Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල කෙරෙහි විශ්වාස කිරීම

යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල කෙරෙහි විශ්වාස කිරීම

ජීවිත කතාව

යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල කෙරෙහි විශ්වාස කිරීම

පැවසුවේ ආනා ඩෙන්ට්ස් ටර්පින්

“ඔයා නම් ප්‍රශ්න මල්ලක්” කියා මගේ අම්මා හිනා වුණා. මම චූටි කාලේ ඉඳන්ම තොරතෝංචියක් නැතිව දෙමව්පියන්ගෙන් ප්‍රශ්න ඇහුවා. පුංචි කාලේ ඇති වන කුතුහලය නිසා අහන ප්‍රශ්නවලට මගේ අම්මයි තාත්තයි කවදාවත් මට බැණ වැදුණේ නැහැ. ඒ වෙනුවට බයිබලය ඉගෙනගැනීමෙන් ලබාගෙන තිබෙන දැනුම යොදාගෙන තර්කානුකූලව හිතලා තීරණ ගන්න මට ඉගැන්නුවා. ඒ පුහුණුව මට කොච්චර වටින එකක් වුණාද! මට මතකයි, මට එතකොට අවුරුදු 14යි. දවසක් නාට්සිවරුන් මගේ ආදරණීය දෙමව්පියන්ව මගෙන් උදුරගත්තා. මම ඊට පස්සේ කවදාවත් ඔවුන්ව දැක්කේ නැහැ.

මගේ තාත්තාගේ නම ඔස්කාර් ඩෙන්ට්ස්. මගේ අම්මගේ නම ආනා මරියා. ඒ අය ජීවත් වුණේ ජර්මනියේ ලෝරාක් නම් ස්විට්සර්ලන්තයට මායිම්ව පිහිටි නගරයක. ඔවුන් තරුණ කාලේ දේශපාලනයට බොහොම තදින් සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා අපේ පළාතේ හැමෝම වගේ ඒ අයව හොඳින් දැනගෙන හිටියා. ඒ වගේම ඔවුන්ට ගෞරව කළා. කොහොමවුණත් 1922දී ඔවුන් විවාහ වුණාට පස්සේ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු යම් යම් මතයන් විතරක් නෙවෙයි, ඔවුන්ගේ ජීවිතයේ ඉලක්කද වෙනස් කරගත්තා. අම්මා ඒ කාලයේ බයිබල් ශිෂ්‍යයෝ නමින් හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දේවරාජ්‍යය මගින් පොළොවට සාමය ගෙනෙන බව ඉගෙනගත්තාම ඇගේ සතුට ඉහ වහා ගියා. වැඩි කල් යන්න කලින් තාත්තත් අම්මා එක්ක පාඩමට හවුල් වෙලා ඊට පස්සේ ඔවුන් බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. ඒ අවුරුද්දේ නත්තල් තෑග්ග හැටියට තාත්තා අම්මාට තෑගි කළේ ද හාප් ඔෆ් ගෝඩ් යන නමින් පළ වී තිබූ බයිබලයේ ඉගැන්වීම් අඩංගු පොතක්. මම ඉපදුණේ 1923 මාර්තු 25වෙනි දා. මමයි පවුලේ එකම දරුවා.

මම අම්මයි තාත්තයි එක්ක ගත කරපු ඒ ජීවිතය කොච්චර සුන්දරද! අපි නිසසල කඳුගැටවල ඇවිදින්න ගිය හැටි, අම්මා මට ගෙදර දොරේ වැඩ උගන්නපු හැටි, ඇත්තටම ඒවා මොන තරම් අපූරු මතකයන්ද! අම්මා එයාගේ චූටි කුස්සි අම්මාට වැඩ උගන්වලා ඒවා කරන හැටි බලා හිටිය අන්දම මට අද වගේ මතකයි. ඒ විතරක් නෙමේ, මගේ දෙමව්පියන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නත් ඒ වගේම ඔහු කෙරෙහි විශ්වාසය තබන්නත් මට ඉගැන්නුවා. හුඟාක් වැදගත්ම දේ වුණේ අන්න ඒකයි.

අපේ සභාවේ හුඟක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු රාජ්‍ය ප්‍රචාරකයන් 40දෙනෙක් විතර හිටියා. මගේ දෙමව්පියන් කලින් සමාජ සේවා කටයුතුවල යෙදී තිබුණු නිසා අන්‍යයන්ට දේවරාජ්‍යය ගැන කතා කරන්න අවස්ථා පාදාගැනීමට ඔවුන්ට තිබුණේ පුදුම දක්ෂකමක්. ඒ වගේම මිනිසුන් ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා. මට අවුරුදු 7ක් වෙනකොට මටත් ආස හිතුණා ගෙයින් ගෙට දේශනා සේවයේ යන්න. මම සේවයේ ගිය පළවෙනි දවසේ මාත් එක්ක ගිය සහෝදරී පොත් පත් කිහිපයක් මගේ අතට දීලා ගෙයක් පෙන්නලා කිව්වා, “අහලා බලන්න ඒගොල්ලන් මේ සඟරා කියවන්න කැමතිද කියලා.” අපි 1931දී ස්විට්සර්ලන්තයේ බාස්ල් නගරයේ පැවැත්වූ බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවකට සහභාගි වුණා. මගේ දෙමව්පියන් බව්තීස්ම වුණේ ඒ සමුළුවේදීයි.

