Skip to content

පටුනට යන්න

මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න

මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න

මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න

“මද්‍යපානය කේලාම්කරුවෙකි; සුරා පානය කලහකරුවෙකි; බීමත්කමින් මුළා වෙන්නා මෝඩයෙකි.”—හිතෝපදේශ 20:1, නව අනුවාදය.

1. ගීතිකාකරු යෙහෝවාගෙන් ලැබෙන යහපත් දීමනා කෙරෙහි සිය කෘතඥතාව පළ කළේ කෙසේද?

“සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් වෙතින් එය බැස එන්නේය” යයි ශ්‍රාවක යාකොබ් ලීවේය. (යාකොබ් 1:17) දෙවි දී ඇති අසංඛ්‍යාත යහපත් දීමනා ගැන කෘතඥතාවෙන් පෙලඹුණු ගීතිකාකරු ගායනා කළේ මෙසේයි. “ඔහු පොළොවෙන් කෑම හටගන්වන පිණිස ගවයන්ට තණකොළත් මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතීත් මනුෂ්‍යයාගේ සිත සතුටු කරන මිදි යුෂත් [හෙවත් වයින්] ඔහුගේ මුහුණ පැහැපත් කරන්ට තෙලුත් සිත ශක්තිමත් කරන ආහාරත් හටගන්වන්නේය.” (ගීතාවලිය 104:14, 15) පලා ජාති, ධාන්‍ය වර්ග වැනි ආහාර සහ තෙල් මෙන්ම වයින් සහ වෙනත් මත්පැන්ද දෙවිගෙන් ලැබෙන ඉතා හොඳ දීමනා වේ. අප මෙම දීමනා ප්‍රයෝජනයට ගත යුත්තේ කෙසේද?

2. මත්පැන් පානය ගැන අප සලකා බලනු ඇත්තේ කිනම් ප්‍රශ්නද?

2 දීමනාවක් සතුටින් භුක්ති විඳිය හැක්කේ එයින් නිසි ප්‍රයෝජන ගතහොත් පමණි. නිදසුනක් වශයෙන්, මී පැණි වනාහි “හොඳ” දෙයකි. නමුත් “බොහෝ මී පැණි කෑම හොඳ නොවේ.” (හිතෝපදේශ 24:13; 25:27) “වයින් ටිකක්” බීම ප්‍රශ්නයක් නොවිය හැකි වුවත් මත්පැන් අධික ලෙස පානය කිරීම නම් බරපතළ ගැටලුවකි. (1 තිමෝති 5:23) බයිබලය මෙසේ අනතුරු අඟවයි. “මද්‍යපානය කේලාම්කරුවෙකි; සුරා පානය කලහකරුවෙකි; බීමත්කමින් මුළා වෙන්නා මෝඩයෙකි.” (හිතෝපදේශ 20:1, න.අ.) මත්පැන්වලින් මුළාව යෑම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? * පමණ ඉක්මවා යෑම යනු කොතරම් පානය කිරීමද? මේ සම්බන්ධයෙන් තබාගත යුතු සමබර දෘෂ්ටිය කුමක්ද?

මත්පැන් මගින් ‘මුළාවීම’—ඒ කෙසේද?

3, 4. (අ) වෙරි වෙන තෙක් මත්පැන් පානය කිරීම බයිබලයේ හෙළා දැක ඇති බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) බේබදුකමේ සමහර ලක්ෂණ මොනවාද?

3 ඉපැරණි ඊශ්‍රායෙලයේ, ආහාරවලට ගිජු වූද බේබද්දෙකු වූද පුත්‍රයෙක් එම නරක පුරුදු අත්හැරියේ නැත්නම්, ඔහුව ගල් ගසා මරනු ලැබිය යුතු විය. (ද්විතීය කතාව 21:18-21) ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙසේයි. “සහෝදරයෙකුයයි කියන ලද කෙනෙකු වේශ්‍යාකම් කරන්නෙකු හෝ ගිජුකමක් ඇත්තෙකු හෝ රූප වඳින්නෙකු හෝ නිග්‍රහ කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නෙකු හෝ වේ නම්, ඔහු සමඟ ඇසුරු කිරීම නතර කරන්න. . . . එමෙන්ම එවැනි මිනිසෙකු සමඟ කෑමවත් නොකන්න.” වෙරි වන තරමට මත්පැන් පානය කිරීම ශුද්ධ ලියවිල්ලේ හෙළා දැක තිබේ.—1 කොරින්ති 5:11; 6:9, 10.

