Skip to content

පටුනට යන්න

අනාවැකි ඉටු කළ ක්‍රිස්තුස්

අනාවැකි ඉටු කළ ක්‍රිස්තුස්

අනාවැකි ඉටු කළ ක්‍රිස්තුස්

“අනාවැකි දෙනු ලබන්නේ යේසුස් පිළිබඳව සාක්ෂි දැරීම සඳහාය.”—එළිදරව් 19:10.

1, 2. (අ) ක්‍රිස්තු වර්ෂ 29න් පටන්, ඊශ්‍රායෙල් ජාතියට ගන්නට තිබූ තීරණය කුමක්ද? (ආ) මේ ලිපියේ සලකා බැලෙන්නේ මොනවාද?

ඒ ක්‍රි.ව. 29යි. පොරොන්දු වී ඇති මෙසියස්ගේ පැමිණීම ගැන ඊශ්‍රායෙල් ජාතියේ සැමෝම පාහේ මහත් උනන්දුවෙන් කතා බහ කරති. යොහන් බව්තීස්තගේ දේවසේවය නිසා මෙසියස් පිළිබඳ බලාපොරොත්තු තව තවත් වැඩි වී තිබේ. (ලූක් 3:15) තමන් ක්‍රිස්තුස් නොවන බව යොහන් කියා සිටී. ඒ වෙනුවට, නාසරෙත්හි යේසුස් ගැන කතා කරමින් ඔහු කියන්නේ මෙසේයි. “ඔහු දෙවිගේ පුත්‍රයායයි සාක්ෂි දැරුවෙමි.” (යොහන් 1:20, 34) වැඩි කල් යන්නට මත්තෙන්, සමූහයා යේසුස්ගේ ඉගැන්වීම් අසන පිණිසත් ඔහුගෙන් සුවය ලබන පිණිසත් ඔහු පසුපස යති.

2 ඉන්පසුව ගත වන මාස කිහිපය අතරතුරේදී, යෙහෝවා සිය පුත්‍රයා පිළිබඳව සාක්ෂි කන්දරාවක් සපයයි. ශුද්ධ ලියවිලි අධ්‍යයනය කර ඇති සහ යේසුස්ගේ ක්‍රියා දැක තිබෙන අයට ඔහු කෙරෙහි තම ඇදහිල්ල තැබීමට ප්‍රබල හේතු තිබේ. එහෙත් පොදුවේ ගත් කල, දෙවි සමඟ ගිවිසුමකට ඇතුළත් වී සිටින මේ ජනයා යේසුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වූයේ නැත. යේසුස් වනාහි දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් බව පිළිගන්නේ ස්වල්පදෙනෙක් පමණි. (යොහන් 6:60-69) ඔබ ඒ කාලයේ ජීවත් වූවා නම්, ඔබ කුමක් කරනවා ඇද්ද? යේසුස්ව මෙසියස් වශයෙන් පිළිගෙන ඔබ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයෙකු වනු ඇද්ද? සබත් දවස කඩ කෙරුවායයි තමාට චෝදනා කරනු ලැබූ විට තමා මෙසියස් බව පෙන්වීමට ඔහු ඉදිරිපත් කරන සාක්ෂි සලකා බලන්න. ඉන්පසුව තමාගේ පක්ෂපාත ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම පිණිස ඔහු දෙන සාක්ෂිද සැලකිල්ලට ගන්න.

යේසුස් තමා ගැන සාක්ෂි දෙයි

3. යේසුස් තමා කවුද යන්න පිළිබඳව සාක්ෂි සැපයීමට පෙලඹුණේ කුමන තත්වයක් මතු වූ නිසාද?

3 දැන් ක්‍රි.ව. 31 පාස්කු සමයයි. යේසුස් සිටින්නේ යෙරුසලමේය. වසර 38ක් පුරා රෝගීව සිටි මිනිසෙකුව ඔහු මේ දැන් සුව කළා පමණි. එහෙත්, සබත් දවසේදී මෙසේ කිරීම ගැන යුදෙව්වෝ යේසුස්ට අවලාද නඟති. එපමණක්ද නොව, ඔහු දේවඅපහාස කළ බව කියන ඔවුහු දෙවිව ඔහු තම පියාණන් ලෙස හැඳින්වූ නිසා ඔහුව මරා දැමීමට පවා තැත් කරති. (යොහන් 5:1-9, 16-18) යේසුස් තමා ගැන දෙන සාක්ෂි මගින් ප්‍රබල තර්ක තුනක් ඉදිරිපත් කරයි. එමගින් යේසුස් සැබවින්ම කවුද කියා ඕනෑම අවංක යුදෙව්වෙකුට පහසුවෙන් තේරුම්ගැනීමට හැකි විය යුතුයි.