දරුණු තත්වයක් ඒකාධිපති පාලනයකට හැරේ

ජර්මනියේ ඒ කාලයේ පැවතුණේ ඉතා දරුණු තත්වයක්. විවිධ දේශපාලන කණ්ඩායම්වලට අයිති මිනිසුන් මඟ තොටේදී ප්‍රචණ්ඩකාරී ගැටුම් ඇති කරගත්තා. එක දවසක් රෑ මම නින්දෙන් ගැස්සිලා ඇහැරුණේ අල්ලපු ගෙදරින් ඇහුණ මර ළතෝනියක් නිසයි. යෞවනයන් දෙන්නෙක් ඔවුන්ගේ අයියාගේ දේශපාලන අදහස්වලට විරුද්ධ නිසා ඔහුව මුල්ලුවකින් ඇණ මරලා දාලා තිබුණා. යුදෙව්වන්ට පෑ සතුරුකම්ද එන්න එන්නම වැඩි වුණා. පාසැලේදී ගැහැනු ළමයෙකුව, ඇය යුදෙව් ජාතියට අයිති නිසා ඇයව කොන් කරලා මුල්ලක හිටවලා තිබ්බා. මට ඒ ළමයා ගැන ගොඩාක් දුක හිතුණා. මම දැනගෙන හිටියේ නැහැ වැඩි කල් යන්න කලින් මටත් ඒ අද්දැකීම විඳින්න වෙයි කියලා.

වර්ෂ 1933 ජනවාරි 30වෙනි දා ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ පාලකයා බවට පත් වුණා. රජයේ ප්‍රධාන කාර්යාලයේ නාට්සිවරුන් ජයග්‍රාහී ලෙස තම ස්වස්තික කොඩිය නංවනවා අපි ගෙවල් කිහිපයකට මෙහා සිට බලා සිටියා. හිට්ලර්ගේ පාලනය සම්බන්ධයෙන් උද්‍යෝගයක් දැක්වූ අපේ ගුරුවරියක් අපට “හයිල් හිට්ලර්!” කියා ආචාර කරන විදිහ පෙන්නලා දුන්නා. එදා හවස මම මේ ගැන තාත්තාට කිව්වා. ඔහු කලබල වී මට මෙහෙම කිව්වා. “මම නම් ඒකට කැමති නැහැ. මොකද, ‘හයිල්’ කියන්නේ ගැලවීම කියන එකයි. අපි ‘හයිල් හිට්ලර්’ කියනවා නම් එකෙන් කියන්නේ අපි යෙහෝවාගෙන් නෙවෙයි හිට්ලර්ගෙන් ගැලවීම බලාපොරොත්තු වෙනවා කියන එකයි. මම හිතන්නේ නැහැ ඒක හරියි කියලා. නමුත් ඔයා මොනවාද කරන්නේ කියලා ඔයාම තීරණය කරන්න.”

මම හිට්ලර්ට ආචාර කරන්න ප්‍රතික්ෂේප කරපු නිසා මගේ පන්තියේ ළමයි මාව සැලකුවේ හරියට සමාජයෙන් කොන් කරපු කෙනෙකුව සලකන ආකාරයටයි. ගුරුවරුන් ළඟ පාත නැති වෙලාවල සමහර පිරිමි ළමයි මට ගැහැව්වා. කොහොමවුණත් අන්තිමේදී ඔවුන් මට මගේ පාඩුවේ ඉන්න ඉඩහැරියා. නමුත් මගේ යාළුවෝ කිව්වා ඒ අයගේ දෙමව්පියන් මාත් එක්ක සෙල්ලම් කිරීම ඔවුන්ට තහනම් කරලා තියෙනවා කියලා. මම ඒ තරම් භයානක කෙනෙක්ලු.

