Skip to content

පටුනට යන්න

යේසුස් තැබූ ආදර්ශය අනුගමනය කරන්න

යේසුස් තැබූ ආදර්ශය අනුගමනය කරන්න

යේසුස් තැබූ ආදර්ශය අනුගමනය කරන්න

“මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි.”—යොහන් 13:15.

1. ක්‍රිස්තියානීන් විසින් අනුකරණය කිරීම සඳහා යේසුස් ආදර්ශයක් වන්නේ ඇයි?

මිනිස් ඉතිහාසයේ, තම ජීවිත කාලය පුරාම කිසිම පාපයක් නොකර සිටියේ එක මිනිසෙක් පමණයි. ඒ යේසුස්. ඔහු හැර, “පව් නොකරන කෙනෙකු නැත.” (1 රාජාවලිය 8:46; රෝම 3:23) මේ නිසා, සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ව සලකන්නේ තමන්ට අනුකරණය කළ හැකි පරිපූර්ණ ආදර්ශයක් හැටියටයි. ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14වන දා, සිය මරණයට මොහොතකට පෙර යේසුස් තමාව අනුකරණය කරන ලෙස තම අනුගාමිකයන්ට පැවසුවා. ඔහු පැවසුවේ මෙහෙමයි. “මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට වූ ආදර්ශය මම ඔබට දුනිමි.” (යොහන් 13:15) ක්‍රිස්තියානීන් තමාව අනුකරණය කිරීමට වෑයම් කළ යුතු ආකාර කිහිපයක් ගැන යේසුස් අන්තිම රාත්‍රියේදී සඳහන් කළා. මේ ලිපියේදී අප එම ආකාර කිහිපයක් ගැන සලකා බලනවා.

යටහත් පහත් වීමේ අවශ්‍යතාව

2, 3. යටහත් පහත්කම සම්බන්ධයෙන් යේසුස් පරිපූර්ණ ආදර්ශයක් තැබුවේ කිනම් ආකාරවලින්ද?

2 තමා විසින් තැබූ ආදර්ශය අනුගමනය කරන ලෙස සිය ගෝලයන්ව දිරිගැන්වූ අවස්ථාවේදී යේසුස් විශේෂයෙන්ම කතා කරමින් සිටියේ යටහත් පහත්කම ගැනයි. අවස්ථා ගණනාවකදීම ඔහු සිය ගෝලයන්ට යටහත් පහත් වෙන්න කියා උපදෙස් දී තිබුණා. එමෙන්ම, නීසාන් මාසයේ 14වෙනි දා ඔහු තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමෙන් තමාද යටහත් පහත් පුද්ගලයෙක් බව පෙන්නුවා. ඉන්පසුව ඔහු පැවසුවේ මෙහෙමයි. “ස්වාමීන්ද ගුරුතුමාද වන මා ඔබේ පාද සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.” (යොහන් 13:14) ඉන් අනතුරුව, ඔහු තම ප්‍රේරිතයන්ට පැවසුවේ තමා තැබූ ආදර්ශය අනුගමනය කරන්න කියායි. ඇත්තෙන්ම යටහත් පහත්කම සම්බන්ධයෙන් ඔහු තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

3 යේසුස් පොළොවට පැමිණීමට පෙර “දෙවිගේ ස්වරූපය දැරූ” බව ප්‍රේරිත පාවුල් අපට පවසනවා. එහෙත් ඔහු ඒ සියල්ල අත්හැර යටහත් පහත් මිනිසෙක් ලෙස පොළොවට පැමිණියා. ඒ විතරක් නොවෙයි, ඔහු “මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය.” (ෆිලිප්පි 2:6-8) ටිකක් මේ ගැන සිතා බලන්න. මුළු විශ්වයේම යෙහෝවාට දෙවෙනිව සිටින තැනැත්තා වන යේසුස් දේවදූතයන්ට වඩා පහත් වීමටත්, බිලිඳෙක් ලෙස උපත ලැබීමටත්, අසම්පූර්ණ දෙමාපියන්ට යටත්ව හැදී වැඩීමටත් අන්තිමේදී නින්දිත අපරාධකාරයෙකු මෙන් මිය යෑමටත් කැමති වුණා. (කොලොස්සි 1:15, 16; හෙබ්‍රෙව් 2:6, 7) මොන තරම් යටහත් පහත් වීමක්ද! එසේනම්, ඒ “මානසික ආකල්පයම” අනුකරණය කරමින් දිගටම එවන් ‘යටහත් පහත් මනසක්’ ඇතුව සිටීමට අපටත් පුළුවන්ද? (ෆිලිප්පි 2:3-5) ඔව්, නමුත් එය ලෙහෙසි පහසු දෙයක් නම් නොවෙයි.

