Skip to content

පටුනට යන්න

මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිද?

මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිද?

මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිද?

“ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) මිනිස් චර්යාව පිළිබඳ මෙම මූලික ප්‍රතිපත්තිය බොහෝ ආගම්වල පිළිගැනේ. නමුත් තම අසල්වැසියන්ට ප්‍රේම කළ යුතු ආකාරය මෙම ආගම් මගින් පැහැදිලිව උගන්වා තිබුණා නම්, ඒවායේ සාමාජිකයන් එක්සත්කමින් එකට බැඳී සිටිනවා ඇත. එහෙත්, ආගම්වල සාමාජිකයන් අතර එවැනි බැඳීමක් ඔබ දැක තිබෙනවාද? ආගම් මිනිසාගේ එක්සත්කමට දායක වී ඇද්ද? ජර්මනියේ මෑතකදී කරන ලද සමීක්ෂණයකදී අසනු ලැබූ ප්‍රශ්නය මෙයයි. “ආගම් මිනිසුන්ව එක්සත් කරනවාද? නැත්නම් මිනිසුන් අතර බෙදීම් ඇති කරනවාද?” මීට සහභාගි වූ අයගෙන් සියයට 22ක්, ආගම් මිනිසුන්ව එක්සත් කරන බව කීවත්, සියයට 52ක්ම කීවේ ආගම් මිනිස් වර්ගයා අතර බෙදීම් ඇති කරන බවයි. සමහරවිට ඔබ වෙසෙන රටේ ජනයාටද බොහෝ දුරට මෙසේ හැඟෙනවා විය හැකියි.

මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිය කියා බොහෝදෙනෙක් එතරම් විශ්වාස නොකරන්නේ මන්ද? සමහරවිට අතීතයේ සිදු වූ ඇතැම් දේවල් ගැන ඔවුන් දන්නා නිසා විය හැකියි. ජනයාව එකට එක්සත් කරනවා වෙනුවට, ආගම් බොහෝවිට කර තිබෙන්නේ මිනිසාව තව තවත් එකිනෙකාගෙන් ඈත් කිරීමයි. ඇතැම් අවස්ථාවලදී අතිදරුණු ක්‍රියා සිදු කර තිබෙන්නේ ආගම නමැති කඩතුරාව පිටුපස සිටයි. පසුගිය වසර 100 පුරා පමණක් සිදු වී තිබෙන මෙවැනි සිද්ධීන් කිහිපයක් සලකා බලන්න.

ආගම්වල බලපෑම

දෙවෙනි ලෝක යුධ සමය තුළ, බෝල්කන් අර්ධද්වීපයේ සිටි රෝමානු කතෝලික ක්‍රෝඒෂියන්වරුන් සහ ඕතඩොක්ස් සර්බිවරුන් අතර ප්‍රබල ගැටුම් ඇති විණි. තමාගේ අසල්වාසියාට ප්‍රේම කරන්නැයි තම අනුගාමිකයන්ට ඉගැන්වූ යේසුස්ව තමන් අනුගමනය කරන බවට මෙම දෙපාර්ශ්වයම කියා සිටියහ. එහෙත්, ඔවුන්ගේ ගැටුම් “මිනිස් ඉතිහාසයේ සිදු වූ අතිභයානකම සමූල ඝාතනයක්” බව එක් පර්යේෂකයෙක් පැවසීය. මෙම ඝාතනවලදී පුරුෂයන්, කාන්තාවන් හා දරුවන් 5,00,000කට වඩා මරා දැමීම ගැන මුළු ලොවම භීතියෙන් වෙළී යන්නට විය.