ජර්මනියේ නාට්සීන් පාලනය පටන් අරගෙන මාස දෙකකට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටට තර්ජනයක් කියා පවසා ඔවුන්ගේ වැඩ තහනම් කළා. විශේෂ නාට්සි හමුදා බලඇණිය මැග්ඩෙබර්ග්හි පිහිටි ශාඛා කාර්යාලය වසා දැම්මා. අපේ රැස්වීම් තහනම් කළා. නමුත් අපි දේශ සීමාවට කිට්ටු ගමක ජීවත් වූ නිසා තාත්තාට බාස්ල් නගරයට යෑමට අවසර ලබාගන්න හැකි වුණා. අපි ඉරිදා රැස්වීම්වලට එහේ ගියා. තාත්තා හැමතිස්සේම කිව්වා ජර්මනියේ අනිත් සහෝදරයන්ටත් මේ වගේ ආත්මික ආහාර ලබාගන්න පුළුවන් නම් ඒක ඔවුන්ට අනාගතයට එඩිතරව මුහුණ දෙන්න උපකාරවත් වෙයි කියලා.

භයානක ගමන්

මැග්ඩෙබර්ග් ශාඛා කාර්යාලය වසා දැමුවාට පස්සේ එහි කලින් කාර්ය මණ්ඩලයේ සේවය කළ යූලියස් රිෆෙල් ඔහුගේ ගමට, ඒ කියන්නේ ලෝරාක්වලට ආවා. ඔහු ආවේ දේශනා සේවය රහසිගතව කිරීම සංවිධානය කරන්නටයි. ඒ ගැන අහපු ගමන් තාත්තා උපකාර කරන්න කැමති වුණා. තාත්තා අම්මාටයි මටයි කිව්වා ඔහු ස්විට්සර්ලන්තයෙන් පොත් පත් සඟරා ජර්මනියට ගේන්න උපකාර කරන්න එකඟ වුණු බව. තවත් ඔහු කිව්වා ඒක හරිම භයානක දෙයක්, ඔහුව ඕනෑ වේලාවක සිරභාරයට ගන්න පුළුවන් කියලත්. ඔහුට අපිව මේකට හවුල් කරගන්න බලපෑම් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද මේක අපිටත් අවදානම් තත්වයක් නිසා. නමුත් එකපාරටම අම්මා කිව්වා “මං ඔයාට උදව් කරනවා” කියා. ඔවුන් දෙදෙනාම මා දිහා බැලුවා. මම කිව්වා “මමත් ඔයාලාට උදව් කරනවා!” කියලා.

අම්මා මුරටැඹ සඟරාවේ ප්‍රමාණයට මල්ලක් ගෙතුවා. ඊට පස්සේ සඟරා පොත් පත් මල්ලට දාලා ඒකේ කට ගෙතුවා. ඇය තාත්තාගේ ඇඳුම්වල හොර සාක්කු මැහුවා. ඒ වගේම අම්මාටයි මටයි ප්‍රමාණයෙන් කුඩා, සංවිධානයේ පොත් පත් රහසිගතව ගෙන යන්න පුළුවන් විදියට බඳපටිවල හොර සාක්කුව බැගින් මැහුවා. අපිට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් වුණේ පොත් පත් රහසිගතව ගෙදර ගෙනාවාමයි. අපි ඒ හැම වේලාවකම යෙහෝවාට ස්තුති කළා. අපි අට්ටාලයේ පොත් පත් හැංගුවා.

මුලින් නම් නාට්සිවරු අපිව සැක කළේ නැහැ. ඔවුන් අපෙන් ප්‍රශ්න කළේවත් අපේ ගේ සෝදිසි කරන්න ආවේවත් නැහැ. ඒ කොහොමවුණත්, අපි අපේ ආත්මික සහෝදරයන්ට හදිසියකදී අනතුරු ඇඟවීමට ප්‍රසිද්ධ සුවඳ විලවුන් වර්ගයක අංකය වන 4711 සංකේතයක් හැටියට පාවිච්චි කළා. ගේ ඇතුළට එන එක අවදානම් සහිත දෙයක් නම් අපි කොහොමහරි ඒ සංකේතය යොදාගෙන අනතුරු අඟවනවා. ඒ වගේම තාත්තා කිව්වා ගොඩනැඟිල්ලට ඇතුල් වෙන්න කලින් අපේ සාලේ ජනෙල් දිහා බලන්න කියලා. වම් පැත්තේ ජනේලය ඇරලා නම් ඒ කියන්නේ මොකක් හරි කරදරයක්. එහෙම වේලාවකදී ඔවුන් ඇතුළට නෑවිත් සිටිය යුතුයි.