4. මිනිසුන් උඩඟු වෙන්නේ මොන දේවල් නිසාද? උඩඟුකම හානිදායක වන්නේ ඇයි?

4 යටහත් පහත්කමේ විරුද්ධ දේ නම් උඩඟුකමයි. (හිතෝපදේශ 6:16-19) සාතන්ගේ විනාශයට හේතු වුණේ උඩඟුකමයි. (1 තිමෝති 3:6) මිනිසෙකුගේ සිතේ උඩඟුකම හටගත්තාම එය ඉවත් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. මිනිසුන් බොහෝ කාරණා නිසා උඩඟු වෙනවා. එම කාරණාවලට, තමන්ගේ රට, ජාතිය, දේපළ වස්තුව, අධ්‍යාපනය, තනතුරු, සමාජ තත්වය, පෙනුම, තම ක්‍රීඩා හැකියාවන් යනාදිය ඇතුළත්. එහෙත්, මේ එකක්වත් යෙහෝවාට වැදගත් නැහැ. (1 කොරින්ති 4:7) අප මේවා නිසා උඩඟු වෙනවා නම් අපත් යෙහෝවාත් අතර තිබෙන සම්බන්ධයට ඉන් සිදු වන්නේ හානියක්. “යෙහෝවා උසස් නමුත් පහත් තැනැත්තා සලකන්නේය. එහෙත් උඩඟු තැනැත්තා දුරදීම දන්නේය.”—ගීතාවලිය 138:6; හිතෝපදේශ 8:13.

අපගේ සහෝදරයන් සමඟ යටහත් පහත්ව

5. වැඩිමහල්ලන් යටහත් පහත් අය වීම ඉතා වැදගත් වන්නේ ඇයි?

5 අප යෙහෝවාගේ සේවයට දක්වා ඇති දායකත්වය නිසාවත් එම සේවය තුළ අත් කරගෙන තිබෙන දේවල් නිසාවත් සභාවේ අප දරන වගකීම් නිසාවත් අප උඩඟු නොවිය යුතුයි. (1 ලේකම් 29:14; 1 තිමෝති 6:17, 18) ඇත්තෙන්ම අප දරන වගකීම් බැරෑරුම් වෙන්ට වෙන්ට අප වඩ වඩාත් යටහත් පහත් විය යුතුයි. ප්‍රේරිත පාවුල් වැඩිමහල්ලන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ, ‘දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වන්න’ කියායි. (1 පේතෘස් 5:3) වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ සේවකයන් වීමට හා රැළට ආදර්ශයක් වීමට මිස අධිපතීන් හා පාලකයන් වීමට නොවෙයි.—ලූක් 22:24-26, 2 කොරින්ති 1:24.

6. ක්‍රිස්තියානියෙක් ලෙස ජීවත් වීමේදී අපට යටහත් පහත්කම අවශ්‍ය වන්නේ කුමන පැතිවලදීද?

6 යටහත් පහත් විය යුත්තේ වැඩිමහල්ලන් පමණක්ම නොවෙයි. යෞවනයන්ට වයසක අයට වඩා ඉක්මනින් සිතීමේ හැකියාව සහ ශාරීරික ශක්තිය තිබෙන නිසා ඔවුන් උඩඟු විය හැකියි. එවැනි අයට පේතෘස් ලීවේ මෙහෙමයි. “ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී යටහත් පහත් මනසකින් සැරසී සිටින්න. මන්ද, දෙවි උඩඟු අයට විරුද්ධව සිටින්නේය. නමුත් ඔහු යටහත් අයට මහත් කරුණාව දෙන්නේය.” (1 පේතෘස් 5:5) ඔව්, ඇත්තෙන්ම ක්‍රිස්තුස් විදහා පෑ යටහත් පහත්කම සියලුදෙනාම විදහා පෑම අතිශයින් වැදගත්. උනන්දුවක් නොදක්වන හෝ අපගේ සේවයට විරුද්ධ වෙන අය වෙසෙන ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කිරීමට විශේෂයෙන් යටහත් පහත්කම අවශ්‍යයි. ඒ වගේම උපදෙස් පිළිගැනීමටත් දේවසේවය තුළ වැඩියෙන් සහභාගි වීම සඳහා අපගේ ජීවිත වඩාත් සරල කරගැනීමටත් අපට අවශ්‍ය වන්නේ යටහත් පහත්කමයි. මීට අමතරව, අපට විරුද්ධව බොරු ප්‍රචාර එල්ල වන විට, අපට විරුද්ධව නීතිය යොදාගන්නා විට හෝ දරුණු පීඩාවලට මුහුණ දෙන විට, ඒවා විඳදරාගැනීමට අපට යටහත් පහත්කම මෙන්ම නොසැලෙන ඇදහිල්ලක් අවශ්‍යයි.—1 පේතෘස් 5:6.

