Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නැවත නැඟිටවනු ලැබූ යේසුස් තමාව ඇල්ලීමට තෝමස්ට ආරාධනා කළත් මරියා මග්දලේනාට තමාව ඇල්ලීමට ඉඩ නොදුන්නේ ඇයි?

යේසුස් මරියා මග්දලේනාට තමාව අල්ලන්නට එපායයි පැවසූ බව සමහර පැරණි බයිබල් පරිවර්තනවල අඟවනවා. නිදසුනකට පැරණි සිංහල අනුවාදය යේසුස්ගේ වදන් ගෙනහැර දක්වන්නේ මේ ආකාරයටයි. “මට අත නොගසන්න. මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි.” (යොහන් 20:17) කෙසේවෙතත් අත ගැසීම ලෙස සමහර අවස්ථාවලදී පරිවර්තනය කර තිබෙන මුල් ග්‍රීක ක්‍රියා පදයෙන් “අල්ලාගෙන සිටීම, එල්ලීගෙන සිටීම, ග්‍රහණය කිරීම” අදහස් කරයි. යේසුස් මරියා මග්දලේනාට ඉඩ නොදුන්නේ ඔහුට නිකම්ම අත ගැසීමට නොවන බව සිතීම සාධාරණයි. ඊට හේතුව සොහොන් ගෙය අසල සිටි වෙනත් කාන්තාවන්ට ‘ඔහුගේ පාද ඇල්ලීමට’ ඔහු ඉඩ දීමයි.—මතෙව් 28:9.

ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය, ද නිව් ජෙරූසලම් බයිබල් සහ ද නිව් ඉංග්ලිෂ් බයිබල් වැනි නවීන භාෂා පරිවර්තන බොහොමයක් එම වදන් “මාව අත්හරින්න” යනුවෙන් පරිවර්තනය කිරීමෙන් යේසුස් පැවසූ දෙයෙහි සැබෑ අරුත තේරුම්ගැනීමට අපට උපකාර කරයි. ඒත්, තමා සමඟ ළඟින් ආශ්‍රය කළ මරියා මග්දලේනාට යේසුස් එහෙම කීවේ ඇයි?—ලූක් 8:1-3.

සමහරවිට යේසුස් ස්වර්ගයට යෑමට සූදානමින් සිටි නිසා මරියා මග්දලේනාට ඒ වෙන්වීම ගැන දුක හිතෙන්න ඇති. තම ස්වාමීන් තමන් සමඟ දිගටම සිටිනවාට ආශා වූ ඇය යේසුස්ට යන්න නොදී ඔහුව තදින් අල්ලගෙන සිටියා. ඔහු තවමත් යන්න සූදානමින් නොසිටි බව ඇයට තහවුරු කිරීම සඳහා තමාව අතහැර, තම නැවත නැඟිටීමේ ආරංචිය ගොස් ගෝලයන්ට කියන මෙන් යේසුස් ඇයට අණ කළා.—යොහන් 20:17.

යේසුස් සහ තෝමස් අතර සිදු වූ සංවාදය ඊට වඩා වෙනස් එකක්. යේසුස් සමහර ගෝලයන්ට පෙනී සිටි අවස්ථාවේදී තෝමස් එතන සිටියේ නැහැ. පසුව යේසුස්ගේ නැවත නැඟිටීම ගැන තෝමස් තමාට තිබූ සැකයන් හෙළි කළා. යේසුස්ගේ ඇණ පාරවල් දැක, හෙල්ල පාර වැදුණු ඔහුගේ ඇලයට අත තබා බලන තෙක් තමා මෙය විශ්වාස නොකරන බව තෝමස් පැවසුවා. දින අටකට පසුව යේසුස් නැවතත් තම ගෝලයන් ඉදිරියේ පෙනී සිටියා. මේ අවස්ථාවේදී තෝමස් එතන සිටියා. තම තුවාල අත ගා බැලීමට යේසුස් ඔහුට ආරාධනා කළා.—යොහන් 20:24-27.

එබැවින් මරියා මග්දලේනා සම්බන්ධ සිද්ධියේදී යේසුස් කළේ තමාගේ වෙන්ව යෑම වැළැක්වීමට ඇයට තිබූ වැරදි ආශාව නිවැරදි කිරීමයි. තෝමස් සම්බන්ධ සිද්ධියේදී වුණේ, සැකයන් තිබූ කෙනෙකුට යේසුස් උපකාර කරමින් සිටීමයි. මේ අවස්ථා දෙකේදීම යේසුස් කටයුතු කළ ආකාරයට හොඳ හේතු තිබුණා.