Skip to content

පටුනට යන්න

දෙවි හෙළාදකින චාරිත්‍ර ප්‍රතික්ෂේප කරමු

දෙවි හෙළාදකින චාරිත්‍ර ප්‍රතික්ෂේප කරමු

දෙවි හෙළාදකින චාරිත්‍ර ප්‍රතික්ෂේප කරමු

අප්‍රිකානු මහාද්වීපයට අයත් එක්තරා රටක සිදු වූ දේ සලකා බලන්න. උෂ්ණාධික දවසක එක්තරා නිවසක මිදුලේ මිනි පෙට්ටියක් විවෘත කර තබා තිබෙනවා. මිනිස්සු තම ශෝකය ප්‍රකාශ කරමින් එය පසු කරගෙන යනවා. එතැනට පැමිණි වයසක මිනිසෙක් ඉතාම ශෝකයෙන් මළ මිනිසාගේ මුහුණට ළං වී යමක් කියන්න පටන්ගත්තා. “ඔයා මැරෙන්න යනවා කියලා මට ඇයි කිව්වේ නැත්තේ? ඇයි ඔයා මාව මෙහෙම දාලා ගියේ? ඔයා ආපහු ඇවිල්ලා මට ඉස්සර වගේම උදව් කරනවාද?”

අප්‍රිකාවේ තවත් ප්‍රදේශයක දරුවෙක් ඉපදිලා. කාටවත් දරුවාව බලන්න බැහැ. පිට අයට දරුවාව දැකබලා ගන්න ලැබෙන්නේ යම් කාලයක් ගියාට පසුවයි. දරුවාට උත්සවාකාරයෙන් නමක් තබනු ලබන්නේත් එවිටයි.

මළ මිනියකට කතා කිරීම, අලුත උපන් දරුවෙක්ව පිට අයගෙන් සඟවා තැබීම වැනි දේවල් සමහර අයට අමුතු චාරිත්‍ර මෙන් පෙනෙන්නට පුළුවන්. ඒත් සමහර සංස්කෘතීන්වල මිනිසුන් විශ්වාස කරන්නේ මළවුන් නොමැරී දිගටම ජීවත් වන බවයි. මෙම විශ්වාසය ඔවුන් දරන ආකල්පවලට වගේම උපත හා මරණය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍රවලට ප්‍රබල ලෙස බලපා තිබෙනවා.

මෙම විශ්වාසය කොතරම් ප්‍රබල එකක්ද කිවහොත් එය ජීවිතයේ සෑම අංගයකටම වාගේ සම්බන්ධ වන චාරිත්‍ර සහ වත්පිළිවෙත් තුළින් පිළිබිඹු වෙනවා. කෙනෙකුගේ උපත, දැරියක් මල්වර වීම, දෙදෙනෙකු විවාහ වීම සහ කෙනෙකුගේ මරණය ජීවිතයේ අතිවැදගත් අවස්ථා ලෙස බොහෝදෙනෙක් සලකනවා. මෙයට හේතුව එම අවස්ථා කෙනෙකුව මුතුන්මිත්තන්ගේ ලෝකයට ගෙන යන්නාවූ වැදගත් පියවර ලෙස ඔවුන් විශ්වාස කරන නිසයි. මරණයෙන් පසුව මළවුන්ගේ ලෝකයට සේන්දු වූ කෙනෙක් තම පවුලේ අයගේ සහ හිත මිතුරන්ගේ ජීවිතවලට කෙළින්ම සම්බන්ධ වන බවට විශ්වාසයකුත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙලොවට නැවත ඉපදීම තුළින් මෙම ජීවිත චක්‍රය දිගින් දිගට ගෙන යෑමට ඔහුට හැකි වෙයි කියාද ඔවුන් සිතනවා.

මෙම ජීවිත චක්‍රයේ එක් අවස්ථාවකින් තව එකකට කිසි කරදරයක් නැතුව යෑම සඳහා නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර සහ වත්පිළිවෙත් ගණනාවක් සිදු කරනු ලබනවා. මෙම චාරිත්‍ර පිළිපැදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අප මැරුණත් අප සම්පූර්ණයෙන්ම මිය යන්නේ නැහැ යන විශ්වාසයයි. සැබෑ ක්‍රිස්තියානීන් මෙම විශ්වාසයට සම්බන්ධ ඕනෑම චාරිත්‍රයක් ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇයි?

