Skip to content

පටුනට යන්න

හරි වැරැද්ද ඔබ තීරණය කළ යුත්තේ කෙසේද?

හරි වැරැද්ද ඔබ තීරණය කළ යුත්තේ කෙසේද?

හරි වැරැද්ද ඔබ තීරණය කළ යුත්තේ කෙසේද?

හරි වැරැද්ද තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද? එම ප්‍රශ්නය ඉස්මතු කළේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීමයි. උත්පත්ති නමැති බයිබල් පොතට අනුව, දෙවි ඒදන් උයනේදී එක්තරා ගසක් “යහපත හා නපුර දැනගැනීමේ වෘක්ෂය” ලෙස නම් කළා. (උත්පත්ති 2:9) ඒ වගේම මෙම ගසේ පල කන්නට එපා කියා දෙවි පළමු මිනිස් යුවළට උපදෙස් දුන්නා. ඒත්, මෙම ගසෙන් කෑවොත් ඔවුන්ගේ ඇස් “ඇරෙන බවත්” ඔවුන් “යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත්” දෙවිගේ සතුරා වන යක්ෂයා ඔවුන්ට පැවසුවා.—උත්පත්ති 2:16, 17; 3:1, 5; එළිදරව් 12:9.

ආදම් සහ ඒවට යම් තීරණයක් ගැනීමට සිදු වුණා. එය තමයි, යහපත හා නපුර ගැන ඔවුන් දෙවිගේ ප්‍රමිති පිළිගන්නවාද නැත්නම් ඔවුන් තමන්ගේම ප්‍රමිති අනුගමනය කරනවාද යන්න. (උත්පත්ති 3:6) ඔවුන් කළේ දෙවිට අකීකරු වී ගසෙන් කෑමයි. මේ පුංචි ක්‍රියාවෙන් ඇඟවූයේ මොකක්ද? දෙවි තමන්ට පනවා තිබූ සීමාවලට ගරු කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් කියා සිටියේ හරි වැරැද්ද ගැන තමන්ටම ප්‍රමිති පිහිටුවාගැනීමෙන් තමන්ට මෙන්ම තමන්ගේ දරුවන්ට වඩා යහපතක් සිදු වෙනවා යන්නයි. මිනිසුන් තමන්ටම ප්‍රමිති පිහිටුවාගෙන දෙවියන් හා සමානව ක්‍රියා කරන්නට උත්සාහ කිරීමෙන් ඔවුන් කොතරම් දුරට සාර්ථක වී තිබෙනවාද?

එකිනෙකට වෙනස් මත

සියවස් ගණනාවක් පුරා සුප්‍රකට දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් ගැන සොයා බැලුවායින් පසුව, බ්‍රිතාන්‍ය විශ්වකෝෂය සඳහන් කරන්නේ, ග්‍රීක් දාර්ශනිකයෙකු වන සොක්‍රටීස්ගේ යුගයේ සිට විසිවන සියවස දක්වාම, “යහපත් දේ කුමක්ද යන්න ගැනත් හරි වැරැද්ද තීරණය කරන ප්‍රමිති මොනවාද යන්න ගැනත් නිතර නිතර වාද ඇති වී තිබේ” කියායි.

නිදසුනක් වශයෙන්, සෝෆියවරුන් ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීක් ගුරුවරුන් හැටියට ප්‍රකටව සිටියා. ඔවුන් ඉගැන්වූයේ, හරි වැරැද්ද පිළිබඳව තීරණය කෙරෙන්නේ වැඩිදෙනාගේ මතය අනුව බවයි. ඔවුන්ගෙන් එක් ගුරුවරයෙක් මෙසේ පැවසුවා. “යම් නගරයක වෙසෙන ජනයා නිවැරදිය හා සාධාරණය කියා සිතන දේ එම නගරයේ හරි වැරැද්ද තීරණය කරන ප්‍රමිතිය බවට පත් වෙයි.” මේ මිම්මට අනුව, මීට පෙර ලිපියේ සඳහන් වූ ජෝඩිට හමු වූ මුදල් ඔහු තමා ළඟ තබාගත යුතුයි. එයට හේතුව නම්, ඔහු වෙසෙන ප්‍රජාව තුළ හෝ “නගරයේ” සිටින බහුතරයක් එසේ කිරීමට කැමැත්තක් දක්වන නිසයි.

දහඅටවන සියවසේ ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ එම්මානුවෙල් කාන්ට් දැක්වූයේ මීට වෙනස් මතයක්. ආචාර ධර්මවල තිබෙන ප්‍රශ්න (සිංහලෙන් නැත) යන ප්‍රකාශනයේ මෙසේ පැවසෙනවා. “එම්මානුවෙල් කාන්ට්ගේ සහ ඔහුට සමාන මත දැරූ අයගේ මූලික මතය වූයේ හරි වැරැද්ද කියන දේ තීරණය කිරීම ඒ ඒ පුද්ගලයා සතු දෙයක්ය යන්නයි.” කාන්ට්ගේ දර්ශනවාදී අදහස්වලට අනුව, ජෝඩි අන් අයගේ අයිතිවාසිකම් උල්ලංගනය නොකරනවා නම් ඔහු කුමක් කළත් එය සහමුලින්ම ඔහුටම භාර වූ දෙයක් වෙනවා. තමන් කරන්නේ කුමක්ද යන්න ගැන තීරණය කිරීමට ඔහු තම ප්‍රජාවේ බහුතරයකගේ මතයට ඉඩහරින්නේ නැහැ.

ජෝඩි තමා අතරමං වී සිටි ප්‍රශ්නයට මුහුණ දුන්නේ කොහොමද? කලින් සඳහන් කළ තේරීම් දෙකටම වඩා ඔහු කළේ වෙනස් තේරීමක්. ක්‍රිස්තියානීන් මෙන්ම ක්‍රිස්තියානීන් නොවන අයද යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. මේ නිසා ඔහු කළේ යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම තමන්ට අදාළ කරගැනීමයි. යේසුස්ගේ ඉගැන්වීම වූයේ මෙයයි. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) තමාගේ ගනු දෙනුකාරියව පුදුමයට පත් කරමින් ජෝඩි එම අමෙරිකානු ඩොලර් 82,000ක මුදල ඇයට භාර දුන්නා. එම මුදල් ගත්තේ නැත්තේ ඇයි කියා ඔහුගෙන් අසනු ලැබූ විට, ජෝඩි කියා සිටියේ තමා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු බවයි. “ඒ මුදල මට අයිති නැහැනේ” කියා ඔහු පැවසුවා. මතෙව් 19:18හි බයිබලයේ වාර්තා කර තිබෙන “සොරකම් නොකරන්න” යන යේසුස්ගේ වචන ජෝඩි ඉතා බරපතළ දෙයක් ලෙසටයි සැලකුවේ.

වැඩිදෙනාගේ මතය නිවැරදි මඟ පෙන්වීමක්ද?

ජෝඩි එච්චරටම අවංක වෙන්නට යෑම මෝඩකමක් කියා ඇතැම් අය කියන්නට පුළුවන්. ඒත්, වැඩිදෙනාගේ මතය නිවැරදි මඟ පෙන්වීමක් වන්නේ නැහැ. අපි මෙවන් උදාහරණයක් ගනිමු. අතීතයේ ඇතැම් සමාජවල දරුවන්ව පූජා කිරීම පිළිගත හැකි දෙයක් හැටියටයි වැඩිදෙනෙක් විශ්වාස කළේ. ඔබ එවන් ප්‍රදේශයක ජීවත් වුණා නම්, එවන් දෙයක් විශ්වාස කිරීම හරි දෙයක් කියා ඔබ සිතනවාද? (2 රාජාවලිය 16:3) මිනී මස් කෑම සදාචාර වශයෙන් පිළිගත හැකි ක්‍රියාවක් ලෙසට සලකනු ලැබූ සමාජයක ඔබ ජීවත් වුණා නම්, මිනී මස් කෑම හරි දෙයක් කියා ඔබ කියනවාද? මේ අනුව, යම් දෙයක් වැඩිදෙනෙක් කරන පලියටම එය හරි දෙයක් වෙන්නේ නැහැ. මීට බොහෝ කාලයකට පෙර, බයිබලය එම මලපත ගැන අනතුරු අඟවමින් කියා සිටියේ මෙහෙමයි. “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න.”—නික්මයාම 23:2.