වර්ෂ 1936 හා 1937දී ගෙස්ටාපෝ පොලිසිය හුඟදෙනෙකුව අත්අඩංගුවට අරගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් දහස් ගණන් දෙනෙකුව සිරභාරයට හා ගාල් කඳවුරුවලට දැම්මා. ඔවුන් එහිදී ඉතා කෲර ම්ලේච්ඡ පීඩාකාරී පරීක්ෂණවලට මුහුණ පෑවා. ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටි ශාඛා කාර්යාලය කඳවුරුවල ඉන්න අයට සහ කඳවුරුවලින් පිටතට ගෙන ගිය අයට සිදු වූ දේ ගැන වාර්තා රහසිගතව එකතු කරන්න පටන්ගත්තා. ඔවුන් මෙම වාර්තා ලබාගත්තේ ක්‍රිස්තියානීන්ට විරුද්ධව කුරුස යුද්ධය (Kreuzzug gegen das Christentum) නමින් පසුව පළ කළ පොතක් සඳහායි. මෙම පොතේ නාට්සිවරුන්ගේ වධ හිංසා ගැන හෙළි කර තිබුණා. අපි මෙම රහසිගත වාර්තා බාස්ල් නගරයට ගෙන යෑමේ අවදානම් වැඩේ බාරගත්තා. නාට්සිවරුන්ට මේ තහනම් කරන ලද රහසිගත වාර්තා එක්ක අපිව අහු වුණා නම් ඒ වේලාවේම අපිව සිරභාරයට ගන්නවා. අපේ සහෝදරයන් සිරකඳවුරුවල අද්දකින පීඩා ගැන කියවලා මම හොඳටම ඇඬුවා. නමුත් මට බයක් දැනුණේ නැහැ. මගේ දෙමව්පියෝයි, යෙහෝවා දෙවියි, හොඳම යාලුවෝයි මාව බලාගනියි කියන විශ්වාසය මට තිබුණා.

මට අවුරුදු 14ක් වෙනකොට මම පාසැල් අධ්‍යාපනය ඉවර කරලා ගොඩනැඟිලි ද්‍රව්‍ය විකුණන කඩයක ලිපිකාරිනියක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. අපි සාමාන්‍යයෙන් පොත් පත් සඟරා ගේන්න ගියේ සෙනසුරාදා සවස නැත්නම් ඉරිදා. ඒ දවස් දෙකේ තමයි තාත්තා ගෙදර හිටියේ. අපි සාමාන්‍යයෙන් හැම සති දෙකකටම වරක් ගියා. සති අන්තවල ඇවිදින්න යන වෙනත් පවුල් වගේ අපිත් ගියා. අවුරුදු හතරක් අපි මෙහෙම ආවා ගියා. දේශ සීමාවේ සේවය කරපු නිලධාරීන් කවදාවත් අපිව නැවැත්තුවේවත් අපිව පරීක්ෂා කරන්න තැත් කළේවත් නැහැ. නමුත් 1938 පෙබරවාරි මාසයේ දවසක ඔක්කොම කණපිට පෙරළුණා.

අපිව අහු වුණා!

අපි පොත්, සඟරා ලබාගන්න බාස්ල් නගරයට ආසන්න ස්ථානයට ගියාම එහි තිබුණු පොත්, සඟරා ගොඩ දැක්කම තාත්තාගේ මුහුණේ තිබුණු ඒ පෙනුම මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. පොත් පත් එහා මෙහා ගෙනිච්ච තව පවුලක්ව අත්අඩංගුවට ගෙන තිබුණ නිසා අපිට වෙනදාට වඩා වැඩිපුර පොත් පත් ප්‍රමාණයක් ගෙනියන්න සිද්ධ වුණා. දේශ සීමාව පහු කරද්දී එතන හිටපු නිලධාරියෙක් අපි දිහා සැකෙන් බලා අපව පරීක්ෂා කරන්න කියා නියෝග කළා. පොත් පත් අහු වුණාම ඔහු අපේ පිටිපස්සෙන් තුවක්කුව එල්ල කරගෙන පොලිස් කාර් නවත්තලා තිබුණු තැනට එක්කගෙන ගියා. ඊට පස්සේ, අපි නිලධාරීන් එක්ක වාහනේ යනකොට මගේ තාත්තා මගේ අත තදින් අල්ලාගෙන හෙමින් මෙහෙම කිව්වා. “කාවවත් පාවලා දෙන්න එපා.” මම තාත්තාට පොරොන්දු වුණා “මම එහෙම කරන්නේ නැහැ” කියලා. අපි ලෝරාක්වලට ආවාම මගේ තාත්තාව ඔවුන් ගෙනිච්චා. මම අන්තිම වරට තාත්තාව දැක්කේ ඔවුන් සිරකඳවුරට තාත්තාව දාපු දවසෙයි.

