Skip to content

පටුනට යන්න

“එකිනෙකාට ආගන්තුක සත්කාරය පිරිනමන්න”

“එකිනෙකාට ආගන්තුක සත්කාරය පිරිනමන්න”

“එකිනෙකාට ආගන්තුක සත්කාරය පිරිනමන්න”

පළමු ශතවර්ෂයේ විසූ ක්‍රිස්තියානියෙකු වූ ෆීබිට ගැටලුවක් තිබුණා. ඇය ග්‍රීසියේ සෙන්ක්‍රෙයාහි සිට රෝමයට ගමන් කරමින් සිටියා. නමුත් රෝමයේ සිටි සෙසු ඇදහිලිවන්තයන්ව ඇය දැනගෙන සිටියේ නැහැ. (රෝම 16:1, 2) “[ඒ කාලයේදී] රෝමය කුරිරුකම්වලින් පිරුණු දුෂ්ට තැනක් වුණා” කියා බයිබල් පරිවර්තක එඩ්ගර් ගුඩ්ස්පීඩ් කියනවා. “එමෙන්ම විනීත කාන්තාවකට එහි තානායම්වල නැවතීම සුදුසු නොවූ බව හැමෝම දන්නා දෙයක්. විශේෂයෙන්ම ක්‍රිස්තියානි කාන්තාවකට එම ස්ථානවල නැවතීම කොහෙත්ම සුදුසු දෙයක් වුණේ නැහැ.” ඉතින් ෆීබි නවාතැන් ගන්නේ කොහේද?

බයිබලය ලියනු ලැබූ කාලයේදීත් මිනිස්සු බොහෝ ගමන් බිමන්වල යෙදුණා. ශුභාරංචිය දේශනා කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස් මෙන්ම ඔහුගේ ගෝලයන්ද යුදය සහ ගලීලය පුරා බොහෝ ගමන් කළා. ඉන් ටික කලකට පසුව පාවුල් වැනි ක්‍රිස්තියානි මිෂනාරිවරු රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ රෝමය ඇතුළු මධ්‍යධරණී මුහුද අවට පිහිටි විවිධ ප්‍රදේශවලට රාජ්‍ය පණිවුඩය ගෙන ගියා. පළමු ශතවර්ෂයේ විසූ ක්‍රිස්තියානීන් යුදෙව්වන් විසූ ප්‍රදේශවල හෝ වෙනත් ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවලදී නැවතී සිටියේ කොහේද? නවාතැන් සොයාගෙන යද්දී ඔවුන්ට කුමනාකාර අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණාද? ආගන්තුක සත්කාරය පිරිනැමීම පිළිබඳව අපට ඔවුන්ගෙන් ඉගෙනගත හැකි පාඩම් තිබෙනවාද?

“අද මට ඔබේ ගෙදර නවතින්න ඕනෑ”

ආගන්තුක සත්කාරය පෙන්වීම යෙහෝවා දෙවිගේ සැබෑ නමස්කාරකයන් අතර බොහෝ කලක පටන් දක්නට ලැබෙන ලක්ෂණයක්. ආබ්‍රහම්, ලොත් සහ රෙබෙකා ආගන්තුක සත්කාරය පෙන්වූ කිහිපදෙනෙක්. (උත්පත්ති 18:1-8; 19:1-3; 24:17-20) අමුත්තන්ට තමා සැලකූ ආකාරය ගැන කුලදෙටු යෝබ් පැවසුවේ මෙයයි. “විදේශිකයා වීථියේ නවාතැන් නොගත්තේය; එහෙත් මාගේ දොරවල් මඟියාට ඇරියෙමි.”—යෝබ් 31:32.

