Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය පිළිබඳ පෙරදැක්ම සැබෑ වේ

දේවරාජ්‍යය පිළිබඳ පෙරදැක්ම සැබෑ වේ

දේවරාජ්‍යය පිළිබඳ පෙරදැක්ම සැබෑ වේ

“ඔබේ අවධානය [අනාවැකිමය වචනයට] යොමු කිරීම යහපත. මේ වචනය, අඳුරු තැනක . . . බැබළෙන පහනක් මෙනි.”—2 පේතෘස් 1:19.

1. අද ලෝකය තුළ අප දකින්නේ එකිනෙකට වෙනස් කිනම් තත්වයන්ද?

විපත්ති එක පිට එක සිදු වෙයි. අද ලොවේ හැමතැන අප අසන්නෙත් දකින්නෙත් ඒවායි. භෞතික විපත්වල සිට ලෝක ත්‍රස්තවාදය දක්වා වූ මිනිස් වර්ගයා මුහුණ දෙන ගැටලුවලට ඉමක් කොනක් නැත. ලෝකයේ ආගම් පවා මේ හමුවේ අසරණ වී සිටී. අන් මතවලට ගරු නොකිරීම, වෛරය හා ජනයාව බෙදන ජාතිවාදය නමැති ගින්නට තවත් පිදුරු දැමීමෙන් ඇත්තෙන්ම එම ආගම් මගින් බොහෝවිට කර තිබෙන්නේ තත්වය තවත් දරුණු අතට හැරවීමයි. එසේය, පුරෝකථනය කර තිබෙන්නාක් මෙන්, ‘තද අඳුරෙන් වර්ගයෝ වසනු ලබන්නෝය.’ (යෙසායා 60:2) එහෙත්, මේ අතරතුර මිලියන සංඛ්‍යාවක් මහත් විශ්වාසයකින් යුතුව අනාගතය දෙස බලා සිටිති. ඒ මන්ද? ඊට හේතුව, “අඳුරු තැනක . . . බැබළෙන පහනක් මෙන්” වූ දෙවිගේ අනාවැකිමය වචනයට ඔවුන් අවධානය යොමු කරන නිසාය. දෙවිගේ ‘වචනයෙන්’ හෙවත් දැන් බයිබලය තුළ තිබෙන පණිවුඩයෙන් ඔවුහු මඟ පෙන්වීම ලබාගනිති.—2 පේතෘස් 1:19.

2. “අන්තිම කාලය” පිළිබඳ දානියෙල්ගේ අනාවැකියට අනුව, ආත්මික කාරණා පිළිබඳව අවබෝධය ලැබෙන්නේ කාට පමණක්ද?

2 “අන්තිම කාලය” ගැන අනාගතවක්තෘ දානියෙල් මෙසේ ලීවේය. “බොහෝදෙනෙක් ඔබ මොබ දුව යන්නෝය. දැනගැන්මද වැඩි වෙන්නේය. බොහෝදෙනෙක් තමන් පවිත්‍ර කරගන්නෝය. සුදු කරගන්නෝය. නිර්මල වන්නෝය. එහෙත් දුෂ්ටයෝ දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය. දුෂ්ටයන්ගෙන් කිසිවෙක්වත් තේරුම් නොගන්නේය. එහෙත් නුවණැත්තෝ තේරුම්ගන්නෝය.” (දානියෙල් 12:4, 10) ආත්මික කාරණා පිළිබඳව අවබෝධය ලැබෙන්නේ අවංක ලෙස ‘ඔබ මොබ දුව යන’ අයට හෙවත් දෙවිගේ වචනය උද්‍යෝගයෙන් අධ්‍යයනය කරන, ඔහුගේ ප්‍රතිපත්තිවලට යටත් වන සහ ඔහුගේ කැමැත්ත කිරීමට දැඩි ප්‍රයත්නයක් දරන අයට පමණි.—මතෙව් 13:11-15; 1 යොහන් 5:20.

3. මුල් බයිබල් ශිෂ්‍යයන්ට 1870 ගණන්වල අවබෝධ වුණේ කිනම් වැදගත් සත්‍යයද?

3 “අන්තිම දවස්” පටන්ගැනීමටත් පෙර, 1870 වැනි ඈත කාලයේ පටන්, යෙහෝවා දෙවි “ස්වර්ග රාජ්‍යයේ පරිශුද්ධ රහස්” පිළිබඳව වැඩිමනත් අවබෝධය ලබා දීම ආරම්භ කළේය. (2 තිමෝති 3:1-5; මතෙව් 13:11) ක්‍රිස්තුස්ගේ පැමිණීම අදෘශ්‍යමානව සිදු වන බව ඒ කාලයේදී එක්තරා බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමකට වැටහිණි. නමුත් එදා විසූ ජනයා අතර පැවති පොදු මතය මෙය නොවීය. ස්වර්ගයේ සිංහාසනාරූඪ කරනු ලැබූ යේසුස්, නැවත පැමිණෙනු ඇත්තේ, රජෙකු හැටියට පොළොව කෙරෙහි තම අවධානය යොමු කිරීම යන අර්ථයෙනි. ඔහුගේ පැමිණ සිටීම ආරම්භ වූ බව ඔහුගේ ගෝලයන් දැනගන්නවා ඇත්තේ දෘශ්‍යමාන සංයුක්ත ලකුණක් මගිනි.—මතෙව් 24:3-14.

