Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රස වින්දනයක් ලැබුවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකිදැයි බලන්න.

ක්‍රිස්තියානියෙකුට ශාරීරික හා ආත්මික වෙහෙසක් දැනෙනවා නම් ඔහුට කුමක් කළ හැකිද?

වෙහෙසට පත්වීමට හේතුව කුමක්ද කියා මුලින්ම අප හඳුනාගත යුතුයි. අපගේ පුරුදු හා අප සතු දේවල් ගැන හොඳ සෝදිසියක් කිරීම ප්‍රයෝජනදායක වෙනවා. මෙමගින් සියලු අනවශ්‍ය බර අහක දමන්න අපට හැකි වෙයි. අප සිටින තත්වයන්ට ගැළපෙන පරිදි යථාර්ථවාදී ඉලක්ක තැබීමට අපට පුළුවන්. අපගේ ආත්මික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්. නිතිපතා යාච්ඤා කිරීම හා මෙනෙහි කිරීම මීට ඇතුළත් විය යුතුයි.—8/15, 23-6 පිටු.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1,44,000 යන සංඛ්‍යාව නිශ්චිත එකක් කියා පවසන්නේ මන්ද?

මෙම 1,44,000දෙනාගෙන් සමන්විත කණ්ඩායම ගැන ප්‍රේරිත යොහන්ට පැවසීමෙන් අනතුරුව “කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්” ඔහු දුටුවා. (එළිදරව් 7:4, 9) එක්ලක්ෂ හතළිස්හාරදහසේ සංඛ්‍යාව සංකේතමය වශයෙන් සලකනවා නම්, එම පද දෙක අතර තිබෙන පැහැදිලි වෙනස දැකගැනීමට නොහැකි වෙයි. තමා සමඟ පාලනයට හවුල් වන අය ගැන යේසුස් පැවසූ අතර ඔවුන්ව හැඳින්වූයේ ‘කුඩා රැළක්’ ලෙසටයි. (ලූක් 12:32)—9/1, 30, 31 පිටු.

ඊශ්‍රායෙල් වැසියෙකුට ලේ ඉවත් නොකළ මැරුණු සතෙකුව විදේශිකයෙකුට විකිණීමට හැකියාව තිබුණේ කොහොමද?

ඊශ්‍රායෙල් ජාතියේ නමස්කාරය වැලඳ නොගත් විදේශිකයෙකු හෝ පරදේශිකයෙකු නීතිය යටතේ සිටියේ නැහැ. එවැනි සතුන් ඔවුන්ට දීමට හෝ විකිණීමට ඊශ්‍රායෙල් ජාතිකයන්ට අවසර තිබුණා. (ද්විතීය කතාව 14:21) එනමුත් ඊශ්‍රායෙල් ජාතියේ නමස්කාරය වැලඳගත් විදේශිකයා නීතියට බැඳී සිටියා. එමනිසා සතෙකුගේ ලේ ඉවත් නොකළ මස් අනුභව කිරීම සඳහා එවන් කෙනෙකුට අවසර තිබුණේ නැහැ. (ලෙවී කතාව 17:10)—9/15, 26වන පිටුව.

විද්‍යාව ස්වභාවධර්මයේ දක්නට ලැබෙන අරුමයන් අනුකරණය කර දේවල් නිෂ්පාදනය කිරීම ක්‍රිස්තියානීන්ගේ උනන්දුවට හේතුවක් විය හැක්කේ මන්ද?

මෙසේ නිෂ්පාදනය කරන දේවලට උදාහරණයක් සලකා බලන්න. රයිට් සහෝදරයන් ගුවන් යානයක් නිර්මාණය කළේ අහසේ ඉගිළෙන විශාල පක්ෂීන් ගැන පර්යේෂණ කළාට පසුවයි. මෙම තොරතුරු දැනගැනීම මැවුම්කරුව මහිමවත් කිරීමට ක්‍රිස්තියානියෙකුව පෙලඹවිය හැකියි.—10/1, 9වන පිටුව.

දෙවන කොරින්ති 12:2-4හි සඳහන් පරිදි පාරාදීසයට ඔසවාගනු ලැබුවේ කාවද?

පාවුල් මෙම වගන්ති පෙළ ලියන්නේ ප්‍රේරිතයෙකු වීමට ඔහුට තිබූ සුදුසුකම් සම්බන්ධයෙන් සාක්ෂි ගෙනහැර දැක්වීමෙන් අනතුරුවයි. එවන් අද්දැකීමක් ලැබූ වෙන කිසිවෙක් ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. අනිත් අතට එම දර්ශනය ගැන අපට පවසන්නේ පාවුල්. මේ අනුව එම දර්ශනය දුටු තැනැත්තා පාවුල් වීමට ඉඩ තිබෙනවා.—10/15, 8වන පිටුව.

දෙවි විසින් තෝරාගනු ලැබූ නායකයෙකු වීමට යේසුස්ට තිබුණු සුදුසුකම් සමහරක් මොනවාද?

යේසුස් තම විශ්වාසවන්ත ස්ථාවරයෙන් ඉවත් වුණේ නැහැ. ඔහු අවංකකමින් හා නිර්දෝෂකමින් හැසිරුණා. යේසුස් කැප වී සිටියේ දෙවි වෙනුවෙන්මයි. මිනිසුන් විඳි වේදනාව යේසුස්ට දැනුණා. ඒ වගේම ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන්න කැමැත්තක් දැක්වුවා.—11/1, 6-7 පිටු.

දහස් වසර පාලන සමයේදී භූතයන් සිටිනු ඇත්තේ කොහේද?

ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී සාතන් සමඟ ඔවුන්වත් අගාධයට දමනු ලබයි කියා අපට තර්කානුකූලව නිගමනය කළ හැකියි. (එළිදරව් 20:1-3) ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී සාතන්ව අගාධයට හෙළීම උත්පත්ති 3:15හි සඳහන් සර්පයාගේ හිස පොඩි කිරීමට ඇතුළත් වෙයි. සාතන්ගේ වංශයට දුෂ්ට දේවදූතයන් හෙවත් භූතයන්ගෙන් සමන්විත වෙනවා. අතීතයේදී දුෂ්ට ආත්මයන් අගාධය ගැන මහත් බියෙන් සිටීමෙන් අඟවන්නේ ඔවුන්ට ඉදිරියේදී සිදු වන්නට යන මෙම හිර කිරීම ගැන ඔවුන් දැන සිටින බවයි. (ලූක් 8:31)—11/15, 30-1 පිටු.

තමන් වෙරි වී සිටින බව අනිත් අයට නොපෙන්වා සිටින්නට වගබලා ගත්තත් යමෙක් මත්පැන් පානය කිරීම ගැන පරෙස්සම් විය යුත්තේ ඇයි?

ඇතැම් පුද්ගලයන් මත්පැන් වීදුරු කිහිපයක් බිව්වද, වෙරි වී සිටින බවක් පෙන්වන්නේ නැහැ. එවන් පුද්ගලයෙක් ටිකෙන් ටික මත්පැන්වලට ඇබ්බැහි වී අන්තිමේදී “බොහෝ වයින් පානයට වහල්” වූ තත්වයට පත් වෙන්නට පුළුවන. (තීතස් 2:3) “අධික කෑමෙනුත් බීමෙනුත්” සිදු වන දේ ගැන යේසුස් අනතුරු ඇඟවීය. (ලූක් 21:34, 35) පුද්ගලයෙකු වෙරි වෙන තරමටම මත්පැන් පානය නොකළද, එය ඔහුව ශාරීරික වශයෙන් හා ආත්මික වශයෙන් නිදිබර කම්මැළි පුද්ගලයෙකු බවට පත් කරයි.—12/1, 19-21 පිටු.