4, 5. යොහන්ගේ දේවසේවයේ අරමුණ වූයේ කුමක්ද? ඔහු එය කොතරම් හොඳින් ඉටු කළාද?

4 යේසුස් සපයන පළමු සාක්ෂිය නම්, තමාගේ පෙරමඟ සලසන්නා වූ යොහන් බව්තීස්ත දී තිබූ සාක්ෂියයි. යේසුස් කීවේ මෙයයි. “ඔබ යොහන් වෙතට මිනිසුන් යැව්වහුය. ඔහු සත්‍යය ගැන සාක්ෂි දැරුවේය. ඒ මිනිසා දැල්වෙන, බැබළෙන පහනක්ව සිටියේය. ඔබ කෙටි කලකට ඔහුගේ ආලෝකයෙහි මහත් සේ ප්‍රීති වන්න කැමැත්තෙන් සිටියහුය.”—යොහන් 5:33, 35.

5 යොහන් බව්තීස්තට “දැල්වෙන, බැබළෙන පහනක්” යයි කීවේ, ඔහුව හෙරොද් විසින් අසාධාරණ ලෙස සිරගත කරනු ලැබීමට පෙර, මෙසියස් වෙනුවෙන් පෙරමඟ සූදානම් කිරීමට ඔහු දෙවිගෙන් ලැබූ පැවරුම ඉටු කර තිබූ නිසාය. යොහන් මෙසේ පැවසුවේය. “මා වතුරෙන් බව්තීස්ම කරමින් ආවේ [මෙසියස්] ඊශ්‍රායෙලයට ප්‍රකාශ වන පිණිසය. . . . ශුද්ධාත්මය පරෙවියෙකු මෙන් ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහු පිට නවතිනවා මම දුටිමි. මමත් ඔහුව නොහැඳින සිටියත්, වතුරෙන් බව්තීස්ම කරන්නට මාව එවූ ඒ තැනැත්තාම මා අමතා, ‘ශුද්ධාත්මය යමෙකු පිට බැස ඇවිත් නවතිනවා ඔබ දකින්නෙහිද, ඔහු ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරන තැනැත්තාය’ යයි කීවේය. මම එය දුටුවෙමි. එහෙයින් ඔහු දෙවිගේ පුත්‍රයායයි සාක්ෂි දැරුවෙමි.” * (යොහන් 1:26-37) යොහන් යේසුස්ව දෙවිගේ පුත්‍රයා හෙවත් පොරොන්දු වූ මෙසියස් ලෙස පැහැදිලිවම හැඳින්වූයේය. යොහන්ගේ සාක්ෂිය කොතරම් පැහැදිලි වීද යත්, යොහන් මිය ගොස් මාස අටකට පසුවද, “මේ මිනිසා ගැන යොහන් කී සියල්ල සැබෑය” යනුවෙන් අවංක සිත් ඇති යුදෙව්වන් බොහෝදෙනෙක් පිළිගත්හ.—යොහන් 10:41, 42.

6. යේසුස්ට දෙවිගේ අනුග්‍රහය තිබූ බව ඔහු කළ ක්‍රියාවලින් ජනයාට ඒත්තු යා යුතුව තිබුණේ මන්ද?