පෙරදැක්මක් සැබෑ වෙයි

4. යෙහෝවා තම නවීන දින සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කර තිබෙන්නේ කෙසේද?

4 අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනය ක්‍රිස්තුස් රාජ්‍යය තේජසින් සිටින බව තහවුරු කරන අතිවිශිෂ්ට වූ පෙරදැක්මක් විය. (මතෙව් 17:1-9) මෙම දර්ශනය මගින් පේතෘස්ගේ, යාකොබ්ගේ සහ යොහන්ගේ ඇදහිල්ල ශක්තිමත් විය. මෙය සිදු වූයේ දේවකැමැත්තට පටහැනි තමන්ගේ බලාපොරොත්තු කඩවීම නිසා බොහෝදෙනෙක් යේසුස්ව අත්හැර ගිය අවස්ථාවකයි. ඒ හා සමානව, මේ අන්තිම කාලයේදී යෙහෝවා තම නවීන දින සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කර තිබෙන්නේ, එම පුදුමාකාර දර්ශනය සහ ඊට සම්බන්ධ බොහෝ අනාවැකිවල ඉෂ්ට වීම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය තවත් වැඩි කරවමිනි. සත්‍යය බව තහවුරු වී ඇති ආත්මික කාරණා සමහරක් ගැන දැන් අපි සලකා බලමු. එමගින් අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා ඇත.

5. පහන් තාරකාව වූයේ කවුද? ඔහු ‘නැඟී’ සිටියේ කවදාද සහ කෙසේද?

5 අන් ස්වරූපයකට පත්වීම පිළිබඳව ප්‍රේරිත පේතෘස් ලීවේ මෙයයි. “අනාවැකිමය වචනය අපට තවත් තහවුරු වී තිබේ. දවස උදා වී පහන් තාරකාව නැඟෙන තෙක් ඔබේ අවධානය ඊට යොමු කිරීම යහපත. මේ වචනය, අඳුරු තැනක එනම් ඔබේ සිත්වල බැබළෙන පහනක් මෙනි.” (2 පේතෘස් 1:19) එම සංකේතමය “දීප්තිමත් පහන් තාරකාව” වනාහි තේජසට පත් යේසුස් ක්‍රිස්තුස්ය. (එළිදරව් 22:16) ඔහු ‘නැඟී’ සිටියේ දේවරාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කරනු ලැබූ 1914 වසරේදීය. ඒ සිදුවීමත් සමඟම නව යුගයක ආරම්භය සනිටුහන් විය. (එළිදරව් 11:15) අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනයේදී මෝසෙස් සහ එලියා යේසුස් සමඟ කතා කරනවා දක්නට ලැබේ. ඔවුන් පූර්වාදර්ශනය කරන්නේ කාවද?

6, 7. අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනයේදී මෝසෙස් සහ එලියාගෙන් නියෝජනය වන්නේ කාවද? ඔවුන්ගෙන් නියෝජනය කරන අය පිළිබඳව ශුද්ධ ලියවිලිවල හෙළි කරන්නේ කිනම් වැදගත් තොරතුරුද?

6 මෝසෙස් සහ එලියා ක්‍රිස්තුස්ගේ තේජසට හවුල් වූ නිසා, මෙම ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් නියෝජනය විය යුත්තේ යේසුස් සමඟ රාජ්‍යය පාලනයට හවුල් වන අයවයි. යේසුස්ට හවුල් පාලකයන් සිටිනවාය යන අදහස, අනාගතවක්තෘ දානියෙල්ට දෙනු ලැබූ සිංහාසනාරූඪ කරන ලද මෙසියස් පිළිබඳ පූර්වාදර්ශනය සමඟ ගැළපෙයි. “මනුෂ්‍ය පුත්‍රයෙකු මෙන් කෙනෙක්” “පුරාතන දවස්වල තැනැත්තා” වන යෙහෝවා දෙවිගෙන් ‘සදාකාල රාජ්‍යයක්’ ලබාගන්නවා දානියෙල් දුටුවේය. නමුත් ඊට මොහොතකට පසුව දානියෙල්ට පෙන්නුම් කරන දේ සැලකිල්ලට ගන්න. ඔහු ඒ ගැන මෙසේ ලියයි. “රාජ්‍යයද ආණ්ඩුවද මුළු ස්වර්ගයෙන් යට රාජ්‍යවල මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ගේ සෙනඟට දෙනු ලබන්නේය.” (දානියෙල් 7:13, 14, 27) මේ අනුව, අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය දීමට සියවස් පහකට වඩා වැඩි කලකට පෙරාතුව දෙවි හෙළි කළේ, ඇතැම් “ශුද්ධවන්තයන්” ක්‍රිස්තුස් හා සමඟ රාජ්‍යය පාලනයේ හවුල් වනු ඇති බවයි.

