Skip to content

පටුනට යන්න

ඔබේ ඉරණම වෙනස් කිරීමට ඔබට හැකිද?

ඔබේ ඉරණම වෙනස් කිරීමට ඔබට හැකිද?

ඔබේ ඉරණම වෙනස් කිරීමට ඔබට හැකිද?

අපගේ අවසන් ඉරණම කලින් තීරණය කර තිබෙනවාද? අප ගන්නා තීරණ අපගේ අනාගතයට කොහෙත්ම බලපාන්නේ නැද්ද?

යමෙකුට තමාගේ ඉරණම තීරණය කිරීමට පුළුවන්යයි සිතමු. එහෙමනම් ඔහු යම් විශේෂිත කාර්යයක් කරන බව හෝ යම් තනතුරක් හොබවන බව හෝ කලින් නියම වී තිබෙන්න පුළුවන්ද? ඇරත් මිනිසුන්ට තමන්ගේ ඉරණම වෙනස් කිරීමට හැකියාව තිබෙනවා නම් පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ ඉටු කිරීමට දෙවිට හැකි වන්නේ කෙසේද? මෙම ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු බයිබලයේ තිබෙනවා.

දේවනියමය සහ නිදහස් කැමැත්ත යන සංකල්ප දෙකම නිවැරදිද?

යෙහෝවා දෙවි අපව මැවූ ආකාරය ගැන සිතා බලන්න. බයිබලය ඒ ගැන කියන්නේ මෙයයි. “දෙවිගේ රූපය මෙන් [මනුෂ්‍යයාව] මැවුවේය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය.” (උත්පත්ති 1:27) අපව දෙවිගේ ස්වරූපයෙන් මවා තිබෙන නිසා ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව සහ බලය වැනි ඔහුගේ ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාව අපට තිබෙනවා. තවද දෙවි අපට නිදහස් කැමැත්ත නමැති දීමනාවද දී තිබෙනවා. මේ නිසා පොළොවේ සිටින ඔහුගේ මැවිලි අතර අපි සුවිශේෂයි. හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ මඟ පෙන්වීම අප අනුගමනය කරනවාද නැද්ද කියා තීරණය කිරීමට අපට හැකියි. අනාගතවක්තෘ මෝසෙස්ට මෙසේ කීමට හැකි වූයේ ඒ නිසයි. “මා විසින් ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණයද ආශීර්වාදය හා ශාපයද තැබූ බවට අද ඔබට විරුද්ධව සාක්ෂි දෙන පිණිස ස්වර්ගයටත් භූමියටත් හඬගසමි. එබැවින් ඔබද ඔබේ වංශයද ජීවත්ව ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කර දෙවිගේ හඬට කීකරුව දෙවිට ඇලුම්ව . . . වාසය කරන පිණිස ජීවිතය තෝරාගන්න.”—ද්විතීය කතාව 30:19, 20.

එහෙත් නිදහස් කැමැත්ත නමැති දීමනාව ලැබීමෙන් අදහස් වන්නේ අපට සීමා බන්ධන නොමැති අසීමිත නිදහසක් ලැබෙනවා යන්න නොවෙයි. විශ්වයේ සාමය හා සමතුලිතභාවය රැකීම සඳහා දෙවි පිහිටෙවූ භෞතික හා සදාචාරමය නීතිවලට යට නොවී සිටීමට අපට හැකියාවක් නැහැ. මෙම නීති පිහිටවනු ලැබුවේ අපගේම යහපත සඳහයි. ඒවා යම් හෙයකින් උල්ලංගනය කළොත් අපට දරුණු විපාක විඳීමට සිදු වෙනවා. ටිකක් මේ ගැන හිතන්න. ගුරුත්වාකර්ෂණ නීතිය නොසලකා, අප උස් ගොඩනැඟිල්ලක වහලේ සිට බිමට පැන්නොත් අපට කුමක් වේදැයි අමුතුවෙන් කිව යුතු නැහැ!—ගලාති 6:7.