6 යේසුස් තමා මෙසියස් බවට වූ සාක්ෂි තහවුරු කිරීම සඳහා තවත් තර්කයක් ඉදිරිපත් කරයි. තමාට දෙවිගේ අනුග්‍රහය තිබූ බවට සාක්ෂියක් ලෙස තමා කළ යහපත් ක්‍රියා ගැන ඔහු කතා කරයි. “මට තිබෙන සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය” කියා ඔහු පවසයි. “මන්ද, ඉටු කිරීමට පියාණන් මට පැවරූ කාර්යයන්, එනම් මා ඉටු කරන දේවල් පියාණන් විසින් මාව එවූ බවට සාක්ෂි දෙයි.” (යොහන් 5:36) මේ සාක්ෂිය නිෂ්ප්‍රභ කිරීමට යේසුස්ගේ සතුරන්ටවත් හැකි වූයේ නැත. යේසුස්ගේ යහපත් ක්‍රියාවලට ඔහු කළ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ද ඇතුළත් විණි. “අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ ලකුණු සිදු කරයි” කියා ඇතමෙක් පසුව ප්‍රශ්න කළාහ. (යොහන් 11:47) එහෙත්, “ක්‍රිස්තුස් පැමිණි විට, මේ මිනිසා කර ඇති ලකුණුවලටත් වඩා යමක් ඔහුට කරන්න පුළුවන් වෙයිද?” කියමින් ඇතැම් අය වඩා හිතකර ලෙස ඊට ප්‍රතිචාරය දක්වති. (යොහන් 7:31) යේසුස් ඉදිරිපත් කළ මේ සාක්ෂියෙන්, පියාණන්ගේ ගුණාංග පුත්‍රයාගෙන් දැකීමට ඔහුට සවන් දුන් අයට හොඳ ප්‍රස්තාවක් උදා විය.—යොහන් 14:9.

7. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල යේසුස් ගැන සාක්ෂි දරන්නේ කෙසේද?

7 අවසානයේදී, යේසුස් ගෙන ආවේ බිඳිය නොහැකි තර්කයකි. ඔහු කීවේ ‘ශුද්ධ ලියවිල්ල මා ගැන සාක්ෂි දරන්නේය’ කියාය. ඔහු ඒ ගැන තවදුරටත් විස්තර කරමින් කීවේ මෙසේයි. “ඔබ මෝසෙස්ව විශ්වාස කළා නම්, මාව විශ්වාස කරනවා ඇත. මන්ද ඔහු මා ගැන ලීවේය.” (යොහන් 5:39, 46) මෝසෙස් වනාහි ක්‍රිස්තියානි යුගයට පෙර ක්‍රිස්තුස් ගැන ලියූ බොහෝදෙනෙකුගෙන් එක් කෙනෙක් පමණි. මෙසියස් ගැන සඳහන් වූ සිය ගණනක් අනාවැකි සහ ඔහුගේ පෙළපත පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔවුන්ගේ ලියවිලිවලට ඇතුළත් විණි. (ලූක් 3:23-38; 24:44-46; ක්‍රියා 10:43) මෝසෙස්ගේ නීතිය ගැන කුමක් කිව හැකිද? “නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපේ උපදේශකයා බවට පත් වී තිබේ” කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (ගලාති 3:24) එසේය, “අනාවැකි දෙනු ලබන්නේ යේසුස් පිළිබඳව සාක්ෂි දැරීම සඳහාය.”—එළිදරව් 19:10.

8. යුදෙව්වන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැත්තේ මන්ද?

8 යොහන් දුන් පැහැදිලි සාක්ෂිය, යේසුස් කළ බලවත් ක්‍රියා සහ ඔහු විදහාපෙන්වූ දිව්‍ය ගුණාංග මෙන්ම ශුද්ධ ලියවිල්ලෙන් සැපයෙන සාක්ෂි කන්දරාව යන මේ සාක්ෂි සියල්ල දෙස බලන විට, යේසුස් මෙසියස් වූ බව ඔබට එත්තුයන්නේ නැද්ද? දෙවි කෙරෙහිත් ඔහුගේ වචනය උදෙසාත් අවංක ප්‍රේමයක් ඇති ඕනෑම අයෙකුට මෙය මොනවට පැහැදිලි වන අතර, යේසුස් වනාහි පොරොන්දු වූ මෙසියස් බව එවැන්නෙක් අදහනවා ඇත. එහෙත්, එවන් ප්‍රේමයක් ඊශ්‍රායෙලයේ ජනයා තුළ තිබුණේ නැත. සිය සතුරන්ට යේසුස් කීවේ මෙසේයි. “දෙවි කෙරෙහි ප්‍රේමය ඔබ තුළ නැති බව මම හොඳින් දනිමි.” (යොහන් 5:42) ‘එකම දෙවිගෙන් පැමිණෙන ගෞරවය සොයනවා’ වෙනුවට, ඔවුන් සෙව්වේ, ‘එකිනෙකාගෙන් පැමිණෙන ගෞරවයයි.’ තම පියා මෙන් එවන් ආකල්පයක් පිළිකුල් කළ යේසුස් සමඟ ඔවුන් එකඟ නොවීම පුදුමයක් නොවේ.—යොහන් 5:43, 44; ක්‍රියා 12:21-23.