දිගු ගමනක යෙදුණු කෙනෙකුට සෙසු ඊශ්‍රායෙලිතයන්ගෙන් ආගන්තුක සත්කාරය අවශ්‍ය වුවහොත් ඔහු කළ යුතුව තිබුණේ, එම නුවර වීථියට ගොස් යම් කෙනෙක් ඔහුව තමාගේ නිවසට පිළිගන්නා තෙක් බලා සිටීම පමණයි. (විනිශ්චයකාරයෝ 19:15-21) අමුත්තන්ට තම නිවසට ආරාධනා කළ තැනැත්තා සාමාන්‍යයෙන් කරන්නේ අමුත්තන්ගේ පාද සෝදා ඔහුට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමයි. එපමණක් නෙවෙයි, ඔවුන්ගේ සතුන්ටත් ඔහු ආහාර සපයනවා. (උත්පත්ති 18:4, 5; 19:2; 24:32, 33) තමන්ට මෙලෙස ආගන්තුක සත්කාරය දක්වන අයට බරක් වීමට කැමති නොවූ අය, ගමන් බිමන් යද්දී තමන්ට අවශ්‍ය රොටි, වයින් මෙන්ම තම බූරුවන්ට ඇති තරම් පිදුරු සහ වෙනත් සත්ව ආහාරද රැගෙන ගියා. එවැනි අයට අවශ්‍ය වුණේ රාත්‍රිය ගත කිරීමට නවාතැනක් විතරයි.

යේසුස්ගේ දේශනා සංචාරවලදී ඔහුට නවාතැන් ලැබුණේ කොහොමද කියා බයිබලයේ එතරම් සඳහන් වූයේ නැතත්, ඔහුටත් ඔහුගේ ගෝලයන්ටත් අනිවාර්යයෙන්ම රාත්‍රිය ගත කරන්න තැනක් අවශ්‍ය වුණා. (ලූක් 9:58) යෙරිකෝවේදී යේසුස් සකෙවුස් අමතමින් කීවේ මෙයයි. “අද මට ඔබේ ගෙදර නවතින්න ඕනෑ.” සකෙවුස් තම නිවසට යේසුස්ව “ප්‍රීතියෙන්” පිළිගත්තා. (ලූක් 19:5, 6) බෙතානියේ විසූ යේසුස්ගේ මිත්‍රයන් වූ මාර්තා, මරියා සහ ලාසරුස් ඔහුව තම නිවසට පිළිගෙන බොහෝ අවස්ථාවලදී ඔහුට ආගන්තුක සත්කාරය දැක්වූවා. (ලූක් 10:38; යොහන් 11:1, 5, 18) කපර්ණවුමේදී යේසුස් සීමොන් පේතෘස්ගේ නිවසේ නතර වුණා වෙන්න පුළුවන්.—මාක් 1:21, 29-35.

ඊශ්‍රායලයේදී ඔවුන්ට කුමනාකාර පිළිගැනීමක් ලැබෙනු ඇද්ද යන්න පිළිබඳ බොහෝ විස්තර, යේසුස් තම ගෝලයන් 12දෙනාට දේවසේවය සම්බන්ධයෙන් දුන් උපදෙස්වල අඩංගු වෙනවා. යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ඔබේ ඉඟටි පටියේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ හෝ ගෙන නොයන්න. ගමන සඳහා කෑම මල්ලක්වත් ඇතුල් වස්ත්‍ර දෙකක්වත් පාවහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මන්ද වැඩ කරන්නා තමාගේ ආහාර ලබන්න වටින්නේය. ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන්ව සොයාගන්න. පිටත්ව යන තුරු එහි නවතින්න.” (මතෙව් 10:9-11) යහපත් හදවත් තිබූ පුද්ගලයන් ගෝලයන්ව තම නිවෙස්වලට පිළිගෙන ඔවුන්ට ආහාර, නවාතැන් සහ වෙනත් අවශ්‍ය දේවල් සපයනු ඇති බව ඔහු දැනගෙන සිටියා.

කෙසේවෙතත් ශුභාරංචිය දේශනා කරමින් සංචාරයේ යෙදෙන අය තමන්ගේ අවශ්‍යතා මෙන්ම වියහියදම් සපුරාගත යුතු කාලය ළං වෙමින් තිබුණා. ගෝලයන්ට ඉදිරියේදී විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට සිදු වෙනවා ඇති. ඒ වගේම දේශනා කිරීමේ කාර්යය ඊශ්‍රායෙලයට පිටතින් පිහිටි ප්‍රදේශවලත් ව්‍යාප්ත වීමට තිබුණා. මේ කාරණා මනසේ තබාගෙනයි යේසුස් ඔවුන්ට මෙහෙම කීවේ. “පසුම්බියක් ඇති තැනැත්තා එයද, කෑම මල්ලක්ද ගන්න.” (ලූක් 22:36) ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට නම් විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත් ඒ ප්‍රදේශවල නවාතැන් ගැනීමටත් අනිවාර්යයෙන්ම සිදු වුණා.

“ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න”

පළමු ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය පුරා බොහෝදුරට පැවතුණේ සාමකාමී වාතාවරණයක්. එමෙන්ම එහි හොඳ මාර්ග පද්ධතියක්ද තිබූ නිසා සංචාරයේ යෙදුණු අය නිතරම පාහේ එහි ගැවසුණා. * මෙසේ සංචාරයේ යෙදෙන පිරිස් වැඩි වෙනවත් සමඟම නවාතැන් සඳහා ඉල්ලුමත් වැඩි වුණා. ප්‍රධාන පාරවල් දිගේ තානායම් පිහිටා තිබුණේ මෙම ඉල්ලුම පිරිමහන්නයි. එක තානායමකින් තව එකකට යන්න දවසක් ගත වුණා. කෙසේවෙතත් ක්‍රියා පොතේ අඩංගු ග්‍රීක/රෝම පසුබිම තේරුම්ගැනීම (The Book of Acts in Its Graeco-Roman Setting) නමැති ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ මෙයයි. “සාහිත්‍යමය කෘතිවල පවා කියවෙන පරිදි එවැනි නවාතැන්වල එතරම් සතුටුදායක තත්වයක් තිබී නැහැ. එවැනි තැන් ගැන සඳහන් දැනට තිබෙන පොත්පත්වල දැක්වෙන කරුණුවලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පෙනෙන්නේ ඒවා ගරා වැටුණු, අපිරිසිදු තැන් වූ බවයි. ඒවායේ ගෘහභාණ්ඩ තිබුණේ නැති තරම්. මකුණොත් පිරිලා. ඒවායේ පිළිගන්වනු ලැබූ ආහාර පාන ආදිය තිබුණේ ගුණාත්මකබවින් අඩු තත්වයකයි. අයිතිකරුවන් සහ සේවක පිරිස පවා විශ්වාස කළ නොහැකි පුද්ගලයන්. ඒවායේ සාමාන්‍යයෙන් නවාතැන් ගත්තේ පහත් සදාචාර මට්ටමක සිටි අයයි.” හොඳ සදාචාර ගතිපැවතුම් තිබූ කෙනෙක් හැකි සෑම විටකදීම එවැනි තැනක නවාතැන් ගැනීමෙන් වැළකීම පුදුමයක් නෙවෙයි.

එසේනම් ආගන්තුක සත්කාරය පෙන්වන්න කියා ශුද්ධ ලියවිලි නැවත නැවත ක්‍රිස්තියානීන්ට උනන්දු කිරීම අමුතු දෙයක් නෙවෙයි. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් පාවුල් උදක්ම ඉල්ලා සිටියේ “ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතාවලදී ඔවුන් සමඟ බෙදාගන්න. ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” කියායි. (රෝම 12:13) “ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, එසේ කිරීමෙන් සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට සත්කාර කළෝය” කියා ඔහු යුදෙව් ක්‍රිස්තියානීන්ට සිහිගැන්නුවා. (හෙබ්‍රෙව් 13:2) පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ට අවවාද කළේ මේ ආකාරයටයි. “කොඳුරන්නේ නැතිව එකිනෙකාට ආගන්තුක සත්කාරය පිරිනමන්න.”—1 පේතෘස් 4:9.

නමුත් ආගන්තුක සත්කාරය පිරිනැමීම නුසුදුසු විය හැකි අවස්ථාද තිබුණා. කෙනෙක් “ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමෙහි නොපැවතී, එහි සීමා ඉක්මවා” යනවා නම් “ඔහුව කිසිවිටක ඔබේ ගෙදරට පිළි නොගන්න. ඔහුට ආචාර නොකරන්න. මන්ද, ඔහුට ආචාර කරන්නා ඔහුගේ දුෂ්ට ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය” කියා ප්‍රේරිත යොහන් පැවසුවා. (2 යොහන් 9-11) පසුතැවිලි නොවන පව්කාරයන් ගැන පාවුල්ද ලීවේ මෙවැනි දෙයක්. ‘සහෝදරයෙකුයයි කියන ලද කෙනෙකු වේශ්‍යාකම් කරන්නෙකු හෝ ගිජුකමක් ඇත්තෙකු හෝ රූප වඳින්නෙකු හෝ නිග්‍රහ කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නෙකු හෝ වේ නම්, ඔහු සමඟ ඇසුරු කිරීම නතර කරන්න. එවැනි මිනිසෙකු සමඟ කෑමවත් නොකන්න.’—1 කොරින්ති 5:11.