මළවුන්ගේ තත්වය මොකක්ද?

මළවුන්ගේ තත්වය පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් බයිබලය සපයනවා. “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති; එහෙත් මළාහු කිසිවක් නොදනිති; . . . ඔවුන්ගේ ප්‍රේමය මෙන් ඔවුන්ගේ ද්වේෂයද ඊර්ෂ්‍යාවද දැන් නැති වී තිබේ; . . . ඔබ යන මිනී වළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.” (දේශනාකාරයා 9:5, 6, 10) දෙවිගේ සැබෑ නමස්කාරකයන් බොහෝ කාලයක් පුරා මෙම මූලික බයිබල් සත්‍යය පිළිගෙන තිබෙනවා. ඔවුන් තේරුම්ගෙන තිබෙන කාරණය වන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති බවයි. ඔහුගේ කල්පනා පවා නැති වී යන බව ඔවුන්ට පැහැදිලියි. (ගීතාවලිය 146:4) මළවුන් ජීවතුන් අතර සිටින බවටත්, ජීවතුන්ට යම් බලපෑම් කිරීමට ඔවුන්ට බලයක් තිබෙන බවටත් වූ විශ්වාසයට සම්බන්ධ ඕනෑම චාරිත්‍රයක් එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට පුරාණයේ විසූ තම සෙනඟට යෙහෝවා දෙවි තදින්ම අණ කළා.—ද්විතීය කතාව 14:1; 18:9-13; යෙසායා 8:19, 20.

එයාකාරයෙන්ම පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද බොරු ආගමික ඉගැන්වීම්වලට සම්බන්ධ වූ සෑම චාරිත්‍රයක්ම ප්‍රතික්ෂේප කළා. (2 කොරින්ති 6:15-17) අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මොනම ජාතියක, ගෝත්‍රයක හෝ සමාජයක සිටියත් මරණයෙන් පසු අමරණීය වූ යමක් ඉතුරු වන බවට වූ බොරු ඉගැන්වීමට සම්බන්ධ සෑම චාරිත්‍රයක්ම ප්‍රතික්ෂේප කරනවා.

ක්‍රිස්තියානීන් හැටියට අප යම් චාරිත්‍රයක් අනුගමනය කළ යුතුද නැද්ද කියා තීරණය කරන්නේ කොහොමද? ශුද්ධ ලියවිල්ලට පටහැනි නොයෙකුත් ඉගැන්වීම් තිබෙනවා. නිදසුනකට කෙනෙකු මිය ගියායින් පසුව ජීවත්ව සිටින අයට යම් බලපෑම් කිරීමට ඔහුට හැකි බවට වූ විශ්වාසය සලකා බලන්න. ඒ විශ්වාසය යම් චාරිත්‍රයකට සම්බන්ධද කියා අප හොඳින් සෝදිසි කර බැලිය යුතුයි. අනික් අතට අප එවැනි චාරිත්‍රයකට හෝ විශ්වාසයකට සම්බන්ධ යම් උත්සවයකට සහභාගි වුණොත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන හා උගන්වන දේ දන්නා අයට එය කෙසේ බලපායිද කියා සලකා බැලිය යුතුයි. මෙම මූලික ප්‍රතිපත්ති දෙක සිතේ තබාගෙන අපි ඉපදීම හා මරණයට සම්බන්ධ චාරිත්‍ර කිහිපයක් සලකා බලමු.

දරුවෙකුගේ උපත සහ නම් තැබීම

දරුවෙකු ඉපදෙන විට නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර බොරු ඉගැන්වීම්වලට සම්බන්ධ නැත්නම් ඒවා අනුගමනය කිරීම වරදක් නෙවෙයි. නමුත් ඇතැම් රටවල දරුවෙකු ඉපදීම සලකන්නේ මුතුන්මිත්තන්ගේ ලෝකයේ සිට මිනිස් ලෝකයට පා තැබීමේ පියවරක් හැටියටයි. මෙම විශ්වාසයට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැබෑ ක්‍රිස්තියානීන් සැලකිලිමත් විය යුතුයි. නිදසුනකට අප්‍රිකාවේ සමහරක් ප්‍රදේශවල අලුත උපන් දරුවෙකුව නිවසින් පිටතට ගෙන යන්න කලිනුත්, ඔහුට නමක් දාන්න කලිනුත් යම් විශේෂ කාල සීමාවක් ගත වෙන්න අවශ්‍යයි. මෙසේ ගත කළ යුතු කාල සීමාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. එම කාල සීමාව අවසන් වන විට දරුවාට උත්සවාකාරයෙන් නමක් දෙනවා. ඒ අවස්ථාවේදී දරුවාව නිවසින් පිටතට ගෙන ගොස් නෑදෑ හිත මිතුරන්ට පෙන්වනවා. ඒ අවස්ථාවේ තමයි දරුවාගේ නම සියලුදෙනා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ.