අනාවැකිමය දර්ශනයකින් ශක්තිමත් වී

9, 10. (අ) යේසුස්ගේ ගෝලයන්ට ලකුණක් ලැබීම කාලෝචිත සිදුවීමක්යයි කිව හැක්කේ මන්ද? (ආ) යේසුස් තම ගෝලයන්ට දුන් සුවිශේෂී පොරොන්දුව කුමක්ද?

9 ඉහත සඳහන් සාක්ෂි ලබා දීම මගින් යේසුස් තමා මෙසියස් බව පෙන්වා වසරකට වඩා වැඩි කාලයක් ගත වී තිබුණි. ක්‍රිස්තු වර්ෂ 32 පාස්කු සමය ඉකුත් වුණා පමණි. ඔහුව විශ්වාස කළ බොහෝදෙනෙක් ඔහු පසුපස යෑම අත්හැර ඇත. සමහරවිට මීට හේතුව ඔවුන්ට පීඩාවලට හෝ ජීවිතයේ නොයෙක් කරදරවලට මුහුණ දීමට සිදු වුණු නිසා විය හැකියි. නැත්නම් භෞතික සම්පත් කෙරෙහි තිබූ ඇල්ම නිසා විය හැකියි. යේසුස්ව රජෙකු බවට පත් කිරීමට දැරූ වෑයම් ඔහු ප්‍රතික්ෂේප කළ නිසා තවත් සමහරුන්ට ඔහුව තේරුම්ගැනීමට බැරි වුණා විය හැකියි. නැතහොත් ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුණාද විය හැකියි. ලකුණක් දෙන්නැයි කියා යුදෙව් ආගමික නායකයන් ඔහුට අභියෝග කළ විට, තමාට ගෞරවය ලබාගැනීම සඳහා ස්වර්ගයෙන් ලකුණක් දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. (මතෙව් 12:38, 39) යේසුස් එවැන්නක් ප්‍රතික්ෂේප කිරීම ඇතමුන්ට ප්‍රහේලිකාවක් වුණා විය හැකියි. එපමණක්ද නොව, ඔහු සිය ගෝලයන්ට වටහාගැනීමට අමාරු දෙයක් හෙළි කිරීමට පටන්ගෙන තිබුණේය. එය නම්, ‘නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දුක් විඳින්නත්, මරනු ලබන්නත්, තමන් යෙරුසලමට යා යුතු බවයි.’—මතෙව් 16:21-23.

10 තව මාස නවයකින් හෝ දහයකින් “[යේසුස්] මේ ලෝකයෙන් පිටත්ව පියාණන් වෙතට යන” කාලය පැමිණෙනවා ඇත. (යොහන් 13:1) යේසුස් නොඇදහිලිකාර යුදෙව්වන්ට ස්වර්ගයෙන් ලකුණක් දීම ප්‍රතික්ෂේප කළත්, තම පක්ෂපාත ගෝලයන් කෙරෙහි තිබෙන ගැඹුරු සැලකිල්ල නිසා ඔවුන්ගෙන් සමහරදෙනෙකුට ලකුණක් දීමට ඔහු පොරොන්දු වෙයි. යේසුස් මෙසේ පවසයි. “සැබවින්ම මම ඔබට කියමි, මනුෂ්‍ය පුත්‍රයා සිය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින්න පළමුවෙන්, මෙතැන සිටගෙන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිසේත් මරණ රසය විඳින්නේ නැත.” (මතෙව් 16:28) යේසුස් මෙහි පවසමින් සිටින්නේ ගෝලයන්ගෙන් සමහරදෙනෙක්, 1914දී මෙසියානු රාජ්‍යය පිහිටුවනු ලැබීම සිදු වන තෙක් ජීවත් වෙනවා යන්න නොවන බව පැහැදිලිය. යේසුස්ගේ මනසේ තිබෙන්නේ තම සමීපතම ගෝලයන් තිදෙනෙකුට තමා රාජ්‍ය බලයෙන් යුතුව තේජසින් සිටීම පිළිබඳ දර්ශනීය පෙරදැක්මක් ලබා දීමටයි. මෙම පෙරදැක්ම අන් ස්වරූපයකට පත්වීම යනුවෙන් හැඳින්වේ.

11. අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය විස්තර කරන්න.

11 ඊට දවස් හයකට පසු, යේසුස් පේතෘස්ද යාකොබ්ද යොහන්ද කැටුව උස කන්දකට නඟී. මෙය හෙර්මොන් කඳුවැටියේ එක කන්දක් විය හැකියි. එහිදී, යේසුස් “ඔවුන් ඉදිරියෙහි අන් ස්වරූපයකට පත් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළුණේය. ඔහුගේ පිට වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් විය.” මෝසෙස් සහ එලියා යන අනාගතවක්තෲන්ද යේසුස් සමඟ කතා කරමින් සිටිනවා දක්නට ලැබේ. මෙම අරුම පුදුම දර්ශනය වඩාත් දීප්තිමත් බවක් ගන්නේ සමහරවිට එය රාත්‍රි කාලයේදී සිදුවීම නිසා විය හැකියි. ඇත්තෙන්ම, එය කොතරම් සැබෑ සිදුවීමක් ලෙස පෙනෙන්ට තිබෙනවාද යත් යේසුස්ට, මෝසෙස්ට සහ එලියාට කූඩාරම් එක බැගින් කූඩාරම් තුනක් සෑදීමට පේතෘස් ඉදිරිපත් වෙයි. පේතෘස් කතා කරමින් සිටිද්දී, දීප්තිමත් වලාකුළක් ඔවුන්ව වසාගනී. ඒ සමඟම මෙසේ කියන හඬක්ද ඇසේ. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.”—මතෙව් 17:1-6.

12, 13. අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනය යේසුස්ගේ ගෝලයන්ට කෙසේ බලපෑවාද? ඒ මන්ද?

12 යේසුස් වනාහි ‘ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය’ කියා පේතෘස් මෑතකදී ස්ථිර ලෙස කියා සිටි බව සැබෑවකි. (මතෙව් 16:16) නමුත් මේ ගැන සිතන්න. තම අභිෂේක ලත් පුත්‍රයා කවුද යන්න සහ ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්න තහවුරු කරමින් දෙවිම පැවසූ දේ ඔවුන්ට ඇසේ! මෙම අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනය දැකීමෙන් පේතෘස්ගේ, යාකොබ්ගේ සහ යොහන්ගේ ඇදහිල්ල මොන තරම් ශක්තිමත් වුණාද! එම නිසා තමන් ඉදිරියේ තිබෙන දේවලට මුහුණ දීමටත් අනාගතයේ සභාව තුළ තමන් දරන භාරදූර වගකීම්වලට උර දීමටත් ඔවුහු දැන් වඩාත් හොඳින් සූදානම්ව සිටිති.

13 මෙම අන් ස්වරූපයකට පත් වීමේ දර්ශනය ගෝලයන්ගේ මතකයේ දීර්ඝ කාලයක් පුරා රැඳී තිබේ. එම දර්ශනය දැකීමෙන් වසර 30කට පසුව, පේතෘස් මෙසේ ලියයි. “‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මොහුට මාගේම අනුමැතිය ඇත’ යන මේ වදන් අතිඋතුම් තේජසින් ඔහු වෙතට පැමිණි කල, පියාණන් වන දෙවිගෙන් ගෞරවයත් මහිමයත් [යේසුස්] ලැබුවේය. එසේය, අප ඔහු සමඟ ශුද්ධ කන්දෙහි සිටිද්දී, මේ වදන් ස්වර්ගයෙන් පැමිණෙනවා අපට ඇසිණ.” (2 පේතෘස් 1:17, 18) මේ සිද්ධිය යොහන්ගේ මතකයේ රැඳී තිබෙන්නෙත් එලෙසමයි. එම සිද්ධිය සිදු වී වසර 60කට වඩා වැඩි කලකට පසුව මෙම වදන් මගින් ඔහු එය සිහිපත් කරන බවක් පෙනේ. “ඔහුගේ තේජස අපට පෙනිණ. එය ඒකජාතක පුත්‍රයෙකුට පියෙකුගෙන් හිමි තේජසක් මෙන් විය.” (යොහන් 1:14) එහෙත්, මෙම අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය යේසුස් සිය අනුගාමිකයන්ට දුන් අන්තිම දර්ශනය නොවේ.

දෙවිට පක්ෂපාතවූවන්ට තවදුරටත් දුන් ඥානාලෝකය

14, 15. යේසුස් පැමිණෙන තෙක් ප්‍රේරිත යොහන් ජීවත් වනු ඇත්තේ කිනම් අර්ථයෙන්ද?

14 යේසුස් සිය නැවත නැඟිටීමෙන් පසුව ගලීල මුහුද අසලදී ගෝලයන්ට දර්ශනය වෙයි. මෙහිදී ඔහු පේතෘස්ට පවසන්නේ මෙසේයි. “මා එන තෙක් [යොහන්] සිටිනවාට මා කැමති නම්, එයින් ඔබට මොකද?” (යොහන් 21:1, 20-22, 24) ප්‍රේරිත යොහන් අනෙක් ප්‍රේරිතයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වන බව මෙම වචනවලින් අඟවනවාද? එය එසේ විය හැකියි. මන්ද ඔහු ඊටපසු තවත් වසර 70ක් පමණ යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන හෙයිනි. එහෙත්, යේසුස් කී දෙයින් මීට වඩා වැඩි දෙයක් අර්ථවත් විය.

15 “මා එන තෙක්” යන ප්‍රකාශයෙන් අපට සිහිගැන්වෙන්නේ, “මනුෂ්‍ය පුත්‍රයා සිය රාජ්‍යයෙන් යුක්තව එනවා” යනුවෙන් යේසුස් පැවසූ වදන්ය. (මතෙව් 16:28) අනාගතයේදී යේසුස් රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණීම පිළිබඳ අනාවැකිමය දර්ශනයක් පසුව යොහන්ට දකින්ට ලැබෙන බැවින්, ඒ අර්ථයෙන් යේසුස් එන තෙක් යොහන් ජීවත් වන බවක් කිව හැකියි. යොහන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී ඔහුව පැට්මොස් දූපතට පිටුවහල් කරනු ලැබ සිටින විට, එහිදී ඔහුට එළිදරව්ව ලැබේ. ඒ මගින් ඔහුට දකින්නට ලැබෙන්නේ “ස්වාමීන්ගේ දවස” අතරතුරේදී සිදු වෙන්නට නියමිත සිදුවීම් පිළිබඳ පුදුමාකාර අනාවැකිමය ලකුණුය. යේසුස් “එසේය; මම ඉක්මනින් එමි” කියා පැවසූ විට, යොහන් එසැණින් හඬ නඟා “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න” කියා පිළිතුරු දීමෙන්, මේ අරුම පුදුම දර්ශන යොහන්ට කොතරම් ගැඹුරින් බලපෑවාද යන්න මොනවට කියාපායි.—එළිදරව් 1:1, 10; 22:20.

16. අප දිගටම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම වැදගත් වන්නේ මන්ද?

16 පළමු සියවසේ විසූ අවංක හදවත් ඇති අය යේසුස්ව මෙසියස් ලෙස පිළිගෙන ඔහු කෙරෙහි ඇදහිල්ල තබති. ඒ කාලයේදී හාත්පස පැතිර තිබුණු නොඇදහිලිකාර ස්වභාවය නිසාත්, ඔවුන්ට යම් කාර්යභාරයක් පැවරී තිබූ නිසාත්, ඉදිරියේදී පරීක්ෂාවලට ඔවුන් මුහුණ දීමට තිබුණු නිසාත්, ඇදහිලිවන්තයන් බවට පත් වන අයව ශක්තිමත් කිරීම අවශ්‍ය විය. යේසුස් තමා මෙසියස් බව ඔප්පු කිරීම සඳහා ඕනෑ තරම් සාක්ෂි ඉදිරිපත් කර තිබෙන අතර, සිය පක්ෂපාත අනුගාමිකයන්ව දිරිගැන්වීම සඳහා අනාවැකිමය දර්ශන තුළින් පැහැදිලි අවබෝධයක්ද ඔවුන්ට ලබා දී ඇත. අද අපි ජීවත් වෙන්නේ ‘ස්වාමීන්ගේ දවසේ’ අවසාන භාගයේය. ක්‍රිස්තුස් ළඟදීම සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් දෙවිගේ ජනයාව ගලවාගනී. මේ නිසා, අපගේ ආත්මික සුභසාධනය වෙනුවෙන් යෙහෝවා සපයා තිබෙන සෑම දෙයකින්ම උපරිම ප්‍රයෝජන ගෙන අපත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගත යුතුය.

අන්ධකාරයෙන් සහ පීඩාවෙන් මිදී

17, 18. පළමු සියවසේදී යේසුස්ගේ අනුගාමිකයන් සහ දෙවිගේ අරමුණට විරුද්ධ වූවන් අතර තිබුණේ කිනම් පැහැදිලි වෙනසද? මෙම එක් එක් කණ්ඩායමට ලැබුණු අවසන් ප්‍රතිඵල විස්තර කරන්න.

17 යේසුස්ගේ මරණයට පසුව, “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” සාක්ෂි දරන්න කියා යේසුස් දුන් ආඥාවට ගෝලයෝ ඉතා නිර්භීතව කීකරු වෙති. (ක්‍රියා 1:8) පීඩාකාරී කාලවල් කිහිපයක් පසු කළත්, අලුතෙන් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවට යෙහෝවා ආශීර්වාද කරන්නේ ආත්මික ඥානාලෝකය දෙමින් සහ අලුත් ගෝලයන් බොහෝදෙනෙක් ඊට එකතු කරමිනි.—ක්‍රියා 2:47; 4:1-31; 8:1-8.

18 අනෙක් අතට, ශුභාරංචියට විරුද්ධ වන අයගේ අනාගතය කෙමෙන් කෙමෙන් අඳුරු වෙයි. “දුෂ්ටයන්ගේ මාර්ගය අඳුර මෙන්ය. ඔවුහු කුමකින් පැකිලෙද්දැයි නොදනිති” කියා හිතෝපදේශ 4:19 පවසයි. ක්‍රිස්තු වර්ෂ 66දී රෝමානු හමුදාව යෙරුසලම වටලන විට මෙම “අඳුර” තීව්‍ර වේ. කිසිදු පැහැදිලි හේතුවකින් තොරව මෙම රෝමවරු ආපසු හැරී ගියත්, ක්‍රි.ව. 70දී ඔවුහු නැවත ඇවිත් නගරය සුනුවිසුනු කරති. යුදෙව් ජාතික ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් පවසන පරිදි, ඒ අවස්ථාවේදී යුදෙව්වෝ මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් විනාශ වූහ. කෙසේවෙතත්, ඇදහිලිවන්ත ක්‍රිස්තියානීහු ගැලවුණාහ. ඒ මන්ද? මුල් අවස්ථාවේදී රෝමවරුන් ආපසු හැරී ගිය අතරතුර ඔවුහු යේසුස් කී ලෙස පලා ගිය නිසාය.—ලූක් 21:20-22.

19, 20. (අ) වත්මන් සමාජ ක්‍රමය අවසානයට ළං වෙත්ම, දෙවිගේ ජනයාට භයවීමට කිසිදු හේතුවක් නැත්තේ මන්ද? (ආ) වර්ෂ 1914ට පෙර දශකවලදී යෙහෝවා තම ජනයාට දුන්නේ කිනම් සුවිශේෂ අවබෝධයක්ද?

19 අප සිටින්නේද ඒ හා සමාන තත්වයකයි. ඉදිරියේදී පැමිණෙන මහත් පීඩාවෙන් සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමයේ සම්පූර්ණ විනාශය සනිටුහන් වෙයි. එහෙත් දෙවිගේ ජනයා භය විය යුතු නැත. මන්ද යේසුස් පොරොන්දු වූයේ මෙයයි. “බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:20) සිය මුල් ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත් ඉදිරියේ මුහුණ දීමට තිබෙන තත්වයන්වලට ඔවුන්ව සූදානම් කිරීමටත් මෙසියානු රජ වශයෙන් තම ස්වර්ගික තේජස පිළිබඳ පෙරදැක්මක් යේසුස් ඔවුන්ට ලබා දුන්නේය. අද ගැන කුමක් කිව හැකිද? එම පෙරදැක්මෙන් සිදු වූ දෙය 1914 වසරේදී සැබෑ විණි. මෙසියානු රජ වශයෙන් යේසුස් පාලනය කරමින් සිටින්නේය යන කාරණය දෙවිගේ ජනයාගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් කර තිබෙනවාද! එම රාජ්‍යය මගින් පුදුමාකාර අනාගතයක් පොරොන්දු කරයි. තවද යෙහෝවාගේ සේවකයන්ට ඒ අනාගතය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ක්‍රමානුකූලව ලැබී තිබේ. එය වර්තමාන ලෝකයේ පවතින අඳුරු තත්වයන් මැද “ධර්මිෂ්ඨයන්ගේ මාවත සම්පූර්ණ දවාල දක්වා වඩ වඩා බබළන දීප්තිමත් ආලෝකය මෙන්ය.”—හිතෝපදේශ 4:18.

20 වර්ෂ 1914ට පෙර පවා, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් කුඩා කණ්ඩායමක් ස්වාමීන්ගේ පැමිණීම පිළිබඳ අතිවැදගත් සත්‍යතාවන් වටහාගැනීමට පටන්ගත්හ. නිදසුනක් වශයෙන් ක්‍රි.ව. 33දී, යේසුස් ස්වර්ගස්ථ වන විට ගෝලයන්ට දර්ශනය වූ දේවදූතයන් දෙදෙනෙක් ඇඟවූ පරිදි, ස්වාමීන්ගේ පැමිණීම අදෘශ්‍යමාන එකක් වනු ඇති බව ඔවුහු වටහාගත්හ. ඒ අවස්ථාවේදී යේසුස්ව වලාකුළකින් වැසී ගෝලයන්ට නොපෙනී ගිය විට, එම දේවදූතයන් පැවසුවේ මෙයයි. “ඔබ කෙරෙන් අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, අහසට යනවා ඔබ දුටු ආකාරයෙන්ම එන්නේය.”—ක්‍රියා 1:9-11.

21. ඊළඟ ලිපියේදී සලකා බලනු ඇත්තේ කුමක්ද?

21 යේසුස් ස්වර්ගයට යද්දී එය දුටුවේ ඔහුගේ පක්ෂපාත ගෝලයන් පමණි. යේසුස් අන් ස්වරූපයකට පත් වෙද්දී සිදු වුණාක් මෙන්ම, මෙයත් සිදු වූයේ ප්‍රසිද්ධියේ නොවේ. සිදු වූ දේ ගැන සාමාන්‍ය ජනයා කිසිවක් දැනගෙන සිටියේ නැත. ක්‍රිස්තුස් රාජ්‍යය බලයෙන් යුතුව පැමිණෙන විට සිදු වනු ඇත්තේද එයමයි. (යොහන් 14:19) ඔහු රාජකීය බලයෙන් පැමිණ සිටින බව වටහාගනු ඇත්තේ ඔහුගේ විශ්වාසවන්ත අභිෂේක ලත් ගෝලයන් පමණි. එම අවබෝධය ඔවුන්ට ගැඹුරින් බලපානු ඇති ආකාරය ගැනත්, යේසුස්ගේ භූමික යටත් වැසියන් බවට පත්වීමට සිටින මිලියන ගණනක් ජනතාවව එක්කාසු කිරීම අවසන් වන ආකාරය ගැනත් අපි ඊළඟ ලිපියේදී සලකා බලමු.—එළිදරව් 7:9, 14.

[පාදසටහන]

^ 5 ඡේ. පෙනෙන විදිහට, යේසුස්ගේ බව්තීස්මයේදී දෙවිගේ හඬ ඇසුණේ යොහන්ට පමණි. යේසුස් අමතමින් සිටි යුදෙව්වන්, “කිසි කලක [දෙවිගේ] හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැත.”—යොහන් 5:37.

ඔබට මතකද?

• සබත කඩ කළාය කියාත් දේවඅපහාස කළාය කියාත් යේසුස්ට චෝදනා කරනු ලැබූ විට, තමා මෙසියස් බව පෙන්වීමට ඔහු දුන් සාක්ෂි කවරේද?

• අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය යේසුස්ගේ මුල් ගෝලයන්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?

• තමා පැමිණෙන තෙක් යොහන් ජීවත් වනු ඇති බව යේසුස් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

• වර්ෂ 1914දී සැබෑ වුණේ කිනම් පෙරදැක්මද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

යේසුස් තමා මෙසියස් බව තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කළේය

[12වන පිටුවේ පින්තූරය]

අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනයෙන් ගෝලයන්ගේ ඇදහිල්ල ශක්තිමත් විණි

[13වන පිටුවේ පින්තූරය]

යේසුස් ‘පැමිණෙන’ තෙක් යොහන් ජීවත්ව සිටිය යුතු විය