Skip to content

පටුනට යන්න

දෙවි සපයන ප්‍රඥාව යොදාගෙන ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න

දෙවි සපයන ප්‍රඥාව යොදාගෙන ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න

දෙවි සපයන ප්‍රඥාව යොදාගෙන ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න

සෑම දවසකම අපේ සිරුර ඇතුළේ මහ යුද්ධයක් සිදු වෙනවා. මේ යුද්ධය සිදු වන්නේ සිරුරත් එය ඇතුළේ සිටින ඇසට නොපෙනෙන බැක්ටීරියා වැනි විෂබීජත් අතරයි. මේ විෂබීජ මගින් එල්ල කරන ප්‍රහාරවලින් අපව ආරක්ෂා කරන්නෙත් ලෙඩ රෝගවලින් අපව බේරාගන්නෙත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි.

ඒ හා සමානව ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රියාවලට හා සිතුවිලිවලට එරෙහිව සිටිය යුතුයි. එමෙන්ම අපව ආත්මිකව දුර්වල කිරීමට එල්ල වන බලපෑම්වලට එරෙහිවද සටන් කළ යුතුයි. (2 කොරින්ති 11:3) මෙසේ දිනපතා එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සිටීම සඳහා අප ආත්මිකව ශක්තිමත් වීම අවශ්‍යයි.

විශේෂයෙන්ම අපේ දරුවන් ආත්මිකව ශක්තිමත් විය යුතුයි. මෙයට හේතුව වන්නේ ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටීම සඳහා ශක්තියක් දරුවන්ට උපතින්ම ලැබෙන්නේ නැති නිසයි. (එෆීස 2:2) දරුවන් ටිකෙන් ටික වැඩෙද්දී ආත්මික ශක්තිය වර්ධනය කරගැනීම සඳහා දෙමාපියන්ගේ උපකාරය ඔවුන්ට අත්‍යවශ්‍යයි. ආත්මික ශක්තිය ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද? මේ ගැන බයිබලයේ මෙසේ පැහැදිලි කරනවා. “යෙහෝවා ප්‍රඥාව දෙන්නේය. . . . යුතු ලෙස හැසිරෙන්නන්ට ඔහු පලිහක් වන්නේය.” (හිතෝපදේශ 2:6, 8) දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව දරුවන්ව ආරක්ෂා කරන පලිහක් වගෙයි. මෙවන් පලිහක් නැත්නම් ඔවුන් නරක ආශ්‍රයට, මිතුරන්ගේ දැඩි බලපෑම්වලට හා හානිකර විනෝදාස්වාදවලට ගොදුරු විය හැකියි. යෙහෝවා සපයන මඟ පෙන්වීම් අනුගමනය කරමින් ඔහුගේ ප්‍රඥාව තම දරුවන්ගේ සිත්වලට ඇතුළත් කිරීම සඳහා දෙමාපියන්ට කළ හැකි දේවල් මොනවාද?

යහපත් ආශ්‍රිතයන්ව සොයාගැනීමට උපකාර කිරීම

නව යොවුන් වියේ පසුවන්නන් සම වයසේ සිටින අයව ඇසුරු කරන්න වැඩි කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක්. ඒ වුණත් ඔවුන් ඇසුරු කරන්නේ තමන් හා සමානව අද්දැකීම් අඩු අය සමඟ පමණක් නම් දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව ලබාගැනීමට එය උපකාරවත් වන්නේ නැත. “දරුවෙකුගේ සිතේ අඥානකම බැඳී තිබේ” කියා හිතෝපදේශයක අනතුරු අඟවා තිබෙනවා. (හිතෝපදේශ 22:15) යහපත් ආශ්‍රිතයන් තෝරාගැනීමේදී දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගැනීමට ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන්ට උපකාර කර තිබෙන්නේ කෙසේද?