පැය හතරක් තිස්සේ ගෙස්ටාපෝ පොලිසිය මගෙන් ප්‍රශ්න කළා. අනිත් සාක්ෂිකරුවන්ගේ නම් ගම් කියන්න කියා ඔවුන් මට බල කර සිටියා. මම කියන්න බැහැයි කිව්වාම එක නිලධාරියෙකුට හොඳටම කේන්ති ගිහිල්ලා “උඹව කතා කරවන්න අපිට වෙන ක්‍රමත් තියෙනවා” කියලා මට තර්ජනය කළා. ඒත් මම නම් මොකුත්ම හෙළි කළේ නැහැ. ඊට පස්සේ ඒ අය අම්මාවයි මාවයි අපේ ගෙදර එක්කන් ගිහින් පළවෙනි වතාවට මුළු ගේම සෝදිසි කළා. ඔවුන් මගේ අම්මවත් අත්අඩංගුවට ගත්තා. මාව මගේ නැන්දා කෙනෙකුට බාර දුන්නා බලාගන්න කියලා. ඒ අය දැනගෙන හිටියේ නැහැ මගේ නැන්දාත් සාක්ෂිකාරියක් බව. මට වැඩට යන්න අවසර දීලා තිබුණත් ගෙස්ටාපෝ පොලිසියේ හතරදෙනෙක් මං ගැන සෙවිල්ලෙන් නිතරම අපේ ගේ ඉස්සරහ වාහනේක හිටියා. ඒ විතරක් නෙවෙයි තවත් පොලිස් නිලධාරියෙක් ගේ ඉස්සරහින් නිතරම එහාට මෙහාට ගියා.

දවස් කිහිපයකට පස්සේ මම දවල් වරුවේ ටිකක් එළියට ආවා. මම දැක්කා තරුණ සහෝදරියක් බයිසිකලයක් පැදගෙන මම ඉන්න දිහාවට එනවා. ඇය ළං වෙනකොටම මම දැක්කා ඇය මට මොකක් හරි කොළ කෑල්ලක් විසි කරන්න යන බව. මම ඒ කොළ කෑල්ල අල්ලගත්තා. ඒ එක්කම මම හැරිලා බැලුවා ගෙස්ටාපෝ පොලිසියේ අය මම කොළ කෑල්ල අල්ලාගන්නවා දැක්කාද කියලා. පුදුමෙනුත් පුදුමයි හරියටම ඒ වේලාවේ ඔවුන් ඔවුන්ගේ කතාවකට හිනා වෙවී සිටිය නිසා මම ඒක අල්ලගන්නවා ඔවුන් දැක්කේ නැහැ.

ඒ සහෝදරිගේ කොළ කෑල්ලේ ලියලා තිබුණේ හවස ඇගේ දෙමව්පියන් හම්බ වෙන්න යන්න කියලා. නමුත් මම කොහොමද එහෙම කරන්නේ? ගෙස්ටාපෝ පොලිසියේ අය මං ගැන ඇහැ ගහගෙන ඉන්නේ. අනික මම කොහොමද ඒ අයගේ දෙමාපියන්ව පාවා දෙන්නේ? මම වාහනේ ඉන්න පොලිසියේ අය දිහාත් එහා මෙහා ඇවිදින නිලධාරියා දිහාත් බැලුවා. මම දැනගෙන හිටියේ නැහැ මොනවා කරන්නද කියලා. මම යෙහෝවාට ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. හිටිහැටියේම පොලිස් නිලධාරියා වාහනේ ඉන්න අනිත් අය එක්ක මොනවාද කතා කළා. ඊට පස්සේ ඔක්කොම වාහනේ නැඟලා යන්න ගියා!

එතකොටම වගේ මගේ නැන්දා ගෙදර ආවා. ඒ වෙනකොට හවස් වෙලයි තිබුණේ. ඇය ඒ පණිවිඩේ කියවලා කිව්වා ඒකේ තියෙන හැටියට අපි ඒ ගෙදරට යන්නම ඕනේ කියලා. මාව ස්විට්සර්ලන්තයට ගෙන යන්න යම් සැලසුමක් කර ඇති බව අපට නිකම් හැඟුණා. මම එහේ ගියාම ඒ පවුලේ අය මම කවදාවත් දැකලා නැති හෙන්රික් රිෆ් නම් පුද්ගලයෙක්ව මට හඳුන්වලා දුන්නා. මට කරදරයක් නැතුව ඔහුව හමු වෙන්න එන්න ලැබීම ගැන ඔහු සතුටු වුණා. මට ස්විට්සර්ලන්තයට බේරී යන්න උදව් කරන්න තමා පැමිණි බව කී ඔහු, මට පැය භාගයකින් ඔහුව හමු වෙන්න කැලෑවකට එන්න කියා පැවසුවා.

රටින් පිට වී

මගේ දෙමව්පියන් ඉන්න රට දාලා මට යන්න වෙන එක නම් මගේ හිතට කොහොමත් දරාගන්න බැරි වුණා. ඒ සහෝදරයාව හමු වෙන්න මම ගියේ ඇඬූ කඳුළින්. මේ හැම දෙයක්ම විදුලි වේගයෙන් සිදු වුණා. මට මුකුත් හිතාගන්න බැරුවයි හිටියේ. ටික වේලාවකට පස්සේ අපිත් අනිත් විදේශිකයන් එක්ක එකතු වෙලා කිසි කරදරයක් නැතුව ස්විට්සර්ලන්තයේ දේශ සීමාව පහු කළා.

