Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රියා 7:59හි සඳහන් ස්තේපන් හඬ නඟා පැවසූ වදන්වලින් අදහස් කරන්නේ අප යාච්ඤා කළ යුත්තේ යේසුස්ට බවද?

ක්‍රියා 7:59හි මෙසේ සඳහන් වේ. “‘ස්වාමීන් වන යේසුස්, මාගේ ආත්මය පිළිගන්න’ යයි කියමින් ස්තේපන් අයැදිමින් සිටියදී ඔවුහු ඔහුට ගල් ගැසුවෝය.” යෙහෝවාව ‘යාච්ඤා අසන තැනැත්තා’ ලෙස හඳුන්වා තිබෙන නිසා සමහරුන් තුළ ප්‍රශ්නයක් ඇතිවීමට ඉහත වදන් හේතු වී තිබේ. (ගීතාවලිය 65:2) ස්තේපන් ඇත්තටම යාච්ඤා කළේ යේසුස්ටද? යේසුස් යෙහෝවාට සමාන බව එයින් අදහස් කරනවාද?

කිං ජේම්ස් බයිබලයේ සඳහන් වන්නේ ස්තේපන් ‘දෙවිට හඬගැසූ’ බවයි. මේ වගන්තිය පිළිබඳව බොහෝදෙනෙකුගේ නිගමනය මෙන් බයිබල් විචාරකයෙකු වන මැතිව් හෙන්රිගේ නිගමනය වූයේද මෙයයි. “ඒ අවස්ථාවේදී ස්තේපන් යේසුස්ට යාච්ඤා කළ අතර අපද එසේ කළ යුතුයි.” කෙසේවෙතත් මේ නිගමනය වැරදියි. මෙයට හේතුව කුමක්ද?

බයිබල් විවරණයක (Barnes’ Notes on the New Testament) අවංකව මෙසේ පිළිගනු ලැබුවේය. “දෙවි යන වචනය මුල් පිටපතේ නැත. එනිසා පරිවර්තනයේද එය නොතිබිය යුතුයි. දෙවි යන වචනය කිසිම පැරණි [අත්පිටපතක] හෝ අනුවාදයක නැත.” එසේනම් “දෙවි” යන වචනය ඒ වගන්තියට ඇතුළත් වූයේ කෙසේද? විද්වතෙකු වන අබියල් ඇබට් ලිවර්මොර් එය හැඳින්වූයේ “නිකායවාදී පරිවර්තකයන්ගේ අදහසක්” බවයි. එමනිසා නූතන පරිවර්තන බොහොමයක දෙවි පිළිබඳ මෙම අසත්‍ය අදහස ඉවත් කර තිබේ.

ඒ කෙසේවෙතත් බොහෝ අනුවාදවල ස්තේපන් යේසුස්ට යාච්ඤා කළ බව සඳහන් වේ. යොමුසටහන් සහිත නව ලොව පරිවර්තනයේ (සිංහලෙන් නොමැත) “අයැදිනවා” යන වචනයට “ආයාචනා කිරීම හෝ යාච්ඤා කිරීම” යන අර්ථයද තිබෙන බව පාද සටහනේ සඳහන් වේ. යේසුස් සර්ව බලධාරී දෙවි බව ඉන් අදහස් කරනවාද? නැත. තවත් බයිබල් විවරණයක (Vine’s Expository Dictionary of Old and New Testament Words) විස්තර කරන්නේ ඉහත බයිබල් වගන්තියේ භාවිත කර තිබෙන මුල් ග්‍රීක වචනය එපිකලීයෝ යන්නයි. මෙම ග්‍රීක වචනයෙන් අදහස් වන්නේ “යම් ඉල්ලීමක් හෝ ආයාචනයක්, . . . බලය ලත් කෙනෙකුගෙන් කරන අයැදීමක්.” “මම සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලමි!” කියා පාවුල් පැවසූ අවස්ථාවේදී ඔහු භාවිත කළේද එම ග්‍රීක වචනයයි. (ක්‍රියා 25:11) මේ අනුව එක් බයිබල් පරිවර්තනයක (The New English Bible) ස්තේපන් යේසුස්ට “හඬගැසුවා” කියා සඳහන් කර තිබීම යෝග්‍යයි.

ස්තේපන් මෙවැනි ඉල්ලීමක් කළේ ඇයි? ස්තේපන් “අහස දෙස බැලූ විට, ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටි නිසා දෙවිගේ තේජසද දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටගෙන සිටිනවාද දුටුවේය” කියා ක්‍රියා 7:55, 56හි සඳහන් වේ. සාමාන්‍යයෙන් ස්තේපන් ඔහුගේ අයැදීම් කළ යුතුව තිබුණේ යේසුස්ගේ නාමයෙන් යෙහෝවාටයි. එහෙත් ඒ දර්ශනයෙන් නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ව ස්තේපන් දුටු නිසා “ස්වාමීන් වන යේසුස්, මාගේ ආත්මය පිළිගන්න” කියා කෙළින්ම යේසුස්ට ආයාචනා කරන්න ඔහුට හිතෙන්න ඇති. මිය ගොස් සිටින අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය දී තිබෙන බව ස්තේපන් දැනගෙන සිටියේය. (යොහන් 5:27-29) ස්වර්ගයේ සදහටම ජීවත් වීම සඳහා යේසුස් තමන්ව නැවත නැඟිටුවන දවස දක්වා තමාගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්ෂා කිරීමට ඔහු යේසුස්ගෙන් ඉල්ලා සිටියේය.

ස්තේපන් පැවසූ ඒ වචන ස්වල්පය යේසුස්ට යාච්ඤා කිරීම සඳහා පූර්වාදර්ශයක් සපයනවාද? කොහෙත්ම නැත. “මනුෂ්‍ය පුත්‍රයා දෙවිගේ දකුණු පැත්තේ සිටගෙන සිටිනවා” ස්තේපන් දුටුවා කියා වාර්තාවේ සඳහන් වන නිසා ඔහු යේසුස්ව යෙහෝවාගෙන් වෙන් කර හඳුනාගත් බව පැහැදිලියි. මේ හා සමාන ප්‍රකාශයක් යේසුස්ට කළ අනිත් තැනැත්තා නම් ප්‍රේරිත යොහන්ය. ඔහු යේසුස්ව දර්ශනයකදී දුටු විට ස්තේපන් ඇමතූ ආකාරයට සමානව යොහන්ද යේසුස්ව ඇමතුවේය. මෙවැනි සිදුවීම් ඉතා විරලය.—එළිදරව් 22:16, 20.

අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන් යාච්ඤා කරන්නේ යෙහෝවා දෙවිට පමණක් වුවත් “නැවත නැඟිටීමත් ජීවනයත්” වන යේසුස් කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ නොසැලෙන ඇදහිල්ලක්. (යොහන් 11:25) මිය ගොස් සිටින තම අනුගාමිකයන්ව නැවත නැඟිටුවන්න යේසුස්ට තිබෙන හැකියාව කෙරෙහි ඇදහිල්ල තැබීම පීඩාකාරී කාලවලට හොඳින් මුහුණ දෙන්න ස්තේපන්ට උපකාරවත් විය. ඒ හා සමානව, පීඩාකාරී කාලවලට හොඳින් මුහුණ දීමට එවන් ඇදහිල්ලක් අපටත් උපකාරවත් වේ.