මෙම චාරිත්‍රය පිළිබඳව එක්තරා පොතක (Ghana—Understanding the People and Their Culture) සඳහන් වන්නේ මෙසේයි. “දරුවෙකු ඉපදී දවස් සතක් ගත වන තුරු ඒ දරුවාව නිවසින් පිටතට ගෙන යන්නේ නැහැ. පවුලෙන් පිට අයට ඒ දරුවාව බැලීමටත් අවසර නැහැ. එසේ කරන්නේ එම දරුවා තවමත් මිනිස් ලෝකයට පිවිස නැතැයි විශ්වාස කරන නිසයි.”

දරුවෙකුට උත්සවාකාරයෙන් නමක් දෙන්න පෙර යම් කාල පරිච්ඡේදයක් ගත වන තුරු සිටින්න සිදු වන්නේ ඇයි? තවත් පොතක (Ghana in Retrospect) මෙසේ සඳහන් වෙයි. “දරුවාව මිනිස් ලෝකයේ කෙනෙකු ලෙස සලකන්න නම් දවස් අටක් ගත විය යුතුයි. දවස් අටක් ගත වන තෙක් ඒ දරුවා මුතුන්මිත්තන්ගේ ලෝකයට සම්බන්ධ බවයි සිතන්නේ. දරුවෙකු මිනිස් ලෝකයේ කෙනෙකු බවට පත් වන්නේ ඔහුට නමක් තබන විටයි. එනිසා දරුවා මැරෙයි කියා සැකයක් ඇත්නම් පියා සහ මව ඒ කාලය පසු වන තෙක් දරුවාට නමක් තබන්නේ නැහැ. . . . මෙම චාරිත්‍රය අනුගමනය කිරීමෙන් දරුවාටත් දෙමාපියන්ටත් යහපතක් සිදු වන බවට විශ්වාස කරනවා. මේ අනුව දරුවා මිනිස් ලෝකයට පිවිසෙන්නේ ඒ චාරිත්‍රය අනුගමනය කළොත් පමණයි.”

දරුවාට නම් තැබීමේ උත්සවයේ කටයුතු මෙහෙයවනු ලබන්නේ පවුලේ ජ්‍යේෂ්ඨ ඥාතියෙක් විසිනුයි. අනුගමනය කරනු ලබන වත්පිළිවෙත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණත්, පූජාවක් හැටියට මුතුන්මිත්තන්ට මත්පැන් පුදනු ලබන අතර, දරුවා කිසිම කරදරයක් නැතුව මිනිස් ලෝකයට පැමිණි නිසා මුතුන්මිත්තන්ට යාතිකාද කියනවා. වෙනත් වත්පිළිවෙත් කිහිපයකුත් සිදු කරනු ලබනවා.

මෙම උත්සවයේ ප්‍රධාන අවස්ථාව වන්නේ දරුවාගේ නම ප්‍රකාශ කරනු ලබන අවස්ථාවයි. තම දරුවාට නමක් තැබීමේ වගකීම දෙමාපියන් සතු කාර්යයක් වුණත් වෙනත් නෑදෑයන්ගේ බලපෑමද නොසලකාහරින්න බැහැ. ඇතැම් නම්වලට ගැඹුරු අර්ථයක් තිබෙනවා. නිදසුනකට “ගියා නමුත් ආවා,” “අම්මා නැවතත් අප අතර” හෝ “තාත්තා යළිත් අප අතර” වැනි අර්ථ ඇති නම් සඳහන් කරන්න පුළුවන්. තවත් නම්වලින් කියවෙන්නේ මුතුන්මිත්තන්ට අලුත උපන් දරුවාව මළවුන්ගේ ලෝකයට ගන්න එපා කියායි.