4 බේබදුකමේ ලක්ෂණ විස්තර කරමින්, බයිබලය මෙසේ ප්‍රකාශ කරයි. “මද්‍යසාරය රතට රතේ දිලිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න. අන්තිමේදී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දෂ්ට කරයි. එවිට ඔබේ ඇස් අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.” (හිතෝපදේශ 23:31-33, න.අ.) විෂකුරු සර්පයෙකු දෂ්ට කළ විට පුද්ගලයෙකු රෝගාතුර වී මානසික වියවුල්කම අද්දකිනු ඇති අතර සිහිසන් නැති තත්වයකට පවා පත් විය හැකියි. අධික බීමත්කමට පුරුදු වී සිටින කෙනෙකුට සිදු වන්නේද එයමය. බේබද්දෙකුට “අන් දේවල්” හෙවත් අමුතු දේවල් පෙනිය හැකි අතර, ඉන් අදහස් කරන්නේ ඔහු මායාවන් හෝ සිහින දකින බවය. එමෙන්ම, ඔහු හොඳ සිහියෙන් සිටින විට නොකියන හා නොකරන දේවල්, වෙරි වී අවසිහියෙන් සිටින විට කීමට හා කිරීමට පෙලඹිය හැකියි.

5. අධික මත්පැන් පානය හානිදායක වෙන්නේ කොහොමද?

5 යමෙක් මත්පැන් පානය කරන නමුත්, තමන් වෙරි වී සිටින බව අනිත් අයට නොපෙන්වා සිටින්නට වගබලා ගන්නවා නම් තත්වය කුමක්ද? ඇතැම් පුද්ගලයන් මත්පැන් වීදුරු කිහිපයක් බිව්වද, වෙරි වී සිටින බවක් නොපෙනෙන්නට පුළුවන. එහෙත්, එවන් පුරුද්දක් තමන්ට හානිකර නැති බව සිතීම තමන්වම රවටාගැනීමකි. (යෙරෙමියා 17:9) එවන් පුද්ගලයෙක් ටිකෙන් ටික මත්පැන්වලට ඇබ්බැහි වී අන්තිමේදී “බොහෝ වයින් පානයට වහල්” වූ තත්වයට පත් වෙන්නට පුළුවන. (තීතස් 2:3) පුද්ගලයෙක් බේබද්දෙකු වෙන ආකාරය ගැන කර්තෘවරියක් වන කැරොලින් නැප් මෙසේ කියයි. “කෙනෙක් එයට පුරුදු වන්නේ ටිකෙන් ටික වන අතර තමන්ටත් නොදැනුවත්වයි.” ඇත්තෙන්ම, අධික මත්පැන් පානය මොන තරම් මාරාන්තික උගුලක්ද!

6. යමෙක් මත්පැන් මෙන්ම ආහාර අධික සේ පරිභෝජනය කිරීමෙන් වැළකිය යුත්තේ ඇයි?

6 යේසුස් කළ අනතුරු ඇඟවීමද සලකා බලන්න. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව උගුලක් මෙන් පැමිණෙන්නේය. මන්ද එය මුළු පොළෝතලයේ වාසය කරන සියල්ලන් පිට පැමිණෙන්නේය.” (ලූක් 21:34, 35) පුද්ගලයෙකු වෙරි වෙන තරමටම මත්පැන් පානය නොකළද, එය ඔහුව ශාරීරික වශයෙන් හා ආත්මික වශයෙන් නිදිබර කම්මැළි පුද්ගලයෙකු බවට පත් කරයි. යෙහෝවාගේ දවස පැමිණෙන විට, එවන් තත්වයක සිටින පුද්ගලයෙකුට කුමක් සිදු වෙයිද?

මත්පැන් අධික ලෙස පානය කිරීමේ ප්‍රතිඵල

7. මත්පැන් අධික ලෙස පානය කිරීම 2 කොරින්ති 7:1හි සඳහන් කර ඇති අවවාදයට පටහැනි වන්නේ මන්ද?