සැබෑ ක්‍රිස්තියානීන්ගේ කරුණාවන්තකමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට වංචාකාරයන් මෙන්ම වෙනත් අයද උත්සාහ කරන්නට ඇති. ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයේදී පළ වූ ද ඩියාහී හෙවත් ප්‍රේරිතවරු දොළොස්දෙනාගේ ඉගැන්වීම් නමැති බයිබලයට සම්බන්ධ නොවූ පොතක නිර්දේශ කර තිබුණේ සංචාරයේ යෙදෙන දේශනාකරුවෙකුට “දිනක් හෝ දින දෙකක්” ආගන්තුක සත්කාරය පිරිනැමිය යුතු බවයි. ඔහු නවාතැන් ගත් නිවසින් පිටත්ව යන විට “ආහාර මිසක වෙන කිසිම දෙයක් පිළි නොගනිත්වා. . . . ඔහු මුදල් ඉල්ලා සිටියි නම් ඔහු බොරු අනාගතවක්තෘවරයෙකි.” එම ලියවිල්ලේ තවදුරටත් පැවසෙන්නේ මෙහෙමයි.“ඔහු ඔබේ නිවසේ පදිංචි වීමට කැමති නම්, ඔහු යම් වෘත්තියක් දන්නවා නම්, තමාගේ ආහාර ලබාගැනීම සඳහා ඔහු වැඩ කළ යුතුය. නමුත් ඔහුට වෘත්තියක් කිරීමට දැනුමක් නැත්නම් ඔහුගේ අවශ්‍යතා සපයන්න. යම් මිනිසෙක් තමා ක්‍රිස්තියානියෙක් වන නිසාම කිසිවක් නොකොට ඔබ අතර ජීවත් නොවන පිණිස අවබෝධයෙන් මෙය කරන්න. ඔහු වෘත්තියක් දැනගෙනත් එය නොකරන්නේ නම් එම මිනිසා ක්‍රිස්තියානි ධර්මයේ මුවාවෙන් පෞද්ගලික ලාභය උපදවන පුද්ගලයෙක්. එවැන්නෙකුගෙන් පරෙස්සම් වෙන්න.”

ප්‍රේරිත පාවුල්ව තම නිවෙස්වලට කැඳවා ඔහුට ආගන්තුක සත්කාරය පෙන්වූ අයට මූල්‍යමය අතින් බරක් නොවීමට ඔහු වගබලා ගත්තා. ඔහු තම වියහියදම් පිරිමසාගත්තේ කූඩාරම් සෑදීමෙන්. (ක්‍රියා 18:1-3; 2 තෙසලෝනික 3:7-12) පළමු ශතවර්ෂයේ විසූ ක්‍රිස්තියානීන් තමන් හඳුනන අය ගමන් බිමන්වල යෙදෙද්දී ඔවුන්ව හඳුන්වා දීම සඳහා එම ප්‍රදේශවල විසූ අයට ලිපි ලියූ බව පැහැදිලියි. පාවුල් ෆීබිව හඳුන්වා දීමට ලියූ ලිපියත් එවැන්නක් වෙන්න පුළුවන්. “අපේ සහෝදරි ෆීබිව මම ඔබට හඳුන්වා දෙමි. . . . ස්වාමීන් තුළ ඇයව පිළිගෙන ඇයගේ කවර වුවමනාවකදී හෝ ඇයට උපකාර කරන්න” කියා පාවුල් ලිව්වා.—රෝම 16:1, 2.

ආගන්තුක සත්කාරය පෙන්වීමෙන් ලැබෙන ආශීර්වාද

පළමු ශතවර්ෂයේදී ශුභාරංචිය ව්‍යාප්ත කළ අය යෙහෝවා තම අවශ්‍යතා සපයන බව විශ්වාස කළා. එහෙත් සෙසු ඇදහිලිවන්තයන් තමන්ට ආගන්තුක සත්කාරය පිරිනමයි කියා බලාපොරොත්තු වෙන්න ඔවුන්ට පුළුවන් වුණාද? ලිඩියාගේ නිවස පාවුල්ටත් වෙනත් අයටත් නිතරම විවෘතව තිබුණා. කොරින්තියට යන අතරතුරේදී ප්‍රේරිතවරයා නැවතී සිටියේ අකිලා සහ ප්‍රිසිලාගේ නිවසේ. තවත් අවස්ථාවක සිරගෙදරක භාරකරුවෙක් පාවුල්ටත් සීලස්ටත් ආහාර වේලක් පිළියෙල කළා. තෙසලෝනිකයේදී ජේසන්ද, සිසේරියේදී ෆිලිප්ද, සිසේරියේ සිට යෙරුසලමට යන අතරතුරේදී නාසන් යනාදී අයද පාවුල්ව තම නිවෙස්වලට සාදරයෙන් පිළිගෙන තිබෙනවා. රෝමයට යන අතරතුරේදී පුටෙයෝලියේ විසූ සහෝදරයන් ඔහුට ආගන්තුක සත්කාරය පෙන්නුවා. මෙලෙස පාවුල්ට සැලකූ අය එම අවස්ථාවලදී කොතරම් ආත්මිකව දිරිගැන්වෙන්න ඇද්ද!—ක්‍රියා 16:33, 34; 17:7; 18:1-3; 21:8, 16; 28:13, 14.

විශාරද ෆ්‍රෙඩ්රික් එෆ් බෲස් කීවේ මෙයයි. “පාවුල්ගේ මෙම මිත්‍රයන්, හවුල් වැඩකරුවන් මෙන්ම ඔහුට ආගන්තුක සත්කාරය පිරිනැමූ අනෙක් හැමදෙනාත් පාවුල්ට මෙසේ උපකාර කළේ වෙනත් කිසිම චේතනාවකින් නොව ඔහුටත් ඔහු සේවය කළ ස්වාමියාටත් තිබූ ප්‍රේමය නිසයි. ඔවුන් දැනගෙන සිටියා ඔවුන් පාවුල්ට යමක් කළාද එය ස්වාමීන්ට කළා හා සමාන බව.” මෙයයි ආගන්තුක සත්කාරය දැක්වීමේදී තිබිය යුතු උතුම්ම චේතනාව.

ආගන්තුක සත්කාරය දැක්වීම සඳහා අද කාලෙත් අවශ්‍යතාවක් තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක නියෝජිතයන් දහස් ගණනකට සෙසු ඇදහිලිවන්තයන් ආගන්තුක සත්කාරය පෙන්වනවා. ශුභාරංචිය කලාතුරකින් දේශනා කරනු ලබන ප්‍රදේශවලට සමහර රාජ්‍ය ප්‍රචාරකයන් ගමන් කරන්නේ තමන්ගේම වියදමින්. අපගේ නිවෙස්වල එතරම් පහසුකම් නැතත් එවැනි අයට ආරාධනා කිරීමෙන් අපට ඉමහත් ප්‍රයෝජන ලබාගත හැකියි. ඉතාමත් සරල ආහාරයක් පිළිගන්වමින් වුවත් දයාබර සිතකින් පිරිනමන ආගන්තුක සත්කාරය මගින් “එකිනෙකා අතර අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ඇති කරලීමට හැකියි. එසේම අපේ සහෝදරයන්ටත් අපේ දෙවිටත් ප්‍රේමය පෙන්වීමට අපට එයින් අවස්ථාව උදා වෙයි. (රෝම 1:11, 12) ඇත්තෙන්ම ආගන්තුක සත්කාරය පෙන්වීම ආශීර්වාදයක් වන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති” වන නිසයි.—ක්‍රියා 20:35.

[පාදසටහන]

^ 11 ඡේ. ක්‍රිස්තු වර්ෂ 100 වෙද්දී රෝමය පුරා කිලෝමීටර් 80,000ක් පමණ දිග හොඳ පාරවල් තිබූ බවට විශ්වාසයක් පවතියි.

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ‘ආගන්තුක සත්කාරය පෙන්වනවා’