ඩොන් මෙසේ පැවසුවා. * “අපේ පුතාලා වැඩිපුර කාලයක් ගත කළේ ඔවුන්ගේ වයසේ සිටින මිතුරන් සමඟයි. ඒත් ඔවුන් මිතුරන් සමඟ වැඩිපුර කාලයක් හිටියේ අපේ ගෙදරයි. හුඟාක් වේලාවට අපිත් ඔවුන් එක්ක හිටියා. අපේ දරුවන්ගේ මිතුරන්ට ඕන වේලාවක එන්න අපේ ගෙදර දොරවල් ඇරලා තිබුණු හින්දා හුඟාක් තරුණයෝ අපේ ගෙදර ගැවසුණා. අපි ඔවුන්ව ආදරයෙන් පිළිගත්තා. ඒ අයට කන්න බොන්නත් දුන්නා. අපේ ගෙදර කොච්චර කෑ කෝ ගැසීම් තිබුණත් අපි ඒවා දරාගත්තේ සතුටින්. අපි එහෙම කළේ අපේ දරුවන්ට ප්‍රීතියෙන් කාලය ගත කරන්න පුළුවන් ආරක්ෂාකාරී තැනක් ලබා දෙන්න අපට ඕන වුණ නිසයි.”

බ්‍රයන්ට සහ මේරිට දරුවන් තුන්දෙනෙක් සිටිනවා. ඔවුන්ව පුහුණු කරන එක සැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවේ කියා ඔවුන් අවංකව පවසනවා. මේ ගැන ඔවුන් මෙසේ අදහස් පළ කළා. “තරුණ වියේ පසු වුණ අපේ දුව ජේන් එක්ක ආශ්‍රය කරන්න ඇගේ වයසේ අය අපේ සභාවේ ඒ තරම් හිටියේ නැහැ. කොහොමවුණත් ඇයට සුසෑන් කියන මිතුරියක් හිටියා. ඇය මිතුරු මිතුරියන් ඇසුරු කරන්න හුඟාක් කැමතියි. ඒ වගේම ඇය විනෝදයට බර තරුණියක්. අපේ දරුවන්ට අපි දුන්නාට වඩා වැඩි නිදහසක් ඇගේ දෙමාපියන් ඇයට දී තිබුණා. ඇය රෑ බෝ වෙන තෙක් ගෙදරින් පිට වෙලා හිටියත් ඔවුන්ට ඒ ගැන ගානක් තිබුණේ නැහැ. ඇය ඇන්දේ ජේන් අඳිනවාට වඩා කොට සායවල්. ක්‍රිස්තියානීන්ට ඒ තරම් සුදුසු නැති සංගීතයට පවා ඇය සවන් දුන්නා. ඒ වගේම නුසුදුසු චිත්‍රපටිත් ඇය බැලුවා. අපි යම් දේවල් සම්බන්ධයෙන් දරන ආකල්පය තේරුම්ගන්න ජේන්ට සෑහෙන කාලයක් ගියා. අපි එයාව තේරුම් අරං ඉන්නවාට වඩා වැඩියෙන් සුසෑන්ගේ දෙමාපියන් සුසෑන්ව තේරුම් අරං ඉන්නවා කියා ඇය හිතුවා. අපි ඇයට ඕනෑවට වඩා නීති දමා තිබෙනවා කියලයි ඇයට හැඟුණේ. සුසෑන් ලොකු අමාරුවක වැටුණාට පස්සේ තමයි ජේන් තේරුම්ගත්තේ අපි ඇයට ටිකක් තදින් සිටිය එක ඇයට ආරක්ෂාවක් වුණා කියා. අපේ දරුවාට අපි හරි දෙය පෙන්වා දෙද්දී වැනෙන්නේ නැතිව ස්ථිරව සිටිය එක ගැන අපි හුඟාක් සතුටු වෙනවා.”

මිතුරන් ආශ්‍රය කිරීමේදී දෙමාපියන්ගේ මඟ පෙන්වීම් පිළිපැදීම කොතරම් ප්‍රඥාවන්තද කියා ජේන් වගේ හුඟාක් තරුණ තරුණියන් ඉගෙනගෙන තිබෙනවා. “ජීවනයේ තරවටුවට ඇහුම්කන් දෙන කන ඥානවන්තයන් අතරේ පවතින්නේය” කියා හිතෝපදේශයක සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:31) දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව පිළිගන්න තරුණ තරුණියන් සොයන්නේ යහපත් ඇසුරක්.