7 පාලනයකින් තොරව මත්පැන් පානය කිරීම කෙනෙකුව ශාරීරික වශයෙන් හා ආත්මික වශයෙන් අන්තරායන් බොහොමයකට නිරාවරණය කරයි. මත්පැන් පානය නිසා වැලඳෙන රෝග ගණනාවකි. අක්මා සිරෝසිස්, මද්‍යසාර හෙපටයිටිස් සහ විවිධ ස්නායු රෝග ඉන් කිහිපයකි. කටහඬේ හා ශරීරයේ වෙව්ලන ගතිය, කලබලකාරී ස්වභාවයක් සහ මායාවන් දැකීම මෙම ස්නායු රෝගවල ලක්ෂණ වේ. දීර්ඝ කාලයක් තිස්සේ මත්පැන් පානය කිරීම නිසා කෙනෙකුට පිළිකාව, දියවැඩියාව සහ හෘදය වස්තුවේ සහ ආමාශයේ යම් රෝගද වැලඳෙන්නට ඉඩ තිබේ. එසේනම්, මත්පැන් අධික ලෙස පානය කිරීම මෙම ශුද්ධ ලියවිලිමය අවවාදයට සම්පූර්ණයෙන්ම පටහැනිය. “මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු. එමගින් දේවභය ඇතිව ශුද්ධකම සම්පූර්ණ කරමු.”—2 කොරින්ති 7:1.

8. හිතෝපදේශ 23:20, 21ට අනුව මත්පැන් අධික ලෙස පානය කිරීම නිසා කිනම් ප්‍රතිඵල ඇති විය හැකිද?

8 මත්පැන් අධික ලෙස පානය කිරීම නිසා මුදල් නාස්ති වීමක් සිදු වන අතර කෙනෙකුගේ රැකියාව පවා අහිමි විය හැකියි. ඉපැරණි ඊශ්‍රායෙලයේ සලමොන් රජ මෙසේ අනතුරු ඇඟවූයේය. “සුරා සොඬුන්ද මස් මාංසයට කෑදර වූවන්ද ඇසුරු නොකරන්න.” ඒ මන්ද? ඊට හේතුව ඔහු මෙසේ පැහැදිලි කළේය. “මන්ද බේබද්දාත් කෑදරයාත් දිලිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.”—හිතෝපදේශ 23:20, 21, න.අ.

9. පුද්ගලයෙකු වාහනයක් පදවන්නට පෙර මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම ඥානවන්ත වන්නේ මන්ද?

9 තවත් අන්තරාදායක තත්වයකට යොමු දක්වමින් දි එන්සයික්ලොපීඩියා ඔෆ් ඇල්කොහොලිසම් මෙසේ කියයි. “මත්පැන් පානය කර වාහන පදවන රියැදුරන්ට යම් හදිසි තත්වයකදී අනතුරක් වළක්වාගැනීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගැනීමට බැරි විය හැකියි. එමෙන්ම අවධානය දීමට අපොහොසත් වීම, දේවල් පැහැදිලිව නොපෙනීම, හරි විනිශ්චයක් කරගැනීමට බැරිවීමද සිදු විය හැකිය.” මේ අනුව බීමත්ව රිය පැදවීම නිසා ඉතා දරුණු විපාක ඇති විය හැකියි. එක්සත් ජනපදයේ බීමත්ව රිය පැදවීම නිසා සිදු වන අනතුරුවලින් සෑම වසරකම දහස් ගණනක් මිය යති. තවද තවත් ලක්ෂ ගණනක් තුවාල ලබති. විශේෂයෙන්ම මෙම අන්තරායට ගොදුරු වන්නේ යෞවනයන්ය. මන්ද ඔවුන්ට රිය පැදවීමේ පළපුරුද්ද අඩුය. එමෙන්ම මත්පැන් පානය අතින්ද ඔවුන්ට තිබෙන අද්දැකීම අඩුය. මත්පැන් වීදුරු කිහිපයක් පානය කිරීමෙන් පසුව රිය පදවන යම් පුද්ගලයෙකු ගැන සිතමු. ජීවිතය යෙහෝවා දෙවිගෙන් ලද දීමනාවක් ලෙස සලකා ඊට තමා ගෞරව කරනවායයි කියා සිටින්නට ඔහුට පුළුවන්ද? (ගීතාවලිය 36:9) යම් තැනැත්තෙක් ජීවිතයේ පරිශුද්ධභාවයට ගෞරව කරනවා නම්, ඔහු හෝ ඇය රිය පැදවීමට පෙර මත්පැන් පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම හොඳම දෙයයි.