7, 8. අපට යටහත් පහත්කම වර්ධනය කරගත හැකි සමහරක් ක්‍රම මොනවාද?

7 යම් පුද්ගලයෙකුට උඩඟුකමින් ජයගැනීමටත් ‘යටහත් පහත් මනසකින් යුක්තව තමාට වඩා අන් අය උතුම්යයි සැලකීමටත්’ හැක්කේ කොහොමද? (ෆිලිප්පි 2:3) යෙහෝවා තමා දෙස බලන ආකාරයට ඔහුත් තමා දෙස බැලිය යුතුයි. යමෙකුට තිබිය යුතු හරි ආකල්පය ගැන යේසුස් පැවසුවේ මෙහෙමයි. “ඔබත්, ඔබට පවරා තිබෙන සියල්ල කළ පසු, ‘අපි කිසි කමකට නැති දාසයෝය. අප කර තිබෙන්නේ අප විසින් කළ යුතුව තිබුණු දේ’ යයි කියන්න.” (ලූක් 17:10) අපට කළ හැකි දේට වඩා බොහෝ දේවල් යේසුස් කළ බව මතක තබාගන්න. එහෙත් යේසුස් යටහත් පහත්ව සිටියා.

8 අප ගැන හරි ආකල්පයක් වර්ධනය කරගැනීමට යෙහෝවාගේ උපකාර ඉල්ලා අපට යාච්ඤා කරන්නටත් පුළුවන්. ගීතිකාකරු කළාක් මෙන් අපටද මෙසේ යාච්ඤා කළ හැකියි. “යහපත් විනිශ්චයත් ඥානයත් මට ඉගැන්නුව මැනව. මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කළෙමි.” (ගීතාවලිය 119:66) අප ගැන ඥානවන්තව සිතීමටත් සමබර ආකල්පයක් වර්ධනය කරගැනීමටත් යෙහෝවා අපට උපකාර කරයි. ඒ වගේම අපගේ යටහත් පහත් ආකල්පයටත් ඔහු ආශීර්වාද කරනවා නියතයි. (හිතෝපදේශ 18:12) යේසුස් පැවසුවේ මෙහෙමයි. “තමන්වම උසස් කරගන්නා කවරෙක් නමුත් පහත් කරනු ලබන්නේය. තමන්වම පහත් කරගන්නා කවරෙක් නමුත් උසස් කරනු ලබන්නේය.”—මතෙව් 23:12.

හරි වැරැද්ද ගැන නිසි ආකල්පයක්

9. හරි දේ සහ වැරදි දේ ගැන යේසුස්ගේ ආකල්පය වූයේ මොකක්ද?

9 යේසුස් අසම්පූර්ණ මිනිසුන් අතර වසර 33ක් පුරා ජීවත් වුණත් ඔහු තුළ ‘කිසි පාපයක් තිබුණේ නැහැ.’ (හෙබ්‍රෙව් 4:15) මෙසියස් ගැන අනාවැකියක් කියමින් ගීතිකාකරු පැවසුවේ මෙහෙමයි. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව දුෂ්ටකමට ද්වේෂ කළේය.” (ගීතාවලිය 45:7; හෙබ්‍රෙව් 1:9) මේ කාරණයේදීද ක්‍රිස්තියානීන් යේසුස්ව අනුකරණය කිරීමට දරන්නේ දැඩි උත්සාහයක්. ඔවුන් හරි වැරැද්ද අතර තිබෙන වෙනස දන්නවා පමණක් නොව, ඔවුන් වැරදි දෙයට ද්වේෂ කරමින් හරි දේට ප්‍රේම කරනවා. (ආමොස් 5:15) තමන්ට උරුම වී තිබෙන පාපතර නැඹුරුවාවන්ට එරෙහිව සටන් කිරීමට මෙය ඔවුන්ට උපකාරවත් වෙනවා.—උත්පත්ති 8:21; රෝම 7:21-25.

