Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ විනිශ්චය දුෂ්ටයන්ට එරෙහිව පැමිණෙනවාමයි!

යෙහෝවාගේ විනිශ්චය දුෂ්ටයන්ට එරෙහිව පැමිණෙනවාමයි!

යෙහෝවාගේ විනිශ්චය දුෂ්ටයන්ට එරෙහිව පැමිණෙනවාමයි!

“ඔබේ දෙවි සම්මුඛ වන්ට සූදානම් වෙන්න.”—ආමොස් 4:12.

1, 2. දෙවි දුෂ්ටකම අවසන් කරන බවට අපට සහතික විය හැක්කේ මන්ද?

යෙහෝවා කවදා හෝ මේ පොළොවේ තිබෙන දුෂ්ටකම හා දුක් වේදනා අවසන් කරයිද? මේ ප්‍රශ්නය වෙන කවරදාටත් වඩා ගැළපෙන්නේ අදටය. අප කොහේ බැලුවත් දකින්නේ මිනිසා මිනිසාට කුරිරුකම් කරන සැටියි. ප්‍රචණ්ඩත්වයෙන්, ත්‍රස්තවාදයෙන් සහ දූෂණයෙන් තොර ලොවක් පැමිණෙන තෙක් අපි කොතරම් ආශාවෙන් බලා සිටින්නෙමුද!

2 අපට ශුභාරංචියක් තිබේ. එය නම්, යෙහෝවා දුෂ්ටකම අවසන් කරන බවයි. අපට ඒ ගැන පූර්ණ විශ්වාසයක් තබාගැනීමට හැකියි. ඇරත් දෙවි සතු ගුණාංග ගැන කල්පනා කරද්දී ඔහු අනිවාර්යයෙන්ම දුෂ්ටයන්ට එරෙහිව පියවර ගන්නා බව සහතිකය. යෙහෝවා ධර්මිෂ්ඨය, යුක්තිසහගතය. ගීතාවලිය 33:5හි අපට පවසන්නේ, “දෙවි ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය වන්නේය” කියායි. තවත් ගීතිකාවක මෙසේ කියැවේ. “[යෙහෝවාගේ] සිත . . . බලහත්කාරයට [හෙවත්, ප්‍රචණ්ඩත්වයට] ප්‍රිය වූ අයට ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5) ධර්මිෂ්ටකමට හා යුක්තියට ඇලුම් කරන සියලු බලැති දෙවි වන යෙහෝවා තමන් ද්වේෂ කරන දේවලට සදහටම පැවතීමට අනිවාර්යයෙන්ම ඉඩහරින්නේ නැත.

3. ආමොස්ගේ අනාවැකිය ගැන තවදුරටත් සලකා බලන විට, කිනම් කාරණා අවධාරණය කෙරේද?

3 යෙහෝවා දුෂ්ටකම ඉවත් කරන බවට අපට ස්ථිර විය හැකි තවත් හේතුවක් සලකා බලන්න. ඔහු අතීතයේදී ක්‍රියා කර ඇති අන්දම පිළිබඳ වාර්තාව දෙස බලන විට අපට මේ ගැන නිසැක විය හැකියි. යෙහෝවා දුෂ්ටයන් සමඟ ක්‍රියා කර ඇති අන්දම පිළිබඳ ඉතා සිත් කා වදින නිදසුන් අපට ආමොස් පොතේ දක්නට ලැබේ. ආමොස්ගේ අනාවැකිය ගැන තවදුරටත් සලකා බලද්දී දිව්‍ය විනිශ්චය ගැන අපට තවත් කාරණා තුනක් පැහැදිලිව දැකගත හැකි වෙයි. පළමු කාරණය නම්, විනිශ්චය ලැබූ සෑම අවස්ථාවකදීම එම විනිශ්චය දුෂ්ටයන්හට ලැබීමට සුදුසුව තිබුණා යන්නයි. දෙවෙනි කාරණය නම්, එයින් කිසිම විටෙකත් බේරිය නොහැකිය යන්නයි. තුන්වෙනි කාරණය නම්, එය තෝරා බේරා කරන විනිශ්චයක් බවය. මන්ද යෙහෝවා දඬුවම් දෙන්නේ වැරදිකරන්නන්ටය. නමුත් තම වැරදි ගැන පසුතැවිලි වී, ඒවායින් ඉවත් වී, හරි දෙය කරන අයට ඔහු දයාව පෙන්වයි.—රෝම 9:17-26.

සෑමවිටම දිව්‍ය විනිශ්චය ලැබීමට සුදුසු අයට ලැබේ

4. යෙහෝවා ආමොස්ව යැව්වේ කිනම් දේශයටද? කුමන අරමුණක් උදෙසාද?

4 ආමොස්ගේ කාලයේදී, ඊශ්‍රායෙලිතයෝ රාජ්‍යයන් දෙකකට බෙදී සිටියහ. එක් රාජ්‍යයක් නම්, යූදාහි ගෝත්‍ර දෙකේ දකුණු රාජ්‍යයයි. අනෙක, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දසයේ උතුරු රාජ්‍යයයි. ආමොස්ව අනාගතවක්තෘවරයෙකු වශයෙන් පත් කරමින් යෙහෝවා ඔහුව යූදාහි පිහිටි ඔහුගේ ගම් පළාතේ සිට ඊශ්‍රායෙලය වෙතට යැවීය. එහිදී, දිව්‍ය විනිශ්චය ප්‍රකාශ කිරීමට දෙවි ආමොස්ව යොදාගන්නවා ඇත.

5. අමොස් පළමුව අනාවැකි කීවේ කිනම් ජාතීන්ට එරෙහිවද? ඔවුන් දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසුව සිටි එක් හේතුවක් කුමක්ද?

5 ආමොස් තමාගේ කාර්යය පටන්ගත්තේ හිතුවක්කාර ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය ගැන කතා කරමින් නොවේ. ඒ වෙනුවට, ඔහු තම කාර්යය පටන්ගත්තේ යාබද ජාතීන් හයකට එරෙහිව දිව්‍ය විනිශ්චය ගැන ප්‍රකාශ කරමිනි. මෙම ජාතීහු නම්, සිරියාව, පිලිස්තියාව, තීර්, ඒදොම්, අම්මොන් සහ මෝබව්ය. නමුත් දෙවිගේ දඬුවම ලැබීමට ඔවුහු ඇත්තටම සුදුසුව සිටියෝද? ඇත්තෙන්ම එසේය. එක් හේතුවක් නම්, ඔවුන් යෙහෝවාගේ ජනයාගේ පරම සතුරන් බවට පත්ව සිටි නිසාය.

6. දෙවි සිරියාවට, පිලිස්තියාවට සහ තීර්ට දඬුවම් කරනු ඇත්තේ මන්ද?

6 නිදසුනක් වශයෙන්, යෙහෝවා සිරියානුවන්ව හෙළා දුටුවේ, ‘ඔවුන් ගිලියද් මැඬීම’ නිසායි. (ආමොස් 1:3) යොර්දාන් ගඟේ නැඟෙනහිර පිහිටා තිබූ ඊශ්‍රායෙල් ප්‍රදේශයක් වන ගිලියද් නගරයේ ඉඩම් කොල්ලකා ගත් සිරියානුවෝ එහි විසූ දෙවිගේ ජනයාට බරපතළ හානි පැමිණවූහ. පිලිස්තිවරුන් සහ තීර් වැසියන් ගැන කුමක් කිව හැකිද? පිලිස්තිවරු ඊශ්‍රායෙලිතයන්ව වහල්භාවයට ගෙන ගොස් ඒදොම්වරුන්ට විකුණූහ. තවද තීර් ජාතික වහල් වෙළෙඳුන් විකුණූ වහලුන් අතර ඊශ්‍රායෙලිතයන්ද සිටියහ. (ආමොස් 1:6, 9) දෙවිගේ ජනයාව වහල්භාවයට විකුණනු ලැබීම මොන තරම් නින්දාවක්දැයි සිතා බලන්න! එසේනම්, යෙහෝවා සිරියාවට, පිලිස්තියාවට සහ තීර්ට දඬුවම් කිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත.

7. ඊශ්‍රායෙල් සමඟ ඒදොම්, අම්මොන් සහ මෝවබ් යන ජාතීන්ට තිබූ සම්බන්ධය කුමක්ද? නමුත් ඔවුන් ඊශ්‍රායෙලිතයන්ට සැලකුවේ කෙසේද?

7 ඒදොම්, අම්මොන් සහ මෝබව් යන ජාතීන් එකිනෙකා ඥාතීහුය. තවද මෙම ජාතීන් තුන ඊශ්‍රායෙල් ජාතියේද ඥාතීහු වූහ. ඒදොම්වරු පැමිණියේ ආබ්‍රහම්ගෙනි. එනම් යාකොබ්ගේ නිවුන් සහෝදරයා වූ එසව්ගෙනි. ඒ අනුව, එක් අර්ථයකින් බලන කල, ඔවුහු ඊශ්‍රායෙලිතයන්ගේ සහෝදරයෝ වූහ. අම්මොන්වරු සහ මෝව්බ්වරු වනාහි ආබ්‍රහම්ගේ ඥාති පුත් ලොත්ගෙන් පැවතෙන්නෝ වූහ. එහෙත්, ඒදොම්, අම්මොන් සහ මෝව්බ් ජාතීහු තමන්ගේ ඥාතීන් වූ ඊශ්‍රායෙලිතයන්ට සහෝදරයන්ට මෙන් සැලකුවාද? කොහෙත්ම නැත! ඒදොම්වරු ‘තමාගේ සහෝදරයාට’ එරෙහිව හිත් පිත් නැති ලෙස කඩුව එසවූ අතර, අම්මොන්වරු ඊශ්‍රායෙල් වහලුන්ට සැලකුවේ ඉතාම කුරිරු ආකාරයටයි. (ආමොස් 1:11, 13) මෝවබ්වරු දෙවිගේ ජනයාට කළ කුරිරු ක්‍රියා ගැන ආමොස් කෙළින් කතා නොකළත්, ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට දීර්ඝ කාලයක් මුළුල්ලේ විරුද්ධවාදිකම් පෑ බව ඉතිහාසය කියයි. ඒ නිසා ඊශ්‍රායෙලිතයන්ගේ ඥාතීන් වූ මෙම ජාතීන්ට ලැබෙන දඬුවම ඉතා දරුණු එකක් වනු ඇත. යෙහෝවා ඔවුන්ට ගෙනෙනු ඇති විනාශය ඉතා දරුණුය.

දිව්‍ය විනිශ්චයෙන් බේරිය නොහැක

8. ඊශ්‍රායෙලයට යාබදව සිටි ජාතීන් හයට දෙවිගේ විනිශ්චයෙන් බේරීමට නොහැකි වූයේ මන්ද?

8 ආමොස්ගේ අනාවැකියේ මුලින්ම අමතනු ලැබූ ජාතීන් හය දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසු බවට කිසිම සැකයක් නැත. එපමණක්ද නොව, එයින් බේරීමටද ඔවුන්ට කිසිදු ක්‍රමයක් තිබුණේ නැත. ආමොස් 1වන පරිච්ඡේදයේ 3වන පදයේ සිට, 2වන පරිච්ඡේදයේ 1වන පදය ආමොස් 1:1–2:1 දක්වා යෙහෝවා හය වතාවක්ම මෙසේ කියයි. “එහි දඬුවම පහ නොකරන්නෙමි.” ඔහුගේ හස්තය එම ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ විට එම වචන සැබෑ විය. මේ එක් එක් ජාතිය පසුව ඉතා දරුණු විපත්වලට මුහුණ දුන් බව ඉතිහාසයේ වාර්තා වේ. එපමණක්ද නොව, පිලිස්තියාව, මෝවබ්, අම්මොන් සහ ඒදොම් යන ජාතීහු අවසානයේදී ලෝක ජවනිකාවෙන් සදහටම සමුගත්හ!

9. යූදාවේ වැසියන් ලැබීමට සුදුසුව සිටියේ කුමක්ද? ඒ මන්ද?

9 ආමොස්ගේ අනාවැකිය ඊළඟට අවධානය යොමු කළේ හත්වන ජාතියටයි. එනම්, ඔහුගේ ගම් පළාත වූ යූදා දේශයටයි. ආමොස්ට සවන් දුන් ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ වැසියන්, ඔහු යූදා රාජ්‍යයට එරෙහිව විනිශ්චය ප්‍රකාශ කරනවා අසා පුදුම වූවා විය හැකියි. යූදාවේ වැසියන් විනිශ්චය ලැබීමට සුදුසුව සිටියේ මන්ද? ‘ඔවුහු යෙහෝවාගේ ව්‍යවස්ථාව එපා කළෝය’ යයි ආමොස් 2:4 අපට කියයි. ඔවුන් දෙවිගේ නීතියට හිතා මතා අගෞරව කරන විට යෙහෝවා එය ගණන් නොගෙන සිටියේ නැත. ආමොස් 2:5ට අනුව, “මම යූදාට ගින්නක් පමුණුවන්නෙමි. එයින් යෙරුසලමේ මාලිගා නාස්ති වන්නේය” යයි දෙවි පැවසීය.

10. විපත්තියෙන් බේරීමට යූදා රාජ්‍යයට නොහැකි වූයේ මන්ද?

10 නොඇදහිලිකාර යූදාවට තමන්ට විඳින්නට තිබූ විපත්තියෙන් ගැලවෙන්නට හැකි වුණේ නැත. හත්වෙනි වතාවටත් යෙහෝවා පැවසුවේ මෙසේයි. “එහි දඬුවම පහ නොකරන්නෙමි.” (ආමොස් 2:4) යූදාව බැබිලෝනිවරුන් විසින් ක්‍රි.පූ. 607දී පාළු කරනු ලැබූ අවස්ථාවේදී ඒ දඬුවම වින්දාය. මෙහිදී අපට යළිත් වරක් එක් පැහැදිලි සත්‍යයක් මතක් කර දෙයි. එය නම් දුෂ්ටයාට දෙවිගේ දඬුවමින් බේරිය නොහැකි බවය.

11-13. ආමොස් මූලික වශයෙන් අනාවැකි කීවේ කිනම් ජාතියට එරෙහිවද? එහි පැවතියේ කිනම් ආකාරයක පීඩාකාරී තත්වයක්ද?

11 අනාගතවක්තෘ ආමොස් ජාතීන් හතට පැමිණෙන්නට යන යෙහෝවාගේ විනිශ්චය ගැන ප්‍රකාශ කර වැඩි කලක් ගත වී තිබුණේ නැත. ඔහු අනාවැකි කියා අවසන් වී ඇතැයි යමෙක් සිතුවා නම්, ඔහු වැරදිය! ආමොස් තම කාර්යය නවත්වා තිබුණේ නැත. ඔහුව මූලික වශයෙන් පත් කොට තිබුණේ උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යයට එරෙහිව පැමිණෙමින් තිබූ බරපතළ විනිශ්චය ගැන ප්‍රකාශ කිරීමටයි. ඊශ්‍රායෙලය දිව්‍ය විනිශ්චයක් ලැබීමට සුදුසු තත්වයක සිටියේ, එම ජාතිය ආත්මිකව හා සදාචාරමය අතින් අතිපහත් තත්වයක සිටි නිසාය.

12 ඊශ්‍රායෙල් රාජ්‍යය පුරාම දරුණු පීඩාකාරී තත්වයක් පැතිර තිබුණි. ආමොස් කී අනාවැකිවලින් මේ තත්වය මනාව හෙළි විය. මේ සම්බන්ධයෙන් ආමොස් 2:6, 7හි අපට කියවන්නට තිබෙන්නේ මෙසේයි. “යෙහෝවා මෙසේ කියන්නේය: ඊශ්‍රායෙල්ගේ අපරාධ තුනක් නිසා එසේය, හතරක් නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි. මක්නිසාද ඔවුහු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිලින්දා වහන් සඟළකටත් වික්කෝය. ඔවුහු දිලින්දාගේ හිස පිට තිබෙන පොළොවේ ධූලියට ආශා වෙති. මෘදු ගුණ ඇත්තාගේ මාර්ගය පෙරළති.”

13 ධර්මිෂ්ඨ අයව “රිදීවලට” විකුණනු ලැබිණි. සමහරවිට මින් අදහස් කළේ, අල්ලස් ලෙස රිදී ලබාගත් විනිසුරුවන් අහිංසකයන්ට දඬුවම් දීම විය හැකියි. ණයහිමියෝ දිලිඳුන්ව “වහන් සඟළක” මිලට වහල්භාවයට විකුණූහ. ඔවුන් එසේ කළේ සමහරවිට සුළු ණයක් ගෙවන්නට බැරුව ගිය නිසා විය හැකියි. හිත් පිත් නැති ඒ මිනිසුන් ‘දිලින්දාව’ පහත් තත්වයකට ගෙන ඒමට කොතරම් ‘ආශා වුණාද’ කියනවා නම්, මෙවන් පහත් තත්වයකට පත්වීම නිසා මේ දිලිඳුන් තමන්ගේ හිස මතට දූවිලි දමාගත්තේ ඔවුන් විඳි මානසික පීඩනය, ශෝකය හෝ නින්දාව ඉවසන්නට බැරිම තැනය. දූෂණය කොතරම් රජ කළාද කියතොත්, ‘මෘදු ගුණ ඇත්තාට’ යුක්තියේ සේයාවක්වත් දකින්නට ලැබුණේ නැත.

14. ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය තුළ පීඩා කරනු ලැබුවේ කාටද?

14 මෙහිදී පීඩා කරනු ලබන්නේ කාටදැයි යන්න සැලකිල්ලට ගන්න. පීඩා කරනු ලබන්නේ ධර්මිෂ්ඨ, දිලිඳු, අහිංසක සහ දේශයේ මෘදු ගුණැති මනුෂ්‍යයන්ටය. යෙහෝවාගේ නීතික ගිවිසුමෙන් ඊශ්‍රායෙලිතයන්ට අණ කර තිබුණේ අසරණ දිලිඳු අයට අනුකම්පාව දක්වන ලෙසයි. එහෙත්, ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ විසූ එවන් පුද්ගලයන්ගේ තත්වය අතිශයින් ශෝචනීය විය.

“ඔබේ දෙවි සම්මුඛ වන්ට සූදානම් වෙන්න”

15, 16. (අ) ඊශ්‍රායෙලිතයන්ට “ඔබේ දෙවි සම්මුඛ වන්ට සූදානම් වෙන්න” කියා අනතුරු අඟවනු ලැබුවේ මන්ද? (ආ) දුෂ්ටයන්ට දිව්‍ය දඬුවමෙන් බේරෙන්නට නොහැකි බව ආමොස් 9:1, 2හි පෙන්වන්නේ කෙසේද? (ඇ) ක්‍රිස්තු පූර්ව 740දී ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයට සිදු වුණේ කුමක්ද?

15 ඊශ්‍රායෙලය පුරා දුරාචාරය සහ වෙනත් පව් රජ කරමින් තිබිණි. ඒ නිසයි, ඒ කැරලිකාර ජාතියට අනාගතවක්තෘ ආමොස් මෙසේ අනතුරු ඇඟවූයේ. “ඔබේ දෙවි සම්මුඛ වන්ට සූදානම් වෙන්න.” (ආමොස් 4:12) ඉතා ඉක්මනින් පැමිණීමට තිබූ දිව්‍ය විනිශ්චයෙන් බේරීමට ඒ නොඇදහිලිකාර ඊශ්‍රායෙල් ජාතියට කිසිම අන්දමකින් බැරිය. මක්නිසාද අටවෙනි වතාවටත් යෙහෝවා ප්‍රකාශ කළේ, “එහි දඬුවම පහ නොකරන්නෙමි” කියායි. (ආමොස් 2:6) සැඟවී සිටීමට උත්සාහ කරන්නට ඉඩ ඇති දුෂ්ටයන් ගැන දෙවි පැවසුවේ මෙයයි. “ඔවුන්ගෙන් කිසිවෙක්වත් පලා නොයන්නේය. කිසිවෙක්වත් නොගැලවෙන්නේය. ඔවුන් ෂෙයෝලය දක්වා හාරා ගියත් මාගේ අත ඔවුන් එතැනින් අල්වාගන්නේය. ඔවුන් ස්වර්ගය දක්වා නැංගත් එතැනින් පහළට ගෙනෙන්නෙමි.”—ආමොස් 9:1, 2.

16 “ෂෙයෝලය දක්වා හාරා ගියත්” එනම්, පොළොවේ පහළම තැනට ගොස් සැඟවෙන්නට උත්සාහ කළත්, යෙහෝවාගේ විනිශ්චයෙන් ගැලවීමට දුෂ්ටයන්ට නොහැක. එලෙසම, “ඔවුන් ස්වර්ගය දක්වා නැංගත්,” එනම් උස් කඳුවලට ගොස් සැඟවීමට උත්සාහ කළත් ඔවුන්ට දිව්‍ය විනිශ්චයෙන් බේරිය නොහැක. යෙහෝවාගේ අනතුරු ඇඟවීම ඉතා පැහැදිලියි. එනම්, දෙවිගෙන් බේරී කිසිම කෙනෙකුට කිසිම තැනක සැඟවිය නොහැකියි. ඊශ්‍රායෙල් රාජ්‍යයේ දුෂ්ට ක්‍රියාවන් නිසා දෙවි ඊට දඬුවම් කළ යුතුව තිබුණි. ඒ සඳහා කාලය පැමිණුණේය. ඒ, ආමොස් සිය අනාවැකි කියා වසර 60කට පමණ පසු ක්‍රි.පූ. 740දීය. ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල් රාජ්‍යය ඇසිරියානුවන් විසින් යටත් කරගන්නා ලදි.

දිව්‍ය විනිශ්චය තෝරා බේරා කරන එකකි

17, 18. දෙවිගේ දයාව ගැන ආමොස් 9වන පරිච්ඡේදයේ හෙළි කරන්නේ කුමක්ද?

17 ආමොස්ගේ අනාවැකිය තුළින් අප තේරුම්ගත් එක් කාරණයක් නම්, දිව්‍ය විනිශ්චය යනු සෑමවිටම ලැබීමට සුදුසු අයට ලැබෙන එකක් බවත්, එයින් බේරිය නොහැකි බවත්ය. එහෙත් දිව්‍ය විනිශ්චය තෝරා බේරා කරන එකක් බවද ආමොස්ගේ පොතෙන් අපට පෙන්වා දෙයි. දුෂ්ටයන් කොහේ සැඟවුණත් ඔවුන්ව සොයාගෙන ඔවුන්ට දඬුවම් දීමට දෙවිට හැකියි. තවද, පසුතැවිලි වන අවංක අයව සොයාගැනීමටද ඔහුට පුළුවන. ඔහු දයාව දක්වන්නේ ඔවුන්ටය. මෙයයි, ආමොස් පොතේ අන්තිම පරිච්ඡේදයේ ඉතා අලංකාර ලෙස අපට පෙන්වා දෙන්නේ.

18 ආමොස් 9වන පරිච්ඡේදයේ 8වන පදයේ සඳහන් පරිදි යෙහෝවා පැවසුවේ මෙසේයි. “යාකොබ් වංශය සහමුලින්ම විනාශ නොකරන්නෙමි.” මෙහි ආමොස් 9:13 සිට 15 දක්වා පදවල සඳහන් පරිදි, “වහලුන් නැවත ගෙනෙන්නෙමි” යයි තම සෙනඟ ගැන යෙහෝවා පොරොන්දු වුණේය. ඔවුන්ට දයාව දක්වනු ලබන අතර, ඔවුන් සුරක්ෂිතභාවය සහ සමෘද්ධිය භුක්ති විඳිනවා ඇත. “සීසාන්නා ගොයම් කපන්නාටත් . . . ළංවන දවස් පැමිණෙන්නේය” යන්න යෙහෝවාගේ පොරොන්දුව විය. මේ ගැන හිතන්න. ඔවුන්ට නෙළාගන්නට තිබෙන අස්වැන්න කොතරම්ද යත්, ඊළඟ වතාවේ සීසා බීජ වැපිරීමට නියමිත කාලය වන තෙක්ම කලින් වතාවේ සමහරක් අස්වැන්න තවමත් නෙළා නොතිබෙනවා ඇත!

19. ඊශ්‍රායෙල් හා යූදා රාජ්‍යයවලට අයත් පසුතැවිලි වූ පිරිසට සිදු වුණේ කුමක්ද?

19 යූදාවේ සහ ඊශ්‍රායෙලයේ දුෂ්ටයන්ට එරෙහිව දුන් යෙහෝවාගේ විනිශ්චය තෝරා බේරා දුන් එකක් බව කිව හැකියි. එසේ කිව හැක්කේ එම දේශයන්හි විසූ පසුතැවිලි වී හරි දේ කිරීමට කැමති වූ අයට දෙවි දයාව දැක්වීම නිසාය. ඊශ්‍රායෙල් හා යූදා රාජ්‍යයවලට අයත්ව සිටියාවූද පසුතැවිලි වුණාවූද පිරිසක් ක්‍රි.පූ. 537දී බැබිලෝනියාවේ වහල්භාවයෙන් මිදී ආ අවස්ථාවේදී, නැවත පිහිටුවනු ලැබීම පිළිබඳ ආමොස් 9වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය ඉෂ්ට විය. නැවතත් තම මව්බිමට ආ මේ අය ශුද්ධ නමස්කාරය යළි ස්ථාපිත කළහ. ඔවුන් තම නිවෙස් යළි ගොඩනඟා, මිදි වතු වවා උද්‍යාන සෑදුවේ ඉතා සුරක්ෂිත වටපිටාවක් තුළය.

යෙහෝවාගේ විනිශ්චය අනිවාර්යයෙන්ම ඉටු වේ!

20. ආමොස් විසින් ප්‍රකාශ කරන ලද විනිශ්චය පණිවුඩය අප සලකා බලන කල, අපට සහතික විය හැක්කේ කුමක් ගැනද?

20 ආමොස් විසින් ප්‍රකාශ කරන ලද දිව්‍යමය විනිශ්චය පිළිබඳ පණිවුඩය මගින් අපට සහතික විය හැක්කේ කුමක් ගැනද? එය නම්, යෙහෝවා අපේ කාලයේදී අනිවාර්යයෙන්ම දුෂ්ටකමට නැවතීමේ තිතක් තබන බවයි. අපට මෙය විශ්වාස කළ හැක්කේ මන්ද? එක් හේතුවක් නම්, දෙවි අතීතයේදී දුෂ්ටයන් සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ ආදර්ශයන් සලකා බලද්දී, ඔහු අපගේ කාලයේදී කෙසේ ක්‍රියා කරනු ඇද්ද යන්න ගැන යම් ඉඟියක් ඒ මගින් ලබා දෙන නිසයි. දෙවෙනි හේතුව නම්, ඇදහිල්ලට එරෙහිව කැරලි ගැසූ ඊශ්‍රායෙල් රාජ්‍යයට එරෙහිව ගෙන ආ දිව්‍ය විනිශ්චය දෙස බලන කල, පැහැදිලි වන්නේ, දෙවි බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහ බැබිලෝනියේ’ වඩාත් පිළිකුලට ලක් වූ කොටස වන ක්‍රිස්තියානි ලෝකයට විනාශය ගෙන එනු ඇති බවයි.—එළිදරව් 18:2.

21. ක්‍රිස්තියානි ලෝකය දෙවිගේ විනිශ්චය ලැබීමට වටින්නේ මන්ද?

21 ක්‍රිස්තියානි ලෝකය දිව්‍ය විනිශ්චය ලැබීමට සුදුසු බවට කිසිම සැකයක් නැත. ඇය ආගමික වශයෙනුත් සදාචාරමය වශයෙනුත් සිටින්නේ අතිශයින් පහත් තත්වයක බව මොනවට පැහැදිලියි. එම නිසා ක්‍රිස්තියානි ලෝකය මෙන්ම සාතන්ගේ ලෝකයේ ඉතිරි කොටස්ද යෙහෝවාගේ විනිශ්චය ලැබීමට වටී. ඉන් බේරෙන්නටද ඔවුන්ට බැරි වේ. ඒ මන්දයත් විනිශ්චය ඉෂ්ට කිරීමට නියමිත කාලයේදී ආමොස් 9වන පරිච්ඡේදයේ 1වන පදය ඔවුන්ට අදාළ වනු ඇති නිසාය. “ඔවුන්ගෙන් කිසිවෙක්වත් පලා නොයන්නේය. කිසිවෙක්වත් නොගැලවෙන්නේය.” එසේය, දුෂ්ටයන් කොහේ සැඟවුණද, යෙහෝවා ඔවුන්ව සොයාගන්නවා ඇත.

22. දෙවන තෙසලෝනික 1:6-8හි පැහැදිලිව පෙන්වා ඇත්තේ දිව්‍ය විනිශ්චය පිළිබඳ කිනම් කරුණුද?

22 දිව්‍ය විනිශ්චය සෑමවිටම ලැබීමට සුදුසු, බේරිය නොහැකි, තෝරා බේරා කරන විනිශ්චයකි. මෙය ප්‍රේරිත පාවුල්ගේ වචනවලින් පැහැදිලි වේ. “දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ දෙය වන්නේ ඔබට පීඩා කරන අයට දෙවි විසින් පීඩා ගෙන එනු ලැබීමත්, පීඩා විඳින ඔබටද, අපටද සහනය ලබා දීමත්ය. මෙය සිදු වන්නේ, ස්වාමීන් වන යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන විටදීය. ඔහු ගිනි ජාලාවක් ඇතිව එළිදරව් වී, දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය.” (2 තෙසලෝනික 1:6-8) තම අභිෂේක ලත් අයට පීඩා පැමිණෙවූවන්ට දිව්‍ය විනිශ්චය ගෙන ඒම ‘දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ දෙයක්ය.’ ඒ විනිශ්චයෙන් ඔවුන්ට බේරිය නොහැක. මන්ද ‘යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් ගිනි ජාලාවක් ඇතිව එළිදරව්’ වන විට, දුෂ්ටයන්ට ගැලවීමක් නැති හෙයිනි. දිව්‍ය විනිශ්චය තෝරා බේරා ගෙනෙන විනිශ්චයක් වන්නේ, මන්දයත්, යේසුස් ‘දෙවිව නොදන්නා අයගෙන්ද ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද’ පළිගන්නා බැවිනි. තවද දිව්‍ය විනිශ්චය ක්‍රියාත්මක වන විට, පීඩා විඳින දේවභක්තික පුද්ගලයන්ට ඒ මගින් මහත් සැනසීමක් අත්වෙනවා ඇත.

ධර්මිෂ්ඨයන්ට තිබෙන බලාපොරොත්තුව

23. ආමොස්ගේ පොතෙන් අපට ලබාගත හැකි බලාපොරොත්තුව සහ සැනසීම කුමක්ද?

23 හරි දෙය කිරීමට ආශාවක් ඇති අයට බලාපොරොත්තුවේ සහ සැනසීමේ ඉතා උතුම් පණිවුඩයක් ආමොස්ගේ අනාවැකිය තුළ අන්තර්ගතය. ආමොස් පොතේ පුරෝකථනය කර තිබුණාක් මෙන්, යෙහෝවා ඉපැරණි කාලවල විසූ සිය ජනයාව ජාතියක් හැටියට සහමුලින්ම විනාශ කළේ නැත. ඔහු අවසානයේදී ඊශ්‍රායෙලයේ සහ යූදාවේ වහල්භාවයට ගිය අයව නැවත එකතු කර, ඔවුන්ට තම මව්බිම කරා යෑමට සලස්වා, මහත් සුරක්ෂිත තත්වයක් යටතේ ඔවුන්ව සමෘද්ධිමත් කර ඔවුන්ට ආශීර්වාද කළේය. මින් අපගේ කාලයට අදහස් වන්නේ කුමක්ද? අපට මේ නිසා යමක් ගැන ස්ථිරවම සහතික විය හැකියි. එනම්, දිව්‍ය විනිශ්චය ගෙනෙන අවස්ථාවේදී, දුෂ්ටයන් කොහේ සිටියත් යෙහෝවා ඔවුන්ව සොයාගන්නා බවත්, තමාගේ දයාව ලැබීමට වටින පුද්ගලයන්ද පොළොවේ කොහේ සිටියත් ඔවුන්වද සොයාගන්නා බවත්ය.

24. යෙහෝවාගේ නවීන දින සේවකයන් ආශීර්වාද ලබා තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?

24 දුෂ්ටයන් කෙරෙහි යෙහෝවාගේ විනිශ්චය පැමිණෙන තෙක් අප බලා සිටින අතරේදී, ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන් හැටියට අප අද්දකිමින් සිටින්නේ කුමක්ද? යෙහෝවා අපව බොහෝ සෙයින් ආත්මිකව සමෘද්ධිමත් කර, අපට ආශීර්වාද කරමින් සිටී! තවද, ක්‍රිස්තියානි ලෝකයේ වැරදි ඉගැන්වීම්වලින් පැමිණි බොරුවලින් සහ විකෘති වූ අදහස්වලින් මුළුමනින්ම නිදහස් වූ නමස්කාර ක්‍රමයක් අපට තිබේ. එමෙන්ම යෙහෝවා අපට බහුලව ආත්මික ආහාර සපයමින් අපට ආශීර්වාද කර තිබේ. එහෙත්, යෙහෝවාගෙන් ලැබෙන මේ මහඟු ආශීර්වාද සමඟින් අපට මහත් වගකීමක්ද පැවරෙන බව මතක තබාගන්න. පැමිණෙමින් තිබෙන විනිශ්චය ගැන අන්‍යයන්ට අනතුරු ඇඟවීම දෙවි අපෙන් බලාපොරොත්තු වේ. ‘සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබෙන’ අයව සෙවීමට අපට කළ හැකි සියල්ලම කිරීමට අපි ආශා කරන්නෙමු. (ක්‍රියා 13:48) එසේය, අප දැන් භුක්ති විඳින ආත්මික සමෘද්ධිය තුළ පංගුකාරයන් වීමට හැකි තරම් දෙනෙකුට උපකාර කිරීම අපේ ආශාවයි. එමෙන්ම ඔවුන්, දුෂ්ටයන්ට එරෙහිව ගෙනෙනු ලබන දිව්‍ය විනිශ්චයෙන් බේරී ජීවත් වෙනවා දැකීමට අපට වුවමනාය. එහෙත්, මෙම ආශීර්වාදවල පංගුකාරයන් වීමට නම්, අපේ සිත් තුළද නිවැරදි ආකල්පයක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙයද ආමොස්ගේ අනාවැකියේ උලුප්පා දක්වා ඇති කාරණයකි. අපි එය මීළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවාගේ විනිශ්චය සෑමවිටම ලැබීමට සුදුසු විනිශ්චයක් බව ආමොස්ගේ අනාවැකියෙන් පෙන්වන්නේ කෙසේද?

• දිව්‍ය විනිශ්චයෙන් ගැලවිය නොහැකි බවට ආමොස් ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද?

• දෙවිගේ විනිශ්චය තෝරා බේරා කරන විනිශ්චයක් බව ආමොස් පොත පෙන්වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල් රාජ්‍යය දිව්‍ය විනිශ්චයෙන් බේරුණේ නැත

[18වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු පූර්ව 537දී, ඊශ්‍රායෙල් සහ යූදා රාජ්‍යයන්ට අයත්ව සිටියාවූ පසුතැවිලි වූ පිරිසක් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණියහ