Skip to content

පටුනට යන්න

දෙවිට ඇති ප්‍රේමයෙන් එක්සත් වී

දෙවිට ඇති ප්‍රේමයෙන් එක්සත් වී

දෙවිට ඇති ප්‍රේමයෙන් එක්සත් වී

ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ, ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළ අවස්ථාවේදී, එහි සාමාජිකයන් විවිධ ජාතීන්ට අයත්ව සිටියද ඔවුන්ට පොදු වූ එක්තරා ලක්ෂණයක් විය. එය නම් එක්සත්කමයි. සැබෑ දෙවිට නමස්කාර කළ එම පුද්ගලයෝ ආසියාවේ, යුරෝපයේ හා අප්‍රිකාවේ රටවල වැසියෝ වූහ. පූජකයන්, සොල්දාදුවන්, වහලුන්, සරණාගතයින්, වෙළඳුන්, විවිධ වෘත්තීන්හි නියැලී සිටි අයද ව්‍යාපාරිකයෝද ඔවුන් අතර වූහ. ඇතැම් අය යුදෙව්වෝ වූහ. තවත් අය අන්‍යජාතිකයෝය. කලින් බොහෝදෙනෙක් පරදාර සේවනයේ, සමලිංගික සේවනයේ, සොරකමේ යෙදී සිටි අය වූහ. තවත් අය බේබද්දන්ව හෝ අනුන්ගේ දේවල් කොල්ලකා ගත් පුද්ගලයන්ව සිටියහ. එසේ වුවද, ඔවුහු ක්‍රිස්තියානීන් බවට පත් වූ විට, තම නරක පුරුදු අත්හැර, ඇදහිල්ල නිසා එකිනෙකාට සමීපව එකට බැඳුණාහ.

මුල් සියවසේදී මේ සියලු ජනයාව එකට එක්සත් කිරීමට ක්‍රිස්තියානි ධර්මයට හැකි වූයේ කුමන හේතුව නිසාද? ඔවුන් එකිනෙකා සමඟත් සෙසු ජනයා සමඟත් සාමයෙන් සිටියේ කුමක් නිසාද? එවකට සමාජයේ පැවති ආරවුල් හා ගැටුම්වලට ඔවුන් සම්බන්ධ නොවූයේ මන්ද? මුල් සියවසේ පැවති ක්‍රිස්තියානි ධර්මය අද දින තිබෙන ප්‍රධාන ආගම්වලට වඩා එතරම් වෙනස් වූයේ මන්ද?

සභාවේ සාමාජිකයන් අතර බැඳීමක් ඇති වූයේ කුමක් නිසාද?

මුල් සියවසේ ක්‍රිස්තියානීන් අතර එක්සත්කමක් ඇති කළාවූ ප්‍රධාන සාධකය වූයේ දෙවි කෙරෙහි ඔවුන් තුළ වූ ප්‍රේමයයි. එම ක්‍රිස්තියානීහු තමන්ට තිබූ මූලික වගකීම වටහාගෙන සිටියහ. එය නම් සැබෑ දෙවි වන යෙහෝවාට මුළු සිතින්ද, ආත්මයෙන්ද, මනසින්ද ප්‍රේම කළ යුතු බවයි. නිදසුනක් වශයෙන්, යුදෙව්වෙකු වූ ප්‍රේරිත පේතෘස්ට, විදේශිකයෙකුගේ නිවසට ගොස් ඔහුව බැහැදකින ලෙසට උපදෙස් ලැබිණි. සාමාන්‍යයෙන් ඔහු මෙවැනි අය සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වූයේ නැත. මෙම අණට ඔහු කීකරු වීමට ප්‍රධානතම හේතුව වූයේ යෙහෝවා කෙරෙහි ඔහු තුළ වූ ප්‍රේමයයි. පේතෘස් සහ මුල් සියවසේ විසූ වෙනත් ක්‍රිස්තියානීහු දෙවි සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් භුක්ති වින්දාහ. එම සම්බන්ධයට පදනම වූයේ දෙවිගේ පෞද්ගලිකත්වය හා ඔහු කැමති අකමැති දේවල් පිළිබඳ නිවැරදි දැනුමයි. කල් යත්ම, දෙවිට නමස්කාර කළ සියලුදෙනාම අවබෝධ කර ගත් දේ නම්, ඔවුන් ‘එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් එක්සත් වීම’ යෙහෝවාගේ කැමැත්ත වූ බවයි.—1 කොරින්ති 1:10; මතෙව් 22:37; ක්‍රියා 10:1-35.

තවදුරටත් ඇදහිලිවන්තයෝ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තිබූ ඇදහිල්ල නිසා සමීපව එකට බැඳුණාහ. ඔවුන්ට වුවමනා වූයේ පුළුවන් තරම් හොඳින් ඔහුගේ අඩිපාරේ යෑමටයි. ඔහු ඔවුන්ට මෙසේ කිරීමට අණ කළේය. “මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35) මෙය නිකම් මවා පාන ප්‍රේමයක් නම් නොවේ. එය ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් විණි. ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද? යේසුස් තමා කෙරෙහි ඇදහිල්ල තැබූ අය ගැන මෙසේ යාච්ඤා කළේය. “මම [අයදින්නේ] ඔවුන් සියලුදෙනාම එකඟත්වයෙන් සිටින පිණිසය. එනම් පියාණෙනි, . . . ඔබ මා සමඟ එක්සත්ව හා මා ඔබ සමඟ එක්සත්ව සිටින්නා සේම, ඔවුන්ද අප සමඟ එක්සත්ව සිටීම සඳහා අයැදිමි.”—යොහන් 17:20, 21; 1 පේතෘස් 2:21.

යෙහෝවා තම සැබෑ සේවකයන් මතට සිය ශුද්ධාත්මය හෙවත් ක්‍රියාකාරී බලය වැගිරෙව්වේය. මේ ආත්මය නිසා ඔවුන් අතර එක්සත්කම වර්ධනය විණි. තවද ශුද්ධාත්මයේ උපකාරයෙන් ඔවුන්ට බයිබල් ඉගැන්වීම් පිළිබඳව හරි අවබෝධයක් ලැබුණු අතර, සියලු සභාවෝ එම ඉගැන්වීම් පිළිගත්තාහ. යෙහෝවාට නමස්කාර කළ අය දේශනා කළේ එකම පණිවුඩයයි. එනම්, සියලු මිනිස් වර්ගයාව පාලනය කරනු ඇති ස්වර්ගික ආණ්ඩුවක් වන දෙවිගේ රාජ්‍යය මගින් යෙහෝවාගේ නාමය විශුද්ධ වීමයි. එමෙන්ම තමන් ‘ලෝකයේ කොටසක් නොවී සිටීමට’ තමන්ට වගකීමක් තිබෙන බව මුල් සියවසේ ක්‍රිස්තියානීහු තේරුම්ගත්හ. එමනිසා, සිවිල් කැරලි හෝ හමුදා ගැටුම් ඇති වූ අවස්ථාවලදී, ක්‍රිස්තියානීහු තමන්ගේ මධ්‍යස්ථභාවය රැකගත්හ. ඔවුන්ගේ වෑයම වූයේ සියල්ලන් සමඟ සාමයෙන් සිටීමයි.—යොහන් 14:26; 18.36; මතෙව් 6:9, 10; ක්‍රියා 2:1-4; රෝම 12:17-21.

එක්සත්කම වැඩි දියුණු කිරීමට තමන්ට තිබෙන වගකීම සියලුම ක්‍රිස්තියානීහු ඉෂ්ට කළාහ. ඒ, බයිබලයේ ඉගැන්වීම්වලට එකඟව තම ජීවිත හැඩගස්වා ගැනීමෙනි. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේ ඒ නිසයි. ‘ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික පරණ පෞද්ගලිකත්වය අහක දමා, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.’—එෆීස 4:22-32.

එක්සත්කම රැකගැනේ

පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීන් අසම්පූර්ණ අය වූ බව සැබෑවකි. මේ නිසා ඔවුන්ගේ එක්සත්කමට බාධාවක් වූ තත්වයන් මතු විය. නිදසුනක් වශයෙන්, ග්‍රීක් භාෂාව කතා කළ යුදෙව් ක්‍රිස්තියානීන් සහ හෙබ්‍රෙව් භාෂාව කතා කළ ක්‍රිස්තියානීන් අතර යම් මත භේදයක් ඇති වූ බව ක්‍රියා 6:1-6හි සඳහන් වේ. තමන්ට වෙනස් විදිහකට සලකනු ලැබූ බවට ග්‍රීක් භාෂාව කතා කළ අයට හැඟිණි. එහෙත්, ප්‍රේරිතයන්ට මේ කාරණය ගැන දැනුම් දුන් වහාම එම කාරණය සාධාරණ ලෙස ඉතා විගසින් සමථයකට පත් කරනු ලැබිණි. පසුව මූලධර්ම පිළිබඳව මතු වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්තියානි සභාවේ සිටි යුදෙව් නොවන අය කළ යුතු දේවල් පිළිබඳව මත භේදයක් ඇති විය. මේ සම්බන්ධයෙන් බයිබල් ප්‍රතිපත්ති මත පදනම්ව තීරණයක් ගනු ලැබූ අතර, එය ඒකමතිකව පිළිගනු ලැබිණි.—ක්‍රියා 15:1-29.

මේ උදාහරණවලින් යම් දෙයක් පෙන්වයි. එය නම්, එකඟ නොවීම් තිබුණත්, ඒවා පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ ජාති වාදය ඇති කිරීමට හෝ එහි සාමාජිකයන් අතර මූලධර්ම සම්බන්ධයෙන් දිගටම වාද ඇති කිරීමට හෝ හේතු නොවූ බවයි. ඒ මන්ද? මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ එක්සත්කම හා සාමය පවත්වා ගැනීමට ප්‍රබල සාධක තිබූ නිසාය. ඒවා නම්, යෙහෝවා කෙරෙහි තිබූ ප්‍රේමය, යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තිබූ ඇදහිල්ල, එකිනෙකා කෙරෙහි තිබූ ආත්ම පරිත්‍යාගී ප්‍රේමය, ශුද්ධාත්මයේ මඟ පෙන්වීම පිළිගැනීම, බයිබල් ඉගැන්වීම් පිළිබඳව තිබූ පොදු අවබෝධය මෙන්ම තම හැසිරීම වෙනස් කරගැනීමට දැක්වූ කැමැත්ත යන මේවාය.

අද දිනත් නමස්කාරයේ එක්සත්ව

අද දිනත් ඒ හා සමානවම එක්සත්ව සිටිය හැකිද? එකම ආගමක සාමාජිකයන්ට එදා මෙන්ම අදත් එකට බැඳී සිටීමට ඉහත සඳහන් සාධක හේතු වේද? එමෙන්ම, එමගින් ලෝකයේ විවිධ රටවල වෙසෙන සියලු ජාතීන් අතර සාමය ඇති කරගත හැකිද? ඇත්තෙන්ම එසේ කළ හැකියි! යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දූපත් ඇතුළු රටවල් 230කට වැඩි ගණනක පැතිර පවතින ලෝක ව්‍යාප්ත සහෝදරත්වයකින් එක්සත්ව එකට බැඳී සිටිති. ඔවුන්ද එක්සත්ව එකට බැඳී සිටින්නේ මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ව එක්සත් කළ එම සාධක නිසාමයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් භුක්ති විඳින එක්සත්කමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන් තුළ තිබෙන භක්තියයි. මේ නිසා තත්වයන් කුමක් වුවත් දෙවිට පක්ෂපාතව සිටීමට ඔවුහු දැඩි උත්සාහයක් ගනිති. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල සහ ඔහුගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය තබති. සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්වන මෙම ක්‍රිස්තියානීන් ඔවුන් ක්‍රියාශීලීව සේවය කරන රටවල දේශනා කරන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ එකම ශුභාරංචියයි. සියලුම ආගම්වලට, ජාතීන්ට, වර්ගයන්ට හා සමාජ පසුබිම්වලට අයත් ජනයාට රාජ්‍යය ගැන කතා කිරීමට ඔවුහු මහත් සේ ආශා වෙති. තවද යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මේ ලෝකයේ කටයුතුවලදී මධ්‍යස්ථව සිටිති. මේ නිසා, මිනිස් වර්ගයාව බෙහෙවින් බෙදා තිබෙන දේශපාලනික, සංස්කෘතික, සාමාජීය හා වාණිජමය බලපෑම්වලට ඔවුන් හසු වෙන්නේ නැත. බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම තුළින් එක්සත්කම වැඩි කිරීමට තමන්ට වගකීමක් තිබෙන බව සියලු සාක්ෂිකරුවෝ පිළිගනිති.

එක්සත්කම දැක සිත් ඇදී ගොස්

මෙම එක්සත්කම දැකීමෙන් සාක්ෂිකරුවන් නොවන පුද්ගලයෝ බොහෝවිට ඔවුන් ගැන සොයා බැලීමට පෙලඹෙති. මෙම නිදසුන සලකා බලන්න. ඉල්සෙ * නම් තැනැත්තිය යම් කලෙක ජර්මනියේ කන්‍යාරාමයක කතෝලික කන්‍යා සොහොයුරියකව සිටියාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙතට ඇගේ සිත ඇදී ගියේ කුමක් නිසාද? ඉල්සෙ මෙසේ කීවාය. “ඔවුන් තමයි මට මෙතෙක් හමු වෙලා තියෙන හොඳම අය. ඔවුන් යුද්ධ කරන්නේ නැහැ. කාටවත් කිසිම හානියක් කරන්නේ නැහැ. ඔවුන්ට වුවමනා කරන්නේ දෙවිගේ රාජ්‍යය යටතේ පාරාදීස පොළොවක සතුටින් ජීවත් වෙන්නට මිනිසුන්ට උපකාර කරන්නයි.”

තවත් උදාහරණයක් සලකා බලන්න. දෙවෙනි ලෝක යුධ සමයේ ජර්මානු සොල්දාදුවෙකු වූ ගුන්ට ප්‍රංශයේ සේවය කරමින් සිටියේය. එක් දිනක් ගුන්ට සේවය කළ හමුදා ඒකකයට අයත් සොල්දාදුවන් වෙනුවෙන් රෙපරමාදු පූජකයෙක් ආගමික මෙහෙයක් පැවැත්වීය. මෙම පූජකයා ඔවුන්ට ආශීර්වාද, රැකවරණය හා ජයග්‍රහණය පතා යාච්ඤා කළේය. මෙම ආගමික මෙහෙයෙන් පසුව ගුන්ටව මුර සේවයේ යොදවනු ලැබීය. තම දුරදක්නයෙන් විරුද්ධ පිලේ හමුදාවන් නිරීක්ෂණය කළ ගුන්ටට පෙනුණේ තවත් පූජකයෙකු විසින් ඔවුන් සඳහාද ආගමික මෙහෙයක් පවත්වන අන්දමයි. ගුන්ට පසුව සිහිපත් කළේ මෙසේයි. “සමහරවිට ඒ පූජකයාත් යාච්ඤා කරන්නට ඇත්තේ ඒ සොල්දාදුවන් සඳහා ආශීර්වාද, රැකවරණය හා ජයග්‍රහණය පතා වෙන්න පුළුවන්. එකම යුද්ධයේ පැති දෙකක සිට යුද්ධ කිරීමට ක්‍රිස්තියානි පල්ලිවලට හැකි වුණේ කොහොමද කියා මම කල්පනා කළා.” තමා දුටු දේවල් බොහෝ කලක් යන තෙක් ගුන්ටගේ මතකයේ රැඳිණි. පසුව ගුන්ටට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු විය. මෙම සාක්ෂිකරුවන් යුද්ධවලට සහභාගි වෙන්නේ නැති බව ඔහු දැනගත් විට ඔහු ඔවුන්ගේ ලෝකව්‍යාප්ත සහෝදරත්වයට එක් විය.

අශෝක් සහ ෆීමා අයත්ව සිටියේ පෙරදිග රටක ආගමකටයි. ඔවුහු එක්තරා දෙවියෙකු වෙනුවෙන් තම නිවසේ කුඩා තැනක් පවා වෙන් කර තිබුණාහ. ඔවුන්ගේ පවුලේ කෙනෙකුට දරුණු රෝගයක් වැලඳිණි. තම පවුලේ කෙනෙකුට මෙසේ වුණේ තමන් අදහන ආගම නිසාදැයි ඔවුහු කල්පනා කළහ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් හමු වී කතා බහ කරද්දී, ඔවුන්ගෙන් දැනගන්නට ලැබුණු බයිබල් ඉගැන්වීම්ද, සාක්ෂිකරුවන් අතර ඔවුන් දුටු ප්‍රේමයද අශෝක්ගේ සහ ෆීමාගේ සිතට තදින් කාවැදිණි. දැන් ඔවුහු යෙහෝවා දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඉතා උද්‍යෝගයෙන් ප්‍රකාශ කරමින් සිටිති.

ඉල්සෙ, ගුන්ට, අශෝක් සහ ෆීමා මිලියන ගණනකින් යුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළ දැන් එක්සත් වී සිටිති. අද දින ඔවුන්ව නමස්කාරය තුළ එක්සත් කිරීමට ඉවහල් වන එම සාධකම, ඉතා ඉක්මනින් සියලුම කීකරු මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ඉවහල් වනු ඇතැයි යන බයිබලයේ පොරොන්දුව ඔවුහු විශ්වාස කරති. ඒ කාලයේදී අසමගිය, ආගම නමැති කඩතුරාව පිටුපස සිට කරන දරුණු අපරාධ සහ මිනිස් වර්ගයා අතර භේද ඇති කිරීම යන මේවා පවතින්නේ නැත. එවිට මුළු ලොවම සැබෑ දෙවි වන යෙහෝවාට කරන නමස්කාරය තුළ එක්සත් වෙනවා ඇත.—එළිදරව් 21:4, 5.

[පාදසටහන]

^ 16 ඡේ. මේ ලිපියේ සඳහන් කර ඇති සමහරක් නම් වෙනස් කර ඇත.

[4, 5වන පිටුවේ පින්තූර]

විවිධ පසුබිම්වලට අයත් වුවත් මුල් සියවසේ ක්‍රිස්තියානීහු එක්සත්ව සමඟියෙන් ජීවත් වූහ