වර්ෂ 1947දී ඉන්දියානු අර්ධ මහද්වීපය ලෝක ජනගහනයෙන් පහෙන් එකකගේ, එනම් මිලියන 400කගෙන් සමන්විත ජනකායකගේ නිවහන විය. මීට ප්‍රධාන වශයෙන් ඇතුළත් වූයේ හින්දු භක්තිකයන්, මුස්ලිම්වරුන් සහ සීක් ජාතිකයන්ය. ඉන්දියාව බෙදනු ලැබූ විට, පකිස්ථානය බිහි වූ අතර, ඉස්ලාම් ධර්මය එහි ප්‍රධාන ආගම විය. ඒ කාලයේදී, රටවල් දෙකේම සරණාගතයෝ සිය දහස් ගණනක් අතිදරුණු ආගමික සමූල ඝාතනවලට ගොදුරු වූහ. ඔවුන්ව මරා දමනු ලැබුවේ, පුලුස්සා දැමීමෙන්, පහර දීම්වලට, වධ හිංසාවලට සහ වෙඩි තැබීම්වලට ලක් කරමිනි.

ඉහත සඳහන් කම්පා කරවන සිද්ධීන්වලට අමතරව, මේ සියවස උදාවීමත් සමඟම ත්‍රස්තවාදයේ තර්ජනවලට අපි මුහුණ දෙමින් සිටිමු. දැන් ත්‍රස්තවාදය ගැන මුළු ලොවම සිටින්නේ දැඩි සෝදිසියකිනි. තවද මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් තමන් යම් ආගමකට සම්බන්ධ වී සිටින බව කියා සිටිත්. මේ නිසා, ආගම් එක්සත්කමට රුකුල් දෙන බලවේගයක් ලෙසට තවදුරටත් සැලකෙන්නේ නැත. ඒ වෙනුවට, ජනයා බොහෝවිට ආගම් සම්බන්ධ කරන්නේ ප්‍රචණ්ඩත්වය සහ අසමගිය සමඟයි. මේ හේතුවෙන් එක්තරා ජර්මානු සඟරාවක් මේ ලොවේ ප්‍රධාන ආගම් මිනිසා අතර ගැටුම් ඇති කරන බලවේගයන් බව සඳහන් කිරීම පුදුමයට කරුණක් නොවේ.

අභ්‍යන්තර ආරවුල්

සමහරක් ආගම් එකිනෙකා සමඟ යුද්ධ කරද්දී, තවත් ආගම් අභ්‍යන්තර ආරවුල්වල පැටලැවී සිටිති. නිදසුනක් වශයෙන් මෑත කාලවලදී මූලධර්ම සම්බන්ධයෙන් දිගින් දිගටම ඇදී යන වාද විවාද නිසා ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සාමාජිකයන් අතර බෙදීම් ඇති වී තිබේ. ගිහියෝ මෙන්ම පැවිදි පක්ෂයද එක හා සමානව මෙසේ ප්‍රශ්න කරති. උපත් පාලනයට ඉඩ දිය යුතුද? ගබ්සාවට අවසර දිය යුතුද? කාන්තාවන්ව පූජකවරයට පත් කළ යුතුද? පල්ලිය සමලිංගික සේවනය ගැන කුමන මතයක් දැරිය යුතුද? යුද්ධ කිරීම හරිය කියා ආගම් කිව යුතුද? මේ කාරණා සම්බන්ධයෙන් එකම ආගමේ අය අතර පවා පරස්පර විරෝධී අදහස් තිබෙන නිසා, ‘යම් ආගමක සමාජිකයන් බෙදී සිටිනවා නම් මිනිස් වර්ගයාව එක්සත් කිරීමට එම ආගමට හැක්කේ කෙසේද’ කියා බොහෝදෙනෙක් කල්පනා කරති.

එසේනම්, මිනිසාව එක්සත් කිරීමට ආගම්වලට නොහැකි වී තිබෙන බව රහසක් නොවේ. නමුත් සියලුම ආගම්වල අභ්‍යන්තර භේද තිබෙනවාද? මිනිස් වර්ගයාව එක්සත් කළ හැකි ආගමක් තිබෙනවාද?

[3වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1947දී ඉන්දියාවේ ආගමික කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූ පොලිස් භටයෝ

[හිමිකම් විස්තර]

ඡායාරූපය Keystone/Getty Images විසිනි