තවද නිදහස් කැමැත්ත නොමැති ජීවීන්ට සීමා බන්ධන නැහැ. නමුත් අපට තිබෙනවා. කෝලස් ලාමොන්ට් නම් වූ ලේඛකයෙක් අසන්නේ මෙයයි. “මිනිසුන් ගන්නා තීරණ සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කලින් නියම කර තිබෙන බව අප පිළිගන්නවා නම්, . . . ඔවුන් විසින් නීති පිළිපැදිය යුතු බව කියා සිටීමටත්, ඔවුන් එම නීති උල්ලංගනය කරන විට ඔවුන්ට දඬුවම් කිරීමටත් අපට හැක්කේ කොහොමද?” ඇත්තෙන්ම අපට කොහොමටවත් බැහැ. ඉවෙන් ක්‍රියා කරන සතුන් නිවැරදි දේ කරයි කියා අප උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් පරිගණකයක්, සැලසුම් කරන ලද යම් වැඩසටහනකට අනුව ක්‍රියා කරන විට, ඉන් ඇති වන දෝෂ ගැන පරිගණකය වග කිව යුතු නැහැ. නමුත් අප එසේ නොවෙයි. අපට නිදහස් කැමැත්ත තිබෙන නිසා අප ගන්නා ක්‍රියාමාර්ග ගැන බොහෝ සෙයින් වග කිව යුතුයි.

අප ඉපදීමට පෙරාතුවම, යෙහෝවා දෙවි අප ගන්නා ක්‍රියාමාර්ගයන් කලින් නියම කර, පසුව ඒවාට අප වග කිව යුතුයයි කියා සිටිනවා නම්, ඔහු කොතරම් අකරුණාවන්ත හා අයුක්තිසහගත දෙවි කෙනෙක් වේවිද! ඔහු එවැනි දෙවි කෙනෙකු නොවෙයි. මන්ද ‘දෙවි ප්‍රේමයයි.’ එමෙන්ම “ඔහුගේ සියලු මාර්ග සාධාරණය.” (1 යොහන් 4:8; ද්විතීය කතාව 32:4) දේවනියමය විශ්වාස කරන අය දරන මතය නම් ‘ගලවන්නේ කාවද සහ විනාශ කරන්නේ කාවද කියා දෙවි කලින් නියම’ කරන බවයි. නමුත් ඔහු අපට නිදහස් කැමැත්ත දී තිබෙන අතරතුර අපගේ ජීවිත ගැන එලෙස කලින් තීරණ ගන්නේ නැහැ. එසේනම් නිදහස් කැමැත්ත සහ දේවනියමය යන සංකල්ප දෙකම නිවැරදි වෙන්න බැහැ.

බයිබලයේ පැහැදිලිව පෙන්වන්නේ අප ගන්නා තීරණවලට අනුව අපේ අනාගතය වෙනස් වන බවයි. නිදසුනක් වශයෙන්, වැරදි කරන අයගෙන් දෙවි මෙසේ උදක්ම ඉල්ලා සිටිනවා. ‘එකිනෙකා තම තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නපුරු ක්‍රියාවලින්ද හැරී එන්න. එවිට මම ඔබට [අනතුරු] නොකරන්නෙමි.’ (යෙරෙමියා 25:5, 6) දෙවි සෑම පුද්ගලයෙකුගේම ඉරණම කලින් නියම කළා නම්, මෙම ඉල්ලීමේ කිසිදු තේරුමක් නැහැ. එපමණක්ද නොව, දේවවචනය පවසන්නේ මෙහෙමයි. ‘එබැවින් පසුතැවිලි වන්න. ඔබේ පව් මකා දමන පිණිස හැරෙන්න. එසේ කළ විට, ප්‍රාණවත්බවක් ගෙන දෙන කාලවල් යෙහෝවාගෙන් පැමිණෙයි.’ (ක්‍රියා 3:19) මනුෂ්‍යයන්ගේ ඉරණම වෙනස් කිරීමට ඔවුන්ට කිසිවක් කළ නොහැකි නම්, පසුතැවිලි වී හැරෙන්න කියා යෙහෝවා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇයි?

යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ රජකම් කිරීමට දෙවි සමහරුන්ව කැඳවා තිබෙන බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (මතෙව් 22:14; ලූක් 12:32) එහෙත් ඔවුන් අවසානය දක්වාම විඳදරාගන්නේ නැත්නම් ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වන බව බයිබලය පවසනවා. (එළිදරව් 2:10) ඔවුන්ව තෝරාගනු ලබන්නේ නැහැ කියා දෙවි කලින්ම තීරණය කර තිබෙනවා නම් ඔහු ඔවුන්ට එවැනි කැඳවීමක් දෙන්නේ ඇයි? ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට ලිවූ මෙම වචනද සලකා බලන්න. “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත.” (හෙබ්‍රෙව් 10:26) දෙවි විසින් ඔවුන්ගේ ඉරණම කලින් නියම කර තිබුණා නම් එවන් අනතුරු ඇඟවීමක් දීමෙන් කිසිදු පලක් වන්නේ නැහැ. නමුත් යේසුස් සමඟ රජකම් කිරීමෙහි හවුල් වීම සඳහා දෙවි විසින් යම් පුද්ගලයන්ව කලින් තෝරාගෙන තිබෙනවා නොවේද?

කලින් නියම කළේ පුද්ගලයන්වද කණ්ඩායමක්ද?

“[දෙවි] ස්වර්ගීය ස්ථානවල ඇති සියලු ආත්මික ආශීර්වාදවලින් ක්‍රිස්තුස් තුළ අපට ආශීර්වාද කර තිබේ. . . . ලෝකය පිහිටුවීමට කලින් ඔහු ඒ තැනැත්තා තුළ අපව තෝරාගත්තේය. . . . යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් තම පුත්‍රයන් ලෙස අපව පිළිගැනීමට [ඔහු] කලින්ම නියම කළේය” යනුවෙන් ප්‍රේරිත පාවුල් ලීවේය. (එෆීස 1:3-5) දෙවි කලින්ම නියම කළේ මොකක්ද? එමෙන්ම “ලෝකය පිහිටුවීමට කලින්” තෝරාගනු ලැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පළමු මිනිසා වූ ආදම්ගෙන් පැවතෙන සමහරදෙනෙක්ව ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ රජකම් කිරීමට දෙවි තෝරාගෙන ඇති බව එම ඡේදවලින් පෙන්වා දෙනවා. (රෝම 8:14-17, 28-30; එළිදරව් 5:9, 10) කෙසේවෙතත්, විශේෂිත පුද්ගලයන් පිරිසක් ඉපදෙන්න වසර දහස් ගණනකට පෙර එම වරප්‍රසාදය ලැබීම සඳහා යෙහෝවා දෙවි ඔවුන්ව කලින් නියම කළායයි සිතමු. එය එසේනම් මිනිසුන්ට නිදහස් කැමැත්ත තිබෙනවාය යන කාරණයට එම සංකල්පය පටහැනි වෙනවා. දෙවි කලින් නියම කළේ මිනිසුන් කණ්ඩායමක් මිස පුද්ගලයන්ව නොවේ.

උදාහරණයක් ගනිමු. එක්තරා ආණ්ඩුවක් යම් ආයතනයක් පිහිටුවීමට තීරණය කරනවායයි සිතන්න. එම ආයතනයේ ක්‍රියාකාරිත්වය, එහි බලතල සහ එහි සිටිනු ඇති පුද්ගලයන් සංඛ්‍යාව එම ආණ්ඩුව විසින් කලින් තීරණය කරනවා. මෙසේ සැලසුම් කිරීමෙන් ටික කලකට පසුව එම ආයතනය ක්‍රියාත්මක වීමට පටන්ගනියි. එහි සාමාජිකයන් මෙවැනි ප්‍රකාශයක් කරනවා. “වසර කිහිපයකට කලින් අපගේ කාර්යය කුමක්ද කියා ආණ්ඩුව තීරණ කළේය. දැන් අපට පවරා ඇති කාර්යය අපි පටන්ගනිමු.” මේ අනුව එම ආයතනයේ එක් එක් සාමාජිකයන් කවුරුන්දැයි කියා වසර කිහිපයකට කලින් ආණ්ඩුව විසින් තීරණය කරන්නට ඇතැයි යන නිගමනයට ඔබ එළඹෙනවාද? කොහෙත්ම නැහැ. ඒ හා සමානව, සුවිශේෂ ආයතනයක් ස්ථාපිත කර, ආදම්ගේ පාපයේ ප්‍රතිවිපාක තුරන් කරන බව යෙහෝවා කලින් නියම කළා. එම ආයතනයේ යම් පිරිසක් සේවය කරන බව ඔහු තීරණය කළා මිස ඔවුන් කවුදැයි කියා නියම කළේ නැහැ. ඔවුන්ව තෝරාගනු ලබන්නේ පසු කලෙකයි. තවද ඔවුන් ජීවිතයේ ගන්නා තීරණ අනුව ඔවුන්ව තෝරාගනු ලබනවාද නැද්ද යන්න පසුව තීරණය වෙයි.

