Skip to content

පටුනට යන්න

ඔබේ අනාගතය තීරණය වන්නේ කුමකින්ද?

ඔබේ අනාගතය තීරණය වන්නේ කුමකින්ද?

ඔබේ අනාගතය තීරණය වන්නේ කුමකින්ද?

“සතුන්ට උන්ගේ ඉරණම තීරණය කිරීමට නොහැක්කා සේම, මනුෂ්‍යයන්ටත් ඔවුන්ගේ ඉරණම තීරණය කිරීමට නොහැක” යනුවෙන් පරිණාමවාදියෙක් වන ජෝන් ග්‍රේ ලියයි. ෂ්මූලි බෝටියාක් නමැති කර්තෘවරයා යුදෙව් ධර්මය හැදෑරීමට බුද්ධිමතෙකුට අත්වැලක් (An Intelligent Person’s Guide to Judaism) යන පොතේ ඊට පටහැනි අදහසක් මෙසේ ඉදිරිපත් කරයි. “මිනිසා සතෙකු නොවේ. එම නිසා තම ඉරණම තීරණය කිරීමට ඔහුට හැකියාව තිබේ.”

ග්‍රේ සමඟ එකඟ වන බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ ස්වභාවධර්මයේ ගුප්ත බලවේගයන් මිනිස් පවුලේ ඉරණම තීරණය කරන බවයි. මිනිසා දෙවිගේ මැවිල්ලක් බවත් තම අනාගතය තීරණය කිරීමේ හැකියාව ඔහු උරුම කරගෙන සිටින බවත් තවත් අයගේ විශ්වාසයයි.

තම ඉරණම තීරණය කරනු ලබන්නේ බලවත් මිනිසුන් විසින්යයි තවත් සමහරුන්ට හැඟෙනවා. රෝයි වෙදෆර්ඩ් නමැති ලේඛකයා දෛවවාදයෙන් අඟවන දේ (The Implications of Determinism) නමැති තම පොතේ පවසන පරිදි, “විශේෂයෙන් අතීතයේ ජීවත් වූ ස්ත්‍රීන්ගෙන් බහුතරයක් ඇතුළු ලොවේ වෙසෙන බහුතරයක් මිනිසුන්ට, වෙනත් මිනිසුන්ගෙන් එල්ල වූ තාඩන පීඩන සහ ඔවුන්ව සූරා කනු ලැබීම නිසා තමන් කැමති පරිදි ජීවත් වීමට හැකියාව ලැබී නැහැ.” සන්තෝෂවත් අනාගතයක් ගැන තමන් මැවූ සිහින, බලයට පොරබදින දේශපාලනික හා හමුදාමය බලවේගයන් නිසා දෙදරා යනවා බොහෝදෙනෙක් දැක තිබෙනවා.

අතීතයේ විසූ තවත් අයට අසරණබවක් හැඟී තිබෙන්නේ අද්භූත බලවේගයන් විසින් තම ඉරණම තීරණය කර තිබෙන බව ඔවුන් සිතූ නිසයි. “කලින් නියම කරන ලද ඉරණම වෙනස් කිරීමට මිනිසාට නොහැකි බැවින් ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තබාගැනීම නිෂ්ඵල බවට පුරාණ ග්‍රීක්වරු අතර දැඩි විශ්වාසයක් තිබිණි.” ඔවුන්ට හැඟුණේ සෑම කෙනෙකුගේම ඉරණම තීරණය කළේ ආවේගශීලී දේවතාවියන් විසින් බවයි. කෙනෙකු මිය යන මොහොත මෙන්ම ඔහුගේ ජීවිත කාලය පුරා ඔහුට කොතරම් දුක් වේදනාවන් අත් විඳින්න සිදු වෙනවාද යන්න පවා මෙම දේවතාවියන් තීරණය කරන බව ඔවුන් විශ්වාස කළා.

කෙනෙකුගේ ඉරණම තීරණය වන්නේ යම් දේවබලයකින්ය යන්න අද දින පවතින පොදු විශ්වාසයක්. නිදසුනකට, බොහෝදෙනෙක් දෛවය පිළිබඳව විශ්වාස කරනවා. මිනිසුන්ගේ සියලු ක්‍රියාවල ප්‍රතිඵල සහ ඔහුගේ මරණ මොහොත පවා දෙවියන් කලින් තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ. “සෑම මිනිසෙකුගේම ජීවිතයේ ගැලවීම හෝ විනාශය” සර්වබලධාරී දෙවි විසින් “තීරණය කර තිබෙන” බව පැවසෙන මූලධර්මයක් පවතිනවා. නාමික ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පිළිගන්නේද මෙම ඉගැන්වීමයි.

ඔබට හැඟෙන්නේ කොහොමද? ඔබට කොහොමටවත් පාලනය කළ නොහැකි බලවේගයන් විසින් දැටමත් ඔබගේ ඉරණම නියම කර තිබෙනවාද? නැතහොත් “ඇතැම් අවස්ථාවලදී මිනිසාගේ දෛවය නියම කරන්නේ මිනිසාමය” යනුවෙන් ඉංග්‍රීසි නාට්‍ය රචකයෙකු වූ විලියම් ෂේක්ස්පියර් ලියූ වචනවල යම් සත්‍යතාවක් තිබෙනවාද? මේ කාරණය සම්බන්ධයෙන් බයිබලය පවසන දේ සලකා බලන්න.