Skip to content

පටුනට යන්න

සම්පූර්ණ සාක්ෂියක් දීමට පුහුණුව ලැබ

සම්පූර්ණ සාක්ෂියක් දීමට පුහුණුව ලැබ

සම්පූර්ණ සාක්ෂියක් දීමට පුහුණුව ලැබ

“ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”—ක්‍රියා 1:8.

1, 2. පේතෘස්ට දී තිබූ පැවරුම මොකක්ද? එය ඔහුට දුන්නේ කවුද?

‘නාසරෙත්වලින් ආ යේසුස් ජීවතුන්ගේද මළවුන්ගේද විනිශ්චයකාරයා වීමට දෙවි විසින් නියම කරන ලද තැනැත්තා ඔහු බව ජනයාට දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දෙන ලෙස ඔහු අපට අණ කළේය.’ (ක්‍රියා 10:38, 42) ප්‍රේරිත පේතෘස් එම වදන්වලින් කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අයට පැහැදිලි කරමින් සිටියේ එවැන්ජලිස්තවරයෙකු ලෙස තමාට ලැබී තිබුණු පැවරුම ගැනයි.

2 යේසුස් එම පැවරුම දුන්නේ කවදාද? නැවත නැඟිටවනු ලැබූ යේසුස් ස්වර්ගයට යෑමට මොහොතකට කලින් පැවසූ දේ ගැන පේතෘස් මතකයට නැඟූ බවක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඒ අවස්ථාවේදී, යේසුස් සිය විශ්වාසවන්ත ගෝලයන්ට මෙහෙම පැවසුවා. “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (ක්‍රියා 1:8) එහෙත්, ඊට මද කලකට පෙර යේසුස්ගේ ගෝලයෙකු ලෙස පේතෘස් දැනගෙන සිටියා, යේසුස් කෙරෙහි වූ තම ඇදහිල්ල ගැන තමා විසින් අන්‍යයන්ට කතා කළ යුතු බව.

වසර තුනක පුහුණුවක්

3. යේසුස් කළ ප්‍රාතිහාර්ය මොකක්ද? පේතෘස්ට හා අන්දෘට ඔහු පැවසුවේ මොකක්ද?

3 ක්‍රිස්තු වර්ෂ 29 සිය බව්තීස්මයෙන් මාස කිහිපයකට පසුව යේසුස් දේශනා කරමින් සිටියේ, පේතෘස් සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු අල්ලමින් සිටි ගලීල මුහුදු ප්‍රදේශයේයි. මුළු රැයක් පුරා දැල් හෙළුවත් ඔවුන්ට එක මාළුවෙක්වත් අල්ලාගන්නට හැකි වී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යේසුස් ඔවුන්ට කීවේ මෙයයි. “දියඹට ගොස් මසුන් ඇල්ලීමට දැල් හෙළන්න.” ඔවුන් එසේ කළ විට, “ඔවුන්ගේ දැල් ඉරෙන තරමටම ඔවුහු මසුන් රාශියක් අල්ලාගත්තෝය.” මේ ප්‍රාතිහාර්යය දුටු පේතෘස් මහත් සේ බියට පත් වුණත් යේසුස් ඔහුව මෙසේ සන්සුන් කළා. “භය නොවන්න. මෙතැන් පටන් ඔබ මිනිසුන්ව පණ පිටින් අල්ලන්නෙහිය.”—ලූක් 5:4-10.

4. (අ) යේසුස් තම ගෝලයන්ව සාක්ෂි දැරීම සඳහා පුහුණු කළේ කොහොමද? (ආ) යේසුස්ගේ ගෝලයන්ගේ සේවයත් යේසුස්ගේ සේවයත් අතර තිබෙන්නට යන වෙනස මොකක්ද?