“ලෝකය පිහිටුවීමට කලින් [දෙවි] ඒ තැනැත්තා තුළ අපව තෝරාගත්තේය” යනුවෙන් ප්‍රේරිත පාවුල් පැවසූ විට ඔහුගේ මනසේ තිබුණේ කිනම් ලෝකය ගැනද? පාවුල් මෙහි සඳහන් කරන ලෝකයෙන් අදහස් කරන්නේ දෙවි ආදම් සහ ඒවව මැවූ අවස්ථාවේදී ආරම්භ කළ ලෝකය නොවේ. එම ලෝකය පාපයෙන් සහ දූෂණයෙන් සම්පූර්ණයෙන්ම තොර වූ නිසා එය “ඉතා යහපත්” වුණා. (උත්පත්ති 1:31) පාපයෙන් ‘නිදහස් වීමක්’ එම ලෝකයට අවශ්‍ය වුණේ නැහැ.—එෆීස 1:7.

පාවුල් කතා කරමින් සිටි ලෝකය වනාහි ආදම් සහ ඒව ඒදන් උයනේදී කැරලිගැසීමෙන් පසුව බිහි වූ ලෝකයයි. මෙම ලෝකය දෙවි මුලින් ඇති කිරීමට අරමුණු කළ ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ලෝකයක් වුණා. එය ආදම් සහ ඒවගේ දරුවන්ගේ පැවැත්මෙන් ඇරඹුණු ලෝකයයි. එය දෙවිගෙන් ඈත් වූ, පාපයට වහල් වූ හා දිරාපත් වීමට යටත් වූ ජනයාගෙන් සමන්විත ලෝකයක් වුණා. මෙහිදී පාවුල් කතා කරමින් සිටි ලෝකයෙන් නියෝජනය වූයේ ජනයාවයි. සිතා මතා පව් කළ ආදම් සහ ඒව මෙන් නොව එම ජනයා සිටියේ ගලවාගත හැකි තත්වයකයි.—රෝම 5:12; 8:18-21.

ඒදන් උයනේදී ඇති වූ කැරැල්ලෙන් හටගත් තත්වය එවෙලේම නිරාකරණය කිරීමට යෙහෝවා දෙවිට හැකියාව තිබුණා. ඒ අවස්ථාවේදීම ආදම්ගේ පාපයෙන් මිනිස් වර්ගයාව ගලවාගැනීම සඳහා යෙහෝවා දෙවි විශේෂ ආයතනයක් පිහිටුවීමට තීරණය කළා. එම ආයතනය වනාහි යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ තිබෙන දේවරාජ්‍යයයි. (මතෙව් 6:10) දෙවි මෙය කළේ ගලවාගත හැකි තත්වයක සිටි මිනිස් වර්ගයාගෙන් යුත් “ලෝකය පිහිටුවීමට කලින්” නැතහොත් කැරලිකාර ආදම්ට සහ ඒවට දරුවන් බිහිවීමට කලිනුයි.

මිනිසුන් කිරීමට අදහස් කරන දෙයක් ඉටු කිරීම සඳහා ඔවුන්ට සාමාන්‍යයෙන් යම් සැලැස්මක් අවශ්‍යයයි. විශ්වයේ තිබෙන සෑම දෙයක් පිළිබඳවම විස්තරාත්මක සැලැස්මක් දෙවි කලින් ඇති කර තිබිය යුතුය යන අදහස දේවනියමය යන සංකල්පය හා බැඳී තිබෙනවා. රෝයි වෙදෆර්ඩ් මෙසේද පවසයි. “බොහෝ දර්ශනවාදීන්ට පෙනී යන්නේ සෑම සිද්ධියක් පිළිබඳවම සම්පූර්ණ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත්නම් එය දෙවිගේ තේජසට මදිකමක් බවයි.” ඇත්තෙන්ම දෙවි සෑම සිදුවීමක් ගැනම සවිස්තරාත්මක තොරතුරු කලින් ඉදිරිපත් කළ යුතුද?

යෙහෝවා අතිමහත් බලයෙන් සහ අසමසම ප්‍රඥාවෙන් හෙබි දෙවි කෙනෙක්. එම නිසා තම මැවිලි සිය නිදහස් කැමැත්ත පාවිච්චි කරන අතරතුරේදී පැනනැඟීමට ඉඩ ඇති ඕනෑම හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකියාව තිබෙනවා. (යෙසායා 40:25, 26; රෝම 11:33) සිත සිතා සිටින්නේ නැතුව නොපමාව එසේ කිරීමට ඔහුට පුළුවන්. සීමාසහිත හැකියාවන් ඇති අසම්පූර්ණ මනුෂ්‍යයන්ට මෙන් නොව සර්වබලධාරී දෙවිට පොළොවේ සිටින සෑම පුද්ගලයෙකුගේම ඉරණම සඳහන් වූ විස්තරාත්මක සැලැස්මක් අවශ්‍ය වන්නේ නැහැ. (හිතෝපදේශ 19:21) එවන් වෙනස් නොවන සැලැස්මක් වෙනුවට දෙවිට ‘සදාකාලීන අරමුණක්’ තිබෙන බව බයිබල් පරිවර්තන රැසක එෆීස 3:11හි සඳහන් වෙනවා.

ඔබේ අනාගතය වෙනස් කිරීමට ඔබට හැකි ආකාරය

පොළොව පිළිබඳව දෙවිට අරමුණක් තිබෙන අතර එම අරමුණ කලින් නියම කර තිබෙන්නක්. එළිදරව් 21:3, 4හි මෙසේ සඳහන් වෙනවා “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” යෙහෝවා මුලින් අරමුණු කළ පරිදි මෙම පොළොව පාරාදීසයක් වෙනවාමයි. (උත්පත්ති 1:27, 28) ප්‍රශ්නය වනුයේ ඔබ එහි සිටීවිද යන්නයි. එය රඳා පවතින්නේ ඔබ දැන් ගන්නා තීරණ මතයි. යෙහෝවා දෙවි ඔබේ ඉරණම නියම කර නැති බව හොඳින්ම පැහැදිලියි.

දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තබන ඕනෑම කෙනෙකුට ඔහුගේ ජීවිත පූජාව මාර්ගයෙන් සදාකාල ජීවනය ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. (යොහන් 3:16, 17; ක්‍රියා 10:34, 35) බයිබලය මෙසේ පවසයි. “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ. පුත්‍රයාට අකීකරු වන්නා . . . ජීවනය නොදකියි.” (යොහන් 3:36) දෙවි ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් දේවකැමැත්ත ගැනත් බයිබලයෙන් ඉගෙනගැනීමෙන් හා එසේ ඉගෙනගන්නා දේ අනුව ජීවත් වීමෙන් ඔබට ජීවනය තෝරාගත හැකියි. කෙනෙක් සැබෑ ප්‍රඥාවට අනුව ක්‍රියා කරනවා නම් ඔහු ගැන දේවවචනය දෙන සහතිකය මෙයයි. ඔහු “සුරක්ෂිතව නපුරට භය නොවී නිශ්චලව සිටින්නේය.”—හිතෝපදේශ 1:20, 33.

[5වන පිටුවේ පින්තූර]

සතුන්ට මෙන් නොව නිවැරදි දේ කිරීමට මනුෂ්‍යයන්ට වගකීමක් තිබෙනවා

[හිමිකම් විස්තර]

රාජාලියා: ඡායාරූපය: Cortesía de GREFA