Skip to content

පටුනට යන්න

යෝෂුවා පොතෙන් විශේෂාංග

යෝෂුවා පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

යෝෂුවා පොතෙන් විශේෂාංග

ක්‍රිස්තු පූර්ව 1473දී මෝවබ් තැනිතලාවේ කඳවුරු බැඳ සිටින ඊශ්‍රායෙලිතයන්ගේ සවනට වැටුණු මෙම වදන්වලින් ඔවුන් ප්‍රීතියෙන් පිනා ගියා විය යුතුය. ‘තුන් දවසක් ඇතුළත ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබට උරුමයක් කොට දෙන දේශය හිමි කරගන්නා පිණිස මේ යොර්දානින් එතෙර යන නිසා කෑම සූදානම් කරගන්න.’ (යෝෂුවා 1:11) වසර 40ක් පුරා පාළුකරයේ ගත කළ කාලය නිමාවට පත්වීමට ආසන්නය.

ඊට දශක දෙකකට වඩා මඳක් වැඩි කාලයකට පසුව, ඊශ්‍රායෙලයේ නායකයා වූ යෝෂුවා කානාන් දේශයේ මැද සිට ඊශ්‍රායෙලයේ වැඩිමහල්ලන්ට ප්‍රකාශ කරන්නේ මෙයයි. “බලන්න, යොර්දාන් පටන් බස්නාහිර දිග මහ මුහුද දක්වා මා විසින් සිඳ දැමූ සියලු ජාතීන් සමඟ ඉතිරි වූ ජාතීන්ද ඔබගේ ගෝත්‍රයන්ට උරුම වන පිණිස පසඇට දැමීමෙන් ඔබට බෙදා දුනිමි. ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ ඉදිරියෙන්ද ඔබගේ ඇස් හමුවෙන්ද ඔවුන් එළවන්නේය. ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබට කී ලෙස ඔවුන්ගේ දේශය ඔබ හිමි කරගන්නහුය.”—යෝෂුවා 23:4, 5.

ක්‍රිස්තු පූර්ව 1450දී යෝෂුවා විසින් ලියනු ලැබූ යෝෂුවා නමැති බයිබල් පොතේ, එම වසර 22ක කාලයක් පුරා සිදු වූ පුදුම දනවන ඓතිහාසික වාර්තාවක් විස්තර කෙරේ. අද අප දෙවි පොරොන්දු වී ඇති නව ලෝකයට ඉතා ආසන්නව සිටින බැවින්, අපගේ තත්වය එදා පොරොන්දු දේශය අත් පත් කරගැනීමට සූදානමින් සිටි ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ තත්වයට සමාන කළ හැකියි. එසේනම්, අපි යෝෂුවා පොතේ තිබෙන වාර්තාවට තියුණු අවධානයක් දෙමු.—හෙබ්‍රෙව් 4:12.

‘යෙරිකෝවෙහි සමභූමිවලට’

(යෝෂුවා 1:1–5:15)

යෙහෝවා යෝෂුවාට මෙසේ පවසයි. “මාගේ මෙහෙකරු වූ මෝසෙස් මළේය. එබැවින් මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඔබද මේ මුළු සෙනඟද දැන් නැඟිට මේ යොර්දානින් එතෙරට යන්න.” (යෝෂුවා 1:2) මෙය මොන තරම් බරපතළ වගකීමක්ද! මිලියන ගණනකින් සමන්විත ජනතාවක්ව පොරොන්දු දේශය කරා මෙහෙයවීමටයි යෝෂුවාට නියමව ඇත්තේ. යෝෂුවා පළමුවෙන් කරන්නේ අල්ලාගැනීමට තිබෙන නගරය වන යෙරිකෝවට ඔත්තුකරුවන් දෙදෙනෙක්ව පිටත් කර යැවීමයි. එහි රාහබ් නම් ගණිකාවක් වාසය කරන්නීය. යෙහෝවා සිය ජනයා වෙනුවෙන් කර ඇති ප්‍රබල ක්‍රියා ගැන ඇයට සැල වී තිබුණි. යෙරිකෝවට ආ ඔත්තුකරුවන්ව ආරක්ෂා කර ඔවුන්ට උපකාර කරන ඇය, තමාගේ සහ තමාගේ පවුලේ අයගේ ජීවිත ගලවන බවට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගනී.

ඔත්තුකරුවන් ඔත්තු බලා ආ පසු, යෝෂුවා සහ සෙනඟ යොර්දාන් ගඟ තරණය කිරීමට සූදානම් වෙති. ගඟේ ජලය උතුරා ගියද ඉන් එතෙර වීමට එය ඔවුන්ට බාධාවක් නොවේ. මන්ද යෙහෝවා ගඟේ ඉහළ කෙළවරේ සිට එන ජලය තාප්පයක් මෙන් පිහිටීමට සලස්වන නිසාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගඟේ පහළ කෙළවරේ ජලය මළ මුහුදට ගලා යයි. යොර්දාන් ගඟෙන් එතෙර වීමෙන් පසුව ඊශ්‍රායෙලිතයෝ යෙරිකෝව අසල ගිල්ගාල්හි කඳවුරු බැඳගනිති. දවස් හතරකට පසුව, අබීබ් මාසයේ 14වෙනි දා සැන්දෑවේ, ඔවුහු යෙරිකෝවේ සමභූමිවල පාස්කු මංගල්‍යය පවත්වති. (යෝෂුවා 5:10) ඊළඟ දවසේදී, ඔවුන් දේශයේ පලදාවෙන් යමක් ආහාර පිණිස ගැනීමට පටන්ගන්නා අතර මන්නා නමැති ආහාර සැපයීම නතර වෙයි. මේ කාලය අතරතුරේදී පාළුකරයේ උපත ලැබූ සියලුම පිරිමින්ව යෝෂුවා චර්මච්ඡේදනය කරයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:4, 5රාහබ්, ඔත්තුකරුවන්ව සොයා එන රාජ පුරුෂයන්ව වැරදි දිශාවකට යොමු කරන්නේ මන්ද? රාහබ් තම ජීවිතය පරදුවට තබා ඔත්තුකරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්නීය. මන්ද ඇය තුළ දැන් යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක් ඇති වී තිබෙන නිසාය. එම නිසා, දෙවිගේ ජනයාට හානි කිරීමට උත්සාහ කරන මේ මිනිසුන්ට ඔත්තුකාරයන් ආ ගිය විස්තර හෙළි කිරීමට ඇය බැඳී නැත. (මතෙව් 7:6; 21:23-27; යොහන් 7:3-10) ඇත්තෙන්ම, රාහබ් ඇගේ ‘ක්‍රියාවලින් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබූ’ අතර රජුගේ පුරුෂයන්ව වැරදි දිශාවට යැවීමද ඊට ඇතුළත් විය.—යාකොබ් 2:24-26.

5:14, 15‘යෙහෝවාගේ සේනාපතියා’ කවුද? පොරොන්දු දේශය අත් පත් කරගැනීම ආරම්භ කරන විට යෝෂුවාව ශක්තිමත් කිරීමට පැමිණෙන අධිපතියා වෙන කිසිවෙකු නොව, “වචනය” යයි නිගමනය කළ හැක. එනම්, මිනිසෙකු වීමට පෙර ස්වර්ගයේ සිටි යේසුස් ක්‍රිස්තුස්ය. (යොහන් 1:1; දානියෙල් 10:13) මෙය අද දින දෙවිගේ ජනයාට මොන තරම් දිරිගැන්වීමක්ද! මන්දයත් ඔවුන් වර්තමානයේ ආත්මික යුද්ධයක නියැලෙන අතරතුර මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස් ඔවුන් සමඟ සිට ඔවුන්ව ශක්තිමත් කරන නිසාය!

අපට ගත හැකි පාඩම්:

1:7-9. බයිබලය දිනපතා කියවීම, එහි පවසන දේ නිතිපතා මෙනෙහි කිරීම, අප ඉගෙනගන්නා දේවල් ජීවිතයට අදාළ කරගැනීම ආත්මික වශයෙන් සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍යය.

1:11. ආහාර හා අත්‍යවශ්‍ය වෙනත් දේවල් දෙවි සපයන තෙක් බලා නොසිට ඒවා සූදානම් කරගන්නා මෙන් යෝෂුවා සෙනඟගෙන් ඉල්ලා සිටී. යේසුස් පැවසුවේ කෑම බීම ඇඳුම් පැළඳුම් වැනි ජීවිතයේ අවශ්‍යතාවන් ගැන කනස්සලු නොවන්න කියායි. මන්ද ඔහු මෙම පොරොන්දුව දුන්නේය. “මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” ඉන් අදහස් කළේ අප කිසිවක් නොකර සියල්ල ලැබෙන තුරු බලා සිටිය යුතුය යන්න නොවේ.—මතෙව් 6:25, 33.

2:4-13. යෙහෝවාගේ මහත් ක්‍රියා ගැන අසන්න ලැබීමෙන් සහ පවතින අර්බුදකාරී තත්වය තේරුම්ගැනීමෙන් පසුව, රාහබ් ඔහුගේ නමස්කාරකයන්ගේ පැත්ත ගැනීමට තීරණයක් ගනී. ඔබ යම් කාලයක් මුළුල්ලේ බයිබලය පාඩම් කරමින් සිටින්නේ නම්, අප “අන්තිම දවස්වල” ජීවත් වන බව වටහාගෙන සිටී නම්, ඔබත් දෙවිට සේවය කිරීමට තීරණයක් ගත යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?—2 තිමෝති 3:1.

3:15. යෙරිකෝවට යවනු ලැබූ ඔත්තුකරුවන් හොඳ වාර්තාවක් ගෙනා නිසා යෝෂුවා යොර්දාන් ගඟේ වතුර සම්පූර්ණයෙන්ම සිඳී යන තෙක් බලා නොසිට ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. සැබෑ නමස්කාරයට සම්බන්ධ ක්‍රියා ගැන සලකා බලන කල, යම් තත්වයන් හොඳ අතට හැරෙන තුරු බලා සිටින්නේ නැතිව අප ධෛර්යයෙන් ක්‍රියා කළ යුතුයි.

4:4-8, 20-24. යොර්දාන් ගං ඉවුරෙන් ගත් ගල් දොළස ඊශ්‍රායෙල්වරුන්ට සිහිවටන විය. ඒ හා සමානව, යෙහෝවා සිය නවීන දින ජනයාව ඔහුගේ සතුරන්ගෙන් ගලවාගෙන ඇති ආකාරයද ඔවුන්ට සිහිවටන වේ. එමගින් පෙන්වන්නේ ඔහු ඔවුන් සමඟ සිටින බවයි.

දේශයන් අත් පත් කරගැනීම

(යෝෂුවා 6:1–12:24)

යෙරිකෝ නගරය “තදින් වසනු ලැබීය. කිසිවෙකුට පිටත යන්ටවත් ඇතුල් වන්ටවත් නොහැකි විය.” (යෝෂුවා 6:1) නගරය අල්ලාගන්නේ කෙසේද? ඒ සඳහා යෙදිය හැකි උපක්‍රමය ගැන යෙහෝවා යෝෂුවාට පවසයි. වැඩි කල් නොගොස් නගරයේ පවුරු ඇද වැටී, නගරය විනාශ වෙයි. ගැලවෙන්නේ රාහබ් සහ ඇගේ ගෙදර වාසීන් පමණි.

ඊළඟට ඔවුන්ගේ ඉලක්කය වන්නේ රාජකීය නුවරක් වන හායි නුවර අල්ලාගැනීමටයි. එම නුවරේ වැසියන් ස්වල්පදෙනෙක් වාසය කරන බවත්, එම නිසා එයට පහර දීමට එතරම් මිනිසුන් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැති බවත් එය සෝදිසි කිරීමට ගිය ඔත්තුකාරයෝ වාර්තා කරති. එහෙත්, හායි නුවරට පහර දීමට එහි ගිය 3000ක් පමණ හේවායන්ට යම් හේතුවක් නිසා එම නුවර වැසියන්ගෙන් පලා යෑමට සිදු වේ. මෙයට හේතුව කුමක්ද? යෙහෝවා ඊශ්‍රායෙලිතයන් සමඟ නොසිටින නිසාය. යූදා ගෝත්‍රයට අයත් ආකාන් නමැත්තා යෙරිකෝව ආක්‍රමණය කරන විට පාපයක් කළේය. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසුව, යෝෂුවා හායි නුවරට පහර දෙයි. ඊශ්‍රායෙලිතයන්ව එක් වරක් පරාජය කළ නිසා හායි නුවර රජ දැන් පසුවෙන්නේ, ඔවුන් සමඟ සටන් කර ජය ලැබීමට තමන්ට හැකියයි දැඩි ආත්ම විශ්වාසයකිනි. එහෙත්, හායි නුවර වැසියන් ඕනෑවට වඩා පෙන්වන ආත්ම විශ්වාසය තම වාසියට හරවාගන්නා යෝෂුවා වෙනත් උපක්‍රමයක් යොදමින් හායි නුවර අල්ලාගනී.

ගිබියොන්, ‘හායි නුවරට වඩා විශාල’ නුවරකි. “එහි සියලු මනුෂ්‍යයෝද බලසම්පන්න වූවෝය.” (යෝෂුවා 10:2) එහෙත්, ඊශ්‍රායෙලිතයන් යෙරිකෝව සහ හායි නුවර ඉතා සාර්ථක ලෙස පරාජය කළ බව ඇසූ ගිබියොන්වරු උපායක් යොදමින් යෝෂුවා සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්හ. ගිබියොන්වරු මෙසේ තමන්ව අත්හැර යෑම අවට ජාතීන් සැලකුවේ තමන්ට තර්ජනයක් ලෙසටයි. මේ නිසා රජවරු පස්දෙනක් සන්ධානගත වී ගිබියොන්වරුන්ට ප්‍රහාරයක් එල්ල කරති. ගිබියොන්වරුන්ගේ පිහිටට එන ඊශ්‍රායෙලිතයෝ මෙම ප්‍රහාරකයන්ව මුළුමනින්ම පරාජය කරති. යෝෂුවාගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල්වරුන් පරාජය කළ වෙනත් ජාතීන් අතර, දකුණු සහ බටහිර දෙසට පිහිටා තිබූ නගරවල විසූ ජාතීන්ද විය. තවද ඔවුහු උතුරු රජවරුන්ගේ සන්ධානයද පරාජයට පත් කළහ. මෙසේ ඔවුහු යොර්දාන් ගඟේ බටහිර පෙදෙසේ විසූ රජවරුන් 31දෙනෙකුව පරාජය කළහ.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

10:13එවන් ආශ්චර්යයක් සිදු වෙන්නේ කෙසේද? ස්වර්ගයේද පොළොවේද මැවුම්කරුවාණන් වන “යෙහෝවාට නුපුළුවන් දෙයක් ඇද්ද?” (උත්පත්ති 18:14) යෙහෝවා කැමති නම්, පොළොවේ සිට බලන්නෙකුට සූර්යයා සහ චන්ද්‍රයා එක තැන නැවතී සිටින සේ පොළොවේ භ්‍රමණය පාලනය කරන්නට ඔහුට හැකියි. එසේ නැතහොත්, පෘථිවියේ හා චන්ද්‍රයාගේ ගමනට බාධා නොකොට සූර්යයා හා චන්ද්‍රයාගේ කිරණ දිගටම පෘථිවිය මත වැටීමට සැලැස්වීමට ඔහුට හැකියි. මෙහිදී සිදු වූයේ කුමක් වුවද, මිනිස් ඉතිහාසයේ “එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය.”—යෝෂුවා 10:14.

10:13යාෂාර්ගේ පොත කුමක්ද? මෙම පොත ගැන 2 සාමුවෙල් 1:18හි නැවත සඳහන් වී තිබෙන අතර, එහි “දුන්න” යනුවෙන් හැඳින්වෙන කවියකට යොමු දක්වා තිබේ. එම කවිය ඊශ්‍රායෙලයේ සාවුල් රජ සහ ඔහුගේ පුත් යොනාතාන් ගැන ශෝකාකූල කවියකි. මෙම පොත සමහරවිට වීර චරිත හෝ ඓතිහාසික විශේෂ සිදුවීම් පිළිබඳව වාර්තාවලින් පිරී ඇති ගීතවල හා කාව්‍යවල එකතුවක් විය හැකි අතර, පෙනෙන විදිහට හෙබ්‍රෙව්වරුන් අතර ප්‍රසිද්ධ වී තිබූ පොතකි.

අපට ගත හැකි පාඩම්:

6:26; 9:22, 23. යෙරිකෝව විනාශ වන අවස්ථාවේදී යෝෂුවා කළ ශාපය වසර 500කට පමණ පසුව ඉෂ්ට වෙයි. (1 රාජාවලිය 16:34) ගිබියොන්වරුන් ඊශ්‍රායෙල්වරුන්ගේ මෙහෙකරුවන් බවට පත් වන විට, නෝවා සිය මුණුපුරා වූ කානාන්ට කළ ශාපය ඉෂ්ට වෙයි. (උත්පත්ති 9:25, 26) යෙහෝවාගේ වචනය සෑමවිටම සැබෑ වෙයි.

7:20-25. ආකාන් කළ පාපය එතරම් ගණන් නොගත යුතු එකක් කියා ඇතමුන් කියා සිටින්නට පුළුවන. එම පාපයෙන් වෙනත් අයට කිසිදු හානියක් සිදු නොවූ බවද පවසමින් සමහරවිට ඔවුන් තර්ක කරන්නට පුළුවන. මේ අනුව, බයිබලයේ දී ඇති නීතිවලට පටහැනිව කරන සුළු සුළු සොරකම් සහ පොඩි පොඩි වැරදි ඔවුන් දකින්නේ ඒ හා සමාන තලයක සිට විය හැකියි. කෙසේවෙතත්, නීති විරෝධී හෝ දුරාචාරමය ක්‍රියාවන් කිරීමට අපට එල්ල වන පීඩනවලට එරෙහි වීමට අපත් යෝෂුවා මෙන් අදිටන් කරගත යුතුයි.

9:15, 26, 27. අප දෙන පොරොන්දු ඉෂ්ට කිරීම බැරෑරුම් දෙයක් ලෙසට අප සැලකිය යුතුයි.

යෝෂුවා සිය අවසන් ව්‍යාපෘතිය පටන්ගනී

(යෝෂුවා 13:1–24:33)

දැන් 90වන වියට එළඹෙමින් සිටින යෝෂුවා දේශය බෙදීමට පටන්ගනී. ඇත්තෙන්ම එය සුවිශාල ව්‍යාපෘතියක්! රූබන් සහ ගාද් යන ගෝත්‍ර සහ මනස්සේගේ අර්ධ ගෝත්‍රය දැනටමත් ඔවුන්ගේ උරුමය ලෙසට යොර්දාන් ගඟේ නැඟෙනහිර කොටස ලබාගෙන ඇත. ඉතිරි ගෝත්‍රවලට, දාදු දැමීම මගින් ගඟේ බටහිර පැත්ත උරුමයක් හැටියට හිමි වේ.