වැඩිදෙනෙක් දරන මතය හරි වැරැද්ද තීරණය කරන ප්‍රමිතිය කරගැනීම ඉතා අනතුරුදායක බව යේසුස් ක්‍රිස්තුස් දුන් තවත් හේතුවකින් අපට පැහැදිලි වෙනවා. ඔහු සාතන්ව හැඳින්වූයේ “ලෝකයේ පාලකයා” කියායි. (යොහන් 14:30; ලූක් 4:6) සාතන් කරන්නේ “මුළු පොළොවම” නොමඟ යැවීමයි. (එළිදරව් 12:9) ඒ නිසා, ජනප්‍රිය මතය මිම්ම කරගෙන ඔබ හරි වැරැද්ද තීරණය කරන්නට ගියොත්, ඔබ කරන්නේ හරි වැරැද්ද ගැන සාතන්ගේ මතය දැරීම විය හැකියි. එය මහත් විනාශයකට හේතු විය හැකියි.

ඔබේම සිතට හැඟෙන දේ විශ්වාස කරන්නට පුළුවන්ද?

එසේනම්, හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා තීරණය කිරීම එක් එක් පුද්ගලයා කළ යුතු දෙයක්ද? බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘ඔබේම බුද්ධියෙහි නොපිහිටන්න.’ (හිතෝපදේශ 3:5) ඒ ඇයි? තමාගේ සිතට හැඟෙන දේ අනුව ගන්නා තීරණ බොඳ කරන එක්තරා උරුම වූ දෝෂයක් සෑම මිනිසෙකුටම තියෙන නිසයි. ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලි ගැසූ අවස්ථාවේ, ඔවුන් කළේ සාතන් නමැති ආත්මාර්ථකාමී ද්‍රෝහියාගේ ප්‍රමිති පිළිගෙන ඔහුව තමන්ගේ අධ්‍යාත්මික පියා කරගැනීමයි. අනතුරුව ඔවුන් තමන්ගේ දරුවන්ට එක්තරා මූලික ගතිලක්ෂණයක් උරුම කර දුන්නා. එය නම්, හරි දේ වටහාගත්තද වැරදි දේ කිරීමට නැඹුරුවාවක් ඇති කරවන වංචනික හදවතක්.—උත්පත්ති 6:5; රෝම 5:12; 7:21-24.

ආචාර ධර්ම ගැන කතා කරමින් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය මෙසේ කියනවා. “මිනිසුන් හරි දේ දැනගෙනත් තමන්ගේ ආශාවන් මුදුන් පමුණුවාගැනීමට තමන් කැමති දේ කිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැහැ. බටහිර ලෝකයේ ආචාර ධර්මවල තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි, එවන් මිනිසුන්ට හරි දේ කිරීමට ඒත්තුගැන්වීම.” බයිබලයේ මේ ගැන නිවැරදි ලෙස කියන්නේ මෙහෙමයි. “සිත සැම දේටම වඩා වංචාසහගතය. ඉතා රෝගාතුරය. ඒක කාට දැනගන්ට පුළුවන්ද?” (යෙරෙමියා 17:9) එසේනම් වංචනික තැනැත්තෙකු බවට ප්‍රසිද්ධ වී සිටින යම් කෙනෙකුව ඔබ විශ්වාස කරනවාද?

දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාසයක් නැති මිනිසුන්ට පවා සදාචාරමය වශයෙන් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීමටත් ප්‍රයෝජනවත් හා ගෞරවනීය ආචාර ධර්ම පද්ධතියක් අනුව ජීවත් වීමටත් හැකියාවක් තිබෙනවා. ඒත්, ඔවුන්ගේ එම ආචාර ධර්මවල ගැබ් වී තිබෙන උදාර ප්‍රතිපත්තිවලින් පිළිබිඹු වන්නේ බයිබලයේ තිබෙන සදාචාර ප්‍රමිතියි. එවන් පුද්ගලයන් දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළත්, දෙවිගේ පෞද්ගලික ගුණාංග පිළිබිඹු කිරීමේ සහජ හැකියාවක් ඔවුන්ට තිබෙන බවයි එයින් පෙනෙන්නේ. බයිබලයේ පෙන්වන ලෙස, මෙයින් ඔප්පු වෙන්නේ, ආරම්භයේදීම ‘දෙවි තමන් ස්වරූපයෙන්’ මිනිස් වර්ගයාව මැවූ බවයි. (උත්පත්ති 1:27; ක්‍රියා 17:26-28) ප්‍රේරිත පාවුල් මෙසේ කියයි. “නීතියේ සාරය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන බව පෙන්වන්නේ ඔවුන්මය.”—රෝම 2:15.

ඇත්ත වශයෙන්ම, හරි දෙය දැන සිටීම එක් දෙයක්. එහෙත් හරි දේ කිරීමට ධෛර්යක් ඇතුව සිටීම තවත් දෙයක්. යමෙක් හරි දෙය කිරීමට මෙම ධෛර්යය උපදවාගන්නේ කොහොමද? යමෙකුව ක්‍රියාවට පොලඹවන්නේ සිත නිසා, බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීම මගින් පුද්ගලයෙකුට එම ධෛර්යය වර්ධනය කරගත හැකියි.—ගීතාවලිය 25:4, 5.

යහපත් දේවල් කිරීමට ධෛර්යය ඇතුව සිටීම

දෙවිට ප්‍රේම කිරීමට ඉගෙනගැනීමේ පළමු පියවර වන්නේ ඔහුගේ අණ පණත් හා ආඥාවන් කොතරම් සාධාරණද කොතරම් ප්‍රායෝගිකද කියා තේරුම්ගැනීමයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ” කියා ප්‍රේරිත යොහන් සඳහන් කරනවා. (1 යොහන් 5:3) උදාහරණයක් හැටියට, මත්පැන් ගැනීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හෝ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම යන දේවල් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇතැම් තරුණයන්ට සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී හරි වැරැද්ද වෙන් කරගැනීමට ඔවුන්ට බොහෝ සෙයින් උපකාර වෙන්නේ බයිබලයේ තිබෙන ප්‍රායෝගික උපදෙස් හා අවවාදයි. ඒ වගේම තමන් අතර ඇති වන එකඟ නොවීම් නිරාකරණය කරගන්නටත් බයිබලය විවාහක යුවලයන්ට මහඟු උපකාරයක් සපයනවා. ඒ විතරක් නොවෙයි, දෙමාපියන්ටත් තම දරුවන්ව ඇති දැඩි කිරීමට එහි දෙන මාර්ගෝපදේශයන් ඉතා විශිෂ්ඨයි. * මේ නිසා සමාජයේ කුමන තත්වයක සිටියත්, කොතරම් දුරකට අධ්‍යාපනය ලබා සිටියත්, කුමන සංස්කෘතික පසුබිමකට අයත් වුවත්, බාල මහලු කොයි කවුරුත් බයිබලයේ තිබෙන සදාචාර ප්‍රමිති අදාළ කරගන්නා විට ඔවුන් ඉන් ලබන ප්‍රයෝජනවල වටිනාකම කියා නිම කරන්නට බැහැ.

පෝෂ්‍යදායක ආහාර ගැනීමෙන් ඔබට ශරීර ශක්තිය ලැබෙනවා වගේම, දේවවචනය කියවන විට ඔබට දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. දෙවි පවසා ඇති කියමන් යේසුස් සමාන කළේ ජීවනදායක කෑමකටයි. (මතෙව් 4:4) ‘මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමයි’ කියාද ඔහු පැවසුවා. (යොහන් 4:34) ඒ වගේම දෙවිගේ වචනයෙන් පෝෂණය වීම නිසා යේසුස්ට පරීක්ෂා හමුවේ නොසැලී සිටීමටත්, ඥානවන්ත තීරණ ගැනීමටත් හැකි වුණා.—ලූක් 4:1-13.

දෙවිගේ වචනයේ තිබෙන කාරණා මනසට ගෙන ඔහුගේ ප්‍රමිතිවලට අනුව සකස් වීම මුලදි ඔබට තරමක් අමාරු විය හැකියි. ඔබේ බාල වියේදී සමහර පෝෂ්‍යදායී ආහාර වර්ග අනුභව කිරීමට ඔබ එතරම් රුචියක් දැක්වූයේ නැහැ කියා ඔබට මතකද? හැබැයි, ශරීර ශක්තිය වඩවාගන්නට නම්, එවන් පෝෂ්‍යදායී ආහාරවල රසයට පුරුදු වෙන්නට ඔබට සිදු වුණා. ඒ හා සමානවම, දෙවිගේ ප්‍රමිති රස බලා දැනගන්නට ඔබට යම් කාලයක් ගත වේවි. ඔබ ඒවායේ රස දැනගන්නට දිගටම වෑයම් කරනවා නම්, ඒවාට ඇලුම් වී ඔබ ආත්මිකව ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා නිසැකයි. (ගීතාවලිය 34:8; 2 තිමෝති 3:15-17) ඒ වගේම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් ඔබ “යහපත” කරනවා නොඅනුමානයි.—ගීතාවලිය 37:3.

ජෝඩිට මුහුණ දෙන්නට සිදු වූ ආකාරයේ තත්වයකට ඔබට කවරදාකවත් මුහුණ දීමට සිදු නොවෙන්නට පුළුවන්. ඒ වුණත්, සෑම දවසකම ඔබට හරි වැරැද්ද සම්බන්ධයෙන් ලොකු හෝ කුඩා තීරණ ගන්නට සිදු වෙනවා. ඒ නිසයි බයිබලය ඔබෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටින්නේ. “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න; ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.” (හිතෝපදේශ 3:5, 6) යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීමට ඉගෙනගැනීමෙන් ඔබට දැන් ප්‍රයෝජන ලැබෙනවා පමණක් නොව, සදාකාලයටම ජීවත් වීමට මාර්ගයද විවෘත වේවි. මන්දයත් යෙහෝවා දෙවිට කීකරු වීම ජීවනය ලැබිය හැකි එකම මාර්ගයයි.—මතෙව් 7:13, 14.

[පාදසටහන]

^ 18 ඡේ. මෙම කාරණා සහ ජීවිතයේ වෙනත් වැදගත් කාරණා සම්බන්ධව බයිබලය දෙන ප්‍රායෝගික උපදෙස්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැංවිය හැකි පිළිතුරු සහ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් සොයාගන්නට පුළුවන්.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වැඩිදෙනෙකුගේ මතය නොපෙනෙන බලවේගවල බලපෑමට හසු වී තිබෙන්නට පුළුවන්

[5වන පිටුවේ පින්තූර]

යුග ගණනාවක් පුරා, දර්ශනවාදීන් හරි වැරැද්ද කුමක්ද කියා වාද කර තිබෙනවා

සොක්‍රටීස්

කාන්ට්

කොන්ෆියුසියස්

[හිමිකම් විස්තර]

Kant: From the book The Historian’s History of the World; Socrates: From the book A General History for Colleges and High Schools; Confucius: Sung Kyun Kwan University, Seoul, Korea

[7වන පිටුවේ පින්තූර]

හරි වැරැද්ද අතර වෙනස වටහාගන්නට පමණක් නොව, හරි දේ කිරීමටද බයිබලය අපව පොලඹනවා