10. මත්පැන් අපගේ මනසට බලපෑම් කරන්නේ කෙසේද? එය අන්තරාදායක වන්නේ මන්ද?

10 පමණට වඩා මත්පැන් බීමෙන් මිනිසුන්ට ශාරීරික වශයෙන් හානි සිදු වෙනවා පමණක් නොව, ඔවුන්ගේ ආත්මිකත්වයටද හානි සිදු වේ. “මිදියුෂද අලුත් මිදියුෂද [හෙවත් වයින්] සිහිය නැති කරයි” කියා බයිබලයේ සඳහන් වේ. (හොෂෙයා 4:11) මත්පැන් මනසට බලපෑම් කරයි. “යම් කෙනෙක් මත්පැන් පානය කර සිටී නම්, ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් එම මද්‍යසාර රුධිර වාහිනි පද්ධතියට අවශෝෂණය කරගෙන එය මොළයට ඉතා වේගයෙන් ගමන් කරයි. එවිට ඔහුගේ කල්පනා ශක්තිය හා හැඟීම් පාලනය කරන මොළයේ කොටස්වල ක්‍රියාකාරිත්වය දුර්වල වීමට පටන්ගනී. එවිට එම තැනැත්තාට තමාවම දමනය කරගැනීමට අසීරු වේ” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් මත්ද්‍රව්‍ය පිළිබඳව නිකුත් කරන ලද ප්‍රකාශනයක සඳහන් වේ. එවන් තත්වයකදී, අප ‘මුළාව ගොස්,’ අනුන්ට හිරිහැර වෙන ලෙස හැසිරෙමින් බොහෝ වැරදි ක්‍රියාවලට පෙලඹීමට තිබෙන ඉඩ කඩ බොහෝ සෙයින් වැඩිය.—හිතෝපදේශ 20:1.

11, 12. මත්පැන් පමණ ඉක්මවා පානය කිරීම නිසා ආත්මික අතින් කිනම් අන්තරායන් ඇති විය හැකිද?

11 එපමණක්ද නොව, බයිබලය මෙසේද අණ කරයි. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න.” (1 කොරින්ති 10:31) කෙනෙක් අධික ලෙස මත්පැන් පානය කරන්නේ නම්, ඔහු දෙවිව මහිමවත් කරන බව කිසිවිටෙකත් කිව හැකිද? අධික ලෙස මත්පැන් පානය කරන්නෙක් ලෙසට නම් දැරීමට ක්‍රිස්තියානියෙකුට කිසිදු වුවමනාවක් නැත. එවන් නරක නාමයක් මගින් යෙහෝවාගේ නාමයට මහිමයක් නොව මහත් නින්දාවක් ඇති වේ.

12 යම් ක්‍රිස්තියානියෙක් පමණට වඩා මත්පැන් ගැනීම නිසා සෙසු ඇදහිලිවන්තයෙකුව, සමහරවිට නව ගෝලයෙකුව බාධාවට පත් කළා නම් තත්වය කුමක්ද? (රෝම 14:21) යේසුස්ගේ අනතුරු ඇඟවීම මෙයයි. “මා කෙරෙහි ඇදහිල්ල තබන මේ කුඩා අයගෙන් එක් කෙනෙකුටවත් යමෙක් බාධා කරන්නේද, බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඔහුගේ බෙල්ල වටේ එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.” (මතෙව් 18:6) තවද අධික සේ මත්පැන් පානය කිරීම, යමෙකුට සභාවේ තිබෙන වරප්‍රසාද පවා අහිමි වී යෑමට හේතුවක් විය හැකියි. (1 තිමෝති 3:1-3, 8) එපමණක්ද නොව, මේ නිසා පවුල තුළ පවා ගැටලු අර්බුද පැනනඟින බව නොකිවමනාය.

අන්තරායන්ගෙන් වැළකී සිටින්නේ කෙසේද?

13. මත්පැන් අධික ලෙස පානය කිරීමට හසු නොවී සිටීම සඳහා කෙනෙකු දැනගත යුතු මූලික දෙය කුමක්ද?