7 දානියෙල් දුටු දර්ශනයේ සිටි ශුද්ධවන්තයන් කවුරුන්ද? එම පුද්ගලයන් ගැනයි ප්‍රේරිත පාවුල් මෙසේ පවසන්නේ. “ඒ ආත්මයම අපේ ආත්මය හා එක්ව, අප දෙවිගේ දරුවෝයයි සාක්ෂි දරන්නේය. ඉතින්, අපි දරුවෝ නම්, උරුමක්කාරයෝද වන්නෙමු. එනම්, දෙවිගේ උරුමක්කාරයෝය. ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. නමුත් එසේ වන්නේ, අප ඔහු සමඟ මහිමයට පත් වන පිණිස, ඔහු සමඟ දුක් විඳිනවා නම් පමණි.” (රෝම 8:16, 17) මේ ශුද්ධවන්තයන් වෙන කවරෙකුවත් නොව ශුද්ධාත්මයෙන් අභිෂේක කරන ලද යේසුස්ගේ ගෝලයන්ය. එළිදරව්ව දෙන විට යේසුස් මෙසේ කියයි. “මා ජයගෙන, මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි ඉඳගත්තාක් මෙන්, ජයගන්නාට මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට දෙන්නෙමි.” ගණනින් 1,44,000ක් වූ නැවත නැඟිටවනු ලැබූ මෙම ‘ජයගන්නෝ,’ යේසුස් සමඟ මුළු පොළොව පාලනය කරති.—එළිදරව් 3:21; 5:9, 10; 14:1, 3, 4; 1 කොරින්ති 15:53.

8. මෝසෙස් සහ එලියා කළ කාර්යයට සමාන කාර්යයක් යේසුස්ගේ අභිෂේක ලත් ගෝලයන් කර තිබෙන්නේ කෙසේද? කුමන ප්‍රතිඵල ඇතිවද?

8 එහෙත්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව මෝසෙස්ගෙන් සහ එලියාගෙන් නියෝජනය වන්නේ මන්ද? ඊට හේතුව වනුයේ එවන් ක්‍රිස්තියානීන් පොළොව මත සිටිද්දී මෝසෙස් හා එලියා කළාවූ කාර්යයට සමාන කාර්යයක් කරන නිසයි. නිදසුනක් වශයෙන්, පීඩා හමුවේ පවා ඔවුහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කරති. (යෙසායා 43:10; ක්‍රියා 8:1-8; එළිදරව් 11:2-12) මෝසෙස් සහ එලියා මෙන්, බොරු ආගමේ නියම තත්වය හෙළි කරන ඔවුහු දෙවිට තනි භක්තිය දෙන්න කියා අවංක ජනයාව බොහෝ සෙයින් දිරිගන්වති. (නික්මයාම 32:19, 20; ද්විතීය කතාව 4:22-24; 1 රාජාවලිය 18:18-40) ඔවුන්ගේ කාර්යය ඵලදායී වී තිබේද? ඇත්තෙන්ම බොහෝ සෙයින් ඵලදායකය. අභිෂේක ලත් සියලුදෙනාවම එක් රැස් කිරීමට උපකාර කරනවාට අමතරව, යේසුස් ක්‍රිස්තුස්ට කැමැත්තෙන් යටත් වීම සඳහා “වෙනත් බැටළුවන්ගෙන්” යුත් මිලියන ගණනකට ඔවුහු උපකාර කර ඇත්තාහ.—යොහන් 10:16; එළිදරව් 7:4.

ක්‍රිස්තුස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලබයි

9. එළිදරව් 6:2හි යේසුස් අද සිටින තත්වය ගැන විස්තර කර තිබෙන්නේ කෙසේද?

