Skip to content

පටුනට යන්න

“මිත්‍ර දූපත්වල” වෙසෙන දෙවිගේ මිතුරෝ

“මිත්‍ර දූපත්වල” වෙසෙන දෙවිගේ මිතුරෝ

“මිත්‍ර දූපත්වල” වෙසෙන දෙවිගේ මිතුරෝ

වර්ෂ 1932දී, එක්තරා නැවක් ටොංගා දූපත් කරා ඉතා වටිනා බීජ සමහරක් ගෙන ආවා. නැවේ ප්‍රධානියා “මළවුන් කොහේද?” [සිංහලෙන් නැත] යන පොත් පිංචය චාල්ස් වීටේට දුන්නා. එය කියවීමෙන් පසුව චාල්ස් තේරුම්ගත්තා තමාට සත්‍යය ලැබුණු බව. ඉන් ටික කලකට පසුව චාල්ස්, එම පොත් පිංචය තම මව්බසට පරිවර්තනය කරන්නට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයෙන් අනුමැතිය ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහුට අනුමැතිය ලැබුණා. ඔහු පරිවර්තනය කළ මේ පොත් පිංචයේ පිටපත් 1,000ක් මුද්‍රණය කර ඔහුට එවනු ලැබුවා. ඉන්පසු ඔහු ඒවා බෙදාහරින්නට පටන්ගත්තා. මේ විදිහට තමයි, ටොංගා දූපත්වල යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය නමැති බීජ ව්‍යාප්ත වෙන්නට පටන්ගත්තේ.

ටොංගා දූපත් පිහිටා තිබෙන්නේ දකුණු පැසිෆික් සාගරයේයි. ලෝක සිතියමක, එම සාගරයේ සම්මත දින රේඛාව මකර නිවර්තනය හමු වන තැනට බටහිර දෙසින් ඔබට ටොංගා දූපත් සොයාගත හැකියි. එහි විශාලතම දූපත තමයි, ටොංගාටාපු කියන දූපත. එය පිහිටා තිබෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සිට කිලෝමීටර් 2,000ක් පමණ ඊසාන දෙසටයි. ටොංගා දූපත්වලට කුඩා දූපත් 171ක් අයත් වෙනවා. මේවායින් 45කම මිනිසුන් වාසය කරනවා. බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගවේෂකයෙකු වූ ජේම්ස් කුක් 18වන සියවසේදී මෙම දූපත් “මිත්‍ර දූපත්” යනුවෙන් හැඳින්වූවා.

ටොංගා දූපත්වල ජනගහනය 1,06,000ක් පමණ වෙනවා. එම දූපත් සමූහය ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනකට බෙදා තිබෙනවා. ටොංගාටාපු, හාපායි සහ වාවාවු කියන දූපත් ප්‍රධාන දූපත් සමූහයන් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා පහෙන් තුනක්ම තිබෙන්නේ වඩාත් ජනාකීර්ණ වූ ටොංගාටාපු දූපතෙයි. එකක් හාපායි දූපත්වල පිහිටා තිබෙනවා. අනෙක් සභාව තියෙන්නේ වාවාවු කියන දූපතෙයි. දෙවිගේ මිතුරන් බවට පත්වීමට ජනයාට උපකාර කරන්නට, මෙහි අගනුවර වන නුකුආලොෆාහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරි නිවසක්ද පරිවර්තන කාර්යාලයක්ද පිහිටා තිබෙනවා.—යෙසායා 41:8.

එක්දහස් නවසිය තිස් ගණන්වල පටන්, චාල්ස් වීටේව ප්‍රසිද්ධ වී තිබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියටයි. නමුත් ඔහු 1964 වන තුරුම බව්තීස්ම වී සිටියේ නැහැ. තවත් අයත් ඔහු සමඟ සාක්ෂි දැරීමේ වැඩයට හවුල් වුණා. ඒ එක්කම 1966දී 30දෙනෙකුට පමණ සරිලන රාජ්‍ය ශාලාවක් ඉදි කෙරුණා. වර්ෂ 1970දී නුකුආලොෆා නුවරේ රාජ්‍ය ප්‍රචාරකයන් 20දෙනෙකුගෙන් සමන්විත සභාවක් පිහිටුවනු ලැබුවා.

එතැන් පටන්, “ඔවුහු යෙහෝවාට ගෞරවය දී ඔහුගේ ප්‍රශංසාව දිවයින්වලදී ප්‍රකාශ කෙරෙත්වා” යන අනාගතවක්තෘ යෙසායාගේ වචනවල ඉෂ්ට වීම ටොංගා දූපත්වල පැහැදිලිව දකින්නට පුළුවනි. (යෙසායා 42:12) රාජ්‍ය වැඩකටයුතු නොකඩවා වර්ධනය වී තිබෙනවා. ඒ නිසා බොහෝදෙනෙකුට යෙහෝවා සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට හැකි වී තිබෙනවා. වර්ෂ 2003දී නුකුආලොෆා නුවර පැවති දිස්ත්‍රික් සමුළුවකට පැමිණ සිටි අයගේ උපරිම සංඛ්‍යාව 407ක්. එහිදී බව්තීස්ම වූ අයගේ සංඛ්‍යාව 5ක්. ඒ වගේම 2004 වර්ෂයේ සිහි කිරීමට 621දෙනෙක් පැමිණ සිටීමෙන් පෙනී යන්නේ තව තවත් වර්ධනය සඳහා බලාපොරොත්තු තැබිය හැකි බවයි.

සරල දිවි පෙවෙතක් ගෙවන දූපත් වැසියෝ

එහෙත්, අගනුවරින් එපිට ප්‍රදේශවල තවමත් රාජ්‍ය ප්‍රකාශකයන් සඳහා පවතින්නේ දැඩි අවශ්‍යතාවක්. උදාහරණයක් හැටියට, හාපායි දූපත් සමූහයේ දූපත් 16ක ජීවත් වන 8,500ක් පමණ දෙනාට බයිබල් සත්‍යය පිළිබඳ තව තවත් ඉගෙනගන්නට අවශ්‍යතාවක් තිබෙනවා. මෙම හාපායි දූපත් සමූහය ප්‍රධාන වශයෙන් සමන්විත වී තිබෙන්නේ සුදු පාට වැලිතලාවලින් යුත් මුහුදු වෙරළවලින් සමන්විත දූපත්වලිනුයි. ඒ වගේම ඒවා පහත් බිම් සහිතයි. තාල වර්ගයට අයත් ගස් ඒ දූපත්වල සරුවට වැවිලා. මුහුදු වතුර ඉතාමත් පැහැදිලියි. කොච්චර පැහැදිලිද කියනවා නම්, මීටර් 30ක් ගැඹුරට යන තුරු පැහැදිලිව දකින්නට පුළුවන්. කොරල් පරවලින් ගහන වූ පාට පාට විවිධ මාළු වර්ග සියයකට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ මේ මුහුදු වතුරේ පිහිනීම හරිම ආස්වාදජනක අද්දැකීමක්. මෙහි තිබෙන ගම්මාන සාමාන්‍යයෙන් කුඩයි. එතරම් පහසුකම් නැති වුණත්, ගෙවල් සාදා තිබෙන්නේ කුණාටුවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇතුවයි.

දෙල් සහ අඹ ගස්වල සෙවණ වගේම ඒ ගස්වල පලදාව ආහාරයක් ලෙසද භුක්ති විඳීමට පුළුවන්. මෙහි වැසියන්ගේ එදිනෙදා කටයුතුවල ප්‍රධාන තැනක් ගන්නා දෙයක් තමයි, නොයෙක් දේවල් එකතු කර ආහාර සකස් කරගැනීම. ඌරු මස්වලට අමතරව මෙම දූපත් වැසියන් මාළු වර්ගද බොහෝ සෙයින් ආහාරයක් හැටියට ගන්නවා. ගෙවතුවල අල වර්ග සහ එළවළු පලා ජාති සරුවට වැවෙනවා. ළඳු කැලෑවල දෙහි දොඩම් නාරං වැනි ගස් පිරිලා. ඒ වගේම පොල් ගස් සහ කෙසෙල් ගසුත් මේ දූපත්වල බහුලව වැවෙනවා. පාරම්පරික දැනුම අතර, ඖෂධ පැළෑටි, කොළ, පොතු හා මුල් ගැන දැනුමද සලකන්නට පිළිවන්.

ඇත්තෙන්ම, හාපායි දූපත් සතු වටිනාම සම්පත තමයි, එහි වෙසෙන ඉතා මිත්‍රශීලි ජනතාව. මේ අය එහි නිස්කලංක පරිසරයට හොඳට හැඩගැහිලා. මෙහි ජීවිතය හරිම සරලයි, සුන්දරයි. කාන්තාවන් වැඩිදෙනෙක් කූඩා සෑදීම, ටාපා කියන රෙදි සහ පැදුරු වැනි දේ සෑදීමේ නියැළිලා. ටොංගානු කාන්තාවන් සෙවණ ගෙන දෙන ගසක් යට වාඩි වෙලා එකට කතා කර කර, සින්දු කියමින් හිනා වෙවීයි වැඩ කරන්නේ. ඔවුන්ගේ කුඩා දරුවන් ඔවුන් අසල සෙල්ලම් කරනවා. නැත්නම් නිදාගන්නවා. සාමාන්‍යයෙන් කාන්තාවන්, සාගරයේ බාදිය පවතින වෙලාවට, මුහුදු බෙල්ලන් සහ වෙනත් මසුන් ඇල්ලීමේ යෙදෙනවා. ඒ වගේම රසවත් සලාද සෑදීමට ගන්නා මුහුදු පැළෑටි නෙළන්නෙත් සාමාන්‍යයෙන් කාන්තාවන් විසිනුයි.

අනෙක් අතට පිරිමි වැඩිදෙනෙක් ඔවුන්ගේ දවස ගත කරන්නේ, ගොවිපොළවල වැඩ, මාළු ඇල්ලීම, කැටයම් වැඩ, ඔරු සෑදීම සහ මාළු දැල් අලුත්වැඩියා කිරීම වැනි ක්‍රියාවල නිරත වෙමිනුයි. තමන්ගේ නෑදෑයන්ව බැලීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හෝ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීමට පිරිමින්ද කාන්තාවන්ද ළමුන්ද කුඩා වහලක් සහිත බෝට්ටුවලින් දූපත් හරහා ගමන් කරනවා.

ශුභාරංචිය ඈත දූපත් කරා

මේ වගේ කදිම පරිසරයක් මැද තමයි, 2002 සිහි කිරීමේ කාලයේදී මිෂනාරිවරුන් දෙදෙනෙක් සහ විශේෂ පුරෝගාමීන් දෙදෙනෙක් මෙහි ආවේ. මීට කලිනුත් මෙහි ජනයාට දේශනා කර තිබුණා. ඒ විතරක් නෙවෙයි, හාපායි දූපත්වල වෙසෙන ජනයාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන ලැබී තිබුණා වගේම ඔවුන්ගෙන් සමහරක් දෙනෙක් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරලාත් තිබුණා.

ඒ මිෂනාරිවරුන් සහ පුරෝගාමීන් මෙහි ආවේ පරමාර්ථ තුනක් ඇතිවයි. ඒ, බයිබල් පොත් පත් බෙදා දීමට, නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට සහ උනන්දුව දක්වන අයව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කිරීමටයි. මේ සියලු පරමාර්ථ ඉෂ්ට වුණා. යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණෙන ලෙසට කළ ආරාධනාවට ප්‍රතිචාරය දැක්වූ අයගේ සංඛ්‍යාව 97ක්. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ආවේ තද වැහි හා දැඩි සුළංද නොතකා වහලක් නැති බෝට්ටුවලිනුයි. තිබුණු අයහපත් කාලගුණය නිසා, බොහෝදෙනෙක් සිහි කිරීම පැවති තැන රාත්‍රිය ගත කරලා පසුවදා තමයි ඔවුන්ගේ ගම් බලා ආපහු ගියේ.

සිහි කිරීමේ උත්සවයේ කතාව දුන් කථිකයාටත් අත් විඳින්නට වූ දුක්ගැහැට සුළු පටු නැහැ. “එකම සැන්දෑවක නුහුරු භාෂාවකින් සිහි කිරීමේ කතා දෙකක් දෙන්න මට තිබුණා. මං ඒ ගැන කොච්චර භයෙන් හිටියේද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් ඇතිනේ” කියා එම කතාව දුන් මිෂනාරිවරයා ඒ ගැන මතකයට නඟනවා. “මං කොච්චර භයකින් හා කලබලයෙන්ද හිටියේ කියලා ඔබට හිතාගන්න පුළුවන් ඇති. ඇත්තටම යාච්ඤාව මට ගොඩක් උපකාරයක් වුණා! මම නොදැනුවත්වම වගේ මම කලින් ඉගෙනගෙන තිබූ වචන හා වාක්‍ය ඛණ්ඩයන් මතකයෙන් කිව්වා.”

මෙම එවැන්ජලිස්තවරුන් විසින් හාපායි දූපත්වල වෙසෙන ජනයා තුළ සත්‍යය කෙරෙහි තිබූ උනන්දුව අවදි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, එම ප්‍රදේශයේ විවාහක ජෝඩු දෙකක් බව්තීස්ම වුණා. එක් පුරුෂයෙක් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කෙරෙහි උනන්දුවක් ඇති කරගන්නට පටන්ගත්තේ ඔහු ප්‍රදේශයේ පල්ලියක දේවගැතියෙකු වෙන්නට පුහුණුව ලබමින් සිටිද්දීයි.

මෙම යුවළ හරිම දුප්පත්. ඒ වුණත් පල්ලියේ වසරකට වරක් පැවැත්වෙන සම්මාදම් එකතු කිරීමේ අවස්ථාවේ ඔවුන්ගේ නම් අඬගහනකොට, සෑහෙන ලොකු මුදලක් සම්මාදම් ලෙස දැමීම මේ දෙදෙනා පුරුද්දක් කරගෙන සිටියා. ඔවුන්ව හමුවීමට ආව එක් සාක්ෂිකරුවෙක් ඔවුන්ට කියා තිබුණා ඔවුන්ගේ බයිබලයෙන් 1 තිමෝති 5:8ට පෙරළලා කියවන්න කියලා. ප්‍රේරිත පාවුල් ලීවේ මෙහෙමයි. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.” මේ බයිබල් ප්‍රතිපත්තිය මේ ස්වාමිපුරුෂයාගේ සිතට කාවැදුණා. ඔහු මෙහිදී වටහාගත්තා, තමා පල්ලියට අධික මුදල් ගෙවන්නට යෑමෙන් තමාගේ පවුලේ අයගේ මූලික අවශ්‍යතා සැපිරීම පැහැරහරිමින් සිටි බව. පල්ලියේ ඊළඟ වාර්ෂික සම්මාදම් දෙන අවස්ථාවේදී ඔහුගේ සාක්කුවේ මුදල් තිබුණත්, ඔහුට 1 තිමෝති 5:8 අමතක කරන්නට බැරි වුණා. ඔහුගේ නම අඬගසනු ලැබූ වෙලාවේ ඔහු ඉතා නිර්භීතව පූජකයාට දන්වා සිටියා තමාගේ පවුලේ අවශ්‍යතාවන් මූලික තැනට දැමිය යුතු බව. මේ නිසා, මෙම යුවළට පල්ලියේ ප්‍රධානීන්ගෙන් ප්‍රසිද්ධියේ නින්දා අපහාස විඳින්නට සිදු වුණා.

මෙම යුවළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළායින් පස්සේ, ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රචාරකයන් බවට පත් වුණා. ස්වාමිපුරුෂයා මෙහෙම කියනවා. “බයිබල් සත්‍යය මාව වෙනස් කළා. මම තවත් මගේ පවුලට කුරිරු විදිහට සලකන්නේ නැහැ. මම දැන් ඉස්සර වගේ අධික ලෙස මත්පැන් බොන්නේ නැහැ. සත්‍යය නිසා මගේ ජීවිතයේ සිදු වූ වෙනස මගේ ගමේ මිනිස්සුන්ට හොඳ හැටි පේනවා. ඔවුනුත් මං වගේම සත්‍යය වැලඳගනියි කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ක්වෙස්ට් නමැති යාත්‍රාව යොදාගෙන

වර්ෂ 2002 සිහි කිරීමට මාස කිහිපයකට පස්සේ, තවත් යාත්‍රාවක් ඈත එපිට පිහිටි හාපායි දූපත් වෙත ගෙන ආවේ තවත් වටිනා දේවල් රාශියක්. මීටර් 18ක් දිගින් යුත් ක්වෙස්ට් නමැති යාත්‍රාව නවසීලන්තයේ සිට ටොංගා දූපත් කරා ඇදී ආවේ තවත් උදාර අරමුණකටයි. මේ යාත්‍රාවේ ගමන් කළේ ගැරී සහ හෙටී සමඟ ඔවුන්ගේ දියණිය වන කේටී. ඒ එක්කම ටොංගානු ජාතික සහෝදර සහෝදරියන් නවදෙනෙක්ද මිෂනාරිවරුන් දෙදෙනෙක්ද ඔවුන් සමඟ දෙවතාවක් මේ ගමනේ යෙදුණා. බෝට්ටුව ඇතැම් අවස්ථාවලදී නොදන්නා ගල්පර අතරින් දක්ෂ ලෙස යාත්‍රා කරන්නට ඔවුන්ට උදව් වුණේ මේ සාක්ෂිකරුවන් විසිනුයි. මේවා නම් විනෝද ගමන් වුණේ නැහැ. යාත්‍රාවේ ගමන් කළ අය දූපත්වලට ගියේ බයිබල් සත්‍යය උගන්වන්නටයි. ඔවුන් දූපත් 14කට ගමන් කළා. මේ සමහරක් දූපත්වල රාජ්‍යයේ ශුභාරංචිය කවදාවක්වත් දේශනා කර තිබුණේ නැහැ.

කුමක්ද ජනයාගේ ප්‍රතිචාරය? මුහුදෙන් ගොඩබැස්ස මේ දේශනාකරුවන් දෙස කුතුහලයෙන් බැලුවත්, මෙම දූපත් වැසියන් ඔවුන්ව කාරුණිකව පිළි අරගෙන ඔවුන්ට සංග්‍රහ කළා. මේ නැවියන් පැමිණි අරමුණු වටහාගත් වහාම දූපත් වැසියන් ඊට දැක්වූයේ ගැඹුරු අගය කිරීමක්. දූපත් වැසියන් දේවවචනයට ලොකු ගෞරවයක් දැක්වූ බවත්, ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සංසිඳුවාගන්නට ඔවුන් තුළ විශාල ආශාවක් තිබූ බවත්, තේරුම්ගන්නට මේ සාක්ෂිකරුවන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.—මතෙව් 5:3.

බොහෝ අවස්ථාවල, මේ අමුත්තන් සහ දූපත් වැසියන් ගස් යට වාඩි වෙලා බයිබලය ගැන දහසකුත් එකක් ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. රෑ බෝ වුණාම බයිබල් සාකච්ඡා පැවැත්වුණේ නිවෙස්වලයි. සාක්ෂිකරුවන් යන්න පිටත් වුණාම, එක් දූපතක වැසියන් කෑගහලා මෙහෙම කිව්වා. “යන්න එපා! ඔයලා ගියාම කවුද අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ?” එක් සාක්ෂිකාරියක් පැවසුවේ මෙහෙමයි. “බයිබල් සත්‍යය දැනගන්නට පිපාසයෙන් ඉන්න ඒ බැටළු ගුණැති මිනිස්සුන්ව දාලා යන එක සැමවිටම ලෙහෙසි වුණේ නැහැ. සත්‍යය නමැති බීජ හුඟාක් පැළ කරන්නට පුළුවන් වුණා.” ක්වෙස්ට් යාත්‍රාව එක් දූපතකට සේන්දු වුණු වෙලාවේ, සාක්ෂිකරුවන් දැක්කා දූපතේ සිටි හැමෝම වාගේ මළ ගෙදරකට අඳින ඇඳුම් ඇඳ සිටිනවා. නගරයේ ප්‍රධානියාගේ භාර්යාව මිය ගිහින්. බයිබලයෙන් සහනදායක පණිවුඩයක් තමන් සමඟ බෙදාගැනීම ගැන ඔහු පෞද්ගලිකව සහෝදරයන්ට ස්තුති කළා.

සමහරක් දූපත්වලට යන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හෙටී විස්තර කරන්නේ මෙහෙමයි. “එක් දූපතකට ගොඩබසින්න සුදුසු තැනක් තිබුණේ නැහැ. තිබුණේ සාගර ජල මට්ටමින් අඩි ගණනක් ඉහළට එසවී තිබුණු ගල්පර විතරයි. දූපත්වලට යන්න පුළුවන් වුණේ කුඩා රබර් බෝට්ටුවෙන් විතරයි. ඉස්සරවෙලාම අපිට කරන්න තිබුණේ ඉවුරේ සිටින අයට අල්ලාගත හැකි විදිහට අපේ ගමන් මලු විසි කරන එකයි. ඊටපස්සේ, කුඩා රබර් බෝට්ටුව සාගරයේ රළ සමඟ ගල්පරවල උඩට නඟිනවාත් එක්කම අපිට බෝට්ටුවෙන් ඉවුරට පැනීමට සිද්ධ වුණා. බෝට්ටුව රළ සමඟ යළිත් පහළට වැටීමට පෙරාතුව අපිට පනින්න සිද්ධ වුණා.”

යාත්‍රාවේ හිටපු හැමදෙනාම පළපුරුදු නැවියෝ නෙවෙයි. සති දෙකක කාලයක් පුරා යාත්‍රා කළායින් පස්සේ, ටොංගාටාපු යන ප්‍රධාන දූපත කරා යළිත් එන්නට පෙරාතුව යාත්‍රාවේ ප්‍රධානියා ලීවේ මෙසේයි. “අපිට තවත් පැය 18ක කාලයක් යාත්‍රා කරන්නට තිබෙනවා. අපිට දිගටම ඒක නම් කරන්නට බැහැ. මොකද මුහුදු ගමන නිසා අසනීප වෙලා සිටි අය හිටිය නිසා. අපි ආසයි ආපහු යන්න. නමුත් දැන් රාජ්‍ය පණිවුඩය ඇසූ හුඟාක්දෙනෙකුව දාලා යන එක නම් හරි දුකක්. අපි ඒ අයව යෙහෝවාට භාර දෙනවා. ඒ වගේම ඔහුගේ ශුද්ධාත්මයත්, ඔහුගේ දේවදූතයනුත් ඔවුන්ට ආත්මිකව දියුණු වීමට උපකාර කරාවි කියලා අපිට විශ්වාසයි.”

මහත් බලාපොරොත්තු තැබිය හැකි දූපත්

ක්වෙස්ට් යාත්‍රාව පිට වී මාස හයකට විතර පස්සේ, ස්ටීවන් සහ මලාකි යන විශේෂ පුරෝගාමීන් දෙදෙනාව පත් කෙරුණා හාපායි දූපත් කණ්ඩායමට දේශනා කරන්න. එහිදී ඔවුන් දූපත් වැසියන්ට බයිබලය ඉගැන්වීමට එහි මෑතකදී බව්තීස්ම වූ විවාහ ජෝඩු දෙක හා එක් වුණා. මූලධර්ම හා සම්බන්ධ කදිම සාකච්ඡා එහි පැවැත්වෙනවා වගේම ප්‍රචාරකයන් ඉතා හොඳින් බයිබලය පාවිච්චි කරනවා.

වර්ෂ 2003 දෙසැම්බර් 1දා හාපායි දූපතේ සභාවක් පිහිටෙව්වා. එය ටොංගා දූපත්වල පස්වෙනි සභාවයි. ඒ සභාවේ සාමාජිකයන් අතර ළමුන් බොහෝදෙනෙක්ද ඉන්නවා. ඔවුන් දැන් හොඳින් අහගෙන ඉන්න ඉගෙනගෙන සිටිනවා. දැන් ඔවුන් දන්නවා, නිහඬව වාඩි වෙලා, සභාව සමඟ කරන සාකච්ඡාවලට හොඳින් හවුල් වෙන්නත්. “මගේ බයිබල් කතන්දර පොත ගැන ඔවුන් තුළ ඇති අවබෝධයෙන් පෙනෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් තම දරුවන් තුළ බයිබල් සත්‍යයන් පැළපදියම් කිරීමේ වගකීම ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්න බවයි” කියා චාරිකා අවේක්ෂක සඳහන් කරනවා. පැහැදිලිවම පෙනී යන දෙයක් තමයි, යෙහෝවාගේ මිත්‍රයන් බවට පත්වීමට තවත් හුඟදෙනෙක් මේ දූපත්වල ඉන්න බව.

මීට වසර 70කට පෙරාතුව, චාල්ස් වීටේ මළවුන් කොහේද? යන පොත් පිංචය ඔහුගේ මව්බසට, එනම් ටොංගානු බසට පරිවර්තනය කරද්දී ඔහු දැනගෙන හිටියේ නැහැ, රාජ්‍ය බීජ ඔහුගේ රටවැසියන්ගේ හදවත්වල මෙච්චර දුරට මුල්බැහැගනියි කියලා. ඒ කුඩා ආරම්භයේ පටන්, යෙහෝවා, අපගේ ලෝක ගෝලය පුරා ශුභාරංචිය දිගටම ප්‍රකාශ කිරීමට නොකඩවාම ආශීර්වාද කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියටයි, ඈත එපිට ඒ දූපත්වලට පවා ශුභාරංචිය ගිහින් තියෙන්නේ. අද අපට ඇත්තෙන්ම කියන්නට පුළුවන්, පොළොවේ ඈත එපිට තිබෙන දූපත් අතරින් යෙහෝවා වෙතට හැරෙන එක් දූපත් සමූහයක් හැටියට, ටොංගා දූපත් සැලකිය හැකි බව. (ගීතාවලිය 97:1; යෙසායා 51:5) මේ “මිත්‍ර දූපත්” දැන් යෙහෝවාගේ මිත්‍රයන් බොහෝදෙනෙකුගේ නිජබිමයි.

[8වන පිටුවේ පින්තූරය]

චාල්ස් වීටේ, 1983දී

[9වන පිටුවේ පින්තූරය]

ටාපා රෙදි සෑදීම

[10වන පිටුවේ පින්තූරය]

ටොංගා දූපත්වල ශුභාරංචිය පතළ කිරීමට “ක්වෙස්ට්” යාත්‍රාව යොදාගැනුණා

[11වන පිටුවේ පින්තූරය]

නුකුආලොෆා නුවර පරිවර්තන කණ්ඩායම

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ටාපා රෙදි සෑදීම: © Jack Fields/CORBIS; 8, 9 පිටුවල පසුබිම සහ මාළු ඇල්ලීම: © Fred J. Eckert