දරුවෙකු ඉපදෙන විට සියලුදෙනාම ප්‍රීතිවීමේ කිසි වරදක් නැහැ. වෙනත් කෙනෙකුගේ නමක් දරුවාට දීම සහ දරුවාගේ උපතට සම්බන්ධ සිදුවීමක් පදනම් කරගෙන නමක් තැබීම හෝ නුසුදුසුයි කියා පැවසිය නොහැකියි. ඒ වගේම දරුවාට මොන අවස්ථාවේදී නමක් දිය යුතුද කියන එකත් පෞද්ගලිකව ගත හැකි තීරණයක්. නමුත් දෙවිව සතුටු කිරීමට කැමති ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුතු පැත්තක් තිබෙනවා. ඔවුන් යම් චාරිත්‍රයක් අනුගමනය කරනවා නම්, දරුවා මිනිසුන්ගේ ලෝකයට තවමත් පිවිස නැති බව අඟවන චාරිත්‍රයක් අනුගමනය නොකිරීමට වගබලා ගත යුතුයි. එයට හේතුව සැබෑ ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් වැරදි අදහසක් අන් අයට දීමට ඔවුන් අකමැති වන නිසයි.

සමාජයේ බොහෝදෙනෙකු දරුවෙකුට නමක් තැබීමේ උත්සවය ඔහුගේ ජීවිත චක්‍රයේ වැදගත් අවස්ථාවක් ලෙස සලකන නිසා, ක්‍රිස්තියානීන් තමන් අනුගමනය කරන පිළිවෙත්වලින් අන් අයව බාධාවට පත් නොකිරීමට වගබලා ගත යුතුයි. නොඇදහිලිකාරයන් ඔවුන් කරන දේ සලකන ආකාරය ගැනද ඔවුන් සැලකිලිමත් විය යුතුයි. නිදසුනකට ක්‍රිස්තියානි පවුලක් දරුවාට උත්සවාකාරයෙන් නමක් තැබීමට පෙරාතුව දරුවාව නිවසින් පිටතට ගෙනාවේ නැත්නම් සමාජයේ ඇතැම් අය ඔවුන් ගැන මොනවා හිතයිද? බයිබල් සත්‍යතාවන්ට පටහැනි නමක් දැම්මොත් ඔවුන් ක්‍රිස්තියානීන් ගැන මොනවා හිතයිද?

මේ අනුව තම දරුවන්ට නම් තබන ආකාරය සහ එසේ කිරීමට තෝරාගන්නා අවස්ථාව ගැන තීරණයක් ගනිද්දී ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ ‘දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්නයි.’ ඔවුන් කැමති නැහැ කිසිවෙකු ඔවුන් කරන දෙයින් බාධාවට පත් වෙනවා දකින්න. (1 කොරින්ති 10:31-33) මළවුන්ට ගරුබුහුමන් දැක්වීම සඳහා පිහිටුවා ඇති ‘සම්ප්‍රදායන් ආරක්ෂා කරන පිණිස’ ඔවුන් ‘දෙවිගේ ආඥාව පසෙකට දමන්නේ’ නැහැ. ඔවුන්ගේ එකම අභිප්‍රාය ජීවමාන දෙවි වන යෙහෝවාට සියලු ගෞරවය හා මහිමය ලබා දීමයි.—මාක් 7:9, 13.

අවමඟුල් උත්සව

බොහෝදෙනෙකු උපත විතරක් නෙවෙයි මරණයද සලකන්නේ එක් භවයකින් තවත් එකකට මාරු වන අවස්ථාවක් ලෙසයි. ඔව් මිනිස් ලෝකයේ සිට මළවුන් සිටින අදෘශ්‍යමාන ලෝකයට මාරු වන අවස්ථාවක් ලෙස එය සලකනු ලබනවා. එමනිසා පුද්ගලයෙක් මිය යන විට අනුගමනය කළ යුතු අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් බිහි වී තිබෙනවා. මේවා අනුගමනය කරන්නේ නැත්නම් අදෘශ්‍යමාන ලෝකයේ සැරිසරන මුතුන්මිත්තන් උදහස් වන බව බොහෝදෙනාගේ විශ්වාසයයි. එම උදහසේ ප්‍රතිඵලයක් හැටියට යම් හිරිහැර විඳින්නට සිදු වෙයි කියා ඔවුන් බිය වෙනවා. එමනිසා අවමඟුල් කටයුතු සිදු කරන ආකාරයට මෙම විශ්වාසයන් බෙහෙවින් බලපානවා.