මම බර්න්හි පිහිටි ශාඛා කාර්යාලයට ගියාමයි දැනගත්තේ මට බේරිලා එන්න එහේ ඉන්න සහෝදරයෝ මේ ගමන සැලසුම් කළ බව. ඔවුන් කාරුණිකව මට ඉන්න තැනක් සූදානම් කරලා දුන්නා. මම කුස්සියේ ගොඩාක් සන්තෝෂෙන් වැඩ කළා. ඇත්තටම වෙනත් රටක ජීවත් වෙන එක කොච්චර අමාරුද? මගේ දෙමව්පියන්ට මොනවා වෙයිද? ඔවුන් දෙන්නා වසර දෙකක කාලයකට හිර කරලා! ඒත් ඊට පස්සේ! සමහර අවස්ථාවලදී මට කොතරම් දුකක් හා සාංකාවක් දැනුනාද කියනවා නම් මම ඒ වේලාවට කළේ නාන කාමරේ දොර වහගෙන අඬා වැලපෙන එකයි. හැබැයි මට තිබුණු ලොකුම සහනය තමයි මගේ දෙමව්පියන් සමඟ ලියුම් හුවමාරු කරන්න පුළුවන් වීම. ඔවුන් මට දිගටම උනන්දු කළේ දෙවිට පක්ෂපාතව ඉන්න කියායි.

මගේ දෙමව්පියන්ගේ නොසැලෙන ඇදහිල්ල මට කදිම ආදර්ශයක් වුණා. මම යෙහෝවාට කැප වී 1938 ජූලි 25වෙනි දා බව්තීස්මයෙන් එය සංකේතවත් කළා. මම ශාඛා කාර්යාලයේ අවුරුද්දක් වැඩ කළා. ඊට පස්සේ ස්විට්සර්ලන්තයේ ශාඛා කාර්යාලයට අයිති ගොවිපොළක වැඩ කරන්න ගියා. ඒ ගොවිපොළෙන් තමයි ශාඛා කාර්යාලයේ සහෝදරයන්ට කෑම සැපයුවේ සහ පීඩා නිසා පලා එන සහෝදරයන්ට නවාතැන් දුන්නේ.

මගේ දෙමව්පියන්ගේ දඬුවම් කාලය 1940දී අවසන් වුණා. ඔවුන්ගේ විශ්වාසයන් අත්හරින බවට ලියවිල්ලකට අත්සන් කර දෙනවා නම් ඔවුන්ව නිදහස් කරන බව නාට්සිවරු පැවසුවා. මගේ දෙමාපියන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ. පසුව තාත්තාව ඩාකව් ගාල් කඳවුරටත් අම්මාව රාවන්ස්බෲක් ගාල් කඳවුරටත් යැව්වා. මගේ අම්මා හා වෙනත් සහෝදරියන් හමුදාවේ වැඩවලට සහය දෙන්න බැහැයි කියපු නිසා ඔවුන්ට දවස් තුනකුත් රෑ තුනකුත් සීතලේ දඬුවම් විඳින්න සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්ව කලුවර කුටිවල සිර කර තැබුවා. ඔවුන්ට ආහාර දුන්නේ දවස් කිහිපයකට සැරයක් විතරයි. මේ වගේ දවස් 40ක් ආහාර වේල් අඩුවෙන් දුන්නේ. ඊට පස්සේ ඔවුන්ට දරුණු විදිහට පහර දුන්නා. මේ විදිහට දරුණු පහර දීම්වලට ලක් වෙලා සති තුනකට විතර පස්සේ අම්මා 1942 ජනවාරි 31වෙනි දා මිය ගියා.