13 මත්පැන් අධික ලෙස පානය කිරීම නමැති උගුලට හසු නොවී සිටීම සඳහා මූලිකම දේ වන්නේ, යමෙක් තමාගේ සීමාව කුමක්දැයි හොඳින් දැන සිටීමය. ඒ අධික සේ බීම සහ වෙරිවීම අතර වෙනස නොව, තමන්ගේ ප්‍රමාණය දැනගෙන බීම සහ අධික සේ බීම අතර වෙනස දැනගෙන සිටීමයි. තමාගේ සීමාව කුමක්ද කියා නිශ්චය කළ හැක්කේ කාටද? මේ සම්බන්ධයෙන් සාධක කිහිපයක්ම සැලකිල්ලට ගත යුතු නිසා, පුද්ගලයෙකු කොතරම් මත්පැන් වීදුරු ගණනක් පානය කළ යුතුද කියා දැඩි නීති දැමීමට නොහැක. එක් එක් පුද්ගලයා තම තමාගේ සීමාව දැන සිටිය යුතු අතර, එම සීමාව ඉක්මවා නොයෑමට හොඳින් වගබලා ගත යුතුය. ඔබට කොතරම් ප්‍රමාණයක් පානය කළ හැකිද කියා තීරණය කිරීමට උපකාරවත් වෙන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් දිය හැකි ප්‍රතිපත්තියක් තිබේද?

14. පමණ දැන බීම සහ අධික සේ බීම අතර වෙනස තීරණය කිරීමේදී අප මතක තබාගත යුතු වැදගත් කාරණය කුමක්ද?

14 බයිබලයේ මෙසේ සඳහන් වේ. “විචක්ෂණ බුද්ධියද තීක්ෂ්ණ ඥානයද දියුණු කරගන්න. . . . ඒවා ඔබට ජීවනයද ඔබේ ගෙලට ආභරණයක්ද වනු ඇත.” (හිතෝපදේශ 3:21, 22, න.අ.) එසේනම්, ඔබ මතක තබාගත යුතු වැදගත් කාරණය වන්නේ මෙයයි. එනම්, හරි වැරැද්ද තෝරා බේරා වෙන් කරගැනීමට ඔබට ඇති හැකියාවට සහ ඔබේ කල්පනා ශක්තියට ඔබ ගන්නා ප්‍රමාණය බලපානවාද නැද්ද යන්නයි. ඔබ මත්පැන් ටිකක් පානය කිරීමෙන් ඔබට එසේ දැනෙනවා නම්, ඔබ පමණ ඉක්මවා පානය කර ඇති බව තේරුම්ගත යුතුය. මෙහිදී ඔබ ඔබටම අවංක විය යුතු අතර ඔබේ සීමාව හොඳින් වටහාගෙන එය ඉක්මවා නොයා යුතුයි!

15. එක මත්පැන් වීදුරුවක්වත් පානය නොකර සිටීම ඥානවන්ත දෙයක් විය හැක්කේ කිනම් අවස්ථාවලදීද?

15 ඇතැම් තත්වයන්හිදී, එක මත්පැන් වීදුරුවක්වත් පානය නොකර සිටීම ඥානවන්ත විය හැකියි. ගර්භිණී මවක්, මත්පැන් පානයෙන් තම කුසේ සිටින දරුවාට හානියක් සිදු විය හැකි බව දන්නා හෙයින්, කොහෙත්ම මත්පැන් පානය නොකිරීමට තීරණය කළ හැකියි. එමෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වී සිට ඉන් ගොඩ ආ කෙනෙක් ඉදිරිපිට හෝ මත්පැන් ගැනීම අනුමත නොකරන කෙනෙක් ඉදිරිපිට හෝ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම කාරුණික ක්‍රියාවක් නොවේද? මණ්ඩපයේ සේවය කළ පූජකයන්ට යෙහෝවා දුන් නියෝගය මෙයයි. “සම්මුඛ වීමේ කූඩාරමට යන කල නොනසින පිණිස මිදියුසවත් [හෙවත් වයින්වත්] මද්‍යපානයවත් නොබොන්න.” (ලෙවී කතාව 10:8, 9) එබැවින් ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට පෙර, දේවසේවයේ නියැලෙන විට සහ වෙනත් ආත්මික වගකීම් ඉටු කිරීමට තිබෙන විට මත්පැන් පානය කිරීමෙන් වළකින්න. එපමණක්ද නොව, මත්පැන් පානය කිරීම නීතියෙන් තහනම් කර තිබෙන හෝ මත්පැන් පානය එක්තරා වයස් මට්ටමකට සීමා කර තිබෙන රටවල සිටින ක්‍රිස්තියානීන් එම රටේ නීතිවලට ගරු කිරීම අවශ්‍යය.—රෝම 13:1.