4 එසැණින්ම පේතෘස්, අන්දෘ මෙන්ම සෙබදීගේ පුත්‍රයන් වූ යාකොබ් සහ යොහන් මාළු ඇල්ලීම අත්හැර යේසුස් පස්සේ ගියා. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඔවුන් යේසුස් සමඟ දේශනා කිරීම සඳහා විවිධ පළාත්වලට ගියා. ඒ වගේම ඔවුන් ශුභාරංචිය දේශනා කිරීමට පුහුණුවක් ලැබුවා. (මතෙව් 10:7; මාක් 1:16, 18, 20, 38; ලූක් 4:43, 19:9) එම පුහුණුව ලැබූ කාල පරිච්ඡේදයෙන් පසුව, ක්‍රි.ව. 33 නීසාන් 14වන දා යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නා මා කරන ක්‍රියාද කරන්නේය; මා පියාණන් වෙතට යන බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියාද කරන්නේය.” (යොහන් 14:12) යේසුස්ගේ ගෝලයන් යේසුස් මෙන් සම්පූර්ණ සාක්ෂියක් දීමට නියමිතව තිබුණා. එය ඉතා විශාල පරිමාණයකින් සිදු වෙනවා ඇති. වැඩි කලක් යන්නට කලින් ඔවුන් එය දැනගත්තා. එනම්, ඔවුනුත් අනාගතයේ සිටින සියලු ගෝලයනුත් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” දක්වාම “සියලු ජාතීන්ට” සාක්ෂි දරනවා යන කාරණය.—මතෙව් 28:19, 20.

5. යේසුස් තම අනුගාමිකයන්ට දුන් පුහුණුවෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කුමන ආකාරවලින්ද?

5 අප ජීවත් වන්නේ ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේයි.’ (මතෙව් 24:3) ඒ නිසා, මුල් ගෝලයන් මෙන් අපිට අද යේසුස් සමඟ ගමන් කරමින් ඔහු මිනිසුන්ට දේශනා කරන ආකාරය බලන්නට බැහැ. එහෙත්, ඔහු දුන් පුහුණුවෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ, ඔහු දේශනා කළ ආකාරය ගැනත් ඔහු සිය අනුගාමිකයන්ට දුන් උපදෙස් මොනවාද යන්න ගැනත් බයිබලයෙන් කියවා බැලීමෙනුයි. (ලූක් 10:1-11) ඒ වගේම, යේසුස් සිය ගෝලයන්ට පෙන්වා දුන් ඉතා වැදගත් තවත් යමක් ගැන මේ ලිපියේ සාකච්ඡා කරනවා. ඒ තමයි, දේශනා කිරීමට යමෙකුට තිබිය යුතු හරි ආකල්පය.

ජනතාව කෙරෙහි සැලකිල්ලක්

6, 7. යේසුස් සිය දේවසේවයේදී සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තේ ඔහුට තිබුණු කුමන ගුණාංගය නිසාද? මේ සම්බන්ධයෙන් අපටත් ඔහුව අනුකරණය කරන්නට පුළුවන් කොහොමද?

6 යේසුස් එතරම් ප්‍රබල සාක්ෂියක් දීමට පෙලඹුණේ ඇයි? එක හේතුවක් තමයි ජනතාව කෙරෙහි ඔහු තුළ තිබුණු දැඩි උනන්දුව හා සැලකිල්ල. යේසුස් “දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය” කියා ගීතිකාකරු කලින් කියා තිබුණා. (ගීතාවලිය 72:13) ඔහු එම අනාවැකිය ඉටු කළ බවට කිසිම සැකයක් නැහැ. ඒ එක් අවස්ථාවක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළේය.” (මතෙව් 9:36) ඔහු මිනිසුන්ට කොතරම් සැලකිල්ලක් දැක්වූවාද කියතොත් බරපතළ පව් කළ අයට පවා එය දැනුණා. ඒ නිසා ඔවුන් ඔහු වෙතට ඇදී ආවා.—මතෙව් 9:9-13; ලූක් 7:36-38; 19:1-10.

7 අපත් ජනතාව කෙරෙහි එවැනිම සැලකිල්ලක් දක්වනවා නම්, අපටත් හොඳ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්. දේවසේවයේ යෑමට පෙර, ඔබ ජනතාව වෙතට ගෙන යන තොරතුරු ඔවුන්ට මොන තරම් වැදගත්ද කියා කල්පනා කිරීමට කාලය ගන්න. ඔවුන්ට තිබිය හැකි යම් යම් ගැටලු ගැන මදක් කල්පනා කර බලන්න. ඔවුන්ට තිබෙන ගැටලු දේවරාජ්‍යය මගින් පමණක් විසඳෙන ඒවා විය හැකියි. ඔබට හමු වන හැම කෙනෙක්ම යේසුස්ගේ අනාගත ගෝලයෙක් විය හැකිය යන ආකල්පය තබාගන්න. ඊට හේතුව නම්, රාජ්‍ය පණිවුඩය පිළිගන්නේ කවුද, පිළි නොගන්නේ කවුද කියා ඔබට කලින් කීමට හැකියාවක් නැහැ. සමහරවිට ඔබට හමු වන ඊළඟ පුද්ගලයා ඔහුට උපකාර කිරීම පිණිස, ඔබ වගේ කෙනෙක්ව එවන්න කියා දෙවිට යාච්ඤා කරමින් සිටියා වෙන්න පුළුවන්!