9 යේසුස් දැන් කොටළු පැටවෙකු පිට නැඟී යන හුදු මිනිසෙකු නොව, බලවත් රජෙකි. ඔහුව විස්තර කර තිබෙන්නේ අසරුවෙකු ලෙසයි. බයිබලයේ සඳහන් පරිදි අසරුවා යුධ සංකේතයකි. (හිතෝපදේශ 21:31) එළිදරව් 6:2 මෙසේ පවසයි. ‘බලන්න! සුදු පැහැති අශ්වයෙක්! ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලදි. ඔහු ජයගනිමින් ගොස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.’ එපමණක්ද නොව, යේසුස් ගැන ගීතිකාකාර දාවිත් ලීවේ මෙසේයි. “යෙහෝවා සියොන්හි සිට ඔබගේ ශක්තිය නමැති සැරයටිය එවන්නේය. ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැනව.”—ගීතාවලිය 110:2.

10. (අ) යේසුස්ගේ ජයග්‍රාහී ගමනට තේජවත් ආරම්භයක් ලැබුණේ කෙසේද? (ආ) ක්‍රිස්තුස්ගේ මුල් ජයග්‍රහණය ලෝකයට පොදුවේ බලපෑවේ කෙසේද?

10 යේසුස් පළමුවෙන් පරාජය කළේ ඔහුගේ ප්‍රබලතම සතුරන් වන සාතන් සහ භූතයන්වයි. ඔහු ඔවුන්ව ස්වර්ගයෙන් පලවාහැර පොළොවට හෙළුවේය. තමාට ඉතිරි වී තිබෙන්නේ කෙටි කාලයක් බව දන්නා මෙම දුෂ්ට ආත්මයෝ මිනිස් වර්ගයා කෙරෙහි ඉතා දරුණු කෝපයෙන් ක්‍රියා කරති. ඒ නිසා මහත් දුක්ඛිත තත්වයක් ඇති වී තිබේ. මෙම දුක්ඛිත තත්වය එළිදරව් පොතේ සංකේතවත් කර තිබෙන්නේ තවත් අසරුවන් තිදෙනෙකු මගිනි. (එළිදරව් 6:3-8; 12:7-12) යේසුස්ගේ අනාවැකියේ පැවසූ පරිදි, ‘[ඔහුගේ] පැමිණ සිටීමට සහ සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය පිළිබඳ ලකුණට’ අනුව, මෙම අසරුවන්ගේ ගමන නිසා යුද්ධ, සාගත සහ මාරාන්තික වසංගත ඇති වී තිබේ. (මතෙව් 24:3, 7; ලූක් 21:7-11) ගැබිනි මවකට ඇති වන ප්‍රසව වේදනාව හා සමානව, මෙම ‘විපත්ති නිසා ඇති වන වේදනාවන්’ ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවට කිසිදු සැකයක් නැත. ඒවා අවසන් වන්නේ සාතන්ගේ දෘශ්‍යමාන සංවිධානයේ අබමල් රේණුවක තරම් දෙයක්වත් ඉතුරු නොකර විනාශ කරමින් ක්‍රිස්තුස් ‘සම්පූර්ණ ජයග්‍රහණයක්’ ලැබූ විටයි. *මතෙව් 24:8.

11. ක්‍රිස්තියානි සභාව තුළ මෙතෙක් සිදු වී තිබෙන දේවල්, ක්‍රිස්තුස් රජ වී සිටින බවට සාක්ෂියක් වන්නේ කෙසේද?

11 යේසුස් රජ වී සිටින බව තවත් කරුණකින් මනා ලෙස පැහැදිලි වෙයි. එය නම්, ලොව වටා රාජ්‍යය පණිවුඩය දේශනා කිරීම සඳහා දී ඇති පැවරුම ඉෂ්ට කරනු වස් ඔහු විසින් ක්‍රිස්තියානි සභාව ආරක්ෂා කර තිබීමයි. බොරු ආගම නමැති ලෝක අධිරාජ්‍යය වන මහා බැබිලෝනියෙන් සහ සතුරුකම් පාන ආණ්ඩුවලින් කෲර පීඩා එල්ල වී තිබේ. එනමුත් දේශනා කිරීමේ කාර්යය අද දක්වා නොකඩවා කෙරීගෙන ගොස් තිබෙනවා පමණක් නොව, ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයකින්ද එය සිදු වෙමින් පවතී. (එළිදරව් 17:5, 6) ක්‍රිස්තුස් රජ වී ඇති බවට මෙය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—ගීතාවලිය 110:3.

12. ක්‍රිස්තුස්ගේ අදෘශ්‍යමාන පැමිණ සිටීම වැඩිදෙනෙක් වටහා නොගන්නේ මන්ද?