16. යමෙක් ඔබට මත්පැන්වලින් සංග්‍රහ කරන විට කුමක් කළ යුතුද කියා ඔබ තීරණය කරන්නේ කෙසේද?

16 යම් පුද්ගලයෙක් ඔබට මත්පැන් පිළිගන්වන විට, ඔබ ඇසිය යුතු පළමු ප්‍රශ්නය නම් මෙයයි. ‘මම මත්පැන් පානය කළ යුතුද?’ පානය කිරීමට ඔබ තීරණය කළොත්, ඔබේ සීමාව හොඳින් මතක තබාගන්න. ඒ සීමාව ඉක්මවා නොයන්න. “තව ටිකක් ගන්න” කියා ඔබට සංග්‍රහ කරන පුද්ගලයා කරන පෙරැත්ත කිරීමට හසු වෙන්න එපා. විවාහ මංගල්‍ය උත්සව වැනි අවස්ථාවලදී සීමාවකින් තොරව මත්පැන් ගැනීමට නිදහස තිබෙන නිසා බොහෝ පරෙස්සම් වන්න. රටවල් ගණනාවක, ළමුන්ට මත්පැන් පානය කිරීමට නීතියෙන් අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් දරුවන්ට මඟ පෙන්වීම් ලබා දීම දෙමාපියන්ගේ වගකීම වන අතර, තම දරුවන්ව අධීක්ෂණය කිරීමේ වගකීමද මෙහිදී දෙමාපියන්ට භාරය.—හිතෝපදේශ 22:6.

ඔබට ගැටලුව විසඳාගත හැකියි

17. ඔබ අධික ලෙස මත්පැන් පානය කරනවාද නැද්ද යන්න වටහාගැනීමට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

17 ඔබ වයින් සහ මත්පැන් අධික ලෙස පානය කිරීමට ගොදුරු වූ කෙනෙක්ද? මත්පැන් අධික ලෙස පානය කිරීම රහසිගතව කරන පාපයක් බවට පත් වී තිබේ නම්, අන්තිමේදී එය ඔබට මහත් හානියක් සිදු කරනු ඇත. ඒ නිසා, ඔබවම රවටාගන්නට එපා. ඔබ අවංකවම ඔබව සෝදිසි කර බලන්න. මෙවන් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ‘ඉස්සරට වඩා මම දැන් බොනවාද? ඉස්සරට වඩා දැන් මම ගන්නේ සැර වැඩි මත්පැන්ද? මගේ මානසික පීඩනය, කාන්සිය හෝ වෙනත් ගැටලු මඟහරවා ගැනීමටද මම බොන්නේ? මගේ පවුලේ කෙනෙක් හරි මිතුරෙක් හරි මගේ බීම ගැන මට අවවාද කරලා තියෙනවාද? මගේ බීමත්කම නිසා පවුලේ ප්‍රශ්න ඇති වෙලාද? සතියක්, මාසයක් හෝ මාස කිහිපයක් යන තුරු මත්පැන් බොන්නේ නැතිව මට ඉන්න බැරිද? මම බොන වයින් හෝ මත්පැන් ප්‍රමාණය මම අන්‍යයන්ගෙන් සඟවනවාද?’ මේ ප්‍රශ්නවලින් සමහරකට ඔබට ඔව් කියා පිළිතුරු දීමට සිදු වී ඇත්නම් තත්වය කුමක්ද? ‘කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලා අහක්ව ගිය පසු තමන් කෙබඳු මිනිසෙකුදැයි එකෙණෙහිම අමතක කරන’ පුද්ගලයෙකුට සමාන නොවන්න. (යාකොබ් 1:22-24) ගැටලුව නිවැරදි කරගැනීමට පියවර ගන්න. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක්ද?

18, 19. සීමාව ඉක්මවා මත්පැන් බීම ඔබට නතර කළ හැක්කේ කෙසේද?