ප්‍රේමයෙන් පෙලඹී

8. යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කිරීමට පෙලඹෙන්නේ කුමක් නිසාද?

8 යේසුස් දේශනා කළ ශුභාරංචියට, මිනිස් වර්ගයා හා සම්බන්ධ වූ වැදගත් කාරණා කිහිපයක් ඇතුළත් වී තිබුණා. ඒවා නම් යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට වීම, ඔහුගේ නාමය විශුද්ධි වීම සහ ඔහුගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතබව තහවුරු වීම යන කාරණායි. (මතෙව් 6:9, 10) සිය පියාණන්ට තිබූ ප්‍රේමය නිසා, අන්තිමය දක්වා සිය විශ්වාසවන්තකම රැකගැනීමටත්, ඉහත සඳහන් කාරණා මුළුමනින්ම විසඳන්නාවූ රාජ්‍යය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමටත් යේසුස් පෙලඹුණා. (යොහන් 14:31) අද දින සිටින යේසුස්ගේ ගෝලයනුත් ඒ ආකාරයෙන්ම පෙලඹෙන නිසා ඔවුනුත් දේවසේවයේ යෙදෙන්නේ මහත් උද්‍යෝගයෙන්. ප්‍රේරිත යොහන් ලීවේ මෙහෙමයි. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.” මෙයට ශුභාරංචිය දේශනා කිරීමත් මිනිසුන්ව ගෝලයන් කිරීමත් ඇතුළත්.—1 යොහන් 5:3; මතෙව් 28:19, 20.

9, 10. සම්පූර්ණ සාක්ෂියක් දැරීමට, දෙවිට තිබෙන ප්‍රේමය හැර අපව පොලඹවන්නේ තවත් කා කෙරෙහි තිබෙන ප්‍රේමයද?

9 යේසුස් සිය අනුගාමිකයන්ට මෙසේ කීවා. “ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මාගේ ආඥා පවත්වන්නහුය. මාගේ ආඥා ලැබී ඇති තැනැත්තා ඒවා පවත්වනවා නම්, මට ප්‍රේම කරන්නේ ඔහුය.” (යොහන් 14:15, 21) එමනිසා, සත්‍යය ගැන සාක්ෂි දැරීමටත් යේසුස් අණ කළ වෙනත් දේවල් කිරීමටත් අප පෙලඹිය යුත්තේ යේසුස් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය නිසයි. යේසුස් නැවත නැඟිටීමෙන් පසුව පෙනී සිටි එක් අවස්ථාවකදී පේතෘස්ගෙන් මෙසේ ඉල්ලුවා. “මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න. . . මාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න. . . මාගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න.” එසේ කිරීමට පේතෘස් පෙලඹිය යුත්තේ මොකක් නිසාද? “ඔබ මට ප්‍රේම කරනවාද? . . . ඔබ මට ප්‍රේම කරනවාද? . . . ඔබට මා කෙරෙහි සෙනෙහසක් තිබෙනවාද?” කියා යේසුස් පේතෘස්ගෙන් ඇසූ ප්‍රශ්නවලින් පේතෘස් පෙලඹිය යුතු හේතුව මොකක්ද කියා අපට පැහැදිලි වෙනවා. ඔව්, සම්පූර්ණ සාක්ෂියක් දැරීමටත්, යේසුස්ගේ “කුඩා බැටළුවන්” සෙවීමටත්, ඉන්පසුව ඔවුන්ට ආත්මික එඬේරෙක් වීමටත් පේතෘස් තුළ පෙලඹීමක් ඇති වූයේ යේසුස් කෙරෙහි ඔහු තුළ තිබූ ප්‍රේමය සහ සෙනහස නිසයි.—යොහන් 21:15-17.