අන් අයව අනුකරණය කිරීමට ඇති වන බලපෑම්වලට හොඳින් මුහුණ දීම

අන් අය සමඟ ඇසුරු කරන විට ඔවුන්ගේ බලපෑම්වලට ලක්වීම බොහෝවිට සිදු වන දෙයක්. අන් අයව අනුකරණය කිරීමට දවසින් දවස එල්ල වන බලපෑම් අපේ දරුවන්ගේ ආත්මිකවයට තර්ජනයක්. තමන්ගේ වයසේ සිටින අය තමන්ව නිතරම පිළිගන්නවා දකින්න තරුණ තරුණියන් කැමති නිසා ඔවුන්ගේ බලපෑම්වලට ඔවුන් හසු වෙන්න පුළුවන්.—හිතෝපදේශ 29:25.

“ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය” කියා බයිබලය අපට මතක් කර දෙනවා. (1 යොහන් 2:17) ලෝකයේ අදහස්වලට හසුවීමට දෙමාපියන් තම දරුවන්ට ඉඩ නොදිය යුතුයි. ක්‍රිස්තියානීන්ට සුදුසු ආකාරයට සිතන්න තමන්ගේ දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?

රිචඩ් තම දුව ගැන මෙසේ පැවසුවා. “මගේ දුවට හැමතිස්සේම ඕනෙ වුණේ අනිත් තරුණියන් වගේ අඳින්න පළඳින්නයි. ඇය යම් දේවල් ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම අපි ඒ දේවල වාසි හා අවාසි ගැන බොහොම ඉවසීමෙන් ඇයට පහදා දුන්නා. ප්‍රශ්නයක් නැහැ කියා අපි සිතූ විලාසිතා තෝරාගැනීමේදී පවා අපි කලකට පෙර අසා තිබුණු මේ උපදේශය පිළිපැද්දා. ‘නැණවත් තැනැත්තෙක් වන්නේ අලුත්ම විලාසිතාවක් මුලින්ම වැලඳගන්න කෙනාවත් එය යල් පනින තෙක් බලා සිටින කෙනාවත් නොවේ.’”

සම වයසේ අයගෙන් එල්ල වූ බලපෑම්වලට හසු නොවීමට තමාගේ දරුවන්ට උපකාර කළ පෝලීන් මෙසේ පැවසුවා. “මගේ දරුවන් උනන්දුවක් දක්වපු දේවල් ගැන මමත් උනන්දුවක් දැක්වුවා. හැමදාම එයලාගේ කාමරයට ගිහින් එයලා එක්ක හුඟා වේලාවක් කතා බහ කළා. මේ විදිහට කතා බහ කිරීමෙන් මට පුළුවන් වුණා, එයාලා හිතන විදිහ වෙනස් කරන්නත් යම් දේවල් ගැන හිතන්න පුළුවන් වෙනත් විදි පෙන්වා දෙන්නත්.”

සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන බලපෑම් නතර වෙන්නේ නැහැ. එනිසා ‘ලෝකයේ තර්ක බිඳ හෙළා,’ තම දරුවන්ගේ සිතුවිලි ‘ක්‍රිස්තුස්ට කීකරු කරවීම සඳහා වහල් කරගන්න’ ඔවුන්ට උපකාර කිරීමට දෙමාපියන්ට දිගටම සෑහෙන වෑයමක් දරන්න සිදු විය හැකියි. (2 කොරින්ති 10:5) ඒ වුණත් ‘නොකඩවා යාච්ඤා කිරීමෙන්’ ඒ අතිවැදගත් දෙය ඉටු කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද පුළුවන්.—රෝම 12:12; ගීතාවලිය 65:2.

