැවෙන විලෙහි දමනු ලබයි. එනම් ඔහුට හිමි වන්නේ දෙවන මරණයයි.—එළිදරව් 21:8.

විශ්වාසවන්ත සාක්ෂිකාරයා දිවුරා සාක්ෂි දෙන විට හිතා මතා බොරු කියන්නේ නැහැ. කෙසේවෙතත් යෙහෝවාගේ සෙනඟට යම් ආකාරයකින් හානි පැමිණවීමට බලා සිටින අයට අවශ්‍ය කරන සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමට ඔහු බැඳී සිටින බවක් මින් අදහස් කරන්නේ නැහැ. ආබ්‍රහම් සහ ඊසාක් වැනි කුලදෙටුවන් යෙහෝවාට නමස්කාර නොකළ ඇතැම් අයට හැම තොරතුරක්ම ඉදිරිපත් කළේ නැහැ. (උත්පත්ති 12:10-19; 20:1-18; 26:1-10) යෙරිකෝවේ රාහබ්, රාජ පුරුෂයන්ට නිවැරදි තොරතුරු දීමෙන් වැළකී සිටියා. (යෝෂුවා 2:1-7) අනවශ්‍ය ගැටලු ඇති විය හැකි අවස්ථාවලදී යේසුස් ක්‍රිස්තුස් පවා සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමෙන් වැළකී සිටියා. (යොහන් 7:1-10) ඔහු මෙහෙම කීවා. “ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න.” ඒ ඇයි? “එසේ කළොත් උන් . . . හැරී ඇවිත් ඔබව ඉරා දමනු ඇත.”—මතෙව් 7:6.

‘දැනුම ලබාගැනීම’ පහසු දෙයක් වන විට

ප්‍රඥාව හැමෝම සතු දෙයක්ද? “නින්දා කරන්නා ප්‍රඥාව සෙව්වත් ඔහුට සම්බ නොවෙයි; එහෙත් තේරුම් ඇත්තාට දැනගැන්ම පහසුය” කියා හිතෝපදේශ 14:6හි පවසයි. නින්දා කරන්නෙක් හෝ අපහාස කරන්නෙක් ප්‍රඥාවන්ත වෙන්න උත්සාහ කළත් ඔහුට සැබෑ ප්‍රඥාවන්තයෙක් වෙන්න බැහැ. නින්දා කරන්නෙක් ඔහුගේ අහංකාරකම නිසා ආත්මික දේවල් අපහාසයට ලක් කරන බැවින්, ප්‍රඥාව සඳහා මූලිකව අවශ්‍ය කරන දේ, එනම් සැබෑ දෙවි පිළිබඳ නිවැරදි දැනුම ඔහුට නොලැබෙයි. ඔහුගේ උද්ධච්ච උඩඟු ස්වභාවය නිසා දෙවි ගැන ඉගෙනගෙන ප්‍රඥාවන්ත වීමට ඔහු අසමත් වෙයි. (හිතෝපදේශ 11:2) එහෙත් ඇයි ඔහු ප්‍රඥාවන්ත වීමට උත්සාහ කරන්නේ? එම හිතෝපදේශයේ ඊට හේතුව සඳහන් කර නැතත්, සමහරවිට ඔහු එසේ කරන්නේ අන් අය ඉදිරියේ තමන් ප්‍රඥාවන්ත කෙනෙක්යයි කැපීපෙනීම සඳහා විය හැකියි.

තේරුම්ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙකුට ‘දැනුම ලබාගැනීම පහසුයි.’ තේරුම්ගැනීම විග්‍රහ කර තිබෙන්නේ, “මනසෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාව හෝ අවබෝධ කරගැනීමේ හැකියාව” හෙවත් “නිශ්චිත විෂයකට තොරතුරු සම්බන්ධ වන ආකාරය වටහාගැනීමේ හැකියාව” ලෙසටයි. එය වනාහි යම් විෂයකට අදාළ තොරතුරු වෙන වෙනම දැකීම නොව ඒවා සම්බන්ධ කිරීමෙන් සම්පූර්ණ චිත්‍රය දැකීමට තිබෙන හැකියාවයි. මෙම හිතෝපදේශයෙන් කියන්නේ එවන් හැකියාවක් තිබෙන කෙනෙකුට දැනුම ලබාගැනීම පහසු දෙයක් වන බවයි.

ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යය ගැන ඉගෙනගැනීම සම්බන්ධයෙන් ඔබේම අද්දැකීම ගැන සිතා බලන්න. ඔබ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත් මුල් කාලයේදී දෙවි ගැන, ඔහුගේ පොරොන්දු ගැන, ඔහුගේ පුත්‍රයා ගැන මූලික දැනුමක් ලබන්නට ඇති. යම් කාලයක් යන තුරු ඒවා වෙන වෙනම තොරතුරු වශයෙන් ඔබගේ මනසේ රැඳුණා විය හැකියි. නමුත් දැනුම ලබන්න ලබන්න මෙම තොරතුරු එකින් එකට සම්බන්ධ කිරීමට ඔබට හැකි වුණා. මිනිසා හා පොළොව සම්බන්ධයෙන් යෙහෝවාගේ සමස්ත අරමුණට මේ තොරතුරු සම්බන්ධ වූ ආකාරය ඔබට පැහැදිලිව දැකගන්න හැකි වුණා. බයිබලයේ තිබෙන සත්‍යය තර්කානුකූල වගේම එකිනෙකට සම්බන්ධ බව ඔබ වටහාගත්තා. අලුත් තොරතුරු ඉගෙනගෙන ඒවා මතක තබාගැනීම ඔබට වඩාත් පහසු වුණේ, සම්පූර්ණ චිත්‍රයට ඒවා සම්බන්ධ වන ආකාරය ඔබ දුටු නිසයි.

දැනුම සොයාගන්න බැරි විදිහක් ගැන ප්‍රඥාවන්ත රජ ඊළඟට අනතුරු අඟවනවා. “අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කළඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.” (හිතෝපදේශ 14:7, නව අනුවාදය) අඥාන කෙනෙකුට සැබෑ දැනුමක් නැහැ. ඔහුගේ තොල්වලින් දැනුම පිට වෙන්නේ නැහැ. අපට අවවාද කර තිබෙන්නේ එවැනි පුද්ගලයෙකුගෙන් ඈත් වී සිටීමටයි. මන්ද එසේ කිරීම ඥානවන්ත දෙයක්. ‘අඥානයන්ගේ සමාගම්කාරයෙක්’ වන ඕනෑම කෙනෙක් “වේදනා විඳින්නේය.”හිතෝපදේශ 13:20.

සලමොන් තවදුරටත් මෙහෙම පවසනවා. “බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ අඥානකම රැවටිල්ලය.” (හිතෝපදේශ 14:8) ප්‍රඥාවන්ත කෙනෙක් යනු තමා කරන දේවල් හොඳින් සිතා බලා කරන කෙනෙක්. තමාට තිබෙන විකල්ප ක්‍රියාමාර්ග සියල්ලක්ම සලකා බලන ඔහු, ඒ හැම එකකම අවසාන ප්‍රතිඵලය ගැන හොඳින් කල්පනා කර බලයි. ඔහු ප්‍රඥාවන්තව තීරණ ගනියි. අඥානයෙක් ගැන කුමක්ද කිව හැක්කේ? තමා සියල්ලක්ම දන්න බවත්, තමා ගන්න තීරණය හොඳම තීරණය බවත් සිතන ඔහු, ගන්නේ අඥාන තීරණයි. ඔහුගේ අඥානකම ඔහුවම රවටයි.

ප්‍රඥාවන්තව සම්බන්ධකම් පවත්වාගන්නා විට

ප්‍රඥාවෙන් කටයුතු කරන තැනැත්තා අන්‍යයන් සමඟ සාමකාමී සම්බන්ධයක් පවත්වයි. “අඥානයෝ අපරාධය ගැන සරදම් කරති” කියා ඊශ්‍රායෙල්හි රජු කියයි. “එහෙත් [ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන් අතර, NW] හොඳ සිතක් ඇත.” (හිතෝපදේශ 14:9) වරද පිළිගැනීම හෝ ඒ ගැන පසුතැවිලි වීම අඥානයෙකුට විහිළුවක්. ඔහු ‘ඉතා උඩඟු බැවින් වැරදි නිවැරදි කර’ [ද නිව් ඉංග්ලිෂ් බයිබල්] සාමය ඇති කරගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ පවුල සමඟත් පිටස්තර අය සමඟත් ඔහුට තිබෙන සම්බන්ධතා ඔහු පලුදු කරගනියි. එහෙත්, ප්‍රතිපත්ති ගරුක තැනැත්තා අනිත් අයගේ අඩු ලුහුඬුකම් නොසලකාහැරීමට කැමැත්තෙන් සිටී. තමාගේ අතින් වරදක් සිදු වන විට, සමාව ඉල්ලීමටත් වරද නිවැරදි කරගැනීමටත් ඔහු සූදානම්. ඔහු සාමකාමීව සිටීමට නිතරම වෑයම් කරන බැවින් අන් අය සමඟ සන්තෝෂවත් ශක්තිමත් සබඳතාවන් භුක්ති විඳියි.—හෙබ්‍රෙව් 12:14.