18 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙසේයි. “වයින්වලින් වෙරි වීමෙන් අශිෂ්ට ක්‍රියා හටගන්නා නිසා වෙරි නොවී සිටින්න. ඒ වෙනුවට දිගටම ආත්මයෙන් පූර්ණ වී” සිටින්න. (එෆීස 5:18) ඔබේ සීමාව වටහාගන්න. එම සීමාව ඉක්මවා නොයෑමට අදිටන් කරගන්න. ඔබවම දමනය කරගන්න. (ගලාති 5:22, 23) අධික ලෙස බීමට බල කරන යහළුවන් ඔබට සිටිනවාද? එසේනම්, ඔවුන්ගෙන් පරෙස්සම් වෙන්න. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න; එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය” යයි බයිබලය කියයි.—හිතෝපදේශ 13:20.

19 ඔබ මත්පැන් ගන්නේ යම් ගැටලුවකින් මිදීමටද? මත්පැන්වල පිහිට පතනවා වෙනුවට, ඔබ මුහුණ පාන ගැටලුවට අවංකව, ඍජුව මුහුණ දෙන්න. දේවවචනයෙන් ලැබෙන උපදෙස් අදාළ කරගැනීමෙන් ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට හැකියි. (ගීතාවලිය 119:105) එමෙන්ම, විශ්වාසවන්ත ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුගේ උපකාරය පැතීමටද පසුබට නොවන්න. ඔබගේ ආත්මිකත්වය ගොඩනැංවීමට තිබෙන යෙහෝවාගේ සැපයුම්වලින් හොඳින් ප්‍රයෝජන ගන්න. දෙවි සමඟ තිබෙන ඔබේ සම්බන්ධතාව ශක්තිමත් කරගන්න. නිතිපතා යෙහෝවාට යාච්ඤා කරන්න. විශේෂයෙන් ඔබගේ දුර්වලකම් ගැන යාච්ඤා කරන්න. ‘ඔබගේ හෘදය සහ ඔබගේ සිත’ පිරිසිදු කරන මෙන් දෙවිට ආයාචනා කරන්න. (ගීතාවලිය 26:2) මීට පෙර ලිපියේ සාකච්ඡා කළාක් මෙන්, නිර්දෝෂව ජීවත් වීමට ඔබගේ උපරිමය කරන්න.

20. අධික සේ මත්පැන් ගැනීමේ පුරුද්ද දිගටම තිබේ නම්, කිනම් පියවර ගැනීමට ඔබට සිදු විය හැකිද?

20 ඔබ කොතරම් උත්සාහ කළත්, පමණ ඉක්මවා බීමෙන් ඔබට ගොඩ ඒමට නොහැකි නම්, කුමක් කළ හැකිද? එසේනම්, ඔබ යේසුස්ගේ අවවාදය අනුගමනය කළ යුතුයි. “කෙදිනක හෝ ඔබේ අත නිසා ඔබ බාධාවට පත් වන්නේ නම්, එය කපා දමන්න. දෑත ඇතිව ගෙහෙන්නාවට, එනම් නිවිය නොහැකි ගින්නට යනවාට වඩා, අබ්බගාතව ජීවනයට ඇතුල් වීම යහපත.” (මාක් 9:43) ඔබට කළ හැක්කේ මෙයයි. කොහෙත්ම බොන්න එපා. එක් ස්ත්‍රියක් (අපි ඇයව අයිරීන් කියා හඳුන්වමු.) අදිටන් කරගත්තේ එයයි. “මම දැන් මත්පැන් බීම අත්හැරලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. ඒත් මට ඉඳලා හිටලා හිතෙනවා මත්පැන් ටිකක් බොන්න. ඒක මට කොහොම ඔරොත්තු දෙයිද කියලා බලන්න. මට එහෙම හිතුණ හැටියේම මම කරන්නේ ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරන එකයි. මගේ අධිෂ්ඨානය අලුත් ලෝකය එනකම්ම, සමහරවිට නව ලෝකයේදී වුණත් මත්පැන් නොබී ඉන්නයි.” මත්පැන්වලින් මුළුමනින්ම වැළකීම දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ජීවනය ලැබීමට හේතුවක් වේ නම්, එයින් වැළකීම ඔබට පාඩුවක් කියා ඔබ සිතනවාද?—2 පේතෘස් 3:13.