විනෝදාස්වාදයන් සතු ප්‍රබල ආකර්ෂණය

දරුවන්ට මඟ පෙන්වීම සැපයීමේදී දෙමාපියන්ට දුෂ්කර වන තවත් කාරණයක් වන්නේ විනෝදාස්වාදයයි. පොඩි දරුවෝ ආසයි සෙල්ලම් කරන්න. නව යොවුන් වියේ පසු වන දරුවන් හුඟදෙනෙක් ආසයි විනෝද වෙන්න. (2 තිමෝති 2:22) ඒ වුණත් මේ ආශාවල් ඉෂ්ට කරගැනීම සඳහා අඥාන දේවල් කළොත් ඔවුන් ආත්මිකව දුර්වල වෙන්න පුළුවන්. මූලිකව මේ අනතුර ආකාර දෙකකින් දකින්න තිබෙනවා.

විනෝදාස්වාදයන් බොහොමයක් අනතුරුදායක වීමට බලපාන එක් හේතුවක් වන්නේ ලෝකයේ පවතින පහත් සදාචාරය ඒවායේ දකින්න තිබීමයි. (එෆීස 4:17-19) මෙම විනෝදාස්වාදයන් ඉතාමත් සිත් ඇදගන්නාසුලුයි. මේවායේ තිබෙන බොරුවලවල් හඳුනාගත නොහැකි යෞවනයන්ට ඒවා උගුලක් වෙනවාට සැකයක් නැහැ.

විනෝදාස්වාදයන්වල තිබෙන තවත් අනතුරුක් වන්නේ ඒ සඳහා යොදවන කාලය නිසා ගැටලු මතුවීමයි. විනෝද වෙන්න තමන්ගේ කාලය හා ශ්‍රමය වැඩියෙන් යොදවන සමහර අය එය තමන්ගේ ජීවිතයේ අතිවැදගත් දෙය බවට පත් කරගෙන තිබෙනවා. “බොහෝ මීපැණි කෑම හොඳ නොවේ” කියා හිතෝපදේශයක අනතුරු අඟවනවා. (හිතෝපදේශ 25:27) ඒ හා සමානව විනෝදාස්වාදය සඳහා අධික කාලයක් වැය කිරීම නිසා ආත්මික දේවල් සඳහා තිබෙන ආශාව නැති වී යා හැකියි. එමෙන්ම මනස වෙහෙසා කළ යුතු දේවල් සඳහා තිබෙන ඇල්මද නැති වී යා හැකියි. (හිතෝපදේශ 21:17; 24:30-34) යෞවනයන් මේ ලෝකයේ තිබෙන දේවල් මුළුමනින්ම භුක්ති විඳින්න ගියොත් දෙවිගේ නව ලොවේදී භුක්ති විඳීමට නියමිත සදාකාල ජීවනය වන “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” ඔවුන්ට නොහැකි විය හැකියි. (1 තිමෝති 6:12, 19) දෙමාපියන් විනෝදාස්වාදය සම්බන්ධ කාරණයේදී ඔවුන්ගේ දරුවන්ට සාර්ථක මඟ පෙන්වීම් දී තිබෙන්නේ කෙසේද?

දියණියන් තුන්දෙනෙකුගේ මවක් වන මාරි කාමන් මෙසේ පැවසුවා. “අපිට ඕන වුණේ අපේ දුවලා හොඳ විනෝදාස්වාදයන් තෝරාගෙන, ඒවායින් සතුටු වෙනවා දකින්නයි. අපි පවුලක් හැටියට ටිකක් විනෝද වෙන්න නිවසින් පිට යෑමට කාලය වෙන් කළා. ඒ වගේම එයලා සභාවේ යාළුවන් එක්කත් කාලය ගත කළා. ඒත් අපි විනෝද වුණේ සමබරවයි. අපි විනෝදය සමාන කළේ ආහාරයකින් පස්සේ ගන්න අතුරුපසකටයි. මෙය ඉතා රසවත් වුණත් ප්‍රධාන ආහාරය එය නෙමෙයි. ගෙදරදීත් පාසැලේදීත් සභාවේදීත් වැඩ කරන්න එයාලා ඉගෙනගත්තා.”

ඩොන් සහ රූත් තමන්ගේ දරුවන්ට විනෝදය ලබා දීමට විශේෂ වෑයමක් දරුවා. මේ ගැන ඔවුන් මෙසේ පැහැදිලි කළා. “අපි හැම සෙනසුරාදාවක්ම පවුලේ අය එකට ඇසුරු කරන දවසක් හැටියට වෙන් කළා. අපි උදේ වරුවේ දේවසේවයේ හවුල් වෙනවා. ඊටපස්සේ දවල් වරුවේ කොහේ හරි ගිහිල්ලා නාලා, ටිකක් විනෝද වෙලා, ඊටපස්සේ විශේෂ කෑමක් භුක්ති වින්දා.”

මේ දෙමාපියන් පැවසූ දේවලින් පැහැදිලි වන්නේ හිතකර විනෝදාස්වාදය සමබර ලෙස තම දරුවන්ට ලබා දීමේ වටිනාකමයි. එමෙන්ම ක්‍රිස්තියානි ජීවිතය තුළ විනෝදාස්වාදයට නිසි තැන ලබා දීමේ වැදගත්කමද එයින් පැහැදිලි වෙනවා.—දේශනාකාරයා 3:4; ෆිලිප්පි 4:5.

යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න

ආත්මිකව ශක්තිමත් පුද්ගලයෙක් වීමට අවුරුදු ගණනාවක් ගත වෙනවා. දෙවි සපයන ප්‍රඥාව දරුවන්ගේ සිත්වලට ඇතුල් කිරීමට ක්ෂණික ක්‍රමයක් නැහැ. එමෙන්ම දරුවන්ට ඔවුන්ගේ ස්වර්ගික පියා කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගැනීම සඳහා පෙලඹවීමක් ක්ෂණිකව ඇති කළ නොහැකියි. දෙමාපියන් “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න” අවශ්‍යයි. (එෆීස 6:4) ‘යෙහෝවා සිතන ආකාරයට සිතන්න දරුවන්ට ඉගැන්වීම’ දිගටම කළ යුතු ක්‍රියාවක්. මෙය කරන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?

මේ කාර්යයේදී සාර්ථක වීමට බලපාන වැදගත්ම කරුණක් වන්නේ නිතිපතා පවත්වනු ලබන පවුලේ පාඩමයි. මේ පාඩම මගින් ‘දෙවිගේ ව්‍යවස්ථාවෙහි ආශ්චර්යවත් දේ දකින පිණිස දරුවන්ගේ ඇස් ඇරෙනවා.’ (ගීතාවලිය 119:18) පවුලේ පාඩම අතිවැදගත් දෙයක් ලෙස සැලකූ තියාගෝ එය නිතිපතා පවත්වමින් යෙහෝවාට ළං වෙන්න තම දරුවන්ට උපකාර කළා. මේ ගැන ඔහු මෙසේ පැවසුවා. “මම පවුලේ පාඩමට හොඳින් සූදානම් වුණා. මම ශුද්ධ ලියවිලි මත පදනම් අපේ පොත් පත්වලින් පර්යේෂණ කර සොයාගත් තොරතුරු යොදාගනිමින් බයිබල් චරිතවලට පණ පොවන ආකාරය ඉගෙනගත්තා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ජීවත් වූ ආකාරයට තමන් ජීවත් වෙනවාද කියා සොයා බලන්න මම දරුවන්ව දිරිගැන්වුවා. යෙහෝවාව සතුටු කරන දේවල් මොනවාද කියා දරුවන්ට හොඳින් තේරුම්ගන්න එය හුඟාක් උපකාරවත් වුණා.”

දරුවන් පවුලේ පාඩමේදී හැර වෙනත් අවස්ථාවලදීද ඉගෙනගන්නවා. ‘ඔවුන් ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද’ යෙහෝවාගේ සිහිගැන්වීම් ගැන දරුවන් සමඟ කතා කරන්න කියා මෝසෙස් දෙමාපියන්ට උපදෙස් දුන්නා. (ද්විතීය කතාව 6:7) එක් පියෙක් මෙසේ පැවසුවා. “මගේ පුතාට එයාගේ හිතේ තියෙන දේවල් කියන්න කාලය අවශ්‍ය වුණා. අපි දෙන්නා කොහේ හරි පයින් යද්දී හෝ යම් දෙයක් එකට කරද්දී එයාගේ හිතේ තිබුණු දේවල් මට කිව්වා. මේ වගේ අවස්ථාවලදී අපි දෙන්නාටම ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන අපි කතා බහ කෙරුවා.”

දෙමාපියන් කරන යාච්ඤා දරුවන් කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. දෙමාපියන් දෙවිගේ උපකාරයද සමාවද ඉල්ලමින් යටහත් පහත්ව දෙවිට යාච්ඤා කරනවා දරුවන් අසාගෙන සිටිද්දී දරුවන් තුළ පෙලඹීමක් ඇති වෙනවා ඇත්තෙන්ම ‘දෙවි ජීවමාන’ කෙනෙක් බව විශ්වාස කරන්න. (හෙබ්‍රෙව් 11:6) සාර්ථකව තම දරුවන්ව හදා වඩා ගෙන තිබෙන දෙමාපියන් බොහෝදෙනෙක් පවුලක් හැටියට යාච්ඤා කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. පාසැලේදී හෝ වෙනත් අවස්ථාවලදී දරුවන්ට ගැටලුවක් විය හැකි කාරණා ගැන ඔවුන් ඒ යාච්ඤාවලදී සඳහන් කරනවා. එක් පියෙක් පැවසුවේ දරුවන් හැමදාම පාසැල් යන්න කලින් තමාගේ භාර්යාව ඔවුන් එක්ක යාච්ඤා කරනවා කියායි.—ගීතාවලිය 62:8; 112:7.

“යහපත කිරීම අත් නොහරිමු”

සෑම දෙමාපියෙක් අතින්ම අඩු පාඩු සිදු වෙනවා. එමෙන්ම සමහර කාරණාවලදී තමන් කටයුතු කළ ආකාරය ගැන ඔවුන් කනගාටු විය හැකියි. ඒ වුණත් බයිබලය අපව දිරිගන්වන්නේ උත්සාහය අත්හරින්න එපා කියායි. ‘යහපත කිරීම අත් නොහරින්න’ කියායි.—ගලාති 6:9.

කොහොමවුණත් තමන්ගේ දරුවන්ව තමන්ට තේරුම්ගන්න බැහැයි කියා හැඟෙන අවස්ථාවලදී උත්සාහය අත්හරින්න දෙමාපියන්ට හිතෙන්න පුළුවන්. තරුණ පරම්පරාව වෙනස්. ඔවුන් සමඟ කටයුතු කරන්න අමාරුයි කියා පහසුවෙන්ම හැඟෙන්න ඉඩ තිබෙනවා. ඒ වුණත් වර්තමානයේ දරුවන් තුළ දකින දුර්වලකම්මයි කලින් පරම්පාරවලත් දකින්න තිබුණේ. වර්තමාන පරම්පරාව මුහුණ දෙන්නේද කලින් සිටි තරුණ පරම්පරාව මුහුණ දුන් පරීක්ෂායි. වෙනසකට තිබෙන්නේ අද සිටින තරුණයන්ට වැරදි දේවල් කරන්න එල්ල වන බලපෑම් වැඩිවීමයි. එක් පියෙක් තමාගේ පුතාව නිවැරදි කිරීමෙන් පසු ඉතා කාරුණික ලෙස ඔහුට මෙසේ පැවසුවා. “ඔයා ආශා කරන්නේත් ඔයාගේ වයසේ ඉන්නකොට මම ආශා කළ දේවල්වලටයි.” පරිගණක ගැන දෙමාපියන් එතරම් නොදන්නවා විය හැකියි. ඒ වුණත් අසම්පූර්ණ අය හැටියට දරුවන් තුළ තිබෙන නැඹුරුවාවන් ගැන ඔවුන් හොඳින් දන්නවා.—මතෙව් 26:41; 2 කොරින්ති 2:11.

සමහර දරුවන් දෙමාපියන් දෙන මඟ පෙන්වීම් පිළිපැදීමට අකමැති විය හැකියි. දෙමාපියන් ලබා දෙන හික්මවීමට දැඩි විරෝධයක් පවා පෙන්වන්න පුළුවන්. එසේ වුණත් අත් නෑර දරන වෑයම් ඉතාමත් වැදගත්. දෙමාපියන් කියන දේවල් අහන්න මුල් කාලයේදී දරුවන් අදිමදි කළත් කාලයක් යන විට හුඟාක් දරුවන් දෙමාපියන්ට කීකරු වෙනවා. (හිතෝපදේශ 2:6; 23:22-25) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක දැන් සේවය කරන මැතිව් නමැති යෞවනයා මෙසේ පැවසුවා. “මම නහඹරයෙක්ව සිටි කාලයේදී මට හිතුණේ මගේ දෙමාපියන් මට දාපු සීමාවන් අසාධාරණයි කියලා. මගේ යාළුවන්ගේ දෙමාපියන් එයාලට කරන්න අවසර දුන්න දේවල් මටත් කරන්න අවසර දෙන්න මගේ දෙමාපියන්ට බැරි ඇයි කියා මම තර්ක කළා. මම ඔරු පදින්න හුඟාක් ආස කළා. මට දඬුවමක් හැටියට ඔරු පදින්න යන්න අවසර නොදුන්න අවස්ථාවලදී මට එයාලත් එක්ක හොඳටම තරහ ගියා. ඒ කාලේ දිහා ආපහු හැරිලා බලද්දී මට තේරෙනවා, මගේ දෙමාපියන් දුන්නේ මට අවශ්‍යව තිබුණ මගේ යහපතට හේතු වූ හික්මවීම් කියලා. මට අවශ්‍යව තිබූ අවස්ථාවලදී හරි මඟ පෙන්වීම් දුන්න එක ගැන මම ඔවුන්ට හුඟාක් ස්තුතිවන්ත වෙනවා.”

අපේ දරුවන්ගේ ආත්මිකත්වයට හානිකර ලෙස බලපෑ හැකි තත්වයන් යටතේ ජීවත් වීමට ඔවුන්ට සිදු විය හැකි වුවත් හොඳ ක්‍රිස්තියානීන් හැටියට හැදෙන්න වැඩෙන්න ඔවුන්ට පුළුවන්. දරුවන්ව ආත්මිකව ශක්තිමත්ව තබන්න දෙවි සපයන ප්‍රඥාවට හැකි බව බයිබලයේ පොරොන්දු කර තිබෙනවා. “ප්‍රඥාව ඔබේ සිතට ඇතුල් වන්නේය, දැනගැන්මද ඔබේ ආත්මයට ප්‍රසන්න වන්නේය. නපුරු මාර්ගයෙන්ද වංක වූ දේ කියන මනුෂ්‍යයන්ගෙන්ද ඔබ ගලවන පිණිස තේරුම්ගැනීම ඔබ රැකවල් කරන්නේය; පරීක්ෂා කර බැලීම ඔබ ආරක්ෂා කරන්නේය.”—හිතෝපදේශ 2:10-12.

මාස නවයක් දරුවෙකුව කුසේ තබාගැනීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඊළඟ අවුරුදු 20දී පවා සතුට සමඟ දුකද අද්දකින්න සිදු විය හැකියි. ඒ වුණත් ක්‍රිස්තියානි දෙමාපියන් තමන්ගේ දරුවන්ට හුඟාක් ආදරේ කරන නිසා දෙවි සපයන ප්‍රඥාව යොදාගනිමින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට මහත් වෑයමක් දරනවා. තමන්ගේ දරුවන් ගැන ඔවුන්ට හැඟෙන්නෙත් මහලු වියේ පසු වූ ප්‍රේරිත යොහන්ට ඔහුගේ ආත්මික දරුවන් ගැන හැඟුණු මේ ආකාරයටමයි. “මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත.”—3 යොහන් 4.

[පාදසටහන්වල]

^ 7 ඡේ. මේ ලිපියේ සමහර නම් වෙනස් කර තිබෙනවා.

[24වන පිටුවේ පින්තූරය]

‘තරුණ අය අපේ ගෙදර නිතර ගැවසුණා’

[25වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවන් උනන්දු වන දේවල් ගැන ඔබත් උනන්දු වන්න

[26වන පිටුවේ පින්තූරය]

“මම පවුලේ පාඩමට හොඳින් සූදානම් වුණා”