තාත්තාව ඩාකව් ගාල් කඳවුරෙන් ඕස්ට්‍රියාවේ මව්තව්සන් ගාල් කඳවුරට මාරු කළා. මෙම කඳවුරේ නාට්සිවරු සිරකරුවන්ව ටිකෙන් ටික මරණයට පත් කළේ හාමතේ ඉන්න සැලැස්වීමෙන් හා අමානුෂික විදිහට වැඩගැනීමෙන්. නමුත් මගේ අම්මා මැරිලා මාස හයකට පස්සේ නාට්සිවරු මගේ තාත්තාව මරන්න යොදාගත්තේ වෙනත් ක්‍රමයක්. ඒ තමයි වෛද්‍ය පර්යේෂණයකට ඔහුව භාජන කිරීම. කඳවුරේ වෛද්‍යවරු උවමනාවෙන්ම මිනිසුන්ට ක්ෂය රෝග කාරක එන්නත විද්දා. ඊටපස්සේ මේ රෝගීන්ට මාරාන්තික එන්නතක් පපුවට විදිනු ලැබුවා. තාත්තාගේ මරණයට හේතුව ලෙස නිල වාර්තාවේ සඳහන් වුණේ “හෘදයේ පේශියක් දුර්වල” වීම නිසා මිය ගිය බවයි. එතකොට ඔහුට වයස අවුරුදු 43යි. මට මෙවැනි කෲර මිනීමැරීම් ගැන දැනගන්න ලැබුණේ මාස ගණනාවකට පස්සෙයි. මගේ ආදරණීය දෙමව්පියන් ගැන මතක් වෙනකොට දැනුත් මගේ ඇස්වලට කඳුළු උනනවා. මට සැනසීම ලබන්න තියෙන එකම කාරණය නම් මම දැනගෙන හිටියා ඔවුන්ට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබුණු බව. මම දන්නවා දැන් ඔවුන් යෙහෝවාගේ හස්තයේ සුරැකිව ඉන්නවා කියා.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මට නිව්යෝර්ක්හි වොච්ටවර් බයිබල් ගිලියඩ් පාසැලේ 11වෙනි පන්තියට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණා. මාස පහක් පුරා ශුද්ධ ලියවිලි ගැඹුරින් අධ්‍යයනය කරන්න ලැබීම මොන තරම් කදිම වරප්‍රසාදයක්ද! වර්ෂ 1948 ගිලියඩ් පාසැලේ උපාධිය ලැබුවාට පස්සේ මට ස්විට්සර්ලන්තයේ මිෂනාරිවරියක් ලෙස සේවය කරන්න පැවරුම ලැබුණා. එහේ ගිහින් වැඩි කල් යන්න ඉස්සෙල්ලා මට ගිලියඩ් පාසැලේ 5වෙනි පන්තියේ උපාධිය ලැබූ ජේම්ස් එල්. ටර්පින් නම් ඇදහිලිවන්ත සහෝදරයාව මුණ ගැසුණා. තුර්කියේ මුලින්ම ශාඛා කාර්යාලය පිහිටෙවූ අවස්ථාවේ එහි අවේක්ෂක ලෙස සේවය කළේ ඔහුයි. අපි 1951 මාර්තු මාසයේ විවාහ වුණා. වැඩි කල් යන්න කලින් අපි දැනගත්තා අපි දෙමව්පියෝ වෙන්න යන බව. අපි පදිංචිය වෙනස් කර අමෙරිකා එක්සත් ජනපදයට ගියා දෙසැම්බර් මාසේ මෙලොවට බිහි වෙන්න හිටපු අපේ චූටි දුව මාලෙන්ව සාදරයෙන් පිළිගැනීමට.

ජිම් සහ මම රාජ්‍ය වැඩකටයුතුවල යෙදීමෙන් මේ ගත වූ අවුරුදු කිහිපය පුරා මහත් ප්‍රීතියක් භුක්ති වින්දා. එක් චීන කාන්තාවක් වන පෙනී සමඟ මම බයිබලය පාඩම් කළා. මම අදටත් ඇයව සිහිපත් කරන්නේ ආදරයෙන්. ඇය බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගැනීමට ලොකු උනන්දුවක් දැක්වුවා. ඇය බව්තීස්ම වූ අතර පසු කාලයකදී ගයි පියර්ස් හා විවාහ වුණා. ඔහු දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය කරනවා. මගේ දෙමව්පියන් නැති අඩුව පුරවාගන්න මෙවැනි ප්‍රේමණීය අයගේ උපකාරය මට ලැබිලා තියෙනවා.

මගේ දෙමව්පියන්ගේ ගමේ, ඒ කියන්නේ ලෝරාක් නගරයේ 2004දී සහෝදරයන් අලුත් රාජ්‍ය ශාලාවක් ෂ්ටික් පාරේ ගොඩනැඟුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කර ඇති දේවලට කෘතඥතාව පෙන්වීම සඳහා නගර සභාව ඒ පාරට මගේ දෙමව්පියන්ගේ නම යෙදුවා. ඒ කියන්නේ ඩෙන්ට්ස් වීදිය කියා නම වෙනස් කළා. එක් ප්‍රවෘත්ති පත්‍රයක (Badische Zeitung) “ඩෙන්ට්ස් යුවළගේ ඝාතනය සිහි කරනු වස් පාරට දෙන ලද අලුත් නම” යන මාතෘකාව යටතේ පළවුණු ලිපියක මගේ දෙමව්පියන් ගැන මෙහෙමත් කියලා තිබුණා. “තුන්වෙනි ජර්මානු පාලකයා යටතේ ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ව කඳවුරක මරණයට පත් කළා.” මම හීනෙකින්වත් හිතුවේ නැහැ නගර සභාව මගේ දෙමව්පියන් වෙනුවෙන් එවැනි උපහාරයක් පවත්වයි කියලා. ඇත්තටම ඒක මොන තරම් හැඟීම් දනවන අවස්ථාවක් වුණාද!