10. පසුතැවිල්ලකින් තොරව “පිළිකුල් ක්‍රියාවල” නියැලෙනවා නම් අප ඉන් පෙන්වන්නේ කුමන ආකල්පයක්ද?

10 යේසුස් පරිසිවරයෙකු වූ නිකදේමස්ට පැවසුවේ මෙහෙමයි. “පිළිකුල් ක්‍රියාවල නියැලෙන තැනැත්තා ආලෝකයට වෛර කර, තම ක්‍රියා වැරදි බව හෙළි නොවන පිණිස ආලෝකයට නොපැමිණෙයි. නමුත් සැබෑ දේ කරන තැනැත්තා, තම ක්‍රියා දෙවිගේ කැමැත්තට එකඟව සිදු කර තිබෙන බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට පැමිණෙයි.” (යොහන් 3:20, 21) මේ ගැන සිතන්න: යොහන් යේසුස්ව හැඳින්වූයේ, “සියලු ආකාරයේ මිනිසුන්ට ආලෝකය ගෙන දෙන සැබෑ ආලෝකය” ලෙසටයි. (යොහන් 1:9, 10) එහෙත්, යේසුස් පැවසුවේ අප “පිළිකුල් ක්‍රියාවල,” එනම් දෙවිට පිළිගත නොහැකි වැරදි ක්‍රියාවල නියැලෙනවා නම් අප ආලෝකයට වෛර කරන බවයි. යේසුස්ට සහ ඔහුගේ ප්‍රමිතිවලට ද්වේෂ කිරීම ගැන ඔබට සිතාගන්නටවත් පුළුවන්ද? එහෙත්, පසුතැවිලි නොවී පුරුද්දක් හැටියට පව් කරන අය කරන්නේ එයයි. සමහරවිට තමන් යේසුස්ට හා ඔහුගේ ප්‍රමිතිවලට ද්වේෂ කරන්නේ නැහැ කියා ඔවුන් සිතනවා විය හැකියි. නමුත් යේසුස් සලකන්නේ එවැනි අය තමාටත් තමාගේ ප්‍රමිතිවලටත් ද්වේෂ කරන බවයි.

යේසුස් හරි වැරැද්ද දෙස බලන ආකාරයටම බැලීම

11. අප හරි දේ සහ වැරදි දේ පිළිබඳව යේසුස්ගේ ආකල්පයම වර්ධනය කරගැනීමට නම් අතිශයින් වැදගත් වන්නේ කුමක් කිරීමද?

11 යෙහෝවාගේ දෘෂ්ටිකෝණයට අනුව හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් අපට තිබිය යුතුයි. අපට ඒ අවබෝධය ලැබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලය අධ්‍යයනය කිරීමෙන් පමණයි. අප එවන් අධ්‍යයනයක් කරනවා නම් ගීතිකාකරු යාච්ඤා කළාක් මෙන් අපද මෙසේ යාච්ඤා කළ යුතුයි. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව, ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4) එහෙත් සාතන් රැවටිලිකාරයෙක් බව මතක තබාගන්න. (2 කොරින්ති 11:14) නොසැලකිලිමත් ක්‍රිස්තියානියෙකුට වැරදි දේ හරි දෙයක් ලෙස පෙනෙන්න සලස්වන්න ඔහුට පුළුවන්. මේ නිසා අප ඉගෙනගන්නා දේවල් අප ගැඹුරින් මෙනෙහි කළ යුතුයි. ඒ වගේම, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන උපදෙස්වලට හොඳින් අවනත විය යුතුයි. (මතෙව් 24:45-47) අප අධ්‍යයනය කරනවා නම්, යාච්ඤා කරනවා නම්, ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරනවා නම්, එය අපට ආත්මික මේරුභාවය අත් කරගැනීමට උපකාරී වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව ඇති අය” බවට අපි පත් වෙනවා. (හෙබ්‍රෙව් 5:14) වැරදි දේට ද්වේෂ කොට හරි දේට ඇලුම් කිරීමට අප තුළ නැඹුරුවාවක් ඇති වෙන්නේ එවිටයි.