“එය අත් කරගත හැකි වන ආකාරයට දුවන්න”

21, 22. ජීවනය නමැති ධාවන තරඟයේ දිනුම් කණුව කරා ළඟාවීමට අපට ඉඩ නොදෙන බාධාව කුමක්ද? අපට එයින් වැළකිය හැක්කේ කෙසේද?

21 ක්‍රිස්තියානියෙකුගේ ජීවිත මාර්ගය ධාවන තරඟයකට සමාන කරමින් ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය. “ධාවන තරඟයකදී ධාවකයන් සියලුදෙනාම දුවන නමුත්, තෑග්ග ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ දන්නේ නැද්ද? ඔබට එය අත් කරගත හැකි වන ආකාරයට දුවන්න. තවද, තරඟයකට සහභාගි වන සෑම මිනිසෙකුම සියල්ලෙහිදී ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්නේය. ඔවුන් එසේ කරන්නේ දිරාපත් වන ඔටුන්නක් ලබන පිණිසය. නමුත් අප නම් එසේ කරන්නේ දිරාපත් නොවන එකක් ලබන පිණිසය. එබැවින්, මා දුවන්නේ අස්ථිරකමකින් නොවේ. මා පහර දෙන්නේ නිකම්ම සුළඟට පහර දෙන්නාක් මෙන් නොවේ. තවද මා අන් අයට දේශනා කළායින් පසු, මොනයම් හෝ හෙයකින් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස, මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන යමි.”—1 කොරින්ති 9:24-27.

22 මෙම ධාවන තරඟයේ තෑග්ග ලැබෙන්නේ සාර්ථක ලෙස දිනුම් කණුව පසු කරන අයටය. ජීවනය නමැති ධාවන තරඟයේ දිනුම් කණුව කරා ළඟාවීමට මත්පැන් අධික ලෙස පානය කිරීම අපට බාධාවක් විය හැකියි. ඒ නිසා අප අපවම දමනය කරගත යුතුයි. නිසැකකමින් යුතුව දුවන්නට නම්, අප “සීමාව ඉක්මවා වයින් පානය” කිරීමෙන් වැළකිය යුතුය. (1 පේතෘස් 4:3) සියලුම පැතිවලදී අප අපවම දමනය කරගත යුතුයි. මත්පැන් පානය සම්බන්ධ කාරණයේදී අප “අභක්තිකමද, ලෞකික ආශාද ප්‍රතික්ෂේප කර, දැන් පවතින සමාජ ක්‍රමය තුළ හොඳ සිහිකල්පනාවෙන්ද ධර්මිෂ්ඨකමින්ද, දේවභක්තියෙන්ද යුක්තව ජීවත් වීම” ඥානවන්තම දෙයයි.—තීතස් 2:12.

[පාදසටහන]

^ 2 ඡේ. මෙම ලිපියේ පෙන්වා ඇති පරිදි බීර, වයින් සහ වෙනත් සැර බීම “මත්පැන්වලට” ඇතුළත් වේ.

ඔබට මතකද?

• මත්පැන් අධික ලෙස පානය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

• මත්පැන් අධික ලෙස පානය කිරීමෙන් කිනම් නරක ප්‍රතිඵල ඇති විය හැකිද?

• මත්පැන් අධික ලෙස පානය කිරීමෙන් ඇති විය හැකි උවදුරුවලින් වැළකෙන්නට නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

• යමෙකු මත්පැන් අධික ලෙස පානය කිරීමට පුරුදු වී සිටී නම්, එයට විසඳුමක් සොයාගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

වයින් ‘මනුෂ්‍යයාගේ සිත සතුටු කරයි’

[20වන පිටුවේ පින්තූරය]

අප අපගේ සීමාව දැනගත යුතු අතර ඒ සීමාව ඉක්මවා නොයා යුතුයි

[21වන පිටුවේ පින්තූරය]

ඔබේ සීමාව වටහාගන්න

[22වන පිටුවේ පින්තූරය]

ඔබේ දුර්වලකම් ගැන යෙහෝවාට නිතිපතා යාච්ඤා කරන්න

[23වන පිටුවේ පින්තූරය]

මත්පැන් පානය සම්බන්ධයෙන් දරුවන්ට උපදෙස් දීමට දෙමාපියන්ට වගකීමක් තිබේ