අවමඟුල් කටයුතු සංවිධානය කරනු ලබන්නේ මළවුන්ව සතුටු කිරීමටයි. දේහය තැන්පත් කිරීමට පෙරාතුව පැමිණ සිටින අය කෑ මොරගසමින් තම ශෝකය පළ කළ යුතුයි. ඇතැම් රටවල භූමදාන කටයුතුවලින් පසු සියලුදෙනාම උත්සවාකාරයෙන් ප්‍රීතිමත් වෙනවා. එවැනි අවස්ථාවලදී සහභාගි වන අය අධික ලෙස කෑමට හා බීමට නැඹුරු වෙනවා. සංගීතයද මහ හයියෙන් වාදනය කරනු ලබනවා. අවමඟුල් කටයුතු ඉතා වැදගත් අවස්ථා ලෙස සලකනු ලබන නිසා, එම කටයුතු “යෝග්‍ය ලෙස” සිදු කිරීමට මුදල් එකතු කිරීම සඳහා ඉතා දුප්පත් අය පවා මහත් වෑයමක් දරනවා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ණය වී නොයෙකුත් අපහසුතාවලට මුහුණ දෙන්නට පවා සිදු වෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑහෙන කාලයක් පුරා ශුද්ධ ලියවිල්ලට විරුද්ධ අවමඟුල් කටයුතු සම්බන්ධයෙන් මිනිසුන්ට පැහැදිලි අවබෝධයක් ලබා දී තිබෙනවා. * ඒවාට සම්බන්ධ නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර පදනම් වී තිබෙන්නේ මිය යන පුද්ගලයා මරණයෙන් පසුව ජීවත් වන බවට වූ විශ්වාසය මතයි. එමනිසා නිදි මරන්න යෑම, පූජාවක් හැටියට දෙවියන්ට මත්පැන් පිදීම, මළවුන්ගෙන් යම් ඉල්ලීම් කිරීම, මිය ගිය දවස උත්සවාකාරයෙන් සැමරීම වැනි චාරිත්‍ර වාරිත්‍ර නුසුදුසු වන බව පැහැදිලියි. මළ පුද්ගලයා තවමත් ජීවත්ව සිටින බවට වූ විශ්වාසය ඇතිව දේහයට කතා කිරීමද නුසුදුසුයි. දෙවිට අවනම්බුවක් වන මෙවැනි චාරිත්‍ර වාරිත්‍ර දෙවිගේ සත්‍ය වචනයට පටහැනියි. ඒවා “මිනිස් සම්ප්‍රදායන්” මත පදනම් වූ “අපවිත්‍ර” හා “හිස් වූ” රැවටිලිකාර දේවල් හැටියට සැලකිය යුතුයි.—යෙසායා 52:11; කොලොස්සි 2:8.

සමාජයෙන් බලපෑම්

සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍රවලින් වැළකී සිටීම සමහරුන්ට සෑහෙන අභියෝගයක් වී තිබෙනවා. එයට හේතුව ඇතැම් රටවල මළවුන්ට ගරුබුහුමන් කිරීම ඉතා ඉහළින් සලකන දෙයක් වන නිසයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවැනි චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකරන නිසා මිනිසුන් ඔවුන් දෙස බලන්නේ වපර ඇසින්. ඔවුන්ව සමාජ විරෝධී, මළවුන්ට අගෞරව කරන පිරිසක් හැටියටත් හංවඩු ගසා තිබෙනවා. මෙවැනි බලපෑම් හේතුවෙන් සමහරුන් බයිබලයේ සත්‍ය ඉගැන්වීම් දැන සිටියත් ඒවාට පක්ෂව සිටින්න බිය වෙනවා. (1 පේතෘස් 3:14) තවත් අය කියන්නේ එවැනි චාරිත්‍ර වාරිත්‍ර තම සංස්කෘතියේ කොටසක් කියායි. එමනිසා ඒවා නතර කර දමන්න තමන්ට බැරි බව ඔවුන් පවසනවා. තවත් සමහරුන් කියන්නේ එවැනි චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළේ නැත්නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමාජය ඉදිරියේ කොන් වෙයි කියායි.