10 අද දින සිටින අපට පේතෘස් මෙන් යේසුස් සමඟ පෞද්ගලිකව ඇසුරු කරන්නට බැහැ. එහෙත්, යේසුස් අප වෙනුවෙන් කළ දේවල් ගැන අපට ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ‘සෑම මිනිසෙකු උදෙසාම මරණයේ රස බැලීමට’ යේසුස්ව පෙලඹවූ මහත් ප්‍රේමය මගින් අපේ සිත් තුළත් පෙලඹීමක් ඇති වෙනවා. (හෙබ්‍රෙව් 2:9; යොහන් 15:13) අපට හැඟෙන්නේ මෙසේ ලිවූ පාවුල්ට හැඟුණු විදිහටමයි. “ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය. . . . ඔහු සියල්ලන් වෙනුවෙන් මිය ගියේ, ජීවත් වන අය තවදුරටත් තමන් උදෙසාම ජීවත් නොවී, . . . [ඔහු] උදෙසා ජීවත් වන පිණිසය.” (2 කොරින්ති 5:14, 15) යේසුස් අප කෙරෙහි දැක්වූ ප්‍රේමය අප සැහැල්ලුවට ගන්නේ නැති බවත් අපත් ඔහුට ප්‍රේමය දක්වන බවත් අප පෙන්වන්නේ සම්පූර්ණ සාක්ෂියක් දීමට ඔහු දුන් පැවරුම බැරෑරුම් එකක් ලෙස සැලකීමෙන්. (1 යොහන් 2:3-5) අපි දේශනා සේවය කිසිම විටෙකත් ඕනෑවට එපාවට කරන දෙයක් ලෙසට සලකන්නේ නැහැ. අප එහෙම කරනවා නම්, අප යේසුස්ගේ පූජාවත් සලකන්නේ එතරම් වටිනාකමක් නැති දෙයක් හැටියටයි.—හෙබ්‍රෙව් 10:29.

වැදගත්ම දේට මුල් තැන දෙන්න

11, 12. යේසුස් පොළොවට පැමිණියේ කිනම් අරමුණකටද? මෙය තමාගේ ජීවිතයේ වැදගත්ම දේ වූ බව ඔහු පෙන්වූයේ කොහොමද?

11 පොන්තියුස් පිලාත් ඉදිරියේදී යේසුස් මෙහෙම පැවසුවා. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” (යොහන් 18:17) සත්‍යයට සාක්ෂි දැරීම සඳහා තමන් දැක්වූ අවධානයට බාධාවක් වීමට ඔහු කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. ඇත්තෙන්ම ඔහු දැනගෙන සිටියා දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වුණේ එය බව.

12 මේ කාරණය සම්බන්ධයෙන් යේසුස්ව පරීක්ෂා කිරීමට සාතන් දැරුවේ ප්‍රබල උත්සාහයක්. යේසුස් බව්තීස්ම වී ටික කලකට පසුව, සාතන් යේසුස්ව ලෝකයේ කැපීපෙනෙන පුද්ගලයෙකු බවට පත් කිරීමටත් “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” ඔහුට දීමටත් පොරොන්දු වුණා. (මතෙව් 4:8, 9) පසුව, යුදෙව්වන්ටත් වුවමනා වුණා යේසුස්ව රජෙකු කරගැනීමට. (යොහන් 6:15) සාතන් හා මිනිසුන් කළ ඉල්ලීම් පිළිගෙන යේසුස් රජෙකු වුණා නම්, ඉන් මිනිස් වර්ගයාට කොතරම් යහපතක් සලසන්නට තිබුණාද කියා ඇතැම් අය කල්පනා කරන්නට ඉඩ තිබෙනවා. ඒ වුණත්, ඔහු ඒ විදිහට කල්පනා කළේ නැහැ. ඔහුගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ වූයේ සත්‍යයට සාක්ෂි දැරීමයි.

13, 14. (අ) යේසුස්ගේ සිත වෙනතකට යොමු කිරීමට නොහැකි වුණේ කුමකටද? (ආ) කිසිම ධන සම්පතක් නැති කෙනෙකු වුවත් ඔහු මිනිසුන් වෙනුවෙන් කළේ කුමක්ද?

