Skip to content

පටුනට යන්න

මිනිසාටම ආවේණික වූ ගතිලක්ෂණයක්

මිනිසාටම ආවේණික වූ ගතිලක්ෂණයක්

මිනිසාටම ආවේණික වූ ගතිලක්ෂණයක්

ජෝඩිට දේපොළ විකිණීමේ ව්‍යාපාරයක් තිබෙනවා. ඔහු එක්තරා කාන්තාවකට ඇගේ මිය ගිය සහෝදරියගේ නිවසේ තිබූ යම් බඩු භාණ්ඩ විකුණන්නට උපකාර කරමින් සිටිනවා. එම නිවසේ ගිනි තපින ස්ථානය අසල පරීක්ෂා කරන විට, ඔහුට යම් යම් උපකරණ බහාලන පැරණි පෙට්ටි දෙකක් සම්බ වෙනවා. ඉන් එක පෙට්ටියක් විවෘත කර බලන ඔහුට දකින්නට ලැබෙන්නේ ඇස් අදහාගත නොහැකි දෙයක්. ඒ, ඇලුමිනියම් කඩදාසියකින් ඔතා තිබෙන අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු කිහිපයක්. ඒවායේ වටිනාකම අමෙරිකානු ඩොලර් 82,000ක්! කාමරයේ ඉන්නේ ජෝඩි විතරයි. ඔහු දැන් කුමක්ද කරන්න ඕනෑ? හෙමිහිට පෙට්ටිය අරගන්නවාද? නැතහොත් තමාට යම් මුදලක් හම්බ වුණා කියා තමාගේ ගනු දෙනුකාරියට කියනවාද?

ජෝඩි මේ ප්‍රශ්න මැද අතරමං වෙලා. ඔහු සිටින මේ තත්වය දෙස බලද්දී, අපට ඉන් කියා පාන අපූරු කාරණයක් තිබෙනවා. ඒ තමයි, අපවත් රුදුරු වනසතුන්වත් වෙන් කරන එක්තරා ගතිලක්ෂණයක් තිබෙන බව. ඒ ගැන ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා සඳහන් කරන්නේ මෙසේයි. “මිනිසා සතු එක්තරා සුවිශේෂී ලක්ෂණයක් නම්, තමා කළ යුත්තේ කුමක්ද කියා හෝ නොකළ යුත්තේ කුමක්ද කියා හෝ ප්‍රශ්න ඇසීමයි.” මේසයක් මත මස් කෑල්ලක් තිබෙනවා දකින බල්ලෙක්, එය කන්නද එපාද කියා කාගෙන්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. එහෙත්, ජෝඩිට හැකියාවක් තිබෙනවා තමන් ගන්න තීරණය හරිද වැරදිද කියා කිරා මැන බලන්න. ඔහු ඒ මුදල් තමන් ළඟම තබාගත්තොත්, ඔහු කරන්නේ හොරකමක්. කිසිම කෙනෙකුට ඔහුව හසු වෙන බවක් පෙනෙන්නට නැහැ. මේ මුදල් අයිති ඔහුට නොවේ. ඇරත්, ඒ වගේ මුදලක් තියෙනවා කියලා ඔහුගේ ගනු දෙනුකාරිය දන්නෙත් නැහැ. අනෙක, ජෝඩි ඒ මුදල තමාගේ ගනු දෙනුකාරියට භාර දුන්නොත්, ඔහු වෙසෙන ප්‍රදේශයේ වැඩිදෙනෙක් සිතාවි ඔහු හරිම මෝඩයෙක් කියලා.

ඔබ ඉන්නේ ජෝඩිගේ තත්වයේ නම්, ඔබ කුමක්ද කරන්නේ? ඔබ මීට පිළිතුරු දෙන ආකාරය මතයි ඔබ පිළිපැදීමට තෝරාගෙන තිබෙන ආචාර ධර්ම ප්‍රතිපත්ති මාලාව කුමක්ද කියා දැනගත හැක්කේ.

ආචාර ධර්ම කියන්නේ මොනවාද?

“ආචාර ධර්ම” යන යෙදුම විස්තර කර තිබෙන්නේ, “සදාචාරයට අනුව යමක් හරිද වැරදිද කියා අධ්‍යයනය කිරීම” ලෙසටයි. (කොලින්ස් කෝබිල්ට් ඉංග්ලිෂ් ඩික්ෂනරි) එරික් ජේ. ඊස්ටන් නමැති ලේඛකයා මෙසේ පවසනවා. “‘ආචාර ධර්ම’ සහ ‘සදාචාරයන්’ යන වචනවලට තිබෙන මූලික අර්ථය එක සමානය. ‘ආචාර ධර්ම’ යන වචනයට ග්‍රීක් බසින් කියන වචනයෙන් (එතිකොස්) සහ ‘සදාචාරයන්’ යන වචනයට ලතින් බසින් කියන වචනයෙන් (මොරලිස්) අදහස් කරන්නේ මිනිසුන් පිළිපදින සිරිත් විරිත් සහ සම්ප්‍රදායන්ය.”

බොහෝ කලක් තිස්සේ සාමාන්‍යයෙන් ආගම තමයි මිනිසුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිබඳ ස්ථාවරයන් ස්ථාපිත කළේ. දේවවචනය වන බයිබලය සමාජ බොහොමයකට ප්‍රබල බලපෑමක් කර තිබෙනවා. ඒත්, විවිධ ආගමික ප්‍රමිති ප්‍රායෝගික නොවන ඒවා ලෙසත්, බයිබලයේ සදාචාර ප්‍රමිති යල් පැන ගිය ඒවා ලෙසත් සලකා ඒවා ප්‍රතික්ෂේප කරන අයගේ සංඛ්‍යාව ලොව පුරා එන්ට එන්ටම වැඩි වෙමින් තිබෙනවා. ආගම සහ බයිබල් ප්‍රමිති වෙනුවට දැන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කුමක්ද? ව්‍යාපාර තුළ ආචාර ධර්ම (සිංහලෙන් නැත) යන පොතේ සඳහන් වෙන්නේ, “ආගම් විසින් මීට පෙර තීරණය කරන ලද දේවල්, . . . දැන් මිනිසාගේ බුද්ධියෙන් තීරණය කරනු ලබන” බවයි. ආගමික මූලාශ්‍ර වෙතට යොමු වෙනවා වෙනුවට, බොහෝදෙනෙක් උත්සාහ කරන්නේ ආචාර ධර්ම පිළිබඳ ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීම ලබාගන්නටයි. ආචාර ධර්ම පිළිබඳ මහාචාර්ය පෝල් මැක්නීල් මෙසේ කියනවා. “අද සමාජයේ ආචාර ධර්ම ස්ථාපිත කරන්නේ ඒ පිළිබඳව ප්‍රවීණයන් කියා මට සිතේ. . . . දැන් මිනිසුන්ව මෙහෙයවනු ලබන්නේ අතීතයේදී මෙන් ආගමෙන් නොව, ආචාර ධර්ම ප්‍රතිපත්ති මාලාවකින්.”

ඔබට ජීවිතයේ අසීරු තීරණ ගැනීමට සිදු වන විට, ඔබ හරි දේ වැරදි දෙයින් වෙන් කරගන්නේ කොහොමද? ඔබ පිළිපදින ආචාර ධර්ම ප්‍රතිපත්ති මාලාව තීරණය කරන්නේ දෙවිද නැත්නම් ඔබද?