කිසිම පදනමක් නැතුව අන් අයව අමනාප කිරීම අපට වුවමනා නැහැ. එනමුත් අප සත්‍යය වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක් ගන්නා නිසා දෙවිගෙන් බැහැර වී සිටින ලෝකය අපට වෛර කරන බව බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. (යොහන් 15:18, 19; 2 තිමෝති 3:12; 1 යොහන් 5:19) අප එවැනි ස්ථාවරයක් ගන්නේ සත්‍යය ගැන නොදැන සිටින අයට වඩා අප වෙනස් විය යුතු බව දැනගෙනයි. (මලාකි 3:18; ගලාති 6:12) දෙවිව අසතුටු කිරීමට අපට නොයෙකුත් බලපෑම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් යේසුස් සාතන්ගේ බලපෑම් ප්‍රතික්ෂේප කළාක් මෙන් අපද ස්ථිරව සිටිය යුතුයි. (මතෙව් 4:3-7) සැබෑ ක්‍රිස්තියානීන් මිනිසුන්ට භයවීමේ උගුලට හසු වන්නේ නැහැ. ඔවුන්ගේ ආශාව වන්නේ යෙහෝවා දෙවිව සතුටු කිරීමයි. සත්‍යතාවේ දෙවි හැටියට ඔහුට ගෞරව කිරීමයි. එමනිසා අන් අය යම් බලපෑම් කළත් සැබෑ නමස්කාරය පිළිබඳව බයිබලයේ සඳහන් පැහැදිලි ප්‍රමිති උල්ලංගනය නොකිරීමට ඔවුන් වගබලා ගන්නවා.—හිතෝපදේශ 29:25; ක්‍රියා 5:29.

සියල්ලේදී යෙහෝවාට ගෞරව කිරීම

අප ප්‍රේම කරන කෙනෙකු මිය යන විට ගැඹුරු දුකක් ශෝකයක් දැනීම සාමාන්‍ය දෙයක්. (යොහන් 11:33, 35) එවැනි කෙනෙකු මිය යන විට අවමඟුල් කටයුතු යෝග්‍ය ලෙස සිදු කිරීමෙන් හා එම පුද්ගලයා පිළිබඳ මතක සටහන් ආදරණීයව සිහිපත් කිරීමෙන් අපට ඔවුන් සඳහා අපගේ ප්‍රේමය පළ කළ හැකියි. එනමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැඩි සේ ශෝක වුණත් ඔවුන් දෙවි හෙළාදකින සම්ප්‍රදායන්ගේ බලපෑමට හසු වන්නේ නැහැ. මළවුන් ගැන ලොකු බියක් තිබෙන සංස්කෘතීන්වල එසේ කිරීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එමනිසා අපට කිට්ටු කෙනෙකු මිය යන විට බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය නොකර ක්‍රියා කිරීම අභියෝගයක් විය හැකියි. එනමුත් සැබෑ ක්‍රිස්තියානීන් “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාගෙන් ශක්තිය ලබන අතර, සෙසු ඇදහිලිවන්තයන්ගේ ප්‍රේමණීය සහයෝගයෙන්ද මහත් දිරිගැන්වීමක් ලබනවා. (2 කොරින්ති 1:3, 4) කෙනෙකු මිය ගියත් දෙවි එම පුද්ගලයාව නැවත නැඟිටුවා ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙන බවට වූ ස්ථිර විශ්වාසය සැබෑ ක්‍රිස්තියානීන්ට තිබෙනවා. එමනිසා නැවත නැඟිටීම ප්‍රතික්ෂේප කරන්නාවූ ඕනෑම අවමඟුල් චාරිත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න ඔවුන් පෙලඹෙනවා.

යෙහෝවා දෙවි “අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට” අපව කැඳවා තිබීම මොන තරම් භාග්‍යයක්ද! (1 පේතෘස් 2:9) දරුවෙකු ඉපදීම ප්‍රීතියක්. කෙනෙකු මිය යෑම දරාගැනීමට අමාරු දුකක්. ඒ කුමන අවස්ථාවට මුහුණ දෙන්න සිදු වුණත් අපි හරි දේ කිරීමට අදිටන් කරගනිමු. අප යෙහෝවා දෙවිට ගැඹුරින් ප්‍රේම කරන නිසා “ආලෝකයේ දරුවන් මෙන් දිගටම . . . ගමන් කරමින්” සිටිමු. අපි කිසිම අවස්ථාවකදී දෙවිව අසතුටු කරවන චාරිත්‍ර වාරිත්‍රවලින් අපවිත්‍ර නොවී සිටීමට වගබලා ගනිමු.—එෆීස 5:8.

[පාදසටහන]

^ 23 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? යන ප්‍රකාශනය බලන්න.