12 එහෙත්, කනගාටුවට කරුණක් නම්, මිලියන ගණනක් වූ නාමික ක්‍රිස්තියානීන් ඇතුළු වැඩිදෙනෙක්, මෙලොවේ සිදු වන සුවිශේෂී සිද්ධීන්වලට හේතු වී තිබෙන ස්වර්ගයේ සිදු වූ සිදුවීම් තේරුම්ගැනීමට අසමත් වී සිටීමයි. දෙවිගේ රාජ්‍යය ගැන සාක්ෂි දරන අයට පවා ඔවුහු සරදම් කරති. (2 පේතෘස් 3:3, 4) ඒ මන්ද? සාතන් ඔවුන්ගේ මනස් අඳුරු කර තිබෙන නිසාය. (2 කොරින්ති 4:3, 4) ඇත්තෙන්ම, මීට බොහෝ සියවස් ගණනකට පෙර, සාතන් නාමික ක්‍රිස්තියානීන්ව ආත්මික අන්ධකාරය නමැති කඩතුරාවෙන් වැසීමට පටන්ගත්තේය. තවද ඔහුගේ බලපෑම නිසා ඔවුහු අනගි රාජ්‍යය බලාපොරොත්තුව අත්හැරියහ.

රාජ්‍ය බලාපොරොත්තුව අත්හරිනු ලැබ

13. ආත්මික අන්ධකාරය නමැති කඩතුරාව මඟ පෑදුවේ කුමකටද?

13 ඇදහිල්ලට එරෙහිව කැරලිගැසූ ඇතැමෙක් තිරිඟු අතර වැපිරූ කිරිඳි මෙන් ක්‍රිස්තියානි සභාවට රිංගා, බොහෝදෙනෙකුව මුළා කරවනු ඇති බව යේසුස් පුරෝකථනය කළේය. (මතෙව් 13:24-30, 36-43; ක්‍රියා 20:29-31; යූද් 4) කල් යත්ම, මෙම ක්‍රිස්තියානීන් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ මංගල්‍යය, චාරිත්‍ර වාරිත්‍ර සහ ඉගැන්වීම් පිළිපදින්නට පටන්ගත්තා පමණක් නොව, ඒවාට “ක්‍රිස්තියානි” මුහුණුවරක්ද දුන්හ. නිදසුනක් වශයෙන්, නත්තල ආරම්භ වූයේ මිත්‍රා සහ සැටර්න් යන මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට කළ පුද පූජා හා සම්බන්ධ වත්පිළිවෙත් සමඟිනි. නමුත් නාමික ක්‍රිස්තියානීන් විසින් මෙම ක්‍රිස්තියානි නොවන උත්සව ඈඳාගනු ලැබීමට හේතු වූයේ කුමක්ද? ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (1974) මෙසේ පවසයි. “යේසුස් ක්‍රිස්තුස්ගේ උපත සමරණ මංගල්‍යය වන නත්තල ස්ථාපිත කරනු ලැබුවේ, ක්‍රිස්තුස් ළඟදීම පැමිණේය යන බලාපොරොත්තුව වියැකී යෑමත් සමඟය.”

14. ඔරිගන්ගේ සහ ඔගස්ටීන්ගේ ඉගැන්වීම් රාජ්‍යය පිළිබඳ සත්‍යය විකෘති කළේ කෙසේද?

14 “රාජ්‍යය” යන වචනයේ අර්ථයද විකෘති කර ඇති සැටි බලන්න. විසිවන සියවසට අනුව දෙවිගේ රාජ්‍යය අර්ථ දක්වමින් නමැති පොතේ (The Kingdom of God in 20th-Century Interpretation) මෙසේ සඳහන් වේ. “ක්‍රිස්තියානීන් ‘රාජ්‍යය’ යන වචනයට දී තිබූ අර්ථකථනය වෙනස් කොට, එය කෙනෙකුගේ සිත තුළ දෙවියන් කරන පාලනය යනුවෙන් අර්ථ ගැන්වූයේ ඔරිගන්ය [තුන්වන සියවසේ විසූ දේවධර්මාචාර්යවරයෙක්].” ඔරිගන්ගේ මෙම ඉගැන්වීමට පදනම වූයේ කුමක්ද? “යේසුස් සහ මුල් ක්‍රිස්තියානි සභාව දැරූ මතයට හාත්පසින්ම වෙනස් වූ දර්ශනවාදී සංකල්ප සහ ලෝකයා දැරූ මතය” මිස ශුද්ධ ලියවිල්ල නොවේ. හිපෝ නුවර ඔගස්ටින් (ක්‍රි.ව. 354-430) විසින් රචිත ඩේ කීවිටාටි ඩා (දෙවිගේ නුවර) නමැති කෘතියේ සඳහන් වූයේ දේවරාජ්‍යය වනාහි පල්ලිය බවයි. ශුද්ධ ලියවිල්ලට පටහැනි එවන් සංකල්පයන් නිසා ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි ආගමේ මුවාවෙන් දේශපාලනික බලය සියතට ගැනීමට අවස්ථාව පාදාගත්හ. තවද එම පල්ලි සියවස් ගණනාවක් පුරා දේශපාලනික බලතල හොබවා ඇති අතර, බොහෝවිට එසේ කර ඇත්තේ කෲර අන්දමිනි.—එළිදරව් 17:5, 18.

15. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි බොහොමයක් සම්බන්ධයෙන් ගලාති 6:7 ඉෂ්ට වී තිබෙන්නේ කෙසේද?

15 එහෙත්, අද දින පල්ලි තමන් වැපිරූ දේ කපාගනිමින් සිටිති. (ගලාති 6:7) බොහෝ පල්ලිවලට තම බලය පමණක් නොව තම සාමාජිකයන් පවා අහිමි වී යන බවක් පෙනේ. එවන් ප්‍රවණතාවක් හොඳින් දැකිය හැක්කේ යුරෝපයේය. ක්‍රිස්ටියැනිටි ටුඩේ නම් ප්‍රකාශනයට අනුව, “යුරෝපයේ පිහිටා ඇති සුවිසල් දෙව්මැඳුරු දැන් වන්දනා ස්ථාන නොව කෞතුකාගාර බවට පත් වී ඇත. ඒවායේ ගැවසෙන්නේ සංචාරකයන් පමණි.” ලොවේ වෙනත් රටවලද මෙම ප්‍රවණතාවම දක්නට ලැබෙයි. බොරු ආගම ගැන මින් කියාපාන පෙර නිමිත්ත කුමක්ද? තම අනුගාමිකයන්ගේ අනුග්‍රහය නොලැබීමෙන් ඒවා පැවැත්මෙන් තුරන් වී යාවිද? තවද සැබෑ නමස්කාරය කෙබඳු බලපෑමකට ලක් වේද?

දෙවිගේ මහත් දවසට සූදානම්ව සිටින්න

16. මහා බබිලෝනියට එරෙහිව වැඩි වෙමින් තිබෙන එදිරිවාදිකම්වලින් අඟවන්නේ කුමක්ද?

16 දිගු කලක් මුළුල්ලේ නිහඬව තිබූ ගිනි කන්දකින් දුම් සහ අළු පිට වෙන විට එය පිපිරීමට ආසන්නව තිබෙන බව පෙනේ. එසේම, ලොවේ බොහෝ රටවල ආගම කෙරෙහි ඇති වී තිබෙන එදිරිවාදිකම් එන්ට එන්ටම වැඩිවීමෙන් අඟවන්නේ බොරු ආගමේ ආයුෂ කෙටි වී ඇති බවයි. වැඩි කල් යන්නට මත්තෙන්, මහා බැබිලෝනිය නමැති ආගමික ගණිකාව සැබවින්ම කවුදැයි හෙළි කර ඇයව විනාශ කිරීම සඳහා එක්සත්ව පියවර ගැනීමට යෙහෝවා මේ ලෝකයේ දේශපාලනික බලවේගයන් පොලඹවනවා ඇත. (එළිදරව් 17:15-17; 18:21) එම සිද්ධිය ගැනත්, ඉන්පසුව පැමිණෙන ‘මහත් පීඩාවට’ අයත් වෙනත් අංගයන්වලටත් සැබෑ ක්‍රිස්තියානීන් භය විය යුතුද? (මතෙව් 24:21) කොහෙත්ම නැත! ඇත්තෙන්ම දෙවි දුෂ්ටයන්ගේ ක්‍රියාවලට ප්‍රතිඵල දෙන බැවින් ක්‍රිස්තියානීන්ට ඒ ගැන ප්‍රීති විය හැකියි. (එළිදරව් 18:20; 19:1, 2) පළමු සියවසේ යෙරුසලමට සිදු වූ දේ සහ එහි විසූ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය සලකා බලන්න.

17. යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන්ට මෙම සමාජ ක්‍රමයේ අවසානයට මහත් විශ්වාසයකින් යුතුව මුහුණ දිය හැක්කේ මන්ද?

17 ක්‍රිස්තු වර්ෂ 66දී රෝමානු හමුදාව යෙරුසලම වැටලූ අවස්ථාවේදී, ආත්මිකව අවදියෙන් සිටි ක්‍රිස්තියානීන් ඒ ගැන කම්පා වූයේවත් භය වූයේවත් නැත. ඔවුන් දේවවචනය හොඳින් අධ්‍යයනය කර තිබූ නිසා, “ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව” ඔවුහු දැන සිටියාහ. තවද තමන්ට සුරක්ෂිත ස්ථානයකට පලා යෑමට දෙවි මාර්ගය විවෘත කරනු ඇති බවත් ඔවුහු දැන සිටියාහ. දෙවි එලෙස ඔවුන්ට මාර්ගය විවෘත කළ විට, ඔවුහු පලා ගියහ. (දානියෙල් 9:26; මතෙව් 24:15-19; ලූක් 21:21) ඒ හා සමානව අද දිනත් දෙවිව දැනගෙන ඔහුගේ පුත්‍රයාට කීකරු වෙන අයට මෙම සමාජ ක්‍රමයේ අවසානයට මහත් විශ්වාසයකින් යුතුව මුහුණ දිය හැකියි. (2 තෙසලෝනික 1:6-9) ඇත්තවශයෙන්ම මහත් පීඩාව සිදු වන විට, ඔවුහු ඉතා ප්‍රීතිමත්ව ‘නැඟී සිට ඔවුන්ගේ හිස් ඔසවති. මන්ද තම ගැලවීම ළඟ බව ඔවුහු දනිති.’—ලූක් 21:28.

