Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරය හා මිථ්‍යා වන්දනාව ගැටුණු නගරයක්

සැබෑ නමස්කාරය හා මිථ්‍යා වන්දනාව ගැටුණු නගරයක්

සැබෑ නමස්කාරය හා මිථ්‍යා වන්දනාව ගැටුණු නගරයක්

තුර්කියේ බටහිර මුහුදු තීරයේ පිහිටි ඉපැරණි එෆීස නගරයේ තිබෙන නටඹුන්, සියවසකට වඩා වැඩි කාලයක් තිස්සේ පුරාවිද්‍යා පර්යේෂණ බොහොමයකට භාජන වී තිබේ. මෙහි ගොඩනැඟිලි ගණනාවක් යළිත් ඉදි කරනු ලැබ ඇති අතර, මෙම නටඹුන් අතර තිබී හමු වූ බොහෝ දේවල් ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයෝ ඒවා ගැන නොයෙක් අදහස් පළ කර සිටිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තුර්කියේ පිහිටි එෆීස නගරය සංචාරකයන්ගේ වඩාත් සිත්ගත් තැනක් බවට පත් වී තිබේ.

එෆීසය ගැන සොයාගෙන ඇති දේවල් මොනවාද? එම කුතුහලය දනවන ඉපැරණි අගනුවර ගැන අද අපට කුමනාකාර චිත්‍රයක් මවාගත හැකිද? එෆීසයේ නටඹුන් බැලීමෙන් හා ඔස්ට්‍රියාවේ වියානා නුවර පිහිටි එෆීස කෞතුකාගාරය නැරඹීමෙන් සැබෑ නමස්කාරය සහ මිථ්‍යා වන්දනාව එෆීසයේ ගැටුණු සැටි අපට තේරුම්ගත හැකි වේ. පළමුව අපි දැන් එහි පසුබිම ගැන මදක් තොරතුරු විමසා බලමු.

අල්ලාගන්නට උත්සාහ කළ නගරයක්

ක්‍රිස්තු පූර්ව 11වන සියවසේදී යුරෝපයට සහ ආසියාවට අයත් රටවල නිතරම දක්නට තිබුණේ වියවුල්සහගත තත්වයක්. එමෙන්ම නිතරම එම රටවලින් ජනයා පිට වී ගියහ. අයෝනියන් ග්‍රීක්වරුන් කුඩා ආසියාවේ බටහිර මුහුදු තීරයේ ජනාවාස පිහිටුවාගැනීම ආරම්භ කළේ ඒ අවදියේදියි. එම මුල් පදිංචිකරුවන්ට මාතෘ දේවතාවකට වන්දනා කළ ජන පිරිසක් හමු වූ අතර, මෙම මාතෘ දේවතාව පසුව එෆීසයේ ආටෙමිස් යනුවෙන් හඳුන්වනු ලැබිණි.

ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේ මැදභාගයේදී, සිමේරියවරු වටිනා දේවල් කොල්ල කෑමට උතුරේ කලු මුහුදුකරයේ සිට කුඩා ආසියාවට පැමිණියහ. පසුව, ක්‍රි.පූ. 550දී පමණ ලිඩියාවේ ක්‍රොඒසස් රජ බලයට පැමිණි අතර, ඔහු අතිවිශාල ධනයකට හිමිකම් කී ප්‍රබල පාලකයෙකු විය. පර්සියානු අධිරාජ්‍යය ව්‍යාප්ත වීමත් සමඟ සයිරස් රජ එෆීසය ඇතුළු අයෝනියන්වරුන් වෙසෙන නගර සියතට ගත්තේය.

ක්‍රිස්තු පූර්ව 334දී, මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් පර්සියාවට එරෙහිව තම සංග්‍රාමය ආරම්භ කළ අතර, මෙසේ ඔහු එෆීසයේ නව පාලකයා බවට පත් විය. ක්‍රිස්තු පූර්ව 323දී ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණින් පසුව, එෆීස නගරයේ සිටි ඇලෙක්සැන්ඩර්ගේ ජනරාල්වරු බලයට පත්වීමට වෑයම් කළහ. ක්‍රිස්තු පූර්ව 133දී, පර්ගමම්හි දරුවන් නොසිටි රජ වූ තුන්වන අටාලුස් නැමැත්තා, එෆීසය රෝමවරුන්ට භාර දුන් අතර මෙලෙස එෆීසය ආසියාවේ රෝම ප්‍රාන්තයේ කොටසක් බවට පත් වූයේය.

සැබෑ නමස්කාරය මිථ්‍යා වන්දනාව සමඟ ගැටෙයි

ප්‍රේරිත පාවුල් ක්‍රි.ව. පළමු සියවසේ සිය දෙවෙනි මිෂනාරි ගමනේ අවසානයේදී එෆීස නගරයට පැමිණි කාලයේදී එම නගරයේ වැසියෝ 3,00,000ක් පමණ සිටියහ. (ක්‍රියා 18:19-21) සිය තුන්වෙනි මිෂනාරි ගමනේදී, පාවුල් නැවතත් එෆීසයට ගොස් එහි සිනගෝගයකදී දෙවිගේ රාජ්‍යය පිළිබඳව ඉතා උද්‍යෝගයකින් නිර්භීතව කතා කළේය. කෙසේවෙතත්, ඉන් මාස තුනකට පමණ පසුව, යුදෙව්වන්ගේ ඉතා තදබල විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නට ඔහුට සිදු වූ අතර, පාවුල් තිරනස්ගේ ශිල්ප ශාලාවේදී දිනපතා කතා ඉදිරිපත් කිරීමට තීරණය කළේය. (ක්‍රියා 19:1, 8, 9) මෙසේ ඔහු වසර දෙකක් පුරා සිය දේශනා කටයුතු කරගෙන ගියේය. මෙයට සුව කිරීම සහ භූතයන් පලවාහැරීම වැනි මහත් බලයෙන් යුතුව කළ ක්‍රියාවන්ද ඇතුළත් විණි. (ක්‍රියා 19:10-17) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝදෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත්වීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත! එසේය, යෙහෝවාගේ වචනය මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කළේය. එමනිසා මීට පෙර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළාවූ බොහෝදෙනෙක් සිය කැමැත්තෙන්ම තම වටිනා පොත් පත් පුලුස්සා දැමුවෝය.—ක්‍රියා 19:19, 20.

පාවුල් කළ මේ සාර්ථක දේශනා සේවය නිසා බොහෝදෙනෙක් ආටෙමිස් දේවතාවට කළ වන්දනාව අත්හැර දැමීමට පෙලඹුණහ. අනෙක් අතට, මිථ්‍යා වන්දනාවට අනුබල දෙමින් සිටි අයගේ තදබල කෝපයටද එය හේතු විණි. ආටෙමිස්ගේ රිදී පිළිම සෑදීම ඒ කාලයේදී ඉතා වාසි ලැබිය හැකි ව්‍යාපාරයක්ව පැවතිණි. රිදී කර්මාන්තකරුවන්ගේ මේ ව්‍යාපාරයට දැන් තර්ජන එල්ල වී ඇති බව වටහාගත් දෙමේත්‍රියස් නමැත්තා කෝලහාලයක් ඇති කිරීමට ඔවුන්ව පෙලඹුවේය.—ක්‍රියා 19:23-32.

මේ ගැටුමේ උච්චාවස්ථාව වූයේ රැස් වූ සමූහයා ඉතා තදින්, “එෆීසයන්ගේ ආටෙමිස් උතුම්ය!” කියා පැය දෙකක් තිස්සේ උමතුවෙන් කෑගැසීමයි. (ක්‍රියා 19:34) කෝලහාලය අවසන් වූ පසු, පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ව තවත් වරක් දිරිගන්වා, තම ගමන දිගටම ගියේය. (ක්‍රියා 20:1) පාවුල් පිටත් වී මැසිඩෝනියාවට ගියද, ආටෙමිස් වන්දනාවේ පිරිහීම දිගටම සිදු විණි.

ආටෙමිස්ගේ දේවාලය ගරා වැටෙයි

ආටෙමිස් වන්දනාව එෆීසයේ හොඳින් ස්ථාපිත වී තිබිණි. ක්‍රෝඒසියස් රජුගේ පාලන කාලයට පෙර, එම ප්‍රදේශයේ ප්‍රධාන මාතෘ දේවතාවිය වූයේ සිබිලීය. සිබිලී ග්‍රීක දෙවිවරුන්ගේ පෙළපත් අතරින් පැමිණි දේවතාවක් බව ඔප්පු කිරීමට තැත් කළ ක්‍රෝඒසියස් රජුගේ අභිප්‍රාය වූයේ, ග්‍රීකයන්ව හා ග්‍රීක නොවන ජාතීන්ව මෙම දේවතාවියට නමස්කාර කිරීමට පෙලඹවීමයි. මේ අනුව, ක්‍රි.පූ. හයවන සියවසේ මැදභාගයේදී ඔහුගේ සහයෝගය ඇතුව සිබීලිගේ අනුප්‍රාප්තිකයෙකු ලෙසට සැලකුණු ආටෙමිස් වෙනුවෙන් දේවාලයක් ඉදි කිරීම ආරම්භ විණි.

මෙම දේවාලය ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතා උසස් නිර්මාණයක් විණි. මේ ආකාරයේ හා මේ ප්‍රමාණයේ ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීම සඳහා මේ තරම් විශාල කිරිගරුඬ ගල් ප්‍රමාණයක් මීට පෙර කවරදාකවත් යොදාගෙන තිබුණේ නැත. නමුත් මේ දේවාලය ක්‍රි.පූ. 356දී ගින්නෙන් විනාශ විණි. ඒ හා සමාන මනස්කාන්ත දේවාලයක් නැවත ගොඩනඟන ලදි. එය බොහෝදෙනෙකුට රැකියා සැපයූ ස්ථානයක් වූ අතර, වන්දනාකරුවන්ව ඇදගන්නාවූ මධ්‍යස්ථානයක්ද බවට පත් විණි. මීටර් 127ක් දිග, මීටර් 73ක් පළලින් යුත් අත්තිවාරමක් මත ඉදි කරන ලද මෙම දේවාලය දළ වශයෙන් මීටර් 105ක දිගින්ද මීටර් 50ක පළලකින්ද සමන්විත විය. එය ලෝකයේ පුදුම හතෙන් එකක් හැටියට සලකනු ලැබිණි. එහෙත්, ඒ ගැන සෑම කෙනෙක්ම සතුටු වූයේ නැත. එෆීසයේ දාර්ශනිකයෙකු වූ හෙරක්ලීටියස් එහි පූජාසනය අවට තිබූ අඳුර සමාන කළේ අධම ක්‍රියාවලටයි. එමෙන්ම ඔහු දේවාලය තුළ සිදු වූ අනාචාර ක්‍රියා සැලකුවේ තිරිසනුන් අතරවත් සිදු වෙන්නේ නැති ආකාරයේ අනාචාර ක්‍රියා හැටියටයි. එහෙත්, බොහෝදෙනෙක් එෆීසයේ පිහිටි ආටෙමිස්ගේ දේවාලය දුටුවේ කිසි කලක විනාශ නොවන ස්ථානයක් ලෙසටයි. නමුත් ඉතිහාසයේ පෙන්වන්නේ අනෙක් පැත්ත සිදු වූ බවයි. එෆීසය පිළිබඳව දැනගැනීම සඳහා මාර්ගෝපදේශ පොතක (Ephesos—Der neue Führer) මෙසේ සඳහන් වේ. “දෙවෙනි සියවස වන විට, ආටෙමිස් වන්දනාව සහ වෙනත් ග්‍රීක දේවතාවුන්ට කළ වන්දනාව වේගයෙන් පිරිහීමට ලක් විණි.”

ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි සියවසේදී එෆීසයේ දරුණු භූමිකම්පාවක් ඇති විය. එපමණක්ද නොව, කලු මුහුද හරහා පැමිණි ගෝත් ජාතියට අයත් කොල්ලකරුවන් පිරිසක් ආටෙමිස්ගේ දේවාලයේ වටිනා වස්තු කොල්ල කාගෙන, අනතුරුව දේවාලයට ගිනි තැබූහ. මීට ඉහත සඳහන් වූ පොතේ මෙසේද සටහන් වෙයි. “දරුණු ලෙස පරාජය වී, තමාගේම වාසස්ථානයවත් ආරක්ෂා කරගන්නට බැරි ආටෙමිස්ව තවදුරටත් නගරයේ ආරක්ෂක දේවතාවිය ලෙස සැලකිය හැක්කේ කෙසේද?”—ගීතාවලිය 135:15-18.

අන්තිමේදී, ක්‍රි.ව. හතරවෙනි සියවසේ අගභාගයේදී, පළමුවන තියොඩෝසියස් නමැති අධිරාජ්‍යයා, “ක්‍රිස්තියානි ආගම” රාජ්‍ය ආගම බවට පත් කළේය. ආටෙමිස්ගේ මේ මහා දේවාලයේ ගල් වෙනත් ගොඩනැඟිලි සෑදීමට භාවිත කරන ලදි. ආටෙමිස් වන්දනාවේ ගෞරවය බින්දුවටම බැස යන්නට විය. එක්තරා නිර්නාමික නිරීක්ෂකයෙක්, ඉපැරණි ලෝකයේ පුදුමයක් ලෙසට සලකනු ලැබූ මෙම දේවාලය ගැන ලියා තිබූ එක් ආප්තෝපදේශයක් පිළිබඳව පැවසුවේ මෙසේයි. “එය දැන් ඉතා පාළු පිළිකුල් තැනකි.”

ආටෙමිස්ගේ සිට “දේවමෑණියෝ” දක්වා

තමාගේ පිටත්ව යෑමෙන් පසුව, “රෞද්‍ර වෘකයන්” පැමිණෙන බවත් ‘විකෘති වූ දේවල් පවසන’ මිනිසුන් ඔවුන් අතරෙන්ම මතු වන බවත් පාවුල් එෆීසයේ පිහිටි සභාවේ වැඩිමහල්ලන්ට අනතුරු ඇඟෙව්වේය. (ක්‍රියා 20:17, 29, 30) හරියටම සිදු වුණේ එම දේමයි. ඊටපසුව සිදු වූ සිද්ධීන්වලින් පෙනී යන්නේ, එෆීස නගරය පුරා ක්‍රිස්තියානි ධර්මය විකෘති කොට ඉගැන්වීම නිසා ඇති වූ බොරු වන්දනාව ක්‍රමයෙන් නගරය පුරා පැතිර ගිය බවය.

ක්‍රිස්තු වර්ෂ 431දී, ක්‍රිස්තියානි පල්ලි සාමුහිකව තුන්වෙනි වතාවට එක් රැස් වූයේ එෆීසය නගරයේදීය. එහිදී ක්‍රිස්තුස් සැබෑවටම කවුද යන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. “ක්‍රිස්තුස්ට තිබුණේ දිව්‍ය ස්වරූපයක් පමණක් බවට වූ මතය දැරූ අලෙක්සැන්ඩ්‍රියානුවෝ ජයග්‍රහණය . . . කළෝය.” (Ephesos—Der neue Führer) මෙම සාකච්ඡාවලින් දීර්ඝ කාලීන බලපෑමක් ඇති විණි. “මරියා වනාහි ක්‍රිස්තුස්ගේ මෑණියන් පමණක් නොව දේවමෑණියන් ලෙසට උසස් කරනු ලැබීමට එෆීසයේදී ගත් තීන්දුව මගින්, මරිය වන්දනා නිකායක් බිහි වූවා පමණක් නොව, පල්ලිය තුළ පළමු වතාවට ඉතා දරුණු බෙදීමක්ද ඇති විය. . . . මෙම විවාදය අද දින දක්වා පවතී.”

සිබිලී සහ ආටෙමිස් වන්දනාව වෙනුවට “දේවමෑණියන්ට” වන්දනා කිරීම ආරම්භ වූයේ මෙලෙසයි. ඉහත සඳහන් පොතෙහි පැහැදිලි කරන පරිදි, “එෆීසයේ මරිය වන්දනාව, . . . අද දක්වා පිළිපැදෙන සම්ප්‍රදායක්. මෙම මරිය වන්දනාවත් ආටෙමිස් වන්දනාවත් එකිනෙකට බැඳී පවතී.”

ආටෙමිස් වන්දනාව තුරන් වී යයි

ආටෙමිස් වන්දනාව පිරිහීමත් සමඟම එෆීස නගරය වැටී යෑමට පටන්ගන්නා ලදි. භූමිකම්පා, මැලේරියා රෝගය පැතිර යෑම සහ එහි වරාය කෙමෙන් කෙමෙන් රොන් මඩින් පිරෙන්නට පටන්ගැනීම වැනි දේවල් නිසා එෆීසයේ ජීවිතය වඩාත් කටුක එකක් බවට පත් විණි.

ක්‍රිස්තු වර්ෂ හත්වෙනි සියවස වන විට, ඉස්ලාම් ධර්මය වේගයෙන් පැතිර යන්නට පටන්ගෙන තිබුණා. ඉස්ලාම් ධර්මයේ සංකල්ප මගින් කෙරුණේ අරාබි ජාතිකයන්ව එක්සත් කිරීම පමණක් නොවේ. අරාබි ජාතිකයෝ ක්‍රි.ව. හත්වන සහ අටවන සියවස්වලදී නැව්වලින් පැමිණ එෆීසය දරුණු ලෙස කොල්ල කෑහ. එෆීස වරාය සම්පූර්ණයෙන්ම රොන් මඩවලින් පිරී ගොස් නගරය නටඹුන් ගොඩක් බවට පත් වූ විට, එහි ඉරණම තීන්දු විණි. වරක් මහානුභාවසම්පන්න අගනුවරක් වූ එෆීසයේ දැන් ඉතිරි වී ඇත්තේ ආයා සූලුක් (දැන් සෙල්චූක්) නම් වූ කුඩා ජනාවාසයක් පමණි.

එෆීසයේ නටඹුන් අතර ඇවිද

ඉපැරණි එෆීසයේ තේජස ගැන යම් අදහසක් ලබාගන්නට, යමෙකුට දැන් එහි නටඹුන් නැරඹීමට යා හැකියි. නගරයට ඇතුල් වීම සඳහා තිබෙන ඉහළ දොරටුවෙන් ඔබ ගමන් ආරම්භ කළොත්, සෙල්සස් පුස්තකාලය දක්වා විහිදී ඇති කුරේටස් වීදියේ චමත්කාරජනක දසුන ඔබට විගස දැකගන්නට ලැබේවි. වීදියේ දකුණු අත පැත්තට වෙන්නට ඔබට දකින්නට ලැබෙන්නේ ඕඩියම් නම් වූ ක්‍රි.ව. දෙවන සියවසේ ඉදි කරන ලද කුඩා රංග ශාලාවකි. මෙහි ආසන 1,500ක් පමණ තිබෙන අතර, එය නගර සභිකයන්ගේ ශාලාවක් ලෙස පමණක් නොව මහජනයාගේ විනෝදය සඳහාද යොදාගත් රංග ශාලාවක් විණි. කුරේටස් වීදියේ දෙපැත්තේ ඇත්තේ ගොඩනැඟිලිය. ඒවා අතර රජයේ කාරණා සම්බන්ධ සාකච්ඡා පැවැත්වුණු අගොරා නම් නිදහස් චතුරස්‍ර ගොඩනැඟිල්ල, හේඩ්‍රියන්ගේ දේවාලය, ප්‍රසිද්ධ වතුර උල්පත් සමහරක් සහ උසස් සමාජ පැළැන්තියට අයත් එෆීස වැසියන්ගේ වාසස්ථාන කිහිපයක්ද දැකගන්නට ඔබට හැකි වේවි.

ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේදී තනන ලද සෙල්සස්ගේ පුස්තකාලයේ අලංකාරයට ඔබ වශී වේවි. හකුළන ලද පොත් එහි විශාල කියවීමේ කාමරවල බිත්තිවල තනා තිබූ කුහරවල බහා තිබිණි. මෙහි ප්‍රවේශ ශාලාවේ ප්‍රතිමා හතරක්ද තබා තිබේ. මේවායින් පිළිබිඹු කරන්නේ සෙල්සස් වැනි ඉහළ පැළැන්තියේ රෝම සිවිල් වැසියෙකුගෙන් අපේක්ෂා කරන ලද ගුණාංග වේ. නාමික වශයෙන් කියනවා නම්, සෝෆියා (ප්‍රඥාව), අරෙටේ (සද්ගුණය), ඒනියා (කැපවීම) සහ එපීස්ටීමී (දැනුම හෙවත් අවබෝධය) යන මේවාය. මෙම ප්‍රතිමා දැන් වියානා නුවර එෆීස කෞතුකාගාරයේ දක්නට ලැබේ. මෙම පුස්තකාලයේ ප්‍රවේශ ශාලාවට යාබදව තිබෙන ස්මාරක දොරටුව තුළින් ඔබට ටෙට්‍රාගොනොස් අගෝරා නම් වෙළඳපොළට යා හැකියි. බොහෝදෙනෙක් තමන්ගේ එදිනෙදා කටයුතු සඳහා මේ අතිවිශාල චතුරස්‍රය වටේට ගොඩනඟා තිබූ කොරිඩෝර තුළ එහාට මෙහාට සක්මන් කළහ.

ඊළඟට ඔබ පැමිණෙන්නේ මාබල් නමින් හැඳින්වූ පාරටයි. එය මහා රංග භූමියක් කරා ඔබව ගෙන යයි. මෙය අන්තිම වතාවට පුළුල් කරනු ලැබුවේ රෝමය අධිරාජ්‍යයක් ලෙස පැවති කාලයේදීය. මෙම රංග භූමියේ ප්‍රේක්ෂකයන් 25,000කට පමණ අසුන්ගත හැකියි. මෙහි වාහල්කඩ අතිඅලංකාර ලෙස කණුවලින්, වාත්තු කරන ලද කැටයම්වලින් හා ප්‍රතිමාවලින් සරසා තිබීය. දෙමේත්‍රියස් නම් රිදී කර්මාන්තකාරයා සමූහයාව කලඹා දරුණු කෝලහාලයක් ඇති කළ ආකාරය ඔබට මෙහිදී මනසට නඟා ගත හැකියි.

මේ මහා රංග ශාලාවේ සිට වරායට දිවෙන වීදිය ඉතා චමත්කාරජනකයි. එය මීටර් 500ක් දිග මීටර් 11ක් පළල වන අතර, දෙපස අලංකාර කණුවලින් යුක්ත වේ. රංග ශාලාව තුළ සරඹ ශාලාවක්ද වරාය තුළ තවත් සරඹ ශාලාවක්ද තිබුණු අතර ඒ දෙකම වෙන් කර තිබුණේ ශාරීරික පුහුණුව සඳහායි. මේ දෙකම සාදා තිබුණේ මේ පාර දෙපසය. පාරේ කෙළවරේ පිහිටා ඇති වරාය දොරටුව මුළු ලෝකයටම ප්‍රවේශ විය හැකි දොරටුවකි. ලෝකයේ වඩාත් චමත්කාරජනක නටඹුන් සමහරක් බැලීමට ගිය අපේ චාරිකාව මෙතැනින් නිමාවට පත් වේ. වියානා නුවර පිහිටි එෆීස කෞතුකාගාරය තුළ මෙම ඓතිහාසික අගනුවරේ ලී ආකෘතියක්ද විවිධ ස්මාරකද දක්නට ලැබේ.

මෙම කෞතුකාගාරයද, එහි ඇති ආටෙමිස්ගේ ප්‍රතිමාවද දකින විට, එෆීස නගරයේ විසූ මුල් ක්‍රිස්තියානීන් කොතරම් විඳදරාගන්නට ඇද්දැයි යමෙකුට කල්පනා වෙනවාට කිසිදු සැකයක් නැත. ඔවුන්ට ජීවත් වීමට සිදු වුණේ භූතවාදයෙන් සහ ආගමික භේදවලින් පිරුණු සමාජයක් පැවති නුවරකයි. ආටෙමිස්ගේ වන්දනාකරුවන්ගෙන් රාජ්‍ය පණිවුඩයට දැඩි විරෝධතා එල්ල විය. (ක්‍රියා 19:19; එෆීස 6:12; එළිදරව් 2:1-3) ඒ කටුක වාතාවරණය තුළ සැබෑ නමස්කාරය මුල්බැසගත්තේය. සැබෑ දෙවිට කරන මේ නමස්කාරය නැවතත් ලොව පුරා රජයනවා නියතයි. එසේ වන්නේ ඉපැරණි ආටෙමිස්ගේ වන්දනාව තුරන් වුණාක් මෙන් ළඟදීම බොරු ආගම් පොළොවෙන් තුරන් වුණ දාටයි.—එළිදරව් 18:4-8.

[26වන පිටුවේ සිතියම/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

මැසිඩෝනියාව

කලු මුහුද

කුඩා ආසියාව

එෆීසය

මධ්‍යධරණී මුහු  

ඊජිප්තුව

[27වන පිටුවේ පින්තූරය]

ආටෙමිස්ගේ දේවාලයේ නටඹුන්

[28, 29වන පිටුවේ පින්තූර]

1. සෙල්සස්ගේ පුස්තකාලය

2. එරේටේ දෙස සමීප බැල්මක්

3. මහා රංග භූමිය කරා දිවෙන මාබල් නමැති පාර