12. පුරුද්දක් ලෙස වැරදි දේවල් නොකිරීමට අපට උපකාරවත් වන්නේ කිනම් බයිබල් උපදේශයද?

12 අප වැරදි දේට ද්වේෂ කරනවා නම් අපේ සිත් තුළ වැරදි දේවල් කෙරෙහි ආශාවක් ටිකෙන් ටික වර්ධනය වීමට අප ඉඩහරින්නේ නැහැ. යේසුස්ගේ මරණින් වසර ගණනාවකට පසුව ප්‍රේරිත යොහන් ලීවේ මෙහෙමයි. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද, ලෝකයේ තිබෙන සියල්ල—එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්—පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය.”—1 යොහන් 2:15, 16.

13, 14. (අ) ක්‍රිස්තියානීන් ලෝකයේ තිබෙන දේවලට ඇලුම් කිරීම අනතුරුදායක වන්නේ වෙන්නේ ඇයි? (ආ) ලෝකයේ තිබෙන දේවලට ප්‍රේමයක් වර්ධනය කර නොගැනීමට අපට හැක්කේ කොහොමද?

13 ලෝකයේ තිබෙන හැම දෙයක්ම වැරදි නැහැ කියා ඇතැම් අය කියන්න පුළුවන්. එසේ වුණත්, සාතන්ගේ ලෝකයේ සහ එහි තිබෙන ආකර්ෂණීය දේවල් ඉතා පහසුවෙන්ම යෙහෝවාට අප කරන සේවයෙන් අපව ඈත් කරන්න පුළුවන්. ඇරත් මේ ලෝකයේ තිබෙන කිසිම දෙයක් අපව දෙවිට තව තවත් ළං කරවන්නේ නැහැ. මේ නිසා, මේ ලෝකයේ තිබෙන යම් දේවල් වැරදි නැති වුණත් ඒවා කෙරෙහි ඇල්මක් අප තුළ ටිකෙන් ටික ඇති වෙනවා නම් අප සිටින්නේ අනතුරුදායක මාවතකයි. (1 තිමෝති 6:9, 10) ඒ විතරක් නොවෙයි, ලෝකයේ තිබෙන බොහෝ දේවල් ඉතාම නරකයි. ඒවායින් අපේ සිතිවිලි දූෂණය විය හැකියි. ප්‍රචණ්ඩකාරිත්වය, දේපළ සැප සම්පත් කෙරෙහි ඇති ඇල්ම හෝ ලිංගික දුරාචාරය ඉස්මතු කොට දක්වන චිත්‍රපට හෝ රූපවාහිනි වැඩසටහන් අප නරඹනවා නම්, එම දේවල් වැරදි නැහැ කියා අප සිතන්න පෙලඹෙනවා. ඒ විතරක් නොවෙයි, එවැනි දේවල් කෙරෙහි අප තුළ ආශාවක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. සමහරුන්ගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය තම ජීවන රටාව තව තවත් උසස් තත්වයකට ගෙන ඒමයි. තවත් අය නිතරම උත්සාහ කරන්නේ අලුතින් ව්‍යාපාර පටන්ගැනීමේ ක්‍රම සෙවීමටයි. අප මෙවන් පුද්ගලයන් සමඟ ඇසුරු කරනවා නම් අපගේ ජීවිතවලද එවන් දේවල් වැදගත්ම දේවල් බවට පත්වීමට ඉඩ තිබෙනවා.—මතෙව් 6:24; 1 කොරින්ති 15:33.

14 අනෙක් අතට අප යෙහෝවාගේ වචනයට ඇලුම් වෙනවා නම්, “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්” වෙතට අපේ නෙත් සිත් ඇදී යන්නේ නැහැ. ඒ වගේම, අප දෙවිගේ රාජ්‍යය පළමු තැනට දමන අයව ඇසුරු කරනවා නම් අපත් ඔවුන් හා සමාන වෙනවා. එනම්, ඔවුන් ප්‍රේම කරන දේට අපත් ප්‍රේම කරනවා. ඔවුන් වැළකී සිටින දෙයින් අපත් වැළකී සිටිනවා.—ගීතාවලිය 15:4; හිතෝපදේශ 13:20.