මගේ තාත්තා හැම තිස්සේම කියපු දෙයක් තිබුණා. ඒ තමයි, අපි ජීවිතය සැලසුම් කරන්න ඕනේ අර්මගෙදොන් අපේ ජීවිත කාලය තුළදී පැමිණෙනවා කියලා හිතලා නෙවෙයි, ඒක හෙටම එයි කියලා. මම හැම තිස්සේම උත්සාහ කළේ ඒ අවවාදයට අනුව ජීවත් වෙන්නයි. ඉවසමින් බලා සිටීම හැම තිස්සේම පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මහලු වයස නිසා ගෙදරටම කොටු වෙලා ඉන්න කාලයක එහෙම කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙමේ. නමුත් යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන්ට දී තිබෙන පොරොන්දුව ගැන මම කවදාවත් සැක කරන්නේ නැහැ. “මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න. ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.”—හිතෝපදේශ 3:5, 6.

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අතීතයෙන් ලැබුණු වටිනා ලිපි කීපයක්

ලෝරාක් නගරයෙන් ටිකක් ඈත එපිට ගමක ජීවත් වන ගැහැනු කෙනෙක් 1980දී ලෝරාක් නගරය බලන්න ආවා. ඒ කාලයේදී තමයි ලෝරාක් නගර වැසියන් තමන්ට අනවශ්‍ය බඩු බාහිරාදිය නගරයේ ප්‍රසිද්ධ තැනක ගෙනත් ගොඩ ගසමින් සිටියේ. කැමති කෙනෙකුට මේ බඩු ගෙනියන්න පුළුවන්. මේ ගැහැනු කෙනාට මැහුම් පෙට්ටියක් හම්බ වෙලා ඇය ඒක ගෙදර ගෙනිච්චා. පස්සේ ඇයට ඒකේ යට ලාච්චුවක තිබිලා ගැහැනු ළමයෙකුගේ පින්තූරයකුත් තවත් ගාල් කඳවුරක ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරලා ලියපු ලියුම් වගයකුත් හම්බ වුණා. මේ ලියුම් දැකපු ඇයට ඇති වුණේ ඉමහත් කුතුහලයක්. මේ පින්තූරයේ කොණ්ඩ දෙකක් ගොතලා ඉන්න ගැහැනු ළමයා කවුද කියලා ඇය කල්පනා කළා.

වර්ෂ 2000දී ඇය ප්‍රවෘත්ති පත්‍රයක දැක්කා ලෝරාක් නගරයේ පවත්වන ඉතිහාසගත ප්‍රදර්ශනයක් ගැන ලිපියක්. ඒ ලිපියේ නාට්සි පාලන කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දුටු දේවල් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණු අතර අපේ පවුලේ විස්තරයකුත් ඇතුළත් කර තිබුණා. ඒකේ මගේ යෞවන කාලේ පින්තූරයකුත් දාලා තිබුණා. ලිපියේ විස්තර හා ඇය ළඟ තිබුණු ලිපි සන්සන්දනය කරලා මේ ගැහැනු කෙනා ඒ ලිපියේ කර්තෘට කතා කරලා කිව්වා ඇය ළඟ තිබෙන ලියුම් ගැන. ඇය ළඟ ලියුම් 42ක් තිබුණා. ඊට සති කිහිපයකට පස්සේ මගේ අතට ඒ ලියුම් ටික ලැබුණා. ඒ මගේ දෙමව්පියන් මගේ නැන්දාගෙන් මා ගැන තොරතුරු අහලා එවපු ලියුම්. ඔවුන් මට දැක්වූ ඒ ආදරය කවදාවත් අඩු වුණේ නැහැ. මේ ලියුම් අවුරුදු 60ක් සුරක්ෂිතව තිබිලා නැවත හම්බ වුණ එක ගැන මට නම් හිතාගන්නවත් බැහැ!

[25වන පිටුවේ පින්තූර]

ප්‍රීතියෙන් එකට සිටි අපිව වෙන් කළේ හිට්ලර්ගේ පාලනයයි

[හිමිකම් විස්තර]

Hitler: U.S. Army photo

[26වන පිටුවේ පින්තූර]

1. මැග්ඩෙබර්ග්හි පිහිටි ශාඛා කාර්යාලය

2. ගෙස්ටාපෝ පොලිසිය සාක්ෂිකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගත්තා

[28වන පිටුවේ පින්තූරය]

දේවසේවය කිරීමෙන් ජිම් සහ මම ලොකු ප්‍රීතියක් ලබනවා