එෆ්‍රායිම් දේශයේ ෂීලෝහි මණ්ඩපය පිහිටුවනු ලැබේ. කාලෙබ්ට හෙබ්‍රොන් නගරය ලැබෙන අතර, යෝෂුවාට තිම්නත්-සෙරා නගරය හිමි වේ. ලෙවීවරුන්ට නුවරවල් 48ක් දෙනු ලබන අතර ආරක්ෂා නුවරවල් 6ද ඊට ඇතුළත් වෙයි. රූබන්, ගාද් සහ මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ රණශූරයෝ තමන්ට උරුම වූ දේශවලට යළිත් පැමිණ, “පෙනීමට මහත්” පූජාසනයක් ගොඩනඟති. (යෝෂුවා 22:10) යොර්දාන් ගඟේ බටහිර පෙදෙසේ වෙසෙන ගෝත්‍ර මෙය දකින්නේ කැරලිකාර ක්‍රියාවක් හැටියටය. මේ නිසා ගෝත්‍ර ගෝත්‍ර අතර සටනක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී, හොඳ අදහස් හුවමාරුව නිසා සිදුවීමට ගිය මහත් ලේ වැගිරීමක් මඟහැරී යයි.

තිම්නත්-සෙරා නුවර යම් කාලයක් ජීවත් වීමෙන් පසුව යෝෂුවා සෙනඟගේ වැඩිමහල්ලන්, ප්‍රධානීන්, විනිශ්චයකරුවන් සහ ඊශ්‍රායෙලයේ නිලධාරීන් කැඳවා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ධෛර්යවත්ව යෙහෝවාට විශ්වාසවන්තව සිටින ලෙසටයි. පසුව, යෝෂුවා ඊශ්‍රායෙලයේ සියලු ගෝත්‍ර ෂීකෙම් වෙතට එක් රැස් කරයි. එහිදී ඔහු ආබ්‍රහම්ගේ කාලයේ පටන් යෙහෝවා කළ මහත් ක්‍රියා ඔවුන්ට මතක් කර දෙන අතර, ‘යෙහෝවාට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් ඔහුට මෙහෙ කරන්න’ කියා ඔවුන්ට යළිත් දිරිගන්වයි. සෙනඟ මෙසේ කියමින් ඊට ප්‍රතිචාරය දක්වති. “අපේ දෙවිවූ යෙහෝවාට අපි මෙහෙ කරන්නෙමුව. දෙවිගේ හඬට ඇහුම්කන් දෙන්නෙමු.” (යෝෂුවා 24:14, 15, 24) මේ සියලු දේවලට මුහුණ දුන්නායින් පසුව යෝෂුවා අන්තිමේදී වයස අවුරුදු 110දී මිය යයි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

13:1මෙම පදයේ සඳහන් දෙය යෝෂුවා 11:23හි අදහසට පටහැනිද? නැත. මන්ද පොරොන්දු දේශය අත් පත් කරගැනීම අදියර දෙකකින් සමන්විත විය. පළමු අදියර නම්, කානාන් දේශයේ රජවරුන් 31දෙනෙකුව පරාජය කර, කානානිවරුන්ගේ බලය බිඳ දැමීමයි. දෙවන අදියර නම්, ගෝත්‍ර වශයෙන් හා පෞද්ගලික වශයෙන් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මුළු දේශයම අත් පත් කරගැනීමය. (යෝෂුවා 17:14-18; 18:3) ඊශ්‍රායෙල් පුත්‍රයන් කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම දේශයෙන් එළවා දැමීමට අසමත් වුවද, දේශයේ රැඳී සිටින කානානීය වැසියන් ඊශ්‍රායෙල් ජාතියේ ආරක්ෂාවට තර්ජනයක් වූයේ නැත. (යෝෂුවා 16:10; 17:12) යෝෂුවා 21:44 මෙසේ සඳහන් කරයි. “යෙහෝවා . . . හාත්පසින් ඔවුන්ට නිවාඩු දුන්නේය.”

24:2ආබ්‍රහම්ගේ පියා වූ තේරා රූප නමස්කාරකයෙක් වීද? තේරා මුලදී යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් නොවීය. පෙනෙන හැටියට ඔහු නමස්කාර කළේ ඌර් දේශයේ වැඩිදෙනෙකු නමස්කාර කළ දෙවියෙකු වූ සින් නමැති සඳ දෙවියාටය. යුදෙව් සම්ප්‍රදායට අනුව, තේරා රූප සාදන්නෙකුවද සිටියා විය හැකියි. එහෙත්, දෙවිගේ නියමය ප්‍රකාර ආබ්‍රහම් ඌර් දේශයෙන් පිටත්ව ගිය අවස්ථාවේ තේරාද ඔහු සමඟ හාරාන් දක්වා ගියේය.—උත්පත්ති 11:31.