18. යෙහෝවාගේ සේවකයන්ට ගොග් එල්ල කරන අවසාන ඍජු ප්‍රහාරයේ ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

18 මහා බැබිලෝනියේ විනාශයෙන් පසු, මාගොග්හි ගොග් වශයෙන් සාතන් යෙහෝවාගේ සාමකාමී සාක්ෂිකරුවන්ට අවසාන ඍජු ප්‍රහාරයක් එල්ල කරනවා ඇත. “දේශය වසාගන්න වලාකුළක් මෙන්” පැමිණෙන ගොග්ගේ සේනාවන් තමන්ට පහසුවෙන් ජයගැනීමට හැකි වේයයි සිතනු ඇත. නමුත් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි! (එසකියෙල් 38:14-16, 18-23) ප්‍රේරිත යොහන් මෙසේ ලියයි. “මම ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි. බලන්න! සුදු අශ්වයෙක් සිටියේය. ඌ මත ඉඳගෙන සිටි තැනැත්තා, විශ්වාසවන්තය හා සැබෑය කියා හඳුන්වනු ලැබේ. . . . ජාතීන්ට පහර දෙන පිණිස, ඔහුගේ කටින් තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.” මෙම අපරාජිත “රජවරුන්ගේ රජු” යෙහෝවාට පක්ෂපාතව නමස්කාර කරන්නන්ව ගලවාගෙන ඔවුන්ගේ සතුරන්ව සමූල ඝාතනය කරනවා ඇත. (එළිදරව් 19:11-21) මෙම සිදුවීම් මාලාව නිමවීමත් සමඟම අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය සම්පූර්ණයෙන්ම ඉටු වී ඇතැයි කිව හැකියි. එය මොන තරම් විශිෂ්ට අවස්ථාවක් වේවිද!

19. ක්‍රිස්තුස් සම්පූර්ණයෙන් ජයග්‍රහණය කිරීම ඔහුගේ පක්ෂපාත ගෝලයන්ට බලපානු ඇත්තේ කෙසේද? ඔවුන් දැන් මහත් උත්සාහයක් දැරිය යුත්තේ කුමක් කිරීමටද?

19 “ඇදහිල්ල පෙන්වූ” සියල්ලන්ගේ ගෞරවය ඒ “දවසේදී” යේසුස්ට හිමි වේ. (2 තෙසලෝනික 1:10) දෙවිගේ ජයග්‍රාහී පුත්‍රයාට ගරුබිය දක්වන අය අතර සිටීමට ඔබටත් වුවමනාද? එසේනම්, ඔබගේ ඇදහිල්ල දිගටම ශක්තිමත් කරගන්න. තවද ‘ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.’—මතෙව් 24:43, 44.

සිහි ඇතිව සිටින්න

20. (අ) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නමැති දීමනාව ගැන දෙවිට අපේ කෘතඥතාව පෙන්විය හැක්කේ කෙසේද? (ආ) අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?

20 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙවිගේ ජනයාට නිතරම දිරිගන්වන්නේ ආත්මිකව අවදියෙන් හා සිහි ඇතිව සිටින්න කියාය. (මතෙව් 24:45, 46; 1 තෙසලෝනික 5:6) මෙම කාලෝචිත සිහිගැන්වීම්වලට ඔබ කෘතඥතාව පෙන්වන්නෙහිද? ඔබේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් සලකා බැලීමේදී ඔබ එම සිහිගැන්වීම් සිතට ගන්නවාද? ඔබගෙන්ම මෙසේ අසන්න. ‘දෙවිගේ පුත්‍රයා ස්වර්ගයේ පාලනය කරන බව මගේ ආත්මික ඇස්වලින් මට පැහැදිලිව පෙනෙනවාද? මහා බැබිලෝනියේ සහ සාතන්ගේ සමාජ ක්‍රමයේ ඉතිරි කොටසට එරෙහිව දිව්‍ය විනිශ්චය ඉෂ්ට කිරීමට ඔහු සැරසී සිටිනවා මට පෙනෙනවාද?’