13 ඒ විතරක් නෙවෙයි, ධන සම්පත් සෙවීම මගින් යේසුස් තම සිත වෙනතකට යොමු කළේ නැහැ. මේ නිසා ඔහු පොහොසතෙක් වුණේ නැහැ. ඔහුට තමාටම කියා ගෙයක්වත් තිබුණේ නැහැ. එක් අවස්ථාවකදී ඔහු මෙසේ කීවා. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත.” (මතෙව් 8:20) බයිබලයේ සඳහන් පරිදි, ඔහු මිය ගිය අවස්ථාවේදී ඔහුට තිබුණු එකම වටිනා දේ තමයි රෝම හේවායන් දාදු දැමූ ඔහුගේ ඇඳුම. (යොහන් 19:23, 24) මින් අදහස් කරන්නේ යේසුස් අසාර්ථක ජීවිතයක් ගත කළ බවද? නැහැ. කොහෙත්ම නැහැ!

14 බොහෝ දන් දෙන සුපිරි පැලැන්තියේ දානපතියෙකුට වඩා යේසුස් මිනිසුන් වෙනුවෙන් බොහෝ දේ කළා. පාවුල් මෙසේ පැවසුවා. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ දන්නහුය. ඔහු ධනවත්ව සිටි නමුත් ඔබ උදෙසා ඔහු දිලිඳු විය. එසේ කළේ ඔබ ඔහුගේ දිලිඳුකම තුළින් ධනවත් වන පිණිසය.” (2 කොරින්ති 8:9; ෆිලිප්පි 2:5-8) යේසුස්ට කිසි ධන සම්පතක් තිබුණේ නැහැ. ඒ වුණත්, යේසුස් යටහත් පහත් පුද්ගලයන්ට පරිපූර්ණ පාරාදීසයක සදාකාල ජීවිතය ලැබීමේ දොරටු විවෘත කර දුන්නා. ඇත්තෙන්ම, අපි මේ ගැන ඔහුට කොතරම් ණයගැති විය යුතුද! දේවකැමැත්ත කිරීම තම ජීවිතයේ මුල් තැන කරගත් නිසා ඔහු ලැබූ ආශීර්වාද ගැන අප කොතරම් සතුටු වෙනවාද!—ගීතාවලිය 40:8; ක්‍රියා 2:32, 33.

15. ධන සම්පත්වලට වඩා වටින්නේ කුමක්ද?

15 අද දිනත් යේසුස්ව අනුකරණය කිරීමට දැඩි උත්සාහයක් දරන ක්‍රිස්තියානීන් ධනය සෙවීමට යෑමෙන් තමන්ගේ සිත් වෙනතකට යොමුවීමට ඉඩ දෙන්නේ නැහැ. (1 තිමෝති 6:9, 10) ධන සම්පත් තිබුණොත් ජීවිතය වඩාත් පහසු වන බව ඔවුන් පිළිගන්නවා. නමුත් තමන්ගේ සදාකාල අනාගතය ධන සම්පත් මත රඳා නොපවතින බව ඔවුන් දන්නවා. යේසුස් මිය යන විට, ඔහුගේ සළුවෙන් ඔහුට කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ වගේම, ක්‍රිස්තියානියෙක් මිය යන විටත් ඔහුගේ ධන සම්පත්වලින් ඔහුට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. (දේශනාකාරයා 2:10, 11, 17-19; 7:12) ක්‍රිස්තියානියෙක් මිය යන විට ඔහු සතුව තිබෙන එකම වටිනා දේ තමයි, යෙහෝවා සමඟ හා යේසුස් ක්‍රිස්තුස් සමඟ ඔහුට තිබෙන සම්බන්ධතාව.—මතෙව් 6:19-21; ලූක් 16:9.

විරුද්ධවාදිකම් අපට බාධාවක් නෙවෙයි

16. යේසුස් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නේ කොහොමද?

16 යේසුස්ට විරුද්ධවාදිකම් තිබුණත් ඔහු සත්‍යයට සාක්ෂි දැරීමෙන් වැළකී සිටියේ නැහැ. ඔහු දැනගෙන සිටියා, තමන්ගේ සේවයේ අවසානයේදී ප්‍රාණ පරිත්‍යාගී මරණයකට මුහුණ දීමට සිදු වන බව. ඒ වුණත් ඔහු අධෛර්යය වුණේ නැහැ. යේසුස් ගැන පාවුල් පැවසුවේ මෙයයි. “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොතකා වධකණුව විඳදරාගෙන, ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තේය.” (හෙබ්‍රෙව් 12:2) යේසුස් ‘ලජ්ජාව නොතැකූ’ බව සැලකිල්ලට ගන්න. තමන්ට විරුද්ධ වූ අය තමන් ගැන සිතූ දේ ගැන ඔහු කනස්සලු වුණේ නැහැ. ඔහුගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ වුණේ දේවකැමැත්ත කිරීමයි.

17. යේසුස්ගේ විඳදරාගැනීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

17 යේසුස්ගේ විඳදරාගැනීමෙන් ගත හැකි පාඩම අදාළ කරමින් පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූයේ මෙහෙමයි. “ඔබ වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත නොවන පිණිස, තමන්ටම හානි පමුණුවාගත් පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව පැවසූ දේ විඳදරාගත් තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න.” (හෙබ්‍රෙව් 12:3) විරුද්ධවාදිකම්වලටත් සමච්චල් කිරීම්වලටත් නිතර නිතර මුහුණ දෙද්දී අප අධෛර්යයට පත් වෙන්න පුළුවන්. මේ ලෝකයේ තිබෙන නොයෙක් ආකර්ෂණීය දේවල් නිතරම ප්‍රතික්ෂේප කිරීම අමාරු දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට සමාජයේ “හොඳ තැනකට එන්න” කියා අපට දිරිගන්වන අපේ නෑදෑයන්ගෙන් එල්ල වෙන පීඩනවලට එරෙහි වීම අසීරු වෙන්න පුළුවන්. කෙසේවෙතත්, යේසුස් මෙන් අපත් අපගේ ජීවිතවල රාජ්‍යයට මුල් තැන දීමට අදිටන් කරගෙන, ඒ සඳහා උපකාරය පතා යෙහෝවා දෙස බලමු.—මතෙව් 6:33, රෝම 15:13; 1 කොරින්ති 2:4.

18. යේසුස් පේතෘස්ට කී වචනවලින් අපට ඉගෙනගත හැකි කදිම පාඩම කුමක්ද?

18 තම ජීවිතයේ මුල් තැන දිය යුතු දේට බාධා කිරීමට යේසුස් කිසිවකට ඉඩ දුන්නේ නැහැ. ඔහුට විඳින්නට තිබෙන මරණය ගැන ඔහු සිය ගෝලයන්ට පැවසූ අවස්ථාවේදී පේතෘස් සමඟ කළ කතා බහෙන් මෙය අපට මනාව පැහැදිලි වෙනවා. “ස්වාමිනී, ඔබ ගැන සිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු නොවේ” කියා පේතෘස් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. නමුත් යෙහෝවාගේ කැමැත්ත කිරීමට තමා ගත් අධිෂ්ඨානය දුර්වල කරන කිසිම දෙයකට සවන් දීමට යේසුස් කැමති වුණේ නැහැ. පේතෘස් වෙතින් තම මුහුණ ඉවතට හරවාගත් යේසුස් ඔහුට පැවසුවේ මෙහෙමයි. “සාතන් මා පස්සට යන්න! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද, ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.” (මතෙව් 16:21-23) අපත් එසේම මිනිසුන්ගේ කල්පනාවන් ප්‍රතික්ෂේප කිරීමට අදිටන් කරගනිමු. ඒ වෙනුවට, අපට මඟ පෙන්වීමට දෙවිගේ සිතිවිලිවලට ඉඩහරිමු.

සදාකාල ප්‍රයෝජන

19. යේසුස් ප්‍රාතිහාර්යයන් සිදු කළද ඔහුගේ දේවසේවයේ වඩාත් වැදගත්ම අංගය වූයේ මොකක්ද?

19 තමා මෙසියස් බව පෙන්වීමට යේසුස් බොහෝ ප්‍රාතිහාර්යයන් කළා. ඔහු මළවුන්ව පවා නැඟිට්ටෙව්වා. මේ නිසා සමූහයන් ඔහු කරා ඇදී ආවා. නමුත් යේසුස් පොළොවට ආවේ සමාජ සේවයක් කරන්න නම් නෙවෙයි. ඔහු ආවේ සත්‍යයට සාක්ෂි දැරීමටයි. ප්‍රාතිහාර්යයන් කිරීම මගින් තමා ජනතාවට කළ උපකාර තාවකාලික බව ඔහු දැන සිටියා. ඔහු නැවත නැඟිටෙවූ අය පවා නැවත මිය ගියා. යම් පුද්ගලයන්ට සදාකාල ජීවනය ලබාගැනීමට උපකාර කිරීමට ඔහුට හැකි වූයේ සත්‍යයට සාක්ෂි දැරීමෙන් පමණයි.—ලූක් 18:28-30.

20, 21. යහපත් ක්‍රියා කිරීමේදී සැබෑ ක්‍රිස්තියානීන් සමබර වන්නේ කොහොමද?

20 අද දින ඇතැම් පුද්ගලයන් දිලිඳු ජනයා වෙනුවෙන් රෝහල් විවෘත කිරීමෙන් හෝ වෙනත් සේවාවන් සැපයීමෙන් යේසුස්ව අනුකරණය කිරීමට උත්සාහ කරනවා. ඇතැම් අවස්ථාවලදී, ඔවුන් මේවා කරන්නේ මහත් පරිත්‍යාගයන් කිරීමෙනුයි. ඔවුන්ගේ අවංක වෑයමට ප්‍රශංසා කළ යුතුයි. නමුත්, ඒ මගින් ඇති වන යම් සහනයක් වේ නම් එය තාවකාලිකයි. ස්ථිරසාර සහනයක් ඇති වන්නේ දේවරාජ්‍යය තුළින් පමණයි. මේ නිසා යේසුස් කළාක් මෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් තම මූලික අවධානය යොමු කරන්නේ එම රාජ්‍යය පිළිබඳ සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි.

21 ඇත්ත වශයෙන්ම, සැබෑ ක්‍රිස්තියානීනුත් යහපත් ක්‍රියා නොකරනවා නෙවෙයි. පාවුල් මෙසේ ලීවා. “අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” (ගලාති 6:10) විපත්ති කාලවලදී හෝ යමෙකුට යම් අවශ්‍යතාවන් ඇති වන අවස්ථාවල, අපි අපගේ අසල්වාසීන්ට හෝ අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ට ‘යහපත්කම් කිරීමට’ මැළි වන්නේ නැහැ. එහෙත්, අප වඩාත් වැදගත් දේටයි මුල් තැන දෙන්නේ. එය නම්, සත්‍යයට සාක්ෂි දැරීමයි.

යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න

22. ක්‍රිස්තියානීන් තමන්ගේ අසල්වාසීන්ට දේශනා කරන්නේ ඇයි?

22 “ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම්, මට දුක් වේ!” කියා පාවුල් ලීවා. (1 කොරින්ති 9:16) ඔහු ශුභාරංචිය සැහැල්ලුවට ගත්තේ නැහැ. මන්ද එය දේශනා කිරීම මත ඔහුගෙත් ඔහුට සවන් දුන් අයගෙත් ජීවිත රැඳී තිබෙන බව ඔහු දැන සිටියා. (1 තිමෝති 4:16) අපත් අප කරන දේවසේවය සලකන්නේ ඒ විදිහටයි. අපට වුවමනා අපගේ අසල්වැසියන්ට උපකාර කිරීමටයි. යෙහෝවා කෙරෙහි අපට තිබෙන ප්‍රේමය පෙන්වීමට අපට වුවමනායි. යේසුස් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය ඔප්පු කිරීමටත් ඔහු අපට දැක්වූ මහත් ප්‍රේමයට අපගේ කෘතගුණ පෙන්වීමටත් අපට වුවමනායි. මේ නිසා, අපි ශුභාරංචිය දේශනා කරමු. මෙසේ අපි “තවදුරටත් මිනිස් ආශාවන් උදෙසා නොව, දෙවිගේ කැමැත්ත උදෙසා ජීවත්” වෙමු.—1 පේතෘස් 4:1, 2.

23, 24. (අ) ප්‍රතිහාර්යයකින් හසු වූ මසුන් පිළිබඳ සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි පාඩම මොකක්ද? (ආ) අද දින සම්පූර්ණ සාක්ෂියක් දෙමින් සිටින්නේ කවුරුන්ද?

23 අන් අය අපට සමච්චල් කළත් අප ගෙන යන පණිවුඩය කෝපයෙන් ප්‍රතික්ෂේප කළත් යේසුස් මෙන් අපත් අපේ ප්‍රධාන වැඩයට බාධාවක් වීමට ඒවාට ඉඩහරින්නේ නැහැ. තමාව අනුගමනය කරන ලෙසට යේසුස් පේතෘස්ට සහ අන්දෘට ආරාධනා කළ මොහොතේ ඔහු කළ ප්‍රාතිහාර්යයෙන් අපට පාඩමක් ඉගෙනගත හැකියි. එය හරියට මාළු නැතැයි සිතෙන ජලාශවලට දැල් හෙළනවා වගේ. අප යේසුස්ට කීකරු වෙනවා නම්, එතරම් ප්‍රතිචාරයක් නැතැයි කියා පෙනෙන්නට තිබෙන ප්‍රදේශවලද අප දිගටම සේවය කරනවා නම්, අපට නිසි කාලයේදී නිසි ප්‍රතිඵල ලැබෙන්නට පුළුවනි. බොහෝ ක්‍රිස්තියානීන්ට වසර ගණනාවක් මුළුල්ලේ හොඳ ප්‍රතිචාරයක් නැතැයි කියා පෙනෙන්නට තිබූ ප්‍රදේශවල සේවය කිරීමෙන් කදිම ප්‍රතිඵල ලැබී තිබෙනවා. තවත් අයට වඩාත් ඵලදායී ප්‍රදේශයකට පදිංචියට යෑමට හැකි වී තිබෙන අතර, හොඳ ප්‍රතිඵල ඔවුන්ට එහිදී ලැබී තිබෙනවා. මොනවා වුවත්, අප සත්‍යයට සාක්ෂි දැරීම නතර කරන්නේ නම් නැහැ. එයට හේතුව, පොළොවේ කිසිම ප්‍රදේශයක දේශනා සේවය නතර කරන්න කියා යේසුස් තවමත් පවසා නැති බව අපි දන්න නිසයි.—මතෙව් 24:14.

24 යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා වැඩිදෙනෙක් දැන් රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක ඉතා උද්‍යෝගයෙන් සේවය කරනවා. දෙදහස් හතර සේවා වර්ෂය තුළ ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ලෝක ව්‍යාප්ත වාර්තාව, 2005 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ පළ වෙනවා ඇති. දේශනා සේවයට යෙහෝවා කර තිබෙන මහඟු ආශීර්වාද ගැන මෙම වාර්තාවෙන් හෙළි වේවි. මේ සමාජ ක්‍රමය සඳහා දැනට ඉතිරිව තිබෙන කාලයේදී, “වචනය දේශනා කරන්න, . . . හදිසිතාවේ හැඟීමකින් යුක්තව වැඩේ යෙදී සිටින්න” යනුවෙන් පාවුල් සඳහන් කළ පොලඹවනසුලු වචන අපි සිතට ගනිමු. (2 තිමෝති 4:2) දේශනා කිරීමේ කාර්යය අවසන් කරන්න කියා යෙහෝවා පවසන තෙක් අපි නොකඩවාම සම්පූර්ණ සාක්ෂියක් දෙමු.

මේ වසරේ පටන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව ජනවාරි 1 මුරටැඹ කලාපයේ පළ වෙන්නේ නැහැ. එය පළ වනු ඇත්තේ පෙබරවාරි 1 කලාපයේයි.

ඔබට පිළිතුරු දෙන්න පුළුවන්ද?

• යේසුස් සිය ගෝලයන්ට දුන් පුහුණුවෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කොහොමද?

• තමන් දේශනා කළ ජනතාව කෙරෙහි යේසුස්ට තිබුණේ කිනම් ආකල්පයක්ද?

• සම්පූර්ණ සාක්ෂියක් දීමට අපව පොලඹවන්නේ කුමක්ද?

• යේසුස් මෙන් අපටත් දේවකැමැත්ත කිරීමට මුල් තැන දිය හැක්කේ කිනම් ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් ජනතාව කෙරෙහි දැක්වූ එම සැලකිල්ලම අපත් දක්වනවා නම් අප සේවය තුළ හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා

[16, 17වන පිටුවේ පින්තූරය]

යේසුස් මූලික වශයෙන් පොළොවට පැමිණියේ සත්‍යයට සාක්ෂි දැරීමටයි

[17වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුල් තැන දෙන්නේ සම්පූර්ණ සාක්ෂියක් දීමටයි