අපට ගත හැකි පාඩම්:

14:10-13. වයස අවුරුදු 85ක් වුවද, හෙබ්‍රොන් දේශයේ වැසියන් පලවාහැරීමේ බාර දූර වගකීම භාරගැනීමට කාලෙබ් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතා උස මහත ශරීර ඇති අනාක්වරුන්ය. යෙහෝවාගේ උපකාරය ඇතුව මෙම පළපුරුදු රණවිරුවා සාර්ථක වන අතර, හෙබ්‍රොන් ආරක්ෂක නුවරක් බවට පත් වේ. (යෝෂුවා 15:13-19; 21:11-13) අපට ලැබෙන දුෂ්කර දිව්‍යාණ්ඩු පැවරුම් භාර නොගෙන නොසිටීමට කාලෙබ්ගේ ආදර්ශය අපට මහත් දිරිගැන්වීමක් වෙයි.

22:9-12, 21-33. අප අනුන්ගේ චේතනා වැරදි ලෙස විනිශ්චය කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

‘එක වචනයක්වත් නිෂ්ඵල නොවීය’

තම මහලු වියේදී යෝෂුවා ඊශ්‍රායෙලයේ වගකීම් දැරූ පුරුෂයන්ට පැවසුවේ මෙයයි. “ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක් දෙයක්වත් නිෂ්ඵල නොවූ බව ඔබ සියල්ලෝ . . . දන්නහුය; ඒ සියල්ල ඔබට සිද්ධ විය.” (යෝෂුවා 23:14) යෝෂුවා පොතේ මෙම ඓතිහාසික වාර්තාව මේ බව මොන තරම් කදිමට ඔප්පු කරනවාද!

“අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත” කියා ප්‍රේරිත පාවුල් සඳහන් කළේය. (රෝම 15:4) දෙවිගේ පොරොන්දු කෙරෙහි අප තබා ඇති බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන බවට අපට සහතික විය හැකියි. එක පොරොන්දුවක්වත් ඉෂ්ට නොවී නොතිබෙනු ඇත. එසේය, ඒවා සියල්ලම සැබෑවක් වනු ඇත.

[10වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

යෝෂුවාගේ නායකත්වය යටතේ අත් පත් කරගන්නා ලද දේශය

බාෂාන්

ගිලියද්

අරබා

නෙගෙබ්

යොර්දාන් ගඟ

ලුණු මුහුද

යබ්බොක් ඔය

අර්ණොන් ඔය

හාශොර්

මාදොන්

ලෂ්ෂාරොන්

ෂිම්රොන්

යොක්නෙයාම්

දෝර්

මෙගිද්දෝ

කෙදෙෂ්

තයනාක්

හේපෙර්

තිර්ශා

අපෙක්

තප්පුවා

බෙතෙල්

හායි

ගිල්ගාල්

යෙරිකෝව

ගෙශෙර්

යෙරුසලම

මක්කේදා

යර්මූත්

අදුල්ලාම්

ලිබ්නා

ලාකීෂ්

එග්ලොන්

හෙබ්‍රොන්

දෙබීර්

අරද්

[9වන පිටුවේ පින්තූරය]

රාහබ් නමැති ගණිකාව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවේ ඇයි කියා ඔබ දන්නවාද?

[10වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවාට භයව මෙහෙ කරන්න’ කියා යෝෂුවා ඊශ්‍රායෙල් ජාතියට දිරිගැන්නුවේය

[12වන පිටුවේ පින්තූරය]

ආකාන්ගේ සොරකම සුළු පටු වරදක් නොවීය. ඒ නිසා ඇති වුණු විපත අතිමහත්ය

[12වන පිටුවේ පින්තූරය]

“ඇදහිල්ලෙන්, දවස් සතක් යෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු, ඒවා බිඳ වැටුණේය”—හෙබ්‍රෙව් 11:30