මිනිස් සම්බන්ධකම්වලට තිබෙන සීමාවක් ගැන සලමොන් ඊළඟට පෙන්වා දෙයි. “සිත තමාගේ ශෝකය දනියි; අන්‍යයෙක් එහි ප්‍රීතියට මැදි නොවේ” කියා ඔහු පවසයි. (හිතෝපදේශ 14:10) අප සිටින්නේ ශෝකයෙන්ද නැත්නම් ප්‍රීතියෙන්ද කියා අපගේ ඇතුළාන්ත හැඟීම් හැමවිටම හරියටම ප්‍රකාශ කිරීමට අපට පුළුවන්ද? අප අද්දකිමින් සිටින්නේ කුමක්ද කියා අන් අයට හරියටම විස්තර කරන්න අපට හැකිද? කෙනෙකුට හැඟෙන්නේ කොහොමද කියලා තවත් කෙනෙකුට හැමවිටම සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නවලට පිළිතුර වන්නේ එසේ කිරීමට බැරි බවයි.

නිදසුනක් වශයෙන්, යමෙකු තුළ සියදිවි නසාගැනීමට ඇති වන සිතුවිලි ගැන හිතන්න. ඒ සිතුවිලි ඇති වන පුද්ගලයාට පුළුවන්කමක් නැහැ පවුලේ සාමාජිකයෙකුට හෝ මිත්‍රයෙකුට මෙම හැඟීම් පැහැදිලිව විස්තර කරන්න. එමෙන්ම ඔහු තුළ එවැනි හැඟීම් තිබුණු බව ඔහුගේ කතාවෙන් හා හැසිරීමෙන් තේරුම්ගැනීමට එවැනි කෙනෙකුගේ ආශ්‍රිතයන්ට හැමවිටම පහසු වන්නෙත් නැහැ. එවැනි හැඟීම් තිබෙන පුද්ගලයෙකුව තේරුම් නොගෙන ඔහුට උපකාර කිරීමට අප අසමත් වුණා නම්, ඒ ගැන අපට වරදසහිතභාවයක් හැඟිය යුතු නැහැ. මෙම හිතෝපදේශය අපට තවත් දෙයක් කියාපායි. එනම්, අපේ හැඟීම් හොඳින් තේරුම්ගන්නා සවන් දෙන මිත්‍රයෙකු ළඟ සිටීම හිතට සැනසීමක් වුවත්, මනුෂ්‍යයන් ලබා දෙන සැනසීමට යම් සීමා තිබෙන බවයි. ඇතැම් දුෂ්කරතා විඳදරාගැනීමේදී අපට යෙහෝවා කෙරෙහි පමණක් රඳා සිටීමට සිදු විය හැකියි.

“ඔහුගේ ගෙයි සම්පත්ද වස්තුවද ඇත”

‘දුෂ්ටයන්ගේ ගෙය කඩනු ලබන්නේය’ යයි ඊශ්‍රායෙල්හි රජු පවසයි. “එහෙත් ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වෙයි.” (හිතෝපදේශ 14:11, NW) මෙම සමාජ ක්‍රමය තුළ දුෂ්ටයෙක් සපල විය හැකි අතර, ඔහු ජීවත් වන්නේ ලස්සන, සැප පහසු නිවසක විය හැකියි. නමුත් ඔහු මිය ගියොත් ඔහුට ඒවායින් ප්‍රයෝජනයක් තිබෙනවාද? (ගීතාවලිය 37:10) අනෙක් අතට, ප්‍රතිපත්ති ගරුක පුද්ගලයා ජීවත් වන්නේ සාමාන්‍ය නිවසක වුවත්, “ඔහුගේ ගෙයි සම්පත්ද වස්තුවද ඇත” කියා ගීතාවලිය 112:3 පවසයි. එම සම්පත් හා වස්තු මොනවාද?

අප ප්‍රඥාවන්ත ලෙස වචන හසුරුවද්දීත් ක්‍රියා කරද්දීත් එහි ප්‍රතිඵලයක් හැටියට “වස්තුවද ගෞරවයද” අපට ලැබෙයි. (හිතෝපදේශ 8:18) දෙවි සමඟත් සෙසු ජනයා සමඟත් සාමකාමී සබඳතාවක් සහ සිතේ සතුටක් මෙන්ම ජීවිතයේ ස්ථාවරභාවයක් අද්දැකීමත් මීට ඇතුළත් වෙයි. අනිවාර්යයෙන්ම ‘ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරමට’ දැන් පවා සපල විය හැකියි.

[27වන පිටුවේ පින්තූරය]

ඥානවන්ත ස්ත්‍රිය ඇගේ නිවස ගොඩනඟයි

[28වන පිටුවේ පින්තූරය]

“ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ”