Skip to content

පටුනට යන්න

සිත් සෝදිසි කරන යෙහෝවාව සොයන්න

සිත් සෝදිසි කරන යෙහෝවාව සොයන්න

සිත් සෝදිසි කරන යෙහෝවාව සොයන්න

“මා සොයන්න, එවිට ඔබ ජීවත් වන්නහුය.”—ආමොස් 5:4.

1, 2. යෙහෝවා ‘සිත බලන’ බව ශුද්ධ ලියවිලිවල පවසන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද?

යෙහෝවා දෙවි අනාගතවක්තෘ සාමුවෙල්ට මෙසේ කීවේය. “මනුෂ්‍යයා පිටතින් පෙනෙන දේ බලයි. එහෙත් යෙහෝවා හෘදය [හෙවත් සිත] බලන්නේය.” (1 සාමුවෙල් 16:7) යෙහෝවා “සිත බලන්නේ” කෙසේද?

2 ශුද්ධ ලියවිලිවල සඳහන් සිත යන වචනය යොදාගැනෙන්නේ පුද්ගලයෙකු ඇතුළාන්තයෙන් කෙබඳු කෙනෙකුද යන්න විස්තර කිරීමටයි. එනම්, ඔහුගේ ආශාවන්, සිතිවිලි, චිත්තවේගී හැඟීම් මෙන්ම ඔහුගේ ස්නේහයන් හා ඇලුම්කම් ගැන විග්‍රහ කිරීමටයි. මේ අනුව, දෙවි සිත බලනවායයි බයිබලයේ කියන විට, ඉන් අදහස් කරන්නේ දෙවි මනුෂ්‍යයෙකුගේ පිටාතර පෙනුම නොව, ඇතුළාන්තයෙන් සැබවින්ම ඔහු කෙබඳු පුද්ගලයෙකුද යන්න බලන බවයි.

දෙවි ඊශ්‍රායෙල් ජාතියව සෝදිසි කරයි

3, 4. ආමොස් 6:4-6ට අනුව, ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ පැවතියේ කිනම් තත්වයන්ද?

3 ආමොස්ගේ කාලයේදී ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය දෙස බැලූ සිත් සෝදිසි කරන දෙවිට දක්නට ලැබුණේ කුමක්ද? ආමොස් 6:4-6හි පවසන්නේ, මිනිසුන් ‘ඇත්දත් යහන්වල සයනය කරමින්, තමන්ගේ ඇඳන්වල සැතපුණු’ බවයි. ඔවුහු ‘රැළෙන් බැටළු වස්සන් සහ පට්ටියෙන් වස්සන් රැගෙන කමින් සිටියෝය.’ එවන් මිනිස්සු ‘තූර්ය භාණ්ඩයන් යොදාගෙන ගී කියමින් පාත්‍රාවලින් මිදියුෂ බිව්වෝය.’

4 බැලූ බැල්මට නම්, මෙය ප්‍රියමනාප දර්ශනයක් සේ පෙනෙනවා විය හැකියි. ධනවත්හු තම සුව පහසු නිවෙස්වලට වී, හොඳම කෑම බීම භුක්ති විඳිමින් උසස්ම සංගීත භාණ්ඩවල මියුරු හඬින් කුල්මත් වූහ. ඔවුන්ට ‘ඇත්දත් යහන්ද’ තිබිණි. ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගනුවර වූ සමාරියේ කරන ලද කැනීම්වලදී ඉතා අලංකාර ඇත්දත් කැබලි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබේ. (1 රාජාවලිය 10:22) මෙම ඇත්දත් කැබලිවලින් බොහොමයක් ගෘහ භාණ්ඩවලටත් බිත්තිවල තිබූ ලී කැටයම්වලටත් ඔබ්බවා තිබිණි.

5. ආමොස්ගේ දවස්වල විසූ ඊශ්‍රායෙලිතයන් ගැන දෙවි අසතුටු වූයේ මන්ද?

5 ඊශ්‍රායෙලිතයන් රස බොජුන් භුක්ති විඳිමින්, මදුපානය කරමින්, මියුරු සංගීතයට සවන් දෙමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතය ගැන යෙහෝවා දෙවි අසතුටු වූවාද? කිසිසේත්ම නැත. ඇත්ත වශයෙන්ම, මිනිසාගේ සතුටට හේතු වන එම දේවල් සපයන්නේ දෙවිමයි. (1 තිමෝති 6:17) යෙහෝවා අසතුටු වුණේ, මිනිසුන් තුළ තිබූ වැරදි ආශාවන් සහ ඔවුන්ගේ සිත්වල තිබූ දුෂ්ටකම ගැන මෙන්ම දෙවි කෙරෙහි තිබූ අගෞරවණීය ආකල්පය සහ සෙසු ඊශ්‍රායෙලිතයන් කෙරෙහි ඔවුන් තුළ ප්‍රේමයක් නොතිබීම ගැනය.

6. ආමොස්ගේ කාලයේදී ඊශ්‍රායෙලයේ ආත්මික තත්වය කුමක් වීද?

6 ‘තමන්ගේ ඇඳන්වල සැතපෙන්නාවූ, රැළෙන් බැටළු වස්සන් කන්නාවූ, මිදියුෂ බොන්නාවූ, තූර්ය භාණ්ඩයන් යොදාගෙන ගී කියන්නාවූ’ අයගෙන්, බලාපොරොත්තු නොවූ මේ ප්‍රශ්නය අසනු ලැබිණි. එනම්, “නපුරු දවස” පැමිණෙන බවට ඔබට අමතක වෙලාද? යන්නයි. ඊශ්‍රායෙලයේ තිබූ තත්වයන් ගැන ඔවුන් මහත් සේ ශෝක විය යුතුව තිබූ නමුදු, ඔවුහු ‘යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවූහ.’ (ආමොස් 6:3-6) එම ජාතිය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තත්වයක සිටියද, ඔවුන්, එනම් යෝසෙප් හෙවත් ඊශ්‍රායෙල් ජාතිය ආත්මික වශයෙන් ඉතා දරුණු ලෙස පිරිහී සිටි බවයි දෙවි දුටුවේ. එහෙත් එවකට විසූ අය තමන් අවට සිදු වෙමින් තිබූ දේවල් ගණනකටවත් ගත්තේ නැත. වර්තමානයේ සිටින බොහෝදෙනෙකුට තිබෙන්නේ ඊට සමානම ආකල්පයකි. අප දැන් ජීවත් වන කාලය ඉතා අසීරු කාලයක් බව ඔවුන් පිළිගන්නවා වෙන්නට පුළුවනි. නමුත් ඒ සිදු වන දේවල් තමන්ට පෞද්ගලිකව බලපාන්නේ නැති තාක් කල්, ඔවුන් අනුන්ට විඳීමට සිදු වී ඇති දුක් ගැහැට ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේවත්, ආත්මික කාරණා ගැන කිසිදු උනන්දුවක් දක්වන්නේවත් නැත.

පිරිහෙමින් තිබූ ජාතියක් වූ ඊශ්‍රායෙල්

7. ඊශ්‍රායෙලයේ ජනයා දිව්‍ය අනතුරු ඇඟවීමට අවනත නොවන්නේ නම්, කුමක් සිදු වනු ඇද්ද?

7 බාහිර වශයෙන් සමෘද්ධිමත්යයි පෙනුණත්, අභ්‍යන්තර වශයෙන් පිරිහුණු ජාතියක් ගැන ආමොස්ගේ පොතේ විස්තර කෙරේ. දිව්‍ය අනතුරු ඇඟවීම්වලට අවනත වී තමන්ගේ ආකල්ප වෙනස් කරගැනීමට අසමත් වූ බැවින්, යෙහෝවා ඔවුන්ව තවදුරටත් ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා නොකරනු ඇත. ඇසිරියානුවන් ඔවුන්ව තම අතිඅලංකාර යහන්වලින් ඇද, වහල්භාවයට ගෙන යනවා ඇත. ඒ සුව පහසු ජීවිතය එතැනින් හමාරය!

8. ඊශ්‍රායෙලිතයන් ආත්මිකව පිරිහීමට ලක් වූයේ කෙසේද?

8 ඊශ්‍රායෙලිතයන් එවන් තත්වයකට පත් වූයේ කෙසේද? මේ තත්වය උද්ගත වීමට පටන්ගත්තේ ක්‍රි.පූ. 997දීයි. සලමොන් රජුගෙන් පසුව ඔහුගේ පුත් රෙහොබොවම් රජකමට පත් වුණු එම වසරේදී ඊශ්‍රායෙලයේ දස ගෝත්‍රය, යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලින් වෙන් වී ගියේය. ඊශ්‍රායෙලයේ දස ගෝත්‍රයේ පළමු රජ “නෙබාත්ගේ පුත්‍ර වූ” 1වන යෙරොබොවම් රජුයි. (1 රාජාවලිය 11:26) යෙහෝවාට නමස්කාර කිරීමට යෙරුසලමට ගමන් කිරීම ඉතා දුෂ්කර අපහසු කාර්යයක් බව යෙරොබොවම් රජ තම වැසියන්ට ඒත්තුගැන්වීය. එසේ කළේ ඔහු තම වැසියන්ගේ ශුභසාධනය ගැන සැලකිලිමත් වූ නිසා නොවේ. ඒ වෙනුවට ඔහු උත්සාහ කළේ තමාගේම තනතුර ආරක්ෂා කරගැනීමටයි. (1 රාජාවලිය 12:26) ඊශ්‍රායෙලිතයන් යෙහෝවාට නමස්කාර කිරීම සඳහා යෙරුසලමේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යවලට යෑම දිගටම කළහොත්, ඔවුන් අන්තිමේදී යූදා රාජ්‍යයට පක්ෂපාතකම දක්වනු ඇතැයි ඔහු භය විය. මෙය වළක්වාලීමට උත්සාහ කරමින් යෙරොබොවම් කළේ, දාන්හි සහ බෙතෙල්හි රන් වස්සන්ගේ රූප දෙකක් ගොඩනැඟීමයි. ඊශ්‍රායෙල් රාජ්‍යය තුළ වසු නමස්කාරය රටේ ප්‍රධාන ආගමක් බවට පත් වූයේ මේ අයුරිනි.—2 ලේකම් 11:13-15.

9, 10. (අ) පළමුවන යෙරොබොවම් රජ විසින් සංවිධානය කරනු ලැබුවේ කිනම් ආගමික උත්සවයන්ද? (ආ) දෙවන යෙරොබොවම් රජගේ දවස්වලදී ඊශ්‍රායෙලයෙහි පැවති ආගමික උත්සව ගැන දෙවි දැරූ දෘෂ්ටිය කුමක්ද?

9 යෙරොබොවම් රජ උත්සාහ කළේ මේ නව ආගමට ගෞරවණීය ස්වරූපයක් ආරූඪ කිරීමටයි. ඔහු යෙරුසලමේ තිබූ උත්සවයන්ට යම් තරමකට සමාන ආගමික උත්සව සංවිධානය කළේය. පළමුවෙනි රාජාවලිය 12:32හි අපට මෙසේ කියවීමට තිබේ. “යෙරොබොවම් යූදාහි මංගල්‍යය මෙන් මංගල්‍යයක් අටවෙනි මාසේ පසළොස්වෙනි දා නියම කොට [බෙතෙල්හි තමා සෑදූ] පූජාසනය ළඟට නැඟී ගියේය.”

10 යෙහෝවා කිසිම විටෙකත් එවන් බොරු ආගමික උත්සව අනුමත කළේ නැත. ඊට සියවසකට වඩා වැඩි කාලයකට පසු, එනම් ක්‍රි.පූ. 844දී පමණ, ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ රජ බවට පත් වූ 2වන යෙරොබොවම්ගේ පාලන සමයේ විසූ ආමොස් තුළින් ඔහු ඒ බව පැහැදිලි කළේය. (ආමොස් 1:1) ආමොස් 5:21-24හි සඳහන් පරිදි දෙවි පැවසුවේ මෙයයි. “මම ඔබේ මංගල්‍ය දවස්වලට ද්වේෂ කරමි. . . . ඔබේ මහත් රැස්වීම්වලට සතුටු නොවන්නෙමි. එසේය, දවන යාගද ඔබේ ආහාර පූජාද මට පුදන නමුත් ඒවා පිළිනොගන්නෙමි. ඔබේ තර මෘගයන් රැගෙන කරන ශාන්ති පූජාවන් නොසලකන්නෙමි. ඔබේ ගීතිකා ඝෝෂාව මාගෙන් පහ කරන්න. ඔබේ වීණා නාදය නොඅසන්නෙමි. එහෙත් යුක්තිය ජලධාරා මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දිය පාරක් මෙන්ද ගලාවා.”

එදා සිදු වූ දේවල්මයි අදත් සිදු වන්නේ

11, 12. පැරණි ඊශ්‍රායෙලය සහ ක්‍රිස්තියානි ලෝකය අතර දක්නට ලැබෙන සමානකම් මොනවාද?

11 එසේනම්, ඊශ්‍රායෙල්හි මංගල්‍යවලට සහභාගි වූවන්ගේ සිත් සෝදිසි කළ යෙහෝවා ඔවුන්ගේ උත්සව සහ පූජාවන් හෙළාදුටු බව පැහැදිලිය. අද දිනත්, දෙවි, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල, නත්තල සහ ඊස්ටර් හෙවත් පාස්කුව වැනි මිථ්‍යා මංගල්‍ය හෙළාදකී. යෙහෝවාට නමස්කාර කරන අයට නම්, ධර්මිෂ්ඨකමින් ජීවත් වන අතරතුරේදී දුෂ්ටකම්ද කිරීමට බැරිය. තවද, ආලෝකයේ ගමන් කරන අතරතුරේදී අන්ධකාරයේද හැසිරෙන්නට බැරිය.—2 කොරින්ති 6:14-16.

12 ඊශ්‍රායෙලයේ වස්සන්ට නමස්කාර කළ අයගේ ක්‍රියා සහ ක්‍රිස්තියානි ලෝකය අතර තවත් සමානකම් දක්නට ලැබේ. තමුන් ක්‍රිස්තියානියයි කියාගන්නා ඇතමුන් දේවවචනයේ තිබෙන සත්‍යයන් පිළිගත්තද, සමස්තයක් වශයෙන් ගත් කල, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල කෙරෙන නමස්කාර වත්පිළිවෙත් දෙවිට තිබෙන අවංක ප්‍රේමය නිසා සිදු කෙරෙන ඒවා නොවේ. තමන් දෙවිට අවංකව ප්‍රේම කරනවා නම්, “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” යෙහෝවාට නමස්කාර කළ යුතු බව ඔවුන් දැඩි සේ කියා සිටිය යුතුය. මන්ද, දෙවි පිළිගන්නේ එබඳු නමස්කාරයක් වන නිසාය. (යොහන් 4:24) එහෙත්, ක්‍රිස්තියානි ලෝකය “යුක්තිය ජලධාරා මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දිය පාරක් මෙන්ද ගලා” යෑමට සලස්වන්නේ නැත. ඒ වෙනුවට, ක්‍රිස්තියානි ලෝකය දෙවිගේ සදාචාර ප්‍රමිති නිතරම සැහැල්ලුවට ගනී. ඒවායේ සාමාජිකයන් විසින් කරනු ලබන වේශ්‍යාකම්වලටද වෙනත් දරුණු පාපවලටද තම ඇස් කන් පියාගෙන සිටින ඒවායේ නායකයෝ එතැනින් නතර නොවී, සමලිංගික විවාහවලටද ආශීර්වාද කරති!

“යහපතට ප්‍රේම කරන්න”

13. ආමොස් 5:15හි සඳහන් වචනවලට එකඟව අප ක්‍රියා කළ යුත්තේ මන්ද?

13 යෙහෝවාට පිළිගත හැකි ආකාරයකට නමස්කාර කිරීමට ආශාවක් දක්වන සියල්ලන්ටම ඔහු මෙසේ කියයි. “නපුරට ද්වේෂ කරන්න. යහපතට ප්‍රේම කරන්න.” (ආමොස් 5:15) ප්‍රේමය සහ ද්වේෂය යනු යමෙකුගේ සිතේ ඇති වන ප්‍රබල හැඟීම්ය. සිත රැවටිලිකාර නිසා, එය ආරක්ෂා කරගැනීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුය. (හිතෝපදේශ 4:23; යෙරෙමියා 17:9) වැරදි ආශාවන් අප තුළ වර්ධනය වීමට අප ඉඩහරිනවා නම්, අප නරක දේට ඇලුම් වී යහපත් දේවලට වෛර කරන්නට පටන්ගැනීමට ඉඩ තිබේ. තවද, අපි වැරදි ආශාවලින් පෙලඹී දිගටම පව් කරන්නෙමු නම්, අප තුළ කොතරම් භක්තියක් තිබුණත් අපට දේවඅනුමැතිය යළි දිනාගන්නට බැරිය. ඒ නිසා, ‘නපුරට ද්වේෂ කොට, යහපතට ප්‍රේම කිරීමට’ අපි දෙවිගේ පිහිට ඉල්ලා යාච්ඤා කරමු.

14, 15. (අ) ඊශ්‍රායෙලයේ යහපත් දේවල් කරමින් සිටියේ කවුරුන්ද? නමුත් ඔවුන්ගෙන් සමහරුන්ට සලකනු ලැබුවේ කෙසේද? (ආ) අද දින පූර්ණ කාලීන සේවය කරමින් සිටින අයව දිරිගැන්වීමට අපට හැක්කේ කෙසේද?

14 ඊශ්‍රායෙල්වරු සෑමදෙනාම යෙහෝවාගේ ඇස් හමුවේ වැරදි දේ කරමින් සිටියේ නැත. නිදසුනක් වශයෙන්, හොෂෙයා සහ ආමොස් ‘යහපතට ප්‍රේම කළ’ අතර, අනාගතවක්තෲන් ලෙස දෙවිට විශ්වාසවන්තව සේවය කළෝය. තවත් අය නසරීතවරුන් වශයෙන් සේවය කිරීමට භාර වුණෝය. ඔවුහු නසරීතවරුන් ලෙස සේවය කරන කාලය තුළ, මිදිවලින් සාදාගත් ඕනෑම පානයකින්, විශේෂයෙන්ම වයින්වලින් වැළකී සිටියහ. (ගණන් කථාව 6:1-4) මෙලෙස යහපත් දේවල් කරමින් ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කළ අය දෙස වෙනත් ඊශ්‍රායෙලිතයන් බැලුවේ කෙසේද? මේ ප්‍රශ්නයට දීමට තිබෙන පිළිතුර දෙස බලන කල, මෙම ජාතිය ආත්මික වශයෙන් මොන තරම් පිරිහී සිටියාදැයි මොනවට පැහැදිලි වේ. ආමොස් 2:12හි මෙසේ කියයි. “එහෙත් ඔබ [නසරීතවරුන්ට] මිදියුෂ බොන්ට දුන්නහුය. අනාගත වචන නොකියන්නයයි අනාගතවක්තෲන්ට අණ කළහුය.”

15 නසරීතවරුන්ගේ සහ අනාගතවක්තෲන්ගේ ඇදහිලිවන්ත ආදර්ශය දැකීමෙන්, එම ඊශ්‍රායෙලිතයන් ලජ්ජා වී තමන්ගේ මාර්ග වෙනස් කරගැනීමට පෙලඹිය යුතුව තිබුණි. ඒ වෙනුවට, ඔවුන් උත්සාහ කළේ, දෙවිව මහිමවත් කරමින් සිටි ඒ ඇදහිලිවන්තයන්ව අධෛර්යයට පත් කිරීමටයි. ඇත්තෙන්ම ඔවුන්ගේ එම ක්‍රියාව ඉතා අකාරුණිකය. මින් අපට ගත හැකි පාඩම කුමක්ද? එය නම්, පුරෝගාමීන්, මිෂනාරීන්, සංචාරක අවේක්ෂකයන් හෝ බෙතෙල් පවුලේ සාමාජිකයන් ලෙස සේවය කරමින් සිටින අයව, ඔවුන්ගේ පූර්ණ කාලීන සේවය නතර කර, යළිත් ‘සාමාන්‍ය’ ජීවිතයක් ගත කිරීමට පෙලඹවීමට අප කිසිවිටෙකත් උත්සාහ නොකළ යුතු බවයි. ඒ වෙනුවට, අපි ඔවුන් කරන ඒ යහපත් සේවය දිගටම කරගෙන යෑමට දිරිගන්වමු!

16. ආමොස්ගේ කාලයට වඩා ඊශ්‍රායෙලිතයන්ට මෝසෙස්ගේ කාලයේදී වඩාත් හොඳ තත්වයක් තිබුණේ මන්ද?

16 ඊශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක් ආමොස්ගේ දවස්වලදී ද්‍රව්‍යමය අතින් තෘප්තිමත් ජීවිත ගත කරමින් සිටියද, ඔවුන් “දෙවි ඉදිරියෙහි පොහොසත්” වූයේ නැත. (ලූක් 12:13-21) ඔවුන්ගේ මුතුන් මිත්තන් වසර 40ක් පුරා පාළුකරයේ අනුභව කළේ මන්නා පමණි. ඔවුන් තර ගොනුන් අනුභව කළේවත්, ඇත්දත් යහන්වල අලසකමින් සැතපී සිටියේවත් නැත. එහෙත් මෝසෙස් ඔවුන්ට කී දේ ඉතා නිවැරදිය. “ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබගේ මුළු හස්ත කර්මාන්තයෙහිදී ඔබට ආශීර්වාද කළේය. . . . මේ හතළිස් අවුරුද්දක්ම ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ සමඟ විය. ඔබට කිසි හිඟකමක් නොවීය.” (ද්විතීය කතාව 2:7) ඇත්තෙන්ම, පාළුකරයේදී ඊශ්‍රායෙලිතයන්ට සැබවින්ම අවශ්‍ය වූ දේ සෑමවිටම ලැබිණි. සියලුම දේට වඩා, ඔවුන්ට දෙවිගේ ප්‍රේමය, ආරක්ෂාව සහ ආශීර්වාද ලැබිණි!

17. යෙහෝවා මුල් ඊශ්‍රායෙලිතයන්ව පොරොන්දු දේශයට ගෙන ආවේ මන්ද?

17 ආමොස්ගේ කාලයේ විසූවන්ට යෙහෝවා මතක් කර දුන්නේ, ඔවුන්ගේ මුතුන් මිත්තන්ව පොරොන්දු දේශයට ගෙනැවිත් ඔවුන්ගේ සියලු සතුරන්ව පලවාහැරීමට තමා ඔවුන්ට පිහිට වූ බවයි. (ආමොස් 2:9, 10) එහෙත්, දෙවි මුලින් විසූ ඒ ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් පොරොන්දු දේශයට ගෙන ආවේ මන්ද? ඒ, සුව පහසු ජීවිතයක් ගෙවමින් තමන්ගේ මැවුම්කරුවාණන්ව ප්‍රතික්ෂේප කිරීමටද? නැත! ඒ වෙනුවට, ඔහු එසේ කළේ නිදහස් සෙනඟක් හා ආත්මික ශුද්ධ සෙනඟක් ලෙසට තමන්ට නමස්කාර කිරීමට ඔවුන්ට හැකිකම ලබා දීමටයි. එහෙත්, දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන් නපුරට වෛර කළේවත්, යහපතට ප්‍රේම කළේවත් නැත. ඒ වෙනුවට, ඔවුන් කළේ, යෙහෝවා දෙවිට නොව කැපූ රූපවලට ගෞරව කිරීමයි. එය මොන තරම් ලජ්ජාවක්ද! නින්දාවක්ද!

යෙහෝවාට ගණන් දීමට අපටද සිදු වේ

18. යෙහෝවා අපව ආත්මික වශයෙන් නිදහස් කරගෙන ඇත්තේ මන්ද?

18 ඊශ්‍රායෙලිතයන්ගේ මේ නින්දාසහගත හැසිරීම දෙවි නොසලකාහරින්නේ නැත. තමාගේ ස්ථාවරය ගැන ඔහු පැහැදිලි කළේ මෙසේ කියමිනි. “ඔබේ සැම අයුතුකම් ගැන දඬුවම් කරන්නෙමි.” (ආමොස් 3:2) මේ වචන මගින් අපටද යමක් සිතීමට සැලැස්විය යුතුයි. එය නම්, අප නවීන දින ඊජිප්තුවෙන් එනම්, මේ දුෂ්ට සමාජ ක්‍රමයෙන් ගැලවී ආ හේතුව ගැන අප කල්පනා කළ යුතු බවයි. යෙහෝවා අපව ආත්මික වශයෙන් නිදහස් කරගෙන ඇත්තේ අපේම ආත්මාර්ථකාමී ඉලක්ක ලුහුබැඳීමට අපට අවස්ථාව දීමට නොවේ. ඒ වෙනුවට, ඔහු අපව නිදහස් කරගෙන ඇත්තේ පිරිසිදු නමස්කාරයක යෙදෙන නිදහස් ජනතාවක් වශයෙන් ඔහුට අපගේ හෘදයාංගම ප්‍රශංසාව දීමටයි. මේ නිසා, අපි සියලුදෙනාටම, දෙවි විසින් අපට දානය කර ඇති නිදහස පාවිච්චි කරන ආකාරය ගැන අනිවාර්යයෙන්ම ගණන් දීමට සිදු වන බව මතක තබාගනිමු.—රෝම 14:12.

19. ආමොස් 4:4, 5ට අනුව, ඊශ්‍රායෙලිතයන් වැඩිදෙනෙක් ප්‍රේම කරන්නට පටන්ගත්තේ මොනවාටද?

19 ආමොස් විසින් ප්‍රකාශ කරන ලද ඒ ප්‍රබල පණිවුඩයට ඊශ්‍රායෙලයේ වැසියන් වැඩිදෙනෙක් අවනත නොවීම කනගාටුදායකය. මෙම අනාගතවක්තෘවරයා ඔවුන්ගේ පිරිහුණු ආත්මික තත්වය ගැන හෙළි කළේ ආමොස් 4:4, 5හි වාර්තා කර ඇති මෙම වචනවලිනි. “බෙතෙල්ට ඇවිත් අපරාධ කරන්න. ගිල්ගාල්ට පැමිණ අපරාධ වැඩි කරන්න. . . . මක්නිසාද ඊශ්‍රායෙල් පුත්‍රයිනි, මීට ඔබ කැමති වන්නහුය.” ඊශ්‍රායෙලිතයන් තම සිත් තුළ නිවැරදි ආශාවන් වර්ධනය කරගෙන තිබුණේ නැත. ඔවුන් තම සිත් ආරක්ෂා කරගෙන තිබුණේද නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් නපුරු දේට ප්‍රේම කරන්නටත් යහපත් දේට වෛර කරන්නටත් පටන්ගත්හ. වස්සන්ට නමස්කාර කළ ඒ හිතුවක්කාර උද්ධච්ච මිනිසුන් වෙනස් වුණේ නැත. යෙහෝවාට ගණන් දීමට ඔවුන්ට සිදු වේ. එනම්, ඔවුන්ට ඔවුන්ගේ පාප නිසා නසින්නට සිදු වෙනවා ඇත!

20. යමෙකුට ආමොස් 5:4ට එකඟව ක්‍රියා කළ හැක්කේ කෙසේද?

20 ඒ දවස්වල ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වූ ඕනෑම අයෙකුට යෙහෝවාට විශ්වාසවන්තව සිටීම ලෙහෙසි පහසු දෙයක් වුණේ නැති බව අපට සිතාගන්නට පුළුවන. පවතින රැල්ලට එරෙහි වීම දුෂ්කර දෙයක් බව අද දින ජීවත් වන බාල මහලු ක්‍රිස්තියානීන්ද දන්නා දෙයකි. එහෙත්, ඇතැම් ඊශ්‍රායෙල්වරු සැබෑ නමස්කාරයේ නියැලුණහ. ඔවුන් එසේ කළේ ඔවුන් දෙවිට ප්‍රේම කළ නිසාත් ඔහුව සතුටු කිරීමට ආශාවක් තිබූ නිසාත්ය. ආමොස් 5:4හි සඳහන් වී ඇති පරිදි, යෙහෝවා ඔවුන්ට ආරාධනා කළේ “මා සොයන්න, එවිට ඔබ ජීවත් වන්නහුය” යනුවෙනි. අද දිනත්, තමන් කළ පව් ගැන පසුතැවිලි වී දේවවචනය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන දෙවිගේ කැමැත්ත කරමින් දෙවිව සොයන අයට ඔහු දයාව දක්වන්නේය. මෙසේ කිරීම පහසු දෙයක් නොවේ. නමුත් එසේ කරනවා නම්, එය සදාකාල ජීවනයට මඟ පෙන්වයි.—යොහන් 17:3.

ආත්මික සාගතයක් මැද සමෘද්ධිය

21. සැබෑ නමස්කාරයේ නියැලෙන්නේ නැති අයට මුහුණ පාන්නට සිදු වන්නේ කිනම් ආකාරයේ සාගතයකටද?

21 සැබෑ නමස්කාරයට සහයෝගය නුදුන් අයට මුහුණ දීමට සිදු වුණේ කුමකටද? ඉතා දරුණු ආකාරයේ සාගතයකටයි. එනම් ආත්මික සාගතයකටයි! “බලව, දේශය පිට හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව යෙහෝවාගේ වචන ඇසීමට හානියක් මා විසින් පමුණුවන දවස් පැමිණෙන්නේයයි” පරමාධිපති ස්වාමි වූ යෙහෝවා පැවසීය. (ආමොස් 8:11) ක්‍රිස්තියානි ලෝකය ආත්මික සාගතයකට හසුව සිටී. නමුත් එහි සිටින අවංක හදවත් ඇති අයට දෙවිගේ ජනයාගේ ආත්මික සමෘද්ධිය දැකගත හැකි අතර, ඔවුහු යෙහෝවාගේ සංවිධානය වෙතට රොක් වෙති. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ ආගම්වල සහ සැබෑ ක්‍රිස්තියානීන් අතර තිබෙන වෙනස යෙහෝවාගේ මෙම වචන තුළ කදිමට පැහැදිලි කර තිබේ. “බලව, මාගේ මෙහෙකරුවෝ කන්නෝය. නමුත් ඔබට බඩගිනි වන්නේය. බලව, මාගේ මෙහෙකරුවෝ බොන්නෝය. නමුත් ඔබට පිපාසා වන්නේය. බලව, මාගේ මෙහෙකරුවෝ ප්‍රීතිමත් වන්නෝය. නමුත් ඔබ ලජ්ජා වන්නහුය.”—යෙසායා 65:13.

22. අපට ප්‍රීතිවීමට තිබෙන හේතු මොනවාද?

22 යෙහෝවාගේ සේවකයන් වශයෙන්, අපි අපට තිබෙන ආත්මික සැපයුම් සහ ආශීර්වාද පෞද්ගලිකවම අගය කරන්නෙමුද? අප බයිබලය හා ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කරන විට හා අපගේ රැස්වීම්වලට, එක්රැස්වීම්වලට සහ සමුළුවලට සහභාගි වන විට, අපේ සිත්වල රජ කරන යහපත් තත්වය නිසා ප්‍රීති ඝෝෂා කිරීමට තරම් හැඟීමක් ඇත්තෙන්ම අප තුළ ඇති වේ. අපට දේවවචනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිවීම ගැන අපි ඉතා සතුටු වෙන්නෙමු. ආමොස් තුළින් දෙවි දී ඇති අනාවැකියද මීට ඇතුළත්ය.

23. දෙවිව මහිමවත් කරන අය භුක්ති විඳින්නේ මොනවාද?

23 දෙවිට ප්‍රේම කරන සහ ඔහුව මහිමවත් කිරීමට කැමති සියලු මිනිසුන්ට, ආමොස්ගේ අනාවැකිය තුළ බලාපොරොත්තුව පිළිබඳ පණිවුඩයක් අන්තර්ගතය. දැනට අප කුමන ආර්ථික තත්වයක සිටියත්, අපට මේ අර්බුදකාරී ලෝකය තුළ කුමන පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වුණත්, දෙවිට ප්‍රේම කරන අපි, දිව්‍ය ආශීර්වාදද හොඳම ආත්මික ආහාරද භුක්ති විඳින්නෙමු. (හිතෝපදේශ 10:22; මතෙව් 24:45-47) එසේනම්, සියලුම ගෞරවය යා යුත්තේ අපේ ප්‍රයෝජනය සඳහා සියල්ල අපට සපයන දෙවිටය. එම නිසා, අපි සදාකාලයටම ඔහුට අපේ හෘදයාංගම ප්‍රශංසාව දීමට අදිටන් කරගනිමු. සිත් සෝදිසි කරන යෙහෝවාව අපි සොයන්නෙමු නම්, එම ප්‍රීතිමත් වරප්‍රසාදය අපට ලැබෙන බවට කිසිම සැකයක් නැත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ආමොස්ගේ දවස්වලදී ඊශ්‍රායෙලයේ පැවැතියේ කිනම් තත්වයන්ද?

• ඊශ්‍රායෙලයේ දස ගෝත්‍රයේ තිබූ තත්වයන් මෙන් වර්තමානයේද සිදු වන්නේ මොනවාද?

• කලින් පුරෝකථනය කරන ලද කිනම් ආකාරයක සාගතයක්ද දැන් තිබෙන්නේ? නමුත් එම සාගතය අද්දකින්නේ නැත්තේ කවුරුන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

ඊශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක් සුඛෝපභෝගී ජීවිත ගත කළත් ආත්මික සමෘද්ධිය භුක්ති වින්දේ නැත

[23වන පිටුවේ පින්තූරය]

පූර්ණ කාලීන සේවය කරන අයට ඔවුන්ගේ යහපත් සේවය දිගටම කරගෙන යෑමට දිරිගන්වන්න

[24, 25වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සන්තෝෂවත් ජනයා අතර කිසිදු ආත්මික සාගතයක් නැත