15. යේසුස් මෙන් අපත් ධර්මිෂ්ඨකමට ප්‍රේම කොට නීති විරෝධි ක්‍රියාවලට ද්වේෂ කිරීමෙන් ශක්තියක් ලබන්නේ කොහොමද?

15 යේසුස්ට නීති විරෝධි ක්‍රියාවලට ද්වේෂ කරමින් ධර්මිෂ්ඨකමට ප්‍රේම කළා. ඒ නිසා යේසුස්ට හැකි වුණා, “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” දෙස ඔහුගේ නෙත් යොමා තබන්නට. (හෙබ්‍රෙව් 12:2) අපටත් එසේම කරන්නට පුළුවන්. ‘ලෝකයත් එහි ආශාවත් පහව යන’ බව අපි දන්නවා. මේ ලෝකය ඉදිරිපත් කරන වින්දනය බොහොම තාවකාලික එකක්. එහෙත්, “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:17) යේසුස් දෙවිගේ කැමැත්ත කළ නිසා මිනිසුන්ට සදාකාල ජීවනය ලැබිය හැකි මාර්ගය විවෘත කිරීමට ඔහුට හැකි වුණා. (1 යොහන් 5:13) අපි සියලුදෙනාම ඔහුව අනුකරණය කිරීම තුළින් ඔහු විශ්වාසවන්තව ගත කළ ජීවිතයෙන් ප්‍රයෝජන ලබමු.

පීඩා විඳදරාගැනීම

16. එකිනෙකාට ප්‍රේම කරන මෙන් යේසුස් තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

16 තම ගෝලයන් විසින් තමාව අනුකරණය කළ හැකි තවත් ක්‍රමයක් ගැන යේසුස් පෙන්වා දුන්නා. ඔහු ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “මාගේ ආඥාව නම්, මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 15:12, 13, 17) තම සහෝදරයන්ට ප්‍රේම කිරීමට ක්‍රිස්තියානීන්ට හේතු බොහොමයක් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී, ප්‍රධානකොටම යේසුස්ගේ මනසේ තිබුණේ ඔවුන්ට ලෝකයෙන් එල්ල වන වෛරය ගැනයි. යේසුස්ද අනුන්ගේ වෛරය නිසා පීඩාවලට ලක් වුණා. එම දේම තම ගෝලයන්ටත් අද්දැකීමට සිදු වෙන බව යේසුස් කීවා. මේ නිසා එම වෛරය හමුවේ නොසැලී ස්ථිරව සිටීම සඳහා ශක්තිමත් ප්‍රේමණීය බන්ධනයක් ඔවුන්ට අවශ්‍යයි. මන්ද යේසුස් පැවසුවේ මෙසේයි. “ලෝකය ඔබට වෛර කරනවා නම්, ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ දන්නහුය. දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේ. . . . ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය.”—යොහන් 15:18, 19.

17. ලෝකය සැබෑ ක්‍රිස්තියානීන්ට වෛර කරන්නේ ඇයි?

17 ලෝකය ක්‍රිස්තියානීන්ට වෛර කරන්නේ ඇයි? යේසුස් මෙන් ඔවුන්ද “ලෝකයේ කොටසක් නොවන” නිසායි. (යොහන් 17:14, 16) යුධමය හා දේශපාලන කාරණාවලදී ඔවුන් කිසිදු පැත්තක් ගන්නේ නැහැ. ජීවිතයේ පරිශුද්ධභාවයට ගරු කරමින් හා උසස් සදාචාර ප්‍රමිති රකිමින් ඔවුන් බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා. (ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 6:9-11) ඔවුන්ගේ ජීවිතවල ප්‍රධානතම ඉලක්කය වන්නේ සැප සම්පත් ලබාගැනීම නොවෙයි. ඔවුන්ට තිබෙන්නේ ආත්මික ඉලක්කයි. ඔවුන් ලෝකය තුළ ජීවත් වුණත් පාවුල් ලීවාක් මෙන් ‘මුළුමනින්ම එය භුක්ති විඳින්නේ’ නැහැ. (1 කොරින්ති 7:31) ඇතමුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උසස් ප්‍රමිති ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර තිබෙන බව ඇත්තයි. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෞරවය, ප්‍රශංසාව හෝ අනුන්ගේ පිළිගැනීම ලබාගැනීම සඳහා තම ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. මේ නිසා, ලෝකයේ වැඩිදෙනෙකුට ඔවුන්ව තේරුම්ගන්නට බැහැ. බොහෝදෙනෙක් ඔවුන්ට වෛර කරනවා.

18, 19. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම මගින් ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම්වලට හා පීඩාවලට මුහුණ දෙන්නේ කොහොමද?

18 යේසුස්ව අත්අඩංගුවට ගෙන මරනු ලැබූ අවස්ථාවේ ඔහුගේ ප්‍රේරිතයන් දුටුවා, ලෝකය දක්වන තදබල වෛරය. ඒ වගේම යේසුස් ඒ වෛරයට මුහුණ දුන් ආකාරයත් ඔවුන් දුටුවා. ගෙත්සෙමන උයනේදී යේසුස්ගේ ආගමික සතුරන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ආවා. කඩුවක් අතට ගත් පේතෘස් උත්සාහ කළේ යේසුස්ව ආරක්ෂා කිරීමටයි. නමුත් යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය.” (මතෙව් 26:52; ලූක් 22:50, 51) මීට පෙර කාලයේ ඊශ්‍රායෙල්වරු තමන්ගේ සතුරන්ට එරෙහිව සටන් කළේ කඩුව ඇතුවයි. එහෙත් දැන් තත්වය වෙනස් වී තිබුණා. මන්ද දෙවිගේ රාජ්‍යය “මේ ලෝකයේ කොටසක් නොවේ.” ආරක්ෂා කිරීමට කිසිම දේශ සීමාවක් එයට නැහැ. (යොහන් 18:36) දේවරාජ්‍යයට අයිති ආත්මික ජාතියක් සිටිනවා. ඔවුන්ගේ පුරවැසිකම තිබෙන්නේ ස්වර්ගයේ. වැඩි කල් යන්නට පෙර පේතෘස් මෙම ජාතියේ සාමාජිකයෙකු වීමට නියමිතයි. (ගලාති 6:16; ෆිලිප්පි 3:20, 21) මේ නිසා, එතැන් පටන් යේසුස්ගේ අනුගාමිකයන් වෛරයට හා පීඩාවලට මුහුණ දෙන්නේ යේසුස් ඒවාට මුහුණ දුන් ආකාරයටමයි. ඒ, නිර්භීතව නමුත් සාමකාමීව. ඔවුන්ට මුහුණ දීමට සිදු වන දේවල් නිසැකකමින් යුතුව යෙහෝවාගේ හස්තයට භාර දෙන ඔවුන් ඒවා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහුගෙන් ලැබෙයි කියා දැඩි විශ්වාසයක් ඇතිව සිටිනවා.—ලූක් 22:42.

19 මීට වසර ගණනාවකට පසුව පේතෘස් මෙහෙම ලීවා. “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය. . . . ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැත. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට තමන්වම භාර දුන්නේය.” (1 පේතෘස් 2:21-23) යේසුස් අනතුරු ඇඟවූවාක් මෙන් ක්‍රිස්තියානීන් බොහෝ කාලයක් මුළුල්ලේ කුරිරු පීඩා අද්දැක තිබෙනවා. පළමු සියවසේදී මෙන්ම අපගේ කාලයේදීද ඔවුන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කර, විශ්වාසවන්තව විඳදරාගෙන ඉතා ප්‍රශංසනීය වාර්තාවක් තබා තිබෙනවා. ඒ වගේම ඔවුන් ඒ මගින් පෙන්වා තිබෙනවා තමන් සාමකාමීව තම විශ්වාසවන්තභාවය රැකගෙන තිබෙන බව. (එළිදරව් 2:9, 10) එසේනම්, අපත් සියලුදෙනාම පුද්ගලයන් වශයෙන් එවන් තත්වයන්ට මුහුණපාන විට, එසේම සිටීමට අදිටන් කරගනිමු.—2 තිමෝති 3:12.

“ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගන්න”

20-22. ක්‍රිස්තියානීන්ට ‘ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගත’ හැක්කේ කුමන ආකාරයෙන්ද?

20 පාවුල් රෝමයේ තිබූ සභාවට මෙහෙම ලීවා. “මාංසයේ ආශාවන් ඉටු කිරීම සඳහා සැලසුම් නොයොදා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගන්න.” (රෝම 13:14) හරියට ඇඳුමක් අඳිනවා වගේ ක්‍රිස්තියානීන් යේසුස්ව පැළඳගන්නවා. අසම්පූර්ණ වුණත් තම ස්වාමියාව අනුකරණය කිරීමේදී ඔවුන් කොතරම් සාර්ථක වී තිබෙනවාද කියතොත් ඔවුන්ට හැකි වී තිබෙනවා, ඔහුගේ ගුණාංග හා ක්‍රියාවන් ඒ ආකාරයෙන්ම තම ජීවිතවලින් විදහා පෙන්වන්න.—1 තෙසලෝනික 1:6.

21 අපගේ ස්වාමියා ජීවත් වූ විදිහ ගැන හොඳින් අවබෝධ කරගෙන එසේ කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා නම්, අපට සාර්ථක ලෙස ‘ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව’ පැළඳගන්න පුළුවන්. ඔහුගේ යටහත් පහත්කම, ධර්මිෂ්ඨකමට ඔහු තුළ වූ ප්‍රේමය, නීති විරෝධි ක්‍රියා කෙරෙහි ඔහු දැක්වූ ද්වේෂය, සිය සහෝදරයන් සඳහා ඔහු තුළ වූ ප්‍රේමය, ඔහු ලෝකයේ කොටසක් නොවී සිටීම, ඔහු විඳි දුක් වේදනා ඉවසිලිවන්තව විඳදරාගැනීම යන මේවා අපි අනුකරණය කරමු. අප ‘මාංසයේ ආශාවන් ඉටු කිරීම සඳහා සැලසුම් යොදන්නේ’ නැහැ. එනම්, ලෞකික ඉලක්කයන් අත් කරගැනීමවත් මාංසික ආශාවන් පිනවීමවත් අපි අපගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය කරගන්නේ නැහැ. ඒ වෙනුවට, යම් තීරණයක් ගන්නා විට හෝ ගැටලුවකට මුහුණ දෙන විට අපි අපෙන්ම මෙසේ අසාගනිමු. ‘යේසුස් මේ වගේ තත්වයකදී මොනවා කරයිද? මම මොනවා කරනවාටද ඔහු කැමති?’

22 අවසන් වශයෙන් තවත් කරුණක් දෙස බලමු. එනම්, ‘ශුභාරංචිය දේශනා කිරීමේ’ කාර්යයෙහි උද්‍යෝගයෙන් යෙදී සිටීම මගින්ද අපට යේසුස්ව අනුකරණය කළ හැකියි. (මතෙව් 4:23; 1 කොරින්ති 15:58) ඒ අතින්ද ක්‍රිස්තියානීන් යේසුස් තැබූ ආදර්ශය අනුගමනය කරනවා. එසේ කරන ආකාරය ගැන අපි ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ක්‍රිස්තියානියෙකු යටහත් පහත් වීම අතිශයින් වැදගත් වන්නේ ඇයි?

• හරි දේ සහ වැරදි දේ ගැන නිසි ආකල්පයක් වර්ධනය කරගැනීමට අපට හැක්කේ කොහොමද?

• විරුද්ධවාදිකම් සහ පීඩාවලට මුහුණ දීමේදී ක්‍රිස්තියානීන් යේසුස්ව අනුකරණය කරන්නේ කිනම් ආකාරයෙන්ද?

• ‘ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගැනීමට’ අපට හැක්කේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් යටහත් පහත්කම සම්බන්ධයෙන් පරිපූර්ණ ආදර්ශයක් තැබුවා

[8වන පිටුවේ පින්තූරය]

දේශනා කිරීම ඇතුළු ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ සෑම පැත්තකටම යටහත් පහත්කම අවශ්‍යයි

[9වන පිටුවේ පින්තූරය]

නුසුදුසු දේවල් හරිය කියා ක්‍රිස්තියානියෙකුට පෙනෙන්න සලස්වන්න සාතන්ට පුළුවන්

[10වන පිටුවේ පින්තූරය]

සහෝදරයන් අපට දක්වන ප්‍රේමය විරුද්ධාදිකම්වලට මුහුණ දීමට අපව ශක්තිමත් කරනවා