21. ඇතැම් අය තමන්ගේ ආත්මික දෘෂ්ටිය බොඳ වී යෑමට ඉඩහැර තිබෙනවා විය හැක්කේ මන්ද? එවන් අය ඉතා ඉක්මනින් කළ යුත්තේ කුමක්ද?

21 යෙහෝවාගේ ජනයා සමඟ දැන් ඇසුරු කරමින් සිටින ඇතැම් අයට තමන්ගේ ආත්මික දෘෂ්ටිය බොඳ වී යෑමට ඉඩ ඇත. යේසුස්ගේ මුල් ගෝලයන්ට සිදු වුණාක් මෙන්, ඔවුන්ට එසේ වී තිබෙන්නේ ඔවුන්ගේ ඉවසීම අඩුකම නිසා හෝ විඳදරාගැනීමට ඇති හැකියාව අඩුවීම නිසා හෝ විය හැකිද? ජීවිතයේ මුහුණ දීමට සිදු වන නොයෙක් කරදර, භෞතික සම්පත්වලට ඇති ඇල්ම හෝ පීඩා නිසා ඔවුන් ඒ තත්වයට පත් වී තිබෙනවාද? (මතෙව් 13:3-8, 18-23; ලූක් 21:34-36) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” පළ කර ඇති යම් තොරතුරු වටහාගැනීමට සමහරවිට ඇතැම් අයට අමාරු වී තිබෙනවාද විය හැකියි. මේවායින් එක දෙයක් හෝ ඔබට සිදු වී තිබේ නම්, දේවවචනය ඉතා උද්‍යෝගයෙන් අධ්‍යයනය කිරීමටත්, යෙහෝවා සමඟ ශක්තිමත් කිට්ටු සම්බන්ධතාවක් යළිත් ඇති කරගැනීමටත් උපකාර කරන්නැයි කියා ඔහුගෙන් අයදින ලෙසට අපි ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමු.—2 පේතෘස් 3:11-15.

22. අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනය හා ඊට සම්බන්ධ අනාවැකි සලකා බැලීම ඔබට බලපා ඇත්තේ කෙසේද?

22 අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය යේසුස්ගේ ගෝලයන්ට දෙනු ලැබුවේ ඔවුන්ට දිරිගැන්වීම අවශ්‍ය වූ අවස්ථාවකදීය. අද දින වෙසෙන අපටද ඊටත් වඩා බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ වූ, ඒ පුදුමාකාර පෙරදැක්මේ සහ ඊට සම්බන්ධ වෙනත් බොහෝ අනාවැකිවල ඉටුවීම්වලින් ශක්තිය ලබාගත හැකියි. අපේ ඇස් පනාපිට ඉටු වන මෙම තේජාන්විත කාරණා සහ ඒවායේ අනාගත ඉටුවීම් ගැන කල්පනා කරත්ම, ප්‍රේරිත යොහන්ට තිබූ හැඟීම්ම අපත් අපේ මුළු හදින්ම මෙසේ පළ කරමු. “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”—එළිදරව් 22:20.

[පාදසටහන]

^ 10 ඡේ. ‘විපත්ති නිසා ඇති වන වේදනාවන්’ යන යෙදුම මුල් ග්‍රීක් භාෂාවට අනුව ‘ප්‍රසව වේදනාව’ යන අර්ථය දෙයි. (මතෙව් 24:8, නව අනුවාදය) මින් අඟවන්නේ ලෝකයා මුහුණ දෙන ගැටලු, ප්‍රසව වේදනාව මෙන් කාලයත් සමඟම එන්ට එන්ටම වැඩි වී, දරුණු වී, පවතින කාලය වැඩි වී මහත් පීඩාවත් සමඟ උච්චාවස්ථාවකට පැමිණෙන බවයි.

ඔබට මතකද?

• වර්ෂ 1870 ගණන්වලදී, ක්‍රිස්තුස්ගේ යළි පැමිණීම ගැන එක්තරා කුඩා බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් තේරුම්ගත්තේ කුමක්ද?

• අන් ස්වරූපයකට පත්වීම පිළිබඳ දර්ශනය ඉෂ්ට වී තිබෙන්නේ කෙසේද?

• ක්‍රිස්තුස්ගේ ජයග්‍රාහී ගමන, ලෝකයටත් ක්‍රිස්තියානි සභාවටත් බලපා ඇත්තේ කෙසේද?

• යේසුස් සම්පූර්ණයෙන් ජයග්‍රහණය කරන විට, බේරී ජීවත් වෙන අය අතර සිටීමට අප කුමක් කළ යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූර]

පෙරදැක්මක් සැබෑ වෙයි

[18වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තුස් ජයග්‍රහණය ලැබූ මුල් අවස්ථාවේදී සිදු වූ දේ ඔබ දන්නවාද?